වී බිස්ස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වී බිස්ස වනාහී සිංහල ගොවියාගේ වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය කරන නිර්මාණයකි. ඒ හා බැදුනු සංස්කෘතියෙහි බොහෝ ලක්ෂණ විද්‍යාත්මකය.භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් පැවති අතීත සමාජයෙහි වී බිස්සට සුවිශාල සමාජ වටිනාකමක් හිමිවිය.වී බිස්සක් නොතිබුණු ගොවි ගෙදර ආර්ථිකය අනාරක්ෂිත බව පිලිගත්තකි.ඵබදු නිවසකින් විවාහයක් කරගැනීම මදි පුංචිකමක් ලෙස සැලකීමට පවා ගැමි ජනයා පුරුදු වී සිටියේය.ඵහෙත් විසි ඓක්වෙනි සියවසට අවතීර්ණ වෙමින් සිටින අද දවසේ වී බිස්සේ උරුමයද එකී විද්‍යාත්මක සංස්කෘතියෙහි ලක්ෂණද මෙරට ගොවි සමාජයෙන් ඈත්වෙමින් තිබේ.ඊටද සමාජ සාධක ගණනාවක් බලපා ඇත.කාලයේ වැලිතලාවෙන් යටවී යන මෙම ඵෙතිහාසික විද්‍යාත්මක සංස්කෘතිය ගවේශණය කිරීම අතිශයින්ම වැදැගත්ය.එමගින් නෙලාගත හැකි වටිනාකම අනාගතයේදී තීරණය කෙරෙනු ඇත.එහෙත් එය ක්‍ෂණිකව පවත්නා වෙළදපොලේ රුපියල් සත වලට පෙරළිය නොහැක.වී බිස්ස

වී බිස්ස හා බැදුණු ජන ජීවිතය[සංස්කරණය]

Paddy cultivation.jpg

සමිප්‍රදායික ගොවිතැනේදී වක් අත් ගැසීමේ පටන් අස්වනු කපා පාගා අටු කොටු ලන තෙක් අනුගමනය කරන සිරිත් විරිත්, විශ්වාස, ජන ඇදහිලි සම්ප්‍රදායින් රැසක් දක්නට ඇත.අනෙක් අතට මෙම චර්යා පද්ධතියෙන් බැහැරව කෘෂි කර්මාන්තයේ යෙදිය නොහැක.මන්දයත් ඒ තරමටම සම්ප්‍රදායික කෘෂි කර්මාන්තය හා ජන ජීවිතය එකිනෙකට බද්ධ වී තිබීමයි.එහි ප්‍රතිඵලයන් වූයේ කමත ගොවි ජන දිවියේ සිරිත් විරිත් පිළිබිඹු කරන කැඩපත බවට පත්වීමත් අස්වනු සංරක්ෂණයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී බිස්සට හිමිවීමත්ය.වී බිස්ස වටාද අපූරු සිරිත් විරිත් පරම්පරාවක් ගොඩනැගී තිබේ.ඵය වී බිස්සක් බැදගැනිමේ සිට නැවත වී මුරයක් බිමට බෑම දක්වාම සිදුවන්නකි. ඵහෙත් මෙම සිරිත් විරිත් සියල්ල ගොඩනැගී ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස වටාය.ඵ් අනුව ගොවිජන ජීවිතයට වඩා සමීපව ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස බවට ඉතිහාසය සක්‍ෂි දරනවා ඇත.


වී බිස්ස ආහාර සංරක්‍ෂිත භාවයේ සංකේතයයි.බිස්ස පිරී තිබේ නම් ජීවත් වීම ගැටළුවක් නොවේ.අද දවසේ ඉතිරිකිරීමේ බැංකුවට හිමි වී තිබෙන සමාජ තත්වය එදා භාණ්ඩ හුවමාරු ආර්ථිකයේදි,වී බිස්සට හිමි විය.වී බිස්ස අනාගත සුරක්‍ෂිතභාවයේ සංකේතයක් බැවින් ඒ වටා ගොඩ නැගුණු ජන සංස්කෘතියක්ද තිබේ.මෙම උප සංස්කෘතියෙහි සියලුම අංගෝපාංගයන් ගොඩනැගී ඇත්තේ බිස්ස සමඟ පවත්නා මානව ගණුදෙනු අනුවය.හා හා පුරා කියා බිස්සක් තනාගැනිම සදහා බිහිකූඩයක් බැදගත යුතුය.එය ආවාට ගියාට නැතිනම් කාය ශක්තිය තිබූ පමණින් ඉටුකර ගත නොහැක.ඒ සදහා සම්ප්‍රදායික වත් පිලිවෙත් රැසක් අනුගමනය කළ යුතුය.

කුළුදුලේ බිහි කූඩයක් බැදීමට අදහස් කරන ගොවි ගෙදර ගෘහමූලික ගොවිරාළ පළමුවෙන්ම තම ගම්පලාතේ නැකත් රාළ මුණ ගැසී තම වේලා පත්කඩය ඔහුට පිලිගන්වා එය පරික්සා කර බලයි.එහිදී බිස්ස බැදීමට හොද දිනයක් සහ වේලාවක්ද,බිස්ස ඉඳුල් කිරීමට නැකත්ද පිලියල කර දෙයි.තවද කුළුදුලේ බිස්සක් ඉඳුල් කිරීම හෙවත් අලුතින් තනාගත් බිස්සකට හා හා පුරා කියා වී දැමීමද චාරිත්‍රයකට අනුව සිදුවිය යුත්තකි.මේ සදහා බොහෝ විට සිකුරාදා දිනයක් යොදා ගනු ලැබේ. මේ අනුව බලන කල වී බිස්ස හා ඒ වටා සම්ප්‍රදායික ගැමි ගොවියා අනුගමනය කළ බොහෝ චර්යාවන් සමාජ සම්මත සිරිත් බවට පෙරළී ඇති බව පෙනේ.ඒවායෙහි තිබෙන ගුණාගුණ දැන හෝ නොදැන පාරම්පරිකව අනුගමනය කිරීම සිරිත විය.පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන චර්යාවන් ඉදිරි පරපුරට තිළිණ කිරීමේ වගකීම පැවැතියේ වැඩිමල් ජන සමූහයට වූ අතර,එම වගකීම දිවි හිමියෙන් ආරක්‍ෂාකිරීමට තරම් අව්‍යාජත්වයක් සම්ප්‍රදායික එදා ගොවි සමාජය තුල විය.

වී බිස්සෙහි විද්‍යාත්මක සංස්කෘතිය[සංස්කරණය]

වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය විද්‍යාත්මකය.එය වසර දෙදහස් පන්සීයක් තරම් ආරම්භය මේසා දීර්ඝ කාලයකට උරුමකම් කීමය.එනමුදු වී බිස්සෙහි විද්‍යාත්මක සංස්කෘතිය කාලයේ වැලිතලාවෙන් යටපත් වි ඇත.වී බිස්ස වටා ගොඩ නැගුණු උප සංස්කෘතිය ඍජුවම ජන ජීවිතය හා බද්ධ වූවකි.එසේම සම්ප්‍රදායිකව අනුගමනය කල බිස්සක් තැනීමේ සිද්ධාන්තයන් සියල්ල විද්‍යාත්මකය. පොළව මත සිටුවන අටුපාදයේ සිට පිදුරු හත්තිය දක්වාම වී ඇටයෙහි ජීව ගුණය ආරක්‍ෂා කිරීමේ අරමුණින් යුක්තව බිස්ස තනා ඇත.වී බිස්සෙහි පාදම හෙවත් අටු කණු සදහා ගනු ලබන්නේ ගල් කණු හෝ ශක්තිමත් දැව අරටුය.එයද පොළොව මට්ටමේ සිට අඩියක් හෝ දෙකක් උසින් යුක්තය.මේ හේතුවෙන් පොළොව මතුපිට සිදුවන ජලය ගලායෑම්,උල්හෙල්ලම් හෝ මතුපිට පොළොව පසෙහි සිදුවන කිසිදු වෙනසක් බිස්සට බලපාන්නේ නැත. බිහි තට්ටුව ශක්තිමත් දැවයෙන් නිමවා ගෙන ඇත.බිහි කූඩය වියාගන්නේ වැල් සහ කෝටු මඩෙහිලා පදනම් කර ගැනීමෙනි.ඒ හේතුවෙන් බිහි කූඩයට කෘමි සතුන්ගෙන් හානි සිදුනොවේ.නොතෙමි තබා ගන්නේ නම් බිහි කූඩය වසර දෙසීයක් තරම් කාලයක් වුවද තබා ගත හැකි බව පැරුන්නන්ගේ මතයයි.බිස්සෙහි බඳ මැටියෙන් ඇත.බිහි කූඩය ඇතුළතින් සහ පිටතින් මැටි තට්ටු දෙකක් තුනීවට ගසා ගනු ලබන නිසා වී ඉපියන් බදු කුඩා කෘමි සතුන් ඇතිවිමට තිබෙන ඉඩකඩ අඩුය.අනෙක් අතට බිස්සට මැටි තෝරා ගන්නේ රතු හුඹගේ මැටිය.රතු හුඹගේ මැටි අංශු සියුම්ය.ඇලෙන සුලු ගුණයෙන් යුක්තය.වේලීම වේගවත්ය.පතුරු ගැලවීමක් ද නැත.

මෙකී කාරණා සියල්ල ප්‍රයෝජනවත් වන්නේ බිස්සෙහි වී කල්තබා ගැනීම උදෙසාය.ඓහෙත් නූතනයේ වී කල් තබාගැනීම පිණිස භාවිතා කරනුයේ සිමෙන්ති ගොඩනැගිලිය.ඒවායේ බිත්තර වී කල්තබා ගැනීම දුෂ්කරය.මන්දයත් සිමෙන්ති පරිසරය වී ඇටයේ ජීව ශක්තිය මර්දනය කිරීමට සමත්වීමයි. බිස්සෙහි බඳ සම්පූර්ණයෙන්ම පාහේ මැටියෙන් නිමවා ඇති නිසා එහි ඇතුළත තිබෙන වී ඇටවලට වාතාශ්‍රය සැලසේ. ඊට හේතුව එහි ඇති සියුම් මැටි අංශුය.තවද බිස්ස කවාකාර පීප්ප හැඩයක් ගන්නා නිසා සියළුම ස්ථානවලට මැටි බිත්තිය මගින් ඒකාකාරීව වාතය සැපයීම සිදුකරයි. මේ හේතුවෙන් බිස්සෙහි කටට උඩින් ජල අංශු ඇතුළු නොවේ. මේ නිසා බිස්සෙහි ගබඩාගත වී අස්වැන්නෙහි පුස්බැඳීමක් සිදු නොවේ. එයද විද්‍යාත්මකවය. මෙහිදී සඳහන් කල යුතු තවත් දෙයක් වන්නේ කෘමි හානි වැළකීම සඳහා ගැමියා වී බිස්සට දමන කොහොඹ කොළ, කදුරු ගෙඩියා කොළ, නික කොළ, දෙහි කොළ බදු ශාකමය කොටස්ය. මෙමගින් ධාන්‍ය කෘමි හානිවලින් වැළකෙන බව ගැමියාගේ මතයයි. එමෙන්ම බිස්සට කිලි නොවැදීම සඳහා කොහොඹ කොළ තට්ටුවක් බිස්සෙහි මුදුනෙම්ම අතුරණු ලබයි. මේ සියළු සාධකවලින් අනාවරණය වන්නේ වී බිස්ස විද්‍යාත්මක පදනමක් මත ගොවි සමාජයේ ස්ථාපිත වී ඇති බවයි.වී බිස්ස නිර්මාණයේදී භාවිතයට ගත් තාක්‍ෂණයේ උසස් බව හා විදුහුරු බව මැනවින් පිළිබිඹු වේ. ඒ අනුව පෙනී යන්නේ සිංහල ගොවියාගේ කෘෂික ජීවිතයෙහි විචිත්‍රත්වය විසින් වී බිස්සට සියුම් කලාත්මක පරිසමාප්තියක් උරුමකොට තිබෙන බවයි.

අනෙකුත් බිහි බැඳීම[සංස්කරණය]

එළිමහන් පිදුරු බිස්ස[සංස්කරණය]

අනුරාධපුර හා වව්නියා දිස්ත්‍රික්කවලට පමණක් ආවේණික වූ අපූරු මෙවලමකි, එළිමහන් පිදුරු බිස්ස. මෙහි සැකැස්ම එළිමහන් මැටි බිස්ස මෙන් නොව ඊට හාත්පසින්ම වෙනස්ය. පොළොව මට්ටමේ සිට අඩි හයක් හෝ ඊට මදක් ඉහළින් තනාගත් දැව වේදිකාවක් මත පිදුරු බිස්ස ඉදිකරනු ලබයි. එසේම පිදුරු බිස්සෙහි බිත්තිය සහ වහලය සම්පූර්ණයෙන්ම පිදුරුවලින් පමණක් තනාගෙන තිබේ. එළිමහන් මැටි බිස්සට මෙන් නොව එළිමහන් පිදුරු බිස්සට නිශ්චිත ස්ථානයක් නැත. ගොවි ගෙදරක ඉඩකඩ තිබෙන ඕනෑම ස්ථානයක් මේ සඳහා තෝරාගෙන ඇත. එය ගෙයි දොරකඩ හෝ නිවසේ පිටුපසට වන්නටද පුළුවන. වෙනසකට ඇත්තේ ඉඩකඩ තිබෙන ස්ථානයක් වීම පමණය.

ඇතුළත පිදුරු බිස්ස[සංස්කරණය]

ඉඩකඩ තිබෙන හෝ නිවෙස්වල ගෙයි ඇතුළත පිදුරු බිස්සක් දක්නට ලැබේ. එය 'ඇතුළත පිදුරු බිස්ස' නම් වේ. මෙම බිස්ස සම්පූර්ණයෙන්ම පිදුරුවලින් තනාගත්තකි. එළිමහන් පිදුරු බිස්සට මෙන් උමං ලී හෝ ආධාරක වැල් අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ පිදුරු හා මානව ශ්‍රමය පමණි. නිවසේ ඉඩකඩ තියෙන ස්ථානයක් මේ වෙනුවෙන් තෝරා ගනු ලබයි. බොහෝ විට මෙය ගබඩා කාමරයක් වේ.

දැව බිස්ස[සංස්කරණය]

ගොනුව:Hollowtree.jpg
දැව බිස්ස

ආදී වාසින් තමා වියලා ගත් දඩ මස් මී පැණිවල බහා තැබීමට දැව බෙන ප්‍රයෝජනයට ගත්හ. කෙමෙන් කෘෂිකාර්මික ජීවිතයට අවතීර්ණවීමෙන් පසුද දැව බෙන කෘෂිකාර්මික ප්‍රයෝජන පිණිස භාවිතා කරන්නට වූහ. දැව බෙන භාවිතයේ අවශ්‍යතාවය වූයේ බිත්තර වී සඳහා බවබෝග ආරක්ෂා කර ගැනීමය. ස්වාභාවික බෙන සහිත ගස් ඇතුළතින් විශාලකර දැව බිස්ස තනාගෙන ඇත. අද දවස වන විට දැව බිහි බහුල වශයෙන් භාවිතා නොවේ. විශාල ගස් හිඟ විම ධාන්‍ය ගබඩාකරණයේ වෙනත් සරල​ ක්‍රම සංවර්ධනය විම ඊට හේතුවයි.

බිත්තර වී බිස්ස[සංස්කරණය]

සම්ප්‍රදායික ගොවි ගෙදර වී බිසි කීපයක්ම තිබේ.ඒ විවිධ අවශ්‍යතාවයන්ට අනුවය.ඒ අනුව බිත්තර වී දමාගැනීම උදෙසා වෙනම බිස්සක් බැඳගත්හ.එය බිත්තර වී බිස්සය. බිත්තර බිස්ස ප්‍රමාණයෙන් කුඩා එකකි.මන්ද බිත්තර වී සඳහා අවශ්‍යවන්නේ කුඩා වී ප්‍රමාණයකි.එම ප්‍රමාණයට සරිලන ලෙසින් බිත්තර වී බිස්ස ඉදිකර තිබේ.අනෙක් අතට බිත්තර වී බිස්ස නිතර නිතර පරික්‍ෂා කළ යුතුය.ඒ බිත්තර වී වලට අනතුරක් සිදු වි ඇත්දැයි දැන ගැනීමටය.සාමාන්‍යයෙන් බිත්තර වී බිස්සක් අඩි පහක් හෝ හයක් පමණ උසැතිය.එහි වරු හත්තිය ඕනෑම විටක ඔසවා බැලීමට පුළුවනි.

ගෝනි බිස්ස[සංස්කරණය]

යටත් විජිත අවදියේ පටන් හන ගෝනි භාවිතයට ගැමි ජනයා පුරුදු වී තිබුණහ.මෙසේ හන ගෝනි භාවිතා වීමට පෙරාතුව පං මළු, කරත්ත මළු, ගල්ලැහැ මළු, පැස් පෙට්ටි බදු මෙවලම් මගින් ධාන්‍ය රැස් කරගන්නා ලදි.එහෙත් කාලයත් සමඟම ගෝනි මෙරට ගැමි ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විය.මෙ නිසා අද බොහෝ ගොවි ගෙවල ගෝනි වලට වී දැමීමෙන් කල්තබා ගනු ලැබේ.ඓහෙත් ගෝනි වල වී අසුරන විට විශාල ගෝනි සංඛ්‍යාවක් අවශ්‍ය වේ.ගෝනි කිහිපයක් එකට අල්ලා ගෝනි බිස්සක් සකස් කර ගත් විට එයට වී බුසල් විසිපහක් පහසුවෙන් දමාගත හැක.


වී බිස්ස සපුරාම ගොවි සංස්කෘතියෙහි උරුමයකි.මේ අනුව බලන කළ වී බිස්ස බඳු අතීත ගොවි උරුමයකින් අනාගත ලෝකයට නෙළාගත හැකි සම්පත් අතිමහත් බව වැටහේ.එහෙත් ඉතිහාසයේ අවාසනාවන්ත යුගයක අපි ජීවත්වෙමු.එනම් අතීත සංස්කෘතික උරුමයන් පිළිබඳව කරුණු කාරණා දැන සිටි අපගේ වැඩිහිටි පරපුර අප අතරින් ඉවත් වෙමින් සිටීමය.තවද අද දවසේ උපදින පරපුර විද්‍යා හා තාක්ෂණ ලෝකයේ හිමිකරුවන්ය.එබදු සමාජ පරිසරයක එවන් සංස්කෘතික උරුමයක් පිළිබඳව දන්නා කරුණු සියල්ල හැකි පමණ ලේඛනගත කිරීම කාලෝචිතය.


මූලාශ්‍ර ලේඛන[සංස්කරණය]

  • වී බිස්ස, වී වගාවේ පසු අස්වනු සංරක්ෂණය පිළිබඳ ජනශ්‍රැති පර්යේෂණය, මහින්ද කුමාර දළුපොත.

වැඩිදුර කියැවීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වී_බිස්ස&oldid=358534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි