මිහින්තලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මිහින්තලය

අම්බස්තලයල, මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්දකි. පුත්තලම - ත්‍රිකුණාමලය (A12) මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. චේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්‍රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනාකලේ කලේ මිහින්තලයේදීය.

ඉතිහාසය[සංස්කරණය]

මිහින්තලය කඳු පාමුල

වංශ කථාවන්හි දැක්හවෙන පරිදි ක්‍රිස්තු පූර්ව 247 දී ඵළඹෙන ඡෙමිට මුල මාසය හෙවත් පොසොන් පුර පසළොස්වක පොහොදා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල රහතන් වහන්සේ නිර්මල දහම් පණිව්ඩය රැගෙන දඹදිව සිට ම්ස්සක පර්වතයට වැඩිසේක. එවකට ලක්දිව රජතුමා වු දේවානම්පියතිස්ස රජතුමා ම්හින්තලයේදි මෙම දුත පිරිසට හමුවුහ. මෙම ‍‍‍‍‍එෙෙතිහාසික හමුවීම සිදුවූ ස්ථානය ශ්‍රි ලාංකික බෞද්ධයෝ ගෞරව බුහුමානයෙන් වැඳුම් පිඳුම් කරති.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදුත පිරිස දේවානම්පියතිස්ස රජතුමා සහ මෙම දුත පිරිස හමුවූයේ පොසොන් මස පසලොස්වක දිනයකදිය. මිහිදු හිමියන්ගේ ලංකා ගමනය පිළිබද සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් වගේම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර තුලින් ද කරුණු රුස්කර ගත හැක. මේ අනුව වංශ කථා පවසන පරිදි ම් බුදුන් පිරිනිවි වසර දෙසිය තිස්හයක් එළඹුණදා මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවේ මිහින්තලයට වැඩිසේක. එහිදි මිහිඳු තෙරුණ්ට දේවානම් පියතිස්ස රඡු හමුවි දෙදෙනා අතර ප්‍රශ්නෝත්තර මාලාවක ස්වරුපයේන් සංවාදයක් ඇති විය. ඉන්පසු මිහිඳු හිමි රජු ගේ බුද්ධිය අවබෝධ කර ගැනිමෙන් පසු රඡතුමා ඇතුළු පිරිසට මිහින්තලා කඳු මුදුනේදි පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලදී.

ආශ්‍රිත උත්සව[සංස්කරණය]

එදාමිහිඳුමහරහතන්වහන්සේ පොසොන් පොහොදා මිහින්තලයට වැඩම කොට සිංහල ජනයාගේ ජිවිතයට නව උදාවක් ලබා දුන්නේය. සිංහල සංස්කෘතියේ නව නැම්මක් ඇතිවුයේය. මෙම උත්තම සිද්ධිය සිහිපත් කරමින් සෑම වර්ෂයකම පොසොන් පොහොදා සිංහල ‍බෞද්ධ ජනයා මිහින්තලය වැද පුදා ගැනිමට එක්රොක් වේ. මේ අයුරින් මිහින්තලය යනු සිංහල බෞද්ධයන් අපට ඉතා පාරිශූද්ධ වු සුවි‍ශේෂ ස්ථානයකි. ඒ නිසාම පොසොන් මාසයේ මිහින්තලයට වන්දනා ගමන් යාමට පුරුදුව සිටිති.

පුරාණ ඉදිකිරීම්[සංස්කරණය]

පුරාණයේ සිටම මිහින්තලය නැඟීමට පියගැට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. එම ඉදි කිරීම් දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාර ගෙයක් ද, භික්ෂුන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගුහා 68 ක් ද කරවා ඇත. ඉන් අනතුරුව මිහින්තලය ආශිතව විහාරාරාම කීපයක් ඉදි වී ඇති අතර එවා එම යුගයට ආවේණික ලක්‍ෂණ දරණු දැකිය හැකිය. සෙල්ලිපි, මැඩපත්, ලෙන්ලිපි, කටාරම් ලිපි ආදි පුරාවිද්‍යාත්මක සාධක තුලින්ද මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ. මිහිඳු හිමියන්ගේ පැමිණිම පිළිබඳ කරුණු ඇතුළත් සෙල්ලිපියක් හමු වී ඇත. මෙම සෙල්ලිපිය කැඩිබිඳි අබලන්ව ගිය එකකි. එහි එන "මහිද තෙරභව, භද්‍රසාල තෙරභ, ඉට්ටක තෙරභව, පති තෙරභව" යන පාඨය අනුව මෙම ධර්මදුත ව්‍යාපාරයට සහභාගිවුවන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. මිහිඳු හිමියානෝ ලක්දිව පැමිණ 27වන දිනයෙහි වස් විසිම පිණිස මිහින්තලයට වැඩියහ. මිහින්තලයේ වස් විසිම භික්ෂුන් 60 නමක් සිටි අතර එහි වස් විසිමට ආවාස නොවුහෙයින් කණ්ඨක චේතිය අසල ලෙන් ශූද්ධ කරවා ආවාස හැටියට සකස් කරවීය. මෙම ලෙන්වල ලිපිවලින් මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ.

ගෘහ නිරමාණ කේෂත්‍රය අතින් මිහින්තලය සුවිශේෂ ස්ථානයක් ගනී. මිහින්තලයේ පිහිටි ගෘහ නිර්මාණ වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වේ. ගෘහ නිර්මාණ අතර ආරාම, වෙදහල දාන ශාලාව, සන්නිපාත ශාලාව, පෝය ගෙවල්, භාවනා ශාලා, ආරෝග්‍ය ශාලාව, සිමා මාලක සහ සක්මළු ආදී බොහෝ නිර්මාණ තනවා තිබුණේය.

මහා සෑය[සංස්කරණය]

මහා සෑය

මිහින්තලය කඳු මුදුනේ පිහිටා ඇති විශාල චෛත්‍යය මහා සෑයයි. එය මහදාතිත මහානාග රජතුමා විසින් කරවා ඇති අතර අඩි 136 ක විශ්කම්භයකින් යුක්තය.

කණඨක චේතිය[සංස්කරණය]

මෙය සුරතිස්ස රජතුමා විසින් කරවන්නට ඇති බව විශ්වාස කෙරේ. එහි පේසාවළලු සහ ඉදිරි කොටස සෑහෙන තරම් තවමත් ඉතිරිව පවතී. එය බහිරව රූප හා ඇත් රූප වලින් අලංකාරව ඇත. ස්ථූපය අඩි 425.5 යුක්තය. එහි අඩි 40 ක් පමණ උස් වූ ස්ථූපයක නටඹුන් දැකිය හැක. භික්ෂුන් වහන්සේලා මෙම ස්ථූපයට ආසන්නයේ ඇති ගල් ගුහා වල වෙසෙන්නට ඇත. මෙම ස්ථූපය කරවා ඇත්තේ “ලජ්ජිතිස්ස” රජතුමා විසින් බැවින් එය අයත් වන්නේ පලමු බුද්ධ ශතවර්ශයටය බව සැකයක් නැත.

අම්බස්තල දාගැබ[සංස්කරණය]

මෙය කඳු මුදුනට ආසන්න වූ තැනිතලාවක පිහිටා ඇති අතර මාතලන්තිස්ස රජතුමා විසින් කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මිහිඳු මහ රහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජතුමා අතර අති වූ ‍‍එෙෙතිහාසික හමුවේ දේවානම්පියතිස්ස රජතුමා සිටින්නට ඇතැයි සැලකෙන ස්ථානය සිහි ගැන්වීමට මෙම දාගැබ ඉදිකර ඇත.

මිහිඳු සෑය[සංස්කරණය]

මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උපතිස්ස රජ විසින් (ක්‍රි. පූ. 210-200) විසින් මිහින්තලා කඳු මුදුනත ඉදිකරන ලද බවට මහාවංශයේ සඳහන් සෑය මෙය වේ. මෙහි නටඹුන් අතර තිබූ ගඩොල් වල ඇති බ්‍රාහ්මී අක්ෂර ක්‍රි.පූ. සියවස් වලට අයත් වේ. මේ අනූව මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑ අතුරින් එකක් වේ. 1951 වර්ෂයේදී මෙහි කැණීම් කටයතු ආරම්භ කෙරුණි. මිහිඳු සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ගිරිභණ්ඩ සෑය[සංස්කරණය]

1951 වසරේදී කැණීම් කොට මතු කරගන්නා ලද මෙම දාගැබ ක්‍රි.ව. 8 වන සියවසට පමණ අයත් යැයි විශ්වාස කෙරේ. ගොඩනැංවූ අය අවිනිශ්චිත වේ. අනුරාධපුර යුගයේ දාගැබක ධාතු ගර්භයක පිහිටීම හා ඉදිකිරීම් තාක්ෂණය මෙන්ම අනුරාධපුර යුගයේ ධාතු ගර්භ සිතුවම් පිළිබද නිරික්ෂණයට මින් අනාවරණය වූ ධාතු ගර්භය වැදගත් වන අතර එම ධාතු ගර්භය දැනට මිහින්තලය කෞතුකාගාරයේ තැම්පත් කර තිබේ.

රෝහල[සංස්කරණය]

මිහින්තලය කඳු පාමුල පැරණි රෝහලක නටඹුන්ද, බෙහෙත් ඔරුවක්ද, එම යුගයට අයත් යැයි සැලකෙන ගොඩනැගිලි වල කොටස් ද දැකිය හැකිය. රෝහල සහ කඳුමුදුනට දිවෙන පඬිපෙල අතර විශාල අසපුවක නටඹුන් දැකිය හැකිය. පැත්තක් අඩි 125 වූ හතරැස් ගොඩනැගිල්ලට පහලින් අලංකාර ගල් කැටයම්ද, ගලින් කරන ලද බරාඳි වැට වල්ද මුරගල් ද පිහිටා ඇත. මේ අංශය අධික ප්‍රපාත වූ බැවින් පඩි පිහිටා ඇත්තේ නැගෙනහිර බෑවුමට වන්නටය. එහි පඩි 1840 කඳු මුඳුන දක්වා දිවේ. පලමු පඩි කොටස අවසානයේ කුඩා කඳු මුඳුනක් හමුවේ එහි “ කණ්ඨක චේතිය” පිහිටා ඇත.

භෝජන ශාලාව[සංස්කරණය]

මළුව පිහිටා ඇත්තේ තුන්වන පඩිපෙල අවසානයේය. මළුවෙහි වම් පැත්තට වන්නට භෝජන ශාලා පිහිටා ඇත. එය සෘජුකෝණාස්‍රාකාර වන අතර දිගින් අඩි 62ක් ද , පලලින් අඩි 25 ක් ද වේ. එය වටා ගබඩා කාමර පිහිටා ඇත. ජලවහන පද්ධතියක කොටස් ඒ අසලින් සොයා ගෙන ඇති බැවින් ඉතා ක්‍රමාණූකූල ජල සම්පාදන ක්‍රමයක් තිබෙන්නට ඇතිබව විශ්වාස කෙරේ. භෝජනාගාරය අසල ආහාර ගබඩා කර තබන්නට ඇතැයි විස්වාස කෙරෙන ගල් භාජන 2ක් දක්නට ඇත. ගොඩනැගිල්ලට ඇතුළුවන පැති දෙකකින් විශාල ශිලා ලේඛන දෙකක් පිහිටා ඇත. ආරාමයේ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය නීති රෙගුලාසි මෙහි සටහන් කර ඇත. මෙය මිහිඳු රජතුමා විසින් කරවා ඇති අතර සේවය කරන්නන්ට ගෙවන ගෙවීම් ද සඳහන් කර ඇත. ඊට නොදුරින් තවත් තැනිතලාවක භික්ෂුන් වහන්සේලා හමුවී ධර්ම හා විනය සාකච්ඡා කරන්නට ඇතැයි සැලකේ. එය විවෘත ගොඩනැගිල්ලක් වන අතර පැත්තක් අඩි 62කි. ගල් කණු 48 ක් මත පිහිටා ඇත. ගොඩනැගිල්ල මධ්‍යයේ දොරටු 4කින් යුතු වේදිකාවක් ද පිහිටා තිබේ.

දාන ශාලාව[සංස්කරණය]

මෙය චේතිය පබ්බතහී භික්ෂූන් වහන්සේලාගේ දෙෙනික දානමය වුවමනාවන් සපුරාලූ ස්ථානය වේ. ප්‍රාථමික වාස්තු සලකා බැලීමේදී අනුරාධපුර මහා විහාරබද්ධ සෙසු දාන ශාලාවලට සමාන වේ. මෙම දාන ශාලාව වෙත ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය සපයාගෙන ඇති ආකාරය සුවිශේෂී වේ.

මිහිඳු ගුහාව[සංස්කරණය]

අම්බස්තල දාගැබේ සිට කඳු බෑවුම් දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ගුහාව තෙක් විහිදේ. මිහිඳු ගුහාව මිහිඳු මහානාහිමියන් සැතපී විවේක ගත් ස්ථානයයි. සියළුම ගුහා වලින් වඩාත් ප්‍රසිද්ධ හා බෞද්ධයින්ට වඩාත් පූජනීයවන්නේ මිහිඳු ගුහාවයි.

ආරාධනා ගල[සංස්කරණය]

ආරාධනා ගල

ආරාධනා ගල මහාසෑයට මුහුණලා පිහිටා ඇත.අධික සුළං සහිත කාල වලදීත් ආරාධනා ගල නැගීමට බැතිමත්හූ අමතක නොකරති. මහාවංශයේ සඳහන් වන පරිදි අහසින් වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රි ලංකා ද්වීපයෙහි පය තැබුවේ ආරාධනා ගල මුදුනටය.

අටසැට ලෙන්[සංස්කරණය]

දේවානම්පිය තිස්ස රජු, මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් උදෙසා ලෙන් 68 ක් සකස් කොට පූජා කල බව මහා වංශයේ දැක්වෙයි. මෙම සෑම ලෙනකම පාහේ කටාරමට පහලින් පූර්ව බ්‍රාහ්මී ලේඛන දැකගත හැකි බැවින් මේවා ක්‍රි.පූ. යුගයට අයත් බැව් පැහැදිලි වේ. ක්‍රි.ව. 31-34 සමයේ කණිරජාණුතිස්ස රජ, තමන් ඝාතනයට සැළසුම් කල දුශ්ශීල මහණුන් 60 නමක් කනිර නම් ප්‍රපාතයට හෙලා දැමූ බව මහා වංශයේ විස්තර වේ. එම ප්‍රපාතය මෙම ලෙන් පිහිටා ඇති බෑවුම් සහිත ප්‍රදේශය බැව් විශ්වාස කෙරේ.

පොකුණු[සංස්කරණය]

මිහින්තලා පුඡා භුමියේ පිහිටා ඇති මෙම පොකුණු අතර සිංහ පොකුණ, නාග පොකුණ, කළු දිය පොකුණ ප්‍රධාන තැනක් ගන්නා අතර තවත් අවශේෂ පොකුණු කිහිපයක් ද හමු වී ඇත.

සිංහ පොකුණ[සංස්කරණය]

විනාශ වී ගිය ආරාමවලින් ගහණ ප්‍රදේශයේ සිංහ පොකුණ දක්නට ලැබේ සිංහ පොකුණ යයි ව්‍යවහාර වුවද එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පිහිල්ලකි. කණ්ඨක චේතිය හා සන්නිපාත ශාලාව අසබඩ ජිවත් වු භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව පිණිස විශේෂයෙන් ස්නානය පිණිස යයි සිතිය හැකි මෙම දය පිහිල්ල සකස්කර ඇත්තේ පසු පාද දෙකින් සිට ගෙන සිටින ලෙස ගලින් නෙලන ලද ජිවමාන ප්‍රමාණයේ සිංහයකුගේ මුවින් ජලය පිටවන ආකාරයටය.

කළු දිය පොකුණ[සංස්කරණය]

කළු දිය පොකුණ

මෙය මිහින්තලයේ පිහිටි ප්‍රසිද්ධ පොකුණු වලින් එකකි. පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන බැවින් එයට කළු දිය පොකුණ යන නම ලැබී ඇත.එක් පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී කාල කර්ම සුත්‍රය දේශනා කල බවට විශ්වාස කෙරේ.

නාග පොකුණ[සංස්කරණය]

මහාවංශයේ මහින්දාගමන ප්‍රවෘත්තීන් අතර නාගචතුස්ක නම් වූ විලක් පිළිබඳව සඳහන් වේ. පසු කාලීනව පළමු අග්ගබෝධි රජු (ක්‍රි.ව. 575-608) විසින් නාග සොණ්ඩි පොකුණ කරවූ බවක්ද වංශ කතාව වාර්ථා කරයි. මින් පැවසෙන්නේ නාගචතුශ්ක නම් විල ස්වභාවික විල අග්ගබෝධි රජු විසින් වඩා විධිමත් පොකුණක් බවට වර්ධනය කල බවයි. වර්ෂා ජලයෙන් පෝෂණය වන බවට විශ්වාස කල හැකි මෙම පොකුණෙන් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා අවැසි ජලය සැපයීමද, දෙෙනික භික්ෂු ජල වුවමනාව සැපිරීමද සිදුවී තිබේ. අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට මෙම නාග පොකුණ මුණ ගැසේ.


"https://si.wikipedia.org/w/index.php?title=මිහින්තලය&oldid=433043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි