මුදුවේ අධිපති

විකිපීඩියා වෙතින්
මුදුවේ අධිපති
මුදුවේ අධිපති ග්‍රන්ථ ත්‍රිත්වය
කර්තෘජේ. ආර්. ආර්. ටොල්කීන්
රටඑක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදය
ප්‍රකාශකයාඇලන් සහ අන්වින්
ප්‍රකාශිත දිනය
  • 1954 ජූලි 29
  • 1954 නොවැම්බර් 11
  • 1955 ඔක්තෝබර් 20
මාධ්‍ය වර්ගයමුද්‍රිත (ඝනකම් කවර සහ තුනී කවර)
ඕසීඑල්සී1487587
පුර්වගමනය වන්නේහොබිට්ටා
අනුගත වන්නේටොම් බොම්බඩිල්ගේ වීර ක්‍රියා

මුදුවේ අධිපති යනු ඉංග්‍රීසි ජාතික කතුවරයෙකු සහ ශාස්ත්‍රධරයෙකු වූ ජේ. ආර්. ආර්. ටොල්කීන් විසින් රචනා කරන ලද උස්-මායා ප්‍රබන්ධ නවකතාවකි. එම කථා පුවත ආරම්භ කරන ලද්දේ 1937 හි රචිත ටොල්කීන්ගේ හොබිට්ටා මායා ප්‍රබන්ධ නවකතාවේ දෙවන කොටස ලෙස වුවද, එය පසුව බොහෝ ලෙස වඩා වර්ධනය විය. 1937 සහ 1949 අතර කාලය තුල කොටස් වශයෙන් ලියන ලද මුදුවේ අධිපති කෘතිය, මිලියන 150කට වැඩි පිටපත් සංඛ්‍යාවකින් ලෝකයේ ඉහලින්ම විකුනුණු කෘතියකි[1].

කෘතියේ ග්‍රන්ථ නාමයෙන් සඳහන් වන්නේ පුවතේ ප්‍රධාන එදිරිවාදියා වන සව්රොන් නම් අඳුරු අධිපතියායි. පෙර යුගයකදී ලෝක පාලනය සඳහා තැනවූ බල සම්පන්න මුදු සමූහයක් පාලනය කිරීම උදෙසා ඔහු ඒවාට වඩා උසස් වූ එකම මුදුවක් තැනුවේය. කෝරළය නම් හොබිට්ටන්ගේ ගම් පෙදෙසේ සිට, මධ්‍ය-ලෝකයේ අන් දේශ හරහා මුදුවේ යුද්ධය සිදුවූ කාළ වකවානුව මෙම වෘතාන්තයට ඇතුලත්ය. හොබිට්ටන් වන ෆ්‍රෝඩෝ බැගින්ස්, සැම්වයිස් "සෑම්" ගැම්ජී, මෙරියාඩොක් "මෙරී" බ්‍රැන්ඩිබක් සහ පෙරිග්‍රින් "පිපින්" ටුක් සහ, ඔවුන්ගේ ප්‍රධාන මිත්‍රපාක්ෂික සහචරයන් වන ඇරගෝන් නම් උතුරු දේශ වන භටයා සහ බොරොමීර් නම් ගොන්ඩෝරයේ සේනාපතිවරයා, ගිම්ලි නම් වාමන රණශූරයා, ලෙගොලාස් හරිතපත නම් එල්ව කුමරා සහ ගැන්ඩල්ෆ් නම් මායාකරුවා එහි ප්‍රධාන චරිත වෙයි.

මෙම කෘතිය කොටස් දෙකකින් පළමු වෙළුම ලෙස (සිල්මරිලුවත දෙවන වෙළුම ලෙසින්) ප්‍රකාශයට පත් කරන්නට මුලින්ම අදහස් කෙරුණද, ප්‍රකාශක විසින් මේ අදහස ප්‍රතික්ෂේප කරන ලදී[2]. ආර්ථික හේතු මත මෙය තනි ග්‍රන්ථයක් ලෙස නොව, කොටස් තුනක් ලෙස 1954 ජූලි 29 සහ 1955 ඔක්තෝබර් 20 යන වසරක වකවානුව ඇතුලත ප්‍රකාශයට පත් කරන ලදී[2]. මෙම කොටස් තුන 'මුදුවේ සන්ධානය', 'කුළුණු ද්විත්වය' සහ 'රජුගේ පුනරාගමනය' ලෙස නම් කරන ලද අතර එක කෘතියක් තුල කොටස් දෙකක් බැගින් වෘතාන්තය කොටස් 6 කට බෙදා ඇත. මීට අමතරව පසුබිම් තොරතුරු සහ සිතියම් ආදියද ඇතුලත් කොට මෙම ග්‍රන්ථ අවසානයේ උපග්‍රන්ථද කීපයක්ද යොදා ඇත. සමහර මුද්‍රණ මෙම සියලුම ප්‍රකාශන එකතු කොට එක ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශනයට පත් වී ඇත. මුල් ප්‍රකාශනයෙන් පසුව, එය බොහෝ වතාවක් මුද්‍රණය වී ඇති අතර භාෂා 38කට පරිවර්තනය වී ඇත.

ටොල්කීන්ගේ නිර්මාණයේ මූල සහ තේමා ඉමහත් ලෙස විශ්ලේෂණය වී ඇත. මෙය තනිව ගත් කල මහත් නිර්මාණයක් වුවද, එය ටොල්කීන් විසින් 1917 සිට ඇරඹි මහා වීර කාව්‍යයක අවසාන අදියර වෙයි[3].  ඔහුගේ මුල් කෘති සහ මුදුවේ අධිපති වෙනුවෙන් ටොල්කීන්, වාග් විද්‍යාව, ජනප්‍රවාද‌, ආගම, ඔහු තුල කාර්මීකරණයට තිබූ අකමැත්ත, පළමු ලෝක යුද්ධයේ ඔහුගේ අත්දැකීම් [4] සහ පැරණි මායා ප්‍රබන්ධ වල අනුසාරය ලබා ගත්තේය. ඒ වාගේම, මුදුවේ අධිපති වර්තමාන මායා ප්‍රබන්ධ කෘති වලට ලබා දී ඇති ආභාෂය කෙතරම්ද යත්, "Tolkienian"(ටොල්කීනුක) and "Tolkienesque" (ටොල්කීනාකාර) යන වචන ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබදකෝෂයට පවා ඇතුලත් වී ඇත.

අදටත් පවත්නා මුදුවේ අධිපති කෘතියේ ප්‍රකට බව ජනප්‍රිය සංස්කෘතියේ බොහෝ අංග වලට එක්වී ඇත. මේ හේතුවෙන්, විවිධ සාමාජික සංගම්, කතුවරයා ගැන ලියැවුණු පොත්පත්, ඉන් ආභාෂිත සාහිත්‍ය, චිත්‍ර, සංගීතය, චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, විදෘශ්‍ය ක්‍රීඩා, පුවරු ක්‍රීඩා ආදී නොයෙක් දේ බිහි වී ඇත. මුදුවේ අධිපති සම්මානලාභී ගුවන් විදුලි, සිනමා සහ වේදිකා අනුවාදයන් බවටද පත් වී ඇති අතර, 2003 දී එය බ්‍රිතාන්‍යයේ සාදරණීයම ග්‍රන්ථය ලෙස බීබීසීය මගින් නම් කරන ලදී[5].

කථා සාරාංශය[සංස්කරණය]

ප්‍රස්තාවනාව[සංස්කරණය]

කෘතියේ කථා පුවතට වසර දහස් ගණනකට පෙරාතුව එල්ව, මිනිස් සහ වාමන අධිපතීන් පැලඳු බලයේ මුදු පාලනය කිරීම සහ දූෂිත කිරීම සඳහා අඳුරු අධිපති සව්රොන් එකම මුදුව නිමවූයේය. ගිල්-ගලාඩ් මහා එල්ව රජු ප්‍රමුඛ එල්වයන්ගේ සහ එලෙන්දිල් රජු ප්‍රමුඛ මිනිසුන්ගේ අවසාන සන්ධානයක් සව්රොන්ව පරාජයට පත් කළේය. අවසාන සටනේදී එලෙන්දිල් රජුගේ පුත්‍ර ඉසිල්දූර් සව්රොන්ගේ අතින් එකම මුදුව වෙන් කල අතර, එහෙයින් සව්රොන්ගේ භෞතික ශරීරය ඔහුට අහිමි විය. ඉසිල්දූර් එම මුදුව තම පරපුරේ පාරම්පරික උරුමය ලෙස තම සන්තකයට ගත්තද, පසුව ඔර්කයන්ගේ ප්‍රහාරයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත් වූ හෙයින් මුදුව අන්දුයින් නදියේ අතුරුදන්ව ගියේය.

වසර දෙදහසකට පමණ පසු, දියෙගොල් නම් ගඟබඩ වෙසෙන ජනයාගෙන් අයෙකු මුදුව සොයා ගත්තේය. ඔහුගේ මිත්‍රයා වූ ස්මීගොල් මුදුවේ බලපෑමට යටත් ව මුදුව ලබා ගැනීම සඳහා ඔහුගේ සගයාව මරා දැමුවේය. ගමින් පිටුවහල් වුණු ස්මීගොල් මීදුම් කඳු පන්තියේ සැඟව ගත්තේය. මුදුව ඔහු හට දිගු ආයු කාලයක් ලබා දුන් අතර, වසර සිය ගණනක් තිස්සේ ඔහුව විකෘතිමත් කොට ගොලම් ලෙසින් හැඳින්වුණු සත්ත්වයෙක් බවට පත් කළේය. ඔහුගේ "වස්තුව" වූ මුදුව දිනක් ඔහු අතින් නැතිවූ අතර හොබිට්ටා කෘතියේ කියවෙන සිද්ධි මාලාව නිසා කෝරළයේ හොබිට්ටෙකු වූ බිල්බෝ බැගින්ස් හට එය හමු විය. මේ අතර වාරයේ සව්රොන් නව ස්වරූපයක් ගෙන මෝඩෝර දේශයේ ඔහුගේ බලකොටුව අත්පත් කර ගත්තේය. ගොලම් ඔහුගේ නැතිවූ මුදුව සොයා යන අතර සව්රොන් විසින් ඔහුව අල්ලාගනු ලදුව, මෝඩෝරයට ගෙන ගොස්  මුදුව පිලිබඳ තොරතුරු සඳහා වධහිංසා පැමිණුවේය. ගොලම් මාර්ගයෙන් මුදුව කෝරළයේ බැගින්ස් නම් අයෙකු සන්තකයේ ඇති බව දැන ගන්නා සව්රොන්, නැවතත් බලයේ මුදුව ලබා ගැනීම සඳහා ඔහුගේ අඳුරු හේවායින් වන නස්ගූල් යන මුදුප්‍රේතකයන් නව දෙනා කෝරළයට පිටත් කළේය.

මුදුවේ සන්ධානය[සංස්කරණය]

කතා පුවත ඇරඹෙන්නේ කෝරළ ගම් පෙදෙසේ වෙසෙන ෆ්‍රෝඩෝ බැගින්ස් හට ඔහුගේ ඥාති සහෝදරයා සහ භාරකරු වන බිල්බෝ බැගින්ස් විසින් මුදුව උරුම වීමෙනි. දෙදෙනාගෙන් කිසිවෙකුත් මුදුවේ සැබෑ ස්වභාවය පිලිබඳ නොදන්නා අතර, බිල්බෝගේ පැරණි මිතුරෙක් වන අළු ලෝගුධාරී ගැන්ඩල්ෆ් නම් මායාකරුවා එය සව්රොන්ගේ මුදුව බවට සැක කරයි.  වසර දහහතකට පසුව එය සැක හැර දැනගන්නා ඔහු ෆ්‍රෝඩෝ හට මුදුවේ ඉතිහාසය කියා දී එය කෝරළයෙන් පිටතට ගෙනියන ලෙස අවවාද කරයි. තම ගෙවතුපාලක සහ අත් උදව්කරු වන සැම්වයිස් "සෑම්" ගැම්ජී සහ ඥාති සහෝදරයන් වන මෙරියාඩොක් "මෙරී" බ්‍රැන්ඩිබක් සහ පෙරිග්‍රින් "පිපින්" ටුක් සමඟ ෆ්‍රෝඩෝ නිවෙස හැරදා පිටත් වෙයි.  මෝඩෝරයේ කළු අසරුවන්ට හසු වීමට ඔවුන් ඉතා ආසන්නයට පැමිණෙන අතර, ඔවුන් ගෙන් බේරීමට මිතුරන් සතර දෙනා කෝරළය සීමාවේ ඇති පැරණි වනාන්තරය හරහා යති. වනාන්තරයේ ජීවත් වන ටොම් බොම්බඩිල් යන සුවිශේෂී චරිතයක සහ ඔහුගේ  බිරිඳ වන ගෝල්ඩ්බෙරිගේ සහය එහිදී ඔවුන්ට ලැබෙයි.

හොබිට්ටන් සතර දෙනා බ්‍රී නම් ගම්මානයට ලඟා වෙන අතර, එහිදී  ගැන්ඩල්ෆ් විසින් ඔවුන්ට තබා යන ලද ලිපියක උපදෙසට අනුව දික්චරක නම් වනභටයෙකු ඔවුන්ට හමු වෙයි. ඔවුන්ගේ ආරක්ෂකයා සහ මඟපෙන්වන්නා ලෙස තමුන්ව තෝරා ගන්නා ලෙස දික්චරක ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. නැවතත් කළු අසරුවන්ගෙන් මිදීමට හැකි වන ඔවුන්, එකතුව බ්‍රී ගම්මානයෙන් පිටත් වෙති. සුළංගිර නම් ගිරි හිසෙහිදී ඔවුන් නැවතත් කළු අසරුවන්ගේ ප්‍රහාරයකට ලක් වන අතර, එහිදී ෆ්‍රෝඩෝ ඔවුන්ගේ ශාපලත් අසිපතකින් තුවාල ලබයි. ඔවුන්ව අනතුරෙන් බේරා ගන්නා දික්චරක, ඔවුන්ව රිවන්ඩෙල් නම් එල්ව නිවහන කරා රැගෙන යයි. මරණීය තුවාලයෙන් වේදනා විඳින ෆ්‍රෝඩෝට රිවන්ඩෙල් වෙත ලඟා වීමට පෙර නැවතත් කළු අසරුවන්ගේ පහර දීමක් පැමිණෙන අතර, බෘයිනෙන් ගං තොටේදී රිවන්ඩෙල්හි අධිපතියා වන එල්රොන්ඩ් එල්ව උතුමන් විසින් නදී ජලය නඟා ඔවුන්ව මැඩ පවත්වයි.

රිවන්ඩෙල්හි එල්රොන්ඩ්ගේ සුව සත්කාර මධ්‍යයේ ෆ්‍රෝඩෝ සුවය ලබයි. එල්රොන්ඩ් විසින් කැඳවූ සභාවක් සව්රොන්ගේ ඉතිහාසය සහ මුදුව සාකච්ඡාවට බඳුන් කරයි. දික්චරකගේ සැබෑ නම ඇරගෝන් බවත් ඔහු ඉසිල්දූර්ගේ කිරුලෙහි උරුමක්කරු වන බවත් හෙළිවෙයි.  මායාකරුවන්ගේ ප්‍රධානියා වන ධවල ලෝගුධාරී සරුමාන් නම් මායාකරුවා ඔවුන්ට ද්‍රෝහී වී තම ස්වකීය ආධිපත්‍යයක් නංවන බව ගැන්ඩල්ෆ් හෙළි කර සිටී. සභාව තීරණය කරනුයේ මුදුව විනාශ කල යුතු බවත්, එය කල හැක්කේ මුදුව නිමැවුණු මෝඩෝරයේ බිහිසුණු ගිනි කන්දේදී පමණක් වන බවත්ය. මෙම කර්තව්‍යය ෆ්‍රෝඩෝ භාර ගන්නා අතර, ගැන්ඩල්ෆ්ගේ අවවාද අනුව එල්රොන්ඩ් විසින් ඔහු හට සහචරයන් තෝරා පත් කරයි. මෙම මුදුවේ සන්ධානයට නව දෙනෙක් ඇතුලත් වන අතර ඔවුන්: ෆ්‍රෝඩෝ, සෑම්, මෙරී, පිපින්, ඇරගෝන්, ගැන්ඩල්ෆ්, ගිම්ලි නම් වාමනයා, ලෙගොලාස් නම් එල්වයා සහ ගොන්ඩෝරයේ අධිපති සහ භාරකරුගේ පුත්‍ර බොරොමීර් නම් මිනිසා වෙයි.

ඔවුන්ගේ ගමනේදී මීදුම් කඳු පන්තිය තරණය කිරීමේ වෑයම අසාර්ථක වූ පසුව, ඊට වඩා බියකරු මාර්ගයක් වන මෝරියා පතල් හරහා යාමට සන්ධානයට සිදු වෙයි. මෝරියාවේ ප්‍රාකාර ඉදිරියේ ඇති දියේ වෙසෙන මුරකරුවා නම් භයානක සත්ත්වයාගෙන් මිදී ඔවුන් පතල් වලට ඇතුළු වන අතර, එහිදී පෙර කලක පතල් අත්පත් කර ගැනීමට ගිය බාලින් නම් වාමනයා සහ පිරිසට සිදුවූ දේ ගැන දැන ගනී.  ඔර්ක ප්‍රහාරයකට ලක් වන ඔවුන් ඉන් පසු පුරාණ ලෝකයේ යක්ෂයෙකු වන බැල්රොගයෙකු විසින් හඹා එනු ලැබෙයි. බැල්රොගයා හට මුහුණ පාන ගැන්ඩල්ෆ් ඔහු සමඟම ආගාධයට ඇද වැටෙයි. ඉතිරි පිරිස දිවි ගලවා ගන්නා අතර, ලොත්ලෝරියෙන් නම් එල්ව වනයේ පිහිට සොයති. එහිදී ඔවුන් හට එහි අධිපතියන් වන ගලාද්‍රියෙල් සහ කෙලෙබෝන් විසින් උපදෙස් සහ නවාතැන් ලැබෙයි.

ලොත්ලෝරියෙන්හිදී ගිමන් නිවාගන්නා සන්ධානය, ගලාද්‍රියෙල් ප්‍රදානය කරන බෝට්ටු මාර්ගයෙන් අන්දුයින් නදිය ඔස්සේ ගමන නැවතත් අරඹති.  අමොන් හෙන් නම් ගිර අසලදී සියල්ලෝ විවේක ගන්නා අතරතුර, ගිර මුදුනේ තනි වන ෆ්‍රෝඩෝගෙන් මුදුව උදුරා ගන්නට බොරොමීර් තැත් කරයි. ඔහු මුදුව පැළඳ බොරොමීර්ගෙන් ගැලවෙන අතර සන්ධානයේ වෙන කිසිවෙකු මුදුවේ බලයට යට නොවීම උදෙසා තනිවම මෝඩෝරයට යා යුතු බවට අධිෂ්ඨාන කර ගනී. ඔහුගේ අභිප්‍රාය අනුමාන කරන සෑම් ඔහුව සොයා ගන්නා අතර, ෆ්‍රෝඩෝ සමඟ මෝඩෝරයට යාමට පිටත් වෙයි.

ප්‍රධාන චරිත[සංස්කරණය]

මුදුවේ අධිපති වෘතාන්තයේ එන සමහර චරිත නිසැකවම වීර චරිත වන අතර, සමහරෙක් නිසැකවම දුෂ්ට චරිත වේ. කෘතියේ එන චරිත වල මෙම පැහැදිලි කළු සුදු ස්වභාවය ගැන යම් යම් විවේචන එල්ල වී තිබුණද, සමහර සුදු චරිතවල අඳුරු පැතිකඩවල් ඇති අතර, සමහර දුෂ්ට චරිත වල යහපත් ආවේග ඇති බව පෙන්වා දී ඇත. එම නිසා පහත ඇති වීර චරිත සහ එදිරිවාදී චරිත ලැයිස්තුව පෙන්වා දෙන්නේ එම චරිත වල සාමාන්‍ය වර්ගීකරණයකි.

වීර චරිත[සංස්කරණය]

එදිරිවාදී චරිත[සංස්කරණය]

  • සව්රොන්, අඳුරු අධිපතියා සහ ග්‍රන්ථ නාමයේ කියැවෙන මුදුවේ අධිපතියා. අනුහසින් පිරිහී පාපයට පෙළඹුණු මෙම මායාවරයා දෙවැනි යුගයේදී එරෙගියොන් එල්වයන් හට බල සම්පන්න මුදු නිමැවීමට උදව් කරන ලදී.
  • නස්ගූල් හෙවත් මුදුප්‍රේතකයෝ, සව්රොන් විසින් ප්‍රදානය කරන ලද බල සම්පන්න මුදු නවය නිසා අඳුරේ බලයට නතුව ඔහුගේ වහල් භාවයට පත් මනුෂ්‍ය රජවරු
  • අන්ග්මාරයේ මායා රජු, නස්ගූල්වරුන්ගේ අධිපතියා සහ සව්රොන්ගේ සේනා මෙහෙයවන බලවත්ම හේවායා.
  • ධවල ලෝගුධාරී සරුමාන්, එකම මුදුව ලබා ගන්නට තැත් කරන මායාකරුවෙක්. ඔහු ගැන්ඩල්ෆ් ඇතුළු මායාකරුවන්ගේ පිරිසේ ප්‍රධානියාද, ධවල සභාවේ ප්‍රධානියාද ව සිටි අතර, පලන්තීරය හරහා සව්රොන් විසින් දූෂ්‍ය කරන ලදී.
  • ග්‍රිමා බුජඟදිව, රහසින් සරුමාන්ගේ සේවකයෙක් ලෙස තියොඩන්ගේ මනස කූට අනුශාසනා හරහා දූෂ්‍ය කළ රෝහානයේ ද්‍රෝහියෙක්.
  • ගොලම්, මුදුවේ බලපෑම නිසා දූෂිත සහ උමතු වූ ස්මීගොල් නමින් ගඟබදව පෙර විසූ හොබිට්ටෙක්, නැවතත් එය හිමි කර ගැනීමට මාන බලන මුදුවේ පෙර හිමිකරුවෙක්.
  • ශීලොබ්, මිනාස් මොර්ගුල් කුළුණ ඉහලින් ඇති කිරිත් උන්ගොල් කපොල්ලේ වෙසෙන මහා මකුළුදෙනක්
  • ඩූරින්ගේ විපත, මෝරියා පතල් ගැඹුරේ වෙසෙන පෙර කල මොර්ගොත්ට සේවය කල බැල්රොගයෙක්
  • සව්රොන්ගේ මුව, හෙවත් බර-දූර් කුළුණේ දෙවැනි ආඥාපතියා. මෝඩෝරයේ කාළ දොරටුව ඉදිරියේ අවරදිග හමුදාවන් පෙරට ආ ප්‍රධාන දූතයා.

අදහස සහ නිමැවුම[සංස්කරණය]

පසුබිම[සංස්කරණය]

මුදුවේ අධිපති ආරම්භ කෙරුණේ ජේ. ආර්. ආර්. ටොල්කීන්ගේ 1937 පළ වූ හොබිට්ටා කෘතියට දෙවැනි කොටසක් ලෙසය. හොබිට්ටා කෘතියේ ජනප්‍රියත්වය නිසා ප්‍රකාශක සමාගම වූ ජෝර්ජ් ඇලන් සහ අන්වින්, කතුවරයාගෙන් අනුගත කෘතියක් ඉල්ලා සිටියහ. ටොල්කීන් තම මන්දගාමී රචනා විලාසය ගැන ඔවුන්ට අනතුරු හැඟවූ අතර, ඒ වන විට රචනා කර තිබූ කතා කිහිපයක් ඔවුන්ට ඉදිරිපත් කළේය. සිල්මරිලුවතෙහි මුල්  කටු සටහන් කීපයක් ප්‍රතික්ෂේප කල ප්‍රකාශකයෝ, ජනප්‍රිය වීමට ඉතා පහසු හොබ්ට්ටන් ගැන ලියැවුණු කතා ඉල්ලා සිටියහ. එහෙයින් එවිට 45 හැවිරිදි ටොල්කීන්  පසු කලෙක මුදුවේ අධිපති බවට පත් වූ කතා පුවත රචනා කරන්නට පටන් ගත්තේය. වසර 12ක ඇවෑමෙන් පසු 1949 දී එය අවසන් කෙරුණ අතර,  කතුවරයාට 63 වසරක් පිරෙනා 1955 වන තෙක් මුළුමනින්ම ප්‍රකාශයට පත් කරන්නට නොහැකි විය.

ලිවීම[සංස්කරණය]

ප්‍රකාශකයන්ගේ ඒත්තු ගැන්වීම නිසා ඔහු තම  "නව හොබිට්ටා" කෘතිය 1937 දී ආරම්භ කළේය. අසාර්ථක ඇරඹුම් කිහිපයකට පසු එකම මුදුව සම්බන්ධ කතා පුවත ඉදිරිපත් විය. පළමු පරිච්ඡේදය වූ A Long-expected Party ("බලාපොරොත්තුවෙන් සිටි සාදයක්") සම්පූර්ණයෙන්ම කතුවරයාගේ මනසේ පිළිසිඳ ගත් නමුත්, බිල්බෝගේ අතුරුදන් වීම, මුදුවේ විශේෂත්වය සහ "මුදුවේ අධිපති" යන ග්‍රන්ථ නාමය 1938 වන තෙක් සම්පූර්ණ වූයේ නැත. ඔහු මුලදී රචනා කරන්නට සැලසුම් කලේ, තම නිධාන සේසතම වියදම් කරගත් බිල්බෝ තව තවත් වස්තුව උපයා ගැනීමේ වීර චාරිකාවකට සැරසෙන අයුරුයි. නමුත් බලයේ මුදුව පිලිබඳ කතුවරයාගේ උනන්දුව වැඩිවූ හෙයින් එය නව වෘතාන්තයේ කේන්ද්‍රය ලෙස යොදාගත්තේය. එය වැඩි දියුණු වෙන විට, ඔහුගේ මහා මිත්‍යා ප්‍රබන්ධය වූ සිල්මරිලුවතෙහි ආ විවිධ මූලකරුණුද එයට සම්බන්ධ කර ගත්තේය.

ටොල්කීන් පූර්ණ කාලීන අධ්‍යාපනික තනතුරක් හෙබවූ නිසාද, ආර්ථික තත්වය යහපත් කර ගැනීම සඳහා විභාග පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට සිදුවූ නිසාද, කෘතිය  රචනා කිරීම සිදු වූයේ සෙමිනි. 1943 වසරේ ඔහු එය මුළුමනින්ම පාහේ අතහැර දමා තිබුණද එය නැවත 1944 දී ආරම්භ කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ සේවයේ නියුතු සිය පුතු වූ ක්‍රිස්ටෝපර් ටොල්කීන් වෙත කොටස් වශයෙන් යැවීම වෙනුවෙනි.  1946 දී ඔහු නැවත බලවත් උත්සාහයක් යෙදවූ අතර, ඔහු නිමකරන ලද අත්පිටපත ප්‍රකාශකයන්ට පෙන්වන ලදී.  ඊට පසු වසරේ මූලික රචනය නිම වූ නමුත් ටොල්කීන්  මුල් කොටස් වල සංශෝධනයන් කළේ 1949 වසරේදීය. පිටු 9250 කින් යුක්ත ටොල්කීන්ගේ මුදුවේ අධිපති  මුල්පිටපත දැන් Marquette විශ්ව විද්‍යාලයයේ  ටොල්කීන එකතුවෙහි දැක ගන්නට පුළුවන.

ප්‍රකාශන ඉතිහාසය[සංස්කරණය]

මේ අදියර වන විට, බොහෝ වශයෙන් රචනා කර තිබූ නමුත් සංශෝධනය නොකරන ලද සිල්මරිලුවතද මුදුවේ අධිපති සමඟම ප්‍රකාශයට පත් කිරීමට ටොල්කීන්ට අවශ්‍ය වූ නමුත් ජෝර්ජ් ඇලන් සහ අන්වින් ප්‍රකාශකයන් එයට එකඟ නොවුහ. මේ පිලිබඳ ඇතිවූ මතභේදය හේතුවෙන් 1950 වසරේදී ග්‍රන්ථ ප්‍රකාශනය කොලින්ස් ප්‍රකාශකයන් වෙත ඉදිරිපත් කෙරිණ. එහෙත් මිල්ටන් වෝල්ඩ්මන් නම් ටොල්කීන්ගේ කොලින්ස් ප්‍රකාශක සම්බන්ධීකරු මුදුවේ අධිපති කෘතියද මහත් ලෙස කෙටි කල යුතු බව ඔහුට දන්වා සිටියේය. 1952 වන විට ප්‍රකාශයට පත් කිරීමට ටොල්කීන්ට තිබූ අවශ්‍යතාවයට කොලින්ස් ප්‍රකාශකයන් එකඟ නොවූ නිසා, ඔහු නැවතත් ඇලන් සහ අන්වින් වෙත ඔහුගේ පිටපතේ කුමන හෝ කොටසක් ප්‍රකාශයට පත් කිරීමට කැමැත්ත දන්වා සිටියේය.

අච්චු සැකසීමේ ගාස්තු වලට වඩා අලෙවි ආදායම් අඩු විය හැකි බව සලකා බලා ග්‍රන්ථය වෙළුම් තුනකින්: මුදුවේ සන්ධානය (කොටස් I සහ II), කුළුණු ද්විත්වය (කොටස් III සහ IV), සහ රජුගේ පුනරාගමනය (කොටස් V සහ VI ඇතුළු උපග්‍රන්ථ)  ප්‍රකාශයට පත් කරන ලදී. උපග්‍රන්ථ, සිතියම් සහ සුචිය සකස් කිරීමට බොහෝ කල් ගතවූ බැවින් සැලසුම් කල දින වකවානු වලට වඩා ප්‍රමාදව 1954 ජූලි 29 ද, 1954 නොවැම්බර් 11 ද , 1955 ඔක්තෝබර් 20 ද යන දින වල කෘති ත්‍රිත්වය එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කරන ලදී. එක්සත් ජනපදයේ හෝටන් මිෆ්ලින් (Houghton Mifflin) ප්‍රකාශක විසින් මුදුවේ සන්ධානය 1954 ඔක්තෝබර් 21 වනදා ද, කුළුණු ද්විත්වය 1955 අප්‍රියෙල් 21 වනදා ද, රජුගේ පුනරාගමනය 1956 ජනවාරි 5 වනදා ද ප්‍රකාශයට පත් විය. රජුගේ පුනරාගමනය කෘතිය විශේෂයෙන්ම ප්‍රමාද වූයේ ටොල්කීන් විසින් එහි අවසානය තව දුරටත් සංශෝධනය කිරීම් සහ උපග්‍රන්ථ සකස් කිරීම නිසාය. කතා පුවතේ අවසානය පිලිබඳ වැදගත් හෝඩුවාවක් අඩංගු බැවින් ඔහු රජුගේ පුනරාගමනය යන නාමයට කැමැත්තක් දැක්වුයේ නැති නමුත් ප්‍රකාශකගේ අරමුණට අනුව එය එලෙසම පැවැත්වීය. කුළුණු ද්විත්වය යන නම ඔහු විසින් සිතාමතාම ඉදිරිපත් කලේ එම කුළුණු කුමන යුගලයද යන්න (ඔර්තංක සහ බර-දූර් හෝ මිනාස් ටිරිත්පුර සහ බර-දූර්) නොපැහැදිලිව ඉතිරි කිරීමේ අරමුණිනි.

ටොල්කීන් මුදුවේ සන්ධානය, කුළුණු ද්විත්වය, රජුගේ පුනරාගමනය යන නම් වලට කැමැත්තක් නොදැක්වූ අතර, ඔහුගේ යෝජනාව වූයේ එක් එක් වෙළුමේ අන්තර්ගත කොටස් නාම වල සම්පිණ්ඩනයකි. (මුදුවේ අධිපති පළමු වෙළුම: The Ring Sets Out සහ The Ring Goes South; දෙවන වෙළුම: The Treason of Isengard සහ The Ring Goes East; තෙවන වෙළුම: The War of the Ring සහ The End of the Third Age). නමුත් මේ නම් පසුව ප්‍රකාශක විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් පසුව ඔහු තවදුරටත් පළමු වෙළුම: The Shadow Grows, දෙවන වෙළුම: The Ring in the Shadow, තෙවන වෙළුම: The War of the Ring/The Return of the King යන නම් ද ඉදිරිපත් කළේය.

මෙම ග්‍රන්ථ මුලින්ම ප්‍රකාශයට පත් වූයේ ලාභ බෙදාගැනීමේ එකඟතාවයකට අනුවය. එයට අනුව අලෙවියෙන් ලැබෙන ආදායම් වියදම් වලට වඩා වැඩි වන තුරු ටොල්කීන් හට කර්තෘභාග හෝ අත්තිකාරම් නොලැබෙන නමුත් ඉන් පසුව ලාභයෙන් විශාල කොටසක් හිමිවේ. අවසානයේදී මුදුවේ අධිපති එදා මෙදා තුර ලියැවුණු ඉතා බහුලව විකිණුන ග්‍රන්ථයක් බවට පත් විය. 2003 වන විට එහි පිටපත් මිලියන 50ක් විකිණී තිබූ අතර එය 2007 වන විට එය මිලියන 150 ක් දක්වා වැඩිවී තිබුණි. එක්සත් රාජධානියේ 1990 වන තුරු ඇලන් සහ අන්වින් විසින් ප්‍රකාශිත එය ඉන් පසුව හාපර්කොලින්ස් මඟින් හිමිකාරත්වයට ගන්නා ලදී.

සංස්කරණ සහ සංශෝධන[සංස්කරණය]

ඒස් (Ace) පොත් ප්‍රකාශකයන්ගේ සංස්කාරක වූ ඩොනල්ඩ් ඒ. වොල්හයිම්ට අනුව 60 දශකයේ හෝටන් මිෆ්ලින් ප්‍රකාශකයන් එක්සත් ජනපදය තුල කෘතියේ හිමිකම් නිවැරදිව ආරක්ෂා නොකරන ලදී. මේ නිසා 1965 දී ඒස් පොත් ප්‍රකාශකයෝ ටොල්කීන්ගේ අනුදැනුමකින් තොරව සහ කර්තෘභාග නොගෙවා සංස්කරණයක් එලි දැක්වූ අතර, එයින් වික්ෂිප්තයට පත් ටොල්කීන් ඒ පිළිබඳව ඔහුගේ කියවන්නන් හට දන්වා සිටියේය. මින් කෝපයට පත් පාඨකයන්ගේ බල කිරීම නිසා ඒස් ප්‍රකාශකයෝ තම ප්‍රකාශනය ඉල්ලා අස්කර ගත් අතර, ටොල්කීන් හට ගෙවීමක් සිදු කළහ. ඉන් පසු නීතිමය ලෙස හිමිකම් ඇවුරුණු සහ නිවැරදි කිරීම් සිදුකල පිටපතක් ටොල්කීන් පිළියෙළ කල අතර, බැලන්ටයින් (Ballantine) සහ හෝටන් මිෆ්ලින් ප්‍රකාශයන් විසින් ප්‍රකාශයට පත් කල සංස්කරණ ඉතාමත් ඉහලින් එක්සත් ජනපදයේ විකිණුනේය. මෙම නව පිටපත මුදුවේ අධිපතිගේ දෙවන සංස්කරණය වූ අතර එය 1965 දී ප්‍රකාශයට පත් විය. ප්‍රථම බැලන්ටයින් මෘදු කවර පොත් එම ඔක්තෝබරයේ මුද්‍රණය වූ අතර ඒවා 250,000 ක් මාස දහයක් ඇතුලත් විකිණුනි. 1966 සැප්තැම්බර් 4 වන දින නිව් යෝර්ක් ටයිම්ස් වික්‍රිත ලයිස්තුවේ තෙවන ස්ථානය ලබා ගත් අතර, දෙසැම්බර් 4 වන විට පළමු ස්ථානය ලබාගෙන තිබූ අතර, එය සති අටක් දක්වා පවත්වා ගත්තේය. 1994 න් පසුව හෝටන් මිෆ්ලින් විසින් තම මුද්‍රණ වලට ටොල්කීන්ගේ සියලුම සංශෝධන එකතු කළ අතර ක්‍රිස්ටෝපර් ටොල්කීන්ගේ නිවැරදිකිරීම් සමඟ පරිගණකගත ඒකීය මුද්‍රණ පිටපතක් නිමවීය.

2004දී එළඹුණු 50 වන සංවත්සරය සඳහා ක්‍රිස්ටෝපර් ටොල්කීන්ගේ අධීක්ෂණය යටතේ වේන් ජී. හැමොන්ඩ් සහ ක්‍රිස්ටිනා ස්කල් මුදුවේ අධිපති පිටපත නැවතත් පරීක්ෂා කොට 1954 පටන් පැවතුණු නොගැලපීම් සහ වැරදි නිවැරදි කරන ලදී. සංස්කාරකවරුන්ගේ සහ කියවන්නන් දන්වා තිබූ තවත් නිවැරදි කිරීම් කරවා 2005 දී තවත් සංස්කරණයක් එලි දැක්විණ. 2014 දී එලි දැක්වුණු සංස්කරණයට තව දුරටත් නිවැරදි කිරීම් ඇතුලත් විය. 50 වන සංවත්සර මුද්‍රණය සහ තවත් මුද්‍රණ, ග්‍රන්ථ ත්‍රිත්වයම එකම වෙළුමකින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

කටු සටහන් වල ප්‍රකාශනය[සංස්කරණය]

ඔහුගේ මධ්‍ය-ලෝකයේ ඉතිහාසය ග්‍රන්ථ පෙළෙහි 6-9 වෙළුම් හරහා ක්‍රිස්ටෝපර් ටොල්කීන් මුදුවේ අධිපතිගේ කටු සටහන්, එහි නිර්මාණයේ විවිධ අදියර තම වියකන සහිතව 1988 සිට 1992 දක්වා ඉදිරිපත් කළේය. මෙම වෙළුම් සතර, The Return of the Shadow (සේයාවේ පුනරාගමනය), The Treason of Isengard (අයිසෙන්ගාඩ් ද්‍රෝහිකම), The War of the Ring (මුදුවේ යුද්ධය), සහ Sauron Defeated (සව්රොන් පරදී) වෙයි.

පරිවර්තන[සංස්කරණය]

විවිධ සඑලත්වන් සහිතව මුදුවේ අධිපති ග්‍රන්ථය අඩුම වශයෙන් භාෂා 56 කට වත් මේ වන විට පරිවර්තනය වී ඇත. වාග් විද්‍යාධරයෙකු වූ ටොල්කීන් විසින්ම මෙම පරිවර්තන බොහොමයක් අධ්‍යනය කරන ලද අතර, ඒවා පිලිබඳව ඔහුගේ අදහස් පල කරන ලදී.  ඕකෙ ඕල්මාර්ක් විසින් සිදු කල මුල් ස්වීඩන පරිවර්තනය පිලිබඳව ඔහුගේ තිබූ දැඩි අකැමැත්ත නිසා 1967 දී ටොල්කීන් "මුදුවේ අධිපති නාම පිලිබඳ මඟපෙන්වීමක්" යන උපදෙස් මාලාව පිළියෙළ කරන ලදී. ටොල්කීන්ට අනුව මුදුවේ අධිපති යනු එහිම එන කල්පිත ග්‍රන්ථයක් වන, වෙස්ට්‍රොන් යන කල්පිත බසින් ලියැවුණු Red book of Westmarch (බිල්බෝගේ  සටහන් පොත) හි පරිවර්තනයකි. එනිසා ඉංග්‍රීසියෙන් ලියැවුණු ඔහුගේම ග්‍රන්ථයද පරිවර්තනයක් ලෙස ඔහු සැලකුවේය. එනිසා ඔහු පරිවර්තකයන්ට මෙම මුල් වෙස්ට්‍රොන් බසින් ආ වචන සහ ඉංග්‍රීසි බසට ඔහු හැරවූ වචන අතර ඇති අන්තර් සබඳතා හැකි ලෙස පවත්වා ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

ප්‍රතිග්‍රහණය[සංස්කරණය]

මුදුවේ අධිපති ග්‍රන්ථයට ලැබුණු මුල් ප්‍රතිචාර මිශ්‍ර වුවද, සාමුහිකව ගත් කළ ඒවා ඉතාමත් ධනාත්මක වූ අතර ටොල්කීන්ගේ සාහිත්‍යමය මෙහෙය ඉතාමත් සුවිශේෂී බව පෙන්වා දී ඇත. සන්ඩේ ටෙලිග්‍රාෆ්හි ප්‍රථම විචාරය එය විසි වන සියවසේ ප්‍රබන්ධ අතර සුවිශේෂී තැනක් ගන්නා බව ප්‍රකාශ කළ අතර, සන්ඩේ ටයිම්ස් ප්‍රකාශ කළේ ඉංග්‍රීසි භාෂිත ලෝකය මුදුවේ අධිපති කියවා ඇති අය සහ කියවන්නට ඉන්නා අය ලෙස කොටස් දෙකකට බෙදී ඇති බවය. නිව්යෝර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන්ද මෙම ග්‍රන්ථයේ ඉහල ජනප්‍රියතාව නිසා වර්තමාන යුගයද පසු කොට පවතිනු ඇති බවට වර්ණනා කරන ලදී. ටොල්කීන්ගේ රචනාවල අගය කරන්නෙකු වූ ඩබ්ලිව්. එච්. ඕඩන් ප්‍රකාශ කළේ එය අග්‍රකෘතියක් බවත්, සමහර අංශවලින් ජෝන් මිල්ටන්ගේ Paradise Lost කෘතියද අභිභවා ගිය බවයි.

ටොල්කීන්ගේ රචනා විලාශය පණ්ඩිතමානී බවත්, සාහිත්‍ය සුරකීමේ ඔහුගේ අරමුණ සාහිත්‍යයට කළ නපුරක් බවත් නිව්යෝර්ක් ටයිම්ස් විචාරක ජූඩිත් ශුලෙවිට්ස්  විසින් ප්‍රකාශ කරන ලදී. නිව් රිපබ්ලික් හි විචාරක රිචඩ් ජෙන්කින්ස්ට අනුව කෘතියට කිසිදු මනෝමය ගැඹුරක් නැති අතර, එහි එන චරිත ජෛවයෙන් සහ සදාචාර ශක්තියෙන් තොරය.  ටොල්කීන් සාමාජිකයෙක් වූ Inklings නම් ඔක්ස්ෆර්ඩ් සාහිත්‍ය සංගමයේ විචාරද මිශ්‍ර විය. නමුත් එහි සාමාජික සී. එස්. ලුවිස් එය පැසසුවේ එහි අලංකාරය අසිපත් මෙන් පාසාරු කරන බවත්, එයට හදවත් බිඳිය හැකි බවත් ලෙසටය.

1957 දී මුදුවේ අධිපති අන්තර්ජාතික මායා ප්‍රබන්ධ සම්මානයෙන් (International Fantasy Award) පිදුම් ලැබීය. එය පිලිබඳ තිබූ විවේචන කෙසේ වෙතත්, 60 දශකයේ ඒස් සහ බැලන්ටයින් මුද්‍රණ නිසා එක්සත් ජනපදය තුල මුදුවේ අධිපති අතිශය ප්‍රචලිත විය. විසිවන සියවසේ ලියැවුණු ප්‍රකටම සහ ජනප්‍රියතම ග්‍රන්ථයක් බවට මුදුවේ අධිපති මේ වන විට පත්වී ඇත. 2003 දී බීබීසීය මඟින් එක්සත් රාජධානියේ සිදු කළ "Big Read" සමීක්ෂණයට අනුව එය ජාතියේ සාදරණීයම ග්‍රන්ථය බව හෙළි වුණි. 2004 දී ජර්මනියේ සහ ඕස්ට්‍රේලියාවේ සිදු කළ සමීක්ෂණ වලින්ද එය ඔවුන්ගේ ප්‍රියතම ග්‍රන්ථය බවට ප්‍රකාශ වූ අතර, 1999 දී ඇමසෝන් වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයන් හට ඉදිරිපත් කල සමීක්ෂණයකින් පසු එය සහස‍්‍රවර්ෂයේ ජනප්‍රියතම ග්‍රන්ථය බවට නම් කරන ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. https://www.thestar.com/entertainment/2007/04/16/tolkien_proves_hes_still_the_king.html
  2. 2.0 2.1 https://web.archive.org/web/20160303231904/http://www.tolkiensociety.org/wp-content/uploads/2014/03/LOTR-The-Tale-of-a-Text.pdf
  3. https://www.tolkiensociety.org/author/biography/
  4. https://web.archive.org/web/20060613130035/http://www.nationalgeographic.com/ngbeyond/rings/influences.html
  5. https://www.bbc.co.uk/arts/bigread/top100.shtml
"https://si.wikipedia.org/w/index.php?title=මුදුවේ_අධිපති&oldid=536154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි