කුෂ්ඨරාජගල

විකිපීඩියා වෙතින්
කුෂ්ඨරාජගල

කුෂ්ඨරාජගල යනු ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආශ්‍රිත ස්වභාවික ගල් පර්වතයක උන්නතව නෙළා ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමාවක් වේ. එය ගාල්ල-මාතර මාර්ගයේ වැලිගම සිට මාතර දෙසට කිලෝ මීටර පහක් පමණ දුරින් පිහිටයි. ප්‍රථිමාව වැලිගම අග්‍රබෝධි විහාරයට අයත් වේ.

ඉතිහාසය[සංස්කරණය]

කුෂ්ඨරාජගල ප්‍රථිමාව පිහිටා ඇති වැලිගම ප්‍රදේශය අතීත අනුරාධපුර යුගයේ පටන් පැවැති පුරාණ නැව් තොටක් වීම හේතුවෙන්, මෙම ස්ථානය පිළිබඳව පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල විවිධ තොරතුරු දැකගත හැකි වේ. සිංහල බෝධිවංශයට අනූව අනුරාධපුර ශ්‍රී මහා බෝධියට අයත් දෙතිස් ඵල අංකුරයන්ගෙන් එකක්, වැලිගම අග්‍රබෝධි විහාර භූමියෙහි රෝපණය කොට තිබෙන අතර මේ හේතුවෙන් මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රජ (ක්‍රි.පූ. 307 - 267) සමය දක්වා දිවෙන බව විශ්වාස කෙරේ. කෙසේ නමුදු මෙම ප්‍රථිමාව එහි වූ නිර්මාණ ලක්ෂණවලට අනුව ක්‍රි.ව. 6 -7 සියවස්වලට අයත් වන පැවසෙයි.[1]

පසුකාලීනව ගොඩනැගුණු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, වැලිගම හරහා ඉදිකල දුම්රිය මාර්ගය හේතුවෙන් වැලිගම අග්‍රබෝධි විහාරය හා කුෂ්ඨරාජගල පිහිටි භූමිය දෙකඩ වීමට ලක්විය.[2]

ජනප්‍රවාද[සංස්කරණය]

කුෂ්ඨරාජගල සම්බන්ධව ජනප්‍රවාදයන්ද පවතී. ඉන් එකකට අනූව මෙම ප්‍රථිමාව, කුෂ්ඨ රෝගයක් වැළඳුණු හතරවැනි අග්බෝ රජු දේව ආශීර්වාදය ලබා ගැනීමේ අරමුණින් දෙවුන්දර පිහිටි දේවාලයට පැමිණි අවස්ථාවේ නාථ දෙවියන්ගේ රූපයක් ඉදිකිරීමට සිදුකල බාරවීමකට අනූව ඉදිකරන ලද්දක් වේ. කුෂ්ඨ රෝගයෙන් සුවවීමෙන් අනතුරුව රජු විසින් බාරය ඔප්පු කිරීමක් වශයෙන් වැලිගම අවලෝකිතේශ්වර නාථ රූපය කරවූවේ යැයි ජනවහරෙහි දැක්වේ.[3]

ප්‍රථිමාව[සංස්කරණය]

කුෂ්ඨරාජගල ප්‍රථිමාව මගින් මහායාන බුදුධහමට අයත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නිරූපණය වන බැව් පිළිගැනීමට ලක්ව තිබේ. මහායාන බෝධිසත්ව ප්‍රථිමා හී ජටා මකුටයෙහි (ශීර්ෂාභරණයෙහි) සමාධි බුදු පිළිමයක් අන්තර්ගතවීමත්, මෙම ප්‍රථිමාවේ ජටා මකුටයෙහි සමාධි බුද්ධ ප්‍රතිමා සතරක්ම දැකගත හැකි වීමත් ඊට හේතුව වී තිබේ. මීට අමතරව මහායානිකයන් විසින් රෝග සමනය උදෙසා අවලෝකිතේශ්වර නාථ දෙවියන් පිදීම හා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් දක්වනු ලැබූ නේපාල ලිපියක, නාථ දෙවියන් ගේ එකසිය අටක් වූ අවතාර අතරේ සිංහනාද අවලෝකිතේශ්වර රෝග සමනය කරන්නෙකු බවත් එනිසාම සිංහල ද්වීපයෙහි ආරෝග්‍යශාලා ලෝක නාථ නාමය ව්‍යවහාර කරන බව, සඳහන් කිරීම නිසා මෙම මතය ඇති වී තිබේ.[2]

උසින් අඩි අටක් පමණ වන, පිහිටි ගලට අනුබද්ධවන ලෙස නිර්මාණය කොට ඇති මෙම ප්‍රථිමාවේ යටිකය දෝතියකින් සරසා තිබේ. එම පිළිමයේ උඩුකයේ උදර බන්ධනයකින් දැකගත හැකිවන අතර ගෙලෙහි මාල හා දෑතෙහි වළලු පවතී. දෙකන් ලම්බකර්ණව දක්වා ඇති අතර ඒවා කුණ්ඩලාභරණවලින් අලංකෘතය. දෙඅත් මගින් මුද්‍රාවන් දක්වයි. ඉන් දකුණු හස්තයෙන් විතර්ක මුද්‍රාව හා වම් හස්තයෙන් ආහ්වාන මුද්‍රාව දක්වන බව උල්රිච් වොන් ශ්‍රොඩර් මහතාගේ, බුඩිස්ට් ස්කල්පචර් ඉන් ශ්‍රී ලංකා (Buddhist Sculptures in Sri Lanka) නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත.[2] එසේම ජටා මකුටයෙහි සමාධි බුදුපිළිම 4 ක්ම නෙළා ඇති මෙරට එකම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ලෙසද කුෂ්ඨරාජගල පිළිගැනේ.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වැලිගම කුෂ්ඨ රාජගල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.
  2. 2.0 2.1 2.2 "වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය". බුදුසරණ. 25 අප්‍රේල් 2015. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.
  3. "අනුරාධපුර යුගයට අයත් සුවිශාල මාතර පිහිටි එකම ශිලා ප්‍රතිමාව". මවුබිම. 1 ජනවාරි 2014. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.
  4. "වැලිගම කුෂ්ඨරාජගල අවලොකිතේශ්වර බෝධිසත්ව පිළිමය". danuma.lk. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=කුෂ්ඨරාජගල&oldid=399945" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි