මණ්ඩලගිරිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මැදිරිගිරියේ පිහිටා ඇති පුරාණ මණ්ඩලගිරි සංකීර්ණයට අයත් පිච්චමල් විහාර ගෙය
මැදිරිගිරිය වටදාගෙය

මණ්ඩලගිරිය හෙවත් මැදිරිගිරිය වටදාගෙය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය පිහිටි වටදාගෙයක් සහිත බෞද්ධ විහාරයකි.

ඉතිහාසය[සංස්කරණය]

මැදිරිගිරිය වටදාගෙය හා සම්බන්ධ පළමු ඉතිහාසමය තොරතුර මහාවංශයෙන් හමුවේ. ඊට අනුව කනිට්ඨතිස්ස රජතුමා (ක්‍රි.ව. 164-192) විසින් මණ්ඩලගිරි විහාරයේ උපෝසථඝරයක් කරවූ බව සඳහන් වේ.[1] ඒ බැවු තහවුරු කෙරෙන පැරණි බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් කැට කිහිපයක් ද මෙම ස්ථානයෙන් හමුවී තිබේ.[2] මේ නිසා මෙම විහාරයේ ඉතිහාසය කනිට්ඨතිස්ස රජ සමයටත් එහා දිවයන්නක් බවට විශ්වාස කෙරේ.

මැදිරිගිරිය හා සම්බන්ධ දෙවන ඉතිහාසමය සඳහන, හතරවන අග්ගබෝධි රජු (ක්‍රි.ව. 677-683) දවස හමුවේ.[2] එම සමයේ විහාරයේ කුඩා ස්තූපයට වටදාගෙයක් ඉදිකල බව විස්තර වේ. මීට අමතරව දෙවන සේන රජු (ක්‍රි.ව. 853–887) සමයේ මෙම විහාරස්ථානයේ නඩත්තු කටයුතු සඳහා ගම් වරයක් පූජා කොට තිබේ.

චෝල ආක්‍රමණ සමඟ සිදුවූ අනුරාධපුරයේ බිඳ වැටීම නිසා මැදිරිගිරිය ඇතුළු සිද්ධස්ථාන රැසක් විනාශයට පත් විය. පසුව චෝලයින් පරදා විජයබාහු රජු (ක්‍රි.ව. 1070 – 1110) පොළොන්නරුවේ රජ වීමෙන් අනතුරුව විනාශයට පත්ව තුබූ මැදිරිගිරිය විහාරය නැවත ප්‍රතිසංස්කරණය කොට එහි නඩත්තු කටයුතු සඳහා ගම්වරද පූජා කරන ලද බව මහාවංශයෙහි සඳහන් වේ.[2]

ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

ඝන වනාන්තරයකට යටව පැවැති මෙම භූමිය 1897 වර්ෂයේදී එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගනු ලැබූ අතර පසුව එහි ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අරඹන ලදී. බෞද්ධ ස්ථානයක මුදලට වැඩ කිරීම නොවටී යැයි සැළකීම නිසා මෙම භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් බෞද්ධ ප්‍රජාව ඉවත්ව සිටි බවත්, මුස්ලිම් ප්‍රජාව විසින් එම කටයුතු සිදු කල බවත් පැවසේ. 1945 වර්ෂයේදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සෙනරත් පරණවිතානයන්ගේ අධීක්‍ෂණය යටතේ නිම කරන ලදී.[3]

භූමියේ වූ පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් 1937 වසරේදී වටදාගෙය අවට අක්කර 600ක් පුරාවිද්‍යා තහනම් ඉඩමක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූවත්, මිනිසුන් විසින් පදිංචිවීම සදහා ඉඩම් අත්පත්කර ගැනීම නිසා වර්තමානයේ එම ප්‍රමාණය අක්කර 250කට පමණ සීමා වී තිබේ.

අනෙකුත් නටඹුන්[සංස්කරණය]

වටදාගෙය හැරුණු විට විහාර සංකීර්ණයෙහි පොකුණු, ශිලා ලිපි, පිළිම ගෙවල් හා ස්ථූපයක් දැක ගත හැකි වේ.

පිච්ච මල් විහාරය[සංස්කරණය]

වටදාගෙයට ආසන්නව එකිනෙක සම්බන්ධිතව ගොඩ නැගූ අඩි 20×20 ප්‍රමාණයේ පිළිම ගෙවල් ද්විත්වයක් දැක ගත හැකිවේ. එහි හිටි බුද්ධ ප්‍රථිමා තුනක් හා හිදි බුද්ධ ප්‍රථිමා දෙකක් දැකගත හැකිවේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මැදිරිගිරිය වටදා ගෙය". බුදුසරණ අන්තර්ජාල කලාපය. Retrieved 2015 නොවැම්බර් 23. Check date values in: |accessdate= (help)
  2. 2.0 2.1 2.2 "පින්කර නොමැත නොදුටු ව හොත් ඔබේ නෙතු මැදිරිගිරිය වටදාගෙයි සැබෑ තතු". සිළුමිණ. Retrieved 2015 නොවැම්බර් 23. Check date values in: |accessdate= (help)
  3. "මැදිරිගිරිය වටදාගේ". අමේසිං ලංකා. Retrieved 2015 නොවැම්බර් 22. Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මණ්ඩලගිරිය&oldid=399905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි