ජගත් ගෝසයිනි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජගත් ගෝසයිනි
Jagat Gosaini.png
මරණය18 අප්‍රේල් 1619
අග්‍රා, ඉන්දියාව
භූමදානයදහ්රා බාඝ්, අග්‍රා
වල්ලභයාජහාන්ගීර්
දරුවන්ෂා ජහාන්
රාජවංශයරථෝර්
පියාමාර්වාර්හි උදයි සිං
ආගමහින්දු ආගම

ජගත් ගෝසයිනි (ජෝධ් බායි[1] හෙවත් මන්මතී[2] යන නම්වලින් ද හැඳින්වේ) යනුවෙන් හැඳින්වෙන්නේ මූඝල් අධිරාජ ජහාන්ගීර්ගේ දෙවන භාර්යාවයි. එසේම ඇය ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පස්වන මූඝල් අධිරාජ ෂා ජහාන්ගේ මෑණියන් ද වේ.[3][4]

පවුල[සංස්කරණය]

ජෝධ්පූර්හි කුමරිය, ජෝධ් බායි ලෙස වඩාත් ප්‍රචලිත වූ[5] ජගත් ගෝසයිනි රාජ්පුත්වරුන්‍‍ගේ රථෝර් වංශයට අයත් වූවා ය. ඇය මාර්වාර්හි (වර්තමාන ජෝධ්පූර්) පාලකයා වූ රාණා උදයි සිංගේ දියණියයි.[6] උදයි සිං ජනයා අතර ජනප්‍රිය වූයේ ඔහුව හැඳින්වුණු මෝට රාජා (මහත රජ) යන විකට නාමය හේතුවෙනි.[7] ඇගේ මුත්තණුවන් වූ මාල්දියෝ රථෝර්ගේ පාලනය යටතේ මාර්වාරය ප්‍රබල රාජ්පුත් රාජධානියක් වූ අතර, එය විදේශ බලවේගවලට දැඩි ප්‍රතිරෝධයක් දක්වමින්, උතුරුදිගින් ආ ආක්‍රමණිකයන්ට අභියෝග එල්ල කරන්නට විය. මාල්දියෝ සූර් අධිරාජ්‍යය‍ හෝ 1555දී හුමායුන් විසින් උතුරු ඉන්දියාවේ පාලනය යළි ලබාගත් පසු මූඝල් අධිරාජ්‍යය සමග හෝ මිත්‍ර සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළේ ය. මෙම ප්‍රතිලත්තිය ඔහුගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා ද වූ චන්ද්‍රසේන් රථෝර් විසින් ද අනුගමනය කරන ලදී.[8]

1562දී මාල්දියෝ රථෝර්ගේ මරණින් පසු, අනුප්‍රාප්තිය සඳහා සහෝදරයින් අතර යුද්ධයක් ඇරඹි අතර, ජෝධ්පූර් අගනුවර දී චන්ද්‍රසේන් තමන්ව සිංහාසනාරූඪ කොටගත්තේ ය. නමුත් ඔහුගේ රාජ්‍ය සමය කෙටි කාලීන එකක් වූයේ එම වර්ෂයේදී ම අක්බර් අධිරාජයාගේ හමුදාව මර්තාව සහ 1563දී ජෝධ්පූර් අගනුවර ද යටත් කරගත් හෙයිනි.[9]

1581 රාඕ චන්ද්‍රසේන්ගේ මරණින් පසු, මාර්වාරය ඍජු මූගල් පාලනය යටතට පවරා ගැනිණි. 1583දී මාර්වාරයේ සිහසුන යළි ප්‍රතිෂ්ඨාපනය කළ අක්බර් එහි පාලක ධුරයට උදයි සිං පත්කළේ ය. උදයි සිං ඔහුගේ පූර්වප්‍රාප්තිකයින් මෙන් නොව මූඝල්වරුන්ට යටත්වී මූඝල් සේවයට එක්වූවකු විය.[9]

ජහාන්ගීර් සමග විවාහය[සංස්කරණය]

මූඝල්වරුන්ට යටත් වීමෙන් පසු, සිය දියණිය වූ ජගත් ගෝසයිනි අක්බර්ගේ වැඩිමහල්ම පුත්‍රයා වූ සලීම් කුමරුට විවාහ කරදීමට උදයි සිං තීරණය කළේ ය. ඇතැම් රාජ්පුත් වංශවතුන් රජවරුන් සිය දියණිවරුන් මූඝල්වරුන්ට විවාහ කරදීමේ අදහසට අකමැති වූයේ එය නින්දාවක් ලෙස සැලකූ හෙයිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සිවානාහි කල්‍යාණ්දාස් රථෝර් විසින් උදයි සිං සහ සලීම් කුමරු යන දෙදෙනාටම මරණ තර්ජන එල්ල කරන ලදී. එයට ප්‍රතිචාර ලෙස අක්බර් අධිරාජයා සිය හමුදාවන්ට කල්‍යාණ්දාස් රථෝර්ට සිවානාහි දී ප්‍රහාර එල්ල කරන ලෙස නියෝග කළේ ය. සටනේ දී සිය පුරුෂයින් සමග කල්‍යාණ්දාස් මියගිය අතර, සිවානාවේ ස්ත්‍රීන්ට ජෞහාර් පනවන ලදී.[10]

දේශපාලන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස 1586 ජූනි 26 දින ජගත් ගෝසයිනි, සලීම් කුමරු (අනාගත අධිරාජ ජහාන්ගීර්) සමග විවාහ වූවා ය. ඇය ඔහුගේ දෙවන බිසව බවට පත්වූවා ය. වසර හතරකට පසු, 1590දී ඇය සිය පළමු දරුවා බිහිකළා ය. බෙගම් සුල්තාන් නැමැති එම දියණිය පළමු වියේ දී මියගියා ය.[11] 1592 ජනවාරි 5 දින, ඇය සලීම්ගේ තෙවන පුත්‍රයා හට උපත ලබාදුන්නා ය. දරුවාගේ මුත්තණුවන් වන අක්බර් අධිරාජයා විසින් කුමරුට 'ඛුරාම්' ("ප්‍රීතිමත්") යන නාමය තබන ලදී. අනාගත ෂා ජහාන් අධිරාජයා බවට පත්වන මෙම කුමරු අක්බර් අධිරාජයාගේ ප්‍රියතම මුණුපුරා විය. ජහාන්ගීර්ගේ වචනවලින් කිවහොත් ඔහු "[මාගේ] සියුල දරුවන්ට වඩා මාගේ පියා [අක්බර්] කෙරෙහි සැලකිලිමත් ය... පියා ඔහුව සැලකූයේ ඔහුගේම දරුවකු ලෙසයි."[12]

ඛුරාම්ගේ උපතට මඳ කාලයකට පෙර දෛවඥයකු විසින් දරුවන් නොවූ රුඛයියා සුල්තාන් බෙගම් අධිරාජිනියට (අක්බර්ගේ පළමු භාර්යාව සහ අගබිසව)[13][14] පැවසූයේ උපදින්නට සිටින දරුවා අධිරාජ පදවියට උරුමකරු වනු ඇති බවයි.[15] මේ නිසා, ඛුරාම්හට දින සයක් වියැති වන විට, දරුවා ජගත් ගෝසයිනිගෙන් රැගෙන ගොස් රුඛයියාහට භාරකළ යුතු බවට අක්බර් නියෝග කළේ ය. එවිට ඔහුට ඇගේ රැකවරණ මැද හැදීවැඩිය හැකි බැවින්, මූඝල් අධිරාජයකු ඇතිදැඩි කිරීමට සිය භාර්යාව තුළ වූ අපේක්ෂාව ඉටු කිරීමට අක්බර්ට හැකි විය.[15] ජගත්හට වටිනා මුතු මැණික් ලබා දී අස්වසන ලදී.[16]

ඛුරාම්ව ඇතිදැඩි කිරීමේ ප්‍රධාන වගකීම රුඛයියා සතු විය. ඔහු ඇගේ රැකවරණය යටතේ හැදී වැඩිණි.[17] ජහාන්ගීර් සිය මතක සටහන් තුළ සඳහන් කොට ඇත්තේ, රුඛයියා සිය පුත්‍රයා වූ ඛුරාම්හට සෙනෙහස දැක්වූයේ, "ඔහු ඇගේම [පුතු] වූවා මෙන් දහස් ගුණයකින් වැඩි සෙනෙහසකින් බවයි."[18] 13වන විය සපිරෙන තෙක් ඛුරාම් ඇගේ සෙවණේ හැදී වැඩුණේ ය. අක්බර්ගේ මරණින් පසු ලාබාල කුමරුන් ඔහුගේ පියාගේ නිවස වෙත යලි පැමිණියේ ය. මේ නිසා ඔහුට සිය සැබෑ මව හා සමීප වීමට වඅස්ථාව හිමි විය.[15] මේ අතර කාලයේ 1597දී ජගත් විසින් ඇගේ තෙවන (සහ අවසාන) දරුවාට උපත ලබාදුන්නා ය. බිළිඳියක වූ එම දැරිය කුඩා වියේ දීම මියගියා ය.[11]

විවාහයේ මුල්කාලයේ ජගත් ගෝසයිනිහට ඇගේ සැමියාගේ ප්‍රසාදය අහිමිව තිබූ බැව් පෙනේ.[19] විශේෂයෙන්ම රාජකීය අන්තඃපුරයේ ඇගේ ප්‍රතිවාදිනිය වූ නූර් ජහාන්̣ගේ පැමිණීම මෙයට හේතු විය. ජගත් ඇය කෙරෙහි අමනාපයෙන් පසුවූවා ය. 1611දී ජහාන්ගීර් විසින් නූර් ජහාන්ව විවාහ කරගන්නා ලදී. එම විවාහයේ සිට ඔහුගේ මරණය දක්වාම නූර් ජහාන් ඔහුගේ ප්‍රියතම භාර්යාව වූ බැව් අවිවාදිතව පිළිගැනේ.[20] නූර් ජහාන්ගේ විවාහයට පෙර පවා, ජහාන්ගීර්ගේ අගබිසව සහ පාද්ෂා බෙගම්වරිය වූයේ ඔහුගේ සයවන භාර්යාව වූ සලීහා බානු බෙගම් ය. ඇය විසින් 1605 ඔහුගේ අනුප්‍රාප්තියේ සිට 1620 ඇගේ මරණය තෙක්ම පදවිය උසුලන ලදී. අනතුරුව මෙම ගෞරවනීය පදවි නාමයන් නූර් ජහාන්හට පිරිනැමිණි.[12]

මරණය[සංස්කරණය]

ජගත් ගෝසයිනි මියගියේ 1619 අග්‍රාවේ ය. ඇගේ අපේක්ෂාව අනුව ‍ඇගේ දේහය දහ්රා බාඝ්හි භූමදානය කෙරිණි. ජහාන්ගීර් මෙම මරණය පිළිබඳ කෙටියෙන් පැවසූයේ ඇය විසින් "දෙවියන්ගේ අනුකම්පාව ලද බවයි." ඇගේ මරණින් පසු ජහාන්ගීර් විසින් සියලු නිල ලේඛනවල[21] ඇය හට බිල්කිස් මකානි ("නිර්මල විමානයේ ආර්යාව") ලෙස ඇමතිය යුතු බවට නියෝග කරන ලදී.[22]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Findly, p. 396
  2. transl.; ed.,; Thackston, annot. by Wheeler M. (1999). The Jahangirnama : memoirs of Jahangir, Emperor of India. New York [u.a.]: Oxford Univ. Press. පි. 13. ISBN 9780195127188. 
  3. Manuel, edited by Paul Christopher; Lyon,, Alynna; Wilcox, Clyde (2012). Religion and Politics in a Global Society Comparative Perspectives from the Portuguese-Speaking World.. Lanham: Lexington Books. පි. 68. ISBN 9780739176818. 
  4. Eraly, Abraham (2007). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. පි. 299. ISBN 0141001437. 
  5. Tillotson, Giles (2008). Taj Mahal. Cambridge, Mass.: Harvard University Press. පි. 28. ISBN 9780674063655. 
  6. Chandra, Satish (2005). Medieval India : from Sultanat to the Mughals (Revised ed. සංස්.). New Delhi: Har-Anand Publications. පි. 116. ISBN 9788124110669. 
  7. Mehta, Jaswant Lal (1986). Advanced Study in the History of Medieval India. Sterling Publishers Pvt. Ltd. පි. 418. ISBN 9788120710153. 
  8. Bose, Melia Belli (2015). Royal Umbrellas of Stone: Memory, Politics, and Public Identity in Rajput Funerary Art. BRILL. පි. 150. ISBN 978-9-00430-056-9. https://books.google.com/books?id=6dR0CgAAQBAJ&pg=PA150. 
  9. 9.0 9.1 Sarkar, Jadunath (1994). A history of Jaipur : c. 1503-1938 (Rev. and ed. සංස්.). Hyderabad: Orient Longman. පි. 41. ISBN 81-250-0333-9. 
  10. Alam, Muzaffar; Subrahmanyam, Sanjay (1998). The Mughal State, 1526–1750. Oxford University Press. පි. 177. ISBN 978-0-19-563905-6. 
  11. 11.0 11.1 Moosvi, Shireen (2008). People, taxation, and trade in Mughal India. Oxford: Oxford University Press. පි. 114. ISBN 9780195693157. 
  12. 12.0 12.1 Findly, p. 125
  13. Burke, S. M. (1989). Akbar, the greatest Mogul. Munshiram Manoharlal Publishers. පිටු 142. 
  14. Jahangir, Emperor of Hindustan (1999). The Jahangirnama: Memoirs of Jahangir, Emperor of India. Oxford University Press. පි. 437. ISBN 978-0-19-512718-8. "මීර්සා හින්දල්ගේ දියණිය වූත් [අක්බර්ගේ] භාර්යාව වූත්, රුඛයියා-සුල්තාන් බෙගම් අක්බරාබාද්හි දී අභාවප්‍රාප්තව ඇත. ඇය [ඔහුගේ] අගබිසව විය. ඇයට දරුවන් නොවූ බැවින්, ෂාජහාන් උපන් විට [අක්බර්] විසින් [ඔහුව] බෙගම්ගේ භාරකාරීත්වයට පවරන ලදී ... ඇය මෙම දිවියෙන් වෙන්වූයේ අසූ හතරවැනි වියේ දී ය." 
  15. 15.0 15.1 15.2 Faruqui, Munis D.. Princes of the Mughal Empire, 1504–1719. Cambridge University Press. පි. 71. ISBN 978-1-107-02217-1. 
  16. Diana; Preston, Michael (2008). A teardrop on the cheek of time : the story of the Taj Mahal. London: Corgi. ISBN 0552154156. "හින්දු ජෝධ් බායිව අස්වසමින් වටිනා පද්මරාග සහ මුතු ත්‍යාග කරන ලදී." 
  17. Eraly, Abraham (2000). Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. පි. 299. ISBN 978-0-14-100143-2. https://books.google.com/books?id=04ellRQx4nMC&pg=PA379. Retrieved 22 November 2014. 
  18. Jahangir (1968). Henry Beveridge. ed. The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volumes 1–2. Munshiram Manoharlal. පි. 48. 
  19. Findly, p. 49
  20. Findly, p. 126
  21. Findly, p. 162
  22. Findly, p. 94

බාහිර සබැඳි[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Findly, Ellison Banks (1993). Nur Jahan: Empress of Mughal India. Oxford University Press. ISBN 9780195360608.
"https://si.wikipedia.org/w/index.php?title=ජගත්_ගෝසයිනි&oldid=420845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි