විකිපීඩියා:List of policies

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

වර්ෂ 1920ක් වූ පෙබරවාරි මස 24වන දින කෑගල්ල,අල්ගම ප්‍රදේශයේ දී කෘතහස්ත නර්තනාචාර්ය බබංචි අල්ගම හා ඔහුගේ ආදරණීය බිරින්දෑ වන ඩිංගිරි උක්කුට දාව පින්වත් පුත් රුවනක් මෙලොව එළිය දුටුවේ ය. දරුවන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ මොහු පණීභාරත ලෙස නම් ලද අතර දෛවයේ ලියා ඇති පරිදි සිය මුතුන්මිත්තන්ගේ පා සටහන් අනුව යමින් සාම්ප්‍රදායික නර්තනයට පිවිසියේ ය.


උඩරට නර්තන සාම්ප්‍රදායේ නොමැකෙන පිය සටහනක් ඉතිරි කළ මෙතුමා සිය නර්තන දිවියට අත්පොත් තැබුවේ බහ තෝරන අවධියේ ම ය. 1930 වර්ෂයේ මුල් භාගයේ දී උත්සවාකාරයෙන් හිස වෙස් පැළඳි මෙතුමා වේදිකාවක් වේදිකාවක් පාසා තම කලා කෞශල්‍යය විදහා පෑවේ ය. මේ සියලු දස්කම්වල ප්‍රතිඵලය වූයේ එවකට නර්තනය පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විසින් පණීභාරතයන් මීරිගම ගුරු අධ්‍යාපන විද්‍යාලයේ උපදේශක වරයෙක් ලෙස පත්කිරීමයි. මෙසේ දැයේ අනාගත දරුවන්ගේ නර්තන හැකියා ඔප් නැංවූ මෙතුමා, තමා විසින් නර්තන කරළිය අස්වද්දන්නට වපුළ බිජුවට සරුව වැඩෙනු බලා නිරාමිස ප්‍රීතියක් අත්වින්දේය. පසුකාලීනව කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය හා නර්තන උපදේශකයෙකු ලෙස සිය සේවය දැයට පුදන්නට තරම් හේ වාසනාවන්ත විය. ස්වභාවයෙන්ම නිරහංකාර හා සරල දිවිපෙවෙතක් අගය කළ පණීභාරතයෝ ඒ අනුවම සිය දිවි පෙවෙත හැඩගස්වා ගත්හ. හැකි සෑම අවස්ථාවක ම සරල බව හා නිරහංකාර බව ක්‍රියාවෙන් ඔප්පු කළ මෙතුමා කිසි විටෙකත් සිය කීර්තිය ආයුධයක් කොට නො ගත්තේ ය.


සිරිලක ත්‍රිවිධ නර්තන සාම්ප්‍රදායන්ගේ පරතෙරට ගිය මෙතුමා උඩරට,පහතරට,සබරගමු ආදී වූ එම සාම්ප්‍රදායන් පිළිබඳ පර්යේෂණාත්මක ව අධ්‍යයනය කළේ ය. සිරිලක සාම්ප්‍රදායික ගැමි කලාව ඔප්නැංවීමට පණීභාරතයෝ පුරෝගාමීව ක්‍රියා කළහ. ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලද මෙතුමා එහි දී ඉන්දීය නර්තන සම්ප්‍රදායන් පිළිබඳ උගත් අතර කේරළ කලා මණ්ඩලයෙන් කථකලි නර්තනය පිළිබඳ හසළ දැනුමක් ලබා ගත්තේ ය.


ලොව වටා සංචාරයේ යෙදෙමින් හෙළ ගැමි සුවඳ බෙරහඬට මුසු කළ මෙතුමා බකිංහැම් මාළිගයේ රාජකීයයන් හට පවා අප රටේ උරුමය වූ සාම්ප්‍රදායික නර්තනයේ ආස්වාදය විඳින්නට සැලසුවේය. පණීභාරතයන් අතින් නිමැවුණු ඉඟිනළු ගණනාවක් අතරින් ග්‍රහ අපලය, දිට්ටි මංගලිකා සහ පත්තිනි ආදිය පෙරමුණ ගනී.


ප්‍රේමලතා පණීභාරත නම් වූ සිය ආදරණීය පාදපරිචාරිකාවට හා එතුමන්ට දාව උපන් ආදරණීය දියණියන් වන්නේ වත්මන් ශ්‍රී ලාංකේය රංග වේදිකාව සිය ලාලිත රංගනයෙන් මුසපත් කරන උපුලි පණීභාරත හා ජයවන්ති පණීභාරත යි. පසු කලෙක ඡන්න විජේවර්ධන නම් කෘතහස්ත රංගධරයා සමග විවාපත් උපුලි පණීභාරත, අප රටේ අනාගත පරපුරට නර්තනයේ පරතෙරට යන්නට අත්වැල් සපයමින් සිටින්නේ සිය ආදරබර ස්වාමියාගේ ද මගපෙන්වීම යටතේ ය. වර්තමානයේ අප රටේ වෙසෙන කීර්තිමත් කලාකරුවන් බොහොමයක් පණීභාරතයන්ගේ සිසු පරපුරෙන් පැවත එන්නන් වන අතර ඔවුහු ද හැකි උපරිමයෙන් හෙළ නර්තන සම්ප්‍රදාය ලොව පුරා ප්‍රචලිත කිරීමට උත්සාහ දරමින් සිටිති.


හෙළ කලාකෙත අස්වැද්දීමට පහළ වූ කලාගාරයක් බඳු මෙම කෘතහස්ත නර්තන විශාරදයා ජනාධිපති සම්මානයෙන් සහ කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලද අතර වසර 86ක් ආයු වළඳා රාජගිරිය,මාදින්නාගොඩ පිහිටි සිය නිවහනේ දී අවසන් හුස්ම වා තලයට මුදා හළ හ. එතුමන්ගේ නාමය ශ්‍රී ලාංකීය පොදුජන චිත්ත සන්තානය තුළ නොමැකෙන ලෙස සටහන්ව ඇති බව නොරහසකි

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:List_of_policies&oldid=476380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි