රුඛයියා සුල්තාන් බෙගම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රුඛයියා සුල්තාන් බෙගම්
رقیه سلطان بیگم
මූඝල් අධිරාජ්‍යයේ ෂාසාදි
මූඝල් අධිරාජ්‍යයේ වල්ලභ අධිරාජිනිය
නිල කාලය1557ආ. –1605
පූර්වප්‍රාප්තිකයාබෙගා බෙගම්
අනුප්‍රාප්තිකයාසලීහා බානු බෙගම්
උපත1542ආ.
මරණය1626 ජනවාරි 19 (84 වියැති)[1]
අග්‍රා, ඉන්දියාව
භූමදානයබාබර්ගේ උද්‍යාන, කාබුල්
වල්ලභයාඅක්බර්
වංශයටිමූර් ගෘහය (උපතින්)
පියාහින්දල් මීර්සා
මවසුල්තානම් බෙගම්
ආගමඉස්ලාම්

රුඛයියා සුල්තාන් බෙගම් (පර්සියානු: رقیه سلطان بیگم) (1542ආ. – 1626 ජනවාරි 19) යනු 1557 සිට 1605 දක්වා ධුරය හෙබවූ මූඝල් අධිරාජ්‍යයේ වල්ලභ අධිරාජිනියකි‍. ඇය තෙවන මූඝල් අධිරාජ අක්බර්ගේ පළමු බිසව වූ අතර,[2] අගබිසව ද විය.[3][4][5] වැඩිම කාලයක් සේවය කළ මූඝල් අධිරාජිනිය වූ ඇය එම ධුරය වසර පනහකට ආසන්න කාලයක් හොබවා ඇත.[6]

රුඛයියා ඇගේ සැමියාගේ ලේ ඥාති සොයුරියක විය. ඇය උපතින් මූඝල් කුමරියක ද විය. ඇගේ පියා වූ හින්දල් මීර්සා අක්බර්ගේ පියා වූ හුමායුන්ගේ බාලම සොයුරා විය. ඇයට වයස අවුරුදු නවයක් වන විට ඇගේ පියාගේ අභාවය සිදුවූ අතර, ඉන් මඳ කලකට පසු ඇයව අක්බර්හට සරණ පාවා දෙන ලදී. මුළු දිවිය පුරාම මේ යුවල ඉතා සමීපව දිවි ගෙවූව ද, ඇයට දරුවන් සිටියේ නැත. පසුකාලීනව, රුඛයියා අක්බර්ගේ ප්‍රියතම මුණුපුරා වූ ඛුරාම්ව (අනාගත අධිරාජ ෂා ජහාන්) දරුකමට හදාවඩා ගත්තා ය.

අක්බර්ගේ අගබිසව වශයෙන් රුඛයියාට මාලිගයේ විශාල බලයක් හිමි වූ අතර, ඇය ඇගේ සැමියා සහ සුළු පුත්‍රයා වූ ජහාන්ගීර් අතර සමාදානය ඇතිකිරීමට වැදගත් කාර්යාභාරයක් ඉටුකළා ය. 1600 දශකයේ මුල් කාලයේ පිය-පුතු දෙපළ අතර සම්බන්ධතා අප්‍රසන්න තත්ත්වයට පැමිණි විට, එය නිරාකරණය කරමින් ක්‍රමිකව ජහාන්ගීර්ගේ අනුප්‍රාප්තියට මඟපෑදූයේ ද ඇයයි.[7] ඇය ඇගේ හදාගත් පුත්‍රයා වූ ෂා ජහාන් සහෝදර ඝාතන අරගලයක් තුළින් සිහසුනට පත්වීමට වසරකට පෙර මියගියා ය.

පවුල සහ පෙළපත[සංස්කරණය]

රුඛයියාගේ පියා වන හින්දල් මීර්සා සිය මාමණ්ඩිය වන හුමායුන් ඉදිරියේ හිඳසිටින අයුරු

රුඛයියා සුල්තාන් බෙගම් උපත ලැබූයේ ටිමූරීය රාජවංශයේ මූඝල් කුමරියක ලෙස ය. ඇය පළමු මූඝල් අධිරාජයා වූ බාබර්ට දාව ඔහුගේ බිසවක වූ දිල්දාර් බෙගම්ට උපන් බාලම පුත්‍රයා වන හින්දල් මීර්සා කුමරුන්ගේ එකම දියණියයි.[8] රුඛයියාගේ මව වූ සුල්තානම් බෙගම් යනු මුහම්මද් මුසා ඛ්වාජාගේ දියණියයි. සුල්තානම් බෙගම්, බාබර් අධිරාජයාගේ සොයුරිය වූ ඛාන්සාදා බෙගම්ගේ සැමියා වන මාහ්දි ඛ්වාජාගේ නැගණිය ද වූවා ය.[9] රුඛයියාගේ වැඩමහල්ම පීතෘපාර්ශ්වීය මාමණ්ඩිය වූයේ දෙවන මූඝල් අධිරාජයා වූ හුමායුන් (එමෙන්ම ඇගේ සැමියාගේ පියා) ය. ඇගේ වඩාත් වැදගත්ම පීතෘ පාර්ශ්වීය නැන්දණිය වූයේ හුමායුන්-නාම ("හුමායුන්ගේ ග්‍රන්ථය") ගන්ථයේ කතුවරිය වන ගුල්බාදන් බෙගම් ය.[10]

පිය පාර්ශ්වයෙන් බාබර් අධිරාජයාගේ මිණිපිරියක වූ රුඛයියා ඇගේ සැමියා වූ අක්බර් සේම මිරාන් ෂාහි ජන්මයක් සහිත තැනැත්තියකි.[1] ඇය උසස්ම මධ්‍ය ආසියානු වංශවත් පෙළපතකින් පැවතෙන්නියකි. ටිමූර් හෙවත් මහා ටැමර්ලේන්ගේ ඥාතියකු වන්නේ ඔහුගේ පුත් මිරාන් ෂාගේ පාර්හ්වයෙන් වන අතර, ‍ජෙංඝිස් ඛාන්ගේ ඥාතියකු වන්නේ ඔහුගේ පුත් චගතයි ඛාන්ගේ ාපර්ශ්වයෙනි.[11][12] අක්බර්ට සමාන ජන්මයකින් සහ තත්ත්වයකින් යුත් අක්බර්ගේ එකම භර්යාව ද රුඛයියා වේ.

අක්බර් සමග විවාහය[සංස්කරණය]

1551 නොවැම්බර් 20 දින, හුමායුන් වෙනුවෙන් සිය අර්ධ-සොයුරකු වූ කම්රාන් මීර්සා‍ගේ හමුදාවන්ට එරෙහිව සටන් වැදුණු හින්දල් මීර්සා යුද්ධයක දී මරණයට පත් විය. සිය ලාබාල සොයුරා මියගිය බව අසා හුමායුන් දැඩි සංවේගයට පත් විය. නමුත් ඔහුගේ අමීර්වරුන් ඔහුව සැනසූයේ ඔහුගේ සොයුරා අධිරාජයා වෙනුවෙන් සේවය ඉටුකොට දිවි පිදූ‍ බව පවසමිනි.[13]

සිය සොහොයුරා කෙරෙහි වූ සෙනෙහස නිසා, හුමායුන් හින්දල්ගේ නව හැවිරිදි දියණිය වූ රුඛයියා සිය පුත්‍රයා වූ අක්බර්ට විවාහ ගිවිස ගන්වා දුන්නේ ය. ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි දී පැවැත්විණි. මෙය සිදුවූයේ ඝස්නි පළාතේ ප්‍රතිරාජයා ලෙස අක්බර් පළමු පත්වීම ලැබීමෙන් මඳ කාලයකට පසුවයි.[14][15] විවාහ ගිවිස ගැනීමෙන් පසුව, හුමායුන් මෙම රාජකීය යුවලට හින්දල්ගේ සහ ඝස්නියේ සියලු ධනය සහ සේනාව ප්‍රදානය කරන ලදී.[15][13]

1556 හුමායුන්ගේ මරණින් පසුව ඇති වූ දේශපාලන අවිනිශ්චිතභාවය හේතුවෙන්, රුඛයියා සහ රාජකීය පවුලේ සෙසු සාමාජිකාවෝ කාබුල්හි නැවතී සිටියෝ ය.[16] 1557දී, රුඛයියා ඉන්දියාව වෙත පැමිණ පන්ජාබයේ දී අක්බර් හා එක් විය. මෙය සිදුවූයේ සිකන්දර් ෂා පරාජය කොට මූඝල්වරුනට යටත් වීමෙන් මඳ කලකට පසුවයි. ඇය සමග ඇගේ නැන්දම්මා වූ හමීදා බානු බෙගම්, ඇගේ නැන්දණිය වූ ගුල්බදාන් බෙගම් සහ රාජකීය පවුලේ සාමාජිකාවෝ රැසක් පැමිණියහ. රුඛයියා සහ අක්බර්ගේ විවාහය චාරිත්‍රානුකූලව පන්ජාබයේ ජලන්ධාර් අසල දී පැවැත්විණි. මේ වනවිට ඔවුන් දෙදෙනාම 14වන වියේ පසුවූහ. එම අවස්ථාවේම ඇගේ 18 වියැති නෑනණ්ඩිය වූ සලීමා සුල්තාන් බෙගම් සහ අක්බර්ගේ වියපත් රාජ්‍යාධිකාරී බයිරම් ඛාන් අතර විවාහය ද සිදු විය.[17] පන්ජාබයේ මාස සතරක් පමණ විවේක ගැනීමෙන් පසුව, රාජකීය යුවළ දිල්ලිය වෙත පැමිණියහ.[17]

අධිරාජිනිය[සංස්කරණය]

ෆාටෙහ්පූර් සික්රි: හුජ්රා-ඉ-අනූප් තගාඕ හෙවත් තුර්කි සුල්තානා ගෘහය; මෙහි පොකුණට සම්බන්ධව තැනූ විනෝද මණ්ඩපය රුඛයියා අධිරාජිනිය විසින් භාවිතයට ගන්නා ලදී.

1556දී සිය සැමියාගේ සිංහාසනාරූඪයෙන් පසුව මූඝල් අධිරාජ්‍යයේ අධිරැජිනිය බවට පත්වන විට රුඛයියාගේ වයස අවුරුදු දාහතරකි. විවාහ වුව ද ඇයට දරුවන් නොවී ය. නමුත් ඇය අක්බර්ගේ ප්‍රියතම මුණුපුරා වූ ඛුරාම් කුමරු (අනාගත අධිරාජ ෂා ජහාන්) හදාවඩා ගැනීමේ ප්‍රධාන වගකීම ඇයට භාර විය.[18] ඛුරාම් කුමරුන්ව හදාවඩා ගැනීම හේතුවෙන් අධිරාජකීය අන්තඃපුරය තුළ රුඛයියාගේ තත්ත්වය ඉහළ ගියේ ය.[19]

ඛුරාම්ගේ උපතට මඳ කලකට දෛවඥයකු විසින් රුඛයියා සුල්තාන් බෙගම්ට අනාවැකියක් ලෙස පවසා තිබුණේ මෙම උපදින්නට සිටින දරුවා අධිරාජ පදවිය සඳහා නියම වී සිටින බව ය. එම නිසා, 1592දී ඛුරාම් උපත ලද විට, උපත ලබා දින සයකට පසු අක්බර් අධිරාජයා විසින් එම කුමරුන්ව ඔහුගේ සැබෑ මව වූ ජගත් ගෝසයිනි වෙතින් රුඛයියා වෙත හදාවඩා ගැනීමට භාර කළ යුතු බවට නියෝග කළේ ය. මෙලෙසින් මූඝල් අධිරාජයකු හදාවඩා ගැනීමට සිය භාර්යාව තුළ වූ ආශාව ඉටු කරලීමට අක්බර්ට හැකි විය.[20]

රුඛයියා ඛුරාම්ගේ අධ්‍යාපන කටයුතු ද අධීක්ෂණය කළ අතර, ඇයට අනුව ඇගේ සැමියා මෙන් නොව හොඳින් අධයාපනය ලද්දේ ය.[21] මේ දෙදෙනා අතර ඉතා සමීප සම්බන්ධතාව්ක පැවතිණි. මෙය ඛුරාම් සහ අක්බර් අතර සම්බන්ධයට සමාන විය. ජහාන්ගීර්ගේ වචනවලින් පැවසුවහොත් "හැමවිටම ඔහුව [කුරාම්] මා [ජහාන්ගීර්] හට නිර්දේශ කළ අතර, නිතරම මට පැවසූයේ ඔහු සහ ම‍ගේ අනෙක් දරුවන් සැසඳිය නොහැකි බවයි. ඔහු [අක්බර්] ඔහුව සිය සැබෑ දරුවකු ලෙසම සැලකූයේ ය."[22] ජහාන්ගීර් සිය මතක සටහන් තුළ සඳහන් කොට ඇත්තේ රුඛයියා සිය පුත්‍රයා වන ඛුරාම්ට සෙනෙහස දැක්වූයේ, "ඔහු ඇගේම [පුතු] වූවා මෙන් දහස් ගුණයකින් වැඩි සෙනෙහසකින් බවයි]."[4] ඛුරාම් 14වන වියට පත්වන තෙක්ම ඇය සමග රැඳීසිටියේ ය. 1605 අක්බර්ගේ මරණින් පසු කුමරුන්ට නැවත සිය පියාගේ නිවහන වෙත පැමිණීමට අවසර හිමිවූ අතර, මේ නිසා කුමරුන්ට සිය සැබෑ මෑණියන් සමීපයෙහි කාලය ගත කිරීමට අවස්ථාව හිමි විය.[20] පසුව, රුඛයියා ඛුරාම්ගේ පළමු දරුවා වූ පර්හේස් බානු බෙගම් දියණියව ද හදාවඩා ගත්තා ය.[23] එම දියණිය ඛුරාම් කුමරුට දාව ඔහුගේ පළමු බිසව වූ කන්දහාරී බෙගම් නම් සෆාවිද් කුමරියට උපන් දියණියයි.[24]

ඇය සිය සැමියාට දාව දරුවන් නොදැරුව ද, හැමවිටම ඇයට සිය සැමියාගේ ගෞරවාදරය හිමි විය. 1557 සිය විවාහයේ සිටම 1605 අක්බර්ගේ මරණය තෙක්ම ඇය ඔහුගේ එකම අගබිසව ලෙස කටයුතු කිරීමෙන් මේ බව පැහැදිළි වේ. මේ අනුව, රුඛයියා සිය සැමියාගේ රාජ්‍ය සමයේ මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ (ජහාන්ගීර්) රාජ්‍ය සමයේ ද[25] රාජකීය අන්තඃපුරයේ කනිෂ්ඨතම සාමාජිකාව වූවා ය.[26] මෙය බොහෝ දුරට ඇගේ උසස් පෙළපත නිසා සිදුවන්නට ඇත. ඇය මීර්සා මින්දල්ගේ දියණිය වීම හේතුවෙන් මූඝල් කුමරියක වූවා මෙන්ම, අක්බර්ගේ ප්‍රථම සහ අගබිසව ද විය.[26]

අධිරාජිනිය රාජමාලිග දේශපාලනයට ක්‍රියාකාරීව දායක වූ අතර, අක්බර් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කිරීමට ඇය සමත් වූවා ය. 1600 දශකයේ මුල් කාලයේ අක්බර් සහ සලීම් (ජහාන්ගීර්) පිය-පුතු දෙපළ අතර සම්බන්ධතා දුර්වල තත්ත්වයට පත්වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා සමාදාන කිරීමට ඇය (සහ ඇගේ නෑනා මෙන්ම සහ-බිසවක වූ සලීමා සුල්තාන් බෙගම්) තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා ය. මෙය ක්‍රමිකව ජහාන්ගීර්ට මූඝල් සිහසුනට පත්වීමට අනුබලයක් විය.[7] 1601දී, සලීම් අක්බර්ට එරෙහිව කැරැල්ලක් දියත් කළේ අලහබාද්හි ස්වාධීන රාජසභාවක් පිහිටුවීමෙන් සහ සිය පියා ජීවත්ව සිටියදීම "සලීම් ෂා" යන අධිරාජකීය පදවි නාමය ආරූඪ කරගැනීමෙනි.[27] එසේම ඔහු අක්බර්ගේ විශ්වාසවන්ත උපදේශකයා මෙන්ම සමීප මිතුරකු ද වූ අබු’ල් ෆාස්ල්ව ඝාතනය කළේ ය.[28] මෙම දරුණු සිදුවීම අක්බර්ව දැඩි ලෙස කෝපයට පත්කළ අතර, සලීම් එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට කිසිවකු පසුබට වූයේ නැත. අවසානයේ, රුඛයියා සුල්තාන් බෙගම් සහ සලීමා සුල්තාන් බෙගම් එක්ව ඔහුට සමාව ලබාදෙන මෙන් ආයාචනා කළහ. ඔවුන්ගේ ඉල්ලීමට සවන්දුන් අක්බර් සලීම්ට අධිරාජයා ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝග කළේ ය. අවසානයේ 1603දී කුමරුන්ට සමාව හිමිවූයේ ඔහුගේ සුළු-මව්වරුන්ගේ සහ මිත්තණිය වූ හමීදා බානු බෙගම්ගේ ප්‍රයත්නය නිසාවෙනි.[27]

කෙසේනමුත්, අක්බර් හැමවිටම වැරදිකරුවන්ට සමාව දුන්නේ නැත. ඔහුගේ ඇතැම් තීරණ යළි වෙනස් කළ නොහැකි විය. වරක් රුඛයියා සහ ඇගේ නැන්දණිය වන හමීදා බානු බෙගම් විසින් ප්‍රයත්න දැරූව ද, ආගමික අන්තගාමීභාවය අයුරින් ලාහෝර්හි ෂියා මුස්ලිම්වරයකු මරාදැමූ සුන්නි මුස්ලිම්වරයකුට සමාව ලබා ගත නොහැකි විය.[29] ජහාන්ගීර්ගේ රාජ්‍ය සමයේ, රුඛයියා සහ සලීමා සුල්තාන් බෙගම් යන දෙදෙනා බලවත් ඛාන්-ඉ-අසාම්, මීර්සා අසිස් කෝකා හට සමාව ලබාගැනීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළහ.[30] ෆාටෙහ්පූර් සික්රිහි ස්වකීය මාලිගය හැරුණු විට, රුඛයියා සතුව අග්‍රා බලකොටුවෙන් පිටත, ජමුනා ගංගාව අසල මාලිගා ද පැවතිණි. මෙය මූඝල් කුමරියන්ට පමණක් හිමිවූ වරප්‍රසාදයක් වූ අතර, ඇතැම් අවස්ථාවල විශේෂ ගෞරවයට පත් අධිරාජිනියනට ද හිමි විය. රුඛයියා මෙම දෙඅංශයෙන්ම එයට සුදුසුකම් ඇත්තියක වූවා ය.[31][32]

වැන්දඹු අධිරාජිනිය[සංස්කරණය]

1607දී, රුඛයියා ප්‍රථම වරට කාබුල්හි බාබර්ගේ උද්‍යාන වෙත වන්දනා චාරිකාවක නිරත වූවා ය. මෙහි දී ඇය සිය පියා වූ හින්දල් මීර්සා ඇතුළු මුතුන්මිත්තන් රැසකගේ සොහොන්ගැබ් දැක බලාගත්තා ය.[33] ඇය සමග ජහාන්ගීර් සහ ඛුරාම් කුමරුන් ද පැමිණියහ.[23] එම වර්ෂයේම, බුර්ද්වාන්හි ජගීර්දාර්වරයා වූ ෂේර් ඇෆ්ගන් ඛාන් මියගිය අතර, ජහාන්ගීර් විසින් ඔහුගේ වැන්දඹුව වූ මෙහර්-උන්-නිසා (පසුව නූර් ජහාන් අධිරාජිනිය බවට පත්) අග්‍රාව වෙත කැඳවන ලද්දේ සිය සුළු-මෑණියන් වන රුඛයියා වැන්දඹු අධිරාජිනියගේ පරිවාර ස්ත්‍රියක ලෙස කටයුතු කිරීමටයි.[34] ෂේර් ඇෆ්ගන්ගේ දේශපාලන සබඳතා ඔහුගේ මරණයට පෙර සැක සහිත තත්ත්වයට පත්ව තිබූ බැවින්, ඔහුගේ පවුල් දැඩි අන්තරායකට මුහුණපා සිටියේ ය. මේ නිසා සිය ආරක්ෂාව වෙනුවෙන් මෙහර්-උන්-නිසා අග්‍රාවේ මූඝල් මාලිගය වෙත පැමිණීමට තිරණය කළා ය. අක්බර් අධිරාජයාගේ අගබිසව මෙන්ම අන්තඃපුරයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව ද වූ රුඛයියා, මෙහර්-උන්-නිසාට රැකවරණය සැපයිය හැකි මූඝල් රාජ මාලිගයේ යෝග්‍යතම පුද්ගලයා විය.[26]

මෙහර්-උන්-නිසා චාටු බස් පවසමින් රුඛයියාගේ සේවයට සිය දියණියව ද රැගෙන ආවා ය. ඇගේ පියා වූ මීර්සා ඝියාස් බෙග් වැනි ඥාතීන් මාලිගය තුළ සිටිය ද, ඇගේ සැමියාට එල්ල වී තිබූ අපකීර්තිය හේතුවෙන් ඇයට ඉන් සහනයක් නොලැබිණි.[35] රුඛයියාගේ රැකවරණය යටතේ මෙහර්-උන්-නිසාට සිය දෙමාපියන් සමග කාලය ගත කිරීමට මෙන්ම අධිරාජයාගේ ස්ත්‍රීන් විසූ මැඳුරු දැක බලාගැනීමට අවස්ථාව හිමි විය.[26]

මෙහර්-උන්-නිසා සහ ඇගේ දියණිය වූ ලාඩ්ලි බෙගම් අධිරාජිනියට වසර හතරක් පුරා පරිවාර ස්ත්‍රීන් ලෙස කටයුතු කළ අතර, සිය ස්වාමි දියණියගේ ප්‍රසාදය හිමි කරගැනීමට ඔවුහු උත්සාහ දැරූහ.[34] රුඛයියා සහ මෙහර්-උන්-නිසා අතර තිබූ සම්බන්ධතාවය ඉතා සමීප එකක් වූ අතර, රුඛයියා ඇයට සැලකූයේ සිය දියණියක මෙනි. ලන්දේසි වෙළෙන්දකු සහ සංචාරක කතුවරයකු වන පීටර් වැන් ඩෙන් බ්‍රෝක් විසින් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය සිය හින්දුස්ථාන් වංශකථාවෙහි මෙසේ සඳහන් කොට ඇත: "මෙම බෙගම් [රුඛයියා] මෙහර්-උන්-නිසා [නූර් ජහාන්] කෙරෙහි දැඩි සෙනෙහසක් දැක්වූවා ය; ඇය අන්‍යන්ට වඩා ඇයට ප්‍රිය කළ අතර, සැමවිටම ඇයව සිය සමාගමයෙහි රඳවා ගත්තා ය."[26]

මරණය[සංස්කරණය]

1626 අග්‍රාවේ දී මියයන විට රුඛයියාගේ වයස අවුරුදු අසූ හතරකි. ඇය සිය සැමියාගේ මරණයෙන් පසු වසර විස්සක් දිවි ගෙවා තිබිණි. ඇගේ දේහය ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි බාබර්ගේ උද්‍යානයේ (බාඝ්-ඉ-බාබර්) පහළොස්වන මට්ටමෙහි භූමදානය කරන ලදී. බාබර්ගේ උද්‍යාන යනු ඇගේ මුත්තණුවන් වූ බාබර් අධිරාජයා මෙන්ම ඇගේ පියා වූ හින්දල් මීර්සාගේ අවසන් භූමදාන ස්ථානයයි. ඇගේ හදාගත් පුත්‍රයා වූ පස්වන මූඝල් අධිරාජ ෂා ජහාන් විසින් ඇගේ සොහොන්ගැබ ඉදිකරවන ලදී.[36]

ජහාන්ගීර් සිය මතක සටහන් තුළ නිතරම රුඛයියා පිළිබඳ සඳහන් කොට ඇති අතර, ඇගේ මරණය පිළිබඳ පවසමින් ඔහු අක්බර්ගේ අගබිසව ලෙස ඇය ඉටුකළ ප්‍රශංසනීය මෙහෙය පිළිබඳ සටහන් කොට ඇත.[37][3]

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Gulbadan Begum, Annette Susannah Beveridge (1902). Humayun Nama. Sang-e-Meel Publications. පි. 274. 
  2. Burke, S. M. (1989). Akbar, the greatest Mogul. Munshiram Manoharlal Publishers. පිටු 142. 
  3. 3.0 3.1 Jahangir, Emperor of Hindustan (1999). The Jahangirnama: Memoirs of Jahangir, Emperor of India. Oxford University Press. පි. 437. ISBN 978-0-19-512718-8. "මීර්සා හින්දල්ගේ දියණිය සහ අර්ෂ්-අෂ්‍යානි [අක්බර්] උතුමාණන්ගේ භාර්යාව වන රුඛයියා-සුල්තාන් බෙගම් අක්බරාබාද්හි දී අභාවප්‍රාප්ත වූවා ය. ඇය උතුමාණන්ගේ ප්‍රධාන භාර්යාව විය. ඇයට දරුවන් නොවූ හෙයින්, ෂාජහාන් උපත ලද විට අර්ෂ්-අෂ්‍යානි උතුමාණන් "කාලිෆේටයේ අනන්‍ය මුතුව" බෙගම්ගේ භාරයට පත්කළේ ය. ඇය කුමරුන්ව රැකබලා ගත්තා ය. ඇය සිය දිවියෙන් සමුගත්තේ අසූ හතරවන වියේදී ය." 
  4. 4.0 4.1 Jahangir (1968). Henry Beveridge. ed. The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volumes 1-2. Munshiram Manoharlal. පි. 48. "ඇය අක්බර්ගේ පළමු මෙන්ම ප්‍රධාන භාර්යාව වුවත් ඔහුට දාව දරුවන් සිටියේ නැත. ඇය ඔහුට වඩා වැඩි කාලයක් ජීවත් වූවා ය." 
  5. Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge University Press. පි. 205. ISBN 9780521850223. 
  6. ඇගේ ධුර කාලය ක්‍රි.ව. 1557 පමණ සිට 1605 ඔක්තෝබර් 27 දක්වා වසර 48ක් විය.
  7. 7.0 7.1 Faruqui, Munis D.. Princes of the Mughal Empire, 1504-1719. Cambridge University Press. පි. 148. ISBN 9781107022171. 
  8. Balabanlilar, Lisa. Imperial identity in the Mughal Empire : Memory and Dynastic politics in Early Modern South and Central Asia. London: I.B. Tauris. පි. 112. ISBN 978-1-84885-726-1. 
  9. Faruqui, Munis D. (2012). The Princes of the Mughal Empire, 1504-1719. Cambridge University Press. පි. 251. ISBN 1107022177. 
  10. Alam, Muzaffar (2004). The languages of political islam : India 1200 - 1800. London: Hurst. පි. 126. ISBN 9781850657095. 
  11. Findly, p. 11
  12. Berndl, Klaus (2005). National Geographic visual history of the world. University of Michigan. පිටු 318–320. ISBN 978-0-521-52291-5. https://books.google.com/books?id=cn0RAQAAMAAJ. 
  13. 13.0 13.1 Erskine, William (1854). A History of India Under the Two First Sovereigns of the House of Taimur, Báber and Humáyun, Volume 2. Longman, Brown, Green, and Longmans. පි. 403, 404. ISBN 9781108046206. 
  14. Mehta, Jaswant Lal (1986). Advanced Study in the History of Medieval India. Sterling Publishers Pvt. Ltd. පි. 189. ISBN 8120710150. 
  15. 15.0 15.1 Ferishta, Mahomed Kasim (2013). History of the Rise of the Mahomedan Power in India, Till the Year AD 1612. Cambridge University Press. පි. 169. ISBN 9781108055550. 
  16. Gulbadan, Begam (1902). Beveridge, Annette. ed (enයෙන්). The History of Humayun (Humayun-Nama). Billing and Sons Ltd., Guildford. පි. 56-57. 
  17. 17.0 17.1 Eraly, Abraham (2000). Emperors of the Peacock Throne : the saga of the great Mughals. Penguin books. පිටු 123, 272. ISBN 9780141001432. 
  18. Robinson, Annemarie Schimmel (2005). The Empire of the Great Mughals : history, art and culture (Revised සංස්.). Sang-E-Meel Pub. පිටු 149. ISBN 9781861891853. 
  19. Findly, p. 97
  20. 20.0 20.1 Faruqui, Munis D.. Princes of the Mughal Empire, 1504-1719. Cambridge University Press. පි. 71. ISBN 9781107022171. 
  21. Rahman, Tariq (2002). Language, ideology and power : language learning among the Muslims of Pakistan and North India. Oxford University Press. පි. 483. ISBN 9780195796445. 
  22. Findly, p. 50
  23. 23.0 23.1 Sarker, Kobita (2007). Shah Jahan and his paradise on earth : the story of Shah Jahan's creations in Agra and Shahjahanabad in the golden days of the Mughals (1. publ. සංස්.). Kolkata: K.P. Bagchi & Co.. පි. 10, 187. ISBN 9788170743002. 
  24. Findly, p. 98
  25. Nath, Renuka (1957). Notable Mughal and Hindu Women in the 16th and 17th Centuries A. D.. Inter- India publications. පිටු 58. 
  26. 26.0 26.1 26.2 26.3 26.4 Findly, p. 32
  27. 27.0 27.1 Findly, p. 20
  28. Richards, J.F. (1995). Mughal empire (Transferred to digital print. සංස්.). Cambridge, Eng.: Cambridge University Press. පි. 55. ISBN 9780521566032. 
  29. Mukherjee, p.130
  30. Findly, p. 122
  31. Lal, K.S. (1988). The Mughal Harem. Aditya Prakashan. පි. 45. ISBN 9788185179032. 
  32. Misra, Rekha (1967). Women in Mughal India, 1526-1748 A.D.. Munshiram Manoharlal. පි. 76. 
  33. Findly, p. 121
  34. 34.0 34.1 Mohammad Shujauddin, Razia Shujauddin (1967). The Life and Times of Noor Jahan. Caravan Book House. පිටු 25. 
  35. Findly, p. 87
  36. Ruggles, Fairchild (2011). Islamic Gardens and Landscapes. University of Pennsylvania Press. පිටු 194. ISBN 9780812207286. 
  37. Jahangir (1968). "Gift to Ruqayya Begam". මෙම කෘතිය තුල: Henry Beveridge. The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volumes 1-2. Munshiram Manoharlal. පි. 48. "අග්‍රාවේ උද්‍යානයක් ෂා කුලි ඛාන් මහ්රාම් විසින් අත්හැර දමා තිබිණි. ඔහුට උරුමකරුවන් නොවූ හෙයින් මම එය මාගේ පියාගේ ගෞරවනීය භාර්යාව වූ ද, හින්දල් මීර්සාගේ දියණිය වූ ද රුඛයියා සුල්තාන් බෙගම්ට ප්‍රදානය කළෙමි. මාගේ පියා විසින් මාගේ පුත් ඛුරාම් ඇගේ රැකවරණයට පත්කොට ඇත. ඇය එම දරුවා ඇගේ දරුවකු වූවා නම් සෙනෙහස දක්වන ආකාරය මෙන් දහස් ගුණයකින් ඔහුට සෙනෙහස දැක්වූවා ය." 
  38. Sundaresan, Indu (2002). Twentieth wife : a novel (Paperback සංස්.). New York: Washington Square Press. පි. 12. ISBN 9780743428187. 
  39. Sundaresan, Indu (2003) (enයෙන්). The Feast of Roses: A Novel. Simon and Schuster. ISBN 9780743481960. 
  40. Podder, Tanushree (2005). Nur Jahan's daughter. New Delhi: Rupa & Co.. ISBN 8129107228. 
  41. Lamb, Harold (1935). Nur Mahal. Doubleday, Doran & Co.. ISBN 978-1299983229. 
  42. Maheshwri, Neha (July 11, 2013). "Lavina Tandon replaces Smilie Suri in Jodha Akbar? - Times of India". The Times of India. සම්ප්‍රවේශය 14 March 2017. 
  43. Agarwal, Stuti (July 4, 2013). "Malikaa's cast revealed". The Times of India. සම්ප්‍රවේශය 1 April 2017. 
  44. "Characters". epicchannel.com. 
  45. Maheshwri, Neha. "Lavina Tandon and Poorti Agarwal: Two Ruqaiyas on TV - Times of India". The Times of India. සම්ප්‍රවේශය 22 March 2017. 
  46. Tiwari, Vijaya (14 October 2014). "Maharana Pratap: Krip Suri and Falak Naaz as grown-up Akbar-Rukaiya in the show". The Times of India. සම්ප්‍රවේශය 30 July 2016. 

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Findly, Ellison Banks (1993). Nur Jahan: Empress of Mughal India. Oxford University Press. ISBN 9780195360608.

බාහිර සබැඳි[සංස්කරණය]

රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
බෙගා බෙගම්
මූඝල් අධිරාජ්‍යයේ පාද්ෂා බෙගම්
1557–1605
අනුප්‍රාප්තික වූයේ
සලීහා බානු බෙගම්