පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

(බුදු දහම රැකගැනීමේ අටියෙන් අති විහාල මෙහෙයක් ඉටුකල අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන පසුගිය දෙසැම්බර් 12 වැනිදාට වසර 4 ක් පිරුණි. රටට, ජාතියට උන්වහන්සේ ඉටු කල මෙහෙය වචන කීපයකින් සටහන් කල හැක්කක් නොවුවද මේ සටහන් තැබෙනුයේ උන්වහන්සේගේ එකී මෙහෙවරට කරන උපහාරයක් වශයෙනි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතා විසින් රචිත “සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ දේශපාලන දර්ශනය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් ලිපියකි මේ.)

2003 දෙසැම්බර මස මැද භාගයේදී අප දුටුවේ බෞද්ධ විප්ලවයික. කහ විප්ලවයකි. බෞද්ධ බලවේගයකි. නියමය නම් ජීවත්ව සිටියදී විප්ලවයකට, බලවේගයකට නායකත්වය දීමය. නමුත් සෝම හාමුදුරුවන් විප්ලවයක් ඇති කළේ උන්වහන්සේ මෙලොව අතහැර ගිය පසුවය. එම කහ විප්ලවය බෞද්ධ සිත් තුළ මෝරමින් තිබුණු බව නිසැකය. නැතිනම් එදා අප දුටු ඒ බෞද්ධ පිබිදීම දකින්නට නොලැබෙනු ඇත.

නිහඩව මෝරමින් පවතින ගිනි කඳු පුපුරා යන්නේ බලාපොරොත්තු නොවූ ලෙසය. ඒ ස්වභාව ධර්මයාගේ නිර්මාණයකි. සෝම හාමුදුරුවෝ බුද්ධ දේශනය මත පිහටා කෙලින්ම බෞද්ධයින්ගේ බුද්ධියට සහ සිත්වලට ආමන්ත්‍රණය කළහ. ඒ නිසා අවදි වූ බෞද්ධ සිත් ගිනි කන්දක් ලෙස නොව මහා සිසිල් ධාර්වක් ලෙස උතුරා ගලා යන්නට විය. බෞද්ධ සිසිල් ධාරාවක් ලෙස ගැලුවේය. බෞද්ධ මහා බලවේගයක් ලෙසය.

එම බලවේගයේ රහස පොදු බෞද්ධ ජනතාව වටහා ගත්තේ ය. නමුත් රටක වැසියන් එකාවන්ව සිය බලය විදහාපාන විට දේශපාලඥයෝ කලබල වෙති. දේශපාලඥයින්ගෙන් තොරව ඇතිවන බලයට මේ පිරිස බිය වෙයි. එදා බෞද්ධයින් පෙන්වා සිටියේ අහිංසක බලවේගයකි. ඒ බලවේගය බලය උදෙසා ඇතිවූවක් නොව, ධනය උදෙසා ඇතවූවක් නොව, පාර්ලිමේන්තු ආසන සඳහා වූ බලවේගයක්ද නොවීය. ඒ බලය බෞද්ධයිනගේ බුද්ධියට, සිත් තුළට සමීප වූ බුද්ධ පුත්‍රයෙක් වෙනුවෙන් ගලන ලද්දකි.

මෙම බලවේගයේ රහස සොයන්නට වූවන් අතර මේ රටේ සුපිරි දේශපාලඥයකු ද විය. “ඇයි මෙතරම් ජන ගංගාවක්?” යන ප්‍රශ්නය මේ දේශපාලනඥයාද ඇසුවේය. මේ ප්‍රශ්නයට ලැබුණු පිළිතුර වූයේ “නායකත්වයක් නොතිබූ තැන සෝම හාමුදුරුවෝ නායකත්වයක් ලබාදුන්නා. මේ ඓතිහාසික සිද්ධියේ හේතුව එයයි.” මේ පිළිතුර අසා මෙම දේශපාලඥයා ඊට දුන් පිළිතුර වූයේ එය ඇත්ත විය හැකි බවයි. දේශපාලනඥයින්ට නොලැබෙන කිසිවකුගේ පෙළඹීමක් නොමැතිව සෝම හාමුදුරුවන්ට ලැබුණ ඒ මහා ගෞරවය මෙම දේශපාලනඥයින්ට තෝරා ගන්නට බැරි බව කිව යුතු නොවේ.

“නැණ පහන අවදි කළ සෝම හාමුදුරුවෝ”, “නිර්මල බුද්ධ ධර්මය දේශනා කළ සෝම හාමුදුරුවෝ”, “රටත්, ජාතියත් අවදි කළ සෝම හාමුදුරුවෝ යන මේ පාඨ බැනර්වල ලියා තිබෙනු දුටුවේ ගමක් පසු කරමින් යන විටය. මෙම පාඨ “කහ විප්ලවයේ” ආරම්භයද? එමෙන්ම පෙර සඳහන් දේශපාලනඥයා නැගූ “මේ තරම් සෙනෙහෙබර ජන සන්නිපාතයක්” යන ප්‍රශ්නයට ලැබිය යුතු පිළිතුරද යට කී පාඨවල ඇත.

සෝම හාමුදුරුවන් ආරම්භ කළ ඒ “කහ විප්ලවය” සියලු භේද යටපත් කොටගෙන විකාශනය විය. බෞද්ධ බලවේගයක් මේ රටේ තිබෙන බව අපි දුටුවෙමු. අවශ්‍ය වන්නේ බෞද්ධයන් ගරු කරන නායකත්වයකි.

සෝම හාමුදුරුවන් මේ රටේ බෞද්ධ ජනතාව‍ කෙරෙහි බලපෑවේ කුමන අයුරකින්ද? ඊට සරල පිළිතුරක් මෙන්ම සංකීර්ණ පිළිතුරක්ද වේ. භික්ෂුවක් හැටියට නිර්මල බුදු දහමේ පිහිටා බෞද්ධයා අද මුහුණ පා ඇති ප්‍රශ්න කෙරෙහි බුද්ධිගෝචරව, සෘජු ලෙස සලකා බැලීමේ බලයක් හා ශක්තියක් උන්වහන්සේට හිමිව තිබුණි. සෑම ප්‍රශ්නයක්ම බුද්ධියට හසු කොට ඒ අනුව පිළිතුරු සෙවූහ. හැම දේකම මිණුම් දණ්ඩ ලෙස උන්වහන්සේ සැලකුවේ බුද්ධ දේශනයයි.

සෝම හාමුදුරුවෝ බුද්ධ ධර්මය හැම දෙනෙකුටම පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පැහැදිලි ලෙස විස්තර කර දුන්නාහ. එලෙසම ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් බුද්ධ ධර්මය කාටත් සෙත සලසන අයුරු විස්තර කර දුන්නාහ. මෙය පෙර සඳහන් සරල පිළිතුර ලෙස සඳහන් කිරීමට පුළුවන

සෝම හාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනය ගත් විට අපට පෙනී යන්නේ බුද්ධ ධර්මය ඉතා ගැඹුරින් හදාරා මිනිසා සහ සාමජය අතර පවතින සම්බන්ධතාවයන් බුද්ධිමත් ලෙස විග්‍රහ කළ බවත් ඒ අනුව එම සම්බන්ධකම් පිළිබඳ පුළුල් අර්ථ කථනයක් කළ බවත්ය. විචාරශීලී පදනමේ සිට කළ මේ අධ්‍යයනවලදී අප රට මුහුණ පා සිටින සියලුම විෂමතාවන් අප බුදු මග හැර ගොස් ඇති නිසා ඇතිවූ ඒවා බව උන්වහන්සේ නිගමනය කළහ. මේ ගැන උන්වහන්සේ කුමක් කීවේද?

හින්දු බලපෑම මත බුදු දහම යටපත් වී මිථ්‍යාව ඉස්මතු වන සැටිත් බුදු සසුනේ මුර දේවතාවන් වන භික්ෂූන් වහන්සේ පවා ගතානුගතික සම්ප්‍රදායනට හා චාරිත්‍ර විධිවලට ගැතිවී වමතින් ගත් බණ පොත ජනතාවට පෙන්වමින් දකුණතින් ගත් මිසදිටු දරුණු කෙටේරියෙන් බුදු සසුනේ මුල සිඳුලන ආකාරය දහමට හා විනයට අනුව සසඳද්දී ප්‍රකටවම දිස්වන්නට විය. මේ හේතුවෙන් සිදුවෙමින් පවතින ජාතික සහ ශාසනික විනාශයද පැහැදිලිව ප්‍රකට වෙද්දී මුනිවත රැකීම කුහක භිකෂු ප්‍රතිපදාවක් නොවන්නේ දැයි මගේ සිත මටම දොස් නගන්නට විය.”

අද සිදුවෙමින් පවතින ශාසනික සහ ජාතික විනාශය සෝම හාමුදුරුවන් දුටුවේ එලෙසය.

ඉන්පසු උන්වහන්සේ උන්වහන්සේට හිමිවූ කාර්යභාරය පිළිබඳ තීරණය කළේ මෙසේය.

“භික්ෂුවක වශයෙන් මිථ්‍යා දෘෂ්ටි ග්‍රහණයෙන් බුදු සසුන බේරා ගැනීම පළමු වගකීම විය යුතු බව මගේ තීරණය විය. සසුනෙන් තොර වූසිංහල ජාතියක් ගැන සිතීම වැදගත් නොවන බව මම පසක් කලෙමි.

සෝම හාමුදුරුවන් ගත් මේ තීරණය අනුව උන්වහන්සේ ක්‍රියා කළ අයුරු දුටු මේ රටේ බෞද්ධයෝ පැහැදුණහ. එදා ලක්ෂ ගණනින් උන්වහන්සේ අපවත්වීම ගැන දුක් වූයේ ඒ පැහැදීම නිසා බව පිළිගත යුතු වේ.

අද බුද්ධාගම ලබා ඇති කණගාටුදායක තත්ත්වය ගැන උන්වහන්සේ මෙසේ කීහ.

“යමෙක් පංචශීලය සමාදන්ව ඒ අනුව හික්මෙන්නේද, හේ සියලු භෝග ලබන්නේය. කිතු ගොස් ලබන්නේ, විශාරදව වැජඹෙන්නේ යැයි බුදුරදුන් දෙසූ නොවෙනස් බුදු වදන් නොදන්නේ හෝ නොවටහා ගන්නේ හෝ බුදුරදුන් දෙසූ පංචශීලය අමතක කොට ඒ පංචශීලය සායි බබා හට ආරෝපණය කළෝ සිංහලයෝය. සිංහල බෞද්ධයෝය. බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් හා අනු ව්‍යඤ්ජනයන් සායි බාබාට සසඳා ගීත ගැයුවෝද ඔවුහුමය.”

මිථ්‍යා දෘෂ්ටීන් බුද්ධාගමට ඇතුළත් වු අයුරු දුටුවේ සෝම හාමුදුරුවන් පමණක්ම නොවේ. මේ රටේ බොහෝ බෞද්ධයන් මේ වර්ධනය නොදැක්කා නොවේ. සෝම හාමුදුරුවන් සෘජුව ඒ බව මුළු රටටම ප්‍රකාශ කළේ පෙර සඳහන් උන්වහන්සේගේ තීරණය අනුවය. නායකත්වය කියනු ලබන්නේ මෙවැනි ක්‍රියාවලීන් සෑදුණ ක්‍රියාපිළිවෙතකටය.

තමන් වහන්සේගේ ඒ තීරණය පිළිබඳ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පවසා ඇත

“රටේ අස්සක්, මුල්ලක් නෑර කුඩා දරුවාගේ පටන් මහල්ලා හෝ මැහැලිය දක්වා, ස්ත්‍රී-පුරුෂ, ගිහි-පැවිදි භේදයකින් තොරවම පැතිරී යන දුරාචාර වසංගතය නිසා සිංහල ජාතිය හා සම්බුදු සසුනත් තව අඩසිය වසක් ඇතුළත් ලක් දෙරණින් අතුරුදන් වීමට නියමව ඇත. එසේ වුවුද තෙරුවන් කෙරෙහි මනාව පිහිටා සැදැහැ ඇති අපට ඒ විනාශය ඉදිරිය් අන්ධයකු, ගොළුවකු, බිහිරෙකු සේ සිටීම කළ නොහැකිය.”

මහානායක, නායක ස්වාමීන් වහන්සේලා රටපුරාම සිටින්නාහ. නමුත් උන්වහන්සේලා සෝම හාමුදුරුවරුන් නොවන්නේ මන්ද? මෙම ප්‍රශ්නයට පිළිතුර සෝම හාමුදුරුවෝම වෙන්න පුළුවන

පෙර සඳහන් සෝම හාමුදුරුවන්ගේ වදන් ලබා ගනු ලැබුවේ “දේශය සුරකින රන් අසිපත” යන උන්වහන්සේගේ ග්‍රන්ථයෙන්ය. මින් පසුවත් එම ග්‍රන්ථයෙන් කරුණු උපුටා දැක්වීමට බලාපොරොත්තු වෙමු.

ජනතාව අවදි කළ හැක්කේ යම්කිසි ආගමකට හෝ දර්ශනයකටය. මානව ඉතිහාසයෙන් ඒ බව පැහැදිලි කොට ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී මේ රටේ ඉතිහාසයට එක්වූ කාල පරිච්ඡේදයක් ඔප්පු කළේ මේ ටිකමය. සෝම හාමුදුරුවන් අවදි කළ බෞද්ධයින් ලක්ෂ ගණනින් උන්වහන්සේට ගරු බුහුමන් දැක්වූයේ උන්වහන්සේ ගොඩ නගා ගත් පැහැදිලි දර්ශනයක් නිසාය. බුද්ධ දර්ශනයෙන් උන්වහන්සේ බිහිකර ගත් ඒ දර්ශනය කුමක්ද? ඒ දර්ශනයට හසුවූ කරුණු මොනවාද?

බුදු දහම පිළිබඳ සෝම හාමුදුරුවන් පෙන්නුම් කළ දැනුම, අවබෝධය මෙතරම් යයි කායා පෑමට නුපුළුවන. උන්වහන්සේ ලැබූ ඒ අවබෝධය ගිහියාට නව ආගමික අත්දැකීමක් විය. ඊට හේතු වූයේ ඉතා සරල අන්දමින් බුදු දහම පිළිබඳ උන්වහන්සෙගේ දැනුම සහ අවබෝධය සාමාන්‍ය දැනුමක් ඇත්තන්ට කියා දීමය.

සෝම හාමුදුරුවන්ගේ දර්ශනය වත්මන් ලාංකීය සාමාජය සහ බෞද්ධයා මුහුණ දී ඇති තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස ගොඩ නැගුණ එකක් ලෙස සැලකුවත් වරදක් නැත. මේ බව උන්වහන්සේගේ වචනවලින්ද පැහැදිලි වේ. “භික්ෂුවක වශයෙන් මිථ්‍යා දෘෂ්ටි ග්‍රහණයෙන් බුදු සසුන බේරා ගැනීම පළමු වගකීම බව මගේ තීරණය විය.”

මින් පෙර වුවුද ආගමික ශාස්තෘවරුන්, දාර්ශනිකයින්, චින්තකයින් බිහිවී ඇත්තේ සෝම හාමුදුරුවන් පවසා ඇති පරිදි සමාජයක්, රටක් හෝ ආගමක් පරිහී යන හෝ වියවුල් ඇති වකවානුවලදීය.

අද අප පසුවන්නේ රට අරාජික තත්ත්වයක පවතින අවස්ථාවකය. ආගමික වශයෙන් ගත් කළ බුදු සසුන සහ බෞද්ධයින් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පා ඇති අවස්ථාවකය. එවැනි තත්ත්වයක් පිළිබද අධ්‍යයනය කිරීම සහ ඒ අනුව ලබාගත් අව‍බෝධය දර්ශනයක් ලෙස විකාශනය වෙයි. දර්ශනයක් ඇති අයෙක් සෝම හාමුදුරුවෝ පවසා ඇති පරිදි අන්ධයකු, ගොළුවකු හෝ බිහිරකු සේ සිටින්නේ නැත. ඉතිහාසය මේ බව පෙන්වා දී ඇත. සෝම හාමුදුරුවන්ට දාර්ශනිකත්වය ලැබෙන්නේ ඒ නියමය පරිදිය. උන්වහන්සේ දේශනා කොට නැවතුනේ නැත. ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කළහ.

පෙර අපරදිග ඉතිහාසය සතුව ඇත්තේ අප දැනුවත් කළ හැකි තොරතුරු සම්භාරයකි. අප ඉන් ප්‍රයෝජනය ගත යුතුය. ආගමික සමාජයීය දේශපාලනමය වශයෙන් ගත් කළ මේ හැම ක්ෂේත්‍රයක් තුළම පැවැති, පවතින හානිකර ගති පැවතුම් පිළිවෙත් ආදියට විරුද්ධව දැඩි ලෙස නැගී සිටි අවස්ථාවලින් ඉතිහාසය ගහණය. යුක්තිය, සාධාරණය, විමුක්තිය, සමානාත්මතාවය, සදාචාරය යන මේවා දාර්ශනිකයින්ගේ, පූජකවරුන්ගේ, විමසිල්ලට භාජනය වූ සමහර කරුණුය. ඈත අතීතයේ සිට සෑම ආකාරයේම දූෂණවලට විරුද්ධව හඩක් නැගුණ බව ඉතිහාසය පෙන්වා දෙයි.

පැවතුණු තත්ත්වයන්ට විරුද්ධව පැන නැගුණ විරෝධතා සියල්ල ගැනම ලිවීම මෙම ලිපියේ අරමුණට අදාල නොවන නිසා එක විරෝධතාවක් ගැන පමනක් කරුණු ස්වල්පයක් සටහන් කරන්නට කැමැත්තෙමු. 16 වැනි ශත වර්ෂයේදී කතෝලික ආගම් පූජකවරුන්ගේ, විශේෂයෙන්ම පාප් වහන්සේලාගේ පැවැත්මට විරුද්ධව මහා විරෝධයක් පැන නැගුණේය. ඒ වන විට කතෝලික පල්ලියේ පූජකවරුන්ගේ පැවැත්ම ගැන දැඩි කලකිරීමක් ඇති වී තිබුණි. නොයෙකුත් චින්තකයෝ ඊට විරුද්ධව ලීවා පමණක් නොව ක්‍රියාකාරී ලෙසද ඔවුනගේ කලකිරීම ප්‍රකාශ කළහ.

මේ සමයේදී ආගමික කටයුතු ඉබේ මෙන් පුරුද්ද අනුව සිදු කෙරිණි. පූජකවරුන් බුද්ධිමය වශයෙන් වැදගත් බලවේගයක් නොවීය. බුද්ධිමය වශයෙන් ඔවුන්ගේ අනුගාමිකයින්ගේ මනස කෙරෙහි කිසි බලපෑමක් කරන්නට නුපුළුවන් වූවා මෙන්ම ඔවුනගේ ආගම ධර්මයේ විකාශනය උදෙසා කිසිම අලුත් දෙයක් ඔවුන්ට ඉදිරිපත් කරන්නට බැරි විය. එම පූජකවරුන්ට තමන්ගේ බුද්ධිමය ශක්තිය කෙරෙහි කිසිවකුගේ ගරුත්වය ආකර්ශනය කර ගැනීමට බැරි විය. පූජකවරුන්ගේ අනුගාමිකයින් දුටුවේ මොවුන් නිර්ර්ථක දේශනා කරමින් බාහිර සැප සම්පත් ඇතුව ජීවත් වූ බවයි.

The Praise of Folly නමැති ග්‍රන්ථයකින් ඉරාස්මස් නමැති පූජකවරයාද ඒ සමයේදී පූජකවරුන්ගේ බාහිර චාරිත්‍රාදීන්ට දැක්වූ සැලකිල්ල සහ ඔවුන්ගේ තණ්හාව සහ මෝඩකම් දැඩි ලෙස විවේචනයට ලක් කළේය. රෝමයේ සිට ආණ්ඩු කරන පාප් වහන්සේගේ පාලනය ඒ සමයේදී පැවති ආකාරයට ක්‍රිස්තියානි ලෝකයට විනාශකාරී එකක් වූ බව ඉරාස්මස් එක් අවස්ථාවකදී සිය මිතුරෙකුට යැවූ ලිපියක සඳහන් කලේය. මෙවැනි තත්ත්වයක් යටතේ පූජකවරුන්ට සිය අනුගාමිකයින් කීකරු බවක් දැක්වූ නමුත් ඔවුන් කෙරෙහි නිසි ගෞරවයක් දැක්වූයේ නැති බව ඉතිහාසඥයින් පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය පුළුල් ලෙස අධ්‍යයනය කළමාර්ටින් ලූතර් නමැති පූජකවරයෙක් සහ විශ්ව විද්‍යාල අචාර්යවරයෙක් සිය ප්‍රතිචාරය මෙසේ දැක්වීය. “‍මම නිදහස්ව ජීවත් වෙන්නට කැමැත්තෙමි. කිසිම බල අධිකාරයක, මණ්ඩලයක වේවා, වෙන අන් කිසි බලයක් වේවා, විශ්ව විද්‍යාලයේ වේවා, පප්තුමාගේ වේවා, මෙවැනි කිසිම බල අධිකාරියක වහලෙක් වීමට මම නොකැමැත්තෙමි. සත්‍ය යයි මම විශ්වාස කරන දේ නොබියව විශ්වාසයක් ඇතුව ප්‍රකාශ කර සිටින්නෙමි.”

මොහුගේ මේ විරෝධය පැන නැගුණේ පෙර සඳහන් කළ පරිදි පල්ලියේ පැවැති සුඛෝපභෝගී පැවැත්ම සහ පල්ලියේ අනුගාමිකයින්ගේ අවශ්‍යතාවයන්ට කන් නොදීම සහ ඒවා පිළිබඳ ක්‍රියා නොකිරීම නිසාය. පූජකවරුන්ගේ සහ කාර්දිනල්වරුන්ගේ දුරාචාර ජීවිත පිළිබඳ ඔහු කම්පනයට පත්විය. මේ පූජකවරුන් තමන් ඉටු කරන්නාවූ නොයෙකුත් ආගමික වතාවත් කෙරෙහි නින්දාශීලී සහ සමච්චල්කාරී ආකල්පයක් දැක්වීම ඔහුගේ කෝපයට හේතු විය.

මුදල් ගෙවා පවු සමා කර ගැනීමේ ක්‍රමයක් මුදල් ඉපයීමේ මාර්ගයක් කරගැනීම සාමාන්‍ය ජනයාගේ දැඩි විරෝධයට ලක් විය.

සාමාන්‍ය වශයෙන් ගත් කළ ඒ අවදියේ පාප්වරු බවට පත්වූ අය ඒ තනතුරුවලට සුදුස්සෝ නොවූහ. 1492 සිට 1503 දක්වා පාප් තනතුරේ කටයුතු කළ ඇලෙක්සැන්ඩර් බෝගිය පාප්තුමා ඒ පදවියට පත්වූයේ විශාල වශයෙන් අල්ලස් දීමෙන් බව ඉතිහාස පොත්වල සඳහන් වේ.

පූජකවරුන්ගේ දුරාචාර හෙළා දැක ඊට විරුද්ධව නැගී සිටි ලූතර්ට සාමාන්‍ය ලබ්ධිකයින්ගේ සහයෝගය ලැබුණි. දෙවියන් වහන්සේ සහ බයිබලය කෙරෙහි විශ්වාසය තැබීම ප්‍රමාණවත් වේ යයි ලූතර් ලබ්ධිකයින් සහ දෙවියන්වහන්සේ අතර අතරමැදියන් අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කළේය.

ලූතර්ගේ විරෝදය පුළුල් ව්‍යාපාරයක් බවට පත්ව 16 වැනි හත වර්ෂයේදී ඇතිවූ ක්‍රිස්තියානි ආගම පිළබඳ මහා ප්‍රතිසංස්කරණයට මග පෑදුවේය.

පවතින ක්‍රම හා පැවතුම් සාමාන්‍ය ජනයාගේ අනුමැතියට හේතු නොවන පරිදි සිදුවේ නම් ඊට විරුද්ධව නැගී සිටීම වැළැක්විය නොහැක. එවැනි අවස්ථාවලදී ජනතාව මෙහෙයවීමට සමත් නායකයින් පෙරට ඒම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. ආගමික පමණක් නොව දේශපාලන වශයෙන් ගත් කළද සිදුවන්නේ මෙපමණය. රට කුමක් වුවත් ක්‍රියාත්මක වන්නේ එකම න්‍යාය බවද පැහැදිලිය.

යමිකිසි සංස්ථාවක්, සංවිධානයක් දූෂිත වූ කළ එහි පැවැත්ම කෙටි වන්නට පුළුවන. එසේම එවැනි සංස්ථා අරමුණුවලින් පලා යන විට හෝ ඒවායේ අනුගාමිකයින්ගේ අදහස් උදහස්වලට කන් නොදී සිටින විට හෝ ඔවුනගේන් ඈත් වන විට හෝ ඒවා නිවැරදි කරගන්නා බලාපොරොත්තුවෙන් ඇතිවෙන ප්‍රතිචාර ව්‍යාපාර වැළැක්වීමට නුපුළුවන.

දැන් අප අපේ රට ගැන සලකා බැලිය යුතුය. අපේ ර‍ට දැඩි වියවුල් තත්ත්වයක පවතින බවට තර්කයක් නැත. ආගමික, දේශපාලන, ආර්ථික, සාමාජයීය වශයෙන් ගත් කළ මේ රටේ කිසිවකුට සතුටු විය හැකි තත්ත්වයක් නැත.

සෝම හාමුදුරුවන් ඉටු කළ, ඉටු කරන්නට බලාපොරෝත්තු වූ කාර්යභාරය මැනිය හැක්කේ මේ පසුබිම් තුළය. සෝම හාමුදුරුවන්‍ අපවත්වූ දින සිට ආදාහනය සිදුකළ අවස්ථාව වෙන තෙක් මෙරට අත්දුටු දේ පෙර සඳහන් තත්ත්වයට විරුද්ධව නැගීසිටි පුළුල් නිහඩ විප්ලවයකි. අප රටවාසීන් කිසිදාක නොදුටු විප්ලවයක් ලෙස හඳුන්වා දීමටද පුළුවන. “ඇයි මෙතරම් මහා ජනකායක්?” කියා මේ රටේ දේශපාලන නායකයන් ඇසුවේ ඒ නිසාය. “ඒ වෙන නායකත්වයක් නොතිබූ නිසාය” යන පිළිතුර අද රට මුහුණ පා තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්දැයි පෙන්නුම් කරයි. “සිදුවෙමින් පවතින ජාතික හා ශාසනික විනාශයද පැහැදිලිව ප්‍රකට වෙද්දී මුනිවත රැකීම කුහක භික්ෂු ප්‍රතිපදාව නොවන්නේ දැයි මගේ සිත මටම දොස් නගන්නට විය.” සෝම හාමුදුරුවන්ගේ මේ වදනෙන් උන්වහන්සේ කරන්නට බලාපොරොත්තු වූයේ කුමක්දැයි මනාවට විස්තර වේ.

සෝම හාමුදුරුවන්ගේ මේ මෙහෙය ඉටු කිරීමට උන්වහන්සේ අවිය කර ගත්තේ බුදු දහමයි. උන්වහන්සේගේ ආගමික, සාමජයීය, දේශපාලන සහ ආර්ථික දර්ශනය බිහි වුයේ බුදු දහමෙන්ය. එය ඉතා බලසම්පන්න දර්ශනයක් විය. උන්වහන්සේගේ දේශනාවල කිසිම පටහැනි බවක් හෝ ප්‍රතිවි‍රෝධී බවක් නොදුටුයේ මේ නිසාය. සෝම හාමුදුරුවෝ මෙන් සෑම ක්ෂේත්‍රයක් සඳහාම බුදු දහම අර්ථවත් යයි පෙන්වා දෙන ඒකාබද්ධ දර්ශනයක් වෙන කිසිවකුගෙන් මෑත ඉතිහාසයේ දකින්නට නොලැබුණු බව උන්වහන්සේගේ අපවත් වීම හේතුකොට ගෙන අප අත්දුටු සිද්ධීන්ගෙන් පැහැදිල වේ.

අද ලංකාවට අවශ්‍යව ඇත්තේ දැඩි විනය, දැඩි නීතිගරුක බව, දැඩි ප්‍රතිපත්ති ගරුක බව සහ හැම දෙයක්ම මැනීම සඳහා මිණුම් දණ්ඩක් සහ බලවත් දර්ශනයකි. මේ සියල්ලම බුදු දහම විසින් මිනිසාට ලබා දෙනු ලැබ ඇත. අප අද මුහුණ පා සිටින සියළුම ප්‍රශ්නවලට පිළිතුර සෝම හාමුදුරුවෝ බුදු දහමින් ලබා දුන්හ.