හර්බජාන් සිං

විකිපීඩියා වෙතින්
හර්බජාන් සිං
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමහර්බජාන් සිං ප්ලාහා
අපනාමයභජ්ජි
පිතිකරන විලාසයදකුණත්
පන්දුයැවීම් විලාසයදකුණත් පිට දඟ
භූමිකාවපන්දු යවන්නෙකි
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1997–වර්තමානයපන්ජාබ්
2005Surrey
2008–වර්තමානයමුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians)
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Test ODIs FC List A
තරග 98 229 161 279
රැස් කල ලකුණු 2,164 1,190 3,526 1,532
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 18.65 13.22 19.80 13.67
100ඒවා/50ඒවා 2/9 0/0 2/13 0/0
වැඩිම ලකුණු 115 49 115 49
යැවුනු පන්දු 27,651 12,059 41,508 14,551
කඩුළු 406 259 682 327
පන්දු යැවීමේ සාමාන්‍යය 32.22 33.40 28.64 31.69
ඉනිමකදී කඩුළු පහක් 25 3 39 3
තරගයකදී කඩුළු 10 ක් 5 0 7 0
හොඳම පන්දු යැවීම 8/84 5/31 8/84 5/31
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 42/– 69/– 75/– 88/–
මූලාශ්‍රය: ESPNCricinfo, 2011 26 July

හර්බජන් සිං ප්ලාහා (මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය , උපත: 1980 ජුලි මස 3 වනදා, පන්ජාබි, ජලන්දාර් හිදී) යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින විශේෂඥ පන්දු යවන්නෙකි. ලොව සිටින දඟ පන්දු යවන්නන් අතරින් දෙවනුව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ලබා සිටින ඔහු දෙවනි වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ට පමණයි.

1998 මුල් භාගයේදී හර්බජන් විසින් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් හා එක්දින වරම් හිමි කරගන්නා ලදී. ඔහුගේ ක්‍රිකට් ගමන ආරම්භයේදීම ඔහුට, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිලිබඳ නීත්‍යානුකූල භාවය පිලිබඳ ගැටළු සේම විනය ගැටළුද පැනනැගුණි. කෙසේහෝ 2001 වර්ෂයේ පැවති "බෝර්ඩර්-ගවස්කාර්" කුසලානය සඳහා, ඉන්දීය පිළේ ජ්‍යෙෂ්ඨ පා දඟ පන්දුයවන්නා වන අනිල් කුම්බ්ලේගේ ආබාධය හේතුවෙන්, හර්බජාන් සිං නැවත කණ්ඩායමට කැඳවන ලද්දේ ඉන්දීය නායක සව්රව් ගංගුලි විසිනි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති මෙම තරඟාවලිය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ හර්බජාන් හට කඩුලු 32ක් හා කණ්ඩායම තුළ ස්ථාවරත්වයක්ද ලබා දෙමිනි. එමෙන්ම ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ඉන්දීය පන්දු යවන්නා බවට හර්බජන් සිං පත්වූයේ මෙම තරඟාවලියේදීය.

වර්ෂ 2003 මැද භාගයේදී ඔහුගේ ඇඟිල්ලක ආබාධයක් නිසා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවීමත් සමග, නැවතත් තමන්ගේ ස්ථානයට පැමිණීමට කුම්බ්ලේ ට හැකිවිය. වර්ෂ 2004 අග භාගයේදී ඔහු නැවත කණ්ඩායමට ඇතුළත් වුණත්, ඉන්දීය උප මහද්වීපයෙන් පිටත පවත්වන ටෙස්ට් තරඟ සඳහා ඔහුට සහභාගි නොහැකි වූයේ, එවැනි අවස්ථාවන්වලදී සාමාන්‍යයෙන් එක දඟ පන්දු යවන්නෙකු පමණක් යොදා ගැනීම හා එම අවස්ථාව කුම්බ්ලේ හට ලැබීමත් නිසාය. 2006 හා 2007 වර්ෂවලදී හර්බජාන්ගේ කඩුලු ගැනීම අඩුවූ අතර ඒ සමග ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය වැඩිවීමත් නිසා ඔහුගේ පන්දු යැවීම දිගින් දිගටම විවේචනය වීමට පටන් ගත්තේය. 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දී ඉන්දීය කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වීමෙන් පසු, ඉන්දීය ජාතික සංචිතයේ සිටි විවිධ දඟ පන්දු යවන්නන් හර්බජාන්ගේ ස්ථානය වෙනුවට ආදේශ කරනු ලැබීය. නමුත් 2007 වර්ෂයේම අවසන් භාගයේදී හර්බජාන්ට නැවතත් ඔහුගේ ස්ථානය ලැබුණු අතර එය මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරණයක් විය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් හට ජාතිවාදී අපහාසයක් කිරීම යන ඡෝදනාව නිසා වර්ෂ 2008 මුල් කාලයේදී, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් හර්බජාන් ට ක්‍රිකට් තහනමක් ක්‍රියාත්මක කළේය. ඉන්පසු ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් එම තහනම ඉවත් කළ අතර නමුත් එම වසරේම අප්‍රේල් මාසයේදී ඔහු නැවත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක්දින-තරඟ තහනමකට ලක්වෙන්නේ, 2008 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟමාලාවේ එක් තරඟයක් අවසානයේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රීශාන්ත් හට පහර දීමක් හේතුවෙනි.

ඉන්දීයානුවෙක් සඳහා පිරිනමන සිව්වන උසස්ම ගෞරව සම්මානය වන "පද්ම ශ්‍රී" සම්මානය හර්බජාන්ට හිමිවූයේ වර්ෂ 2009 දීය.

පුද්ගලික ජීවිතය හා මුල් කාලය[සංස්කරණය]

හර්බජාන් පන්ජාබි රාම්ග්‍රාහියා සික් පවුලක උපත ලද්දේය. ඔහු බෝල බෙයාරිම් හා කපාට (Ball bearing & values) තනන කර්මාන්තශාලා හිමිකරුවකු වන සර්දාර් සාදේව් සිං ගේ එකම පුතා වේ. සහෝදරියන් පස් දෙනෙකු සිටින ඔහුට පවුලේ ව්‍යාපාර වල උරුමය තිබුණ නමුත් ඔහුගේ පියා ඔහුට තදින් බල කර සිටියේ ක්‍රිකට් ගැන සැලකිල්ලෙන් කටයුතු කර ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන ලෙසයි. හර්බජාන් ගේ පළමු පුහුණුකරු වන චරන්ජිත් සිං භූලාර් විසින් ඔහුව පිතිකරුවෙකු ලෙස පුහුණු කරන ලදී. නමුත් ඔහුගේ මුල් පුහුණුකරුගේ අකල් මරණය නිසා ඔහු දාවින්දර් අරෝරා ට භාරවීමත් සමග හර්බජාන් දඟපන්දු යැවීම සඳහා යොමු කරවීය. හර්බජාන්ගේ වර්තමාන දක්ෂතා සම්බන්ධයෙන් සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුගේ දෙවන පුහුණුකරු වන අරෝරා හටයි.

වර්ෂ 2000 දී සිදුවූ ඔහුගේ පියාගේ අභාවයෙන් පසු පවුලේ මූලිකත්වය ගත් හර්බජාන් වර්ෂ 2001 වන විට ඔහුගේ සහෝදරියන් තිදෙනෙක් සඳහා විවාහ සංවිධානය කළේය. වර්ෂ 2008 වනතුරු වත් ඔහුගේම විවාහ නොවීමට තීරණය කළ හර්බජාන්, බැංගලෝර් කාන්තාවක් සමග බැඳීමක් තිබෙන බවට කටකතාවක් පැතිර ගියේ වර්ෂ 2005 දීය. ඒ සමගම හර්බජාන් විසින් ප්‍රකාශ කලේ තවත් වසර දෙකකින් ඒ පිලිබඳ තීරණයක් ගන්නා බවය. එසේම ඔහුගේ පවුල විසින් තෝරාගන්නා ලද පන්ජාබි කාන්තාවක් ගැන හර්බජාන් බලාපොරොත්තුවෙන් සිටින බවටද වාර්තා විය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට අතිශයින් ගෞරව කරන මිනිසුන් සිටින රටක් නියෝජනය කරන හර්බජාන්ගේ දක්ෂතා, ඔහුට රාජ්‍ය ගෞරව හා මූල්‍යමය අනුග්‍රාහකත්වයන් ලබා දුන්නේය. වර්ෂ 2001 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ දක්ෂතා හේතුවෙන් ඔහුට පන්ජාබි රජය විසින්, ඉන්දීය රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක්, ඉඩමක් සහ පන්ජාබ් පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරත් (කැමතිනම් භාරගැනීම සඳහා) ප්‍රදානය කළේය.

වර්ෂ 2002 මාර්තු මාසයේදී, ගුවාහති හි පිහිටි ක්‍රිකට් කණ්ඩායම් හෝටලය ආසන්නයේ පොලීසිය සමග ගැටුමක් නිසා හර්බජාන් තුවාල ලැ‍බුයේ, ඔහු පොලිස් බලකාය තුළ රැකියාවක්ද කරමින් සිටියදීය. හෝටල් පරිශ්‍රය තුළට ඡායාරූපශිල්පීන්ගේ ඇතුල්වීම, හෝටල් කාර්ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා හර්බජාන් විසින් ඒ පිලිබඳව තදින් විරෝධය පෑම ගැටුමක් දක්වා වර්ධනය විය.

"තලප්පා බැඳි පුද්ගලයා"(Turbanator) යනු ඉන්දියාවෙන් පිටතදී හර්බජාන් සඳහා බහුලව භාවිතා වු අන්වර්ථ නාමයකි. ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතාවය නිසා විරුද්ධ කණ්ඩායමට සිදුවන අපහසුතාව නිසා සහ ඔහු ක්‍රීඩාපිටියේදී තලප්පාවක් පලඳින නිසා (ඔහු සික් ජාතිකයෙකු වීම ඊට හේතුවයි.) ඔහුට මේ අන්වර්ථ නාමය භාවිතා වීමට හේතුවයි. ඉන්දියානුවන් අතරේ හර්බජාන් බහුලව හැඳින්වෙන්නේ "භජ්ජි" යන අන්වර්ථ නාමයෙනි. වර්ෂ 2005 දී කරන ලද අනුමාන කිරීම්වලට අනුව සචින් තෙන්ඩුල්කාර් ගෙන් පසු ඉන්දියානු ක්‍රිකට් තුළ බිහිවූ ප්‍රසිද්ධම සහ වාණිජමය වශයෙන් වැඩිම වටිනාකමක් හිමි ක්‍රීඩකයා මොහු වේ. වර්ෂ 2005 දී සිදුවූ සූරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම, හර්බජාන්ට යම් තරමක වෙළඳ වටිනාකමක් ආරෝපණය වීමට හේතු විය.

වර්ෂ 2006 දී හර්බජාන්, ඔහු සෑම විටකම පළඳින තලප්පාව නොමැතිව, රෝයල් ස්ටැග් විස්කි සඳහා වෙළඳ දැන්වීමකට පෙනී සිටියේය. මෙයින් කෝපයට පත් බොහෝ සධාර්මික සික් ජනතාව, ඔවුන්ගේ පූජනීය නගරය වන අම්රිට්සාර් හි රැස්ව, හර්බජාන්ගේ රුව ගත් පඹයන් පුළුස්සමින් හර්බජාන් විරෝධී උද්ඝෝෂණ පැවැත්වූහ. ඉන්පසු සික් පූජකයන් විසින්, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව අයදින ලෙස හර්බජාන්ගෙන් ඉල්ලා සිටියේය. හර්බජාන් විසින් වහාම සමාව අයැද සිටි නමුත් ඔහු සමග සුහදව සාකච්ඡා කර මෙම වරද සාකච්ඡා කරනවා වෙනුවට විරෝධතාවයක් පැවැත්වීම ගැන අප්‍රසාදය පළ කළේය.

ක්‍රිකට් දිවියේ මුල් කාලය[සංස්කරණය]

1995 - 96 වසරේදී වයස 16න් පහළ පන්ජාබ් කණ්ඩායමට තේරී පත්වුණු හර්බජාන්, හර්යාන කණ්ඩායම සමග ඔහු ක්‍රීඩා කළ පළමු තරඟයේ දී ම ලකුණු 46 කට කඩුලු 7ක් හා ලකුණු 138 ට කඩුලු 5ක් දවාගනිමින් දක්ෂතා දැක්වූයේ ඔහුගේ පිලට කඩුලු 9ක ජයග්‍රහණයක් ද ලබා දෙමින්. දිල්ලි කණ්ඩායමට එරෙහිව පැවති ඔහුගේ දෙවනි තරඟයේදී ලකුණු 56 ක් රැස් කළ හර්බජාන් මීළඟ තරඟයේදී හිමාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව ලකුණු 79 ට කඩුලු 11 ක් ලබා ගත්තේ කණ්ඩායමට ඉනිමක තරඟ ජයග්‍රහණයක් හිමි කර දෙමිනි. එම තරඟාවලියේ තරඟ 4ක් ක්‍රීඩා කරමින් ඔහු කඩුලු 32ක් (සාමාන්‍ය 15.15) හා ලකුණු 96ක් (සාමාන්‍ය 48.00) ලබා ගත්තේය. එම දක්ෂතා නිසා හර්බජාන් හට උතුරු ඉන්දියාව නියෝජනය කරමින් එක්දින තරඟාවලියකට සහභාගි වීමට අවස්ථාව ලැබුණු අතර තරඟ 4කින් සමන්විත එම තරඟාවලියේදී කඩුලු දෙකක් හා ලකුණු 18ක් ලැබීමට ඔහු සමත් විය. එම කාල වකවානුව අවසානයේදී පැවති දකුණු අප්‍රිකා සමග පැවති එක්දින තරඟයක් සඳහා සහභාගි වූ වයස 19න් පහල ඉන්දීය ජාතික කණ්ඩායම සඳහා හර්බජාන් සිං කැඳවන ලද්දේ, ඔහුට වයස අවුරුදු 15ක් හා මාස 9ක් ව තිබියදීය. එම තරඟයේ දී හර්බජාන් විසින් පන්දු වාර 7ක් තුළදී ලකුණු 19ට එක් කඩුල්ලක් දවා ගත්තේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයද සමගිනි.

1996-97 කාලයේදී පන්ජාබ් වයස 19න් පහල කණ්ඩායමට ඇතුළු වූ හර්බජාන්, තරඟ තුනකදී කඩුලු 15ක් ලබා ගත්තේ 20.20 ක සාමාන්‍යයක් හා ජම්මු කාශ්මීර් කණ්ඩායමට එරෙහිව ලකුණු 54 ට කඩුලු 8ක් දවාගනිමින් ඉදිරිපත් කළ විශිෂ්ඨ පන්දු යැවීමක්ද සමගය.

1997-98 රන්ජි කුසලානයේ සේවා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති තරඟය සඳහා හර්බජාන්ව කැඳවන ලද අතර ඒ ඔහු පළමුවෙන්ම සහභාගි වන පළමු පෙළ ක්‍රිකට් තරඟයයි. එහිදී ඔහු ලකුණු 35 ට කඩුලු 3ක් දවා ගත්තද, ඊළඟ සතියේ සිට නැවත ඔහුට ක්‍රීඩා කිරීමට සිදුවූයේ 19න් පහළ කණ්ඩායමේ මය. එම කණ්ඩායමේ සිට ක්‍රීඩා කළ තවත් තරඟ දෙකකදී 5/75ක් හා 7/44 ලෙස දක්ෂතා දැක්වීම නිසා ඔහුට නැවතත් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. එහි දී ඔහු ක්‍රීඩා කළ තරඟ දෙකක් තුළදී ලකුණු 123 කට කඩුලු 7ක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතාවය නිසා දුලීප් කුසලාන තරඟාවලිය සඳහා ඔහුට උතුරු ඉන්දීය පිළ නියෝජනය කිරීමේ වරම් හිමි විය.

1998 ජනවාරි මාසයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා ඉදිරිපත් වූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ හර්බජාන් සිං ට එහි දී ක්‍රීඩා කළ තරඟ හය තුලදීම ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් පමණි. එම තරඟ මාලාවේදී ඔහුගේ විශිෂ්ඨතම පන්දු යැවීම වන 3/5 වාර්තා වූයේ කෙන්යා කණ්ඩායමට එරෙහිවයි.

ආපසු ඉන්දියාවට පැමිණීමෙන් පසු ඔහු රන්ජි කුසලාන තරඟාවලියේ තරඟ 3ක් ඇතුළුව තරඟ 6කට ක්‍රීඩා කර කඩුලු 18ක් ලබා ගත්තද ඔහුට වැඩිම කඩුලු ලාභීන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මුල් 20 දෙනා අතරට පැමිණීමට නොහැකි විය. එහි දී නැගෙනහිර කලාප කණ්ඩායම සමග තිබුණ තරඟය සිය පිළ කඩුලු 5කින් පරාජය වුවද එම තරඟයේදී 5/131 ක දක්ෂතාවයක් දැක්වීමට හර්බජාන් සමත් විය.

ස්වදේශීය ක්‍රිකට් තරඟ පිටියේ අනර්ඝ දක්ෂතා දැක්වූවන් සිටියදීත්, ඉදිරියට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් වූ ඉන්දීය ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ පිළ වෙනුවෙන් හර්බජාන් තෝරා ගන්නා ලදී. එම තරඟයේ දී 1/127ක් ලෙස දැක්වූ අඩු දක්ෂතාවය නිසා ඔහුට පළමු හා දෙවන ටෙස්ට් තරඟ දෙකම අහිමි විය. තෙවන ටෙස්ට් තරඟය සඳහා සහභාගි වීමේ වරම් ලද හර්බජාන්, ඕස්ට්‍රේලියාවට එරෙහිව බැංගලෝරයේදී ටෙස්ට් ක්‍රිකට් සඳහා අත්පොත් තබන ලදී. එම තරඟයේදී පිතිකරුවෙක් ලෙස ලකුණු 4ක් හා 0ක් හා පන්දු යවන්නෙක් ලෙස 2/136 ක්, හර්බජාන් සතු වූ අතර එම තරඟය ඉන්දීය පිළ පරාජය විය. හර්බජාන් සිං එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නා ලද්දේ නවසීලන්තයට එරෙහිව සාජා හිදීය. එම තරඟයේ දී පන්දු වාර 10 තුළදී 1/32 ක් ලබා ගැනීමට ඔහු සමත් වූ අතර එම තරඟය ජය ගැනීමට ඉන්දියාව සමත් විය. දෙවනුව ඔහු සහභාගි වූ තරඟයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව 3/41 ක් ලබා ගත්තද එම තරඟය ඉන්දියාව පරාජය විය.

හර්බජාන් සහභාගි වූ පළමු එක්දින තරඟාවලියේදීම, තරඟ තීරක විසින් ඔහුට එක් තරඟයක් සඳහා තරඟ තහනමක් හා දඩයක් නියම කරන ලදී. එසේ නියම කිරීමට හේතුව වුයේ, එම එක් තරඟයකදී රිකී පොන්ටිං දවා ගැනීමෙන් පසුව ඔහුත් සමග ඇතිවූ කෝලහාලය, විනය නීති මාලාව උල්ලංඝණය කිරීමක් වීමයි.

ඉන්පසු පැවති ඉන්දියා-කෙන්යා-බංගලාදේශ තුන්කෝන් ක්‍රිකට් තරඟාවලිය සඳහා හර්බජාන්ට අහිමි විය. නමුත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ පැවති ශ්‍රී ලංකා-ඉන්දියා-නවසීලන්ත සිංගර් කුසලාන තුන්කෝන් ක්‍රිකට් තරඟාවලිය සඳහා හර්බජාන් සහභාගි වූ අතර එහි තරඟ 5ක් තුළදී කඩුලු 8ක් ලැබීමට ඔහු සමත් විය. ඉන් අනතුරුව ටොරොන්ටෝ හිදී පකිස්ථානයට එරෙහිව පැවති සහරා කුසලාන තරඟාවලි‍යට ‍‍නොතේරුණු හර්බජාන්, 1998 දී මැලේසියාවේ ක්වාලාලුම්පූර් හි පැවති පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වුණද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒවා එක්දින ජාත්‍යන්තර තරඟ ලෙස නොසලකන ලදී. එහි දී ඇන්ටිගුවා හා කැනඩා කණ්ඩායම් අතර තරඟ දෙක තුලදීම පන්දු වාර 11ක් යැවූ හර්බජාන් ට ලබා ගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. තුන්වනුව පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟයේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ හර්බජාන් පන්දු වාර 8කදී ලකුණු 50ක් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දුන් අතර ඉන්දීය කණ්ඩායම එම තරඟය ලකුණු 146 කින් පරාජය වූයේ තරඟාවලියෙන්ම ඉවත්වෙමිනි.

ඉන්පසු පැවති සිම්බාබ්වේ සංචාරය සඳහා හර්බජාන් සහභාගි වූ අතර එහි දී පැවැත්වූ තරඟ තුනේදී කඩුලු 5ක් ලැබීමට ඔහු සමත් විය. ඒත් සමග ඔහු, 1998 වසර තුළ එක් දින ජාත්‍යන්තර කඩුලු 18ක් ලබා ගෙන තිබුනේ 27.20 ක සාමාන්‍යයක් ද සහිතවය.

නැවත ඉන්දියාවට පැමිණි පසු 1998-99 කාල පරාසයේ හර්බජාන් ස්වදේශීය තරඟ සඳහා සහභාගි විය. එහි දී සේවා පිළට එරෙහිව 3/54 ක් හා 5/39 ක් ලෙසත්, ‍දිල්ලි පිළට එරෙහිව 6/69 ක් (එක් ඉනිමකදී පළමු වරට කඩුලු 5ක් ලැබූ පළමු අවස්ථාව මෙය විය) හා 1/93 ක් ලෙසත් දස්කම් දැක්වීමට ඔහුට හැකි විය. ඉන්පසු බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කල ඉන්දීය ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ පිල නියෝජනය කළ හර්බජාන්, එහිදී 6/63 ක් පන්දුවෙන් ද ලකුණු 31 ක් පිත්තෙන් ද ලබා ගැනීමට සමත් ව දෙසැම්බරයේ පැවති නවසීලන්ත සංචාරයට සහභාගි විය. එම සංචාරෙය් දී නවසීලන්ත මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායම සමග පැවති තරඟයේ දී අපහසුතාවයකට ලක්වූ හර්බජාන්ට හිමිවූයේ ලකුණු 112 කට කඩුලු 2ක් පමණි. එම සංචාරයේ පළමු ටෙස්ට් තරඟයට පමණක් ක්‍රීඩාකළ ඔහුට එක් කඩුල්ලක් හෝ ලබා ගැනීමට අපොහොසත් විය. ආපස් ඉන්දියාවට පැමිණි පසු, හර්බජාන් ඉන්දියා ඒ පිළ නියෝජනය කරමින් පකිස්ථානය සමග පුහුණු තරඟයකට සහභාගි වූ අතර, එම ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේ සිට, හර්බජාන් ට සහභාගි වීමට අවස්ථාව ලැබුණි. කෙසෙ හෝ එක 1998-99 කාල සීමාව අවසානයේ ඔහු ලබා සිටි කඩුලු ගණන 13කි. ඒ 36.8 ක සාමාන්‍යයක් සමගය. ඒම කාලයේ එක් දින ජාත්‍යන්තර තරඟ නොමැති විට, ඔහු රන්ජි කුසලානය තරඟාවලියට සහභාගි වී කඩුලු 27ක් ලබා ගැනීමට සමත් වූයේ පළමු පෙළ තරඟයකදී ඔහු වාර්තා කළ පළමු කඩුලු 5 දවාගැනීමේ අවස්ථාවද සමගිනි. එසේම තමිල්නාඩු කණ්ඩායමට එරෙහිව තම ප්‍රථම පළමු පෙළ අර්ධ ශතකය ලබා ගැනීමට හර්බජන් සමත් වූයේ ද මේ කාලය තුළදීය.

1999 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායමට හර්බජාන් සිං ඇතුළත් නොවුනේය. 2003 සැප්තැම්බර් මාසයේදී ඉන්දීය ඒ කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සහභාගි වූ තරඟ 5 කින් කඩුලු 8ක් ලබා ගත්තේ 17.00 ක් සාමාන්‍යයක් හා 3/38 හොඳම පන්දු යැවීම ලෙසද සටහන් කරමිනි.

ඇන්ඩෲ සයිමන්ඩ්ස් හා ශ්‍රීශාන්ත් සමග දබර[සංස්කරණය]

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී, ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවනි ටෙස්ට් තරඟයේ තෙවන දිනයේ 63 වන පන්දු වාරයේ දී, ඇන්ඩෲ සයිමන්ඩ්ස් හට ජාතිවාදී අපහාසයක් කළ බවට ගැටළුකාරී තත්වයක් ඇති විය. මෙම අවස්ථාවේ පිතිකරණයේ යෙදී සිටියේ හර්බජාන් සිං සමග සචින් ටෙන්ඩුල්කාර් ය. එම ටෙස්ට් තරඟය සමාලෝචනයෙන් පසු, තරඟතීරක මයික් ප්‍රොක්ටර් විසින් හර්බජාන් වැරදි කරු බව නිගමනය කර ඔහුට ටෙස්ට් තරඟ තුනක තහනමක් පැනෙව්වේය. ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය විද්‍යුත් සාක්ෂියක් නොමැතිව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ සාක්ෂි පමණක් සලකා බලා ලබා දුන් ‍මෙම තීරණය බොහෝ ආන්දෝලනයට තුඩු දුන් කාරණයක් විය. හර්බජාන්ගේ තරඟ තහනමට විරුද්ධව අභායාචනා විමසීම අවසන් නොවුන නිසා ඉන්දීය කණ්ඩායම තරඟාවලිය අවලංගු කරන බවට අනතුරු ඇඟවූවද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂරාඩ් පාවර් විසින් ප්‍රකාශයට පත්කලේ තරඟාවලිය සඳහා සහභාගි වන බවයි.

හර්බජාන් (වම්පස) සහ ටෙන්ඩුල්කාර් එක්ව මෙම සම්බන්ධය ගොඩනැගූ ඉනිමේදී සයිමන්ස් අතර දබරය ඇති විය.

ඉන් පසු 29 වන දා පැවති හතර වන ‍ටෙස්ට් තරඟය අතර තුරදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිශ්චය කාර, ජෝන් හැන්සන් විසින් එම අභියාචනය විභාග කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරඟ තීරක විසින් පනවන ලද තරඟ තහනම අවලංගු කර තරඟ මුදලින් 50% ක දඩයක් නියම කළේ අවවාදයන් ද සමගිනි. පසුව වාර්තාවන අන්දමට, එම දඩ මුදල අඩු කරන ලෙස හැන්සන් හට,කණ්ඩායම් දෙකේම නායකයන්ගේ අත්සන් සහ මයිකල් ක්ලාක්, හේඩ්න් සහ සයිමන්ඩ්ස් යන ක්‍රීඩකයන්ගේ අත්සන් සහිතව ලිපියක් යවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවකදී, හේඩ්න් විසින් හර්බජාන්ට "අමනෝඥ පුද්ගලයෙක්" ලෙස ඇමතීම හේතුවෙන් හර්බජාන් වෙත ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට මුදලක් ගෙවීමට ද සිදුවිය.

මෙම සිද්ධියෙන් පසු හර්බජාන්, ශ්‍රී ලංකාව ද සහභාගි වූ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු විසින් සංවිධානය කල තරඟාවලිය (Commonwealth Bank Series) සහභාගි වූ අතර එහිදී ඔහු කඩුලු 5ක් දවා ගත්තේ පන්දු යැවීමේ සාමාන්‍ය 39.00 ලෙස රඳවා ගනිමිනි. ඉන්දියාව සමග තිබූ අවසන් තරඟ දෙකේදීම ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මුල් කඩුලු 3, ලකුණු 24 ක් හා 32ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ ඕ‍ස්ට්‍රේලියාව බොහෝ අසීරු තත්වයකට ඇද දමමිනි. මෙම තරඟ දෙකේදී ම හර්බජන්, ඔහුගේ විරුද්ධවාදී ක්‍රීඩකයන් දෙපල වන හේඩ්න් හා සයිමන්ඩ්ස් දවාලීම සඳහා දායකත්වය ලබා දුන්නේය. සිඩ්නි හි පැවති මුල් අවසන් තරඟයේ දී පන්දු වාර 4ක් ඇතුළත මෙම ක්‍රීඩකයන් දෙදෙනා දවා ලූ අතර බ්‍රිස්බේන් හි පැවති දෙවන අවසන් තරඟයේ දී සයිමන්ඩ්ස් ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත් හර්බජන්, හේඩ්න් දුවද්දී දැවී යාමකට හසු කරගත්තේය. ඕස්ට්‍රේලියාව මෙම තරඟාවලිය පරාජය වූයේ 2-0 ක් ලෙස ඉන්දියාවට ජය ගෙන දෙමිනි. එම තරඟ දෙකේදී පන්දු වාර 10 බැගින් යවා 2/38 ක් හා 1/44 ක් ලෙස දක්ෂතා දැක්වීමට හර්බජාන් සමත් විය.

ඕස්ට්‍රේලියානු සංචාරයට පසු ටෙස්ට් තරඟ තුනක් සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක යෙදුනි. චෙන්නායි හි පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර එහි වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වූ හර්බජාන් ඉනිම් දෙක තුලදී 5/161 ක් හා 3/101ක් ලෙස දක්ෂතා දැක්වීය. අහමදාබාද් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ දීද වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වූ හර්බජාන්, එහි දී 3/52 ක් හා 4/44 ක් ලෙස ඉනිම් දෙකේදී කඩුලු 7ක් දවා ගත්තේය. මෙම තරඟයේ දෙවනි ඉනිමේ දී හර්බජාන් ඉදිරිපත් කල දක්ෂතාවය නිසා විරුද්ධ පිල ලකුණු 121 කට සීමා වු අතර ඉන්දියාව ට කඩුලු 8ක ජයග්‍රහණයක් ද හිමි විය. ඔහුගේ එම දක්ෂතාවන් නිසා එම තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ ද හර්බජාන් ය.

හර්බජන්ගේ පහර කෑ ශ්‍රීශාන්ත් (ඡායාරූපයේ).

2008 අප්‍රේල් මාසයේ පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාලව, මුම්බායි ඉන්දියන්ස් සහ කින්ග්ස් XI පන්ජාබ් කණ්ඩායම් අතර තරඟයෙන් පසු හර්බජාන් හා ශ්‍රීශාන්ත් අතර මෙම දබරය ඇති විය. එම තරඟය අවසානයේ ජය ගත් පන්ජාබ් පිළ හා මුම්බායි පිල අතට අත දී තම සුහදතාව පල කරන අවස්ථාවේ, හර්බජන් විසින් ශ්‍රීශාන්ත්ගේ කම්මුලට පහරක් ගැසුවේය. ශ්‍රීශාන්ත් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මුම්බායි කණ්ඩායමට පිළිගැනීමට සිදුවූ තරඟ පරාජය ඉවසාගත නොහැකි වූ මුම්බායි නායක හර්බජාන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මේ අයුරිනි. මේ සිද්ධියට වරදකරු වූ හර්බජාන්ට එම තරඟාවලියේ ඉතිරි තරඟ සියල්ල තහනම් විය. ‍එමෙන්ම එම වරදට දඬුවම ලෙස එක්දින ජාත්‍යන්තර තරඟ පහක තරඟ තහනමක් පනවන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස හර්බජාන් ට 2008 ආසියානු කුසලාන තරඟ මාලාව අහිමි විය.

ක්‍රීඩා විලාසය[සංස්කරණය]

හර්බජාන් යනු, ඔහුගේ පන්දු යැවීමේ වේගය හා පන්දුව පතිත කිරීමේ දුර පරාසය වෙනස් කරමින් පන්දු යැවිය හැකි සටන්කාමී පන්දු යවන්නෙක් වුවද, පන්දු යැවීමේ දී ඔහු අනුගමනය කරන පැතලි ගමන් පථය දැඩි ලෙස විවේචනයට ලක්විය. කඩුලු ලබාගැනීම සඳහා ඔහු ප්‍රධාන වශයෙන් යොදාගන්නා පන්දු වර්ගය, පිතිකරු විසින් අවසාන මොහොතේදී කුමන හෝ පහරක් එල්ල කළ යුතු අසීරු පන්දුවකි. ඒ මගින් බොහෝ පිතිකරුවන් ඔහුට ගොදුරු වේ. අත පැත්තෙන් කරකවා පන්දු යවන ඉරියව්වක් හර්බජාන් සතුව ඇති නිසා 1998 නොවැම්බර් මාසයේදී, ඔහුට පන්දුව දමා ගැසීමේ චෝදනාවද එල්ල විය.

වර්ෂ 2004 දෙසැම්බර් මාසයේදී බංගලාදේශය සමග චිතගොන්හි දී පැවති දෙවන ටෙස්ට් තරඟයේ දී ඔහු විසින් දූස්රා පන්දුව යැවීමේ හැකියාව වර්ධනය කර ගත් බව පසුව කතා බහට ලක්විය. කෙසේ හෝ 2005 මැයි මාසයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශ කරන ලද්දේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි ඉරියව්වක් බවයි.

අනිල් කුම්බ්ලේ (ඡායාරූපයේ සිටින) : හර්බජාන් ගේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා සහ දඟ පන්දු සගයා.

ලොව සියලු දඟ පන්දු යවන්නන් අතරින් වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ, හර්බජාන් සං දෙවනි වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ට පමණි. සියලු ඉන්දියානුවන් අතරින් වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත් අය අතරින් තුන්වන ස්ථානය හිමිවන්නේ ද ඔහුටයි. ඉන්දියාව තුළ පැවති ටෙස්ට් තරඟ වලදී ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 20 කට ආසන්න අගයක පවතී. ඔහු විසින්‍ ලබා ඇති තරඟයේ වීර‍යා සම්මාන පහත්, තරඟාවලියේ වීරයා සම්මාන දෙකත් ලබාගෙන ඇත්තේද ඉන්දියාව තුළ පැවති තරඟවලදීය. ඉන්දියාවෙන් පිටතදී පවත්වන ලද තරඟවලදී ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 40 කට ආසන්න වේ. ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වලට එරෙහිව ඔහු වැඩි දක්ෂතාවයක් දක්වා ඇති බව ඔහුගේ සංඛ්‍යාන දත්ත වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වේ. 2008 මැයි මස වන විට ඔහු හොඳම දක්ෂතා දක්වා තිබුණේ කොල්කතා හි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදීය. මුරලිදරන් හා සසඳා බලන විට, හර්බජාන් විසින් පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් හෝ කඩුල්ල මුවා කිරීමේ වරදකින් කඩුලු ලබා ගත් වාර ගණන, ලබාගෙන ඇති මුළු කඩුලු ගණනට සාපේක්ෂව 25%ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකි. කුම්බ්ලේගේ පා දඟ පන්දුවේ අඩුව සපුරාලීමට හර්බජන්ගේ පිට දඟ පන්දුවට හැකි විය. මෙම පන්දු යවන්න් දෙදෙනාම ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවූවද, කුම්බ්ලේ සහ හර්බජාන් දෙදෙනාම සහභාගි වන තරඟ වලදී කුම්බ්ලේ වැඩි දක්ෂතා පෙන්වා ඇති බව සංඛ්‍යාලේඛණ අනුව පෙනී යයි. කුම්බ්ලේ කණ්ඩායමේ නොමැති විට හර්බජාන් ගේ දක්ෂතාවයන් මනාව කැපී පෙණුනි.

රිකී පොන්ටිං (ඡායාරූපයේ සිටින), ටෙස්ට් ක්‍රිකට් වලදී දස වතාවත් හර්බජාන් ට තම කඩුල්ල ලබා දුන්නේය.

රිකී පොන්ටින් ට එරෙහිව හර්බජාන් ඉතා අනර්ඝ ලෙස පන්දු යැවීමට සමත්කම් දක්වා ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අවස්ථාවන් දහයක දී රිකී පොන්ටින්ගේ කඩුල්ල දවා ගැනීමට හර්බජාන් සමත්ව ඇත.

2001 වසරේ දී හර්බජාන් සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක දී, තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වීම ඔහුගේ බලාපොරොත්තුව බව ඔහු පවසා ඇත. ටෙස්ට් ක්‍රිකට් වලදී ඔහු විසින් අර්ධ ශතක කිහිපයක් වාර්තා කර ඇති අතර එම තරඟ අංශ දෙකෙන්ම ලකුණු 15 කට වැඩි සාමාන්‍යයක් රඳවා ගැනීමට ඔහු සමත් ව ඇත. කෙසේ හෝ 2003 න් ආරම්භ වූ වසර 4 ඇතුලත ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 20 කට ආසන්න වීමෙන්, ඔහු ඔහුගේ පිතිකරණ දක්ෂතාවය ද ප්‍රදර්ශනය කර ඇත. ඔහු අන්ඕතොඩොක්ස් (Unorthodox) ආකාරයට පන්දු ය‍වන ක්‍රීඩකයෙක් සේම පිතිකරණ කුසලතාවය සඳහා පාද චලනය කිරීම් හා තාක්ෂණයට වඩා ඔහුට වැදගත් වන්නේ ඔහුගේ අත් හා ඇස් අතර ඇති සුසංයෝගයයි. ලොව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකළ ක්‍රීඩකයන් අතරින් වැඩිම ලකුණු ලබා ගැනීම දළ වේගයක් සහිත ක්‍රීඩකයන් දස දෙනාට ද ඇතුළත් වන හර්බජාන්, ඉන්දීය කණ්ඩායමට ඉතා ප්‍රයෝජනවත් පසු පෙළ පිතිකරුවෙකි. වරක් ඩෙකෑන් චාර්ජර්ස් පිළට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් පිළ නියෝජනය කරමින් පන්දු 18ක් තුළ ලකුණු 49 ක් වාර්තා කිරීම, එම තරගයේ ජයග්‍රහණයට බලපා මූලික කරුණක් විය. එමෙන්ම 2011 වසරේ පැවති එක් ටෙස්ට් තරඟයකදී හර්බජාන් විසින් පන්දු 72ක් තුළදී වේගවත් ව රැස් කළ ලකුණු 70, එම තරඟයෙහිදී ඉන්දීය පිතිකරණය ස්ථාවර කිරීමට මහත් සේ දායක විය.

සම්මාන[සංස්කරණය]

ටෙස්ට් ක්‍රිකට්[සංස්කරණය]

තරඟාවලියේ වීරයා සම්මාන[සංස්කරණය]

# තරඟාවලිය කාල වකවානුව දැක්වූ දක්ෂතා
1 ඕස්ට්‍රේලියානුවන්ගේ ඉන්දීය සංචාරය 2000–01 ලකුණු 34 (තරඟ 3 , ඉනිම 6 ); 178.3–44–545–32 (2×කඩුලු 10; 4×කඩුලු 5)
2 බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉන්දීය සංචාරය 2002–03 ලකුණු 69 (තරඟ 3 , ඉනිම 4 ); 166–54–335–20 (2×කඩුලු 5); උඩපන්දු 5
3 දකුණු අප්‍රිකානුවන්ගේ ඉන්දීය සංචාරය 2007–08 ලකුණු 11 (තරඟ 3 , ඉනිම 4 ); 172.5–26–496–19 (1×කඩුලු 5); උඩපන්දු 1

තරඟයේ වීරයා සම්මාන[සංස්කරණය]

# විරුද්ධවාදියා ස්ථානය කාල වකවානුව දැක්වූ දක්ෂතා
1 ඕස්ට්‍රේලියාව MA චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නායි 2000–01 පළමු ඉනිම: ලකුණු 2; 38.2–6–133–7
දෙවන ඉනිම: ලකුණු 3*; 41.5–20–84–8
2 සිම්බාබ්වේ ෆෙරෝස්ෂා කොල්ටා ක්‍රීඩාංගණය, නවදිල්ලිය 2001–02 පළමු ඉනිම: ලකුණු 9 (2×4); 27.5–5–70–2
දෙවන ඉනිම: ලකුණු 14 (2×4, 1×6); 31–5–62–6; උඩ පන්දු 2
3 බටහිර ඉන්දීය කොදෙව් දූපත් MA චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නායි 2002–03 පළමු ඉනිම: ලකුණු 37 (5×4, 1×6); 29–13–56–3
දෙවන ඉනිම 30–6–79–4; උඩපන්දු 1
4 දකුණු අප්‍රිකාව ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණය, කොල්කතා 2004–05 පළමු ඉනිම: ලකුණු 14 (2×4); 21.3–6–54–2; උඩ පන්දු 1
දෙවන ඉනිම: 30–3–87–7; උඩ පන්දු 1
5 ශ්‍රී ලංකාව සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය, අහමදාබාද් 2005–06 පළමු ඉනිම: ලකුණු 8* (1×4); 22.2–3–62–7; උඩ පන්දු 1
දෙවන ඉනිම: ලකුණු 40 (4×6; 1×6); 31–7–79–3
6 නවසීලන්තය සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය, අහමදාබාද් 2010–11 පළමු ඉනිම: ලකුණු 69 (5×4 3×6 ); 43–7–112–1;
දෙවන ඉනිම: ලකුණු 115 (11×4; 3×6);

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ[සංස්කරණය]

තරඟයේ වීරයා සම්මාන[සංස්කරණය]

විරුද්ධවාදියා ස්ථානය කාල වකවානුව තරඟ වර්ගය දැක්වූ දක්ෂතා
1 දකුණු අප්‍රිකාව සුපර් පොර්ට් පාක්, ප්‍රිටෝරියා 2001–02 ලකුණු 15 (පන්දු 14, 2×4); 10–0–27–3
2 එංගලන්තය ෆෙරෝස්ෂා කොල්ටා ක්‍රීඩාංගණය, නවදිල්ලිය 2005–06 ලකුණු 37 (පන්දු 46, 3×4, 1×6); 10–2–31–5
3 බටහිර ඉන්දීය කොදෙව් කින්රර, ක්වාලාලුම්පූර් 2006–07 ලකුණු 37 (පන්දු 60, 1×4, 2×6); 8–0–35–3; උඩ පන්දු 1

අවසන් තරඟ හතෙහි දැක්වූ දක්ෂතා[සංස්කරණය]

# විරුද්ධවාදියා ස්ථානය පැවැත්වූ දිනය වර්ගය දක්ෂතාවය
1 එංගලන්තය ලෝඩ්ස් ක්‍රීඩාංගණය, ලන්ඩන් 2011 ජුලි මස 21 ටෙස්ට් පළමු ඉනිම: ලකුණු නැත; 35–3–152–0
දෙවන ඉනිම: ලකුණු 12; 21–1–66–1
2 බටහිර ඉන්දීය කොදෙව් බ්‍රිජ්ටවුන්, බාර්බඩෝස් 2011 ජුනි සහ 28 ටෙස්ට් පළමු ඉනිම: ලකුණු 5; 14–3–31–1
දෙවන ඉනිම: ලකුණු 6*; 19–2–42–1
3 බටහිර ඉන්දීය කොදෙව් කිංග්ස්ටන්, ජැමෙයිකා 2011 ජුනි මස 20 ටෙස්ට් පළමු ඉනිම: ලකුණු 70; 19–5–51–2
දෙවන ඉනිම: ලකුණු 5; 16–3–54–1
4 බටහිර ඉන්දීය කොදෙව් නෝර්ත්සවුන්ඩ්, ඇන්ටිගැවා 2011 ජුනි මස 11 එක්දින ජාත්‍යන්තර ලකුණු 41 (පන්දු 64, 1x4, 1x6); 10–2–24–1
5 බටහිර ඉන්දීය කොදෙව් ක්වීන්ස් පාර්ක් ඕවල්, ට්‍රිනිඩෑඩ් 2011 ජුනි මස 8 එක්දින ජාත්‍යන්තර 10–1–51–0; උඩ පන්දු 1
6 බටහිර ඉන්දීය කොදෙව් ක්වීන්ස් පාර්ක් ඕවල්, ට්‍රිනිඩෑඩ් 2011 ජුනි මස 6 එක්දින ජාත්‍යන්තර ලකුණු 6* (පන්දු 4, 1x6); 10–0–32–3; උඩපන්දු 1
7 බටහිර ඉන්දීය කොදෙව් ක්වීන්ස් පාර්ක් ඕවල්, ට්‍රිනිඩෑඩ් 2011 ජුනි මස 4 පන්දු වාර 20 ලකුණු 15* (පන්දු 7, 1x4, 1x6); 4–0–25–2

ටෙස්ට් කඩුලු ලබාගැනීම[සංස්කරණය]

  • පළමු කඩුල්ල: ග්‍රෙග් බ්ලෙවට් (ඕස්ට්‍රේලියාව)
  • 50 වන කඩුල්ල: රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)
  • 100 වන කඩුල්ල: වේව්ල් හයින්ඩ්ස් (බටහිර ඉන්දීය කොදෙව්)
  • 150 වන කඩුල්ල: නාදන් ඇස්ල් (නවසීලන්තය)
  • 200 වන කඩුල්ල: චාල්ස් ‍කවෙන්ට්‍රි (සිම්බාබ්වේ)
  • 250 වන කඩුල්ල: රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)
  • 300 වන කඩුල්ල: රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)
  • 350 වන කඩුල්ල: JP ඩුමිනි (දකුණු අප්‍රිකාව)
  • 400 වන කඩුල්ල: කාර්ල්ටන් බෆ් (බටහිර ඉන්දීය කොදෙව්)
"https://si.wikipedia.org/w/index.php?title=හර්බජාන්_සිං&oldid=261938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි