Jump to content

ජාතික ගීය - ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා මාතා
ඉංග්‍රීසි: National Anthem of Sri Lanka (Mother Sri Lanka)
මේ රටෙහි ජාතික ගීය ශ්‍රී ලංකාව
පද රචනයආනන්ද සමරකෝන්, 1940
සංගීතයආනන්ද සමරකෝන්, 1940
උපයෙදුම1951
සංගීත නියැදිය


ශ්‍රී ලංකා මාතා යනු ශ්‍රී ලංකාවේ ජාතික ගීයයි. 1940 දී සිංහල භාෂාවෙන් එහි පද හා තනුව ලියැවුනේ ආනන්ද සමරකෝන් විසින් වන අතර, 1951, නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ එවකට ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය.

මුල් කාලයෙහිදී ගීයේ මුල් පේළිය කියැවුනේ: "නමෝ නමෝ මාතා, අප ශ්‍රී ලංකා" ලෙසයි. 1950 ගණන් වලදී මෙම වචන පිළිබඳ කිසියම් මතභේදයක් පැවතුනු අතර, 1962 වසර මුලදී එය දැනට පවතින ආකාරයට වෙනස් කෙරිනි.

ද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරන අන්දමට, 1952 දී ජාතික ගීය බවට නමෝ නමෝ මාතා ගීය තෝරාගැනීමෙන් පසුව එයට විරුද්ධවාදීන් දක්වා ඇත්තේ ගීය ඇරඹෙන අකුර අසුබ ඵල ගෙන දෙන්නක් බවයි. මෙම විරෝධය දිගු කලක් පැවැති අතර 1962 වන විට එය වර්ධනය වෙමින් හුවා දැක්වූයේ ඩී. එස්. සේනානායක වියෝව, ඩඩ්ලි සේනානායක රජයේ බිඳ වැටුම හා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය වැනි දේ සිදු වූයේ මෙම ගීයේ මුල් අකුර නිසා බවය. මෙය හමුවේ 1962 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් ජාතික ගීයේ මුල් පද පෙළ වෙනස් කලේ එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශූරීන් නොවිමසමනි. තමන් රචනා කල ගීයට විරුද්ධ බලවේග වලට එරෙහි වෙමින් සමරකෝන් ශූරීන් විවිධ පරිශ්‍රම දැරූ අතර ගීය වෙනස් කලහොත් සිය දිවි නසාගන්නා බවට බලධාරින් වෙත දන්වා තිබිණි. මහත් සිත් තැවුලට පත් හෙතෙම එම අයුරින්ම 1962 අප්‍රේල් 5 දින සිය දිවි හානි කර ගත්තේය.[1]

ශ්‍රී ලංකා මාතා

[සංස්කරණය]
ගීයෙහි සිංහල පදගීයේ දෙමළ පද
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
நறுஞ்சோலை கொள் லங்கா
நமதுறு புகலிடம் என ஒளிர்வாய்
நமதுதி ஏல் தாயே
நமதலை நினதடி மேல் வைத்தோமே
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய்
நவை தவிர் உணர்வானாய்
நமதோர் வலியானாய்
நவில் சுதந்திரம் ஆனாய்
நமதிளமையை நாட்டே
நகு மடி தனையோட்டே
அமைவுறும் அறிவுடனே
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே
நறிய மலர் என நிலவும் தாயே
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
எழில்கொள் சேய்கள் எனவே
இயலுறு பிளவுகள் தமை அறவே
இழிவென நீக்கிடுவோம்
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே


මාධ්‍ය

[සංස්කරණය]

භාෂාව

[සංස්කරණය]

සංස්කෘත වචන, හෙල වචන සහ පාලි වචන යොදා ගෙන ඇත.

දෙමළ අනුවාදය ඉවතලෑම

[සංස්කරණය]

2010 දෙසැම්බර් 12 දිනදී ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, "එක් බසකට වැඩි ගණනකින් ජාතින ගීය භාවිත කරන කිසිදු රටක් ලොව නොපවතින බැවින්", නිල හා රාජ්‍ය උත්සවයන්හිදී, ශ්‍රී ලංකා මාතා හී දෙමළ අනුවාදය භාවිතා කිරීම ඉවක ලෑමට, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාණන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බවකි. [2]

ජාතික ගීයෙහි දෙමළ අනුවාදය අහෝසි කර ඇති බවට පැන නැගුනු චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් පසුව ප්‍රතික්ෂේප කරන ලදි. එසේ කර ඇති බවට පලවී ඇති මාධ්‍ය වාර්තා වලට කිසිදු පදනමක් නොමැති බවට ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරමින් ප්‍රකාශ කර සිටියේය.[3][4]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජාතික ගීය පිළිබඳ සඳහන

[සංස්කරණය]

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තියෙහි දැක්වෙන්නේ, "ශ්‍රී ලංකා ජනරජයෙහි ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" වන අතර, එහි පද හා සංගීතය තුන්වන උප‍ලේඛනයෙහි දක්වා ඇති පරිදි වෙයි" යනුවෙනි. [5] එම තුන්වන උපලේඛනයෙහි සංගීත විස්තාරයට අනුබද්ධව ඉංග්‍රීසි අකුරෙන් ජාතික ගීයෙහි සිංහල පද ලියා දක්වා ඇති අතර ජාතික ගීයේ කුමන කොටස් තුමන අවස්ථා වලදී භාවිතා කල යුතුද යන බව හා එය වාදනය කල යුත්තේ ‍කුමන ආකාරයටද යන්න දක්වා ඇත. [6] [7]

2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි ජාතික ගීය පිළිබඳ සටහන

[සංස්කරණය]

2000, අගෝස්තු 3 වන දින එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි [8] 5 වන වගන්තියෙහි දැක්වෙන්නේ, "(1) ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා වන අතර එහි පදමාලාව හා තනුව සතරවන ලේඛනයෙහි පළමු කොටසේ දක්වා ඇත. (2) ජාතික ගීයේ දෙමළ භාෂා අනුවාදය සතරවන ලේඛනයෙහි දෙවන කොටසේ දක්වා ඇත. " යනුවෙනි. [9] සතරවන ලේඛනයෙහි සිංහල අකුරු වලින් සිංහල අනුවාදයෙහි පදමාලාවද හා දෙමළ අකුරු වලින් දෙමළ අනුවාදයෙහි පදමාලාවද දක්වා ඇත. [10] එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විවාදයෙන් ඉවත් වීම නිසා මෙම කෙටුම්පත සම්මත නොවිණි. 2000 අගෝස්තු 18 වන දිනදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මෙම පණත අහෝසි විය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2002/12/22/fea01.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-14
  2. "National Anthem only in Sinhala; Tamil version out". sundaytimes.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2026-04-07.
  3. "Sri Lanka minister denies Tamil national anthem ban". BBC News (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2010-12-13. සම්ප්‍රවේශය 2026-04-07.
  4. http://www.thehindu.com/news/international/article950506.ece
  5. http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_01_Amd.html
  6. සංරක්ෂිත පිටපත, http://www.priu.gov.lk/Cons/1978Constitution/NationalAnthom001.pdf, ප්‍රතිෂ්ඨාපනය 2010-12-14
  7. http://www.priu.gov.lk/Cons/1978Constitution/NationalAnthom002.pdf
  8. http://www.priu.gov.lk/Cons/2000ConstitutionBill/Index2000ConstitutionBill.html
  9. http://www.priu.gov.lk/Cons/2000ConstitutionBill/Constitution_Chapter1.pdf
  10. http://www.priu.gov.lk/Cons/2000ConstitutionBill/Constitution_Chapter31.pdf
"https://si.wikipedia.org/w/index.php?title=ජාතික_ගීය_-_ශ්‍රී_ලංකා&oldid=784726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි