සෙනරත් පරණවිතාන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සෙනරත් පරණවිතාන
Senarath Paranavitana.jpg
උපත26 දෙසැම්බර් 1896(1896-12-26)
මිය යාම4 October 1972(1972-10-04) (වයස 75)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයමැටරඹ රජයේ පාසල, උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රිසි පාසල, Leiden University
රැකියාවපුරාවිද්‍යාඥ
කලත්‍රයා(යන්)රොස්ලින් කිතුල්ගොඩ

සෙනරත් පරණවිතාන මහතා (දෙසැම්බර් 26 1896 - 4 ඔක්තෝබර් 1972) ශ්‍රී ලංකාවේ පුරෝගාමී පුරාවිද්යාඥකි.

මුල් අවධිය[සංස්කරණය]

දකුණු පළාතෙහි ගාලු දිස්ත්‍රික්කයට අයත් මැටරඹ නමි ගමෙහි 1896 දෙසැමිබර් මස 26 වෙනි දින උපත ලද සෙනරත් පරණවිතානගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වු අතර මව ලෝරා හෙට්ට්ගේ ගිමාරා නම් වුවාය.‍ හෙට්ට්ගොඩ මෙතෝදිස්ත විදුහලෙහි වසර 02 ක් සිංහල ඉගෙන ගත් පරණව්තාන 1930 දී උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රිසි පාසලට ඇතුලත් වුයේ ඉංග්‍රිසි අධ්‍යාපනය හැදැරිම සඳහාය. එතුමා හීනටිගල රංවලගොඩ පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලැබුවේය.


පාසල් දිවිය අවසන් කර 1915 දි ප්‍රාචින ප්‍රාරමිභ පරික්‍ෂණයට පෙනී සිටිමින් ඉන් උසස් සාමාර්ථ්‍යක් ලබා ගනී.එම පරීක්‍ෂණයෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව සඳහා ඉහළම ළකුණු ලබා ගැනීමට පරණවිතාන සමත් වීය.මෙම සමත් වීම මත 1916 දී මිහිරිපැන්නේ සිංහල පාසලේ ශිෂ්‍ය-ගුරු පදවිය ලැබීය. 1919 දී පරණවිතානගේ පියා මිය යයි. මේ අතරතුරදී ඉංග්‍රීසි ගුරු සහතික පරීක්‍ෂණයෙන් සමත්ව ඉංග්‍රිසි ඉගැන්වීම සඳහා මාගොල්ලේ සුධර්මා මහා විද්‍යාලයට පත් වීමක් ලබයි.

පසු අවධිය[සංස්කරණය]

ශිලා ලිපි විමර්ශණ සහකාර තනතුරෙහි ඇති වූ පුරප්පාඩුව සඳහා පැවැත්වූ ලිඛිත පරීක්‍ෂණයෙන් සමත් වීමට පරණවිතානට හැකි විය.ඒ අනුව 1923 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලිපි විමර්ශණ ධූරයට පත් විය.පුරාවිද්‍යාව පිළිබඳව ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ ශිෂ්‍යත්වය මත 1923-1926 දක්වා ඉන්දියාවෙහි අධ්‍යාපනය ලැබීමට මෙතුමාට අවස්ථාව හිමි විය.ඵහිදී බටහිර ඉන්දීය පුරා වස්තූන් නැරඹීමේ අවස්තාව මෙන්ම සුප්‍රකට පුරාවිද්‍යාඥයෙක් වූ ශ්‍රීමත් ජෝන් මාර්ෂල් යටතේද කටයුතු කිරීමේ හැකියාව ලැබුණි.එහිදී මොහෙන්ජොදාරෝ-හරප්පා සංස්කෘතිය හා තදාස්ශ්‍රිත ඉන්දු-ගංගා නිමිනයේ පුරාවිද්‍යා කැණීමි වලටද සහභාගී විය. පරණවිතාන මහතා ඉන්දියාවේ ශිලා ලේඛන විද්‍යාව (epigraphy) , ප්‍රතිමා විද්‍යාව (iconography) , නානක විද්‍යාව (numismatics) , කෞතුකාගාර විද්‍යාව(museology), කැණීමි සහ තහවුරු කිරීමි (excavation and conservation ), පුරාවිද්‍යා කටයුතු පර්‍රපාලනය (archaeological administration ), පිළිබඳව පුහුණුව ලැබිය.


1926 අප්‍රේල් මස 24 දින නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර ශිලාලිපි විමර්ශණ නිළධාරී තනතුරෙහි වැඩභාර ගන්නා ලදි. 1929 දී එපිග්‍රෆියා සෙයිලනිකා නමි ලංකා ශිලා ලිපි සංග්‍රහයේ කර්තෘ පදවිය ලැබ 1964 දක්වා එම තනතුරෙහි වැඩ භාර ගන්නා ලදි. පරණවිතාන මහතා 1930 මාර්තු 03 දින පානදුර වලානේ කිතුල්ගොඩ වලවිවේ රොස්ලින් කිතුල්ගොඩ මෙනෙවිය සමග විවාහ විය.


මේ අතර 1923-1935 දක්වා කාලය තුළ පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් ධූරයේ තාවකාලිකව වැඩ භාර ගනී. 1935 දි ඕලන්දයේ ලයිඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කර්න් ආයතනයෙන් පල කෙරෙන වාර්ෂික පුස්තක නාමාවලි සංග්‍රහයෙහි කර්තෘ මණ්ඩලයේ සාමාජික පදවිය ලැබිය. මෙතුමා විසින් සම්පාදනය කරනු ලැබු The Stupa in Ceylon නම් කෘතිය වෙනුවෙන් 1936 දී ලයිඩන් සරසවියෙන් දර්ශණ විශාරද උපාධිය (ph.D) ලැබුණි. 1940 ඔක්තොමිබර් 01 දින එතුමා පුරාවිද්‍යාකොමසාරිස් ලෙස සේවයෙහි ස්ථිර කරනු ලැබීය. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඔහු විය. එම තනතුර මීට ඉහතදී ඉංග්‍රිසී ජාතික විද්‍යාඥයන් දරන ලදි.සිය සේවයට උපහාර ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිළධාරි යන ගරු නාමයද 1952 දීබ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොමාන්ඩර් යන විශේෂ ගෞරව නාමයද දෙවන එළිසෙබෙත් මහ රැජින මෙතුමාට පිරිනමන ලදි. 1955 දි රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ රන් පදක්කමද පරණවිතානයන්ට හිමි විය.

කරන ලද සේවය[සංස්කරණය]

සෙනරත් පරණවිතාන මහතා ලංකාවේ පුරාවිද්‍යාව උදෙසා විශාල සේවාවක් සිදු කරණු ලැබීය.පළමු වන කාශ්‍යප රජු විසින් ඉදිකරණ ලදැයි සැලකෙන සීගිරිය එළිපෙහෙළි කරවා සංරක්‍ෂණය කිරීමට පියවර ගන්නා ලදි. සීගිරි ගී කියවීමට ඔහු දහස් වරකට වඩා සීගිරිය තරණය කර ඇත. පළමු වන කාශ්‍යප රජු සිගිරිය ඉදිකළේ ආලකමන්දාවට සමානවන පරිදි බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම ආලකමන්දාවේ කුවේරයෙකු ලෙස කාශ්‍යප රජුද විසීමට තැත් කළ බවත් සීගිරි බිතුසිතුවමි වල රන්වන් පැහැයෙන් යුත් ස්ත්‍රින්ගෙන් විජ්ජුලතා (විදුලිය) ද නිල් පැහැයෙන් යුත් ස්ත්‍රින්ගෙන් වැහි වලාකුළු ද නිරෑපණය වන බවත්ය.

ඉසුරුමුණියේ ගලක නෙලා ඇති අශ්ව හිස අසල වාඩි වී සිටින මිනිස් රුව පිළිබඳව පරණවිතාන මහතා පැවසුවේ මිනිස් රුවෙන් වර්ෂාවට අධිපති වෛදික පර්ජන්‍ය දෙවියන්ද අශ්වයා මඟින් ගිනි දෙවියන් වු අග්නිගේ මූර්තියද ප්‍රතීයමාන වන බවයි. ශ්‍රී ලංකාවේ කාසි ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙන රන් කහවනුව පිලිබදව මෙතුමා දක්වා ඇති අදහස් සුවිශේෂි වේ. රන් කහවනුවේ අභිමුඛයේ හා ප්‍රතිමුඛයේ සටහන් කර ඇති පුද්ගල රෑප මගින් ධනයට අධිපති කුවේරයාගේ වස්තුව ආරක්‍ෂාකරන්නා වූ සංඛ හා පද්ම යන බහිරවයන් නිරෑපනය වන බවයි.

එමෙන්ම ඉන්දු-නිමිනයට අයත් මොහෙන්ජොදාරෝ-හරප්පා චිත්‍රාක්‍ෂර ලිපි සඳහා පැහැදිලි අර්ථකථනයක් සැපයීමට පරණවිතාන මහතා සමත් වීය. ඵතුමන් සෙල්ලිපි කියවිමෙන් බොහෝ තොරතුරු අනාවරණය කර ගත්හ.එමෙන්ම ඉතිහාසය නිවැරදි කිරීමේ කටයුතුද සිදුකරණ ලදි. නිදසුන් ලෙස අභයගිරිය, ජේතවනාරාමය ලෙසින් නමි මාරු වී පැවතුන අතර පරණවිතාන මහතාගේ දැනුමෙන් එය නිවැරදි විය.

1956 දී සීගිරි කුරුටු ගී නමි ග්‍රන්ථය පල කරණ පරණවිතාන සීගිරි කුරුටු ගී 685 ක පෙළ සහ අරුත් අර්ථකථනය කර ඇත. වසර 25 ක් පමණ සිදු කළ ගවේෂණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස එය හදුන්වා දිය හැකිය.එම ග්‍රන්ථයට 8,9,10 සියවස් වල ලියවුණ කුරුටු ගී පමණක් අන්තර්ගත විය.කැටපත් පවුරෙහි වූ 6.7.11,12 සියවස් වලට අයත් කුරුටු ගී කියවීමට එතුමන්ගේ දිවි ගමන තුළ නොහැකි විය. මෙකී ග්‍රන්ථය මඟින් සීගිරි ගී වල නිර්මාණශීලීත්වය පිළිබඳව කරුණු දක්වයි.


බදුල්ලේ ටැමි ලිපිය,මැදිරිගිරියේ පුවරු ලිපිය,මන්නාරමේ කචිචේරිය ටැමි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දෙමින් වැරදි ලෙස පිටපත් කර වැරදි අරුත් ගෙන දුන් ඒවා නිවැරදි බවට පත් කරණ ලදි. සඳකඩ පහණ තුළින් නිරෑපණය වන්නේ භව චක්‍රය බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම පඬුවස් නුවර කැණීමි වලින් හමු වූ එක්ටැමි ගෙය හි නෂ්ඨාවශේෂ මහා පරාක්‍රමබාහු රජු චක්‍රවර්තී ආකල්පය රටට පල කිරීමට කළ ගොඩනැගිල්ලක අවශේෂ බවත් පෙන්වා දෙයි.


ඵ් ඵ් යුග වල පැවැති පාලන ක්‍රමයන්, නිල තල, ආර්ථිකයන් මෙන්ම සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂා පිළිබඳවද පූර්ණ දැනුමකින් පිරිපුන්ව සිටි පරණවිතානයන් වටිනා සාහිත්‍ය කෘතීන් ඵළි දක්වයි.සිංහලයන් පිළිබඳ ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක තොරතුරු දක්වමින් සිංහලයෝ (sinhalayo) නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් කරයි.

කුටිටම් පොකුණ, අනුරාධපුර මඟුල් උයන, මැදිරිගිරිය, වටදාගෙය, සීගිරි පියසට අයත් වට පිටාව වැනි ස්ථාන වලට ස්වාභාවික පරිසරයක් සකස් කර දීමටද එම ස්ථාන අලංකාර කිරීමටද පරණවිතාන මහතාගේ ප්‍රඥාව ඉවහල් විය. ලංකාවේ ප්‍රථම අගනුවර වූ අනුරාධපුරයෙහි පුරාවිද්‍යා කෞතුකාගාරයක් පිහිටුවීමේ ගෞරවයද මෙතුමාට හිමි වේ.

මනුෂ්‍යාගේ සංසාරික පුරුද්ද සත්‍යයක්ය යන්න ඔප්පු කිරීමේ පරම නිදර්ශනයක් වූ පරණවිතාන මහතා තුළ කා වැදී තිබුණ පුදුම කුසලතාවන් දෙස බලන විට ,එතුමාට සම කළ හැකි අන් කිසිවකු මේ රටේ නොවු බවත්, වර්තමානයේ ජිවත් නොවන බවත් අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ." (ඉන්ද්‍රාණි වීරසිංහ, 34 පිටුව, 'මහ ඇදුරු සෙනරත් පරණවිතාන')

එතුමාගේ සේවාවෙහි ශ්‍රේෂ්ඨත්වය මෙම හදුන්වා දීමෙන් පැහැදිලි වේ. 1956 දෙසැමිබර් මස 26 දින සෙනරත් පරණවිතාන මහතා පුරා විද්‍යා කොමසාරිස් ධූරයෙන් සමු ගන්නා ලදි. අනතුරුව 1957 සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා මහාචාර්ය තනතුරට පත් විය.මෙය ලංකාවේ විශ්ව විද්‍යාලයක ඇති කරණ ලද ප්‍රථම පුරාවිද්‍යා මහාචාර්ය පදවියයි. 1960දී විද්‍යෙදය විශ්ව විද්‍යාලයෙන් "සාහිත්‍ය ශූරී " සමිමාන උපාධිය ලැබුණි. 1962 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයද "සාහිත්‍ය චක්‍රවර්තී " සමිමාන උපාධියද පිරි නැමීය. 1964 දී එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම ගෙන කොළඹ පදිංචියට පැමිණෙති.

දරුවන් නොසිටියද ඔහු සතු වු මානුෂීය දයාව, කරුණාවෙන් හෙබි හදවත නිරතුරුවම ස්නේහයෙන් පිරී පැවතුණි. 1969 දී එතුමන්ගේ සියළු කටයුතු සඳහා පසුපසින් සිටි පරණවිතාන මැතිණිය මිය යයි.පරණවිතාන මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද පුරා විද්‍යා කටයුතු පිළිබඳව සොයා බැලීය. 1972 ඔක්තොමිබර් මස 04 වෙනි දින සෙනරත් පරණවිතාන නමි ශ්‍රේෂ්ඨ විද්වතාණන්ගේ අභාවය සිදු විය. නමුත් ඔහුගේ සේවාව පුරාවිද්‍යා ක්ෂේත්‍රය පුරාවටම රැදී පවතිනු ඇත.

රචනා කරන ලද ග්‍රන්ථ[සංස්කරණය]

පරණවිතානයන් සේවය කළේ දෙවන ලෝක යුද්ධයෙන් ලෝකය ගිනිබත්ව පැවති යුගයකය. නමුත් ඔහුගේ බහුශ්‍රැතභාවයත්, ශක්තියත් හේතුකොටගෙන ඔහු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සේවය කළ 17 වසර ශ්‍රී ලාංකීය පුරා විද්‍යා ඉතිහාසයේ රන් අකුරින් සටහන්ව ඇත. වර්තමානයේ ශ්‍රී ලාංකීය ඉතිහාසය විස්තර කරනු ලබන්නේ ඔහු විසින් රචිත අධ්‍යාපනික සහ පර්යේෂණ ග්‍රන්ථ ආශ්‍රයෙනි. එතුමා විසින් ලෝකයට හෙලි කරන ලද ලෝක ඉතිහාසයේ වැදගත් සිහිවටනයක් වන සීගිරි කුරුටු ගී අද වන විට ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාල‍යීය මුද්‍රණාලය මඟින් ග්‍රන්ථ ලෙස ප්‍රකාශනයට පත් කොට ඇත.

එතුමන් විසින් රචිත දේශීය, විදේශීය සඟරාවන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රචනා වී ඇත. ඒ ශිලා ලේඛන විද්‍යාව, ඉතිහාසය, කලාව, ගෘහනිර්මාණ ශිල්පය, ආගම සහ සාහිත්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේය. එම ප්‍රකාශන කීපයක් පහත දැක්වේ.

  • ද ශයින් ඔෆ් උපුල්වන් ඇට් දෙව්න්දර (The shine of upulwan at Devundara) (1953)
  • ද ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක් (The God of Adam’s peak) (1958)
  • සෙලොන් ඇන්ඩ් මැලේසියා (Ceylon and Malaysia) (1961)
  • ඉන්ස්කිරිප්ශන් ඔෆ් සෙලෝන් වොල් I (Inscription of Ceylon Vol 1) (1970)
  • ද ග්‍රීක්ස් ඇන්ඩ් ද මයුරාස් (The Greeks and the mauryas) (1917)
  • අර්ට්ස් ඔෆ් ඒන්ශන් සින්හලීස් (Arts of Ancient Sinhalese) (1971)
  • ඉන්ස්කිරිප්ශන් ඔෆ් සෙලෝන් වොල් II (Inscription of Ceylon Vol II) (මරණින් පසු ප්‍රකාශණයට පත්විය)
  • සීගිරි කාතාන්දරය (Story of Sigiriya) (මරණින් පසු ප්‍රකාශණයට පත්විය)
  • සිංහලයෝ (Sinhalayo)

සිංහලයෝ නම් කෘතිය 1967 දී රචනා කරන ලද අතර එය සිංහලයන්ගේ ඉතිහාසය සහ ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණ විග්‍රහ කිරීමේ අරමුණින් රචනා වී ඇත.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සෙනරත්_පරණවිතාන&oldid=444266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි