ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ
Location
කෝට්ටේ, ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව
Coordinates 6°52′58″N 79°54′08″E / 6.88278°N 79.90222°E / 6.88278; 79.90222ඛණ්ඩාංක: 6°52′58″N 79°54′08″E / 6.88278°N 79.90222°E / 6.88278; 79.90222
Information
Type රජයට පවරාදුන් පාසලකි
Motto "අපපමතතා නමීයන්තී"
(ධම්මපදයයෙහි අප්පමාද වග්ගයේ ඇතුලත් බෞද්ධ ධර්ම පාඨයකි.)
("අප්‍රමාද වූ තැනැත්තා කිසිදා නොමියෙයි..")
Established 1890 ජනවාරි 1
Principal ජී.පී.බී. ලියන්ගස්කුඹුර
Grades Class 1 - 13
Gender පිරිමි
Age range 6 to 19
Color(s) ලෝහිත සහ රන්

        

Affiliation බෞද්ධ
Website

ආනන්ද ශාස්ත්‍රාලය (ඉංග්‍රීසි - Ananda Sastralaya) යනු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ජනප්‍රිය පාසලකි. ක්‍රි.ව. 1890 දී කෝට්ටේ "බෞද්ධ ඉංග්‍රීසි මිශ්‍ර පාසැල" නමින් ආරම්භ කළ මෙය, 1910 දී "ජයවර්ධන ශාස්ත්‍ර ශාලාව" ලෙසත්, පසුව බෞද්ධ පරමවිඥානාර්ථ සංගමයට සම්බන්ධ කරගත් පසු ආනන්ද ශාස්ත්‍රාලය ලෙසත් හැඳින්වුණි. පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත් භූමියක් වූ මෙම විද්‍යාල භූමියෙහි, වීදිය බණ්ඩාර කුමරු උදෙසා කණිනු ලැබ ඇතැයි සැලකෙන කෝට්ටේ ඓතිහාසික උමඟ ද පිහිටා ඇත. වර්ෂ 1952 දී එම උමඟ පිහිටි බිම් කොටස පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස රජය විසින් නම් කරන ලදී..[1]

ආනන්ද ශාස්ත්‍රාලයේ වර්තමානයේ ප්‍රාථමික හා ද්විතියික යන අංශ දෙකෙන්ම අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.

ඉතිහාසය[සංස්කරණය]

19 වන සියවසේ දී ඇති වූ බෞද්ධ අධ්‍යාපන පුනරුදය හා සමගාමීව, කෝට්ටේ ප්‍රදේශයේ බෞද්ධ පසලක අවශ්‍යතාවය වටහා ගත් බෞද්ධ නායකයින් එක්ව ක්‍රි.ව.1880 නොවැම්බර් 4 දින "කෝට්ටේ බෞද්ධ මිශ්‍ර පාසැල" නමින් කුඩා වපසරියක පාසලක් ආරම්භ කරන ලදි. එලෙස මුලදී අඩු පහසුකම් මධ්‍යයේ ආරම්භ කෙරුන ද, 1890 දී පූජ්‍ය ඇඹුල්ගම විමලතිස්ස ස්වාමීන්වහන්සේගේ සහ කෝට්ටේ රාජ මහා විහාරස්ථ දායක සභාවේ මූලිකත්වය අනුව 1890 ජනවාරි 1 දින, කෝට්ටේ රාජ මහා විහාරයට අයත් භූමි භාගයේ, පහසුකම් වැඩිදියුණු කර, "කෝට්ටේ බෞද්ධ ඉංග්‍රීසි පාසැල" ලෙස නිල වශයෙන් මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී.[2]

මෙහි ප්‍රථම විද්‍යාලාධිපති ධූරය හෙබවූයේ සී. රණසිංහ (1890-1903) මහතාය. එවකට සිංහල බෞද්ධ පුනරුදයේ කැපීපෙනෙන චරිතයක් වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා 1903 දී මෙහි දෙවන විදුහල්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය. 1910 දී , විදුහල්පති ඩී.ජේ. ජයතුංග (1905-1922) මහතා යටතේ විද්‍යාලයේ නම "ජයවර්ධන ශාස්ත්‍ර ශාලාව" ලෙස වෙනස් කරන ලදී.  [3]

බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය බිහි වීමත් සමඟ, මෙම විද්‍යාලය එම සංගමයේ පාලනය යටතට ගත් අතර දැනට භාවිතා වන නම හෙවත් "ආනන්ද ශාස්ත්‍රාලය" ලෙස විද්‍යාලය නම් කෙරුනේ ඉන්පසුවයි. එමෙන්ම එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි එස්.පී,පෙරේරා මහතා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ලෙස පත් කරන ලදි.

වර්ෂ 1934 දී ලක්දිව කීර්තිමත් අධ්‍යාපනඥයෙකු, ලේඛකයෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම් මහතා ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ලෙස වැඩ භාරගත් අතර එතුමාගේ කාලපරිච්ඡේදය ශාස්ත්‍රාලයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැක. බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනය උදෙසා මහඟු කැපවීමක් සිදු කළ එතුමා, තවත් දානපතියන් සහ සමාජ සේවකයින් රැසකගේ උපකාරයෙන් තවත් අක්කර 13 කට අධික භූමිභාගයක් පාගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ආනන්ද ශාස්ත්‍රාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය හා ක්‍රීඩා භූමිය ඉදි කරන ලදි. පසුව එහි පවතින සම්පත් උපයෝගීකොට ගනිමින් එවකට කෝට්ටේ ප්‍රදේශයේ පැවති බෞද්ධ පාසල වූ ආනන්ද ශාස්ත්‍රාලයේ කණිෂ්ඨ විද්‍යාලය ලෙසින් තවත් බෞද්ධ පාසලක ආරම්භය සනිටුවහන් කළේය. පසුව මේ විද්‍යාලය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය කණිෂ්ඨ විද්‍යාලය (අංක 02) නම් විය.[4]

දෙවන ලෝක යුධ සමයේදී විද්‍යාල භූමිය ලංකා හමුදාව විසින් භාවිත කළ අතර, විද්‍යාලය නැවත ආරම්භ කරන ලද්දේ යුද සමයෙන් පසුවයි. වර්ෂ 1961 පාර්ලිමේන්තු පනත මඟින් එවකට ශ්‍රී ලංකාවේ තිබූ සියලුම අධ්‍යාපන ආයතන ජාතික අධ්‍යාපන පද්ධතිය යටතට ගත් අතර, ආනන්ද ශාස්ත්‍රාලය ඇතුළු පරමවිඥානාර්ථ සංගමය මඟින් පාලනය වූ සියලුම පාසල් රජයට පවරා ගන්නා ලදි.[5]

1960 දශකයේදී එවකට කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ස්ටැන්ලි තිලකරත්න මහතා (පසු කලෙක පාර්ලිමේන්තුවේ කථානායකවරයෙක් ලෙස ද පත්වූ), කෝට්ටේ ප්‍රදේශයේ බාලිකා විදුහලක අවශ්‍යතාවය පෙන්වා දුන් අතර, පාගොඩ ආනන්ද ශාස්ත්‍රාලයීය කනිෂ්ඨ විද්‍යාලය අංක 2 පිහිටා තිබූ අක්කර 13 ක භූමිභාගයේ ප්‍රයෝජනයට නොගත් බිම් කොටස වෙන් කරගෙන නව බාලිකා විද්‍යාලයක් ආරම්භ කරන ලදී. එලෙස 1971 ජනවාරි 11 වනදා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය දෙකොටසකට බෙදුණු අතර , "කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය" ලෙස එහි බාලිකා විදුහල ඇරඹුණි.[4]

ක්‍රීඩා[සංස්කරණය]

නිවාස[සංස්කරණය]

පාසලේ ශිෂ්‍යයන් නිවාස 4 කට බෙදා ඇත.

  • පරවි - පාට -      කහ
  • කෝකිල - පාට -      කොළ
  • තිසර - පාට -      රතු
  • මයුර - පාට -      නිල්

ශ්‍රී ලංකාවේ ලියැවුණු සුප්‍රසිද්ධ සංදේශ කාව්‍ය හතරක නම් වලින් මෙම නිවාස නම් කර ඇත. (තිසර හා මයුර සංදේශ, ගම්පොළ යුගයේදී ද, ඉතිරි ද්විත්වය කෝට්ටේ යුගයේදී ද ලියැවිණි.)

ශ්‍රී ජයවර්ධනපුර සටන[සංස්කරණය]

ශ්‍රී ජයවර්ධනපුර සටන යනු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාල දෙක අතර වර්ෂ 1990 සිට පවත්වනු ලබන මහා ක්‍රිකට් සංග්‍රාමයයි.

2018 දක්වා 22 වාරයක් සාර්ථකව පවත්වා ඇති ජයවර්ධනපුර සටනේ, මෙතෙක් තරඟ දෙකක ජය ආනන්ද ශාස්ත්‍රාලය හිමි කරගෙන ඇති අතර ඉතිරි තරඟ සියල්ලම නිම වූයේ ජය පරාජයෙන් තොරවයි.

ආනන්ද ශාස්ත්‍රාලය මේ දක්වා දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහි කර ඇති අතර, විද්‍යාලයෙන් බිහි වූ රුචිර පෙරේරා, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ක්‍රීඩා සංගම්[සංස්කරණය]

සමිති සහ සංගම්[සංස්කරණය]

  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • බෞද්ධ සංගමය
  • මාධ්‍ය ඒකකය
  • ශිෂ්‍ය භට බලකාය
  • බාලදක්ෂ සංගමය
  • කථික හා විවාද සංගමය
  • සාහිත්‍ය සංගමය

  • පරිසර සංගමය
  • විද්‍යා සංගමය
  • සෞඛ්‍ය සංගමය
  • සංගීත කවය
  • ඡායාරූප සංගමය
  • නව නිපැයුම් ඒකකය
  • රිය නියාමක සංගමය

පාසැල් ගීතය[සංස්කරණය]

ලකඟන නළලත මුතු තැලි පට ලෙද
ජයවඩනාපුරයේ...
අනඳ සතර සල විදුහල් මාතා
නමදිමු ඔබ නිබඳේ... //

හෙළ නර විරු මහ පඬුවන් පහසින්
පණ ලද මේ පුරයේ...
විදුමිණ කිරුළග බබලන සිළුමිණ
අප සෙවනේ ඔබවේ...//

නෙත රසඳුන ලෙස දිලුනේ සැම දින
විදුහල් මව අපගේ...
අනත අපරිමිත සිසුමල් මතුදින
ගුණ නුවණින් පිබිඩේ...//

ලකඟන නළලත.....
නමදිමු ඔබ නිබඳේ...//

විදුහල්පතිවරු[සංස්කරණය]

නම සේවා කාලය
සී. රණසිංහ 1890 - 1903
ශ්‍රීමත් ඩී.බී.ජයතිලක 1903 - 1905
ඩී.ජේ.ජයතුංග 1905 - 1922
එස්.පී.පෙරේරා 1922 - 1934
ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම් 1934 - 1946
බර්නාඩ් වික්‍රමසිංහ 1945 - 1954
එන්.ඩබ්. ද කොස්තා 1953 - 1956
ආචාර්ය මහින්ද පලිහවඩන 1956 - 1960
ගුණපාල වික්‍රමරත්න 1961 - 1964
එම්.සී.ආරියරත්න 1965 - 1966
ආනන්ද පැස්කුවෙල් 1966 - 1970
ඩබ්.ටී.පී.තිලකරත්න 1971 - 1988
එච්.තිලකානන්ද 1988 - 1989
පී.ඒ.ලොකුගමගේ 1989 - 1990
පාලිත වීරසූරිය 1990 - 1991
ඊ.එම්.රණසිංහ 1992 - 1995
ඩබ්.ඒ.එස්.රණසිංහ 1995 - 1998
ඩබ්.එස්.ධර්මසිරි 1998 - 2001
ඩී.ජයවීර 2001 - 2002
පූජ්‍ය අබේසේකර ගුණරතන හිමි 2002 - 2006
ඊ.ජේ.ඒ.පී.කරුණාදාස 2007 - 2009
එම්.එච්.එන්.ජී.තිසේරා 2009 - 2010
මාලනී සමරකෝන් 2010 - 2013
ජී.පී.බී.ලියන්ගස්කුඹුර 2013 - අද දක්වා

කීර්තිමත් ආදි සිසුන්[සංස්කරණය]

නම ප්‍රසිද්ධ වන්නේ
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි දේශමාමක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි
රෙජී රණතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1989 - 2008)
මිල්ටන් මල්ලවාරච්චි ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතඥ
ජයලාල් රෝහණ ප්‍රවීණ රංගන ශිල්පී, අධ්‍යක්ෂක, තිර රචක
ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී (1989 - අද දක්වා)
දයා ටී. පැස්කුවෙල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1956 - 1977)
එස්. ද එස්. ජයසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1952 - 1977)
කේ.එම්.පී.රාජරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1956 - 1965)
කුසුමා රාජරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1957 - 1965)
ඉසුර දේවප්‍රිය බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය (2015 - අද දක්වා)

භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලන සමය තුළ, කෝට්ටේ රාජධානියේ සිටි වීර සෙන්පතියෙකු ලෙස සැලකෙන වීදිය බණ්ඩාර කුමරු හට, කොළඹ පිහිටි පෘතුගීසි සිර මැදිරියේ සිට කෝට්ටේ වෙත පලා ඒමට ඔහුගේ බිසව වූ සූරිය දේවිය විසින් කරවා ඇතැයි සැලකෙන කෝට්ටේ ඓතිහාසික උමඟ පිහිටා ඇත්තේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විදු බිමේ ය. විද්‍යාලයට පිවිසුණු විගස දකුණු දෙසින් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු එම භූමිය, දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇත්තේ 1940 අංක 9 දරන පුරාවිද්‍යා පනතට අනුව ය. 2014 ජූලි මස සිදු කළ කැණීම මගින් මෙතුවක් සිරිලකින් සොයා ගෙන ඇති තනි කබොක් ගලින් කරන ලද ස්ථූපයේ සහ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාස කරන කුඩා කුටියක් ද සොයා ගෙන ඇත.[6] මෙම ස්ථූපය සහ කුටිය සුවිශේෂත්වයක් අත් කරගනු ලබන්නේ කබොක් ගලින් උන්නතව මතු කරගෙන ඇති බැවිනි. එනම් ස්ථූපය සහ කුටිය ඉතිරිවන සේ කබොක කපා ඉවත් කිරීමෙන් නිර්මාණය කර තිබිමය. මෙවැනි නිර්මාණයක් ශ්‍රී ලංකාවෙන් මින් පෙර හමුවී නැත.

බාහිර සබැඳුම්[සංස්කරණය]

References[සංස්කරණය]

  1. "Digging into the tunnelled history of Kotte". The Sunday Times (Sri Lanka). 22 June 2014. සම්ප්‍රවේශය 2 June 2017. 
  2. Empty citation (help) 
  3. "Ananda Sastralaya, Kotte - 115 years". Daily News (Sri Lanka). 1 January 2005. සම්ප්‍රවේශය 2 June 2017. 
  4. 4.0 4.1 http://www.anandabalikaoga.com/?page_id=11
  5. "Ananda Sastralaya - moving on". The Sunday Leader. 6 August 2006. සම්ප්‍රවේශය 2 June 2017. 
  6. http://epuwath.lk/ශ්‍රී-ලංකාවේ-මතෛක්-හමුවූ