චීන චාරිත්‍ර ලෝකඩ භාණ්ඩ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අක්වක් අකුණු මෝස්තර සහිත යෞ බඳුනක්, මුල්කාලීන චෞ, ෂැංහයි කෞතුකාගාරය.
ෆු හාඕ ආර්යාවගේ සොහොන්ගැබේ භූමදාන ආවාටයක් දක්නට ලැබෙන අයුරු
ෂෑං ගූ (觚) බඳුනක්, උසැති වයින් බඳුනකි.

චීන ලෝකඩ යුගයේ ‍ශේෂව ඇති භාණ්ඩ අතුරින් අගනාම අංගයන් ලෙස චාරිත්‍ර ලෝකඩ භාණ්ඩ සලකනු ලැබේ. ෂෑං රාජවංශ සමයේ දී චීනය පුරාතන ලෝකයේ වඩාත්ම නිපුණ ලෝකඩ-කර්මාන්තයකින් යුත් ශිෂ්ටාචාරයක් බවට පත් විය. ජනයා ලෝහ උණු කොට, දියකොට සහ වාත්තු කොට ආහාර පිසින බඳුන්, උපකරණ, ආයුධ සහ වෙනත් ගෘහභාණ්ඩ නිර්මාණය කළහ. පුරාතන ලෝකඩ භාණ්ඩවල ආරක්ෂාවට දැව මත ලාකඩ ආලේප කිරීම තුළින් පුරාතන චීන ජනයා කෙතරම් හොඳින් මෙම භාණ්ඩ සංරක්ෂණය කළේ දැයි නූතන පුරාවිද්‍යාඥයෝ විස්මයට පත් වෙති.[1] ක්‍රි.පූ. 1650 පමණ සිට මෙම අලංකාර භාණ්ඩ රාජකීයයන්ගේ සහ වංශවතුන්ගේ සොහොන්ගැබ්වල සොහොන් භාණ්ඩ ලෙස තැන්පත් කොට ඇත. මේවා විශාල ප්‍රමාණයෙන් සොහොන්ගැබ්වල තැන්පත් කෙරුණු අතර, වරක් තනි සොහොන්ගැබක කැනීම්වලින් ලෝකඩ භාණ්ඩ 200කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. මෙම භාණ්ඩ තනි තනි පුද්ගලයන්ගේ පවුලේ දේවස්ථාන සහ උත්සව ශාලාවන්හි සිය මුතුන් මිත්තන්ට ආහාර සහ පාන වර්ග පූජා කිරීමේ චාරිත්‍ර සඳහා නිර්මාණය වී ඇත. නැතහොත් ජීවත් වන මෙන්ම මියගිය සාමාජිකයන් සඳහා පැවැත්වූ භෝජන සංග්‍රහවල දී මේවා භාවිතා වන්නට ඇත; මුල්කාලීන ලිඛිත වාර්තා තුළ මේ පිළිබඳ සඳහන් වේ. හිමිකරුගේ මරණයේ දී. මෙම භාණ්ජ ඔහුගේ සොහොන්ගැබේ තැන්පත් කෙරිණි. එමගින් ඒවා ඔහුට ඊළඟ දිවියේ දී භාවිතයට ගතහැකි වේ යැයි අපේක්ෂා කෙරිණි. සොහොන් භාණ්ඩ ලෙසම විශේෂයෙන් තැනවූ භාණ්ඩ ද හමුවේ.[2]

චාරිත්‍ර භාණ්ඩ සාමාන්‍ය භෝජන හෝ පානමය කටයුතු සඳහා භාවිතා නොවී ය; මේ සඳහා වටිනා ලෝහවලින් තැනූ වඩා අලංකෘත භාණ්ඩ ප්‍රභේද භාවිතා විය. මේස බඳුන්වලට අමතරව, ආයුධ සහ ඇතැම් භාණ්ඩ විශේෂ චාරිත්‍ර කටයුතු සඳහා නිර්මාණය විය. වෙනත් චාරිත්‍රමය භාණ්ඩ අතරට සියල්ලටම වඩා වටිනා යැයි සැලකුණු ජේඩ්වලින් තැනූ ආයුධ ආදිය ද අයත් වේ. ‍ක්‍රි.පූ. 4,500 පමණ සිට මේවා චාරිත්‍ර භාණ්ඩ සහ ආයුධ තැනීමට භාවිතා විය.[3]

අවම වශයෙන්, ලෝකඩ නිෂ්පාදන පාලකයාගේ පාලනය යටතේ වත් පවතින්නට ඇත. ඔහු සිය පැහැදීමේ සංකේතයක් ලෙස වංශවතුනට සකස් නොකළ ලෝහ ලබා දී තිබේ.[4]

භාවිතය[සංස්කරණය]

ලෝකඩ භාණ්ඩ (සරල චීන: 青铜器; සම්ප්‍රදායික චීන: 青銅器; පින්යින්: qīng tóng qì; වේඩ්–ගයිල්ස්: ch'ing t'ong ch'i) චීන කලාවේ අතිශයින්ම වැදගත් කෞතුක භාණ්ඩ අතුරින් එකක් වන අතර, අධිරාජකීය කලා එකතූන් තුළ මේ සඳහා වෙනම ප්‍රවර්ගයක් වෙන්කොට ඇත. චීන ලෝකඩ යුගය ඇරඹුණේ ෂියා රාජවංශ (ක්‍රි.පූ. 2070 – ක්‍රි.පූ. 1600 පමණ) සමයේ වන අතර, ලෝකඩ චාරිත්‍ර භාණ්ඩ භාවිතය ෂෑං රාජවංශ (ක්‍රි.පූ. 1600–1046) සහ චෞ රාජවංශයේ (ක්‍රි.පූ. 1045–256) මුල්කාලීන අවධියේ උච්චත්වයට පත් විය.

වර්තමානයේ දක්නට ඇති චීන පුරාතන ලෝකඩ භාණ්ඩවලින් බහුතරයක් චා‍රිත්‍ර සඳහා භාවිතා වූ ඒවා වන අතර, එදිනෙදා භාවිතයට ගත් මෙවලම් සහ උපකරණ අල්ප ය. සිරි සහ පොරෝ වැනි ආයුධ සතුව ද චාරිත්‍රමය අර්ථයක් පැවති අතර, එමගින් පාලකයාගේ දිව්‍යමය බලය සංකේතවත් කෙරේ. ලෝකඩ භාණ්ඩ හා බැඳුණු ප්‍රබල ආගමික සංකල්ප නිසා බඳුන් විශාල සංඛ්‍යාවක් සම්භාව්‍ය ස්වරූපයෙන් යුතු යැයි සැලකුණු අතර, ඒවා අනුකරණයට ලක් විය. චීන කලාවේ පසුකාලීන අවධිවල දී චීන පෝසිලේන් වැනි වෙනත් මාධ්‍යවලින් ද මේවා අනුකරණයට ලක් විය‍.

පැරණි චීනයේ චාරිත්‍ර ග්‍රන්ථ මගින් පූජා භාණ්ඩ කුමන් ප්‍රභේදවලින් ‍සහ කුමන ප්‍රමාණවලින් භාවිතයට ගැනීමට අවසර ලද ජන කොට්ඨාස පිළිබඳ විස්තර සපයයි. චෞහි රජු ඩිං බඳුන් 9ක් සහ ගුයි බඳුන් 8ක් භාවිතා කළේ ය. ආදිපාදවරයකුට අවසර හිමිවූයේ ඩිං 7ක් සහ ගුයි 6ක් භාවිතයටයි. බැරන්වරයකුට ඩිං 5ක් සහ ගුයි 3ක් ද, වංශවතකුට ඩිං 3ක් සහ ගුයි 2ක් ද භාවිතයට අවසර හිමි විය. නමුත් සැබෑ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සැලකූ විට, අසාමාන්‍ය ලෙස බලවත් ෂෑං රැජිනක වූ ෆු හාඕගේ සොහොන්ගැබ තුළ තිබී හමුවූ චාරිත්‍ර බඳුන් සංක්‍යාව දෙසියය ඉක්මවී ය. මෙය සමකාලීන වංශවතකුගේ සොහොන්ගැබෙන් හමුවූ බඳුන් විසිහතර හා සැසඳීමේ දී ඉතා විශාල අගයයකි. ඇගේ ඉහළ තත්ත්වය ඇගේ සමකාලීනයන්ට බෙහෙවින් පැහැදිළි වන්නට ඇත.[5] මේ අතුරින් බොහෝ භාණ්ඩ වාත්තු කොට ඇත්තේ ඇගේ නාමයේ මරණාපර ස්වරූපය ඇතුළත් අභිලේඛන ද සමගිනි. ඒ අනුව පෙනෙන්නේ මේවා ඇගේ සොහොන්ගැබේ මිහිදන් කිරීමට විශේෂයෙන් නිමවූ ඒවා බවයි.[6]

අධිරාජකීය එකතුවේ ඇති භාණ්ඩවල වර්ගීකරණය[සංස්කරණය]

පාරම්පරික භාණ්ඩ ලෙස නොව, චීන ලෝකඩ භාණ්ඩ ඇගයීම, නිර්මාණය සහ එකතු කිරීම ඇරඹී ඇත්තේ සොං රාජවංශ යුගයේ වන අතර, ක්විං රාජවංශයේ ක්වියැන්ලොං අධිරාජයාගේ සමයේ මෙය උච්චත්වයට පත් විය. ඔහුගේ දැවැන්ත එකතුව ෂික්විං ගුජියැන් සහ ෂික්විං ජිජියැන් (西清繼鑑) නම් වාර්තාවල ලේඛනගත කොට ඇත. මෙම නාමාවලි දෙකෙමි භාවිතය අනුව පහත පරිදි ප්‍රවර්ගීකරණය කොට ඇත:

  • පූජා බඳුන් (祭器, ජික්වි),
  • වයින් බඳුන් (酒器, ජියුක්වි),
  • ආහාර බඳුන් (食器, ෂික්වි),
  • ජල බඳුන් (水器, ෂුයික්වි),
  • සංගීත භාණ්ඩ (樂器, යුඑක්වි),
  • ආයුධ (兵器, බීංක්වි),
  • මිනුම් බහාලුම් (量器, ලියැංක්වි),
  • පුරාතන මුදල් (錢幣, ක්වියැන්බි), සහ
  • වෙනත් (雜器, සක්වි).

මේ අතරින් වඩාත්ම ප්‍රශංසාවට ලක්ව ඇත්තේ පූජා සහ වයින් බඳුන් ය. ඒවා සියලු පුරාවස්තු එකතූන්හි ප්‍රමුඛත්වයක් දරයි. බොහෝවිට මෙම භාණ්ඩ ටාඕටියේ මෝස්තරවලින් අතිශයින් අලංකාර කොට ඇත.

පූජා බඳුන්[සංස්කරණය]

හෞමුවු ඩිං (චීන: 后母戊鼎; පින්යින්: Hòumǔwù dǐng), මෙතෙක් හමුවූ විශාලතම පුරාතන ලෝකඩ බඳුන වේ‍.
  • ඩිං (鼎) පූජා බඳුනකි (祭器); මුලින් මෙය ආහාර පිසීම සහ මස් ගබඩා කිරීමට (食器) භාවිතා වූ කල්දේරමකි. ෂෑං මූලාදර්ශයන්හි වෘත්තාකාර පාත්‍රයක්, උසට වඩා පළලින් වැඩි පාද තුනක් මත (足) අති බඳුනකි; දෙපස කෙටි අඬු දෙකක් ඇත (耳). පසුකාලීන නිදසුන් ක්‍රමයෙන් විශාල ස්වරූපයක් ගත් අතර, එය බලයේ සංකේතයක් ලෙස සැලකිණි. සංස්කෘතික වැදගත්කම නිසා මෙය චීන ලෝකඩ භාණ්ඩ අතර වටාත් වැදගත්ම භාණ්ඩ ප්‍රභේද ලෙස සලකනු ලබයි. මෙහි ෆෑංඩිං (方鼎) නම් ප්‍රභේදයක් ද ඇති අතර, එහි සතරැස් හැඩැති භාජනයක්, සහ කොන් සතරේ පාද සරක් ඇත. පියන් සහිත දුර්ලභ ප්‍රභේද ද ඇත. 西清古鑒 සඳහා නිදසුන් දෙසියයකට අධික සංඛ්‍යාවක් හමුවේ. සියලු චීන ලෝකඩ බඳුන් අතරින් වඩාත්ම පිළිගැනීම ලද බඳුන් වර්ගය මෙයයි.
  • ඩෞ (豆): පූජා බඳනකි (祭器). මෙය මුලින් ආහාර බඳුනක් ලෙස භාවිතා විය. පැතලි, සංවෘත බඳනක් වන මෙහි දිගු කඳක් ඇත.
  • ෆු (簠): ඍජුකෝණාස්‍රාකාර දීසියකි. සිරස් කඩක් සැලකූ විට ත්‍රිකෝණාකාර හැඩැති ය. දීසියක හැඩැති පියනකින් යුක්ත ය.
  • සූන් (尊 හෝ 樽 හෝ 鐏): වයින් බඳුනක් සහ පූජා බඳුනක් (器為盛酒亦祭用也) වේ. උසැති සිලින්ඩරාකාර වයින් සරාවකි. අල්ලු හෝ පාද නොමැත. මෙහි මුඛය දේහයට වඩා මඳක් පළල් ය. පසුකාලීන චෞ (周) රාජවංශ සමයේ දී, මෙම බඳුන් වර්ගය අතිශයින් විසිතුරු විය. එහි දී මෙය සම්ප්‍රදායික හැඩයෙන් තොරව, සත්ත්ව හැඩයෙන් නිර්මාණය කෙරිණි. මෙම පසුකාලීන ප්‍රභේද ගෝං (觥) බඳුන්වලින් වෙනස් වන්නේ කුඩා, දළ වශයෙන් වෘත්තාකාර මුඛයක් පැවතීම නිසාවෙනි. ඩිං (鼎) බඳුන්වලින් පසුව දෙවන විශාලතම බඳුන් කාණ්ඩය මෙය බව සික්විං ගුජියැන් තුළ දැක්වේ.
  • සු (俎): පැතලි ඍජුකෝණාස්‍රාකාර වේදිකාවක් සහිත වන අතර, සතරැස් හැඩැති පාද සතරක් සතර කොනෙහි දැකගත හැක. ෂික්විං ගුජියැන් තුළ විස්තර නොවේ.
  • යි (彝): පූජා බඳුනකි. ස්වරූප දෙකක් ඇත: A. අඬු දෙකක් සහිත විශාල මහත් වූ වෘත්තාකාර බඳුන්; B. උසැති මංජුසාවක හැඩැති බහාලුමකි. පාදම මුඛයට වඩා පටු අතර, පියස්සක හැඩැති පියනක් ඇත. මෙය පසුකාලීනව සියලු පූජා බඳුන් සඳහා සමූහ නාමයක් ලෙස භාවිතා විය.

වයින් බඳුන්[සංස්කරණය]

පූජාසනයක් වටා හමුවූ විවිධ වයින් බඳුන් වර්ග, බටහිර චෞ, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.
ෂෑං යුගයට අයත් ගූ බඳනක දෙපස ඇති ජුඒ බඳුන් යුගලක්
  • ගෝං (觥, ගුවාං ලෙස උච්චාරණය නොකෙරේ): දිගටි, සත්ත්වයකුගේ හැඩයට කැටයම් කළ වයින් බඳනකි. බඳුනේ මුඛය වටා ආවරණයක් ඇත. මෙය ෂික්විං ගුජියැන් තුළ ඇතුළත් වර්ගීකරණයක් නොවේ; මෙම ආකාරයේ බඳුන් 匜 යටතේ වර්ගීකරණය කොට ඇත.
  • ගූ (觚): මිටවල් නොමැති උසැති වයින් බඳුනකි. පාදමට වඩා මුඛය පළල් ය.
  • ගුයි (簋): මිටවල් නොමැත පාත්‍රයකි.
  • හේ (盉): තේ පෝච්චියක හැඩැති, පාද තුනකින් යුත් වයින් බඳුනකි. මෙහි මිටක් (පැන් 鋬) සහ උසැති කෙමියක් ඇත. කෙමිය ඉහළට විහිදේ.
  • ජියා (斝): වයින් උණුසුම් කරන කල්දේරමකි. ඩිං (鼎) බඳුනක ස්වරූපය ගත්තත්, දේහයේ උස එහි පළලට වඩා වැඩි ය. අඬු ලෙස ක්‍රියාකරන කෙමියේ ගැටිත්තෙන් විහිදෙන දඬු (柱) දෙකක් තිබිය හැක.
  • ජුඒ (角,ජියැඕ ලෙස උච්චාරණය නොකෙරේ): 爵 බඳුනකට සමානවයින් බඳුනක් නමුත්, කෙමිය සහ ගැටිය සමාන ය. පියනක් ද ඇත.
  • ජුඒ (爵): පාද තුනක් සහිත වයින් බඳුනකි. උල්වූ කටක් (尾) සහිත කෙමියක් (流) සමග අල්ලුවක් (鋬) ද දක්නට හැක.
  • ලෙයි (罍): වයින් බඳුනක් වන මෙය වෘත්තාකාර දේහයක් සහිත ය. පියනක් සහිත අතර මුඛයේ දෙපස අඬුව බැගින් දැකගත හැක.
  • ලි (鬲): පාද තුනක් සහිත කල්දේරමකි. ඩිං (鼎) බඳුනකට සමාන වුවත්, පාද දේහය සමග සම්බන්ධ වී ඇති අතර, මුදුනේ විශාල ගැටිති පැවතිය හැක.
  • චී (卮/巵/梔): වයින් බඳුනකි. මිනුම් බහාලුමක් ද වේ. පිං (瓶) බඳුනක ස්වරූභය ග්තත ද, මෙය කෙටි සහ පළල් ය.
  • චෝං (鍾): මිටවල් නොමැති වයින් බඳුනකි.
  • සුන් (尊/樽/鐏): වයින් බඳුනක් සේම පූජා බඳුනක් (器為盛酒亦祭用也) ද වේ. උසැති සිලික්ඩරාකාර වයින් සරාවකි. මිටවල් හෝ පාද දක්නට නොලැබේ. දේහයට වඩා මුඛය මඳක් පළල් ය. පසුකාලීන චෞ රාජවංශ සමයේ දී, මෙම ආකාරයේ බඳුන් අතිශයින් විසිතුරු විය. මෙය බොහෝවිට සත්ත්ව හැඩයෙන් යුක්ත විය. මෙම පසුකාලීන ප්‍රභේදවල ඇති කුඩා, දළ වශයෙන් වෘත්තාකාර මුඛය නිසා ගෝං (觥) බඳුන්වලින් වෙන්කොට හඳනාගත හැක. මෙම ආකාරයේ බඳන් ප්‍රභේද ෂික්විං ගුජියැන් අනුව, ඩිං (鼎) බඳන්වලින් පසු දෙවන විශාලතම බඳුන් ප්‍රභේදය මෙයයි.

ආහාර බඳුන්[සංස්කරණය]

ජ්‍යාමිතික වලාකුළු රටා සහිත ඩුයි බඳුනක්, සතුරු රාජ්‍ය සමය, හුබෙයි පළාත් කෞතුකාගාරය.
පැන් ආහාර බඳුනක්; මෙය පාදයක් රහිත ශෛලියෙන් යුක්ත ය.
සංවෘත ආහාර බහාලුමක් (ඩෞ), ක්‍රි.පූ. 6වන සියවස[7] වෝල්ටර්ස් කලා කෞතුකාගාරය.
  • ඩුයි (敦, ඩූන් ලෙස ශබ්ද නොකෙරේ): ගෝලීය තලියක් වන අතර, දූවිල්ලෙන් සහ වෙනත් දෑ වලින් අන්තර්ගතය ආරක්ෂා කිරීමට ආවරණයක් ඇත.
  • පැන් (盤): රවුම් වක්සූ ආහාර දීසියකි‍. පාද නොතිබිය හැක. එසේ නොමැති නම් කෙටි පාද තුනක් හෝ සතරක් තිබිය හැක.
  • යෞ (卣): බඳුනේ මුඛයේ සම්මුඛ පැතිවලට සම්බන්ධ කළ තනි පුඩුවක් වැනි අල්ලුවකින් සමන්විත ආවරණය කළ බඳුනකි.
  • සෙං (甑): සහල් බඳුනකි; ෂික්විං ගුජියැන් තුළ 腹 ලෙස දැක්වේ. 西清古鑑 තුළ වෙනම ප්‍රවර්ගය දක්වා නොමැත: බලන්න යැන් (甗).

ජල බඳුන්[සංස්කරණය]

  • බු (瓿): පෞ (瓿) බලන්න.
  • ඩෞ 斗: කෙණෙස්සකි. දිගු මිටක් සහිත උසැති බඳුනකි.
  • මෞ (鍪): අල්ලු දෙකක් සහිත බඳුනකි. ෂික්විං ගුජියැන් තුළ මෙම වර්ගයේ බඳුන් හු (壺) ලෙස වර්ග කෙරේ.
  • පිං (瓶): දිගු සිහින් ගෙලක් සහ පටු මුඛයක් සහිත උසැති බඳුනකි.
  • පෞ (瓿, චීනයේ බු ලෙස උච්චාරණය කෙරේ): කුඩා ලෝකඩ වෙං (甕) බඳුනකි.
  • වෙං (瓮 හෝ 甕): රවුම් මුඛයක් ඇති, රවුම් කඳක් ඇති බුජමක් වන අතර පාදයක් නැත. ජලය හෝ වයින් රැඳනීමට භාවිතා වේ. වර්තමානයේ මෙය අළු දැමීමට බහුලව භාවිතා වේ.
  • යැන්ඩී (硯滴): තීන්ත ගලක් සඳහා වන ජල බහාලුමකි; බො‍හෝවිට සතුකගේ හැඩයෙන් යුත් අතර, නික්තුවන ජලය පාලනයට කුඩා බිංදුකරයක් ඇත.
  • යි (匜): කෙමියක් සහිත පාත්‍රයක් හෝ කොතලයකි; ඇතැම්විට සත්ත්ව හැඩයෙන් නිර්මාණය කොට තිබිය හැක.
  • යු (盂): ජල බේසමකි. දරාය වටා අලංකාර අල්ලු සතරක් තිබිය හැක; ගැට්ටක් නැත.
  • චි (觶): පළල්-මුඛයක් සහිත බඳුනකි. හු (壺) බඳුනකට හැඩයෙන් සමාන නමුත්, අඬු නැත.
  • චෝං (盅): අඬු රහිත කුඩා කෝප්පයකි. ෂික්විං ගුජියැන් තුළ සඳහන් නොවේ.

සංගීත භාණ්ඩ[සංස්කරණය]

  • බෝ (鈸): කයිතාළමකි. ෂික්විං ගුජියැන් තුළ සඳහන් නොවේ. නැඕ (鐃) බලන්න.
  • ගු (鼓): බෙරයකි.
  • ලිං (鈴): කුඩා සීනුවකි (පීත්ත පටි ආධාරයෙන් එල්ලන්නට ඇත). මෙම අංගය ෂික්විං ගුජියැන් තුළ විස්තර නොවේ.
  • නැඕ (鐃): කයිතාළමකි. ෂික්විං ගුජියැන් තුළ විස්තර නොවේ. ‍බෝ (鈸) බලන්න.
  • චෝං (鐘): විශාල සීනුවකි, කුළුණකින් එල්ලා තබන්නට ඇත.

ආයුධ[සංස්කරණය]

  • ඩුයි (鐓, ඩුන් ලෙස ශබ්ද නොකෙරේ): හෙල්ලක හෝ කෙටේරි තලයක අල්ලුවේ වූ ලෝකඩ ‍අලංකරණයකි; බොහෝවිට සත්ත්ව මෝස්තර දැකගත හැක.
  • ජියැන් (劍): අසිපතකි. ෂික්විං ගුජියැන් තුළ නිදසුන් තුනක් පමණක් ඇත.
  • නුජී (弩機): හරස් දුනු යන්ත්‍රණයකි. ෂික්විං ගුජියැන් තුළ නිදසුන් දෙකක් පමණක් ඇත.
  • පී (鈹): අසිපත් ප්‍රභේදයකි.
  • සු (鏃): ඊ හිසකි.

මිනුම් බහාලුම්[සංස්කරණය]

  • චී (卮 හෝ 巵 හෝ 梔): වයින් බඳනක් වන මයෙ මිනුම් බහාලුමක් ද වේ. පිං (瓶) බඳුනක් වැනි නමුත් කෙටි හා පළල් ය.

පුරාතන මුදල්[සංස්කරණය]

  • බු (布) හෝ බුවෙන් (布文): පුරතන මුදල් (錢幣). ඍජුකෝණාස්‍රාකාර හැඩැති අතර, පාද දෙකක් සහ හිසක් ඇත. ක්වියැන් (錢) වර්ගයට අයත් ය.
  • ෆුයින්ක්වියැන් (符印錢): යුවැන් (圓) හැඩයෙන් යුත් තාඕවාදී සුරයකි. සාමාන්‍යයෙන් අභිමුඛයේ ජමන්ත්‍රයක් ද, පසුපස පින්තූරයක් ද ඇතුළත් ය.
  • ක්වියැන් (錢): පුරාතන මුදල් (錢幣). 西清古鑑 තුළ මනාව දක්වා ඇත; ප්‍රභේද තුනක් වේ: 布, 刀, 圓(元) q.v.
  • යුවැන් (圓): යුවැන්බි (圓幣), යුවැන්බාඕ (元寶), හෝ යුවැන්ක්වියැන් (元錢) ලෙස ද හැඳින්වේ. වෘත්තාකාර කාසි වන අතර මධ්‍යයේ සිදුරක් පවතියි. සාමාන්‍යයෙන් තඹ හෝ ලෝකඩවලින් තනනු ලබයි; බටහිර බොහෝ ජනයා විසින් 'චීන මුදල්' ලෙස සලකන්නේ මේවා ය. ෆුයින්ක්වියැන් (符印錢) බලන්න.

විවිධ[සංස්කරණය]

සතුරු රාජ්‍ය සමයයට (ක්‍රි.පූ. 775–221) අයත් ලෝකඩ කැඩපතක් (ජියැන්)
  • බියෂුවෝ (表座) සත්ත්ව මෝස්තර සහිත සිලින්ඩරාකාර බහාලුමකි. ෂික්විං ගුයිජන්හි මෙහි නිදසුන් තුනක් පමණක් ඇත.
  • ජියැන් (鑑 හෝ 鑒): මෙමගින් වෙනස් භාණ්ඩ දෙකක් හැඟවේ: ජලය දමන උසැති, පළල් ලෝකඩ දීසියක් හෝ පසුපස අලංකාර කැටයම් සහිත වෘත්තාකාර ලෝකඩ කැඩපතකි. නූතන අර්ථය කැඩපත දන්නයි.
  • ජුඒ (钁): ගල්කටුවක හැඩය සහිත කෘෂිකාර්මික අයුධයක් වන අතර, එය හෝවක් ලෙස භාවිතා වී ඇත. 西清古鑑 අනර්තර්ගත වන්නේ නිදසුන් දෙකක් පමණි; අභිධානයේ සඳහන් වන්නේ: 按說文大鉏也又博雅斫謂之钁 "ෂෞවෙන් [පුරාතන චීන ශබ්ද‍කෝෂයක්] සඳහන් කරන්නේ එය විශාල හෝවක් බවත්, උගතුන් විසින් එය ජුඒ ලෙස හඳුන්වන බවත් ය." නිදසුන් දෙකක ලෝකඩ තල දෙකක් පමණක් හමුවේ. මේවායේ දැවමය මිටවල් විනාශ වී ඇත.
  • ලූ (鑪): ගිනිඅඟුරු බඳුනකි. මේවා අපැහැදිළි අයුරින් ලෝකඩ භාණ්ඩ සමූයක් ලෙස වර්ග කෙරෙන අතර මේවායේ ස්වරූප ගණනාවක් ඇත: A. මෙය ඩිං (鼎) වලට සමාන නමුත් පැන් (盤) මත පිහිටි ඉතා කෙටි පාද ඇත; හෝ B., පැන් (盤) මත පිහිටි ඩුයි (敦) එකකි; හෝ C., පැන් (盤) මත පිහිටි ඩෞ (豆) එකක් වැනි ය.
  • ෂූචෙන් (書鎮): කඩදාසි භාරයකි. සාමාන්‍යයෙන් වැතිරගත් හෝ නැමී සිටින සත්ත්වයකුගේ හැඩය ගත් ඝන ලෝකඩ කුට්ටියකි. (ෂික්විං ගුජියැන් තුළ මේවා තුන්ක විස්තර වේ).

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Branscombe, Allison (November 21, 2014). All About China: Stories, Songs, Crafts and More for Kids. ISBN 978-0804841214. 
  2. Rawson, 44-60
  3. Rawson, 44-60
  4. Rawson, 33-34
  5. Rawson, 33
  6. "Excavations at the Tomb of Fu Hao", accessed August 4, 2007, National Gallery of Art, Washington
  7. "Covered Food Container". The Walters Art Museum. 

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Rawson, Jessica (ed). The British Museum Book of Chinese Art, 2007 (2nd edn), British Museum Press, ISBN 9780714124469
  • Sickman, Laurence, in: Sickman L & Soper A, "The Art and Architecture of China", Pelican History of Art, 3rd ed 1971, Penguin (now Yale History of Art), LOC 70-125675
  • Xi'an Jiaqiang (in Chinese)
  • Xiqing Gujian (西清古鑒). China. 1749–1755. 

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Chinese bronzeware