බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයසම්මන්ත්‍රණ ශාලාව
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
සමාප්තිය1973
හිමිකරුශ්‍රී ලංකා රජය
වෙබ්අඩවිය
bmich.lk

චෞ එන්ලායි මහතාගේ මෙරටට සම්ප්‍රාප්තිය[සංස්කරණය]

මහජන චීන ජන රජයේ අග්‍රාමාත්‍ය චෞ එන්ලායි මහතා 1964 දී මෙරටට සම්ප්‍රාප්ත විය. එවකට මෙරට අගමැති වූයේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. චීන අගමැතිවරයාගේ එම චාරිකාව අවසානයේ අගමැති දෙපළ ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තැබූහ. වෙනත් කරුණු ද ඇතුළත් එම නිවේදනයේ අඩංගු වූ ඉතා වැදගත් කරුණ වූයේ, රාජ්‍ය නායකයාව සිටි අභාවප්‍රාප්ත ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අනුස්‌මරණය කිරීම සඳහා මන්දිරයක්‌ තැනීමට ආධාර පිරිනැමීමට වූ එකඟතාවයි. පසුව දෙරටෙහි ආණ්‌ඩු දෙක අතර හුවමාරු වූ ලියකියවිලි මගින් එය වැඩිදුරටත් තහවුරු කර ගන්නා ලදී. ඒ අතර 1965 දී බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව බිඳ වැටිණ. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් යුතු සභාග ආණ්‌ඩුවක්‌ බිහිවිය.

ඉදිකිරීමේ පසුබිම[සංස්කරණය]

එම ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා එම මන්දිරය බණ්‌ඩාරනායක මහතා අනුස්‌මරණය කිරීමට නොව මෙරට රජයට දෙන පරිත්‍යාගයක්‌ ලෙස ඉදිකිරීමට කැමැත්ත දුන්නේය. චීනය එම අදහස ප්‍රතික්‌ෂේප කරමින් කියා සිටියේ එම මන්දිරය බණ්‌ඩාරනායක මහතාගේ සිහිවටනයක්‌ ලෙස ඉදි කළ යුතු බව හා ගිවිසුම අත්සන් කෙරුණේද ඒ සඳහාම බවත්ය. මෙසේ එම අනගි කටයුත්ත වසර ගණනාවකින් පසුබා සිටියේය.

නැවත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඇරඹුණේ 1970 වසරේදීය. ඒ බණ්‌ඩාරනායක මැතිනිය එම වසරේදී බලයට පත්වූ නිසාය. උත්සවශ්‍රීයෙන් 1970 නොවැම්බර් මස 24 වන දින ඉදි කිරීමේ කටයුතු ඇරඹින. 400 කට අධික චීන කම්කරුවන් හා තාක්‌ෂණවේදීන් සමඟ මෙරට කම්කරුවෝ හා ශිල්පීහු රැසක්‌ම ඉතාමත් සහයෝගයෙන් එම කටයුත්තේ නියෑළුණහ.ශ්‍රී ලංකා ජනතාවටද කැමැති විටෙක ස්‌වේච්ඡාවෙන් පැමිණ ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමට අවස්‌ථාව සලසා දී තිබිණි. කොතරම් උද්‍යෝගයෙන් හා සැළකිල්ලෙන් යුතුව එම කටයුතු කරගෙන ගියේද යත් සැලසුම් කළ කාලයට (1973 වසර අග) පෙර වැඩ කටයුතු අවසන් කෙරිණ. එනම් 1973 අප්‍රේල්හිදී වැඩ අවසන් වී තිබිණි.

සිරිලක ජාතික ලක්‍ෂණ හුවා දක්‌වන පරිදි මවිත කරන සුළු හැඩයකින්, එනම් අෂ්ඨාස්‍රයක (කෝණ අටක්‌ හා පාද අටක්‌) හැඩ රුවින් යුතු දකුණු කොළඹ දර්ශනීය පෙදෙසක ඉතා ඉහළින් නැඟී සිටින මෙම මන්දිරය වූ කලී ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සැබෑම සංකේතයක්‌ වන්නේය. ප්‍රවේශ ශාලාවේ ඇතුළත ශ්වේත කිරි ගරුඬින් සෑදූ බණ්‌ඩාරනායක මහතාගේ උඩුකය ප්‍රතිමාවක්‌ දක්‌නා ලැබේ. එය චීන කලාකරුවන්ගේ නිමැවුමකි. තෙල් සායමින් වර්ණිත විශාල දර්ශනීය චිත්‍රයක්‌ මගින්, සිරිලක ඇති සුන්දරත්වය හා ශෝභාව පවසා සිටී. එය වේදිකාව පිටුපස ඇති වර්ණ තිරයක්‌ ලෙස දිස්‌වේ.

පහසුකම්[සංස්කරණය]

මෙම මන්දිරය වූ කලී, භාෂා හතකට එකවර පරිවර්තනය කළ හැකි පහසුකම ද සහිත, 1500 ක්‌ දෙනාට ඈඳිගත හැකි සම්මන්ත්‍රණ ශාලාවකින්ද, සාකච්ඡා කිරීමට පහසුකම් ඇති විවිධ ප්‍රමාණයේ කුටි හයකින්ද, විවේකාගාරයකින්ද, උත්සව ශාලාවකින්ද, සිනමා ශාලාවකින් හා කාර්යාලයීය කාමර ගණනාවකින්ද සමන්විත වූවකි. මන්දිර භූමියේ සම්පූර්ණ වපසරිය වර්ග මීටර 32000 කට අධිකය.

විවෘත කිරීම[සංස්කරණය]

මෙම මන්දිරය හෙවත් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ 1973 මැයි මස 17 දාය. ඒ සඳහා ජනාධිපති විලියම් ගොපල්ලව මහතා, අගමැති සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය හා ජාතික රාජ්‍ය සභාවේ කථානායක ස්‌ටැන්ලි තිලකරත්න මහතාද සහභාගි වූහ. මහජන චීන ජන රජය නියෝජනය කරමින් ජාතික මහජන කොන්ග්‍රසයේ, ස්‌ථාවර කමිටුවේ උප සභාපති ශූ ශින් චියෑන් මහතාද ඒ අතර විය. එම උත්සවයට සහභාගි වීම සඳහා චීනයේ සිට විශේෂයෙන් පැමිණ සිටියේ ඔහුය.

පස්‌වරු 4.00 ට බණ්‌ඩාරනායක මැතිනිය සහ ශූ ශින් චියෑන් මහතා ප්‍රධාන දොරටුව දෙසට පා ගමනින් ගමන් ගත්හ. මඟුල් බෙර හා ජය සක්‌ හඬ මධ්‍යයේ චීන විශේෂ නියෝජිත මහතා ප්‍රධාන දොරටුව විවෘතකොට එහි යතුර බණ්‌ඩාරනායක මැතිනියට භාර දුන්නේය. ඒ අනුව ඒ මහා මන්දිරය ශ්‍රී ලංකා රජයට පැවරිණි. බණ්‌ඩාරනායක මහතාගේ උඩුකය ප්‍රතිමාව ඉදිරියේ සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූයේ ජනපති, අගමැතිනිය, චීන විශේෂ නියෝජිතයා හා අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසිනි. පිළිගැනීමේ ගීත ගායනය කරන ලද්දේ ප්‍රදේශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි. ඒ සිංහලෙන් හා චීන භාෂාවෙනි. අලංකාරවත් ලෙස සැකසුණු සම්මන්ත්‍රණ ශාලාව තුළ ගරු ගාම්භීර ලෙස උත්සව සභාව ඇරඹිණ.

අගමැතිනියගේ කථාව[සංස්කරණය]

එහිදී බණ්‌ඩාරනායක මැතිනිය මෙම මන්දිරය ඉදිකිරීමේ පසුබිම පැහැදිළිකර දුන්නාය. බණ්‌ඩාරනායක මැතිතුමා තම ජීවිත කාලය තුළදී මෙරට අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවක්‌ ඉදිකිරීමට අපේක්‌ෂාවෙන් සිටි බව ඇය සිහිපත් කළාය. එය අන්තර්ජාතික සහයෝගිතාව, සාමය, ජාතීන් අතර සුහදත්වය සඳහා වූ සම්මන්ත්‍රණ හා සාකච්ඡා සඳහා වූ වේදිකාවක්‌ කර ගැනීමට ඔහුගේ ආශාව විය. එතුමාගේ එම ආශාව අද සැබෑවක්‌ වී ඇතැයි එතුමිය තවදුරටත් පවසා සිටියාය.

අගමැතිනියගේ කථාවේදී චීන විශේෂ නියෝජිතයාගෙන් ඉල්ලීමක්‌ ද කළාය. ඒ මෙම මන්දිරය ඉදිකිරීම සඳහා දැක්‌වූ අනුග්‍රහය ගැන තමන්ගේ අවංක කෘතඥතාව චීන ජන රජයටත්, අගමැති චෞ එන් ලායි මහතාටත් පුද කරන බව පවසා සිටින ලෙසය. කථාව අවසානයේදී ඇය මන්දිරයේ රජතමය චිත්‍රයක්‌ චීන නියෝජිතයාට භාර දෙමින්, එය අගමැති චෞ එන් ලායි මහතාට භාර දෙන ලෙස ඉල්ලා සිටියාය.

ශූ ශින් චියෑන් මහතාගේ කථාව[සංස්කරණය]

මෙහිදී චීන නියෝජිත ශූ ශින් චියෑන් මහතාටද උත්සව සභාව අමතන ලෙස ඇරැයුම් කෙරිණ. එතුමා ආරම්භයේදීම සභාපතිමාඕසේතුං, උපසභාපති තුං පි - ඌ, අගමැති චෞ එන් ලායි හා චීන රජය හා ජනතාව වෙනුවෙන් උණුසුම් සුබපැතුම්, අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට හා ශ්‍රී ලංකා රජයට පුදකර සිටියේය. තවද චීන ජනතාවගේ හෘදයංගම ශුභපැතුම් ශ්‍රී ලංකා ජනතාවට පුද කරන බව කීවේය. හිටපු අගමැති සොලමන් බණ්‌ඩාරනායක මහතා චීනයේ සැබෑ මිතුරකු වූ බවත්, දෙරටේ මිත්‍ර සම්බන්ධතා වැඩි දියුණු කිරීමට මහත්ව සේවයක්‌ ඉටුකර ඇති බවත් පවසා එතුමාගේ සිහිවටනයක්‌ ලෙස මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට අවස්‌ථාව ලැබීම චීනයට මහත්වූ ගෞරවයක්‌ ගෙන දුන් බව කියා සිටියේය. මහජන චීන ජන රජය පිහිටුවා නොබෝ කලකින්ම අධිරාජ්‍යවාදීන්ගේ හා එහි ගැත්තන්ගේ බාධා කිරීම් නොතකා චීනය සමඟසහල් හා රබර් වෙළෙඳ ගිවිසුම ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව පසුබට නොවීය. එමගින් අපට විශාල සහායක්‌ ලැබිණි. තවද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නීත්‍යනුකූල අයිතිය ලබා ගැනීමට මහජන චීන ජන රජය කළ අනවරථ උත්සාහය අවසන් වනතුරුම ශ්‍රී ලංකාව ඒ සඳහා පෙනී සිටි බව ද ඔහු සිහිපත් කළේය. (මෙයින් අදහස්‌ කරන්නේ මුල් කාල වකවානුවේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නීත්‍යනුකුල සාමාජිකයා ලෙස පිළිගෙන තිබුණේ චියං කායි ෂෙක්‌ ගේ ජාතික චීනය හෙවත් තායිවාන් දූපතයි.)

කථාව අවසානයේදී ඔහු බණ්‌ඩාරනායක මැතිනියට සිල්ක්‌ රෙද්දෙන් තැනූ ධජයක්‌ පරිත්‍යාග කළේ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ සළකුණක්‌ හැටියටය. එහි අනගි වැකියක්‌ එම්බ්‍රොයිඩර් කර තිබිණි. එහි සිංහල පරිවර්තනය මෙසේය.

"චීනය හා ශ්‍රී ලංකාව අතර වූ මිත්‍රත්වය දිගුකල් දිනේවා"

බාහිර සබැදි[සංස්කරණය]