සිත්තනවාසල් ලෙන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිත්තනවාසල් ලෙන
சித்தன்னவாசல்.jpg
සිත්තනවාසල් ලෙන
පිහිටීමපුදුකෝට්ටෛ, ඉන්දියාව
ඛණ්ඩාංක10°27′16″N 78°43′29″E / 10.4544°N 78.7247°E / 10.4544; 78.7247
ඉදි වූ දිනයජෛන යුගය (ක්‍රි.පූ. පළමු සියවසේ සිට ක්‍රි.ව. 900 දක්වා)
ගෘහනිර්මාණ ශෛලීන්පාණ්ඩ්‍ය
ප්‍රභේදයසංස්කෘතික
රට ඉන්දියාව
සිත්තනවාසල් ලෙන is located in ඉන්දියාව
සිත්තනවාසල් ලෙන
ඉන්දියාවේ තමිල් නාඩුව තුළ සිත්තනවාසල්හි පිහිටීම

සිත්තනවාසල් ලෙන (හෙවත් අරිවාර් කෝවිල්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ තමිල් නාඩුවේ පුදුකොට්ටෛ දිස්ත්‍රික්කයේ සිත්තනවාසල් ගම්මානයේ පිහිටි 2වන සියවසට අයත් ජෛන ලෙන් සංකීර්ණයකි.[1][2] මෙහි නාමය පැනනැගී ඇත්තේ "මහා ශාන්තුවරයින්ගේ වාසභවන" (දෙමළ: சித்தன்னவாசல்) යන අරුතැති සිත්-තන්-න-වා-සල් නැමැති දෙමළ වදනෙනි.

මෙය ගලෙහි-නෙළූ ආරාමයක් හෝ විහාරයකි. ජෛනවරුන් විසින් ගොඩනැගූ මෙය අරිවාර් කෝවිල් ලෙස ද හඳුන්වන අතර, අරිහන්ත්වරුන් වෙනුවෙන් කැපකළ ලෙන් දේවාලයකි. මෙහි 7වන සියවසට අයත් වැදගත් බිතු සිතුවම් කොටස් කිහිපයක් දැකගත හැක. මෙම සිතුවම් වර්ණ ගන්වා ඇත්තේ එළවළු සහ ඛනිජ වර්ග යොදා තැනූ කළු, කොළ, කහ, තැඹිලි, නිල් සහ සුදු පැහැ සායම්වලිනි. සිතුවම් නිර්මාණය කොට ඇත්තේ තුනී තෙත හුනු බදාම ස්තරයක් මතට වර්ණ ඇතුළත් කිරීමෙනි.[2][3][4]

ගෝල් ගුම්බාස්, තලගිරීශ්වර දේවාලය සහ මෙම ලෙන වැනි පුරාතන ලෙන් සාපේක්ෂව එතරම් ඇගයුමට ලක්ව නොමැත. මධ්‍යකාලීන යුගයට අයත් යැයි ප්‍රකාශ වුව ද ඒවාට එතරම් අවධානයක් යොමුවී නැත.[5]

ඉතිහාසය[සංස්කරණය]

සිත්තනවාසල් ගම්මානය ක්‍රි.පූ. 1වන සියවසේ සිට ක්‍රි.ව. 10වන සියවස පමණ කාලය තෙක් පැරණි අතර එකල ජෛන ආගම මෙහි මුල්බැස තිබිණි. මුලින් මෙම ලෙන් දේවාලය පල්ලව රජ Iවන මහේන්ද්‍රවර්මන් (ක්‍රි.ව. 580–630) ජෛන ආගම අත්හැර හින්දු ආගම වැළඳගෙන ශෛවාගමිකයකු වන්නට පෙර කාලයක ඉදිවන්නට ඇතැයි විශ්වාස කෙරිණි. කෙසේනමුත් අභිලේඛනයක පාණ්ඩ්‍ය රජකු වූ මාරන් සෙන්දන් (ක්‍රි.ව. 654–670) හෝ අරිකේසරී මාරවර්මන් (ක්‍රි.ව. 670–700) විසින් මෙහි නවීකරණ කටයුතු කළ බවට සාක්ෂි හමුවේ.[3][6] මෙම කන්ද මුදුනේ ඇති ජෛන නටබුන් අනුව එය ක්‍රි.ව. 9වන සියවස තෙක්ම ජෛන වන්දනා මධ්‍යස්ථානයක් ලෙස පැවති බව පෙනී යයි. කෙසේනමුත්, මෙම ස්මාරක පිහිටි පුදුකෝට්ටෛ ප්‍රදේශයේ වඩා ඈත අතීතයට අයත් මෙගලිතික සුසානභූමි රැසක පුරාවිද්‍යා නටබුන් හමුවේ.[3]

සිත්තනවාසල් ලෙනෙහි ඇති හත්වන සියවසට අයත් සිතුවමක්
සිත්තනවාසල් කන්දෙහි පිහිටි ලෙන්

මෙම ස්මාරක පිළිබඳ තොරතුරු පැහැදිළි කළ 20න සියවසට අයත් ප්‍රකාශන දෙකක් පවතියි: ඉන් එකක් 1916ට අයත් එස්. රාධක්‍රිෂ්ණා අයියර් නම් ඉතිහාසඥයා විසින් රචිත "General History of the Pudukkottai State" ග්‍රන්ථයයි. නමුත් මෙය හඳුනන්නේ ප්‍රාදේශීය වශයෙනි. අනෙක් ග්‍රන්ථය 1920දී ජෝවූ-ඩුබෘයිල් සහ ගෝපිනාථ රාඕ විසින් එක්ව ප්‍රකාශයට පත්කළ "Monograph on Sittannavasal" නිබන්ධනයයි. මෙම නිබන්ධනය හේතුවෙන් ලොවපුරා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය මේ වෙතට යොමු විය. සිතුවම්වල පිරිසිදු කිරීම් කටයුතු 1942දී ආචාර්ය එස්. පරමසිවන් සහ කේ. ආර්. ශ්‍රීනිවාසන් විසින් සිදුකරන ලද්දේ ඔවුන් නව සිතුවම් ස්තරයට පහළින් පැරණි සුතවම් ස්තරයක් නිරීක්ෂණය කිරීම නිසායි. මෙම අධිස්ථාපිත සිතුවම් ස්තරය ඉලන්-ගෞතමන් වෙනුවෙන් සිදුකරන්නට ඇතැයි අනුමාන වී ඇත්තේ මෙම නාමය එහි අභිලේඛනය කොට ඇති හෙයිනි.[2] ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රවේශ පත්‍රිත ස්මාරකයක් වශයෙන් මෙය පවත්වාගෙන යනු ලබයි.[7][8]

ගෘහනිර්මාණ ලක්ෂණ[සංස්කරණය]

සිත්තනවාසල් යනු ගලෙහි-නෙළූ ලෙනකි. මෙය උතුරු-දකුණු දිශානතිය ඔස්සේ දිවෙන කන්දේ මධ්‍ය කොටසේ බටහිර පෙදෙසේ පිහිටා ඇත. කන්දේ උස ආසන්න වශයෙන් 70 metres (230 ft) වන අතර, එය වටකොට පිහිටි තැන්නෙහි පුරාවිද්‍යා ස්මාරක කිහිපයක් ද හමුවේ. ඒලඩිපට්ටම් ලෙස හැඳින්වෙන ජෛන ස්වාභාවික ලෙන් වෙත මෙහි පාදක කඳුවල සිට ළඟා විය හැක. මෙම ගුහාව වෙත ළඟා වීමට පිටගැට 100ක් පමණ නැගිය යුතු වේ.[2]

සිත්තනවාසල් ලෙනෙහි ගෘහනිර්මාණ ලක්ෂණ අතරට එහි ඇති සිතුවම් සහ ප්‍රතිමා ද ඇතුළත් ය.[2][3][9] ගුහාව සහ ජෛන ආශ්‍රම පවත්වාගෙන යෑමේ වගකීම ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාතර්මේන්තුව සතු ය.[2]

සිත්තනවාසල් ලෙන හෙවත් අරිවාර් කෝවිල

මෙහි සිතුවම් නිර්මාණය කොට තිබෙන්නේ ඛනිජ වර්ණ උපයෝගී කොටගෙන ෆ්‍රෙස්කෝ-සිකෝ ශිල්ප ක්‍රමය අනුව ය. සිතුවම මගික් අලංකාර නෙළුම් මල් සහිත නෙළුම් පොකුණක් දැක්වෙන අතර මිනිසුන් පොකුණෙන් නෙළුම් නෙළමින් සිටියි. මීට අමතරය නර්තන රූ දෙකක්, මානෙල්, මත්ස්‍යයින්, හංසයින්, මීගවයින් සහ හස්ති රූ ද දැකගත හැක.[10] මුල්ක් රාජ් ආනන්ද් මෙම සිතුවම් පිළිබඳ පවසා ඇත්තේ, "පල්ලව කලා ශිල්පීන් කොළ සහ දුඹුරු පැහැ වර්ණ සමග සැබෑම හැකියාවත් රිද්මයානුකූල රේඛාකරණයත් උපයෝගී කරගෙන ඇත. කොළවර්ණයේ ප්‍රභේද සමග මුසු නිල් පැහැ දීප්තියක් සහිත මනස්කාන්ත පොකුණුවලින් නෙළුම් පැනනගියි."[11] මීට අමතරව, 9වන සහ 10වන සියවසට අයත් අභිලේඛන ද දැකගත හැක. අර්ධමණ්ඩපයේ සිවිලිම 7වන සියවසට අයත් බිතු සිතුවම්වලින් අලංකාර කොට ඇත.[12] ලෙන් විහාරයෙහි සරල කුළුණු සහ ජෛන තීර්ථංකරවරුන්ගේ ප්‍රතිමා දැකගත හැක. කෙසේනමුත්, සම්පූර්ණ බදාමය වසා පැතිර තිබූ බිතු සිතුවම්වලින් බොහෝමයක් වර්තමානය වන විට විකෘති වී ඇත්තේ පසුගිය දශක පහ හෝ හය තුළ ප්‍රමාණවත් ආරක්ෂාවක් හිමිනොවීම නිසා ය. කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් ඒවාට හානි සිදුකොට ඇත. මුලින් සම්පූර්ණ ලෙන් විහාරය ඇතුළු ප්‍රතිමා පවා බදාමයෙන් ආවරණය කොට සිතුවම්වලින් විසිතුරු කර තිබිණි. සිතුවම්වල තේමාව ජෛන සම්වාසරණ එනම්, "වඩාත් ආකර්ෂණීය දිව්‍යමය මණ්ඩපය" (එහි අර්ථය නිර්වාණය ලබාගැනීම) සහ ඛාටික භූමි ය.[2][3]

බටහිරට මුහුණලා පිහිටි ලෙනෙහි සැලැස්ම 7වන සියවසේ රටේ වෙනත් ස්ථානවල දක්නට ලැබෙන ලෙන් දේවාලවල සැලැස්මෙන්ම යුතු ය. මුලින් ඉදිකරන විට, මෙය සතුවූයේ ගර්භගෘහයක් සහ අර්ධමණ්ඩපයක් පමණි. කෙසේනමුත්, මෙහි ඇති මුඛ-මණ්ඩපය (ඉදිරි ශාලාව) පාණ්ඩ්‍ය පාලන සමයේ එක්කළ නව අංගයකි. නමුත් එය ඇදවැටී ඇත. අනතුරුව 20වන සියවසේ දී කුළුණු සහිත බරාඳයක් සහ ප්‍රසාද මුඛයක් ලෙන ඉදිරියෙන් ඉදිකෙරිණි. මෙම ඉදිකිරීම සිදුකරන ලද්දේ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරී ටොට්න්හැම්ගේ යෝජනාව මත පුදුකෝට්ටෛ මහරාජා විසිනි.[2] එහි කුළුණු දෙකක්, නෙරි කුළුණු දෙකක් සහ ෂඩාස්‍රාකාර ද්වාමණ්ඩපයකට පිවිසෙන සමචතරස්‍රාකාර පාදමක් සහිත ය. මේවා කුඩිමියන්මලෛහි මණ්ඩපයේ නටබුන් අතුරින් රැගෙන එන ලද වස්තූන් වේ.[2]

බිත්තියෙහි ඇති තීර්ථංකර රුවක්

ඉදිරි පිවිසුමට පසුව ඇති අර්ධ-මණ්ඩපය ඍජුකෝණාස්‍රාකාර සැලැස්මකින් යුත් අතර, එහි දිග 20.5 metres (67 ft), පළල 2.28 metres (7 ft 6 in) සහ උස 2.5 metres (8 ft 2 in) වේ. මෙහි ඇති ඝනාකාර කුටිය පළල 2.89 metres (9 ft 6 in) කි.[3] (ගර්භගෘහයට වඩා මඳක් උසින් වැඩි ය) මෙහි ප්‍රාසාද මුඛයෙහි කුළුණු දෙකක් සහ නෙරි කුළුණු දෙකක් දැකගත හැක. කුළුණු මෙන්ම නෙරි කුළුණුවල මැදි කොටස ෂඩාස්‍රාකාර හැඩයෙන් යුත් අතර, ඒවායේ ඉහළ සහ පහළ කොටස් සමචතුරස්‍ර හැඩැති ය. ඒවාට ඉහළින් ආධාරකයක් ලෙස ශෛලමය දණ්ඩක් කැටයම් කොට ඇත. මේවායේ විශාල පේකඩ (දෙමළෙන් පොට්කෛ) සමග සරල මැදි පටියක් කැටයම් කොට ඇත. මෙම මණ්ඩපයට ආධාරවන කුළුණු මහේන්ද්‍ර-ශෛලියේ දර්ශීය කුළුණු හැඩයෙන් යුතු ය.[2][3] ගර්භගෘහයේ පිවිසුම දෙපස අවකාශ දෙකක් ඇති අතර, ඒවායේ ද කුළුණු සැලැස්මට සමාන කුඩා නෙරි කුළුණු දැකගත හැක. මේවායේ නෙළුම් සහිත වෘත්තාකාර කරටයම් ද්කනට ලැබේ. අර්ධමණ්ඩපයේ දකුණු සහ උතුරු පැතිවල 23වන තීර්ථංකරවරයා වන පාර්ශ්වනාථ සහ ජෛන ආචාර්යවරයකුගේ රුව සහිත විමාන දක්නට ලැබේ. මේවා අල්ප උන්නත කැටයම්වලින් යුක්ත ය. හිඳි පාර්ශ්වනාථ "ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව හිඳගෙන සිටියි‍". ඔහුගේ හිසට ඉහළින් පෙණ පහක් ඇති නාගයකු සෙවණ සලසයි. විමානය අසල ඇති කුළුණෙහි වූ අභිලේඛනයක [උලෝ]කාදිතන් ("ලෝකයේ පාලක") යන්න සටහන් කොට ඇත්තේ පාර්ශ්වනාථගේ දිව්‍යමය ස්වභාවය පැහැදිළි කරමිනි. ආචාර්යවරයාගේ රුව ද පාර්ශ්වනාථට සමාන ඉරියව්වකින් හිඳින නමුත්, හිසට ඉහළින් ඡත්‍රයක් දක්නට ලැබේ. එහ රුව සහිත අවකාශය පහළින් වූ අභිලේඛනයෙහි තිරුවාසිරියන් ("මහා ගුරුවරයා") යන නාමය සඳහන් ය.[2][3][13]

අර්ධමණ්ඩපයෙන් ඇරඹෙන 5.5 feet (1.7 m) උසින් යුතු සහ 2.5 feet (0.76 m) පළලැති ද්වාර මගක් ගර්භගෘහය තුළට දිවෙයි. මෙහි අල්පෝන්නත ප්‍රතිමා තුන්ක ඇත. මෙහි ප්‍රවේශයෙහි සුරුල් ව්‍යාලි (ඇඹරුණු සොඬයක් සහිත මිත්‍යාමය ව්‍යාලි රුවක ස්වරුපයෙන් යුත් කොරවක්ගලක්) දක්නට ඇත. ගර්භගෘහයේ සමචතුරස්‍රාකාර සැලැස්මක් ඇති අතර, එහි පළල 2.89 feet (0.88 m) වන අතර, උස 7.5 feet (2.3 m) නි. එහි පසුපස බිත්තියේ උල්පෝන්නත ප්‍රතිමා තුන්ක ඇත. ඉන් දෙකක් ජෛන තීර්ථංකරයින්ගේ (මේ බව ඔවුනට ඉහළින් ඡත්‍ර තුනක් දක්වා තිබීමෙන් පැහැදිළි වේ) සහ අනෙක ආචාර්යවරයකුගේ වේ. ගර්භගෘහයේ සිවිලිම සිතුවම් කොට ඇති අතර, එහි ධර්ම චක්‍රයක් දැකගත හැක. පද්මාසන ඉරියව්වෙන් යුත් මෙම රූප තුනට ඉහළින් වූ සිතුවම් වියනක් ආකාරයෙන් යුත් අතර, ඉරි සහිත සමචතුරස්‍ර සහ විවිධ ප්‍රමාණයේ වෘත්ත සහ නෙළුම් මල් මෝස්තර එහි දැකගත හැක. මෙහි නෙළුම් මල් සමචතුරස්‍ර තුළ සිතුවම් කොට ඇති අතර, වෘත්ත තුළ බල්බ වැනි අග්‍ර සහිත කුරුස ‍රූ දැක්වේ. කුරුසයේ තිරස් බාහුවේ මිනිස් සහ සිංහ රූ දැකගත හැක. වෙනත් ස්ථානවල සිවිලිමේ සිතුවම් අර්ධමණ්ඩපයේ වූ නෙළුම් පොකුණේ සිතුවමට සමාන ය.[2][14] සිත්තනවාසල් ලෙනෙහි බදාම තැවරූ බිත්තිවල බදාම ස්තරයේ ඝනකම 1–8 millimetres (0.039–0.315 in) පරාසයේ වේ. සිතුවම්කරණයට භාවිතා වූ වර්ණක වසර 1000කට වඩා පැරණි ය. කුඩා පූජාස්ථානය තුළ දෝංකාරය මැනවින් ශ්‍රවණය කළ හැක. නිහඬ අවස්ථාවක "ඕම්" හඬනැගුවහොත් එහි හඬ ශ්‍රවණය කළ හැක.[2][3]

සිතුවම්[සංස්කරණය]

සිත්තනවාසල් ලෙනෙහි පියස්සේ ඇති සිතුවමක්
සිත්තනවාසල් ලෙනෙහි පියස්සේ ඇති සිතුවමක්

අරවිර් කෝවිලේ ගර්භගෘහයේ සහ අර්ධ-මණ්ඩපයේ ඇති අලංකාර සිතුවම් අජන්තා ලෙන්වල ඇති සම්භාව්‍ය සිතුවම් හා සැසඳිය හැක. නමුත් අමුද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මේ දෙක අතර සුළු ‍සුළු වෙනස්කම් පවතියි. මෙමගින් අජන්තා සිතුවම් (ක්‍රි.ව. 4වන–6වන සියවස) සහ 11වන සියවසේ තන්ජාවූර්හි චෝළ සිතුවම් අතර සම්බන්ධයක් ගොඩනැගිය හැක.[2] සිවිලිම්වල නෙළුම් විලක් සිතුවම් කොට ඇති අතර, එහි ස්වාභාවික ගුණයෙන් යුත් මිනිස් රූ, සතුන්, මල්, පක්ෂීන් සහ මත්ස්‍ය රූ දැකගත හැක. මෙමගින් ජෛන ආගමේ සාමවසරණ ඇදහීම සංකේතවත් කෙරේ. කුළුණුවල ද නළඟනන්ගේ, රජුන්ගේ සහ රැජිනියන්ගේ රූ කැටයම් කොට ඇත.[14]

අර්ධමණ්ඩපයේ පියස්සේ ඇති සිතුවම් ද බිතු සිතුවම් වන අතර සාමවසරණ තේමාවෙන්ම යුතු ය. බිතු සිතුවමේ ජල ටැංකියක් හෝ ඛටික-භූමියක් දැක්වේ. මෙම ටැංකිය ගඩොලු අල්ලා තනා ඇති බැව් දිස්වන අතර, ඒවා නෙළුම් මල්වලින් පිරී ඇත. මේ වටා භාව්‍ය ("භක්තිමත්"), අලීන්, මත්ස්‍යයින් දැක්වේ. ඉන් එක් මත්ස්‍යයකු ජලයෙන් ඉවතට පනිනු දැක්වේ. කුළුණුවල පාණ්ඩ්‍ය රජකු වූ ශ්‍රීමාර ශ්‍රීවල්ලභ (ක්‍රි.ව. 9වන සියවස) සහ ඔහුගේ බිසව මෙම සිතුවම් නිර්මාණය කළ මදුරාවේ ඉලම් ගෞතමන් නම් ආචාර්යවරයාට නමස්කාර කරනු දැක්වේ. සිතුවම් පවිත්‍ර කරන අතර, ගර්භගෘහයේ සිවිලිම තුළින් සාමවසරණ තේමාවෙන් යුත් තවත් සිතුවමක් අනාවරණය විය. මෙය බුමුතුරුණු මෝස්තරවලින් යුක්ත ය.[3][6]

පියැසි සිතුවම් ඵලක පිළිබඳ චිත්‍ර ශිල්පියකු විසින් කළ අධ්‍යයන අනුව පහත රූ එහි දැකගත හැක: පක්ෂි රූප 3ක්, ඉණකඩක් හැඳි මිනිසකු මල් නෙළන අයුරු (මෙහි මිනිසාගේ දකුණු අතෙහි මහනෙල් සහ දකුණතෙහි නෙළුම් මල් දැකගත හැක),අලියෙක් සහ පිහිනායන මත්ස්‍යයින්, ඉහළ වම් කොනෙහි පක්ෂියකුගේ ඇසක් මෙහි දැකගත හැකි විය.[9]

සාහසිකයන් විසින් මෙම සිතුවම්වලට තදබල හානි සිදුකොට තිබුණ ද, ශේෂව ඇති බිතු සිතුවම් කුළුණුවල ඉහළ කොටසේ සහ දේවාලය ඇතුළත සිවිලිමේ දැකගත හැක. ඉන් බොහෝමයක් දර්ශීය 9වන සියවසේ පාණ්ඩ්‍ය යුගයට අයත් ය. මේ අතර හස්තීන්, මීගවයින්, මත්ස්‍යයින්, හිංසයින්, පොකුණක මල් නෙළන ජෛනයින් සහ නළඟනන් දැක්වෙන විස්තරාත්මක රූ දැකගත හැක.[15] මෙම බිතු සිතුවම් අජන්තා ලෙන් සහ බාඝ් ලෙන් සිතුවම්වලින් පසුව මධ්‍යකාලීන ඉන්දියාවේ හමුවන හොඳම බිතු සිතුවම් අතුරින් එකක් ලෙස සැලකේ.[2][3][6] සිත්තනවාසල් ලෙන් විහාරයේ පනේල මැනවින් සැලසුම් කොට නොමැති බැව් පෙනේ. වෘන්දීය අදහස අනුගමනය කොට නොමැති අතර, නොසැලකිල්ලෙන් මෙන් මෙය සංරචනය කොට ඇත.[16]

සිත්තනවාසල් ලෙන්වල සිතුවම් විශ්ලේෂණය කොට එහි දී අනුගමනය කළ ක්‍රමවේද සහ මාධ්‍ය හඳුනාගැනීමට උත්සාහ දරා ඇත. අර්ධමණ්ඩපයේ වන නෙළුම් පොකුණේ සිතුවම විශ්ලේෂණය කිරීමෙන් අනුමාන කොට ඇත්තේ මෙම සිතුවම්කරණයේ දී ෆ්‍රෙස්කෝ-සිකෝ තාක්ෂනය යොදාගත් බවයිත මෙහි දී රළු පාෂාණය මත 2.5 millimetres (0.098 in) පමණ ඝනකමින් යුත් හුනු බදාම සහ වැලි මිශ්‍ර බදාමයක් අතුරා, හුනු බදාමය රළව තිබියදීම 0.5 millimetres (0.020 in) පමණ ඝනකම හුනු දියර තට්ටුවක් ආලේප කොට ඇත. මෙහි දී භාවිතා වූ වර්ණ සැලකීමේ දී සුදු වර්ණය හුනුවලින් ද, කළු පැහැය දැව අඟුරු හෝ පහන් දැලිවලින් ද, කහ පැහැය කහ හිරියල්වලින් ද, රතු පැහැය රතු හිරියල්වලින් ද, නිල් පැහැය ඇල්ට්‍රාමැරීන්\ලැපිස් ලැසුලි සහ කොළ පැහැය ග්‍රීක මැටිවලින් ද ලබාගන්නා ලදී. ස්ථිර ඛනිජ වර්ණවලින් යුත් (භූමියෙහි පිහිටුවා ඇති ඵලකයේ ASI සඳහන් කරන ශාකමය වර්ණ නොවේ) වර්ණක වියළි බදාමය මත ඇතුළත් කෙරු‍ණේ කිසිදු ලාටු වර්ගයක් හා මිශ්‍ර නොකර ය. මෙහි දී රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවී හුනු දියර මගින් වාතයේ වූ ඔක්සිජන් අවශෝෂණය වන අතර, කාබනීකරණ ක්‍රියාවලිය මගින් අද්‍රාව්‍ය කැල්සියම් කාබනේට් සෑදී වර්ණක පෘෂ්ඨයට සවි වීම සිදු විය.[2][17] පුදුකෝට්ටෛ රාජ්‍යයේ මුලපිරීම යටතේ, 1937–39 කාලයේ සිතුව්ම පිරිසිදු කෙරිණි. අනතුරුව ඒ මත ආරක්ෂණ ආලේපයක් ගල්වන ලදී. එමෙන්ම, බදාමයේ හානි වූ කොටස් තුළට සබැඳුම් ද්‍රව්‍ය ඇතුළු කෙරුණු අතර, සිතුවම් ද හරිගැස්වීම සිදු විය.[2]

සිතුවම්වල තත්ත්වය ක්‍රමයෙන් අයහපත් අතට හැරෙමින් පවතියි.[18]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Rocky retreat". [[The Hindu|]]. 25 October 2012. Italic or bold markup not allowed in: |newspaper= (help)
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 2.11 2.12 2.13 2.14 2.15 2.16 "S u d h a r s a n a m:A centre for Arts and Culture" (pdf). Indian Heritage Organization. Retrieved 26 October 2012.
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 "Sittanavasal – A passage to the Indian History and Monuments". Puratattva: The Legacy of Chitrasutra, Indian History and Architecture. Retrieved 26 October 2012.
  4. "The Ajanta of TamilNadu". The Tribune. Tribune, India. 27 November 2005.
  5. Behl, Benoy K. (7 March 2014). "Appreciate the ancient". The Hindu. Retrieved 15 March 2014.
  6. 6.0 6.1 6.2 "Rock-cut Jaina temple, Sittannavasal". Archaeological Survey of India. Retrieved 26 October 2012.
  7. "Alphabetical List of Monuments – Tamil Nadu". Archaeological Survey of India. 2011. Retrieved 9 September 2013.
  8. "List of ticketed monuments – Tamil Nadu". Archaeological Survey of India. 2011. Retrieved 9 September 2013.
  9. 9.0 9.1 "Poetry in Stone". Poetry in Stone. Retrieved 26 October 2012.
  10. "Pudukottai: Treasure trove of archaeology". Official web site of Tamilnadu Tourism. Retrieved 26 October 2012.
  11. Anand, Mulk Raj (1973). Album of Indian paintings. National Book Trust, India; [sole distributors: Thomson Press (India), Delhi. පි. 45. https://books.google.com/books?id=TtLqAAAAMAAJ. Retrieved 30 October 2012. 
  12. "Cave Paintings in India". CulturalIndia.net. Retrieved 26 October 2012.
  13. "Legends across panels". The Hindu. India. 13 June 2004.
  14. 14.0 14.1 "Plaque at the site showing details of rocjkcut Jaina Temple (Aravirkovil". Archaeological Survey of India (ASI). Retrieved 26 October 2012.
  15. "Rock-cut Jaina temple, Sittannavasal". Archaeological Survey of India. Retrieved 15 November 2011.
  16. Pereira, José (1977). Conservation of Ancient Sites on the Silk Road Monolithic Jinas The Iconography of the Jain Temples of Ellora. Motilal Banarsidass Publ.. පි. 14. ISBN 9788120823976. https://books.google.com/books?id=LMTgiygj4-oC&pg=PA14&lpg=PA14&dq=Sittanavasal+Cave+Temple&source=bl&ots=2kSN5hfvrD&sig=J7BIrc7TqSCwml586C6FGy4l_co&hl=en&sa=X&ei=3pCJULX4IKXDigLr34GICg&ved=0CEsQ6AEwCDgK#v=onepage&q=Sittanavasal%20Cave%20Temple&f=false. Retrieved 26 October 2012. 
  17. Agnew, Neville (2010). Conservation of Ancient Sites on the Silk Road. Getty Publications. පිටු 338–339. ISBN 9781606060131. https://books.google.com/books?id=n8YAyXzJE2IC&pg=PA338&lpg=PA338&dq=Sittanavasal+Cave+Temple&source=bl&ots=AoQWJSf65v&sig=S2W7dNtArOV6BvsFoh21GlMHNec&hl=en&sa=X&ei=3pCJULX4IKXDigLr34GICg&ved=0CDEQ6AEwAzgK#v=onepage&q=Sittanavasal%20Cave%20Temple&f=false. Retrieved 26 October 2012. 
  18. Krupa, Lakshmi (24 March 2014). "Saving Sittanavasal". The Hindu. Retrieved 7 August 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Pudukkottai district

"https://si.wikipedia.org/w/index.php?title=සිත්තනවාසල්_ලෙන&oldid=411931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි