Jump to content

හින්න උපකුලය

විකිපීඩියා වෙතින්

සලාගම කුලයේ ශින්න නැමති උපකුලය. එය ශින්න සහ චින්න ලෙසන් සංස්කෘත බසින් බිඳී පැමිණි වදනකි.සලාගම කුලයේ උපකුල පහ අතරෙන් පහළම උපකුලය වන්නේ මෙයයි.මෙම කුලයට අයත් පිරිස් බොහොමයක් සලාගම ග්‍රාම අවට විතැන්ව සිටින අතර පානදුර සිට ගාල්ල අතර ප්‍රදේශයේ හින්න ජනගහනයෙන් 90%ක්ම දක්නට ලැබේ. ඉන්දීය සම්භවයක් සහිත පිරිසක් වන අතර ශරීර ප්‍රාමාණයෙන් කුඩා පිරිසකි.

ආරම්භය

[සංස්කරණය]

සලාගම කුලයට අයත් නොවන කුලයක් ලෙස හින්න උපකුලය වර්තමානය වන විට පිළිගනී. හින්න උපකුලය සලාගම කුලය ලෙසින්ම උතුරු ඉන්දියාවේ ශාලිග්‍රාම සිට විජයබාහු රජු අභිසෙස් ගැන්වීමට පැමිණි පිරිසෙන් ඇරඹෙන ලද බව ප්‍රකට මතයයි. විජයබාහු රජු අභිසෙස් ගන්වන ලද අවස්ථාවේ රජුගේ පා දෝවනය කරවන ලද්දේ ශින්න නැමති බ්‍රාහ්මණ පිරිස විසින. ඔවුන් තිදෙනා කුඩා දේහදාරීන් විය. කුඩා යන්න සංස්කෘත බාශාවෙන් ශින්න ලෙස භාවිත කර ඇති අතර කුඩා බ්‍රාහ්මණයා ශින්නඑකා (පොඩිඑකා) ලෙසින් හඳුන්වා තිබේ. ශරීර ප්‍රමාණයෙන් කුඩා බැවින් ශින්න බමුණන් වෙත භාර වූවේ රජුගේ වස්ත්‍රයේ පාද සම්බන්ධ කොටසේ කාර්‍යන් සිදු කිරීම සහ පාද දෝවනයයි. මෙම ක්‍රියාවලිය දුටු ස්වදේශීය සිංහලයා විසින් රජුගේ පා සෝදන බමුණන් පහත් පිරිසක් ලෙසින් වැරදි ආකල්පයක් නිර්මාණය කරගන්නා ලදී.පසුව ශින්න බමුණන් තිදෙනා වෙත විජයබාහු රාජධානියේ ස්වදේශීය ගොවිකුල කතුන් විවාහ කරවා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවුනේ එබැවිනි. එබැවින් චින්න බමුණන් විසින් විවාහ පත් කරවා ගන්නා ලද්දේ ගොවි කුලයේ පට්ටි නැමති උපවර්ගයට අයත් පිරිස් වය.(ඇතැම් විද්වතුන් ගේ මතය හින්නෞපකුලයේ පට්ටි උපවර්ගය මෙසේ බිහිවූ බව මුත් පට්ටි නැමති උපකුලයක් වාද්දුවස්කඩුදෙබද්දේ හැර වෙනත් ප්‍රදේශ වල ව්‍යාප්‍තව පැවත නැත්තේය.) එම චින්න බ්‍රාහ්මණයන් තිදෙනාගෙන් අරඹන ලද්දා වූ පරපුර ශාලිග්‍රාම අනෙක් බ්‍රාහ්මණ පරපුරු ලෙසින්ම ලංකාවේ බොහෝ මුහුදුබඩ ප්‍රදේශ වල ව්‍යාප්ත විය. චින්න බ්‍රාහ්මණයන් පිරිස් විසින් ඇතිකරගන්නා ලද ප්‍රභල ජනපද විස්සක් පමණ ප්‍රතිගාල් යුගය වන විට බෙන්තරනදිය සහ ගිම්හ නදිය අතර පැවති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ අතරෙන් බලවත් ජනපද පහක් විය. ඒ කටුදම්පේ, මාදම්පේ, නෙල්ලිගොඩේ, වේනාගම සහ වේරාගොඩ ලෙසිනි. සලාගම පිරිස් ඉතා ඉක්මනින් කිපෙන බමුණන් විය. සලාගම බමුණු ග්‍රාම තුල එක් සතියක් තුල කපාකොටා සිදුකළ ඝාතන විසිපහක් වාර්ථාවූ බව ක්වෙයිරෝ දේශාඨන වාර්ථාවේ සඳහන් වේ. කුලී හමුදාව හෙවත් ප්‍රතිගාල් ලස්කිරිඥා හමුදාව නිර්මාණය කරවීමට සුදුසුම පිරිස සලාගම බමුණන් බව ප්‍රතිගාලුන් වටහා ගන්නා ලද්දේ එබැවිනි. එසේම කෝට්ටේ රාජධානියට සමකාලීන සමය වන විට සලාගම බමුණන් සමඟ ගොවිකුල කිසිදු අයෙකු විවාහ ගණුදෙනු සිදු නොකළේය. ගොවිකුල පිරිස් බහුල උඩරට ප්‍රදේශ සමඟ විවාහයක් සිදු වූවේ කනකැස්බෑවුන් විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් ඉතා අවම අවස්ථාවකදී පමණි. එබැවින් සලාගම බමුණන් වෙත උඩරට ගොවිකුල පිරිස් වෙතින් පලිගැනීමේ අවස්ථාවක් ප්‍රතිගාලුන් සකසා මෙසේ දී තිබිණ. සලාගම පිරිස් යොදාගෙන ප්‍රතිගාලුන් විසින් ලස්කිරිඥා හමුදාවේ විශේෂ බලඇණි නිර්මාණය සිදුකරන ලදී. මෙසමයේ ශරීර ප්‍රමාණය අඩු බැවින් ශින්න බමුණන් සේනාව සඳහා යොදාගත්තේ නැත. අනෙක් සලාගම පිරිස් කුලීහමුදාවට සම්බන්ධ වීමෙන් ලද වරප්‍රසාද හමුවේ සමාජයේ දනපතියන් ලෙසින් නැගී ආවේය. ක්‍රි.ව. 1590 සමයේදී දකුණේ සලාගම සෑම නිවසකම එක් පුද්ගලයෙකු හෝ කුලී හමුදාවේ සේවය කළේය. හමුදා සේවය නිසාවෙන් සලාගම බමුණන් බලවත් මෙන්ම ඉතා රුද්‍ර ස්වරූපයට පත් විය. සුළුවට අරඹන ලද ගැටළු මිනීමැරුම් දක්වා වර්ධනය කරවා ගත්තේය. දුප්පත් බමුණු පිරිස් පාගා පොහොසතුන් නැගී ආවේය. ශරිර ප්‍රමාණය කුඩා වූ ශින්න බමුණන් ව ආක්‍රමණශීලී ආකාරයෙන් තම කාර්‍යන්ගේ යෙදවීම සිදුකරගන්නා ලද්දේ ඒ අනුවයි.හමුදා සේවය ප්‍රධානම රැකියාව වූ මෙසමයේ රැකියා නැති ශින්න බ්‍රාහ්මණයෝ සලාගම බමුණන්ගේ වහලුන් බවට පත් වීය. කුඩා වැටුපක් වෙනුවෙන් බොහෝ දුෂ්කරතා වින්දේය.මෙසේ අසරණ වී වහල් තත්වයට පත් ශින්න බමුණන් අත්පත් කරගැනීම සඳහා සලාගම බමුණු පිරිස් තම පවුල්වලම එකඑකා පරයා ගැටුම් ඇති කරගත්තේය. අතිශය දරුණු ආකාරයේ සලාගම සලාගම ගැටළු ඇතිවිය. මෙම සලාගම සලාගම ගැටුම් නිසා පසුකාලයේ සමාජ සම්මුතියක් මගින් සලාගම බමුණු එක් පවුලක් සඳහා ශින්න බ්‍රාහ්මණ එක් පවුලක් ලෙසින් පත් කරගන්නා ලද්දේය. සලාගම බ්‍රාහ්මණ කුලයේ ශින්න නැමති උපකුලයේ නිර්මාණ කතාව සිදුවූවේ එලෙසිනි.

වස්කඩුව ජනාවාස වීමේ ජනප්‍රවාදය සමඟ හින්න උපකුලයේ උපවර්ග බිහි වීමේ පුවත අත්වැල් බඳගෙන ඇත්තේය. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රයේ සඳහන් වන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රභලම කුල කණ්ඩණය වස්කඩුවේ ඇරඹුණ බවය. වස්කඩුව ජනප්‍රවාද වීම ධර්මසේන රජ කුමරුවානන්ගේ පුවත සමඟ බැඳීපවතී. සිතාවක රාජසිංහ රජුගේ ධර්ම නැමති පුතු සහ තම්මිට නම් සොලී කත දාව උපන් ධර්මසේනකුමරු මව සමඟ නිරිත දිග වෙරළ තීරයේ වස්කඩුව ග්‍රාමය වෙත පැමිණ දිවි ගෙවා තිබෙන්නේ ප්‍රතිගාල් සහයෙනි. ප්‍රතිගාල් සහයෙන් ධර්මසේන කුමරු වෙත ප්‍රතිගාල් සහයෙන් කොස්ගොඩ සිට සලාගම ලස්කිරිඥා කුලීහමුදා කණ්ඩයක් ත්‍යාග හමු විය. එම හමුදා බාරව කටයුතු සිදුකළ දොන් විජේසේකර නම් කපිතාන් වරයා කුලී හමුදාවේ සේවය කළත් ප්‍රතිගාල් විරෝධීනට සහය දක්වන්නෙකු විය. ධර්මසේන කුමරුවා ප්‍රතිගාල් විරෝදියෙකු බවට පත් කරවා ගත් ඔහු ධර්ම කුමරුට ජාතියේ නිදහස් අරගලයට මුල පිරීම සඳහා ඇරයුම් කළ අතර හොර රහසේ හමුදා රැස් කළ නමුත් ධර්මසේන කුමාරයා ද අකල් මරණයකට ගොදුරු විය. කොස්ගොඩ සිට කුලී හමුදා නැව් පැමිණියේ වස්කඩුවේ නව ජනපදයේ පදිංචි වීම සඳහාය. මාදම්පේ සිට පැමිණි සලාගම පිරිස් පදිංචි වූවේ වස්කඩුවේ දකුණු කොටසේය. මහ වස්කඩුව ලෙසනම් වූවේ මහ දම්පාව සිහිවීම පිණිසය. සලාගම කුලී හේවා පන්න හතක් සහ ඔවුනගේ පවුල් පරිවර සමඟ පැමිණි නැව් හත සේන්දු වූවේ පොතුපිටියේ තේච්චිතොට නම් වරායට ය. සලාගම පරිවාර සමඟ පැමිණි හින්න උප කුල පිරිස් බොහොමයක් පොතුපිටියේ පදිංචි වූවේය. ඒවන විට පොතුපිටියේ ප්‍රධානම ජනවර්ගයවූවේ ගොවිගම කුලයට අයත් පට්ටි නැමති උපකුලයේ පිරිස් ය. හින්න බමුණු කුලය සමඟ මෙම පට්ටි උපකුලය විසින් සිදුකළා වූ විවාහ නිසාවෙන් පට්ටි නම් උප වර්ගයක් හින්න උපකුලයට ද පැමිණියේය. වස්කඩුවේ විසූ රුවන්පුර ඇතුළු රදාපිරිස් සමඟ හින්න බමුණන් සිදුකළ විවාහ නිසාවෙන් හින්න උපකුලයේ රදා උපවර්ගය බිහිවූවේය. එසේම ගොවි කුලයේ ගොවි උපකුලය සමඟ සිදු වූ විවාහ නිසාවෙන් සුත්ත නැමති ගොවිගමහින්න යන උපවර්ගය බිහිවිය. සලාගම කුලයේ හින්න උප කුලයේ පහත්ම උප වර්ගය වන්නේ ගැහුත්තර සහ බෙරවා උප වර්ග බව පිළිගැනේ. පරංගි යුගයේම මෙරටට පැමිණි දෙමළ පිරිසක් ශින්නාවන් සමඟ විවාහ වීම නිසාවෙන් ගැහුත්තර උපවර්ගය නිර්මාණය වී තිබෙන අතර බෙරවාකුලය සමඟ හින්න විවාහ සිදුව බෙරවහින්න උපවර්ගය නිර්මාණය වී තිබේ. සමාජය විසින් උසස් යැයි පිළිගන්නා කුලයේ සිට පහත් යැයි පිළිගන්නා කුල දක්වාම ශින්නාවන් සමඟ පොතුපිටියේ දී විවාහ සිදුකිරීම හේතු කොටගෙන මෙම නිරිත වෙරළේ පිහිටි පොතුපිටිය ප්‍රදේශයේ විසූ ශින්නාවෝ සේවාකුලයක් නොවන ලෙසින් වෙන් වීම සිදුවිය.එසේම සමාජ සම්මුතියෙන් බලවත් සමාජයක් ගොඩනගා ගන්නා ලදී.(වස්කඩුවේ ධම්මජෝතී හිමියන්ගේ වස්කඩු වර්ණනාවේ සඳහන් වන්නේ හින්නාවන් පොතුපිටියේ ප්‍රාදේශීය රාජ්‍යක් ගොඩනගාගෙන පැවති බවත් වෙනත් ඕනෑම කුලයක පෙරහර පොතුපිටිය හරහා ගමන් කරන කළ බෙර හොරණෑ තාලම්පොට ශබ්ද වාදනය සිදු නොකරමින් නිශ්ෂබ්දව ගමන් කළ යුතු බවය.). වෙනත් ප්‍රදේශවල සලාගම පිරිස් විසින් හින්න උපකුලයට සිදුකළ කුල පීඩනය පොතුපිටිය තුලදී ඔවුනට අත් විදීමට සිදු වූවේ නැත්තේ එබැවිනි. පොතුපිටිය හින්න ප්‍රාදේශීය රාජ්‍යය විශේෂිත ආකාරයකින් සමාජ සංවර්ධනයක් සිදුවිය. එනම් නව ආකාරයෙන් වර්ධනය වූ හින්න උපකුලයේ ගොවිගම පට්ටි රදා ගැහුත්තර සහ බෙරවා ලෙසින. හින්න කුලයේ ආරක්ෂිත කණ්ඩායම් ලෙසින් පොතුපිටිය හින්නාවෝ වැජඹෙන ලද්දේය. එසේම පසුකාලයේ හින්න උප කුලයේ මුදුන් මල්කඩ බවට පත්ව ඇත්තේද පොතුපිටිය ග්‍රාමයයි. එනමුදු පොතුපිටිය ග්‍රාමයේ නොපැවති කුල පීඩනය වෙනත් ග්‍රාම තුල දක්නට නොලැබිනි. පොතුපිටිය ට ප්‍රධානම ලෙස හින්න උපකුලය පැමිණි අම්බලන්ගොඩ වේනගම හලාගම පිරිස් විසින් ආක්‍රමණය කළේය. එහි විසූ හින්න ප්‍රජාව වෙත අඩම්තේට්ටම් කළේය.ග්‍රාම නාමය වේනාමුල්ල ලෙසින් වෙනස් කළේය. ලංදේසි යුගය වන විට පොතුපිටියෙන් බිහිවූ සුත්ත,පට්ටි,ගැහුත්තර සහ බෙරවා යන උපවර්ග වල ප්‍රජාව පොතුපිටිය හැර වෙනත් ප්‍රදේශවලදී සලාගම කුලයට බැලමෙහෙවර කිරීම සඳහා මෙසේ උපවර්ග වෙන්ව සිටින බවට මතයක් පැමිණියේය. එබැවින් සලාගම පිරිස් විසින් මෙම උපවර්ග තම කාර්‍යන් සඳහා යොදාගැනීම සිදුවිය. එනම් සලාගම කුඹුරු අස්වැද්දීම සඳහා ගොවිගම හින්න හෙවත් සුත්ත ප්‍රජාවද, සලාගම හරක් පාලනය සඳහා පට්ටිහින්න ප්‍රජාවද, සලාගම අපුල්ලන කටයුතු සඳහා රදා හින්න ප්‍රජාව ද සලාගම කුලයේ ජෝතිශ්‍ය කටයුතු සඳහා බෙරවාහින්න ප්‍රජාව ද පැවති පහත්ම කටයුතු එනම් මළමිනී එසවීම මළබෙර වැයීම මිනියට තල්පත් එසවීම මිනීවල් කැපීම, භෂ්මාවශේෂ ජලයේ පාකිරීම සඳහා ගැහුත්තර ප්‍රජාවද යොදාගත්තේය. ලංදේසි සමග විශේෂ ගණුදෙනු සිදුකළ සලාගම ප්‍රජාව කුරුඳු කර්මාන්තය ට යොමුව දශකයක් පමණ ඇතුලත දී සමාජ වෙනසක් සිදුකරමින් ධනපතියන් ලෙසින් නැගී ආවේය. හින්න උපකුලය මත පැවති කුලපීඩනය එමනිසා දෙගුණ තෙගුණ වී වර්ධනය විය. දකුණේ සලාගම පිරිස් වස්කඩුව ග්‍රාමයේ කටයුතු සඳහාද ඇඟිලිගසමින් සිටියේය. ක්‍රිස්තු වර්ශයෙන් 1700ශත වර්ශය ඇරඹී පැවති මෙම යුගයේ සලාගම පිරිස් වේගයෙන් පොතුපිටිය සහ මොල්ලිගොඩ හින්න ජනපද ආක්‍රමණය සිදුකළේ කුරුඳුකාර ධනවත් බව රුකුලක් කරගනිමිනි. මෙය පොතුපිටියේ ගම්පාලන ගොවිගම හින්නාවන් විසින් දුටුවේ මහා විනාශයක පෙරනිමිති වශයෙනි. වහාම ඒ සඳහා පියවර ගත් ඔවුන් මොල්ලිගොඩ ප්‍රභල කුරුකුල ධනපති පන්තියේ (සුසෙව්හේවගේ)උපකාරයෙන් ලංදේසි ආණ්ඩුව වෙත සම්බන්ධ වී රෙපරමාදු ක්‍රිස්තියානි දහම වැළඳගත්තේය. ලංදේසින් විසින් නව ක්‍රිස්තියානි බැතිමතුන්ගේ කුලපීඩනය අවම කරවීම අරමුණින් පොතුපිටියේ බොහෝ පිරිස් ගොවිගම සමාජය වෙත ඔසවාතබන ලදී. ගම්බිම් වරප්‍රසාද ගරුනම්බුනාම ලබාදෙන ලද්දේය. මෙසේ රෙපරමාදු ආගමට පළමුව යොමුවූ තැනැත්තා පිළිබඳ වර්ශකණ්ඩරාෂ්ඨයේ සඳහන් වේ. ඔහු මීගමුව හිංගගේ කිලිමන්ටුවා ප්‍රනාන්දු ය. ලංදේසි විසින් නව ගොවිගම සමාජයවෙත ඔහුගේ පරපුර ඇතුලත් කරන ලද්දේ මීගමුව හිංගගේ නාමයේ හිංග කොටස ඉවතලමිනි. එසේම රාජපක්ෂ විජේවර්ධන නම් නම්බුනාම ප්‍රධානය කරමිනි. බොහොමයක් දෙනා හිංග නාම අතැහැරියේය. ඇතමුන් පැවති සලාගම නාමය පමණක් භාවිත කළේය.(අතීතයේ හින්න පවුල් සඳහා පැවතියේ සලාගම සේව්‍ය වාසගම සමග මුසුවූ හිංග හෝ ලෙයිනගේ වැනි නාමයකි. නිදසුන් ලෙස කළු හත් සලාගම පරපුරට අයත් හින්න පරපුර කළුහිංග වශයෙනි.) මෙසේ පැවති සලාගම සේව්‍ය පක්ෂයේ නාමය (උදාහරණ ප්‍රකාරව කළුහත්)භාවිතය ගොවිගම නව පරපුර වෙත තරම් නොවන බව ඒත්තුගැන්වූ රෙපරමාදු පූජකයෝ නාම අලංකාර ලෙසින් ගොඩනැගුවේය. නිදසුනක් වෙත පැවති ජසෙන්තුහිංග පරපුර පසුව ජසෙන්තුහේවගේ , ජසෙන්තු ප්‍රනාන්දු අප්පුහාමිලාගේ, ජසෙන්තු ආරච්චිලාගේ ආදී වශයෙනි. වස්කඩුවේ නව ගොවිගම ප්‍රජාව සහ ඉපැරණි ගොවිගම ප්‍රජාව අතර ක්‍රිස්තු වර්ශයෙන් 1800ශත වර්ශය වන විට මහත් ගැටළුකාරී වාතාවරනයක් ඇති විය.ලංදේසි නව ගොවිගම ලෙසින් නම් කළාට මොකද පැවති ඉපැරණි ගොවිගම ප්‍රජාව නව ප්‍රජාව හැඳින්වූවේ "හින්නගොය්යෝ" ලෙසින. එසේම නව ගොවිගම පිරිස වෙත මල්වතු නිකායේ පැවිද්ද ලබාගත නොහැකි වූවේය. එසේම නව ගොවිගම ප්‍රජාව විසින් අමරපුර සලාගම පැවිද්ද පහතලා සැලකූ බැවින් අමරපුර නිකායේ පැවිද්ද ලබාගැනීමද සිදුකළ හැක්කක් නොවීය. මෙම ගැටළුව මහා විනාශයක් ලෙසින් නැගී පැමිණි අතර සිතාවක රජ පෙළපත සහ තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් පරපුරෙන් පැවතෙන පරිවාර පවා මල්වතු නිකාය මගින් හින්නගොය්යෝ ලෙසින් හැඳින්වීම අරඹන ලදී. මෙම ගැටළුවට පිළියම් කළ පොතුපිටියේ විසුවා වූ තුඩුගල සහ ධර්මසේන රජපවුල් දෙකේහිම උරුමය පැවති යකුන්දූවේ හිටිරාළලාගේ දෝන මාරියා පෙරේරා ධර්මසේන ළමාතැනී විසින් වස්කඩුවේ සහ පොතුපිටියේ විසූ ධානපතීන්ගේද සහයෙන් වස්කඩුවේ උපසම්පදාව අරඹන ලද්දේය. එය හුදෙක්ම වෙන් කළේ නව ගොවිගම ප්‍රජාව ට ඇතුලත් වූ හින්නවංශිකයන් සඳහාය. මල්වතු නිකායේ පැවිද්ද සහ අමරපුර නිකායේ උපසපුව ලබා අරඹන ලද එම නිකාය මුල්කාලයේදී අමරපුර මල්වතු සද්දර්ම යුක්තික නිකාය ලෙසින් එය හැඳින්වූ අතර පසුකාලීනව බොහෝ පක්ෂවලට බෙදීගියේය. මෙම නිකායේ ඇරඹුම පිළිබඳ බොහෝ දෙනා බොහෝ අදහස් මතුකරයි. වැඩි පිළිගැනීම වන්නේ නිත්‍ය රාජකීය උරුමය සහිත දෝන මාරියා ළමාතැනී විසින් මෙම නව උපසපුව අරඹන ලද්දේ තම පරිවාර අතැතිව පැවති නිත්‍ය මල්වතු උපසපුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බවය. නව ගොවිගම පක්ෂයට ඇතුලත් වූ ප්‍රජාව තුලින් නව උපසපුව වෙත යොමුවූ මුල්ම පුද්ගලයා වූවේ කොරොස්දූවේ ගුණරතන සිල්වත් උන්නාන්සේය. මල්වතු නිකාය අතැතිව පැවති පොතුපිටිය වාලුකාරාම විහාරයේ නව ගොවිගම පක්ෂයේ මුල්ම විහාරාධිපති තත්වයට පත් වූවේ මුන් වහන්සේය. මල්වතු නිකාය පහතරට දී ඇරඹුණු මුල්ම ස්ථානයෙන් එසේ අතුගෑවී ගොස් පොතුපිටිය පූජාරාමය වෙත විතැන්විය. පහතරට මල්වතු නිකාය අත්පත් කරගෙන සිටි දෝන මාරියා ළමාතැනීගේ වියෝවෙන් පසු පූජාරාම විහාරය ද නව ගොවිගම පක්ෂය වෙත අත්පත් විය. හින්නගොවිගම කුලය විසින් ලංකාව බබුලුවන පුන්‍යායතන බවට පොතුපිටිය වාලුකාරාමය සහ පූජාරාමය පත් වූවේ ඉන් පසුවයි.

වාසගම් නිර්මාණය

[සංස්කරණය]

ශින්න උපකුලයේ වාසගම් නිර්මාණය වීම අනෙක් කිසිඳු කුලයක වාසගම් නිර්මාණය වූ ආකාරයෙන් සිදූවූවක් නොවේ. ශින්න උපකුලයේ ව‍ර්ථමානයේ පවතින වාසගම් නිර්මාණය සිදු වූවේ පරංගියුගයේදීය. ශින්නාවන් බෙදාගන්නා ලද සලාගම බමුණන් තම වාසගම එක් කරමින් තම පවුලට අයත් ශින්න පවුල් ආරක්ෂා කළේය. සලාගම පවුල් ව්‍යාප්ත වීම් සමග ශින්න පවුල් ව්‍යාප්ත වීම දක්නට ලැබිණ. නිදසුන් වශයෙන් සලාගම දියණියක් විවාහ වන විට ශින්න බමුණෙකු ත්‍යාග කරවීම සිදුකළේය. වර්ශකණ්ඩරාෂ්ට්‍රය කෘතියේ එලෙසින් වස්කඩුවේ සිට වෙනත් සලාගම ග්‍රාමයක් වෙත ත්‍යාග කළ පිරිසක් පිළිබඳ පුවතකි. පරංගි යුගයේ සිදුවූ ලංකා ඉතිහාසයේ මුල්ම නම්ගම් පිටපත් කිරීම සිදුකරන අවස්ථාවලදී සලාගම නාම සමඟ ශින්න නාම සටහන් කිරීමේදි සලාගම නාම ලෙසින්ම ශින්න නාම සඳහන් වීම සිදුවිය. එයට හේතුව වූවේ සේවක සහ සේව්‍ය පක්ෂ දෙකෙහිම එක් නාමයක් පැවතීම නිසාවෙනි. ඇතැම් සලාගම පිරිස්ගේ අසතුටට මෙය සුවිසල් කාරනයක් විය. මෙම හේතුව පදනම් කරගනිමින් සලාගම නිවෙස්වලට අයත් ශින්න නාම සඳහන් කරන අවස්ථාවලදී සලාගම නාමය සමඟ හිංග යන්න සඳහන් කරන ලදී. නිදසුනක් ලෙසින් කරුණාමුණි පරපුරට අයත් ශින්න පරපුර කරුණාමුණිහිංග ලෙසිනි. ඇතැම් විට ශින්න වාසගම සලාගම හිමිකරු විසින් නම් පිටපත වෙත එක් කරන ලද්දේ සලාගම නාමය සමග ශින්න සේවකයන් ලෙස හඳුනාගත හැකි වදනක් සමඟිනි. එනම් අපුල්ලනගේ, හිංග, ලෙයිනගේ, ආදී වශයෙනි. ශින්න බමුණන් සේවය කරන ලද්දේ සලාගම පිරිස් වෙත පමණි. නමුදු වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ අතීත පුවත ගොවිගම කුලයට අයත් වූ හින්න පිරිසක් පිළිබඳ සඳහන් කරයි. ගොවිගම කුලයට අයත් ආඩම්බරහේවගේ හෙවත් (ආඩම්බර යන්න පෘතුගීසි බසින් සුසෙව්) සුසෙව්හේවගේ පරපුරට අයත් වූ සුසෙව් හිංග පරපුර පිළිබඳ පුවත එලෙසිනි . එම පුවතට සමකාලීන වූ තවත් ගොවිගම කුලයට අයත් වූ හින්න සේවක පරිවාර පිළිබඳ පුවතක් සඳහන් වන්නේ වස්කඩුව ප්‍රදේශයෙනි. ඒ යකුන්දූවේ හිටිරාළලාගේ පරපුර හෙවත් සීතාවක නෑ පරපුරක පුවතක් තුලයි. යකුන්දූවේහිංග හෙවත් පසුව දූවෙහිංග (පසුකාලයේ පොතුපිටියේ දූවගේ වාසගම) වූ ශින්න වාසගම දරන පිරිස් එකී රදළ පරපුරට සේවය කළ බවය. මෙම ගැටළුව නිරාකරණය කළ වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි සඳහන් කරන්නේ සලාගම කුලය සමඟ වෙනත් ප්‍රාදේශීය ප්‍රභූන් සිදුකළ විවාහ හමුවේ එම සේවක පිරිස් හුවමාරුව සිදුව ඇති බවය. ශින්න උපකුලයට අයත් ඉපැරැණි පවුල් සියල්ලකටම පාහේ හිංගවාසගම යෙදීම සාමාන්‍ය සිරිත විය. ශින්න උපකුලයේ අභිමානවත් වාසගම් අතර පුලහිංග, සුසෙව්හිංග, මිගෙල්හිංග,බස්තියන්හිංග, ජසෙන්තුහිංග, මණික්කුහිංග, රණහිංග, මුණහිංග, වීරහිංග කාහිංග දේහිංග දූවගේ මීගමුවගේ රුවන්පුරගේ හාරඹගේ හුලත්තහිංගගේ නාම කැපී පෙනේ. ලංදේසි සමයේදී ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරවීමේ ප්‍රබල ව්‍යාපාරයක් පැවතිනි. එකී අරමුණ නිසාවෙන් ලංදේසින් විසින් ගොවි කුලයට අයත් නොවූ පිරිස් වෙත වරප්‍රසාද ලබා දුන්නේ ක්‍රිස්තියානි දහම වැළඳගන්නා විට කුලයෙන් උසස් කරවමිනි. මෙය හිංග උපකුලය විසින් තම ඉපැරැණි වරප්‍රසාද නැවත ලබා ගැනීමේ මාර්ගය ලෙස දුටුවේය. එය හින්න කුලවාසීන් රොතුබුරුතු ලෙස කතෝලික දහම වළඳගැනීම ට හේතුව විය. හින්න බොහෝ පිරිසක් ගොවිගම කුලයට උසස් කළේය. නම්බු නාම වරප්‍රසාද ලබා දුන්නේය. හිංගනාම හේවා නාම ලෙස වෙනස් කළේය. අපුල්ලනගේ ලෙයිනගේ නාම වාසගමෙන් හලාදැම්මේය. නම අග පැවති ප්‍රනාන්දු නාමය වෙනුවට ද සිල්වා නාම පටබැඳුනේය.රාජපක්ෂ , විජේවර්ධන , ජයසේකර ආදී ගරි නම්බු ලැබුනේය.

දහනවවන සියවස සහ පසු කාලය

[සංස්කරණය]

දහනවවන සියවස වන විට නව ගොවිගම ප්‍රජාව ලෙස නැගී සිටියාවූ ප්‍රජාව අතරෙන් ධානපතියන් බිහිවූ යුගයක් විය. පොතුපිටියේ විසූ ජාකෝලිස් ප්‍රනාන්දු නම් කංකානම් විසින් පොල් කර්මාන්තය මගින් ඉතා දියුණුවක් ලැබුවේය. හින්න වංශයට අයත් වූවෙකු ලැබුවා වූ සුවිශාලම දියුණුවට පත් වූ ඔහු තම දියණිය වෙත විවාහ ගණුදෙනු සිදුකරවන ලද්දේ ඉන්දියාවේ කොරමැණ්ඩල් මහරාජා කෙනෙක් සමඟිනි. කළුතර පානදුර ප්‍රදේශයේ සුවිශාලම කෝටිපතියා වූ ඔහු තම මුණුබුරු පිනෙස් ප්‍රනාන්දු වෙත තම සම්පූර්ණ ධනය උරුම කරවා දුන්නේය. (පිනෙස්ගේ පියා කුරුමැණ්ඩල් මහරාජා කෙනෙක් වූ බැවින් ඔහු හින්නවංශයට අයත් නොවේ.) පිනෙස් විසින් තම මුත්තණුවන් උපයන ලද්දා වූ ධනය පරිහරණය කරවන ලද්දේ පුණ්‍ය කටයුතු සඳහා පමණකි. පොතුපිටිය මහාවිද්‍යාලය එහි මූලික පුන්‍ය කර්මයයි. එසේම පිනෙස් විසින් පානදුර රංකොත් වෙහෙර පොතුපිටියේ වාලුකාරාමය වස්කඩුවේ අභිනවාරාමය මොල්ලිගොඩ පිරිවෙන් විහාරය ඇතුලු බොහෝ විහාරස්ථාන කරවීමට උපකාර කළේය. ගොවිගම කුලයට උසස් වූ හින්න වංශිකයන් වෙසෙන්නා වූ පොතුපිටියේ පිරිස් ඉතා ආඩම්බරකාර පිරිසක් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පොතුපිටිය ප්‍රදේශයේ හින්න සංස්කෘතිය දහනවවන සියවස අවසන් වීමට පෙරම අවසන්ව පැවති අතර හින්න කුලයෙන් විවාහ වීම් ඉතා අවම වූ අතර ගොවිගම කරාව විවාහ ඉතාජනප්‍රිය තත්වයට පත් විය. විසිවන සියවසේ ලංකාවේ ජනාධිපති ධූරයට පත් වූ අයෙකු වෙත පවා පොතුපිටියෙන් විවාහයක් සිදුකරවා ගැනීමට නොහැකි වූවේ පොතුපිටියේ ප්‍රජාවගේ ආඩම්බරකාර බව නිසා බව මතයයි . නව ගොවිගම පක්ෂය වෙත ඇතුලත් වූ ප්‍රජාව ලංකාවේ මුළු හින්න ජනයා අතරෙන් සියයට තිහක් පමණ ප්‍රජාවකි. විසිවන සියවස වන විට නව ගොවිගම කුලයට අයත් නොවූ හින්න වංශිකයන් ද ඉතිහාසයේ සංධිස්ථාන ඇතිකරමින් නැගී ආවේය. ඒ අතර ශ්‍රීමත් ඒ.ඊ. ගුණසිංහ මහතා කැපී පෙනේ. කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනීසිටියා වූ ඔහු ලංකාවේ ඔටුණු නොපලන් රජු ලෙසින් වරක දී විද්වතුන් ප්‍රකාශ කරයි. දහනවවන සියවස මැදි භාගයකදී රචනා වූ වස්කඩු බද්ද විවරනය ග්‍රන්ථයේ සඳහන් වන්නේ වාද්දුවේ සිට කළුතර අතර පැවති වාද්දුවස්කඩු දෙබද්දේ පමණක් හින්න වංශිකයන් නව ගොවිගම ප්‍රජාව හැර සලාගම පිරිස් මෙන් දෙගුණයක් වන බවය. හින්න වංශයට අයත් වලව් ලෙසින් විද්වතුන් විසින් හඳුන්වන පොතුපිටිය මොල්ලිගොඩ සහ වස්කඩුවේ පිහිටි වලව් විසි එක නිසැකවම හින්න වංශයට අයත් බව පිළිගත නොහැකි බව පසු කාලීන විද්වත් මතයයි. මේ වලව් විසි එක අතරෙන් එකොලහක්ම පිහිටියේ පොතුපිටියේ ය. හින්නවංශිකයන් අතරෙන් නව ගොවිගම පිරිස නිර්මාණය වූ පසුව බිහිවූ මෙම වලව් හින්න වංශික වලව් ලෙස පිළිගත නොහැක්කේ එබැවිනි. ලංකාවේ ජන ප්‍රමාණයෙන් වර්ථමානය වන විට සලාගම කුලයෙන් වෙන්ව ස්වාධීනව හින්න ලෙස දිවිගෙවන වංශිකයන් ජනගහනයෙන් සියයට දෙකකටත් වඩා කුඩාප්‍රමාණයක් වේ.

සුදුමාල් දේවතා බණ්ඩාර

[සංස්කරණය]

සුදුමල් දේව වන්දනාව දහනවවන සියවසේ අරඹන ලද වන්දනාවකි.සීනිගම් දේවාලයේ දෙවොල් දේව ආභාශය ඇතිව පොතුපිටියේ මලකටුවේ හින්න බ්‍රාහ්මණ පිරිස් විසින් මෙම වන්දනාව අරඹා තිබේ. සුදුමල් දෙවිඳු යන්න ඉන්දියාවේ සිට දෙවොල් දෙවියන් ලෙසින් ම පැමිණියා වූ රෞද්‍ර ගති ඇති තරුණයෙකි. ජනප්‍රවාදයට අනුව ඔහු සාමකාමී මිනිසුන් වෙසෙන ප්‍රදේශයක් සොයා දික්වැල්ලේ සිට තේච්චිතොට දක්වා පැමිණ තිබේ. වරෙක වේරගොඩ දී ගිමන් හැරි ඔහු එහි වෙසෙන පිරිස් පිළිබඳ පැහැදී එහි පැළපදියම් වීමට තැත්කළද විශ්ණු දෙවියන් මැදිහත් වීමෙන් ප්‍රදේශයේ රෞද්‍ර බව වටහා දී පිටත් කර යවා තිබේ. වරෙක වැලිතොට දී පත්තිනි දෙවිඳු විසින් හරවා යවා තිබේ. වරෙක කළුවම්මෝදර දී නැවත වරක් විශ්ණු දෙවියන් පළවා හැර තිබිණ.පොතුපිටියේ තේච්චිතොට දී ප්‍රාදේශීය දේවත්වයට පත් සීලරතන දෙවිඳු විසින් පිළිගෙන එය වැඩවාසය කරවීමට උචිත භූමිය බව පසක් කරදී තිබේ. පසුකාලීනව සුදුමල් දෙවිඳු ලෙසින් ගල්කැටියාගොඩ අල්ලිදෙවොලේදී පූජෝපහාරයට පත්ව ඇත්තේ උන් වහන්සේය. අල්ලිය නම් දේවාලයේ අතීතය දහාටවන සියවස දක්වා ඈතට දිවයයි. සලාගම කුලයට අයත් දරුණු කාන්තාවන් විසූ ප්‍රදේශයක් වූවේ කවුඩුදූව නම් ප්‍රදේශයයි. එහි විසූ එම කතුන් යක්ෂ ආත්ම පුදමින් මිනිස් බිලි පූජා සිදුකරවා තිබේ. ජනප්‍රවාදයට අනුව සුදුමල් දෙවිඳු මෙම යක්ෂ කතුන් අල්ලා ගැටගසා එම ශරීරවලින් මුදවා තිබේ. සුදුමල් දෙවිඳු ඔහුගේ සහචරයන්ට ලිය නැතහොත් කාන්තාව අල්ලාගන්න යැයි විදාන කරවා ඇත්තේ අල්ලපන් ලිය යනුවෙනි.අල්+ලිය පසුව අල්ලිය ලෙස ව්‍යවහාර කරවා තිබේ. අලගියවන්න මුකවෙට්ටාචාරීන් පවසන්නේ පොතුපිටියේ විසූ ආදීවාසී ජනකොට්ටාසයකි . ඔවුන් ගස්ගල් සතුන් වන්දනාමාන කරමින් ගිනිදෙවියන් පුදනු ලැබුවෝය. ඔවුන් වතාවත් කළේ අල්ලි ගුබ්බෑයම් තුලයි යනුවෙනි. වස්කඩු බද්ද රචනා කරන ලද දහ නවවන සියවස වන විට මෙහි ආඬිගුරු නොහොත් කපු පදවිය දරා තිබෙන්නේ ජසෙන්තුහිංග පරපුර විසින. වර්ථනාමයේ අල්ලිය නැමති දෙවොලක් පොතුපිටියේ පැවතියත් පැවති ඉපැරණි ග්‍රාමය වූ ගල්කැටියාගොඩ නම් දක්නට නොවේ. දහනවවන සියවසේ දී අරඹන ලද්දා වූ නව ස්ථානයක මෙම දේවාලය පවතින බැව් අනුමාන කළ හැක.වාර්ෂිකව පෙරහර පූජා පවත්වන මෙම දේවාලය හින්න උපකුලයේ සංස්කෘතිකාංග එළි දක්වන මනා මණ්ඩපයක් වී ඇත්තේය.

මූලාශ්‍ර

[සංස්කරණය]

වස්කඩු බද්ද විවරණය / තුඩුගල බණ්ඩාර වලිය/පොතුපිටිය බණ්ඩාරවලිය /නාරි සංදේශය / 1977 වස්කඩු පොතුපිටි ගැටළු සමත පත්‍රිකාව/ දෝන මාරියා ළමාතැනී කළ පිංකම් හෑල්ල/ වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර 1863 (වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි)/මහදම්පාගම ටිප්පණිය/වස්කඩුවේ ධම්මජෝති ස්වාමී පුරාණය/පොතුපිටිය රජමහ වෙහෙර (1998) බද්දේගම සුමන හිමි

"https://si.wikipedia.org/w/index.php?title=හින්න_උපකුලය&oldid=533209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි