සොමී රත්නායක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සොමී රත්නායක
සොමී රත්නායක.JPG
පරාවර්තනය හි දසුනක්
උපතසොමිනන්ද රත්නායක
(1946-01-01) 1 January 1946 (වයස 73)
අම්බලන්ගොඩ, ශ්‍රී ලංකා
අධ්‍යාපනයරත්නපුර සීවලී විද්‍යාලය
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය
රත්නපුර ශ්‍රී සුමන විද්‍යාලය
වෘත්තියරංගන ශිල්පී
දරුවන්නවීන් රත්නායක[1]

සොමිනන්ද රත්නායක[2] ශ්‍රී ලාංකික ප්‍රවීණ සිනමා නළුවෙකි.[3] සිංහල සිනමාවෙ හි චරිතාංග නළුවෙකු ලෙස වඩාත් ප්‍රචලිත ය. අම්බලන්ගොඩ උපත ලබා රත්නපුර දී ඉගෙනුම ලැබීය. වේදිකා නළුවෙකු වූ ඔහු සිනමාවට ප්‍රවිශ්ඨ වනූයේ සරසවිය පුවත්පතේ දැන්වීමකිනි.[4] ඒ අනුව අමරණීය ආදරේ චිත්‍රපටයේ ඔහුට චරිතයක් ලැබිණ. හුලවාලි, උතුමාණෙනි, දඩයම, සුද්දිලාගේ කතාව, බව දුක, බව කර්ම, සුරබිදෙන වැනි චිත්‍රපටයන් හි රංගනයේ යෙදුණ චිත්‍රපට අතර වේ. ඒ අතර සෙලීනාගේ වලව්ව චිත්‍රපටයේ දී ඔහු ප්‍රථම වරට ප්‍රධාන චරිතයකට පණ පොවණු ලැබුවේය.[2] උතුමාණෙනි, සුරබිදෙන, සුද්දිලගෙ කතාව වැනි චිත්‍රපට හි ඔහුගේ චරිතාංග ප්‍රතිභාපූර්ණ රංගනය උදෙසා සරසවිය, ජනාධිපති, ඕ.සී.අයි.සී. වැනි සම්මානයන්ට ද පාත්‍ර වුණි. වරංගා, දළ රළ පෙළ, සුද්දහාමි වැනි ටෙලි නාට්‍යයන් හි ද රංගනයෙන් එක් වුණි. ඔහු විසින් දාසි, ඉන්ද්‍රජාලි ටෙලිනාට්‍ය ද එනස්‌ කෝලා, රන් සලකන, සබඳ මම රස්‌පුටින් වැනි වේදිකා නාට්‍යයන් ද අධ්‍යක්ෂණය කරන ලදි.[2] පසුකලෙක 1996[1] සැප්තැම්බර් 16 දා[3] ඔහු රැකියාවක් සඳහා ඇමරිකාව බලා විදේශගත විය. ඔහු එහි පෙට්‍රල් පිරවුම්හලක රැකියාවක නියැලෙයි.[5][1][3]

පෙර අවධිය[සංස්කරණය]

1946 වසරේ දී අම්බලන්ගොඩ උපත ලැබූ ඔහු අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුරේ සීවලී, ශාන්ත ඇලෝසියස් හා ශ්‍රී සුමන විදුහල්වලින් අධ්‍යාපනය ලැබීය. අවුරුදු 18 වූ සොමී රත්නායක රෝයි ද සිල්වාගේ වේදිකා නාට්‍යයකට තෝරා ගනු ලැබීය. නමුත් එම නාට්‍යය වේදිකා ගත නොවීය. නමුදු එහි නිෂ්පාදක වූ රෝයි ද සිල්වා ඔහු හට "සොමී උඹ කවද හරි ලංකාවේ දක්ෂ නළුවෙක් වේවි" කියා ඔහු දිරිගැන් වීය.[4]

පාසලෙන් සමුගත් ඔහු පොලීසියට, හමුදාවට, ගුවන් හමුදාවට[2] යාමට ඔහු උත්සාහ කළේ ය. පසුව 1968 දී රුපියල් 80 ලඟ තබා ගෙන ඔහු කොළඹට පැමිණියේ රැකියාවක් සොයා ගැනීමට ය. එම කල්හි ඔහුට නළුවකු වීම ගැන අමතක කර දමා තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ ගායකයකු වීමට ය. ඒ අභිලාෂයෙන් ඔහු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත පන්තියකට ද බැඳුණි. පසුව ඔහු එය අතහැර දැමී ය.

ඉන් පසු යළිත් අවධානය වේදිකා නාට්‍ය කලාව වෙත යොමු කළේ ය. සුමන ආලෝක බණ්ඩාරගේ එරබදු මල් හිනා වුණා සොමීගේ මුල්ම නාට්‍ය වුව ද ඔහුගේ රඟපෑ නාට්‍යයක් වශයෙන් ප්‍රථම වරට වේදිකා ගත වූයේ ජයතිස්ස අලහකෝන්ගේ මළ කෝලං නාට්‍යයයි.

දුන්න දුනු ගමුවේ, තුරඟ සන්නිය, මාෂා හා ශේන්, පරපුටුවෝ, ගිනි පුපුරු, ගඟට උඩින් කොක්කු ගියා, රේල් පීලි, ශෛලාසනය සොමී එකල රඟපෑ වේදිකා නාට්‍ය කීහිපයකි.

බොහෝ නළු නිළියන් සේ ඔහු ද සිනමාවට ප්‍රවිශ්ඨ වූයේ සරසවිය පුවත්පතේ දැන්වීමකිනි.[4] එම දැන්වීම අනුව සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට පැමිණි තවත් ආධුනිකයන් අතරින් ඔහු ට ලැබුනේ 296 වැනි අංකයයි.

සිනමාව[සංස්කරණය]

අමරණීය ආදරේ චිත්‍රපටයෙන් සොමී රත්නායක සිනමාව පැමිණි පසුව ඩොක්ටර් සුසන්තා චිත්‍රපටයට එක් වූයේය. එය ඔහු පළමු වතාවට ගෙවීමක් ලැබුණ චිත්‍රපටියයි. එම චිත්‍රපටයේ රඟපෑ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වෙනුවෙන් දෙබස් කැවූ නිසාවෙනි. දිනකට රුපියල් 50 බැගින් දින 7කදී ඔහුට රුපියල් 350 ක මුදලක් ඔහුගේ ගෙවීම් ගාස්තු වශයෙන් ලැබිණ. ඔහු විසින් එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙත 150 වතාවක් පමණ ගොස් රඟපෑමට අවස්ථාවක් ඉල්ලා සිටි නමූදු ඒ හැම විටකදීම ඔහුව ප්‍රතික්ෂේප කළේ ය. [4][2]

"උතුමාණෙනි" චිත්‍රපටයේ බේබි මහත්තයාගේ චරිතයට තෝරා ගැනුණේ මර්වින් ජයතුංග වුවත් සොමීගේ නාට්‍යයක් දුටු ගාමිණී ඔහුව මේ චරිතය සඳහා තෝරා ගත්තේ ය.

උතුමාණෙනි චිත්‍රපටියේ සොමීගේ චරිතාංග නිරූපණය ප්‍රේක්ෂක සේම විචාරක දෙපාර්ශවයේම පැසසුමට සම්භාවනාවට ලක් විය. එම වසරේ දී පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට ද එම රංගනය ප්‍රභල විය.[2]

උතුමාණෙනි චිත්‍රපටයෙන් සම්භාව්‍ය චිත්‍රපට රංගනයට පිවිසී ඔහුට තවත් විවිධ සම්භාව්‍ය චිත්‍රපට හි රඟපෑමට අවස්ථා ලැබිණ. දඩයම, සුද්දිලාගේ කතාව හා සුරබිදෙන ඒ අතර සුවිශේෂී රංගනයන් ඇතුළත් වූ චිත්‍රපට වේ.

දඩයම චිත්‍රපටයේ බේකරි හිමියකු ලෙස රඟපෑවේ ය. තම දියණිය සල්ලාලයකුට හසුවීමේ විපාකය වශයෙන් ඔහු උමතුභාවයට පත් වූ එහිදී සොමී ඉදිරිපත් කළ රංගනය සඳහා එම වසරේ(1984) ම සරසවිය හා ජනාධිපති සිනමා සම්මාන උත්සවවල දී හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගැනීය.[4]

සොමීගේ සිනමා වීරයා වූයේ ආනන්ද ජයරත්න ය. පසුව ඔහු අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයේ දී ගාමිණී ෆොන්සේකාගෙන් ගුටි කෑමත් සමඟ ම එතැන් සිට ආනන්දට පහර දුන් "ගාමිණී" වීරයා බවට පත් වී යැයි පැවසේ.

සොමී පසු කලෙක ජනප්‍රිය නළුවකු වීමත් සමඟම ඔහු ව ප්‍රතික්ෂේප කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් තමාගේ චිත්‍රපටයක රඟපෑම සඳහා සොමීට ආරාධනා කළේය. එම චිත්‍රපටය වතුර කරත්තයයි.

සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ සිරිමෙවන් මුදලාලි ලෙසත් සුරබිදෙන චිත්‍රපටයේ සයිමන් ලෙසත් පූජා චිත්‍රපටයේ ජේලර් ලෙසත් පරාවර්තනය චිත්‍රපටයේ රත්නෙ හාමි ලෙසත්[1] ඔහු රඟ දැක්වීය.[5] සුරබිදෙන චිත්‍රපටයේ ඔහුගේ චරිතය උතුමාණනි හා සුද්දිලගෙ කතාව චිත්‍රපට හි රඟපෑ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්ය. ආරම්භයේ දී ඉතාමත් සරල වූ ද පසුව ජීවිතයට කඩා පාත්වන විපත්ති හේතු කොටගෙන සංකීර්ණ හා සරලත්වයෙන් යුතු චරිතයක් බවට පරිවර්තනය වෙයි.[4]

සොමී වාණිජ චිත්‍රපට රැසක ද රඟපෑවේය. ඉන් බොහොමයක ම ඔහු දුෂ්ට චරිත රඟපෑවේ ය. චිත්‍රපට නිෂ්පාදනයේ ද යෙදුණ ඔහු හිතට දුකක් නැති මිනිහා, චිට්ටි වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ ය. මීට අමතර ව ඔහු මකරා, වරංගනා ටෙලි නාට්‍යයන් හි ද රඟපෑවේය.

සොමී ඔහුගේ සිනමා නළු ජීවිතයේ ස්වර්ණමය යුගයේදී විදේශීය රැකියාවකට ගියේය. මෑතක දී ලංකාවට පැමිණ සොමී අවසන් වරට රඟපෑවේ මායා චිත්‍රපටයේ ගරු රඟපෑමකි. ඊට පෙර ජයනාත් ගුණවර්ධනගේ පරාවර්තනය හි ප්‍රධාන චරිතයක් රඟපෑවේ ය.[4][1]

ප්‍රධානයන්[සංස්කරණය]

සුරබිදෙන හි සොමීගේ විශිෂ්ඨ රංගනය උදෙසා ජනාධිපති සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හිමි වූයේය. ඕ.සී.අයි.සී. (OCIC) සම්මාන උළෙලේ දී නිර්මාණශීලී රංග කුසලතා සම්මාන දෙකෙන් එකක් දිනා ගැනීය. අනෙක ගුරු ගෙදර චිත්‍රපටයේ රඟපෑ අශෝක පීරිස් වෙත පිරිනැමුණි.[4]

පෙර කල සොමීගේ රංගනයන් පිළිබඳව පුවත්පත් හි විවේචනය කළේ ය. සුරබිදෙන චිත්‍රපටය සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කළ අවස්ථාවේ දී ජූරි සභාපතිව සිටි ප්‍රවීණ ඉන්දීය සිනමා නළු වික්ටර් බැනර්ජි සොමීගේ රංගනය ප්‍රශංසාවට ලක් කළේ ය.[3]

මේ වාරේ මගේ චිත්‍රපටයේ රංගනය සඳහා සරසවිය හොඳම සහාය නළුවා සම්මානය ද, දොළොස් මහේ පහන චිත්‍රපටයේ රංගනය සඳහා හොඳම නළුවා සම්මානයත් ස්වර්ණ සංඛ සම්මාන උළෙලේදී ලබා ගත්තේ ය.[4]

මේ අතරින් උතුමාණෙනි (1982), ජනාධිපති සම්මාන උළෙල හොඳම සහය නළුවා, දඩයම (1984), සරසවිය සහ ජනාධිපති සම්මාන උළෙල හොඳම සහාය නළුවා , පූජා (1986) O. C. I. C විශිෂ්ට කුසලතා, දොළොස්මහේ පහන (1992) ස්වර්ණ සංඛ, හොඳම නළුවා, මේ වාරේ මගේ (1992) සරසවිය හොඳම සහාය නළුවා, සුරබිදෙන (1993) O. C. I. C ස්වර්ණ සංඛ සහ ජනාධිපති හොඳම නළුවා ආදී සම්මාන ඒ අතර ප්‍රධාන තැනක් ගනී.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 "අවුරුදු 14කට පසු". සිළුමිණ පුවත්පත. 2011-07-10. සම්ප්‍රවේශය 2016-10-02. 
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "සොමිනන්ද රත්නායක වූ ඔහු". දිවයින පුවත්පත. 2012-05-13. සම්ප්‍රවේශය 2016-10-02. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 "නැවත ලංකාවට". 2009-09-17. සම්ප්‍රවේශය 2016-10-02. 
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 "සොමිනන්ද රත්නායක චරිතාපදාන සාරාංශය". සරසවිය පුවත්පත. 2011-12-08. සම්ප්‍රවේශය 2016-10-02. 
  5. 5.0 5.1 "ඇමරිකාවේ ගිය සොමී". සිළුමිණ පුවත්පත. 

බාහිර සබැඳි[සංස්කරණය]

වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම

"https://si.wikipedia.org/w/index.php?title=සොමී_රත්නායක&oldid=413619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි