සෝලියස් මෙන්ඩිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සෝලියස් මැන්දිස්
ගොනුව:සෝලියස් මැන්දිස්.jpg
සෝලියස් මැන්දිස්
උපත1896 ජුනි 17
පුත්තලම දිස්‌ත්‍රික්‌කය (මහවැව මාදම්පේ ග්‍රාමය)
මරණය1975 සැප්තැම්බර් 01
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙන
ප්‍රසිද්ධ වන්නේචිත්‍ර කලා ශිල්පි
ආගම‍බුද්ධාගම

1897 වර්ෂයේදී හලාවත, මාදම්පේ, මහවැව ප්‍රදේශයේ උපත ලද සෝලියස් මෙන්ඩිස් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා විය. ඔහුගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්දිස් සහ මව ක‍රෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. සෝලියස් මැන්දිස්ට පිළිගත් ඉහළ අධ්‍යාපනක් නොතිබුණ ද විශ්ව කීර්තියට පත් සිත්තර නාමයක් ලබා ගැනීමේ භාග්‍ය සතු වී ඇත.

චිත්‍ර කලාවට පිවිසීමේ මූලාරම්භය[සංස්කරණය]

සෝලියස් මැන්දිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ. කලාත්මක වටිනාකමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය. සෝලියස් සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් එකල ජනප්‍රිය වී තිබීම එයට හේතු වන්නට ඇත.

සිතුවම් කලාවේ නව ආභාසයක් කරා[සංස්කරණය]

සිය ජීවිතයේ මැද භාගයේදී හෝ ඊට ආසන්න වකවානුවකදී දැනුමෙන් හා වයසින් මුහුකුරායත්ම සෝලියස් මෙන්ඩිස් සිය චිත්‍ර කලාවට පැරණි සිතුවම් ආභාසය ලබාගන්නට උත්සාහ දරා ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු අනුරාධපුර හා පොලොන්නරු යුගයන්ගේ චිත්‍ර හා මූර්තිවල ආභාසය ලබා ඇති බව පෙනේ. මොහු බිතු සිතුවම් නිර්මාණයට මෙන් ම මූර්ති නිර්මාණ‍යට ද එකසේ සමත් බව කැලණි විහාරයේ මෙන් ම ගිරිඋල්ල මැද්දෙපොළ රජ මහා විහාරය,මල්වාන ලෙනගම්පල රජමහා විහාරය, පොලොන්නරුව රජ මහා විහාරය වැනි ස්ථානයන්හි දක්නට ඇති නිර්මාණවලින් තහවුරු වේ. කැලණි විහාර‍යේ බිතුසිතුවම් කිරීමට පෙර කැලණි විහාර දායක සභාවේ අනු දැනුම මත සෝලියස් මෙන්ඩිස් කලාකරුවාව ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා ආදී සිතුවම් හා මූර්ති නිර්මාණ අධ්‍යයනය සඳහා පිටත්කර යවා ඇත. එම ගමනින් පසු ඔහු‍ගේ සිතුවම් නව මගකට යොමුව ඇති බව පැහැදිලි ය. ඔහු ඉන් අනතුරුව අනුරාධපුර, පොළොන්නරු චිත්‍රවල ආභාසය මෙන් ම ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා වැනි බිතුසිතුවම් හා මූර්තිවල ද ආභාසය ලබමින් තම නිර්මාණ කටයුතු කර ඇති බව පෙනේ.


කැලණි විහාරයේ බිතුසිතුවම්[සංස්කරණය]

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ‍ය ලද පූජනීය ස්ථානයක් ලෙස කැලණි විහාරය බෞද්ධයන්ට සුවිශේෂී වේ. කැලණි විහාරයේ පූජනීය වස්තූන් හැරුණු විට විහාරය තුළ දක්නට ලැබෙන සිතුවම් වැඩි වැදගත් කමකින් යුක්තය. මෙම සිතුවම් නිර්මාණය කරන ලද්දේ සෝලියස් මෙන්ඩිස් නම් වූ සිත්තරාණන් විසිනි. ඉතිහාසය පුරාවට ම කැලණි විහාරය විදේශීය බලපෑම්වලට නතු විය. ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවති යුගයක සෝලියස් මෙන්ඩිස් මහතා විසින් මෙම ඓතිහාසික බෞද්ධ සිද්ධි සිතුවමට නැගීම සංස්කෘතික අතින් ද වැදගත්ය. බුදුන්වහන්සේ මෙරට වැඩමකිරීමේ සිට වැදගත් බෞද්ධාගමික ඓතිහාසික සිද්ධීන් රැසක් මෙතුමන් විසින් සිතුවමට නගා ඇත. ඒ අතර චූලෝදර ම‍හෝදර යුද්ධය, සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිය මෙරට වැඩමවීම, හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් දන්ත ධාතූන් වහන්සේ ‍මෙරට වැඩමවීම, මහින්දාගමනය, කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කිරීම හා විජය කුමරා ලක්දිවට පැමිණීම ආදී සිතුවම් වේ. මෙම සිතුවම් කෙතරම් මිනිස් සිත ඇද බැඳ ගත්තේද යත් මෙම අවස්ථාවන් සම්බන්ධයෙන් අපට චිත්‍රරූප මැවෙන්නේ ද මෙන්ඩිස් මහතා විසින් ඒ සඳහා නිර්මාණය කර ඇති සිතුවම් ඇසුරිනි. කැලණි විහාර සිතුවම්හි කැලණි ඉතිහාසය දැක්වෙන සිතුවම් ද අන්තර්ගත වේ. මෙතුමාගේ සිතුවම් තුළ ඔහුට ම ආවේනික තාක්ෂණයක් වේ. සෝලියස් මෙන්ඩිස් මහතාගේ සිතුවම් වස්තු විෂය, රිද්මය හා ශෛලිය අතින් විශිෂ්ටත්වයෙන් යුතුය. කැලණි විහාරයේ සිතුවම් සඳහා ඔහු තෝරාගත් ශිල්ප ක්‍රමය ස්වභාවික මෙන්ම පුරාණ වන්නකි. ඒ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය අනුසාරයෙන් සිතුවම් සඳහා වර්ණ පිළියෙල කරගත් බව පැවසේ. ඔහු සායම් නිපදවා ගැනීමට කිකිළි බිත්තර යොදා ගත් බවත් ඒ සඳහා බිඳුණු බිත්තර භාවිත කළ බවත් ප්‍රකටය. සෝලියස් මෙන්ඩිස් සිය බිතුසිතුවම් සඳහා තෝරාගත් වර්ණ සිත නිවන, ශාන්ත ස්වභාවයක් ඇතිකරයි. නිල්, රතු, කහ යන මූලික වර්ණ එකිනෙක මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණයන්ට සුදු වර්ණය මිශ්‍ර කිරීමෙන් ඔහු තම බො‍හෝමයක් සිතුවම් වර්ණ ගන්වා ඇත. වර්ණ ගැන්වීමේ දී ත්‍රිමාන ලක්ෂණ මතුවන පරිදි පින්සලෙන් ඇඳ තිබීමත්, කලු මිශ්‍ර වර්ණයකින් සිතුවම් චරිත මතුකර පෙන්වීමත් විශේෂ ලක්ෂණයකි.

කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන නන්දලාල් බෝස් මහතා එක් අවදියක දී මෙරට කැඳවීය. නමුත් සෝලියස් මෙන්ඩිස් අඳිමින් සිටි සිතුවම් දුටු නන්දලාල් බෝස් පවසා ඇත්තේ ඒ සඳහා යෝග්‍යත ම පුද්ගලයා සෝලියස් මෙන්ඩිස් බවයි.

ප්‍රතිභාපූර්ණ කලාකරූවෙකු වශයෙන් කලා කටයුතු සඳහා ම තම දිවිය කැපකළ මෙතුමා අවිවාහක‍යෙකි. සෝලියස් මෙන්ඩිස් මහතා තම අවසාන කාලයේ දී තමා සතු වූ සියලු දේපොළ අඳ, ගොළු, බිහිරි දරුවන්ගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කළ බව කියවේ. එයට සිවිරාජ ලෙස නම් තබා ඇත. මෙය බෞද්ධ සාහිත්‍යයේ එන නමකි. ඒ අනුව ද ඔහු විසින් නිර්මිත කලා නිර්මාණ වලින් පමණක් නොව සිතුම් පැතුම්වලින් පවා උසස් පුද්ගල‍යෙකු බව ක්‍රියාවෙන් ම සනාථ කොට ඇති බව පැහැදිලියග

කැළණි විහාරයේ ඇදි සිතුවම්

1.බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීම 2.නාගදීපයට වැඩම කිරීම 3.විජය කුමරුගේ ලංකා ගමනය 4.දළදාව වැඩම කිරීම 5.ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම 6.මහින්දාගමනය 7.සංඝරාජ හිමිට පදවි පිරිනැමීම

මූලාශ්‍ර[සංස්කරණය]

(සිළුමිණ පුවත්පතේ ලිපියක් ඇසුරිනි.)

"https://si.wikipedia.org/w/index.php?title=සෝලියස්_මෙන්ඩිස්&oldid=400729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි