මුනි 2: කාංචනා

විකිපීඩියා වෙතින්
කාංචනා
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයරාඝවා ලෝරන්ස්
රචනයරාඝවා ලෝරන්ස්
නිශ්පාදනයරාඝවා ලෝරන්ස්
රංගන ශිල්පීන්රාඝවා ‍ලෝරන්ස්
ආර්. සරත්කුමාර්
ලක්ෂ්මී රායි
කෝවෛ සරලා
දේවදර්ශිනි
ශ්‍රීමන්
සිනෙමාරූපණයවෙට්රි
ක්‍රිෂ්ණ සාමි
සංස්කරණයකිෂෝර් ටෙ.
සංගීතයඑස්. තාමන්
Production
company
බෙදාහැරීමශ්‍රී තේනන්ඩල් ෆිල්ම්ස්
(දෙමළ)
ශ්‍රී ලක්ෂ්මී නරසිංහ ප්‍රොඩක්ෂන්ස්
(තෙලිඟු)
නිකුත්වූ දිනය
  • 22 ජූලි 2011 (2011-07-22)
තිර කාලය
මිනිත්තු 170
රටඉන්දියාව
භාෂාවදෙමළ
පිරිවැයINR7 කෝටි (2016 දී INR10 කෝටි හෝ US$1.6 මිලියන ට සමාන ය)[1]
ආදායමINR70 කෝටි (2016 දී INR101 කෝටි හෝ US$16 මිලියන ට සමාන ය)

මුනි 2: කාංචනා (හෙවත් සරලව කාංචනා) යනු රාඝවා ලෝරන්ස් විසින් රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2011 දෙමළ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයකි. මෙය ඔහු සිය පෙර චිත්‍රපටය වූ මුනි (2007) සඳහා අනුගාමී කෘතිය ලෙස නිපදවූවක් වන අතර, මුනි චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය ද වේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද නිරූපණය කරන්නේ ඔහුම විසින් වන අතර, සරත්කුමාර් මෙහි තේමා චරිතයට පණ පොවයි. එසේම ලක්ෂ්මී රායි ද රංගනයෙන් දායක වේ.

චිත්‍රපටය ගෙතී ඇත්තේ පිටතට යාමට බියෙන් පෙළෙන රාඝවා නම් තරුණයාගේ සිරුර තුළට භුතයකු ඇතුළු වීමත් සමග ඔහු අද්භූත ලෙස හැසිරෙන අයුරු වටායි. මෙම භූතයා සංක්‍රාන්ති ලිංගිකයකු වන අතර ඉඩම් ගැටලුවක් හේතුවෙන් ඇයව සහ ඇගේ පවුලම මරාදැමූ දේශපාලනඥයාව මරාදැමීම ඇගේ අරමුණ වේ. මෙම චිත්‍රපටයේ සිනොමරූපණය සහ සංස්කරණය සිදුකරන ලද්දේ පිළිවෙලින් වෙට්ට්‍රි සහ ක්‍රිෂෝර් ටෙ. විසිනි. චිත්‍රපටයේ ධ්වනිපථය නිමවන ලද්දේ එස්. තාමන් විසිනි. චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතීන් ශ්‍රී තේනන්ඩල් ෆිල්ම්ස් විසින් මිලට ගන්නා ලදී.

2011 ජූලි 22 දින චිත්‍රපටය මුදාහැරිණි.[2] එහි එම නාමයෙන්ම යුත් හඬකැවූ තෙලිඟු ප්‍රභේදය එයට සතියකට පෙර ආන්ධ්‍රා ප්‍රදේශ්හි දී මුදාහැරිණි. විචාරකයන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලැබුව ද, ආර්ථික අතින් මෙම භාෂා ද්විත්වයෙන්ම චිත්‍රපටය අතිශය සාර්ථක විය.[3][4] මෙම චිත්‍රපටය කන්නඩ බසින් කල්පනා ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර එය අධ්‍යක්ෂණය කළේ රාමනාරායණන් විසිනි. මෙය ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් මායා 3D ලෙස ප්‍රතිනිර්මාණය විය. බංගලාදේශයේ මායාබිනී නම් මෙහි ප්‍රතිනිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ සයිමන් සාදික්, අමිත් හසන් සහ අයිරින් සුල්තානා විසිනි.

කථාපුවත[සංස්කරණය]

රාඝවා (ලෝරන්ස් රාඝවේන්ද්‍රා) යනු රැකියා විරහිත තරුණයකු වන අතර, ඔහු සිය දවස ගත කරන්නේ මිතුරන් සමග ක්‍රකිට් ක්‍රීඩා කරමිනි. ඔහු භූතියන් කෙරෙහි අසීමිත භීතියකින් පසුවන අතර, හිරු බැසීමත් සමග ඔහු නිව‍ස තුළට වී ආරක්ෂා වන්නට උත්සාහ දරයි. හුගේ බිය කෙතරම් ද කිවහොත් රාත්‍රියට ඔහු නිදාගන්නේ ද සිය මව (කෝවෛ සරලා) සමග වන අතර, රාත්‍රියට නාන කාමරයට යාමේ දී ද සහායට ඇයව කැඳවාගෙන යයි. මෙය රාඝවාගේ සොහොයුරා (ශ්‍රීමන්), නෑනණ්ඩිය (දේවදර්ශිනි) හා ඔවුන්ගේ දරුවන් යන සියුල දෙනාට ඉමහත් කරදරයකි.

එක් දිනක, රාඝවා සහ ඔහුගේ මිතුරනට සිය සාමාන්‍ය ක්‍රිකට් පිටිය අත්හැර නව ස්ථානයක් සොයා ගැනීමට සිදු වේ. ඔවුන් අත්හැර දමා තිබූ භුමියක් සොයාගන්නා අතර, ඒ පිළිබඳ විවිධ කටකථා අසන්නට ලැබේ. විස්මයජනක ලෙස කාලගුණය වෙනම්වීමත් සමග බියපත් වන ඔවුහු ඉන් පලා යති. රාගවා සිට ක්‍රිකට් කඩුළු නිවසට ගෙන එන අතර, ක්‍රිකට් පිටියේ භුමියේ වළලා තිබූ මළසිරුරක වූ රුධිරය එහි තැවරී ඇත. මේ අතර රාඝවා සිය නෑනණ්ඩියගේ නැගණිය වන ප්‍රියාට (ලක්ෂ්මී රායි) ආකර්ෂණය වෙයි. ඉන් පසු දිනවල, ඔහුගේ මවට සහ නෑනණ්ඩියට රාත්‍රියේ නොයෙකුත් අද්භූත සිදුවීම දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් ඔවුනට බරාඳයේ හොල්මන් රුවක් දර්ශනය වේ. නිවසට භූතයකු අරක්ගෙන සිටින්නේ දැයි නිශ්චය කරගැනීමට පූජකයකු ඔවුනට චාරිත්‍ර 3ක් සිදු කිරීමට පවසයි:

1. ඔවුහු රංගෝලියක් මත පොල් ගෙඩියක් තබා ශිව දෙවියන්ට යාඥා කරති. පොල් ගෙඩිය කැරකෙන්නේ නම් නිවසේ භුතයකු සිටියි. නමුත් එය 100%ක් සනාථ නොවේ. මේ නිසා ඔවුහු දෙවන චාරිත්‍රය ඉටු කරති. 2. ඔවුන් එළදෙනකට ආහාර දෙන්නට සූදානම් වේ. නමුත් ආහාර නොගෙනම එළදෙන නිවසින් පැන දුවයි. මේ නිවසේ හොල්මන් ගැවසෙන බව පෙනීගිය ද, ඔවුනට එය සනාථ කරගැනීමට තෙවන චාරිත්‍රය ද සිදු කිරීමට අවැසි වේ. 3. පහනක් දල්වන ඔවුහු රුධිර බිංදු දෙකක් තබා නිවසේ විදුලිය විසන්ධි කරති. එහි දී ඔවුනට රුධිරය ලෙවකන කාන්තා අවතාරයක් දක්නට ලැබේ.

භීතියට පත් රාඝවාගේ මව සහ නෑනණ්ඩිය පූජකයන් දෙදෙනකු (මයිල්සාමි සහ මනෝබාලා) කැඳවාගෙන එන්නේ නිවසේ භූතයා පන්නා දැමීමටයි. කෙසේනමුත් වංචාරකාරයන් දෙදෙනකු වෙන මෙම පූජකයින් බියපත් වී පැන දුවයි. එම රාත්‍රියේ භූතාත්මය රාඝවාගේ සිරුරට ඇතුළු වේ. රාඝවා කාන්තාවක මෙන් හැසිරෙන අතර, ඔහු ප්‍රියාගෙන් ඈත්වෙමින් කාන්තා වස්ත්‍රාභරණ පැළඳ සිටියි. ඔහුව දැක පවුලේ අය ‍කෝපයට පත්වේ. නමුත් හෙළිවන්නේ ඔහුගේ සිරුරට ඇතුළු වී ඇත්තේ එක් භූතයකු නොව භූතාත්ම තුනක් බවයි. ඔවුන් නම් කෝපාවිෂ්ඨ කාන්තාවක, හින්දි බස කථාකරන මුස්ලිම්වරයකු, සහ මානසිකව දුර්වල පිරිමි ළමයෙකි. රාඝවාගේ පවුල කට්ටඬියකු ගෙන්වා ගන්නා අතර, ඔහු සාර්ථකව රාඝවාගේ සිරුරෙන් ආත්මය පලවා හරියි. සිරගත කළ කාන්තා භූතාත්මය ඇගේ කථාව හෙළි කරයි.

කාංචනා (සරත්කුමාර්) යනු සංක්‍රාන්තිලිංගිකයකු වන අතර ඇගේ දෙමාපියන් ඇයව අත්හැර දමා ඇත. කාරුණික මුස්ලිම්වරයකු වන අක්බර් බායි (බාබු ඇන්ටනි) ඇයව හදාවඩා ගනියි. ඔහුට මානසික දුබලතාවකින් පෙළෙන පුත්‍රයකු ද සිටියි. තමන්ට වෛදයවරියක වීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන කාංචනා තවත් සංක්‍රාන්තිලිංගික තැනැත්තකු වූ ගීතාව හදාවඩා ගනියි. ගීතාට හොඳින් ඉගැන්වීමට කාංචනා වෙහෙස වී වැඩ කරයි. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගීතා විදෙස්ගත වන විට, ගීතාගේ අපේක්ෂාව පරිදි අනාගතයේ දුප්පතුන් වෙනුවෙන් රෝහලක් තැනීමට කාංචනා ඉඩමක් මිලට ගනියි. නමුත් දුෂ්ට දේශපාලනඥ MLA ශංකර් (දේවන්) එම ඉඩම අයථා ලෙසින් පැහැර ගනියි. කෝපයට පත්වන කාංචනාව දේශපාලනඥයා විසින් මරාදමන්නේ උපායයක් මගිනි. මියයාමට පෙර ඇව ශංකර්, ඔහුගේ බිරිඳ සහ ගෝලයින් මරාදැමීමට ශපථ කරයි. එමෙන්ම ඔහු අක්බර් බායි සහ ඔහුගේ පුත්‍රයාව ද මරාදමයි. අනතුරුව ඔවුන්ගේ සිරුරු කාංචනාගේම ඉඩමේ වළදමනු ලැබේ.

කනගාටුවෙන් වුව ද, කට්ටඬියා ඇයව සිරකරයි. ඇගේ කථාව අසා රාඝවා හැඟීම්බර වේ. අන්තරායකර වුව ද, ඔහු නැවත වරක් සිය සිරුරට ඇතුළු වීමට කාංචනාට අවසර දෙයි. දේශපාලනඥයාව හමුවන රාඝවා/ කාංචනා ඔහුගේ ගෝලයින්ව බිහිසුණු ලෙස මරාදමයි. MLA රැකවරණ පතා නරසිංහ දේවාලය තුළට දිව යයි. නමුත් කාංචනාට එයට ඇතුළු වීමට තහනම් ය. නමුත් දෙවියන් ඉදිරියේ සාධාරණය ඉල්ලා සිටින ඇයට දේවාලය තුළට පිවිසීමට අවස්ථාව හිමි වේ. භූතාත්ම තුන එක්වී දේශපාලනඥයාව මරාදමයි. වසර කිහිපයකට පසු, කාංචනාගේ පැතුම පරිදි රාඝවා විසින් ගීතාට රෝහලක් තනවා දෙයි. එහි දී හෙළිවන්නේ උපකාර අවැසි විට ආධාරවීමට කාංචනා තවමත් රාඝවාගේ සිරුර තුළ සහජීවීව වෙසෙන බවයි.

චරිත නිරූපණය[සංස්කරණය]

ධ්වනිපථය[සංස්කරණය]

චිත්‍රපටයේ මුල් ධ්වනිපථය නිමවන ලද්දේ එස්. තාමන් විසිනි.[5]

පථ ලැයිස්තුකරණය
අංකය. ගීතයගී පදවැලගායක(යින්) කාලය
1. "නිල්ලු නිල්ලු නිල්ලු නිල්ලු"  රාඝවා ‍ලෝරන්ස්ටිප්පු  
2. "සංගිලි බුංගිලි"  වේල්මුරුගන්වේල්මුරුගන්  
3. "කරුප්පු පේරාලගා"  විවේගාසුචිත් සුරේෂන්, දර්ශනා කේටී  
4. "කෝඩියවානින් කදයා"  විවේගාශ්‍රීරාම්, එම්එල්ආර් කාර්තිකේයන් සහ මාලතී ලක්ෂ්මන්  

පිළිගැනීම[සංස්කරණය]

විචාරක ප්‍රතිචාරය[සංස්කරණය]

මෙම චිත්‍රපටය විචාරකයන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලැබී ය.[6][7][8] රෙඩිෆ් රචනා කොට ඇත්තේ: "මෙය නැරඹීමට වද දෙන්නකි. මෙය අපව ලොමු දැහැගන්වනවා පමණක් නොව ධ්වනිපථය පවා බියජනක ය. අනපේක්ෂිත ප්‍රහසනයක් ද මෙහි දක්නට ලැබේ".[9] ග්‍රේට් ආන්ධ්‍රා රචනා කොට ඇත්තේ: "ලෝරන්ස්ට නම් ඔහුගේ ඉලක්කය වූ දැවැන්ත ප්‍රේක්ෂක ජනකාය සාර්ථක වී ඇති බැව් පෙනේ. ඔහුගේ පෙර කෘතිය හා සැසඳීමේ දී මෙහි හොඳ ගැඹුරක් සහ හැඟීම්වල තියුණුභාවයක් දක්නට ලැබේ".[10] Sify රචනාකොට ඇත්තේ: "සමස්තයක් ලෙස, කාංචනා යනු වින්දනීය සම්බන්ධයක් වන අතර, වරක් නැරඹිය හැක".[11]

බොක්ස් ඔෆීස්[සංස්කරණය]

Sify අනුව ආයෝජනයේ ප්‍රතිලාභ අනුව කාංචනා 2011 වර්ෂයේ වඩාත් සාර්ථකම දෙමළ චිත්‍රපටය වේ.[1] INR7 කෝටි (US$1.1 මිලියන)ක පිරිවැයක් දරා නිපදවූ මෙම චිත්‍රපටය INR1.5 කෝටි (US$230,000)කට අලෙවිකරණය කෙරුණු අතර, එහි තෙලිඟු හඬකැවීම් අයිතීන් බෙල්ලම්කොන්ඩ සුරේෂ්ට අලෙවි කෙරුණේ INR4 කෝටි (US$620,000) කට ය. මෙම චිත්‍රපටය එහි ප්‍රදර්ශන කාලය අවසන් වන විට තමිල් නාඩුවෙන් පමණක් INR20 කෝටි (US$3.1 මිලියන)කට ආසන්න මුදලක් උපයාගෙන තිබිණි.[1]

සම්මාන[සංස්කරණය]

විජයි සම්මාන
1වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන

අනුගාමී කෘති සහ ප්‍රතිනිර්මාණ[සංස්කරණය]

2012 මුල් කාලයේ වාර්තා වූයේ රාඝවා ලෝරන්ස් මුනිහි තෙවන කොටස සෑදීමට සැලසුම් කොට ඇති බවයි.[12][13][14] එසේම, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෝරන්ස්ගේ සොහොයුරා විසින් නිරූපණය කරනු ඇතැයි වාර්තා පල විය. නමුත් ඒ වෙනුවට, ඔහු සිය සොයුරා සමග එම චිත්‍රපටයේ පසුබිම් නර්තනයක යෙදුණේ ය. ක්‍රමිකව මෙහි තෙවන චිත්‍රපටය වූ කාංචනා 2[14] 2015 අප්‍රේල් 17 දින මුදාහැරිණි. එය ද ආර්ථික අතින් සාර්ථක විය.

එසේම ලෝරන්ස් ෂාරුක් ඛාන් ප්‍රධාන නළුවා ලෙස යොදාගනිමින් කාංචනාහි හින්දි ප්‍රතිනිර්මාණයක් සිදු කිරීමට සූදානම් වන බවට වාර්තා පල විය. එසේ වී නම් එය ඔහුගේ මංගල බොලිවුඩ් අධ්‍යක්ෂණය වනු ඇත. මුලින් ‍ලෝරන්ස්ට සල්මන් ඛාන්ව එයට යොදා ගැනීමට අවශ්‍ය වූ බව පැවසෙතත්, එම කටකථා ප්‍රතික්ෂේප විය. සංජේ දත් ද වැදගත් චරිතයක් නිරූපණය කරනු ඇතැයි පැවසේ.[15]

දෙමළ ප්‍රභේදය බෙදාහැරි රාමා නාරායණන් විසින් මෙහි කන්නඩ ප්‍රතිනිර්මාණය වූ කල්පනා අධ්‍යක්ෂණය කළේ ය. මෙහි ප්‍රධාන චරිතය උපේන්ද්‍රා විසින් නිරූපණය කළ අතර, සායි කුමාර් මෙහි සංක්‍රාන්ති ලිංගික චරිතය නිරූපණය කළේ ය. ලක්ෂ්මී රායි විසින් ඇගේ මුල් චරිතයම මෙහි ද නිරූපණය කළ අතර, මෙම චිත්‍රපටය 2012 සැප්තැම්බරයේ මුදාහැරිණි.[16]

ඩොනල්ඩ් ජයන්ත විසින් අධ්‍යක්ෂණය කළ මෙහි සිංහල ප්‍රතිනිර්මාණය වූ මායා 3D තුළ මුල් චිත්‍රපටයේ සරත් කුමාර් නිරූපණය කළ කාංචනාගේ චරිතය නිරූපණය කළේ රංජන් රාමනායක විසිනි.[17] මෙය පිලිපීනය තුළ ඩා පොසෙස්ඩ් ලෙස ප්‍රතිනිර්මාණය විය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Lawrence`s Kanchana strikes gold
  2. "Friday Fiesta 220711 - Tamil Movie News". IndiaGlitz. 2011-07-22. සම්ප්‍රවේශය 2012-08-06.
  3. "'Kanchana', a big hit than expected". IndiaGlitz. 2011-07-22. සම්ප්‍රවේශය 2012-08-06.
  4. The New Indian Express - News on India, Politics, Business, Cricket &amp Sports[permanent dead link]
  5. Sheilah Wenning says: (2012-01-31). "Kanchana Muni — Part 2 (2011) Tamil MP3 Songs, Soundtracks, Music Album Download". Download South MP3. සම්ප්‍රවේශය 2012-08-06.{{cite web}}: CS1 maint: extra punctuation (link)
  6. "Kanchana review: Kanchana (Telugu) Movie Review — fullhyd.com". Movies.fullhyderabad.com. සම්ප්‍රවේශය 2013-06-24.
  7. "Kanchana Review". Behindwoods. 2011-07-04. සම්ප්‍රවේශය 2012-08-06.
  8. Ramachandran, Rohit (2011-07-22). "Kanchana Review". Nowrunning.com. සම්ප්‍රවේශය 2012-08-06.
  9. "Review: Kanchana is torture to watch". Rediff. 2011-07-15. සම්ප්‍රවේශය 2013-06-24.
  10. Published Date : 15-Jul-2011 06:33:45 GMT (2011-07-15). "'Kanchana' Review: Horror On Emotion". Greatandhra.com. සම්ප්‍රවේශය 2013-06-24.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  11. "Movie Review : Kanchana". Sify. සම්ප්‍රවේශය 2013-06-24.
  12. "Will There Be A Muni 3?". Behindwoods. 2012-03-01. සම්ප්‍රවේශය 2012-08-06.
  13. "Make way for 'Munni 3'! - Tamil Movie News". IndiaGlitz. 2012-02-29. සම්ප්‍රවේශය 2012-08-06.
  14. 14.0 14.1 Anupama Subramaniam DC chennai (2012-02-29). "Lawrence gearing up for a sequel". Deccan Chronicle. සම්ප්‍රවේශය 2012-08-06.
  15. Nabanita (2011-11-28). "Shahrukh Khan replaces Salman in Kanchana remake". OneIndia. සම්ප්‍රවේශය 2012-08-06.
  16. Ramchander (2011-11-03). "Upendra to remake Kanchana?". Oneindia. සම්ප්‍රවේශය 2013-06-24.
  17. "Ranjan as Kanchana". Gossip Lanka News. 2012-05-04. සම්ප්‍රවේශය 2012-08-06.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මුනි_2:_කාංචනා&oldid=607359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි