පනාකඩුව තඹ සන්නස

විකිපීඩියා වෙතින්

පනාකඩුව තඹ සන්නස යනු ශ්‍රී ලංකාවේ, මාතර දිස්ත්‍රික්කයේ, මොරවක් කෝරලේ, පනාකඩුව ගම්මානයේ, තිබී සොයාගත් තඹ-සන්නසකි. එය තඹ තහඩු තුනකින් සමන්විත වන අතර තහඩුව දෙපැත්තේම ලියා ඇත. මෙම තඹ-සන්නස වැදගත් වන්නේ එය ශ්‍රී ලාංකික රජෙකු විසින් පළමු වරට කරන ලද තඹ-සන්නස් ප්‍රදානය වන බැවිනි. මෙම තහඩු දැන්ට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.පනාකඩුවේ තඹ සන්නස දැනට හමුවී ඇති ලොව පැරණිම ස්තුති කාඩ්පත (Thank you card) ලෙස සැලකේ.

පනාකඩුව තඹ සන්නස ලියවා තිබෙන්නේ පළමු වන විජයබාහු රජතුමා විසිනි. එය විජයබාහු රජු විසින් තමාට පක්ශපාති වූ සිත්නාරුබිම බුදල්නා නම් බුද්ධරාජ නිලධාරියාට කළගුණ සලකනු වස් ලියවා තිබේ. මෙහි පළමු පේලි තුනෙන් විජයබාහු රජුව වර්ණනා කර තිබේ. මෙය පනාකඩුව ප්‍රදේශයෙන් හමු වූ නිසා මේ නම යෙදි තිබේ. ක්‍රි.ව.12 වන සියවසේ ඉතිහාසය ඉගෙනීමට ප්‍රයොජනවත් වේ.

1948 දී පනාකඩුවේ ගොවියෙකු වන සුරවීර ගමගේ කරොලිස් අප්පුහාමි විසින් මෙම තඹ තහඩු  සොයා ගන්නා ලදී. තහඩු රත්තරන් නොවන බව සොයාගෙන ඒවා පසෙකට දමා තිබී පසුව ඔහු නිතර නිතර අසනීප වීමට පටන් ගත් විට, අප්පුහාමි සිතුවේ මෙම තහඩු වල යම් අවාසනාවක් නිසා එය සිදුවන බවය. එම නිසා ඔහු ඒවා තම ඥාතියෙකු වන බෞද්ධ භික්ෂුවකට භාර දුන් අතර වසරකට පමණ පසු තඹ තහඩු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අතට පත්විය.

පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1055-1110 ) විසින් අනුරාධපුරයේ මාළිගා සභාවෙන් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ප්‍රදානයක් පිළිබඳ මෙම තඹ-සන්නසෙහි සටහන් වේ. චොල ආක්‍රමණය අතරතුර සැඟවී සිටියදී රජුට, ඔහුගේ පියාට සහ රාජකීය පවුලේ සෙසු සාමාජිකයින්ට ලබා දුන් ආරක්ෂාවට හා චොල ආක්‍රමණ හමුවෙ සටන් කිරීමට දුන් සහයට කලගුණ සැලකීම සඳහා සිත්නාරුබිම් හි අධිපති බුදල්නා හෙවත් බුද්ධ රාජ නාග වන, රුහුණෙහි දණ්ඩනායක වෙත මෙම ප්‍රදානය ලබා දී ඇත.

සිංහ‍ලේ ‍‍ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වූ පළමුවැනි විජයබාවන්විසින් (1055-1110) තමන්ට උදව් උපකාර කළ සිත්නාරුබිම් බුදල්නා නායකයාට ප්‍රදානය කරන ලද්දා වූ පනාකඩුව තඹ සන්නස මඟින් රාජකීය වරප්‍රසාද පිළිබඳව කියවෙයි.

ඓතිහාසිකමය අගයෙන් යුතු වූ පනාකඩුව තඹ සන්නස මෙරටදී හමු වු පැරණිතම තඹ සන්නස ද වෙයි. මොරවක් කෝරලය ඉතිහාසය පුරා සිදුවූ විවිධ සිදුවීමිවල දී වැදගත් විය. පනාකඩුව යනු එහි පිහිටි සුන්දර ගැමි පරිසරයකි. 1948 දී පෙබරවාරි මාසයේ දී සිය බෝගහදෙණිය නැමති කුඹුරෙහි වැඩකරමින් සිටි සුරවීර ගමගේ කරෝලිස් අප්පුහාමි නැමති ‍ගොවියෙකුට මෙම මහාර්ඝ වස්තුව හමුවී ඇත.

පුරාවිද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙම තඹ සන්නසෙහි අප්‍රමාණ වටිනාකම ලොවට හෙළි ක‍ලේ සිංහල ඉතිහාසයේ බොහෝ සිදුවිමි සත්‍ය බව ප්‍රකට කරවමින් මෙන්ම ඊට තවත් පරිච්ඡේදයක් ද එක්කරමිනි.

පනාකඩුවෙන් සොයාගන්නාලද මෙම තඔ සන්නසට පෙර ඉතිහාසඥයින් විස්වාස කලේ පැරණිතම තඹ සන්නස නිශ්ශංක මල්ල රාජසමයට අයත් බවකි. එ‍හෙත් ඊට පෙරද තඹ සන්නස් ලියූ බව මෙමගින් තහවුරු වේ.

දිගින් අඩියකුත් අඟල් එකහමාරක් ද පලලින් අඟල් තුනක්ද වෙයි. අඟලකින් අටෙන් එකක් පමන ගණකමක් ඇත. පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරය.

පනාකඩුව තඹ සන්නසෙහි පත්‍ර තුනක් වෙයි. එක්පත්‍රයක පේලි හතපැලින් ඇත. ඒඅනුව අක්‍ෂර පේලි විසිඅටක් එහි වෙයි. පළමු සහ තෙවැනි පත්‍ර දෙකෙහි ඇතුල් පැත්තේද, දෙවැනි පේලියේ ‍දෙපැත්තේ මද වශයෙන් නම අන්ෂර සටයන් ‍කොට තිබේ. කෙලවර හිල් දෙකක්ද විද ඇත. එය නූලකින්බැඳ පුස්කොල පොතක් ලෙස පරිත්‍යාග කොට ඇති බව එමගින් සිතීමට හැක.

රුහුණේ සිටි බල සමිපන්න ජන ප්‍රධානි‍යෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාර‍යින් සමූල ඝාතනය කරද්දී පන රැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු ‍රජ පවුල ‍රෝහණයට පැමිණෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය රහසේ රුහුණු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි.

කෑමට ගතහැකි කොල වර්ග පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල රැක බලාගත්බව පනාකඩුව සන්නස මගින් නොසඟවා පවසා ඇත.

මහ විජයබා නමින් රජ පැමිනි කීර්ති කුමාරයාට එම ගමන ‍යාමට අවශ්‍ය සේනා සංවිධාන කටයුතු සිදු කරමින් කටයුතු කර තිබෙන්නේ බුදල්නාවන් විසින්ය. මහවිජයබාවන් විසින් තමන් ඇතුලු රජ පවුලට කරනලද එම අප්‍රමාණ සැලකිල්ල වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස රාජකීය ප්‍රදානයන් පිලිබඳ වූ සන්නස අද ප්‍රකටව පවතින්නේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි.

පද්‍යන් ගද්‍යන් අතර වූ චමාපු කාව්‍යමය භාෂා ‍ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි කඹුරුපිටියේ වනරතන නාහිමියන් එලෙස පෙලගස්සන ලද පබැදුමක් මෙලෙස දැක්විය හැකිය.

'රුහුණු දඩනායක
සිත්නරු බිමි මුදල්නාවන්
වැඩිතැන් සහ වියෙහි
වඩමින් ලොවැඩ වඩා

පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරමිපරවෙන් පැවත එන්නන්ගෙ‍න් දඩ අයකර නොගැනිම, සිරගත නොකිරීම, දේපල රාජසන්තක නොකිරීම, බලවත් අපරාදයක් සිදුකලද ඒ සඳහා තෙවරක්ම සමාව දීම ආදී බො‍හෝ රාජකීය වරප්‍රසාද ප්‍රදානය කර ඇත.

පනාකඩුව තඹ සන්නස නිසා රුහුණේ මොරවක් කෝරලයද සියලු දෙනාගේ අවදානයට යොමු විය. මාතරට ආස්වාදයක් වූ එම මොරවක් කෝරලයේදී සුරැකි උරුමය ජාතික උරුමයක් වේ.

පනාකඩුව තඹ සන්නස (අද සිංහල තේරුම සහිතව)[සංස්කරණය]

(අ)

1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -

  • තේරුම – මංගල ශ‍්‍රියක් වේවා, ශ‍්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්‍ෂති‍්‍රය සමූහයා

2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -

  • තේරුම – පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග‍්‍ර මහේෂිකාවක (වැනි) වූ

3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් -

  • තේරුම – ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික‍්‍රමයෙන්.

4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස -

  • තේරුම – ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත‍්‍ර කොට රජ සැප විඳීමෙන්.

5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත -

  • තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත‍්‍රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත්

6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ

  • තේරුම – දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ

7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක -

  • තේරුම - සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික‍්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්

(ආ 1) 1) හා ප‍්‍රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ -

  • තේරුම – ප‍්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් (හෙවත් කථා කරමින්)

2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි -

  • තේරුම – “රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී

3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.

  • තේරුම – වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ (මෙතුමා රජ වූ බව කීවත් රජවූ බවක් සොයා ගන්නට නැත.)

4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.

  • තේරුම – ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.

5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි

  • තේරුම - පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල

6) විග‍්‍රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු -

  • තේරුම – යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා

7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද -

  • තේරුම – දුක් වින්ද ප‍්‍රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,

(ආ 2)


1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග -

  • තේරුම – දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)

2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො -

  • තේරුම - සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,

3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.

  • තේරුම – ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස -

4) නිග‍්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු -

  • තේරුම – නිග‍්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති‍්‍රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව

5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා

  • තේරුම – පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි

6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ -

  • තේරුම – තුන්දොටුන්හට ප‍්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී

7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ -

  • තේරුම – හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.

(ඉ)

1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු -

  • තේරුම - පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර

2) න් වුන් ප‍්‍රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු

  • තේරුම – දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්‍ෂති‍්‍රය රාජ පරම්පරාව

3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර -

  • තේරුම – පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානයි)

4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව

5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො -

6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග‍්‍රහ - නොකරනු කොට සත් විසි වන්නෙහි

5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.

  • තේරුම – කැති මස අව සතවක් දවසින් පසු මෙම ව්‍යවස්ථාව කළ ද්‍රවිඩ ලේඛකයාගේ පොතෙහි සහාය ව ලියන දෙව නමැති මම වෙමි.

ආශ්‍රිත[සංස්කරණය]

2010-පෙබරවාරි 28 ඉරිදා දිවයින

"https://si.wikipedia.org/w/index.php?title=පනාකඩුව_තඹ_සන්නස&oldid=623403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි