කුලය - සිංහල සම්ප්‍රදායික

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බත්ගම කුලයේ නිවසක්

සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත. පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය.

නිර්වචනය[සංස්කරණය]

දකුණු ආසියාතික සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන් අතර කුලයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. බටහිර සමාජ වල දැකිය නොහැකි ප්‍රපංචයක් වන කුලය අනුව සමාජය ද ස්තරගතව දකුණු ආසියාතික සමාජ වල තදින් මුල් බැස ගෙන ඇත. දකුණු ආසියාතික සමාජ වල පුද්ගලයාගේ සමාජ තත්වය, සමාජ වටිනාකම තීරණය කරනු ලබන්නක් වන කුලය මෙම සමාජ වල සමස්ථ සමාජ සබඳතාවයන්ම හැඩ ගැස්වීමේ ලා මහත් බලපෑමක් කර ඇත. එ නිසා දකුණු ආසියාතික සමාජ ස්වරූපය බටහිර සමාජ හෝ නැතහොත් අනෙක් ආසියානු කලාප වල සමාජ රටාවට වඩා ඛෙහෙවින් වෙනස්ය. එනිසා පුද්ගල සබඳතා, පුද්ගල වටිනාකම් මෙම සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන්ගෙන් යුක්ත වෙයි. කේ. ටී. සිල්වාට අනුව කුලය මුළුමනින්ම සමාජ නිර්මිතයකි. කුලය යනු විශ්වීය සංසිද්ධියක් නොවේ. දකුණු ආසියාතික සමාජය හා බැඳුණු සමාජ නිර්මිතයකි.” (කේ.ටී.සිල්වා, 2005:22.) දකුණු ආසියාතික සමාජ වලට සුවිශේෂී ප්‍රපංචයක් වන කුලය පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයන්හි නියැලූණු මානව විද්‍යාඥයෙක් වන A.L Kroeber දක්වන්නේ කුලය වූ කලී දැඩි වූද, උග්‍ර වූද ජන්මයෙන්ම නියම කරන ලද්දා වූද පුද්ගල චංචලතාවයට අවකාශ නොදෙන්නා වූද ආයතනයක් බවයි.” (අමරසේකර, 1988:10.) Hutten නම් මානව විද්‍යාඥයා කුලය යන සංකල්පය තුළින් පහත දැක්වෙන ලක‍ෂණයන් නියෝජනය කරන බව දක්වයි.

  • කුලය වනාහි අන්තර් ජන්‍ය දෙයකි.
  • විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
  • කුලය ධූරාවලියක් දනවන තත්ව සමූහයකි.
  • විවිධ සන්දර්භයන්හි විශේෂයෙන්ම ආහාර, ලිංගික කටයුතු, චාරිත්‍ර යනාදිය ඇසුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත් කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් ‘දූෂණය’ වීමක් සිදුවෙතැයි පිළිගැනේ
  • කුලය සාම්ප්‍රදායික වූ රැකියාවන් ආශ්‍රිත වූ දෙයකි.
  • මිනිසෙකුගේ කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔහුගේ ජන්මය මගිනි. නොඑසේ නම් ඔහු තම කුලය විසින් යම් චාරිත්‍ර උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.
  • කුල පද්ධතිය සමස්තයක් වශයෙන් ගත් විය අභිමානය කේන්ද්‍රීය කරගත් පද්ධතියකි.(අමරසේකර, 1988:11.)


ඊ. ආර්. ලීච් (E.R. Leach) නම් මානව විද්‍යාඥයා විසින් ලියන ලද "What should we mean by cast" නම් පර්යේෂණාත්මක ලිපියෙහි කුලය හඳුනාගත හැකි ලක‍ෂණ තුනක් දක්වයි.

  1. කුලය ශ්‍රම විභජන පද්ධතියක් බව.
  2. කුලයක් අන් කුලයකින් වෙනස්ව හඳුනාගත හැක්කේ ආර්ථීක, දේශපාලනමය හා චාරිත්‍රමය සබඳතාවන් ජාලයන් සමඟ එම සාමාජිකයන් ආසන්න සබඳතාවයකට පත් වී ඇති ආකාරය අනුව බව.
  3. කුල ක්‍රමය තුළ ව්‍යුහමය සංවිධානයක් පවතින අතර එය ඔවුන්ටම පමණක් ආවේණික වූ සංස්ථාවක් බව. (අමරසේකර, 1988:12.)


Kroeber, Hutten, Leach යන මානව විද්‍යාඥයින්ගේ අදහස් සලකා බැලු විට කුලය සම්බන්ධයෙන් හඳුනාගත හැකි පොදු කරුණු කිහිපයක් වෙයි.

  • කුලය විවිධ මට්ටම් වලින් ස්ථරගත වූ එකක් බව.
  • කුල ධූරාවලිය තුළ ඉහළ කුල හා පහල කුල ලෙස විභේදනයක් පවතින බව.
  • කුලය ශ්‍රම විභජනය මත ගොඩනැගී ඇති දෙයක් බව.
  • කුලය ජන්මයෙන් තීරණය කරනු ලබන්නක් වන අතර ඊට අමතරව කුල චාරිත්‍ර, රීති උල්ලංගනය වීම තුළින් කුලය වෙනස් විය හැකි බව.
  • කුලය දැඩි සීමාවන්ගෙන් හෙබි පුද්ගල සචලතාවයට ඉඩ නොදෙන ව්‍යුහයක් බව.
  • කුලය සමග අභිමානය, පාරිශුද්ධත්වය, කිලිටි යන ආකල්ප බැඳී පවතින බව.

ඉහත කරුණු කුල යන ප්‍රපංචය සම්බන්ධයෙන් දැකිය හැකි පොදු ලක‍්ෂණයන් වෙයි.

සිංහල කුල ක්‍රමයේ ඓතිහාසික පසුබිම හා විකාශනය[සංස්කරණය]

බත්ගම කුලයේ කාව්තාවක්

මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්‍රමය හින්දු කුල ක්‍රමයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්‍ය කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්‍රමයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බමුණන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්‍රමණික ගෝත්‍ර වල ක්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක්‍රමයෙන් ලාංකීය සමාජයේ මුල් බැසගන්නට ඇතැයි එම්. යූ. ද සිල්වා පවසයි. (ද සිල්වා, 1998:76.)

නමුත් සම්භාව්‍ය හින්දු වර්ණ ක්‍රම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව පැවැති බවට ඇති සාක‍ෂි විරලය. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්‍ර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි. (ද.සිල්වා, 1998:147)

ලංකාවේ කුල ක්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක් විය. (අමරසේකර, 1988:16.) විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ.

මේ ආකාරයට කුල පදනම ලාංකීය සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. මහනුවර යුගයේදී මහා කුල පෙරලියක් සිදුවී තිබේ.පහත් කුල වල සිටි පිරිස් උසස් කුල බවටත් උසස් කුලවල සිටි පිරිස් පහත් කුල බවටත් පත්ව ඇත.විශේෂයෙන් දකුණු ඉන්දීය සම්භවයක් ඇති වඩිග හා නායක්කර් වංශිකයන් රදළයින් බවට පත්ව ඇත.රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය. (පීරිස්, 2001:189.)

මහනුවර යුගයේදී කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්‍ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි. (යාල්මාන්, 2004:106.)

නොක්ස් පවසන අන්දමට කුලීනයෝ හා කුලහීනයෝ වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් මහනුවර රාජධානිය පැවති සමයේ තිබිණ.කුලය මෙම අවධියේ පුද්ගලයින්ගේ ඇදුම් ආයින්නම් තීරණය කිරීමට බලපෑවේය.වංශවත් නොවූ සාමාන්‍ය මිනිසුන් දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වැසෙනසේ වස්ත්‍ර හැද ඇත.ස්ත්‍රීහු බොලට දක්වා වස්ත්‍ර හැද එයම කරකවා ළපැත්ත වැසෙනසේ පටක්සේ කරේ ලා ගනිති.අඩු කුලයේ ස්ත්‍රීහු දණහිස දක්වා රෙදි කඩක් හැද උඩුකය නග්නව තබාගතයුතු විය.අසනීපයක් හෝ ශිතයක් ඇතිවුහොත් පමනක් රෙදි කඩක් පොරවා ගැනීමට තහනමක් නැත.එසේ නමුදු කුලවක් අයෙකු මුන ගැසුනහොත් වහාම රෙද්ද ඉවත්කොට ශිතල නිසයි හාමුදුරුවනේ කියා සමාව ගත යුතුය.රැල්ෆ් පීරිස්ට අනුව ඉගටියෙන් පහළට රෙදි හැදීම රොඩී අයට තහන්ම් වූ අතර දණ හිසින් පහළට හැදීම කුඹළුනට තහනම් විය.{නොක්ස් රොබට්.1909.එදා හෙළදිව/පීරිස් රැල්ෆ්}

ලංකාවේ කුල වර්ග[සංස්කරණය]

සිංහල කුල ක්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්‍රසිද්ධ කුල විවිධ ප්‍රදේශ වල තිබිය හැකිය.

  • සිංහල සමාජයේ කුල

Data table.JPG මූලාශ්‍රය : කේ. ටී. සිල්වා, 2005:26

  1. ගොවි කුලය - මෙය සිංහල කුල ක්‍රමයේ විශාලම සහ උසස්ම ස්ථරය වන අතර සමහර​ සෙසු කුල වල සේවා ලාභී කුලය ලෙස ද වැදගත් වේ,භුමි අයිතිය සහ කෘෂිකාර්මාන්තයේ ඒකාධිකාරය මෙම කුලය සතුය.
  2. පහතරට කුල - මේ යටතට පහතරට ප්‍රදේශ වල ගොවිගම කුලයට අමතරව ප්‍රධාන ලෙස ව්‍යාප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල ඇතුළත් වේ. ඓතිහාසික සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක‍්ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල ක්‍රමයේ මධ්‍ය ස්ථරය වේ.
  3. සේවා කුල - මේ ගනයට අයත් කුල ඉහල කුල වලට සේවා කිරීමට බැඳී සිටියි. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට අයත්ය. සිංහල කුල ක්‍රමයේ වැඩවසම් ලක‍්ෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි. රාජකාරී ක්‍රමය මගින් සහ ඉඩම් භුක්ති ක්‍රමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක්‍රමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා කුසලතා රැක ගැනීම සහ ප්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.
  4. සමාජයේ කොන්වීමට ලක් වූ කුල- මේ යටතට කින්නර, ගහල, රොඩී කුල ඇතුලත් කළ හැක. සිංහල සමාජයේ පහත්ම ස්ථරය නියෝජනය වන්නේ මේ කුල වලිනි. සෙසු කුල වල අය සමඟ සමීප ඇසුරුකම් පැවැත්වීමට ඔවුන්ට අවසර නොතිබුණි. (කේ.ටී.සිල්වා, 2005:34,37.)

කුල කාර්යයන්[සංස්කරණය]

ගොවි කුලය[සංස්කරණය]

සිංහල සමාජයේ විශාලතම සහ උසස්ම කුලය වන ගොවිගම කුලයට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අයත්ව ඇතැයි සැළකේ. ගොවිතැන මේ කුලයේ රාජකාරී ඒකාධිකාරයක්වේ.මොවුන් මෙරටට පැමිණි මුල් ආර්යයන්ගේ පැවත එන්නන් වන අතර එම නිසාම අන් කුල මත තම බලය සාර්ථක ලෙස පිහිටුවාගෙන ඇත.මොවුන් උත්තර ඉන්දීය වෛදික චතුර්වර්ණය තුල වෛශ්‍ය වර්ණයට අයත්වන අතර සිංහල බෞද්ධ සමාජය තුල බ්‍රාහ්මණ වර්ණයක් නොපවතින බැවින් රජුට පසුව සමාජය තුල ඉහලම ස්ථානය පැරණි සමාජය තුළ හිමි විය.මොවුන් භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් බව පූජාවලියෙහි සදහන් වන අතර එය මොවුන්ගේ බලය සිංහල බෞද්ධ ජනසමාජය තුල තහවුරු වීමට තව දුරටත් හේතු වන්නට අැති බවට සැළකේ.මීට අමතරව සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගෝපාල(සත්ව පාලනය කල)කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග්‍රහනය වී ඇත.

අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජුගෙන් පසුව ආ මුල් ආර්යයන්ගෙන් සහ ශාක්‍යවංශිකයන්ගෙන් පසුව උතුරු ඉන්දියාවෙන් සහ දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත. මොවුන්ගේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්‍රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය.ජනපති ප්‍රේමදාස හැර පලමු අග්‍රාණ්ඩුකාරවරයාගේ සිට වත්මන් ජනාධිපති දක්වා ලංකාවේ සියළුම නායකයින් ගොවිගම කුලයට අයත් පුද්ගලයින් වීමත්,සිංහල රජු විසින් නියමකල නියාමනයන්ට අනුව අදටත් දළදා වහන්සේගේ සහ දළදා මාලිගයෙහි භාරකාරීත්වය ගොවිගම කුලයෙහි ආගමික ආධිපත්‍යයේ සංකේතය වන මල්වතු අස්ගිරි මහාවිහාරය සහ ශ්‍යාමෝපාලි මහා නිකාය යටතේ පමණක් පැවතීමත් මී⁣ට නිදසුන්ය. මෙම කුලය උප කුල ගනනාවකින් සමන්විත වන අතර මෙම කුලයේ විශාල ලෙස ඉඩම් හිමි ප්‍රභූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ.මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි.සාම්ප්‍රදායට අනුව රදල ගොවිගම යනු ක්ෂස්ත්‍රීය සහ වෛශ්‍ය වර්ණයන්හි සම්මිශ්‍රණයකින් පැවත එන්නන්ය.රජුගේ අග බිසව(රන්දෝලිය) හෝ විට ඉන්දියාවේ සිට රැගෙන ආ ක්‍ෂස්ත්‍රීය වංශික යුවතියක් වූ අතර දෙවැනි බිසව(රිදීදෝලිය) හෝ තෙවැනි බිසව(යකඩදෝලිය) බොහෝ විට ගොවිගම කුලයේ වෛශ්‍ය වංශික බිසවන් විය.⁣රජුටත් මෙම වෛශ්‍ය(ගොවි) වංශික බිසවටත් දාව උපන් පිරිසගෙන් රදලයන් පැවත එන බව පිලිගැනේ.අනර්ඝ ගෘහ නිර්මාණ ලක‍්ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ ගොවිගම රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය.උඩරටට අමතරව මෙම වලව් දකුණු පලාත සහ බස්නාහිර පලාතේද ව්‍යාප්තව පවතී. [1][2]"ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද,මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වේ". (එදා හෙලදිව ,රොබට්නොක්ස්, 2003:80.)

ගොවි කුලයේ දෙවන මට්ටම ‘ගොවි’ යනුවෙන් හැඳින්වේ. සිංහල ජනගහනයෙන් අති බහුතරය මේ ගනයට අයත්ය. ඇතැම් උඩරට ප්‍රදේශ වල මේ මට්ටම හැඳින්වීම සඳහා ‘රටේ ඇත්තෝ’ , ‘රට කෝරළේ’ වැනි පද යොදා ගැනේ. (නොක්ස්, 2003:113.)

ගොවි කුලයේ සෙසු පහත උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.මොවුන් කේරළයේ සිට පැමිණි පිරිස් වලින් ගොවිගම කුලයට අන්තර්ග්‍රහනය වූ පිරිසක් ලෙස සැලකේ.එම නිසාම ප්‍රධාන ගොවිගම කුලයට වඩා පහත්යැයි සැළකේ.

ඉහල කොටස:

  • රදලකම්/මුධලි පෙරුව
  • පයිධ පෙරුව (පනිවිඩ)
  • වැදිවන්ස (මොවුන් ආර්ය සිංහලයන් නොව​, එම ප්‍රදේසවල මුල් ඉඩම්කරුවෝ වූ වැදි ජනයා⁣ගෙන් පැවත එන්නන්ය​)

පහල කොටස:

  • නිලමක්කාරයෝ - වී වගාව​
  • පට්ටි - එඩේර​/ගව පාලන​
  • විරමෙස්ත්‍රගොල්ල
  • පොරෝකාර - ගස් කැපීම​
  • ඇත්වල පනික්කියො - අලි කෑම සැපයීම​
  • මල්කරුවො - මල් සැපයීම​
  • කුට්ටන්වල ඇත්තො (කෙවුලො) - වෙව් මාලු මැරීම​
  • බලිබත් ගමයො - පන්සල්/දෙවාල පූජා බත් සැපයීම​
  • ගට්ටාරු
  • ටිබිල්ලො

කරාව කුලය[සංස්කරණය]

දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ.චතුර්වර්ණය තුල ශුද්‍ර වර්ණයට අයත්වේ.මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්රවිඩයන් වේ.ගොවිගම සහ අනෙක් පැරණි ආර්ය වර්ගයේ සිංහලයන්ට වඩා සාපේක්ෂ ලෙස අදුරු පැහැති සම් සහිත මොවුන් මානව විද්‍යාත්මක නිර්ණායක අනුව බාහිර ස්වරූපයෙන් කේරළ ද්රවිඩයන්ට වඩාත් සමාන වේ.මෙය බහුතරය ගොවිගම මිනිසුන් වන උඩරට වැසියන් මුහුදු බඩ මිනිසුන්ට වඩා පැහැපත්ය යන සම්ප්‍රදායික මතයටද හේතු වී ඇත. මොවුන් වෘතියෙන් මස් මරන්නන් වූ බැවින් වෛදික චතුර්වර්ණයෙහි ශුද්‍ර වර්ණයට අයත්වේ .

විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට විමලධර්මසූරිය රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය. පසුකාලීනව ගොවිගම කුලයෙහි බලයට විරුද්ධව නැගිසිටීමේදී ඔවුන් රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙමින් මතවාදයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.මොවුන්ගේ මෙම ඉතිහාසය විකෘති කිරීමෙහි අවසන් ප්‍රතිඵලය ලෙස භූමිපුත්‍ර පක්ෂය විසින් ගොවිගම හැර අන් සියළු කුල පහත් කුල ලෙස බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය මානව හිමිකම් සංවිධාන වල ඉල්ලීම් මත පසුව ඉවත් කර ගන්නා ලදී.

තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. උප කුලයන්; මුධලි පෙරුව, නාවිකයො, වඩූවො, හෙල බැඳි කරා, කොල බැඳි කරා, ටොක් කෙවුල්කරා, ඉදමල් කෙවුල් කරා, ගම් බැඳි කරා, හුණු කරා, දැල් කොටු කරා (අමරසේකර, 1988:21.)

සලාගම කුලය[සංස්කරණය]

සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මොවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ කුරුඳු තැලීමයි. රජුගේ අවශ්‍යතාවයන් සඳහා කුරුඳු තලා සකස් කිරීමේ ගිවිසුම පිට කුරුඳු වැවුණු ගබඩා ගම්වල වාසය කිරීමට ඔවුන්ට අවසර දෙන ලදි.ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි. (අයිවන්, 1990:31.)

දේව,වහුම්පුර (හකුරු)[සංස්කරණය]

මෙය සේවා කුලයන්ට අයත් වේ.පහත් යයි සම්මත කුලයකි.ගොවිගම මිනිසුන් හකුරු කුලයේ මිනිසුන් සමග එකට ඉද ගැනීම ,හකුරු නිවසකින් ජලය පානය කිරීම හෝ එම නිවසකට ගොඩවීම නොකල යුතු බවට අතීත සමාජයේ මතයක් විය.මෙම මතය සිංහල ජනකවි අධ්‍යනයෙන්ද හදුනා ගත හැක. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දේව" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර ගොවිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)

බත්ගම කුලය[සංස්කරණය]

සාම්ප්‍රදායිකව මහනුවර යුගයේදී මෙම කුලයට පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය.අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇත.අතර එය එකල පැවති උසස්ම කුලයක් වේ. මෙම කුලය බොහෝ දුරට කුලී ශ්‍රමිකයන්ගෙන් සමන්විත කුලයක් ලෙස හදුන්වා දී ඇත. (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට මෙම කුලය පත්ව ඇත.

මීට අමතරව නැකති, කුඹල්, රදා ආදී සේවා කුලද, ගහල, කින්නර, රොඩී ආදී සමාජයේ කොන් වීමට ලක් වූ කුල ද වෙයි.

කුල විෂමතාවය[සංස්කරණය]

කුල වල උස්, පහත් ගතිය රඳා පවතින්නේ පහත සඳහා වන කරුණු තුනෙහි සංයෝගය මතය.

  1. පාරම්පරික නාම
  2. රැකියාව
  3. කුල ප්‍රජාවක වෙන්ව කැපී පෙනෙන සුළු බව

ඉහත කරුණු තුන අනුව කුලයක උස් පහත් බව තීරණය වේ. ඒ අනුව විවිධ මට්ටමේ සැලකුම්, තරාතිරම් හිමි වේ. කුලවලට හිමි ධූරාවලිගත මට්ටම අනුව ගරුත්වය හා සැලකිල්ල විවිධ වේ. ඇඳුම් පැලදුම්, ආහාර ගැනීම, විවාහය, නිවාස තත්වය, ආචාර කිරීමේ එදිනෙදා ක්‍රියාකාරකම් ආදී මිනිස් ජීවිතයේ සියලූම අංගයන් වල උස් පහත් බව කුලය අනුව තීරණය වේ. උසස් හා පහත් යැයි සම්මත කුල අතර එකී සබඳතා වල පවතින්නේ දැඩි විෂමතාවයකි.

රැල්ෆ් පීරිස් ට අනුව ගොවිගම කුලය අඩු කුල වලින් සේවය ලබා ගැනීමට සුදුස්සෝ විය. අඩු කුල අතර වුවද එක් කුලයකට අයත් වූවෙකු සේවය කළේ තමනට වඩා උසස් කුල වල අයට පමණි. කුඹල් ජනයාට (බඩහැල කුලයට) හා ඊට වඩා උසස් වූ කුල වල අයට රදා කුලයේ අය රෙදි ඇපිල්ලු අතර කුඹල් ජනයාට වඩා පහත් කුල අයට රෙදි අපුල්ලන ලද්දේ "පලි" නම් අන් විශේෂයක අය විසිනි. (පීරිස්, 1964:188.)

පුද්ගලයන් එකිනෙකා ඇමතීමේදී යොදා ගන්නා ඇතැම් පද කුල තත්වය අනුව වෙනස් විය. "දෙයියෝ, හාමුදුරුවෝ, අප්පෝ, නිලමේ, රාලහාමි, මහත්තයා, තමුන්නාන්සේ" ආදී පද ඉහළ කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත්හ. පුද්ගල නාම සම කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත් අතර "තමුසෙ, උඹ, අඩා, තෝ" යන පද පහත් කුල ඇමතීමට යොදා ගත්හ. නොක්ස් ට අනුව තමන්ගේ තරාතිරමට වඩා පහත් යැයි සලකන අය සමඟ එක් වී ආහාර ගැනීමටවත්, විවාහ වීමටවත් ඉහල කුලිකයන් අකමැතිය. උසස් හෝ පහත් තරාතිරම් පිළිබඳ ලකුණු නම් උඩුකට වැසුම් ඇතිවීම හෝ නැති වීම, දනින් පහත වස්ත්‍රයේ දිග, පුටුවක හෝ කොලොම්බු කොට වල හෝ පැදුරුවල වාඩිවීම ආදිය තුළින් පැහැදිලි වේ. අඩු කුල ස්ත්‍රීන්ට දනින් පහලට හා උඩුකය වැසෙන සේ ඇඳුම් ඇඳිය නොහැක. (නොක්ස්,1681:80/109.)

රැල්ෆ් පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස්, 1964:189/193/197.)

එසේම ඉහළ කුලිකයෙන් හමු වූ විට හිස පහත් කිරීම, හිස දවටනය අතට ගැනීම, පාරෙන් පසෙකට වී ඉඩ දීම වැනි ක්‍රියාවන් මගින් යටහත් පහත් බව පෙන්විය යුතු විය. සාමාන්‍යයෙන් නිවසට එන උසස් කුල වල පිරිමින්ට දක්වන ගරු සැලකිල්ලක් ලෙස තම බිරිඳට රාත්‍රියේ ඔහු සමඟ එකට විසීමට පවා සැමියා ඉඩ දෙනු ලැබේ.

එසේම කාන්තාවන් ඇමතීමේදී ද කුලය සැලකිල්ලට ගැණුනි. පහල තත්වයේ ස්ත්‍රීහු "පොඩිස්සී", ගෞරව වශයෙන් තරුණියෝ "කිඩැහැකෙළි" යනුවෙන් අමතන ලදි. අනෙක් උසස් ආමන්ත්‍රණ වූයේ "එතනා, ළමා එතනා, කුමාරිහාමි" යන පදයි. "කුමාරිහාමි” යන පදය භාවිතා කරන ලද්දේ උසස්ම පෙලැන්තියේ වනිතාවන් උදෙසා පමණි. (පීරිස්, 1964:191.) ඩොයිලිගේ දින පොතට අනුව කොණ්ඩය හෝ රැවුල වැවීමට පදු හා ඛෙරව කුල වලට අවසර නොවීය. වහුම්පුර, සලාගම කුලිකයන්ට දැලි රැවුළු වැවීමට හෝ ඔසරිය ඇඳීමට තහනම් ය. නමුත් කොණ්ඩය බැඳීමට අවසර ඇත. (පීරිස්, 1964:190.)

ආසන පැනවීමේදී ද ඒ ඒ පුද්ගලයාගේ කුල තත්වය අනුව සම්මත රටාවක් අනුගමනය කරන ලදී. හාන්සි පුටුව, කවිච්චිය ඉහළ කුලිකයන්ටත්, පුටුව සම කුලිකයන් අතරත් පුටු භාගය, කොලොම්බුව, පැදුර, පිල පහල කුලිකයන්ටත් නියම විය.

ආසන විශේෂය තත්වය
හාන්සි පුටුව ඉහල
කවිච්චිය ඉහල
පුටුව සම
පුටු භාගය පහල
කොලොම්බුව පහල
පැදුර පහල
පිල පහල

(මූලාශ්‍රය : කේ.ටී.දසිල්වා, 2005:33.)


ධූරාවලියේ පහලින් සිටින කෙනෙකුට ඉහල කෙනෙකු සමඟ සම අසුන් ගැනීමේ හැකියාවක් නොවීය. මයිකල් රොබට්ස් ට අනුව කුල සිරිත් විරිත් නිවස සම්බන්ධ හැම අවස්ථාවකදීම ඉතා පැහැදිළිවම පිළිඹිඹු විය. බොහෝ සිංහල ප්‍රදේශ වල මෙය හොඳින් ප්‍රකාශ කරන ලද්දේ උසස් කුලවල ගෙවල් වලට එන පහත් කුල ජනයාට වාඩිවීමට තබා තිබුණු කොලොම්බුව නැමැති කුඩා පුටුව හෙවත් ලී කොටය මගිනි. (රොබට්ස්, 2008:288.)

කුල සිරිත් වඩාත්ම පිළි පැදුනේ ආවාහ විවාහ වලදී ය. සිය කුලයෙන් බැහැරව විවාහ ගණුදෙනු කිරීම නීති විරෝධී ලෙස සැලකුණු අතර උසස් කුලයේ අයෙකු පහත් කුලයේ අයෙකු විවාහ කර ගත්තේ නම් එම පුද්ගලයා අයත් වන වර්ගය කෙරෙහිද එම නින්දාව බලපෑවේය. එබඳු අවස්ථා වලදී වරිගයේ අය වරිගයේ කුල ගෞරවය ආරක‍්ෂා කර ගැනීම සඳහා එකී පුද්ගලයා මරා දැමීම පවා සිදු විය. එනිසා හැම විටම ආවාහ විවාහ සිදු කිරීමේදී අන්තර් කුල විවාහ පමණක් සිදු විය. නිවාස තත්ත්වය ගත්තද වෙනස්කම් දක්නට ලැබුණි. අඩු කුල අයට නිවෙස් වල උළු හෙවිලි කිරීම, හුණු පිරියම් කිරීම තහනම් විය.

හත අයුරින් ඇඳුම් පැලදුම්, ඉඳුම් හිටුම්, ආහාර ගැනීම්, ආචාර කිරීම්, කතා කිරීම් ආදී සියලූම සමාජ චර්යා වලදී කුලය යන සාධකය අතිශයින්ම තීරණාත්මක වූ අතර ඒවා අතර දැඩි සමාජ විෂමතාවයක් විය. උසස් කුලිකයන්ට වරප්‍රසාද තත්වයේත්, පහත් කුලිකයන්ට නින්දා සහගත හා සමාජයේ අවශේෂ කොටසක් ලෙසත් සැලකීමේ තත්වයක් ඉහත දැක්වූ සියලූ සමාජ සබඳතා වලින් පෙනේ. මේ තුළින් කුල මට්ටම් වල ස්ථර ගත බව හොඳින් පවත්වාගෙන යාමට හේතු සාධක සැපයීය.

මෙයද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • අමරසේකර, දයා. 1988, ශ්‍රී ලංකා සමාජය (සමාජ විද්‍යාත්මක විමසුමක්)
  • අයිවන්, වික්ටර්. 1990, ශ්‍රී ලංකාවේ නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිම
  • නොක්ස්, රොබට්. 2003, එදා හෙළදිව, ඩේවිඩ් කරුණාරත්න:(පරි)
  • පීරිස්, රැල්ෆ්. 1964, සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය)
  • සිල්වා, කේ.ටී. 2005, කුලය පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්
  • යාල්මාන්, නූර්. 2004, කුල ක්‍රමයේ නම්‍යශීලී බව: උඩරට ගමක අත්දැකීම්, නිස්සංක, රුක්මණී. (පරි) ඉඳුවර
  • Ryan, Bryce. 1953, Cast In Modern Ceylon.

ආශ්‍රිත[සංස්කරණය]