මූර්ජනය

විකිපීඩියා වෙතින්

මූර්ජනය යනු සම්ප්‍රේශණය කල හැකි ආවර්ථික තරංගයක ගති ලක්ශණ එකක් හෝ කීපයක් සම්ප්‍රේශණය කල යුතු තරංගයේ ගති ලක්ශණ වලට අනුකූලව වෙනස් කිරීමේ ක්‍රියාවලියයි. මෙහි සම්ප්‍රේශණය කල හැකි තරංගය වාහක තරංගය ලෙසද, මූර්ජන ක්‍රියාවලියෙන් පසු බිහි වන තරංගය සම්ප්‍රේශක තරංගය ලෙසද හඳුන්වනු ලබයි. මෙම ක්‍රියාවලිය සිදු කිරීමේ පරමාර්ථය වනුයේ වාහක තරංගය සතු එහෙත් ප්‍රයෝජනවත් තරංගය සතු නොවන ලක්ශණ උපයෝගී කර ගනිමින් සංනිවේදන ක්‍රියාවලිය සිදු කිරීමයි. නිදසුනක් ලෙස ගුවන් විදුලි සම්ප්‍රේශණ ක්‍රියාවලිය සැලකිය හැකිය. සාමාන්‍ය ශබ්දය පැතිරෙන්නේ මීටර් කීපයක දුරකට පමණි. ඊට වඩා වැඩි දුරකට තොරතුරු යැවීමට නම් වෙනත් දෙයක උපකාරයක් ගැනීමට සිදු වෙයි. ගුවන් විදුලි සම්ප්‍රේශණයේදී භාවිතා වන දෙය නම් රේඩියෝ සංඛ්‍යාත විද්‍යුත් චුම්භක තරංගයකි. මෙහිදී විද්‍යුත් චුම්භක තරංගයේ වැඩි දුරකට නොනැසී ගමන් කිරීමේ හැකියාව එය ‍තෝරා ගැනීමට හේතුව විය. විද්‍යුත් චුම්භක තරංගවලට අමතරව ආලෝක තරංග (ප්‍රකාශ තන්තු සන්නිවේදනය), අධි සංඛ්‍යාත විද්‍යුත් තරංග ආදියද සංනිවේදන ක්‍රියාවලියන්හීදී භාවිතා කරනු ලබයි. මූර්ජන ක්‍රියාවලිය සිදුවන එකිනෙකට වෙනස් ආකාර ගනනාවකි.

මෙසේ යම් ආකාරයකින් මූර්ජනය කර යැවූ තරංගයකින් වැදගත් තොරතුර හෝ දත්තය නැවත පෙරා ගැනීමේ ක්‍රියාවලිය විමූර්ජනය ලෙස හැඳින්වේ. මෙහිදී, මූර්ජනයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය විද්‍යුත් පරිපථ මගින් කරවීමෙන් ලබා ගනී. මූර්ජනය සිදුකරන උපාංගය හෝ පරිපථ කොටස මූර්ජකය ලෙස හැඳුන්වෙන අතර විමූර්ජනය සිදු කරන පරිපථ කොටස හෝ උපාංගය විමූර්ජකය ලෙස හැඳින්වේ.

ප්‍රතිසම මූර්ජන ආකාර[සංස්කරණය]

ප්‍රතිසම ප්‍රදාන සංඥාවක් ප්‍රතිසම වාහක තරංගයක මූරජනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිසම මූර්ජනය (Analog Modulation) ලෙස හැඳින්වේ. ප්‍රතිසම මූර්ජන ආකාරද මූර්ජන ක්‍රියාවලියේදී වාහක සංඥාවට සිදු කරන වෙනස්කම් අනුව මෙසේ වර්ගීකරණය කල හැකිය.

Animation of audio, AM and FM signals
ප්‍රදාන සංඥාව අනුව විස්තාර මූර්ජනයේදී විස්තාරයත්, සංඛ්‍යාත මූර්ජනයේදී සංඛ්‍යාතයත් වෙනස් වන ආකාරය.
  • විස්තාර මූර්ජනය(AM)

ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ විස්තාරය වෙනස් කිරීමේ මූර්ජන ආකාරය විස්තාර මූර්ජනය (Amplitude Modulation) ලෙස හඳුන්වනු ලැබේ.

  • සංඛ්‍යාත මූර්ජනය(FM)

ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් කිරීමේ මූර්ජන ආකාරය සංඛ්‍යාත මූර්ජනය (Frequency Modulation) ලෙස හඳුන්වනු ලැබේ.

  • කලා මූර්ජනය(PM)

ප්‍රතිසම ප්‍රදාන සංඥාවට අනුව වාහක තරංගයේ කලාව වෙනස් කිරීමේ මූර්ජන ආකාරය කලා මූර්ජනය (Phase Modulation) ලෙස හඳුන්වනු ලැබේ.


සංඛ්‍යාංක මූර්ජන ආකාර[සංස්කරණය]

වර්තමාන තොරතුරු තාක්ෂණික දියුනුවත් සමඟ සංඛ්‍යාංක මූර්ජන ආකාර ඉතා සුලභව භාවිතා වේ. තොරතුරු වල නිවරද්‍යතාවය සාපේක්ශව ඉතා ඉහල වීම මෙම මූර්ජන ආකාරය ප්‍රචලිත වීමට බලපෑ ප්‍රධාන හේතුවයි. සංඛ්‍යාංක මූර්ජනයේදී සිදු වන්නේ, සංඛ්‍යාංක ආකාරයෙන් පවතින ප්‍රදාන තරංගය ප්‍රතිසම ආකාරයෙන් පවතින තරංගයක් සමඟ මූර්ජනය කිරීමයි. මෙහි මූර්ජනයේදී සිදු වන ක්‍රියාවලිය සංඛ්‍යාංක සිට ප්‍රතිසම පරිවර්ථනයක් වන අතර විමූර්ජනය ප්‍රතිසම සිට සංඛ්‍යාංක පරිවර්ථනයක් වේ. සංඛ්‍යාංක මූර්ජනයේ මූලික ආකාර මඟින් එහි සංකීර්ණ ආකාර ගොඩ නඟා ඇත.

සංඛ්‍යාංක මූර්ජනයේ මූලික ආකාර[සංස්කරණය]

  • විස්තාර තැත්මාරු යාතනය (ASK)
  • සංඛ්‍යාත තැත්මාරු යාතනය (FSK)
  • කලා තැත්මාරු යාතනය (PSK)
  • චතුර්ථාකාර විස්ථාර මූර්ජනය (QAM)
"https://si.wikipedia.org/w/index.php?title=මූර්ජනය&oldid=286001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි