Jump to content

මරදන්කඩවල යකඩයා

විකිපීඩියා වෙතින්


මරදන්කඩවල යකඩයා යනු අවුරුදු 120ක් දිවිගෙවූ සිංහල ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නියම නම වන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස යනුවෙනි. ඔහු වෙතින් දිස්වූ අපූර්ව කාය ශක්තිය හේතුවෙන්ම, ඔහු හට මෙම "යකඩයා" යන අන්වර්ථ නාමය පටබැඳිනි. තුරුණු වියයෙහිදී ඔහු අනුරාධපුරය ප්‍ර‍දේශයෙහි තුප්‍රකටව සිටියේ නොපනත්කම් හා අසාධාරණ හමුවේ ඔහු‍ගේ නොඉවසිලිමත්බව නිසාම ප්‍රාදේශීය "රොබින් හුඩ්" වරයෙකු බවට පත් වීම නිසාය. මෙම ගතිගුණ නිසාම, ඔහු වරක් මරණ දණ්ඩනයට නියම කරන ලදි. එහෙත් ඔහු පෝරකයෙන් නිදහස ලැබ පසුව හොඳ කල්ක්‍රියාව මත වසරක් තුල දඟගෙයින් නිදහස ලැබීය.

මරදන්කඩවල යකඩයා සමස්ත රට වැසියන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඔහුගේ නොහික්මුණු බව නිසාම නොව සැණින් උණුවන ඔහුගේ හදවත නිසාත් සත්‍යගරුක ශ්‍රේෂ්ඨ පෞරුෂත්වය නිසාත්ය. ඔහු පවසන පරිදි, ඔහුගේ අසහාය කාය බලය හා දිගු දිවියෙහි රහස වනුයේ ශාකභක්ෂකයෙකු වීම හා සුචරිතවත් දිවි පැවැත්මයි. ඔහුගේ වයස 107 බවට විශ්වාස කෙරෙතත්, ඔහු ඊට වඩා වෘද්ධයෙකු විය හැක. ඔහු භාවිතා කරන සැරයටිය, ඔහුට වඩා වයසින් බාලයෙකුට එසවීමට පවා අසීරු එකකි.

ඔහු මේ වන විට සිටින්නේ මුල්ලේරියාව මානසික රෝහලේ ය. [1]

චරිතාපදානය

[සංස්කරණය]

සමහර අය පවසන්නේ ඔහු උපන්නේ දකුණු ලක මාතර කිතලගම ප්‍රදේශයේ කියාය. එහෙත් පැරැණි පුවත්පත් වාර්තා අධ්‍යයනය කිරිමේදී පෙනී යන්නේ පේරාදෙණියේ උඩඊරියගම ප්‍රදේශයේ ඔහු උපත ලබා ඇති බවය. ඔහුගේ නම සාංචි ආරච්චිගේ ජිනදාසය. එහෙත් ඔහු මෙරට පතල වූයේ උපන් ගම හා සැබෑ නම සහිතව නොවේ. මුළු දිවයිනම ඔහු හඳුනා ගත්තේ මරදන්කඩවල යකඩයා යන නමිනි. සාංචි ආරච්චිගේ ඩේවිඩ් හා ජේන් නෝනා යන යුවළට දරු දෙදෙනෙක් වූහ. ජිනදාස වැඩිමලා වූයේය. ඔහුගේ නැගණිය ඇලිස් නෝනාය. කුඩා කල පටන්ම දඩබ්බරයකු වූ ජිනදාස සිය පාසල් ගමන හමාර කළේ බීමත්ව පාසලට පැමිණි ගුරුවරයකුට පහර දිමෙන් අනතුරුව බව පැවසෙයි. ජිනදාසගේ පෙම්වතිය දෙවැනි ලෝක යුද සමයේදී මෙරටට කැඳවා තිබූ කාපිරි හමුදා අතින් දූෂණයට ලක්ව මිය ගිය බවද , ජිනදාස දාමරිකකම්වලට යොමු වූයේ ඉන් අනතුරුව බවද කියැවේ. දාමරිකකම්වලට යොමුවීමට පෙර කාපිරි සෙබළුන් සෑහෙන ගණනක් මරු තුරුළට යැවීමට ජිනදාස සමත් වූ බව කට කතාවලින් පැවසෙතත්, ඒ බව සනාථ වන සාධක නැත.

පසු කලෙක ජිනදාස තම මවුපියන් හා සොහොයුරිය සමඟ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ. ඊට පැහැදිලි හේතු පෙනෙන්නට නැතත් සමහර විට ඒ ජිනදාසගේ දාමරිකකම් නිසා වන්නට පුළුවන. පසු කලෙක ඔහු මනම්පිටිය අතැර පැමිණ වැඩිපුර ගැවසී ඇත්තේ කැකිරාව ප්‍රදේශයේය.

වත්මන් තත්ත්වය

[සංස්කරණය]

මිය යාමෙන් අනතුරුව සිරුර බාර ගන්නට කෙනෙකු නොමැතිව ජිනදාසගේ දේහය සති දෙකක් තිස්සේ මෘත ශරීරාගාරයේ තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුර එස්. ඒ. ජිනදාසගේ හෙවත් යකඩයාගේ බව හෙළි වීමෙන් අනතුරුව දේහය කැකිරාවට ගෙන යනු ලැබිණි. පසුගිය ඔක්තෝබර් 29 සෙනසුරාදා කැකිරාවේ නෙල්ලිගම සුසාන භූමියේදී සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා අවසන් ගමන් ගියේ තම සොහොයුරියගේ දරුවන්ගේ හා ඥාතීන්ගේ කර පිටිනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 111 ක් බව මාධ්‍යයන්හි සඳහන් වූවත් පැරැණි පුවත් පත් වාර්තාවක දැක්වෙන්නේ ඔහු 1921 උපන් බවකි.

යකඩයාගේ පුරුෂාර්ථ

[සංස්කරණය]

ජිනදාසට මරදන්කඩවල යකඩයා යන නම පට බැඳුණේ කෙසේද යන්න ගැටලුවකි. වරෙක ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණේ දුම්රිය මඟ ගමන් කරද්දී ඊට බාධා කළ කංකානම කෙනෙකුගේ සිරුර සිර වන පරිදි යකඩ පටියක් නැවූ හෙයින් තමාට එම නම ලැබුණා කියායි. තවත් විටෙක ඔහු මා්‍යධවේදියකුට පවසා තිබුණේ මනම්පිටිය පාලම අසලදී තමා හා ගැටෙන්නට ආ මිනිසකුගේ සිරුර එසේ යකඩයක් නවා හිර කළ බවකි. කෙසේ වෙතත් ඔහුට හොඳ කාය ශක්තියක් තිබෙන්නට ඇත. සොරකමේ ගිය අවස්ථාවන්හිදී නිවාසයන්හි කවුළුවල වූ යකඩ කූරු ඔහු තම දෑතින් ඈත් කර නිවාසයන්ට ඇතුළු වූ බවද පැවසෙයි.

කෙසේ වෙතත් ඔහුගේ නියම නමට වඩා මරදන්කඩවල යකඩයා යන නම රට පුරා පතල වූයේ කැකිරාවේ තැපැල්හල කොල්ල කා එහි තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ තම්බයියා මහතා මරා දැමීමත් සමඟිනි.

මෙම කොල්ල කෑමට ඔහු සමඟ මාපා මුදියන්සේලාගේ විලියම් හෙවත් ජිමී, එන්ගා හෙවත් කපුරුහාමි, සාර්ලිස් සිල්වා සහ ජේමිස් සිඤ්ඤෝ යන අය සහභාගි වූ බව පොලීසිය අනාවරණය කර ගත්තේය. මේ අය අතරින් විලියම් හෙවත් ජිමී මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පෞද්ගලිකව පාපෝච්චාරණයක් කර තිබිණි. තැපැල් මහතාට වෙඩි තැබූයේ ජිනදාස හෙවත් යකඩයා යන්න එම පාපෝච්චාරණයෙන් හෙළි වී තිබිණි. එහෙත් ජිනදාස ඒ වන විට පේදුරු තුඩුවෙන් ඉන්දියාවට පැන ගොස් තිබිණි. වරෙක පැවසුණේ පේදුරු තුඩුවේ සිට සැතපුම් 20 ක් දුර මුහුදෙන් පිහිනා ඔහු ඉන්දියාවට ළඟා වූවා කියාය.

පිහිනා ගිය කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් ඉන්දීය පොලීසියෙන් අත් අඩංඩගුවට ගැනුණ ඔහු මෙරටට එවනු ලැබිණි. නඩු විභාගය අවසන ඔහුට මරණ දඬුවම නියම වූ නමුත් පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට පෙරළිණි. වසර 16 කට පසු 1968 දී ඔහු සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වී ඇත.

බන්ධනාගාර අධිපතිවරුන්ගේ වාර්තා අනුව ඔහු යාපනය සිර ගෙදර ද සිට ඇත. මත් ද්‍රව්‍ය ජාවාරමක් බන්ධනාගාරය ඇතුළත පවත්වා ගෙන යෑමට උපකාර කිරීම නිසා 1961 දී ඔහු යාපනයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවා තිබේ.

කෙසේ වෙතත් පසු කලෙක ජිනදාස හෙවත් යකඩයා මාධ්‍ය වෙත ද තම නෑ හිතවතුන්ට ද පුන පුනා පවසා තිබුණේ තමන් අතින් මිනීමැරුමක් සිදු වූයේ නැත කියාය. තමන් හා සිටි අයකු තැපැල් ස්ථානාධිපතිවරයාට වෙඩි තැබුව ද, ඊට හසු වූයේ තමා බව ඔහු අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි.

චිත්‍රපටය හා සත්‍යය

[සංස්කරණය]

1977 දෙසැම්බර් 9 දා මෙරට ප්‍රදර්ශනය ඇරඹූ "යකඩයා" චිත්‍රපටයට පාදක වී තිබුණේ සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා ගේ පුවතය. රත්නපාල මරවනාගොඩ නිෂ්පාදනය කළ "යකඩයා" නීල් රූපසිංහයන්ගේ අධ්‍යක්ෂණයකි. යකඩයා ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑ අතර බස් රථයකින් මාංචු දමා ගෙන යමින් සිටියදී බසයේ යකඩ පොල්ලකට ගසා මාංචු කඩාගෙන අත් අඩංගුවෙන් මිදී පලා යාම එහි ජනප්‍රිය වූ දර්ශනයක් විය. එහෙත් බන්ධනාගාර වාර්තා අනුව යකඩයා කිසි විටෙක බන්ධනාගාරයෙන් පැන ගොස් නැත. එමෙන්ම එම චිත්‍රපටයේ දැක්වුණ යකඩයා දුම්වැටි හා මත්පැන් පානය කරන්නෙක් වූයේය.

පසු කලෙක ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් කිසි දිනෙක දුම් හෝ මත්පැන් පානය නොකළ බවත් මස් මාංශ ආහාරයට නොගත් බවත්ය

චිත්‍රපටයේ ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා ඔහුගේ වත්තල නිවෙසේදී හමු වී එම දර්ශනවලට තම විරෝධය පළ කළ බවත් ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබිණි. තම ජීවන පුවත ඇසුරෙන් නිපැයුණ චිත්‍රපටය සඳහා තමන් කිසිම මුදලක් ලබා නොගත් බව ද ඔහු පවසා තිබිණි.

ඔහු මස් මාංශ අනුභවයෙන්, මත්පැන්, දුම් පානයෙන් තොර අයකු බව ඔහුගේ මරණයත් සමඟ ඥාතින් මාධ්‍ය වෙත දක්වා තිබූ අදහස්වලින් පැහැදිලි වේ.[2]

ජනපති හමුව

[සංස්කරණය]

2011 වසරෙහිදී ඔහු මිය යාමට වසර දෙකකට ඉහතදී යකඩයා අරලියගහ මන්දිරයෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමුවීමට වරම් ලැබීය. පෙරදී කුප්‍රකට සාපරාධියෙක් සුපිරි වීරයෙක් කිරීමට මෙම සිදුවීම ඉවහල් වූයේ යැයි කියති. ජන ප්‍රසාදය උපයා ගැනුමට කුමන දේ කල යුතු දැයි යකඩයා ඉතා මැනවින් දැන සිටි බව පෙනේ. මෙහිදී දේශපාලනඥයන් අතර පවතින විරක්ෂිභාවය පිළිබඳ භීතිය ඔහු විසින් රිසි සේ ප්‍රයෝජනයට ගත් බව පෙනේ. ජනාධිපතිවරයාට ඇති මහත් ආරක්ෂා හමුවේ වුව මහත් මන්ත්‍ර බලයක් ඇතැයි පැවසුනු ජීවම් කල සුරයක් ඉතා වැදගත් වස්තුවක් බවට පත් කිරීමට හේ සමත් විය. [3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ http://www.dinamina.lk/2011/10/29/_art.asp?fn=n11102917[permanent dead link]
  2. ^ "යකඩයා". සරසවිය.
  3. ^ http://www.nation.lk/2011/10/30/newsfe11.htm
"https://si.wikipedia.org/w/index.php?title=මරදන්කඩවල_යකඩයා&oldid=601243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි