අනුරාධපුර යුගයේ සිතුවම්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මෙරට පැරණි අවධියේ චිත්‍ර කලාව කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මූලාශ්‍ර ගත තොරතුරු වලට විශේෂ ස්ථානයක් හිමි වේ. මහාවංශයේ එන තොරතුරු අනුව ක්‍රි.පූ. තුන්වෙනි ශත වර්ෂයේ පමණ චිත්‍ර කලාවක් පිළිබඳ සඳහන් වේ. මෙය ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි බවට විශ්වාස කරනු ලැබේ.

දුටුගැමුණු රජ සමයෙහි මහාථූපයේ ධාතු ගර්භයේ බිත්තිවල බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා නිරූපිත සිතුවම් වූ බවට මහාවංශය හා ථූපවංසය කරුණු දක්වයි. මේ සිතුවම් අතර සත්සතිය, පරිනිර්වාණය, වෙස්සන්තර ජාතකය හා තුසිත දිව්‍ය ලෝකය වැනි දෑ නිරූපණය කොට ඇත. මේ අතර ලෝහ ප්‍රාසාදය සඳහා සැලසුම සපයන ලද්දේ භිකෂූන් වහන්සේ විසිනි. රහතන් වහන්සේලා, භරණි නම් දෙවි දුවකගේ මාහැඟි විමානයක් දැක එය හිඟ දෑලෙන් වස්ත්‍රයක් ඇඳගෙන රජුට ඉදිරිපත්කළ බව කියවේ. [1] භික්ෂූන් වහන්සේ චිත්‍ර කලාවේ හුරුවක් ලද කෙනෙකු බවත් එකල චිත්‍ර වස්ත්‍ර, හෙවත් රෙදි පින්තාරු ක්‍රමය තිබූ බවත් අපට මෙයින් සිතා ගත හැකිය.

මේ අතර මහාබෝධි වංශයෙහි ද පැරණි චිත්‍ර කලාව සම්බන්ධිත කරුණු ඇතතුලත් වේ. දිවයිනට මහාබෝධිය වැඩම කරන විට සූවිසි වැදෑරුම් පිරිසක් ද ඒ සමඟම පැමිණ තිබේ. එම පිරිස අතර සිටි සිත්තර කුලයක් ගැන ද කරුණු හෙළි වී තිබේ. සිත්තරුන් යනු ඇදීම, ඇඹීම හා නෙලීම යන ශිල්පයන් ප්‍රගුණ කල අය වේ.(බෝධිවංශයේ කියවෙන චිත්‍රකාර කුල, සිත්තර කුලේහි, වැනි යෙදුම් වලින් කියවෙන්නේ ද චිත්‍ර කලාව සම්බන්ධ පිරිසක් ගැන විය හැකිය. [2]

දිවයිනේ පැරණි බිතු සිතුවම් කලාව ගැන ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවන්හි ද සඳහන් වී ඇත. එහි අභයගිරි විහාරය හා සම්බන්ධ ධාතු ප්‍රදර්ශනයේ දී මග දෙපස තබා තිබුණු ජාතක කතා චිත්‍ර පුවරු ගැන සඳහන් වේ. මීට අමතරව,(එකොළොස් වැනි ශතවර්ෂයට අයත් බෝධිවංස ගැටපදයේ සලක කලා ගාන්ධර්ව චිත්‍ර කර්මාදී සූසැට කලායෙහි[3] අභිලේඛන මූලාශ්‍ර සැලකීමේ දී මිලච්චිය කෝරළයේ බිල්ලවහලින් ලැබුණු බ්‍රාහ්මීය ලිපියක චිතකරදය නම් ශිල්පියෙකු ගැන කියවේ. මින් චිත්‍ර ශිල්පය දත්ත යන අර්ථය ජනිත කරවයි. එසේ රුවන්වැලි සෑ පුවරු ලිපියෙහි ද විහාර රක්ෂාවේ සිටියවුන් අතර සිත්තරුන් පිළිබඳව සඳහනක් වේ.

මේ අනුව මූලාශ්‍රමය සාධක මෙන්ම අභිලේඛන සාධක මගින් ද ඉතා පැරණි අවධියේ පටන් චිත්‍රකලාව පැවති බැව් පෙනේ. අනුරාධපුර යුගයේ චිත්‍ර කලාව සම්බන්ධයෙන් විමසීමේ දී කරඹගල, සීගිරි, හිඳගල, ගොනාගොල්ල, මිහින්තලය හා මහියංගනය යන ස්ථාන වල ශේෂ වී ඇති බිතුසිතුවම් සුවිශේෂි වේ.

කරඹලෙන සිතුවම්[සංස්කරණය]

කරඹගල සිතුවම් පිටපතක්

අනුරාධපුරයට අයත් බිතු සිතුවම් කලාවක් මෙයින් පෙන්නුම් කෙරේ. රිදීගම ප්‍රදේශයේ කරඹලෙන පිහිටා ඇත. මේ සිතුවම් නිර්මාණයට පෙර බදාමයක් ගසා ඒ මත සිතුවම්, රතු රේඛා ඇඳ සිතුවම් නිර්මාණය කර තිඛෙන අතර, මෙම අගනා සිතුවම් ලෙන පිළිබඳව බුද්ධඝෝෂ හිමි රචිත විසුද්ධි මාර්ගයේ ද සඳහන් කර ඇත. එය කුරුන්දක ලෙන, ලෙසින් හඳුන්වා දී ඇත. මෙහි බෝධිසත්වරු සත් නමකගේ අභිනිෂ්ක්‍රමණය සිතුවම් කොට ඇත.

කුරුණ්ඩක ලෙනෙ කිර සන්තන්නං බුද්ධාන අභිනික්ඛම චිත්ත කම්මං මනෝරමා අහොසි[4]

මේ සිතුවම පිළිබඳ ආචාර්ය මංජු ශ්‍රි මහතාගේ අදහස වන්නේ 2 වන සියවසට කරඹගල සිතුවම් අයත් බවයි. මේ ලෙනේ ඇඳි සිතුවම් රේඛා තරමක් ඝනකමකින් යුතු වේ. කළු හා අඳුරුඅ පැහැයෙන් යුතු රේඛා දක්නට ලැබේ. වලාකුළින් තැන තැන මතු වූ අශ්ව අඩි කැබලි හා අසුන්ගේ පිට මත දැමූ පලස් සටහන් ද, බෝධිසත්ත්ව රූපයක මුහුණු කොටස් හා අප්සරාවකගේ මුහුණක් ද දක්නට ලැබේ.

සිතුල්පව්ව සිතුවම්[සංස්කරණය]

දකුණු පළාතේ පිහිටා ඇති ලංකාව පුරාම ඉතා ජනප්‍රියභාවයට පත් වූ පූජනීය ස්ථානයකි, සිතුල්පව්ව. මෙය මහාවංසයෙහි චිත්තල පබ්බත, නමින් හඳුන්වා දෙයි. මේ විහාරය, මහා සිතුල් පව්ව, කුඩා සිතුල් පව්ව, කොරවක්ගගල ආදියේ සිතුවම් දක්නට ලැබේ. කොරවග්ගල ලෙන තුළ ඝන බදාමයක් මතු රතු රේඛාවෙන් ඇඳි නෙළුම් මල් කටින් ගත් හංස රූප පෙළක් දක්නට ලැබේ. වාහල්කඩ ලෙනෙහි කොළ, කහ, රතු වර්ණ කොටස් වන අතර දණ්ඩක් අතින් ගත්, කනේ තෝඩු පැළදි හා කරෙහි මාල බැඳි වාමන රූපයක්, මලක මිනිස් මුහුණකින් අලංකාර කුරුල්ලෙකු ගේ රුවක් ද, ඒ පකෂියා වටා ලිය වැලක් ද, අලංකාර නෙළුම් මල් මෝස්තර ද වේ. මහා ලෙන් විහාර ලෙනේ කටාරම උඩ කොටසේ බුද්ධ රූපයක කොටස්, මුව හිසක්, හංස රූප පෙළක් දක්නට ලැබේ. වාහල්කඩ ලෙනෙහි සිතුවම් කරනු ලැබූ පකෂියා පිළිබඳව බොහෝ මතවාදයක් මතු වී ඇත. මංජු ශ්‍රි මහතාගේ අදහස අනුව මෙය ආටානාටිය සූත්‍රයේ එන දණ්ඩ මානවක පක්ෂියා වේ.

වෙස්සගිරි බිතු සිතුවම්[සංස්කරණය]

වෙස්සගිරියේ ඇති හිඳි කාන්තා රුව
වෙස්සගිරියේ ඇති පියාඹන දේව රූපයක්

අනුරාධපුර යුගයේ පැරණි අවධියට අයත් සිතුවම් කලාවක් මෙහි දක්නට ලැබේ. මෙහි සිතුවම් තට්ටු දෙකක් දක්නට ලැබීම විශේෂ කරුණකි. පළමු තට්ටුවේ සිතුවම් බොහොමයක් විනාශයට පත්වී ඇත. දෙවන තට්ටුවේ සිතුවම් නිල්-කහ-කළු වර්ණවලින් අලංකාර කොට ඇත. එහි දේව රූප කීපයක්ම දක්නට ලැබේ. නෙළුම් මලක් අතින් ගත් කාන්තාවකගේ රූපය ද වාඩි වී සිටින දේව රූපයක් ද වේ.

ඉන වට කොළ පැහැයෙන් යුත් වස්ත්ර ඇඳ තිබේ. ඇඳි දෝතියේ නරුං ඉදිරියට මනාව නෙරා ඇති ආකාරය දක්නට ලැබේ. වම් අතින් යම් දෙයක් අල්ලා ගෙන සිටින ආකාරයෙන් දකුණත ආසනයට තබා ගෙන සිටී, (‍ප්‍රේමරත්න, 2007, 32)

මේ අතරම මිනිස් රූප සමූහයක් ද, ලියවැල්, මල් පාත්තරයක් ද අඟල් 80 ක් පමණ උස දේව රූපයක් ද සිතුවම් අතර වේ. මේ අතර මිසර කලා සම්ප්රදායට යමින් ඇඳ දම්, කොළ පැහැයෙන් යුතු මානෙල් මල් සමූහයක් ද වීම සුවිශේෂී වේ. මේ සිතුවම් වල වර්ණ රටාවක් දක්නට ලැබේ.

සීගිරි බිතු සිතුවම්[සංස්කරණය]

අනුරාධපුර යුගයේ හමුවන විශිෂ්ටතම ගණයේ සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලූව කෝරළයේ පිහිටි සීගිරිය ක්‍රි.පූ. දෙවන සියවස තරම් පැරණි අවධියකට දිව යයි. නමුත් මෙය වඩා ජනප්‍රිය වන්නේ කාශ්‍යප රජුගේ කාලයේ දී ය. (478-496)

අඩි 1132 ක් උසැති සීගිරි පර්වතයේ අව් වැසි ආදියෙන් හොඳින් ආවරණය වූ තැනෙක සිතුවම් කරන ලද පර්වත පෘෂ්ඨය මත මේවා ඇඳ තිබේ. කැටපත් පවුරේ ගී කිහිපයකම සඳහන් වන ආකාරයට මේ චිත්‍ර ගැලරියෙහි චිත්‍ර 500ක් පමණ විය. එහි ඒ තරම් චිත්‍ර ප්‍රමාණයක් තිබුණේ නම් ලොව ලෝකයේ එවැනි චිත්‍ර ගැලරියක් තිබූ එකම ස්ථානය සීගිරිය යි.

මේ චිත්‍ර කාශ්‍යප රජු විසින් අඳින ලද බව පරණවිතානගේ මතය යි. ඔහු එය අභයගිරියේ බුද්ධමිත්‍ර තෙරුන් විසින් ලියන ලදැයි සැලකෙන ශ්‍රමන දූත කාව්‍ය ඔස්සේ පෙන්නුම් කරයි. නමුත් හත්වන ශතවර්ෂයේ අගභාගය වන තෙක් ලියූ කවි වල චිත්‍ර සම්බන්ධව කරුණු නොදැක්වෙයි. මේ නිසා මේ චිත්‍ර සීගිරිය බැලීමට ගිය භික්ෂූන් විසින් අඳින ලද්දක් බවද පිළිගත හැකිය. එයින් දැනට ඉතිරිව ඇත්තේ චිත්‍ර 21 ක් පමණි. අටවන සියවස පමණ වන විට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද සීගිරිය නැරඹීමට පැමිණ තිබේ.

රතු, කොළ, කහ යන ප්‍රධාන වර්ණ තුනෙන් මෙය ඇඳ තිබේ. මේ රූප වල තනි හා යුගල වශයෙන් නිරූපිත ස්ත්‍රි රූප වලින් යුතු වේ. මේ රූපවල ඉඟටියෙන් පහළ කොටස දක්නට නොලැබේ. එය වළාකුළකින් කැඩී යන පරිදි සිතුවම් කොට ඇත. සීගිරි පද්‍යයකට අනුව වීණාවක් අතින් ගත් ළඳකගේ රුවක් ගැන කියවුණත් දැනට ඉතිරිව ඇති සිතුවම් තුළ එවැනි සිතුවමක් දක්නට නොලැබේ. සිගිරි සිතුවම්හි රතු පැහැයෙන් අඳින ලද බාහිර සටහනෙහි කහ, දුඹුරු, හා කොළ යන වර්ණ ආලේප කිරීමෙන් වර්ණ පූර්ණ කළ බව පෙනේ. මේ චිත්‍රවල වර්ණ සංකලනයේ දී නිල් පැහැය භාවිත නොකිරීම විශේෂ ලකෂණයකි. ඔවුන්ගේ අත් නිරූපණය කරන ආකාරය ඛෙහෙවින් තාත්වික වේ. පරණවිතාන මතයට අනුව නිත්ය වශයෙන්ම අනුරාගී සිහින් ඉඟ පිරිපුන් පයෝධරයන්ගෙන් යුත් උත්කෘෂ්ඨ ස්ත්‍ර රූප ලෙස මේවා දැකිය හැක. ඉහත දැක්වෙන්නේ එසේ වූ යුගල කාන්තා රූපයකි.

කාන්තාවගේ ශාරීරික සුන්දරත්වය මෙසේ තාත්විකත්වය රකිමින් මනාව ව්‍යවච්ඡේද විද්‍යාව අනුව නිර්මාණය කර ඇත. මෙහිදී පියයුරුවල විශාලත්වය හා තද බව, ඉන් ඇතිවන ආකර්ෂණය තව දුරටත් නාභිය හා උදරයේ රැලි වැනි සජීවි හැසිරීම් ද ඇඳුම් පැළඳුම් ආදිය මෙහිදී වඩා වැදගත් වේ. මෙහි කාන්තා ආදර්ශ රූ තුනක් පෙන්නුම් කරයි. වඩා තරුණ, මැදිවියේ හා මැදිවිය පසුකළ ලෙසින් ය. ශිල්ප ක්‍රම භාවිතයේ දී, රූප භේද, ප්‍රමාණ, භාව, ලාවණ්‍යයෝජන, වර්ණිකාභංග හා සාදෘශ්‍යකරණය යන ශීල්ප ක්‍රම හයම මේ චිත්‍ර නිර්මාණයේ දී භාවිතා කර තිබේ. ගල් බිත්තියේ සිදුරු දහයියා මිශ්‍ර මැටි බදාම අතරා චිත්‍ර භූමිය ද එය මත සියුම් හුණු බදාම එලා චිත්‍ර වාහකයන් ද තනාගෙන තිබේ. චිත්‍ර ඇඳ ඇත්තේ මේ වාහකය මතය.[5]

මේ සිතුවම් ක්‍රමය ටෙම්පරා ක්‍රමය ලෙසින් සලකනු ලබයි. සීගිරි චිත්‍රවල වස්තු විෂය පිළිබඳ මතවාද රාශියක් වේ. මේ අතුරින් පරණවිතාන, නන්දදේව වි‍ජේසේකර, ලෝහෙර්ටිස් ආදීන් එය අදහස් දක්වා ඇත.මෙහි ප්‍රසිද්ධම මතය වන්නේ පරණවිතානයන්ගේ මෙම මනුෂ්‍ය ස්ත්‍රි රූ සටහන් නොවන අතර මේඝලතා හා විජ්ජුලතාවන්ගේ රූ සටහන් බවයි. මීට අමතරව කාශ්‍යප රජුගේ රාජ සභා මණ්ඩපයේ සිටි ළඳුන් පිරිසකි, පිදුරංගල විහාරය වන්දනාවේ යන කාශ්‍යපගේ කාන්තාවන් පිරිසකි, කාශ්‍යපගේ වියෝව නිසා රාජ සභාවේ සිදු වූ වැළපීමක් නිරූපිත වන්නකි. දිව්‍ය භවනක අප්සරාවන් පිරිසකි. උත්සව වල යෙදී සිටින කාන්තා පිරිසකි. මහායාන අදහස් පිළිබිඹු කරන චිත්‍ර සටහන් රැසක් ලෙසින් විවිධ මතයන් වේ.

මේ අතුරින් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් අනුරපුර යුගයේ ප්‍රභූ ළඳුන්ට සමාන කර ඇත. නමුත් මොවුන් දිව්‍යාප්සරාවන් බවට සැකයක් නැත. මේ අදහස ආනන්ද කුමාරස්වාමි, හෝකාට් මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය ඇල්බට් ධර්මසිරි යන මහත්වරුන් සනාථ කර ඇත. මේ සිතුවම්වල යටි කොටස වලාපටලයකින් වැසී තිබීම ඊට හොඳම නිදසුන ලෙස ඔවුහු පෙන්වා දෙති.

සීගිරි චිත්‍ර අජන්තා චිත්‍රවලට සමාන ලෙසින් මතයක් පවතී. යොදාගත් වර්ණවල හා ශිල්පක්‍රම වල තිබූ සමාන බව නිසා ඇති වූවකි. නමුත් ශෛලිය අතින් සීගිරි චිත්‍ර අජන්තා සිතුවම් හා සැස‍ඳෙන්නේ නැත. මේවා අභයගිරි කලා සම්ප්‍රදායට අයත් බව පිළිගත හැකි බවට මතයක් පවතී.

අනුරාධපුර අගභාගයේ දී හමුවන සිතුවම්[සංස්කරණය]

මෙහිදී මිහින්තලයේ කුඩා ස්තූපයක ධාතු ගර්භයෙන් හමුවූ සිතුවම් පිළිබඳව වඩා වැඩි අවධානය යොමු වේ. නමුත් කාලනිර්ණය සම්බන්ධයෙන් ගැටලූ මතු වී ඇති හිඳගල සිතුවම්, දිඹුලාගල පුල්ලිගොඩ සිතුවම්, ගොනාගොල්ල සිතුවම් හා මහියංගන ධාතු ගර්භ සිතුවම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට අපේකෂිත ය.

හිඳගල සිතුවම්[සංස්කරණය]

මෑත කාලය වන විට හිඳගලින් හමුවන්නේ ඉතා සුළු සිතුවම් කොටස් පමණි. හොඳින් ආරක්ෂා වී තිබූ කාලයේ සත්සතියේ දී හමු සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳව සඳහන් වේ. මේ සිතුවම් සීගිරි හා පොළොන්නරු කාලය අතරතුර අඳින ලද බවට පරණවිතාන හා ඛෙන්ජමින් රෝලන්ඩ් ගේ මතය යි. මේ සිතුවම් වල අජන්තා සිතුවම් වලට සමාන ශෛලියක් දක්නට ලැබේ. මෙහි නිරූපිත බුද්ධ රූපවල මුහුණු සලකුණු සීගිරියේ සිතුවම් වලට සමාන වෙයි. මෙතෙක් ලංකාවේ හමු වී ඇති පැරණිම බුද්ධ චිත්‍රය හිඳගලින් හමු වේ.

ගොනාගොල්ල සිතුවම්[සංස්කරණය]

ගොනාගොල්ල විහාරයෙහි ඇති බිතුසිතුවමෙහි රේඛා පිටපතක්.

අම්පාර අසල ගල්ඔය නිම්නයේ ගොනාගොල්ලෙන් සොයාගත් සිතුවම් මීට අයත් වේ. මෙහි ගල් පර්වතයක බටහිරින් යොදන ලද බදාම තට්ටුවක් මත ඇඳ ඇති සිතුවමෙහි ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ රූප සටහන් වේ. පිරිමි රුවෙන් බෝධිසත්ත්වයකු පෙන්නුම් කරන බවට මතයක් පවතී. ස්ත්‍රී රූපය පුරුෂ රූපයට බුහුමනින් වඳින අභිනයක් පෙන්වා සිටියි.

දිඹුලාගල පුල්ලිගොඩ ලෙන[සංස්කරණය]

මෙහි ශේෂ වී ඇති එක් චිත්‍රයක හිසවටා යෙදුණු රැස් වළල්ලක් ද එසේ වන කණ්ඩායමක් පලසක් මත වාඩිගෙන සිටිනු පෙනේ. අඩි පහක් පමණ දිගට තිඛෙන මේ සිතුවමෙන් දේවතාරූප පහක් දිස්වෙතැයි සිතේ. පරණවිතානයන්ගේ මතයට අනුව බුදුන්ට වැඳුම් පිදුම් කරන දෙවියන්ගේ සිතුවමක් මෙහි අර්ථය වේ. එක් රූපයක් අත මල්දමක් වේ. අන් අය දෑගිලි බැඳ සිටිති. මෙය බණ අසන විලාශයක් දක්වයි. උඩුකය හා මාල, වළලූ, වැනි පළඳනාවන් හොඳින් සැරසිලි කොට ඇත. වර්ණ යෙදීමේ දී සුදු පාට, රතු පාට හා ලා කොළ පැහැය ද යොදාගෙන ඇත.

මිහින්තලයේ කුඩා ස්තූපයකින් හමුවූ බිතු සිතුවම්[සංස්කරණය]

බිතු සිතුවම් හමුවූ ධාතු ගර්භය, මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරය.
ධාතු ගර්භයෙහි වූ සිතුවම්.
මිහින්ත‍ලයේ කුඩා ස්තූපයක ධාතු ගර්භයෙන් හමුවූ බිතු සිතුවමක්.
මිහින්තලයේ කුඩා ස්තූපයක ධාතු ගර්භයෙන් හමුවූ බිතු සිතුවමක්.

මිහින්තලා භූමියේ කණ්ඨක චෛත්‍යයට වම් පසින් වූ ස්තූපයක මෙසේ සිතුවම් හමු වී ඇත. මේ සිතුවම් චෛත්‍යය ගර්භයෙහි බදාම පිරියම් කරනලද බිත්ති පෘෂ්ඨය මත ජීවමාන තරමේ කළ ඒවා වේ. මේ ශරීර වල දණහිසින් පහළ කොටස් ගැලවී වැටී ඇත. සිවුරු වල කොටස් සිතුවම් වල වන්දනාමාන කරන හා පැමිණෙන දේවරූප සමූහයක් වේ. එම ගර්භයේ බිත්ති කහ වර්ණ වන අතර නෙළුම් මල් අතින් ගත් දේව රූප හා වන්දනා කරන දේවරූප මෙහි වේ. ශරීරවල පහළ කොටස් වලාකුළින් වැසී යන සේ ඇඳ ඇත. වර්ණ ලෙසින් රතු, කළු යන වර්ණ භාවිතා කර ඇත. ඒ චිත්‍රවල රේඛා දැක්වීම සඳහා ය. චිත්‍ර වර්ණ නොකළ බව පෙනේ.

මහියංගන ධාතු ගර්භයේ සිතුවම්[සංස්කරණය]

මල් වට්ටියක් අතින් ගත් විෂ්ණු දෙවියන්ගේ රුව; මහියංගණ ධාතු ගර්භයේ ඇති බිතු සිතුවමකි. වර්තමානයේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
බෝධි වෘක්ෂයක් යට වැඩ සිටින බුද්ධ රූපයක්; මහියංගණ දාතු ගර්භයේ බිතු සිතුවමකි. වර්තමානයේ අනුරාධපුරා පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇත.

මහියංගන දා ගැඛෙහි ධාතු ගර්භයේ බදාම පිරියම් කරන ලද බිත්ති පෘෂ්ඨ මත මෙසේ සිතුවම් ඇඳ ඇත. මේ සිතුවම් අතර බුද්ධත්වයට පත්වීම හා විෂ්ණු රූපයක් දක්නට ලැබේ. බුද්ධත්වයට පත්වන සිතුවමේ බෝධි වෘකෂයට පිට දී රශ්මි මාලාවෙන් බුදුන් හිඳ සිටී. දෙවි බඹුන් යයි සැලකෙන පරිවාර රූප කිහිපයක් ද නිරූපණය කොට තිබේ. විෂ්ණු රුව අතින් මල් වට්ටියක් ගෙන ඇති ලෙස සිතුවම් කර ඇත. රේඛාකරණය පිළිබඳ ඇති උසස් නිර්මාණ ශක්තිය මේ සිතුවම් වලින් කැපී පෙනේ. වර්ණ යොදා ගැනීමේ දී සියුම් අඳුරු කිරීමක් දක්නට ඇති අතර රතු, කළු, කහ හා සුදු ප්‍රධාන වර්ණ ලෙසින් යොදාගෙන ඇත.

අනුරාධපුර යුගයේ සිතුවම් පිළිබඳව කරුණු සැලකීමේ දී බොහෝ දුරට මේවායේ සම්මත වර්ණ කීපයක් පැවති බවත්, රේඛාමය චිත්‍ර ඇඳීම සුලභ බවත් පෙනේ. වර්ණ සඳහා නිතරම ස්වභාවික ද්‍රව්‍ය යොදාගත් බවට සාකෂිත් පවතී.

පින්තූර ගැලරිය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මහාවංශය, 27 පරි, 18 ගාථාව
  2. සෝමතිලක; 2005, පි. 18
  3. සෝමතිලක; 2005, පි. 19
  4. විසුද්ධි මග්ග - සීලනිද්දෙස
  5. චන්ද්‍රා වික්‍රමගමගේ; 2005; පි. 33

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • මහාවංශය
  • විසුද්ධි මාර්ගය
  • අනුරාධපුර කලා ඉතිහාසය (කේ.බී. ‍ප්‍රේමරත්න)
  • පුරාතන ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව (සෝමතිලක)