බෙක්ජේහි කිරුළ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
බෙක්ජේහි කිරුළ
කොරියානු නම
හංගුල්금제관식
හංජා金製冠飾
සංශෝධිත රොමානුකරණයGeumje Gwansik
මෙකන්–රයිෂවර්Kŭmje Kwansik

බෙක්ජේහි කිරුළ යන වදන භාවිතා වන්නේ කැනීම් කටයුතුවලින් අනාවරණය කරගෙන ඇති බෙක්ජේ ‍රාජධානියේ රජවරුන්, රැජිනියන් සහ වංශවතුන් විසින් භාවිතා කළ රාජකීය ශීර්ෂාභරණයන් කිහිපයක් හැඳින්වීමටයි. ඇතැම් කිරුළු සිල්ලා කිරුළුවලට සමාන සම්ප්‍රදායයකින්[1] යුක්තව වෘක්ෂ මෝස්තර සහ ෂමනවාදී සංකේතාත්මක රූ භාවිතා කොට ඇත. [1][2] කෙසේනමුත්, ‍රජවරුන්ගේ සහ රැජිනියන්ගේ කිරුළු අනුව පෙනීයන්නේ බෙක්ජේ ජනයා හට ඔවුනට විශේෂිත වූ ශීර්ෂාභරණ සම්ප්‍රදායයක් පැවතී ඇති බවයි.

කොරියාවේ ජාතික වස්තුව අං. 154[සංස්කරණය]

කොරියාවේ ජාතික උරුමය අං.154.

ග්‍යුම්ජේග්වන්සික් යනුවෙන් හැඳින්වෙන්නේ බෙ‍ක්ජේ රජු විසින් පැළඳි රත්රන් කිරුළු දෙකකි. 1974 ජූලි 9 දින මේවා 154වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කරන ලදී. වර්තමානයේ මෙම කිරුළු ද්විත්වය ගොංජු ජාතික කෞතුකාගාරයේ එකතුවේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම කිරුළු සොයාගන්නා ලද්දේ 1971දී දකුණු කොරියාවේ ගොංජුහි මුර්යොං රජුගේ සොහොන්ගැබේ කැනීම්වලිනි. මෙම කිරුළු මිනී පෙට්ටිය තුළ රජුගේ හිසට ආසන්න ස්ථානයක එකක් මත එකක් වශයෙන් පිළිවෙලට ගොඩගසා තිබිය දී හමු විය.

කිරුළු ද්විත්වය අතුරින් පළමුවැන්න සෙන්ටිමීටර 30.7ක් උසැති වූ අතර, සෙන්ටිමීටර 14ක් පළල විය. අනෙක් කිරුළ සෙන්ටිමීටර 29.2ක උසකින් සහ සෙන්ටිමීටර 13.6ක පළලකින් යුක්ත විය. මෙම කිරුළු තුනී රන් තහඩුවකින් කපා සකස් කොට තිබූ අතර, එහි ඝනකම මිලීමීටර දෙකක් පමණ විය.

මේ සෑම ශීර්ෂ පළඳනාවකම පහළ මුදුවක් ඇත. එය බොහෝවිට සේදවලින් තනා තිබෙන්නට ඇතැයි සිතිය හැකි රාජකීය හිස්වැස්මකට කිරුළ සවිකිරීමට යොදාගත් කොක්කක් විය හැක. ඓතිහාසික වාර්තා මත පදනම්ව, රජු විසින් සිය කළු පැහැ හිස්වැස්මේ පසුපස අලංකෘත රන්වන් පුෂ්පයක් පැළඳි බව පැවසේ. මේ නිසා මෙම රාජකීය ශීර්ෂ පළඳනා රාජකීය හිස්වැස්මේ වමේ සහ දකුණේ හෝ ඉදිරිපස සහ පසුපස පළඳින්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම කිරුළු හිස්වැස්මේ දෙපසම පැළඳි විට පියාපතක් මෙන් දිස්වන්නට ඇත. මෙය පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය සංකේතවත් කෙරෙන ශමනවාදයේ එන මෝස්තරයකි.

සම්පූර්ණ ශීර්ෂ පළඳනාවම සැලකූ විට, එය ගිනි සිළුවක වැනි හැඩයකට සැකසුණු ලතාමය හෝ ශාඛාමය මෝස්තරයකින් සමන්විත ය. මෙම ගිනි සිළුවක් වැනි මෝස්තරය සහ ඇරබස්ක් පුෂ්ප මෝස්තර බෞද්ධ සම්ප්‍රදායයන්ගේ ආභාසය ලබා නිමවූවක් වන්නට ඇත. එයට හේතුව ඒවා බෞද්ධ ප්‍රතිමාවල දැක්වෙන රශ්මි මාලාවලට සමානත්වයක් දැක්වීමයි. මෙම ශීර්ෂ පළඳනා නොයෙකුත් රන් කැබලි භාවිතයෙන් විසිතුරු කොට ඇත.

බෙක්ජේ සොහොන් ගැබකින් සොයාගන්නා ලද මෙම ආකාරයේ පළමු කිරුළ මෙයයි. එයට හේතුව බෙක්ජේහි එවැනි ආකාරයේ සොහොන්ගැබ් සොහොන් සොරුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි තනා තිබීමයි. මෙම ඔටුනු හේතුවෙන් බෙක්ජේ රාජකීයයන් පිළිබඳ නවතම අවබෝධයක් ඇති කරගත හැක.

කොරියාවේ ජාතික වස්තුව අං. 155[සංස්කරණය]

කොරියාවේ ජාතික උරුමය අං. 155.

ග්‍යුම්ජෙග්වන්සික් (රැජිනියගේ හිස් පළඳනාවේ රත්රන් ආභරණ) කිරුළු ද මුර්යොං රජුගේම සොහොන්ගැබෙන් හමුවූ අතර එය, කොරියාවේ ජාතික වස්තුව අංක 154ට හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමානත්වයක් දක්වයි. 1974 ජූලි 9 දින මේවා ‍155වන ජාතික වස්තූන් ලෙස නම්කෙරිණි. මෙම කිරුළු හමුවූයේ රැජිනගේ මිනී පෙට්ටියෙහි හිසෙහි තිබී ය. ඒවා ද පිළිවෙලින් එකක් මත එකක් පළඳවා තිබිණි‍.

මෙම කිරුළු දෙකම සෙන්ටිමීටර 22.6ක උසකින් සහ සෙන්ටිමීටර 13.4ක පළලින් යුක්ත ය. මෙම කිරුළු ද නිර්මාණය කොට ඇත්තේ රන් තහඩුවක් කැපීමෙනි. එය හැඩ ගැන්වීමට රන් තහඩුවෙහි කැටයම් කොට ඇති අතර, විසිතුරු ශාඛා රටාව මෙයට සම්බන්ධ කෙරිණි. මෙහි පුෂ්ප සහ නෙළුම් මල් රටා දැකගත හැකි අතර, සමස්ත කිරුළේම දළ හැඩය ගිනි සිළුවක හැඩය ගනියි. රජුගේ ආභරණ සේම, මෙම ශීර්ෂ පළඳනා ද්විත්වය ද රාජකීය හිස්වැස්මක දෙපස පළඳින්නට ඇතැයි සිතිය හැක. රජුගේ කිරුළු මෙන් නොව රැජිනගේ කිරුළ විසිතුරු රන් කැබලිවලින් සරසා නැත.

කොරියාවේ ජාතික වස්තුව අං. 295[සංස්කරණය]

නාජුහි සින්චොන්-රි වලින් හමුවූ ආලේපිත-ලෝකඩ කිරුළක්; කොරියාවේ ජාතික වස්තුව අං. 295.

සින්චොන්-රි ගොඩැල්ලෙන් හමුවූ ආලේපිත-ලෝකඩ කිරුළ (නාජු සින්චොලි ගෝබුන් චුල්දෝග්‍යුම් දොංග්වන්) ද කොරියාවේ තුන් රාජධානි යුගයට අයත් ය. 1997 සැප්තැම්බර් 22 දින, එය කොරියාවේ 295වන ජාතික වස්තුව ලෙස නම්කෙරිණි. වර්තමානයේ එය කොරියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. 1917-1918 අතර කාලයේ නාජුහි සින්චොන්-රිවලින් මෙය හමුවූයේ බන්නම්-ම්යොන් කැනීම් කටයුතු වලදී ය.

මෙම කිරුළ සෙන්ටිමීටර 25.5ක් පමණ උසකින් යුක්ත ය. එය සිල්ලා කිරුළු සම්ප්‍රදායේ ආභාසය අනුව නිමවා ඇති බව පෙනුනත්, එහි පැහැදිළි වෙනස්කම් ද ඇත. ඇතුළු කිරුළ සිලින්ඩරාකාර ඵලක දෙකකින් නිර්මිත තඹ හිස්වැස්මකි. ඇතුළු කිරුළ ජපානයේ ජොල්ලාබුක්-දෝ පළාතේ ඉප්ජොම්-රිහි කැනීම්වලින් හමුවූ කිරුළුවලට සමානත්වයක් දක්වයි. මෙය බෙක්ජේ සහ යමාටෝ ජපානය අතර පැවති ප්‍රබල සංස්කෘතික සම්බන්ධතාවයට සාක්ෂි සපයයි. පිටත කිරුළේ වෘක්ෂ වැනි නෙරුම් තුනක් දැකගත හැකි අතර, ඒවා සිල්ලා කිරුළු මෙන් ශෛලිගත නැත. මෙම ශාඛා වඩාත් විසිතුරු සහ අලංකාර ය.

මෙම කිරුළ කා සඳහා නිමවූවක් ද යන්න තවමත් මතභේදයට තුඩු දී ඇත. මෙය මෙම ප්‍රදේශයේ නායකයාට හිමි කිරුළක් යැයි සැලකෙන අතර, එය රජකුගේ විය නොහැකි බැව් පෙනේ. මෙම කිරුළ ඇතැම්විට මෙය හමුවූ ප්‍රදේශයේ නිර්මාණය වූවක් හෝ බෙක්ජේ රජු විසින් සිය යටත් රජකුට ලබා දුන් ත්‍යාගයක් විය හැක.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Golden Treasures: The Royal Tombs of Silla | Thematic Essay | Timeline of Art History | The Metropolitan Museum of Art
  2. Kidder, J. Edward (1964). Early Japanese Art: The Great Tombs and Treasures. D Van Nostrand Company Inc. පි. 105. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෙක්ජේහි_කිරුළ&oldid=410340" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි