Jump to content

මුල්කිරිගල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
මුල්කිරිගල රජ මහා විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°07′22.97″N 80°44′10.95″E / 6.1230472°N 80.7363750°E / 6.1230472; 80.7363750ඛණ්ඩාංක: 6°07′22.97″N 80°44′10.95″E / 6.1230472°N 80.7363750°E / 6.1230472; 80.7363750
ද්වාරය:බුද්ධාගම

මුල්කිරිගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුල්කිරිගල බටහිර ග්‍රාමසේවා වසම තුල වූ රමණීය භූමි භාගයක පිහිටා තිබේ. එය මුල්කිරිගල හන්දියේ සිට 2 කි.මි. පමණ දුරකින් පිහිටා ඇත. දික්වැල්ල හෝ තංගල්ල පෙදෙස් වලින් ළඟා විය හැක. විහාරය කුඩා සීගිරිය ලෙසින්ද හැඳින්වේ.

ඉතිහාසය

[සංස්කරණය]
විහාරයේ වූ පැරණිතම බිතුසිතුවමක් (තේලපත්ත ජාතකය නිරූපිතය)

මහාවංශයට අනූව මුල්කිරිගල විහාරයේ මුදුනත වූ ස්ථූපය ක්‍රි. ව. 3 වන සියවසේදී සද්ධාතිස්ස රජ විසින් කරවා තිබේ.[1] මීට අමතරව ධාතුසේන රජ විසින් ස්ථූපයක්ද, වළගම්බා රජ සහ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජවරු විසින් මෙහි ප්‍රථිසංස්කරණ සිදුකල බව අතීත මූලාශ්‍ර හෙළි කරයි.[2]

විහාරයේ පිහිටි ඉහල රජමහා විහාර මළුවෙහි වූ ක්‍රි. ව. 10 වන සියවසට අයත් ශිලා ලේඛනයෙහි මෙම විහාරස්ථානය මුහුදුන්ගිරි ලෙස හඳුන්වා තිබේ. පර්වතයට එක් පසෙකින් මුහුද දිස්වීම මීට හේතු සාදක වී ඇති බව විශ්වාස කෙරේ. එසේම සද්ධාතිස්ස රජ විසින් මෙම විහාරය වෙනුවෙන් සුදුසු භූමියක් සොයනා කාලයේ, වැද්දෙකු විසින් මෙම ස්ථානය පිළිබඳ ලබා දුන් තොරතුරු අනූව, රජු පිරිස සමග මූ කිවු ගල (වැද්දා කියූ ගල) බැලීමට පැමිණ සතුටු සිත් ඇතිව විහාරය කරවූ බව පැවසෙයි. එතැන් පටන් විහාරය මූ කිව් ගල විහාරය ලෙස හැඳින්වූ බව විස්තර වේ.

බෝධිවංශයට අනූව මෙම විහාරය ගිරිබා විහාරය ලෙසත්, එසේම සමහර ස්ථානයන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසත්, පොළොන්නරුව සමයේදී මෙම විහාරස්ථානය සමුද්‍රගිරි විහාරය ලෙස හඳුන්වා තිබේ. යුරෝපීය වාර්ථාවන්හී දැක්වෙන අයුරින් මෙම විහාරය ඇඩැම්බර්ක් ලෙසත් හඳුන්වා තිබේ. යුරෝපීයයන් ශ්‍රී පාද අඩවිය සහ මුල්කිරිගල පටලවාගැනීම මීට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මහනුවර යුගයේදී මෙම විහාරස්ථානය මූලගිරි විහාරය යනුවෙන් විස්තර කොට ඇත.

භූගෝලීය පිහිටුම

[සංස්කරණය]
පහළ මළුවේ වූ ස්ථූපය

මුල්කිරිගල කන්ද, වෙරළබඩ තැනිතලා භූමියෙහි දකුණු දිශාවෙන් පිහිටි ශේෂ කඳු අතරින් උසම පර්වතය ලෙස සැළකේ. එය උතුරින් බෑනගලටත්, දකුණින් බිසෝගලටත්, නැගෙනහිරින් කොන්දගලටත්, බටහිරින් සීලවතීගලටත් මායිම්ව තිබේ.

විහාරයේ සැකැස්ම

[සංස්කරණය]
කෞතුකාගාරය

මුහුදු මට්ටමේ සිට අඩි 672ක් පමණ උස්වූ ගල් පර්වතයෙහි ගොඩනැගූ මුල්කිරිගල රජමහා විහාරය ප්‍රධාන මළු පහකින් සමන්විත වෙයි.[3] සියඹලා මළුව, පහළ මළුව, මැද මළුව, රජමහා මළුව, උඩහ මළුව යන මළු ඊට අයත් වේ. විහාරස්ථාන පර්වතයෙහි මුදුනතට පිවිසීම සඳහා ආසන්න වශයෙන් පියවර 550ක පමණ පඩි තරණය කල යුතු වේ.

  • සියඹලා මළුව - විහාරයේ සියඹලා මළුවට, කෞතුකාගාරය, පන්සල හා විශ්‍රාම ශාලාව අයත් වේ.
  • පහළ මළුව - පහළ මළුවට, ස්ථූපය, බෝධිය, රජමහා නාලෙන් විහාරය, පදුම රහත් විහාරය, සෙල් ලිපිය, පැරණි සීමා මාලකය, භාණක ලෙන සහ ගිරි ලිපිය අයත් වේ. විහාරය සම්බන්ධ කාර්යාලයක්ද මෙම මළුවෙහි පිහිටුවා තිබේ.
භාණක ලෙන
  • මැද මළුව - මීට ස්ථූපය, බෝධිය, මැද මළුව ලෙන් විහාරය, සංඝාවාසය අයත් වේ.
  • රජමහා මළුව - රජමහා මළුවට, සාල ගල් ගේ, සෙල් ලිපිය, පොකුණ, අළුත් විහාරය, නාග විහාරය, පිරිනිවන් මංචකය හා පහන් කණුවක් අයත් වේ.
  • උඩහ මළුව - ස්ථුපය, දෙතිස් ඵල රුහ බෝධිය, ඝණ්ඨාර කුළුණ උඩහ මළුවට අයත් වේ. මීට අමතරව ගැරඩි කපොල්ල හා පොකුණක්ද මෙහි දැකගත හැකිවේ.

මුල්කිරිගල පුදබිම සිතුවම

[සංස්කරණය]

වර්ෂ 1826දී විදේශීය දිය සායම් සිතුවම් ශිල්පියෙකු වූ විලියම් ඩැනියෙල් විසින්, පර්වතයෙහි ඉහල ස්ථූපයත්, පාමුල දිය පහරක් හා වන සතුන් සැරිසරණ ආකාරය දැක්වෙන මුල්කිරිගල පාදක කොට ගත් සිතුවමක් නිර්මාණය කෙරූ අතර එය මුල්කිරිගල පුදබිම සිතුවම ලෙස හැඳින්වේ. මෙම සිතුවමෙහි වූ සාර්ථකත්වය හේතුවෙන් එකල එය සුදු ඒජන්තවරයාගේ නිවසේ තැමිපත් කොට තිබූ බව පැවසෙයි. නමුත් පසුකාලීනව ලන්ඩනයේදී වෙන්දේසි කිරීමට සූදානම් කොට තිබූ මෙම සිතුවම නැවත පරිශ්‍රමයක් දරා මෙරටට රැගෙන ආ බව සඳහන් වේ.

බිතුසිතුවම්

[සංස්කරණය]
ශිවි ජාතකය දැක්වෙන සිතුවමක්

මුල්කිරිගල විහාරස්ථානයේ වූ ලෙන් සිතුවම් මෙරට මහනුවර සිතුවම් සම්ප්‍රදායේ විශේෂ ස්ථානයක් හිමිකර ගනී. මෙහි වෙස්සන්තර, තේලපත්ත හා ශිවි වැනි ජාතක කතා තීරුගත ක්‍රමයට ද්විමාන සිතුවමින් නිරූපණය කොට තිබේ. මෙහිලා විශේෂිත සිතුවමක් ලෙස උඩුකය නිරුවත් ආභරණ පැළැඳි කතුන් බෙර වාදනයේ යෙදෙන අවස්ථාව හඳුනාගැනේ. විහාරස්ථානයේ පැරණිතම සිතුවම් ලෙස රජමහා විහාර මළුවේ තේලපත්ත ජාතක සිතුවම් හඳුනාගෙන තිබේ.

පහළ විහාර මළුවේ පදුම රහත් විහාරයේ වූ තේලපත්ත හා වෙස්සන්තර ජාතක සිතුවම් වඩා විචිත්‍ර සිතුවම් ලෙස සැළකේ. එම සිතුවම් අතර රෝස මල්, මිදි පොකුරු යනාදිය දක්වා තිබීම මගින් මෙරට සිතුවම් කලාව තුල වූ විදේශීය බලපෑම් පෙන්නුම් කරයි.

මූර්ති

[සංස්කරණය]

විහාරයේ වූ ලෙන් විහාර 7 ක් පුරාවට දහ අට රියන් සැතපෙන හා පිරිණිවන් බුද්ධ ප්‍රතිමා, සතර බුදුවරුන්ගේ ප්‍රතිමා හා මතු බුදුවන මෙෙත්‍රී බුදුන්ගේ ප්‍රතිමාවද, අග සව් ප්‍රතිමා හා දෙවි දේවතා ප්‍රතිමා දැකගත හැකිය.

කැටයම්

[සංස්කරණය]
පහළ මළු විහාර ගෙයි සිතුවම්

රජමහා විහාර මළුවේ වූ විහාරයේ ඉදිරිපස කණු වල විශේෂිත කැටයම් දැකගත හැකි වේ. එසේම එහි වූ විශාල පැරණි අල්මාරියේද දැවමය කැටයම් වේ.

විහාර ශිලා ලිපි

[සංස්කරණය]

ගිරි ලිපි

[සංස්කරණය]

වහරලේ ලිපිය

[සංස්කරණය]

පහල මළුවට අයත් ගිරි ලිපිය, ක්‍රි. ව. 6-7 සියවසට අයත් වේ. පුරාණ සිංහල භාෂාවෙන් හා පරාවර්තිත බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් නිර්මිත වේ.

පොකුණේ පර්වත ලිපිය

[සංස්කරණය]

රජමහා මළුවේ දැකගත හැකි ගිරි ලිපිය ක්‍රි. ව. 9-10 සියවසට අයත් වේ. මැදි කාලීන සිංහල භාෂාවෙන් හා අක්ෂරයන්ගෙන් නිර්මිත වේ. කහවැල්කියන්රාළ නම් මහළු අයෙකු මුහුදුගිරි විහාරයේ පොකුණට මස්සක මුදලට ගල් පඩි 4ක් කරවූ බැව් මින් විස්තර කෙරේ.

ලෙන් ලිපිය

[සංස්කරණය]

භාණක ලෙනේ දැකගත හැකි මුල්කිරිගල ලෙන් ලිපිය ක්‍රි. පූ. 2-1 සියවසට අයත් වේ. පුරාණ සිංහල භාෂාවෙන් හා පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් නිර්මිතය. මඤ්ධිමභාණක උපසෝණ නම් භික්ෂුවගේ ලෙන පැමිණි නොපැමිණි භීක්ෂූන්ට පූජා කිරීම ගැන විස්තර ඇතුලත් වේ.

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "මුල්කිරිගල රජමහා විහාරය". අමේසින් ලංකා. 2007-02-03. සම්ප්‍රවේශය 2015-06-24.
  2. ^ "මුල්කිරිගල රොක් මොනාස්ට්‍රි". ශ්‍රී ලංකා හොලිඩේස්. සම්ප්‍රවේශය 2015-06-24.
  3. ^ "මුල්කිරිගල ටෙම්පල්". ශ්‍රී ලංකා වීව්. සම්ප්‍රවේශය 2015-06-24.