ශ්‍රී ලංකාවේ දකුණේ කුල ක්‍රමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය යනු, යම් අයුරින් උතුරු ඉන්දියාවේ සම්භාව්‍ය වර්න ක්‍රමයට තරමක් වෙනස් වූ, එනමුදු දකුණු ඉන්දියාවේ ජාති ක්‍රමයට තරමක් ලෙසින් සමාන කමක් දක්වන, සමාජය ස්තර වලට බෙදීමේ ක්‍රම වේදයකි.

පූජාවලිය, සද්ධර්මරත්නාවලිය සහ යෝගරත්නකාරය වන පැරැණි ශ්‍රී ලාංකික ග්‍රන්ථ සහ ශිලාලේඛනගත සාක්ෂි පෙන්නුම් කරනුයේ ඉහත ධුරානුක්‍රමය වැඩවසම් යුගය පුරාවටම පැවැති බවය. 18වන සියවස තරම් මෑත යුගයෙහි, බ්‍රිතාන්‍ය / උඩරට යුගයෙහි කඩයිම්පොත් හි පවා මෙම කුල ධුරානුක්‍රමය දක්නට ලැබීම, ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුව අවසානය දක්වා මෙම සම්ප්‍රදායය පැවැති බවට සාක්ෂි දරයි.

මෙය ලොව පුරා දක්නට ලැබෙන කුල ක්‍රම බොහෝමයක් අතුරින් එකක් පමණි. වෙනත් තැන්හි මෙන්ම, ශ්‍රී ලාංකික කුලයක්ද කෘත්‍යාත්මක, ආගමික, වාර්ගික, ගෝත්‍රික හෝ සමහරවිට සංයුක්ත කාරණා නිසාවෙන් ජනිත වූවා විය හැක.

උඩරට හා පහතරට අතර පවතින කුල ක්‍රමයන්හි තවමත් ප්‍රධාන වශයෙන් වෙනස්කම් දක්නට ලැබේ. එහෙත් සේවා සපයන කණ්ඩායම් ඉහත කී දෙපාර්ශවයටම පොදුය. උඩරට හා පහතරටට පොදු බහුතරය වන උතුරු ඉන්දීය ආර්යයන්ගෙන් පැවත එන ගොවිගම කුලය හැරුණු විට තවත් ප්‍රධාන කුලයන් තුනක් රටෙහි නිරිත දිග පෙදෙසෙහි දක්නට ලැබේ. මොවුන්ගේ මුතුන් මිත්තන් දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එසේ වුවද මෙම පිරිස් සිංහල සමාජ ක්‍රමයේ ඉතා වැදගත් තැනක් ගත්හ. ඒ කරාව, දුරාව සහ සලාගම යන කුලයන්ය.

මෙම පිරිස් යටත් විජිත පාලන සමයේදී ඔවුන්ගේ සම්ප්‍රදායික වෘත්තීන්වල යෙදීමෙන් සහ වෙරළ ආශ්‍රිතව කෙරුණු රැකියාවලින් ධනයෙන් සහ බලයෙන් ආඪ්‍ය වූහ. 12 වෙනි සියවස අවසාන භාගයේදී පමණ මෙම කුලවල ඇතැම් පිරිස් විශේෂයෙන් කරාව කුලයේ අය රටෙහි සෑම තැනම පාහේ පැතිර ගොස් මහා පරිමාණ වෙළඳ ව්‍යාපාර සහ දැනුමෙන් උසස් තනතුරු ලබා ගත්හ. කුලහීන රොඩියා සහ කින්නර ප්‍රජාවද පහත රට දැකිය හැක.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අතර තිබෙන කුල ක්‍රමය:[සංස්කරණය]

වර්තමාන ශ්‍රි ලාංකික දෙමළ ජනතාව අතර තිබෙන සිංහල කුල ක්‍රමයට සමාන කුල වර්ග.

වෙල්ලාල - සිංහල ගොවිගමට සමානවේ. කරෛයියර් - කරාව " පරෛයියර් - බෙරව " නලවර් - දුරාව " පල්ලර් - බත්ගම " තුරුම්බර් - හීන "

දකුණු ඉන්දීය සංස්කෘතික කලාපයේ තිබුණු මේ හා සමාන කුල ක්‍රමය සමග ඒ පෙදෙස්වලින් කෙරුණු සංක්‍රමණයන්ද හේතුවෙන් ඉහත සඳහන් කළ සමානකම් සිදු වන්නට ඇත.

කොවියාර් නම් තවත් කුලයක් තිබෙන අතර එම කුලයේ සමහරුන් තමන් සිංහල ගොවි කුලයේ යයි කියා ගනිති. මොවුහු යාපනය රාජ්‍යය උතුර අල්ලා ගැනීමේදී දෙමළ ප්‍රදේශවල හුදෙකලා වූ අයයි. සිංහලයන් අතරේ මෙන්ම උතුරේ කුල ව්‍යුහය නැගෙනහිර දෙමළ කුල ක්‍රමය සමග සැසඳීමේදී කිසියම් වෙනසක් පෙන්නුම් කරයි. වෙරළ බඩ පෙදෙස් හැරුණු විට අනිකුත් ප්‍රදේශවල වෙල්ලාල කුලයේ අය දෙමළ කුල ක්‍රමයේ ඉහළින්ම සිටින අය වෙති. වෙරළ බඩ කලාපයේ අනිකුත් අයට වඩා සංස්කෘතිකමය හා ගති සිරිත් අනුව ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ කරෛයර් කුලයේ අයයි. නැගෙනහිර මුහුදු බඩ පෙදෙස්වල ධීවර කුලවල අය සංඛ්‍යාත්මකව වැඩි අතර ඔවුන් උතුරේ සිට අලුතෙන් පැමිණි වෙල්ලාල කුලයේ අය හැරුණු විට කුල ක්‍රමය තුළ ඉහළින් ආධිපත්‍යය දරා සිටිති. පරස්පර ලෙස පෙනුණද උතුරේ කුල ක්‍රමය තුළ පහළින්ම සිටින මුක්කුවා කුලයේ අය නැගෙනහිර දී ඉහළින් සිටිති.

ආශ්‍රිත[සංස්කරණය]