Jump to content

ලක් විජය බලාගාරය

විකිපීඩියා වෙතින්
ලක් විජය බලාගාරය
Lakvijaya Power Station
Three wind turbines of the Mampuri Wind Farm, located near the Lakvijaya Power Station.
ලක් විජය බලාගාරය සහ මාම්පුරි සුළං බලාගාරයේ ටර්බයින වල දර්ශනය.
ලක් විජය බලාගාරය is located in Sri Lanka
ලක් විජය බලාගාරය
Location of ලක් විජය බලාගාරය
Lakvijaya Power Station
නිල නාමයLakvijaya Power Station
රටශ්‍රී ලංකාව
පිහිටුමනෙරොච්චෝලෙ, පුත්තලම
ඛණ්ඩාංක08°01′06″N 79°43′22″E / 8.01833°N 79.72278°E / 8.01833; 79.72278ඛණ්ඩාංක: 08°01′06″N 79°43′22″E / 8.01833°N 79.72278°E / 8.01833; 79.72278
තත්ත්වයසක්‍රීය
ගොඩනැගීම ඇරඹුනේ11 මැයි 2006
අධිකාරී දිනය22 මාර්තු 2011
ගොඩනැගුම් පිරිවැයඅමෙරිකා ඩොලර් බිලියන 1.35 (අදියර 3 කි)
අයිතිකරු(වන්)ලංකා විදුලිබල මණ්ඩලය
ක්‍රියාකරු(වන්)ලංකා විදුලිබල මණ්ඩලය
ගොඩනැගුම් ශිල්පි(යන්)CMEC
Power station information
Primary fuelBituminous Coal
Secondary fuelLight Diesel Oil
Generation unitsUnit 1: 1 × 300 MW
Unit 2: 1 × 300 MW
Unit 3: 1 × 300 MW
Combined cycle?No
GHG emissionsBelow the limits specified by the Central Environment Authority of Sri Lanka
Power generation information
Installed capacity900 MW
Maximum capacity900 MW
Capacity factor70.53%
Annual generation2200 GWh
Website
ceb.lk

ලක් විජය බලාගාරය, නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය ලෙසද හඳුන්වයි. මෙම බලාගාරය ශ්‍රී ලංකාව තුල ඉදිකල පළමු ගල් අඟුරැ විදුලි බලාගාරයයි. බලාගාරයේ ඉදිකිරීම් 2006 මැයි මස 11 ඇරඹූ අතර වැඩ නිම කල මෙගා වොට් 300 ක ධාරිත විදුලියක් ලබා දෙන පලමු අදියර 2011 මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කරන ලදී.[1] මේ අවස්ථාව සඳහා එවකට බලශක්ති අමාත්‍යවරයා වූ චම්පික රණවක හා නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ප්‍රේමලාල් ජයසේකර මහතාද සහභාගී වූහ.

බලාගාරයේ දෙවන අදියර 2010 මැයි මස එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කරනු ලැබු අතර, වැඩ අවසන් කරන ලද එම අදියර 2014 සැප්තැම්බර් 16 වන දින දී චීන ජනපති ෂී ජිංපිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600 ක් එකතු කරමින් විවෘත කරන ලදි.

               මෙම අදියර දෙකකින් යුත් මෙගා වොට් 900 ක ධාරිතාවක් ලබාදෙන ලක්විජය විදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීනයේ CMEC ආයතනයයි. මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් (EXIM) බැංකුව මගින් මූල්‍යාධාර සපයනු ලැබූ අතර මෙහි අයිතිය සම්පූර්ණයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය සතුවේ.

මෙම විදුලි බලාගාරය මෙගාවොට් 300 බැගින් නිපදවන ඒකක 03 කින් සමන්විත වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2015 විදුලි ජනන දත්ත[2] වලට අනුව වාර්ෂිකව ටෙරා වොට් පැය 4.4 කට වැඩි වාර්ෂික විදුලි ධාරිතාවක් ලක්විජය විදුලි බලාගාරයෙන් නිපදවා ඇති අතර, ශ්‍රී ලංකාවේ 2015 වසරේ සමස්ත විදුලි ඉල්ලුම වන ටෙරා වොට් පැය 13 සමඟ සසඳන කල එය සැලකිය යුතු තරම් අගයක් වේ.

තවද, 2015 වසරේදී මෙම ටෙරා වොට් පැය 4.4 ක් පමණ නිපදවන විට ලක්විජය විදුලි බලාගාරයේ පළමු ඒකකය (Unit – 01) නඩත්තු කටයුතු සදහා මාස 02 ක පමණ කාලයක් නවතා තිබුණි. එසේ නොවුනිනම් ඒකක තුනම ක්‍රියාත්මක වන විට මෙම බලාගාරයට සමස්ත විදුලි ඉල්ලුමෙන් 50% ක (2015 වනවිට පවතින ඉල්ලුමෙන්) පමණ දායකත්වයක් ලබා දීමේ හැකියාවක් තිබේ.

මෙම බලාගාරය මගින් නිපදවන මෙගාවොට් 900 ක් වන සමස්ථ ධාරිතාව අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ රැහැන් හරහා අනුරාධපුරයෙන් හා වේයන්ගොඩින් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කෙරේ.

ඉතිහාසය

[සංස්කරණය]

පසුබිම

[සංස්කරණය]

ගල් අඟුරු විදුලි තාක්ෂණය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජය තම අවදානය යොමු වන්නේ 1980 දශකයේ මැදභාගයේ සිටය[3]. ඒ සඳහා හේතු වුයේ දිගින් දිගටම වර්ධනය වන විදුලිබල ඉල්ලුමත්, ජල මුලාශ්‍ර මගින් විදුලිය නිපදවීම උපරිමයට ලඟාවීමත් යන කරුණු වේ. ඒ අනුව 1992 දී 300 MW ධාරිතාවයකින් යුත් පළමූ ගල් අඟුරු බලාගාරය නැගෙනහිර ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ ඉදිකිරිම සඳහා යෝජනා කරන ලදී. නමුත් දිගින් දිගටම පැනනැගුනු මහජන උද්ඝෝෂණ හේතුවෙන් මෙම යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට ලංකා රජයට සිදුවිය.

ඉන් අනතුරුව දකුණු දිග ශ්‍රී ලංකාවේ මාවැල්ල ප්‍රදේශය ද ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීම සඳහා තෝරාගත් නමුත් ඒ සඳහා පැනනැගුනු මහජන උද්ඝෝෂණ හේතුවෙන් මෙම යෝජනාව ද ක්‍රියාත්මක නොකිරීමට ලංකා රජයට සිදුවිය.

ඉදිකිරීම

[සංස්කරණය]

මෙම විදුලි බලාගාරය ඉදිකිරිම පිළබද මුලින්ම සැලසුම් සැකසුනේ 2005 වසරේය. එවක රජය මෙම බලාගාරය ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකිරිමට පියවර ගත් අතර 2006 වර්ෂයේ දි අදියර 03 ක් යටතේ නිමකරන්නට සැලසුම් කෙරුණු මෙම ව්‍යාපෘතියට චීන රජයෙන් ඩොලර් මිලියන 455 ක් ලබා දිමට එකග විය. මුල් අදියරේ සියයට 06 ක පොලියක් යටතේ ඩොලර් මිලියන 155 ක්ද, සියයට 02 පොලිය යටතේ ඩොලර් මිලියන 300 ක්ද ලැබුනු අතර ලංකා ආණ්ඩුවෙන් මිලියන 5300 ක් මේ සදහා යෙදිවිය. හෙක්ටයාර් 93 ක් පමණ භුමි ප්‍රමානයක සැළසුම් කල මෙහි පදිංචි පවුල් 80 ක් මුලින්ම ඉවල් කරනු ලැබිය. 2007 වර්ෂයේ මුලින්ම මෙහි ඉදිකිරිම් ආරම්භ විය. මෙහි සම්පුර්ණ විදුලි ධාරිතාව මෙගාවොට් 900 කි. එය ශ්‍රි ලංකාවේ සමස්ථ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණ වේ. මෙහි ඉදිකිරිම් භාරව කටයුතු කර ඇත්තේ චීන ඉංජිනේරුවන් විසින්ය.

මෙහෙයුම් ක්‍රියාවලිය

[සංස්කරණය]

බත්තල් මගින් ගෙන එනු ලබන ගල් අඟුරු පටි වාහක (Conveyer) මඟින් ගල් අඟුරු අංගනය වෙත ගෙන එනු ලබයි.

මෙලෙස ලක්විජය බලාගාරය සතු ගල් අඟුරු අංගනයේ ආසන්න වශයෙන් ගල් අඟුරු ටොන් මිලියන 1.2 ක් ගබඩා කර තැබිය හැකි වේ. වාරකන් කාලයට ගල් අඟුරු ප්‍රවාහනය හා ගොඩ බෑම අපහසු කර්ය්‍යයක් නිසා මෙම බලාගාරයට ගල් අඟුරු ගෙන එනු ලබන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා වූ කාලයේ දී පමණි. ඒ හේතුවෙන් වර්ෂයක ඉතිරි මාස 06 සඳහා අවශ්‍ය ගල් අඟුරු මෙම ගල් අඟුරු අංගනයේ ගබඩා කර තබා ගනී. මෙම ගබඩා කිරිම් හා බලාගාරයට ගල් අඟුරු නිකුත් කිරීම විශේෂ උපකරණයක් (stacker/Reclaimer) භාවිතයෙන් කරනු ලැබේ. 

ගල් අඟුරු අංගනයෙ සිට පටි වාහක හරහා ගල් අඟුරු බලාගාරය වෙත ගෙන එනු ලැබේ. එම ගෙන එනු ලබන අතර මඟ දී මෙම ගල් අඟුරු 50 mm සිට 25 mm ට අඩු කැබලි වලට කඩනු ලැබේ. එසේ කරනු ලබන්නේ ගල් අඟුරු ක්‍රෂරය ( Coal breaker) නැමති යන්ත්‍රය මගිනි.

මෙසේ 25 mm කැබලි වලට බිද ගනු ලැබු ගල් අඟුරු කැබලි පටි වාහක මගින් ගෙනවිත් ගල් අඟුරු බංකර් තුල ගබඩා කරනු ලැබේ. බංකර් තුල ඇති ගල් අඟුරු එම මොහොතේ දී විදුලි නිෂ්පාදනයට යොදා ගනී. ඒ කක 3කින් සමන්විත මෙම බලාගාරයේ එක් ඒකකයක් සදහා ටොන් 350 ක් පමණ ගබඩා කල හැකි බංකර 05 ක් පිහිටා තිබේ.  

එම එක් එක් බංකරයට පහලින් ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර සවිකර තිබේ. එම ඇඹරුම් යන්ත්‍ර මඟින් සිහින් කුඩක් වන සේ අඹරා ගත් ගල් අඟුරු තාපනය කරගත් වාතය සමඟ මුසු කර බොයිලේරුව තුලට විදිනු ලැබේ. මෙලෙස ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර 05ක් ඇතිමුත් (එක් ඒකකයක් සදහා) එම ඒකකයේ උපරිම ධාරිතාව වන මේගා වොට් 300 නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය වන්නේ ඇඹරුම් යන්ත්‍ර 04 ක් පමණි. මෙසේ එක්‍ යන්ත්‍රයක් කිසියම් දෝෂයක් සිදු වුවහොත් අනෙක් අතිරේක යන්ත්‍රය භාවිතා කරනු ලැබේ. 

බොයිලරය තුලදී මෙම ගල් අඟුරු දහනය සිදුවේ. විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන මුල් අවස්ථාවේ දී ( බලාගාරය පණගන්වනු ලබන විට ) මෙම බොයිලරය තුල දහන ක්‍රියාවලිය අරම්භ කරනු ලබන්නේ ඩීසල් භාවිතයෙන් වේ. ඉන් පසු ක්‍රමක් ක්‍රමයෙන් එය ගල් අඟුරු බවට පරිවර්තනය කරනු ලැබේ. රත්වී ඇති බොයිලරය තුලට ඇතුල් වන ගල් අඟුරු වායු සමග එකතුව සැනෙන් දහනය සිදුවෙයි. එම දහන ක්‍රියාවලියෙන් සෙල්සියස් අංශක 1200 කට වැඩි උෂ්ණත්වයක් බොයිලරය තුල නිර්මාණය වන අතර එම අධික තාපයෙන් බොයිලර් බට තුල ඇති පිරිසිදු ජලය අධිතාපිත හුමාලය බවට පත්වේ. මෙලෙස පැයකට ජලය ටොන් 1025 ක් මෙලෙස අධිතාපිත හුමාලය බවට පත්වීම සිදුවේ. එම එම හුමාලය (ජල වාෂ්ප) සෙල්සියස් අංශක 541 ට රත් කරනු ලබන අතර වායුගෝල පීඩනය 170 ක් පමණ පීඩනයකින් ද යුක්ත වේ. මෙයට අධි පීඩනයෙන් යුත් අධිතාපිත හුමාලය යැයි කියනු ලැබේ.

බොයිලරය වෙතින් නිකුත් කරනු ලබන අධික පීඩනයෙන් යුත් අධිතාපිත හුමාලය තල බමනය තුලට ඇතුළු වේ. මෙම ඇතුළු වන අධිතාපිත හුමාලය වෑල්ව ( Valve ) මගින් පාලනය කරනු ලබයි. අධිපිඩන (High pressure), අතර මැදි පීඩන (Intermediate pressure) සහ අඩු පීඩන (Low pressure), වශයෙන් තලබමන 3 ක් මෙම තල බමනය තුල අඩංගු වෙයි. තල බමනය තුල ගාමක බලය ( Motive force) නිපදවන පෙති ( Blades) දහස් ගණන් තිබේ. හුමාලය මෙම පෙති හා ගැටීමෙන් තල බමනය මිනිත්තුවකට වට 3000 ක (3000 rpm) වේගයෙන් කැරකැවේ. මෙහි දී අධි පිඩන තල බමනයෙන් නිකුත් වන හුමාලය නැවත බොයිලරය තුලට යවා නැවත අධි තාපිත හුමාලය බවට පත් කර අතරමැදි පීඩන තල බමනයට යවනු ලැබේ. එම හුමාලය අනතුරුව අඩු පීඩන තල බමනයට යවයි. මෙලෙස නැවත බොයිලේරුවට යවන්නේ උපරිම කාර්යක්ෂමතාවක් ලබා ගැනීමටයි.

තලබමනය මගින් විදුලි ජනක අන්තර් සම්බන්ධතාවයකින් විදුලි ජනකය කරකැවීමෙන් විදුලිය නිපදවයි. මෙලෙස එක් ජනකයකින් මෙගා වොටි 300 ක් නිපදවයි. තවද ජනකය තුල සිසිලන ක්‍රියාවලියට හයිඩ්‍රජන් වායුව හා ජලය යොදා ගනු ලැබේ.

විදුලි ජනකය දහස් වෝල්ත 20 කින් (20 kV) විදුලිය නිපදවන අතර අධිකර පරිණාමකය මඟින් එම විදුලිය දහස් වෝල්ත ( 220 kV) 220 කට ඉහල නංවයි. එසේ කරනුයේ සම්පේෂණ රැහැන් හරහා විදුලිය සම්ප්‍රේෂණය කෙරීමේ දී සිදු වන විදුලි ප්‍රතිරෝධී හානි අවම කරලීමටයි.

මෙසේ 220 kV දක්වා ඉහල නැංවූ විදුලි බලය ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් මගින් වේයන්ගොඩින් හා අනුරාධපුරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් වෙයි.

ජාතික විදුලිබල පද්ධතිය දිවයින පුරා ඇති විදුලි උපපොළ වලට සැපයීම කරන අතර එම උපපොළ වල දී විදුලි බලය දහස් වෝල්ත 33 ( 33kv) කට අඩු කර බෙදා හරිනු ලැබේ.

විදුලි පාරිභෝගිකයා වෙත ලගා වන විට එම විදුලි බලය 400 v / 230 v දක්වා අඩු කරනු ලැබේ.

තල බමනය තුලට ඇතුළු වීමෙන් පසු ඉන් පහලට ගමන් කරන්නා වූ හුමාලය ( ජල වාෂ්ප) ඝනීභවනය කර යලි ජලය බවට පත් කර නැවත බෝයිලේරුව තුලටම යොමු කරනු ලැබේ. මෙම ඝනීභවන ක්‍රියාවලිය සිදු වන්නේ ඝනීකාරක ( condenser) කුටිය තුලදීය.

බලාගාරයෙන් අත් වී ඇති ප්‍රතිලාභ

[සංස්කරණය]

ශ්‍රී ලංකා මහා බැංකුව - වාර්ෂික වාර්තාව 2015 අනුව ලක්විජය විදුලි බලාගාරයේ ඒකක තුනම ක්‍රියාත්මක වන විට මුලු විදුලි ඉල්ලුමෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීමට ඇති හැකියාව කරණ කොට ගෙන ලංකා විදුලිබල මණ්ඩලයට අඩු මිලකට විදුලිය නිෂ්පාදනය කරගත හැකි බව පෙන්වා දී තිබේ.

තවද 2015 වර්ෂයේ ගල් අඟුරු බලාගාරයේ ඒකකයක් ජනනය කිරීම සදහා වැයවි ඇති මුදලෙහි මධ්‍ය අඟය රු: 7.33 වන බව මහා බැංකු වාර්තාව මගින් පෙන්වා දි තිබෙන අතර, එය අනෙකුත් බලාගාරවල ජනන ඒකකයක් සදහා වැය වන මුදල හා සසඳා බලන කල කැපි පෙනෙන වෙනසක් පෙන්නුම් කරනු ලැබේ. එනම් ජල විදුලි බලාගාරයක ඒකකයක් ජනනයට වැයවන මුදල රු: 1.70 වන අතර ද්‍රව ඉන්ධන බලාගාරයක ඒකකයක් ජනනයට වැයවන මුදල රු: 29.82 ක් ද සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති (NCRE) සදහා ඒකකයකට රු: 17.06 ක් ද වැය වන බව එම වර්ථාව මගින් දක්වා තිබේ. 

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර ඉතාමත් ලාභදායී හා පරිසර හිතකාමී ම විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය වේ. නමුත් අඛණ්ඩ ජල ධාරිතාවක් ලබා ගැනීමට ඇති නොහැකියාව හේතු කොට ගෙන විකල්ප මධ්‍යයක් භාවිතා කළ යුතුව තිබේ. 

ලක්විජය විදුලි බලාගාරය පිහිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු මුදලට විදුලිය ජනනය කීරිමේ හැකියාවක් ලංකා විදුලි බල මණ්ඩලය ලබා ගෙන ඇත. එම හේතුවෙන් 2014 හා සසඳන කල 2015 වන විට ජනතාවගේ විදුලි බිල අඩු කිරීමේ හැකියාවද ලංකා විදුලි බල මණ්ඩලය ලබා ගෙන ඇත. තවද පවතින කාලගුණය මත නොරැදී අඛණ්ඩ විදුලි සැපයුමක් ජාතික ජාලයට ලබාදීමේ හැකියාවද ලක්විජය විදුලි බලාගාරය සතුවේ.

ලක්විජය බලාගාරය හේතු කොට ගෙන අඩු මුදලකට විදුලි නිෂ්පාදනය මෙන්ම, 1000 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා ද තවත් දස දහස් සංඛ්‍යාත ජනතාවකගේ විදුලි අවශ්‍යතාවයන් ඉටු කිරිමද තවත් දැවැන්ත කර්මාන්ත පුරයන් විදුලියෙන් පෝෂණය කරමින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමන් මඟ ආලෝක කිරීමේ වගකීම දැවැන්ත ලෙසම ලංකා විදුලි බල මණ්ඩලයේ ලක්විජය විදුලි බලාගාරය මගින් මේ වන විට දරනු ලැබේ.

ආනයනය කරනු ලබන ගල් අඟුරු

[සංස්කරණය]

බලාගාරය සදහා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වනු ලබන්නේ රුසියාව, ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් වලින් වේ. ගල් අඟුරු මිලදී ගැනීම සහ ගෙන ඒම කරනු ලබන්නේ ලංකා ගල් අඟුරු සමාගම මගිනි.

ලක්විජය විදුලි බලාගාරය සදහා මිලදී ගැනීම් කරනු ලබන්නේ බිටුමිනස් නම් වූ ගල් අඟුරු වර්‍ග වන අතර එහි අඩංගු සංඝටක වල ප්‍රතිශතයන්ද විදුලි බල මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එහි දී ප්‍රධාන වශයෙන් අලු ප්‍රතිශතය 15% කට අඩු සල්ෆර් ප්‍රතිශතය 1% කට අඩු, කාබන් ප්‍රතිශතය 43% කට වැඩි, 50 mm වඩා කුඩා කැබලි, තෙතමනය 15% ට අඩු හා සමස්ත තාප ජනන අඟය 5800-6300 kcal/kg වන ගල් අඟුරු මිලදි ගනු ලැබේ.

ටොන් 60,000 ඉක්ම වූ ගල් අඟුරු ධාරිතාවක් එක් නෞකාවකින් ප්‍රවාහනය කරනු ලබන අතර එම නෞකා බලාගාරයේ ජැටියේ සිට 4.5 Km පමණ දුරින් නවතනු ලැබේ. එහිදි බත්තල වලට පටවා ගන්නා ගල් අඟුරු, ගල් අඟුරු ජැටිය දක්වා ගෙන එනු ලබයි. ගල් අඟුරු ජැටියෙහි සිට පටි වාහක භාවිතා කර ගල් අඟුරු ගෙන එනු ලබේ.

බේ. 

ස්ථීති විද්‍යුත් අවක්ෂේපය ( Electrostatic precipitator)

[සංස්කරණය]

ගල් අඟුරු දහනයෙන් පසු දහන ඵල රැගත් විමෝචක වායු මෙම ස්ථිති විද්‍යුත් අවක්ෂේපයට ඇන් සියයට 99.4 කට ව ගල් අඟුරු දහනවය නිසා නිපදවෙන සියුම් අළු පරිසරයට එක්වීම වැලක් වීමයි.

අවක්ෂේපයෙන් වෙන් කරන පියාසර අළු අවක්ෂේපයේ තහඩු මත තැන්පත් වන අතර සවි කර ඇති කම්පක ( vibrator) මඟින් පියාසර අළු වෙන් කොට ගෙන විශාල බින් (Bin) තුල තැන්පත් කරනු ලැබේ. මෙම එකතුකරගත් අළු සම්පීඩිත වාත නල මාර්ගයක් ඔස්සේ අළු මිල දී ගනු ලබන සිමෙන්ති නිෂ්පාදනාගාර වලට අයත් වාහන වලට දමනු ලැබේ.

විමෝචක වායු සල්ෆර් වියුක්තිය ( Flue Gas Desulpherizer)

[සංස්කරණය]

 ස්ථීති විද්‍යුත් අවක්ෂේපයෙන් පසු විමෝචක වායු ඇතුළු වන්නේ මෙම විමෝචක වායු සල්ෆර් වියුක්තිකයට වේ. එහිදි විමෝචක වායුව මුහුදු ජලය තුලින් යවනු ලැබේ. එහිදී විමෝචක වායුවේ ඇති ආම්ලික වායු 90% ක් පමණ ඉවත් කරනු ලැබේ. මෙහිදී විශේෂ අවධානය යොමු කරනු ලබන්නේ සල්ෆර් ඉවත් කිරීම සදහා වේ. මෙම විමෝචක වායුවේ අඩංගු සල්ෆර් ඩයොක්සයිඩ් (  SO2 ) මෙහිදි මෙම මුහුදු ජලයේ දිය වී සල්ෆයිට් ( SO3-) අම්ලය සෑදේ. මෙම සෑදෙන අස්ථායි සල්ෆයිට් අම්ලය සහිත ජලය ජල තටාක වල දී බුබුලන කරවා තවත් ඔක්සිජන් (O2) සමඟ මුසුවිමට ඉඩ ලබා දේ. එහි දී සල්ෆයිට් අම්ලය සල්ෆේට් (  SO-4) බවට පත්කර මුහුදට මුදා හරිනු ලැබේ.

මෙලෙස පරිසර තත්වයට අනුකූල වන පරිදි පිරිසිදු කරන ලද විමෝචක වායුව අවසානයේ දී මීටර් 150 ක් උස චිමිනිය තුලින් යැවීමෙන් පරිසරයට මුදා හරිනු ලැබේ.                   

මුහුදු ජලයේ උෂ්ණත්වය

[සංස්කරණය]

තල බමනයෙන් පසු ජල වාෂ්ප ඝනීභවනය කිරීමේ ක්‍රියාවලිය සදහා ඝනීකාරකය තුලට තත්පරයට ඝනමීටර් 16 ක පමණ ජල ප්‍රවාහනයක් ලබා ගනු ලැබේ. එම ජල ධාරාව ඝනී කාරකය තුල වූ නල 16000 ක් තුලින් වේගයෙන් ගමන් කරනු ලැබේ. මෙසේ ගමන් කිරීමෙන් අඩු පීඩන තල බමනයෙන් ඉවත් වන අඩු පීඩන හුමාලය ඝනිභවනය සිදු කරනු ලැබේ. මෙලෙස විශාල ජල ප්‍රවාහයක් ඝනීකාරකය හරහා ගමන් කරවන්නේ එමගින් මුහුදින් ලබාගත් ජලය තුලට ඇතුළු වන උෂ්ණත්වය අවම කිරීම සදහා වේ. මෙහිදී මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වන්නේ සෙල්සියස් අංශක 5 කින් පමණ වේ. එම ජලය ජල තටාක වලදි තව දුරටත් සිසිලනය කොට මුහුදට මුදා හරිනු ලැබේ.

සිදුවීම්

[සංස්කරණය]

විරෝධතාවයන්

[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුල ගල් අඟුරු බලාගාර පිහිටුවීමට දරන ලද උත්සාහයන් පිළිබදව ගත් කල එය 1988 තරම් වූ කාලයකට දිවේ. එතැන් පටන් පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිසුවිය. එපමණක් ද නොව දැවැන්ත සංවර්ධන ක්‍රියාවලින් අභිමුව බලශක්ති අර්බුදයට ශ්‍රී ලංකා රජයට විශාල වැය ශේෂයක් දැරීමට සිදු විය. සියලුම සංවර්ධන ක්‍රියාවලින් අඩපණ වීම වැලක්වීම උදෙසා වූ හොදම විසඳුම ලෙස (ප්‍රධාන වශයෙන් අඩුමිල) මෙම ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම 2006 දී ආරම්භ කරන ලදි. 

ව්‍යාපෘතිය ඇරඹූ මුල් කාලයේ, ප්‍රදේශවාසීන් විසින් ඊට එරෙහිව උද්ඝේෂණ පවත්වනු ලැබූ අතර ඔවුන් චෝදනා කලේ රජය ඔවුන් මුලාවට පත් කල බවයි.[4]

බලාගාරය ඇණ හිටීම්

[සංස්කරණය]

ලක්විජය විදුලි බලාගාරය (වෙනත් ගල් අඟුරු බලාගාර මෙන් ම) කොටස් ගණනාවකින් සමන්විත දැවැන්ත පද්ධතියක් වන බැවින් හා අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියකින් සමන්විත වන බැවින් එය එකවර නතර කර ගැනීම හෝ එකවර පණගැන්වීම හෝ කල නොහැක. එම නිසා ඒ සදහා යම් කාලයක් ගතවේ. තවද ගල් අඟුරු බලාගාර වලටම ආවේණික හේතු මත විටින් විට බලාගාරයේ සේවය ලබා ගැනීමට නොහැකි අවස්ථා උදවිය හැකිය.   

බලාගාරයෙහි පවතින ඒකක තුන පිළිවලින් නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කිරීමට සිදුවේ.

  • නඩත්තු කටයුතු සඳහා වසර 04 කට වරක් නියමිත දින ගණනක් ඒ ඒ ඒකකය මුළුමනින් ම අක්‍රිය කර තැබීම නියමිතව ඇති අනිවාර්ය අවශ්‍යතාවයකි. මෙය A මට්ටමේ අලුත් වැඩියාවක් ලෙස හදුන්වනු ලැබේ. ඒ සඳහා එක් ඒකකයක් දින 100 ක පමණ කාලයක් බැගින් අක්‍රිය කර තැබීමට අවශ්‍ය වේ.
  • තවද නියම කරනු ලැබ ඇති තවත් නඩත්තුවක් බි (B) මට්ටම ලෙස නම් කර තිබෙන අතර එම අලුත් වැඩියාව සදහා සෑම වසර 02 කටම වරක් දින 30-35 ක් එක් ඒකකයක් බැගින් අක්‍රීය කරනු ලැබේ.
  • ඉහත මට්ටමේ නඩත්තු දෙකම නොයෙදුනු වසරකදි C මට්ටමේ තවත් නඩත්තුවක් නිර්දේශ කර ඇති අතර ඒ සදහා දින 20 ක් පමණ කාලයක් අක්‍රීය කර තැබිමට සිදුවේ.

එමෙන්ම මහා පරිමානයේ විදුලි බිද වැටීමක් ජාතික විදුලි බල පද්ධතියේ සිදු වුවහොත් එවැනි විචල්‍යයක් ක්ෂණිකව දරා ගැනීමේ හැකියාවක් ගල් අඟුරු බලාගාරයක් සතුව නොපවති. එම නිසා එවැනි අවස්ථාවකදි බලාගාරය ස්වයංක්‍රීය ව අක්‍රීයවන්නේ අඛණ්ඩව ධාවනය වුවහොත් යන්ත්‍ර සූත්‍ර වලට මෙන් ම සේවකයන්ගේ ජීවිතවලට ද සිදුවිය හැකි හානිය නවතා ගැනිමටයි.

එසේ අක්‍රීය වූ බලාගාරය නැවත පණගැන්වීමට අවම වශයෙන් දින 03 ක් පමණ කාලයක් ගතවේ. මෙලෙස ගල් අඟුරු බලාගාරයක් අක්‍රීය වීම දෝශ සහගත තත්වයක් නොවන අතර එය ආරක්ෂිත උපාංගයක් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සතු වන්නේ එක් ගල් අඟුරු බලාගාරයක් පමණක් බැවින් හා එය රටෙහි විදුලි ඉල්ලුමෙන් හරි අඩක්ම සපයන බැවින් මෙය අක්‍රිය වන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ජාතික බල පද්ධතියට දැඩි බලපෑමක් සිදුවේ. 

මීට විසඳුම වන්නේ සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ බලාගාර විමධ්‍යගත කිරීමයි.

අමතර කියවීම සඳහා

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Norocholai Coal Power Plant Project" (PDF) (English බසින්). Ministry of Planning and Finance. සම්ප්‍රවේශය 23 March 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. ^ "Statistical Digest 2015" (PDF). Ceylon Electricity Board. සම්ප්‍රවේශය 18 April 2017.
  3. ^ Jayarathna K.H.E.H. (20 May 2015). "Technical and Economic Impacts of the First Coal-fired Power Station in Sri Lanka" (PDF). Master's Thesis. University of Gävle, Sweden. සම්ප්‍රවේශය 18 April 2017.
  4. ^ "Displaced families complain of shocking deception". SundayTimes.lk. 13 April 2008. සම්ප්‍රවේශය 13 October 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ලක්_විජය_බලාගාරය&oldid=455047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි