වෙල්ගම් වෙහෙර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වෙල්ගම් වෙහෙර
වෙල්ගම්වෙහෙර දාගැබ.JPG
වෙල්ගම් වෙහෙර දාගැබ
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
පිහිටීමපෙරියකුලම
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

වෙල්ගම් වෙහෙර ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයට අයත් කට්ටුකුලම්පත්තුව, පෙරියකුලම ගම්මානයේ පෙරියකුලම වැව බටහිර අයිනට වන්නට පිහිටි ක්‍රි.ව පළමු සියවසයේදී පමණ කරවන ලද ඓතිහාසික බෞද්ධ පන්සලකි. දෙමළ බසින් ලියවුනු ශිලාලේඛන දැකගත හැකි ස්ථාන සුළු ප්‍රමාණයෙන් එකක් වන මෙය අනුරාධපුර රාජධානියේ අවසානයට හේතු වූ ආක්‍රමණය දියත් කළ රාජේන්ද්‍ර රාජ නැමැති ආක්‍රමණිකයාගේ සේනාවේ සිටි බෞද්ධ සෙබළුන්ගේ වන්දනා කටයුතු සඳහා භාවිතා කළ බව සැලකේ.[තහවුරු කරන්න]

ඉතිහාසය[සංස්කරණය]

වෙල්ගම්වෙහෙර හිටි බුදුපිලිමය

දේවානම්පිය තිස්ස රජු විසින් දෙතිස්ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරමින් වෙල්ගම් වෙහෙර කරවූ බව වංශ කතාහී සඳහන් වේ. කෙසේනමුදු විහාරයේ මුල් ඉතිහාසය සම්බන්ධ තොරතුරු අපැහැදිලි වේ. ආසන්නව පිහිටි කඳුගැටයක වූ භාතික තිස්ස රජුගේ (ක්‍රි.ව. 143-167) සෙල්ලිපියකට අනූව මෙම විහාරය වෙලගම අබහර විහර යනුවෙන් දක්වා තිබේ.[1] අනුරාධපුර සමයේ අග භාගයට අයත් සිව්වන මිහිදු රජුගේ (ක්‍රි.ව. 975–991) වේවැල්කැටිය සෙල් ලිපියේ පිටපතක් විහාරයේ පිළිම ගෙය ආශ්‍රිතව හමුවී තිබේ.

පස්වන මිහිදු රජුගෙන් (ක්‍රි.ව. 982–1017) පසු මෙරට ඇතිවූ සොළී පාලන සමයේ සිංහල විරෝධය මැඩලීම උදෙසා රජරට නොයෙක් තැන්හී සොළී සේනා රඳවා තැබූ බව පැවසෙන අතර ඉන් එක් කඳවුරක් වෙල්ගම ආශ්‍රිතව ස්ථාපනය කොට තිබී ඇත. මෙම සමයේ දකුණු ඉන්දියාවේ බුදුධහම දියුණු තත්වයක පැවති බවත් මේ හේතුවෙන් වෙල්ගම කඳවුරෙහි ද්‍රවිඩ බෞද්ධයන් සිටි බවත් කියැවෙයි. මෙම දමිළ බෞද්ධයන් විසින් වෙල්ගම් වෙහෙර පිළිම ගෙය දෙමළ සම්ප්‍රදාය අනූව ප්‍රථිසංස්කරණය කොට රාජ රාජ පෙරුම් පල්ලි (රාජ රාජ යනු සොලී අධිරාජයාගේ නාමය වන අතර පෙරුම් පල්ලි යනු විශාල විහාරය යන්න වේ)[2] ලෙස හැඳින්වූ බව හා බුද්ධ ප්‍රථිමාවට දොළොස්මහ පහන් පූජා සිදු කල බවද සඳහන් වේ. විහාරයෙන් හමුවූ ක්‍රි.ව. 1022-1057 සමයට අයත් දමිළ සෙල් ලිපි අතුරින් අටකම මෙම විහාරය වෙල්ගම් වේර යනුවෙන් දක්වා ඇති අතර තවත් තැන්හී එය රාජ රාජ පෙරුම් පල්ලි ලෙස දක්වා තිබේ.

ආක්‍රමණිකයන් පළවා හැර පොළොන්නරු රාජධානියේ උරුමය හිමිකරගත් පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) විසින් මෙම විහාරය අලුත්වැඩියා කල බව එම සමයේ ස්ථාපනය කෙරූ ශිලා ලිපියක සඳහන් වේ.[2] පසුකාලීනව මහා පරාක්‍රමබාහු රජු[3] හා නිශ්ශංක මල්ල රජු විසින්ද මෙම විහාරයට අනුග්‍රහ කොට තිබේ.

පොළොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් අනතුරුව වෙල්ගම විහාරය පිළිබඳව වූ අවධානය හීන වී යාම සිදුවූ අතර පසුකාලීනව ඇතිවූ මහනුවර යුගයේ රචනා කෙරූ නම්පොත ග්‍රන්ථයේ, වෙල්ගම් වෙහෙර යන නාමය හා කොට්ටේ සමයේ රචිත කඩයිම් පොත්හී වෙල්ගම් නුවරක් හා මානාවතු නුවරක් සම්බන්ධ තොරතුරු යන්තම් සටහන් කොට තිබේ.

සොයා ගැනීම[සංස්කරණය]

පෙරියකුලම වැවට නුදුරින් දීර්ඝ කාලයක් තිස්සේ වනාන්තරයේ ගිලී තිබූ වෙල්ගම් වෙහෙර නටඹුන් අවට දමිළ ගම්වාසීන් විසින් ඊශ්වර දේවාලයක නටඹුන් යැයි සිතා නාතනාර් කෝවිල ලෙස හැඳින්වූ බව සඳහන් වේ. පසුව පුරාවිදු සෙනරත් පරණවිතාන මහතා විසින් මෙම භූමියෙහි සිදුකල පිරික්සීම් මගින් සෙල්ලිපි කිහිපයක් සොයා ගනු ලැබූ අතර එමගින් මෙම බෞද්ධ විහාරස්ථානය, වෙල්ගම් වෙහෙර බැව් හඳුනා ගැණිනි.

නටඹුන්[සංස්කරණය]

දාගැබ්[සංස්කරණය]

වෙල්ගම් වෙහෙර භූමි පරිශ්‍රය තුල නටඹුන් වූ දාගැබ් තුනක් හඳුනාගත හැකි වේ. ඉන් විශාලතම දාගැබ විහාර චතුරස්‍රයේ නැගෙනහිර පවුරට නුදුරුව පිහිටා තිබේ. දාගැබේ සිදුකල කැණීම් වලදී ක්‍රි.ව. 1වන සියවසට අයත් අක්ෂර සහිත ගඩොලක් හමුවී තිබේ. 1954 වසරේ දාගැබ් මළුවේ නිරිත දිශාවෙහි තිබීයදී හමුවූ 11 වන සියවසට අයත් වටිනා ලපියක් සහිත පිත්තල පහන් ගසක් වර්ථමානයේ ත්‍රිකුණාමල පුරාවිදු කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ.

මහ පිළිම ගෙය[සංස්කරණය]

හින්දු කෝවිල් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරන බැවින් මෙම ප්‍රථිමා ගෘහය බොහෝ දෙනෙකුගේ විශේෂ සැළකිල්ලට භාජනය වූවක් වේ.

සෙල් ලිපි[සංස්කරණය]

වෙල්ගම් වෙහෙරින් හමුවූ ශිලා ලිපි ක්‍රි.ව. දෙවන සියවසේ සිට 11 වන සියවස දක්වා කාලයට අයත් වේ. ඉන් ශිලා ලිපි 18 ක් දමිළ හා 6ක් සිංහල ඒවා වන අතර ඉන් බොහොමයක් ශිලා ලේඛන කැබලි වී තිබේ. දමිළ ශිලා ලේඛන පළමුවන රාජේන්ද්‍ර චෝල හා දෙවන රාජේන්ද්‍ර දේව යන රජවරුන්ගේ සමයට අයත් වේ.

මීට අමතරව විහාර පරිශ්‍රයෙහි කළුගල් පොකුණක්, දොරකොටු ගෙයක්, බෝ කොටුවක් හා පැරණි ළිඳක් දැකගත හැකි වේ.

පින්තුර එකතුව[සංස්කරණය]

2014 දී ලබාගන්නා ලද පින්තුර එකතුව[4]

යුධ සමය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය උත්සන්නව තිබූ සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට මෙම විහාර භූමිය සහ අවට ප්‍රදේශ කිහිප විටක් ලක් විය.[5]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • වෙල්ගම් වෙහෙර සහ මානාවතු නුවර - පූජ්‍ය අම්පිටියේ සීලවංස තිස්ස ස්ථවීර - 2014 මුද්‍රණය

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ද විල්ගම් වෙහෙර". vvip.lk. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015. 
  2. 2.0 2.1 "විල්ගම් වෙහෙර". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015. 
  3. "හිස්ටොරි ඔෆ් විල්ගම් වෙහෙර". ශ්‍රී ලංකා ට්‍රැවල් නෝට්ස්. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015. 
  4. 2014 දී ලබාගන්නා ලද පින්තුර එකතුව
  5. [1], වෙල්ගම් වෙහෙර පන්සලට කල ප්‍රහාරයේදී පන්සල බේරා ගැනීමට පැමිණි හමුදා ට්‍රක් රථයට ක්ලේමෝ බෝම්බයක් තබා ,සියලුම සොල්දාදුවන් මරා දැමු වීඩියෝව.පසුව හමුදාව විසින් මෙම වීඩියෝව අත්පත් කරගෙන ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=වෙල්ගම්_වෙහෙර&oldid=428800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි