වාරණ රජ මහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(මංගල විහාරය, වාරණ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
වාරණ රජ මහා විහාරය
වාරණ රජමහා විහාරය 1.PNG
වාරණ රජමහා විහාරයේ මැද මළුවෙහි වූ චෛත්‍යය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

වාරණ රජමහා විහාරය වළගම්බා රජ සමයේ ඉදිකරවන ලද්දක් යැයි විශ්වාස කෙරෙන විහාරයක් වෙයි. එහි කෝට්ටේ යුග‍ය ඇතුළු තවත් යුග ගණනාවක බිතු සිතුවම් දැකිය හැකි අතර දැන් ඒවා මැකී පලුදු වී ඇත. දෙවන පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, හයවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරු විසින් වරින්වර මෙහි ප්‍රතිසංස්කරණය කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

පිහිටීම[සංස්කරණය]

වාරණ රජමහා විහාරය මෙරට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුල අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මංගලතිරිය ග්‍රාමයෙහි පිහිටා තිබේ.

ගමන් මාර්ග[සංස්කරණය]

වාරණ රජමහා විහාරයේ ශිලා ලිපියක්
  • කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගයේ යක්කල නගරය පසුකර සැතපුම් කාලක් පමණ ඉදිරියට යනවිට හමුවන ගම්පහ-ගොරකදෙනිය බස් මාර්ගයේ ඉදිරියට ගියවිට මෙම විහාරස්ථානයට පැමිණිය හැකිය.
  • කොළඹ-නුවර ප‍්‍රධාන මාර්ගයේ හමුවන තිහාරිය මසංසන්ධියෙන් වෙන්වන නිට්ටඹුව-ඕගොඩපොල බස් මාර්ගයේ ගියවිටද මෙම විහාරස්ථානයට ලඟාවිය හැකිය.

ඉතිහාසය[සංස්කරණය]

දේවානම්පියතිස්ස රජ සමය[සංස්කරණය]

පුරාවිද්‍යාත්මක සාධක අනූව වාරණ රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 3 - 2 පමණ සියවස් කරා ඇදී යයි. පූජා භූමියේ වූ දිග්ගලෙහි කි.පූ. 3 වැනි සියවසේ මුල් අවදියට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපියෙන් මේ බව තහවුරු කර ඇතැයි සඳහන් වෙයි. එම ශිලා ලේඛනයට අනූව දේවානම්පිය තිස්ස රජ සමයේ, එනම් ශ්‍රී බු. ව. 240 දී පමණ මෙම විහාරය තිස්සදත්ත නම් තෙරුණ්වහන්සේ නමකට පූජා කල බව පැවසෙයි.

වළගම්බා රජ සමය[සංස්කරණය]

වළගම්බා රජ විසින් වාරණ විහාරයේ ගල් කටාරම් කොටවන ආකාරය දැක්වෙන සිතුවමක්

ක්‍රි. පූ. 103 දී පමණ වළගම්බා රජ (වට්ට ගාමිණී අභය රජ) සමයේ එල්ලවූ ද්‍රවිඩ ආක්‍රමණයෙන් පසු වළගම්බා රජු වසර 14 ක් සැඟවී සේනා සංවිධානය කල අතරේ, එකල මායා රටෙහි පිහිටි මෙම පුදබිමෙහිද සැඟවී සිටි බව ඉතිහාසයේ සඳහන් වෙයි. පසුව ක්‍රි. පූ. 89දී වළගම්බා රජු නැවතත් ලංකා රාජ්‍යයෙහි රාජ්‍යත්වයට පත්වූ පසු, සේනා සංවිධානය කල සමයේ තමාට සැඟවී සිටීමට රැකවරණය දුන් මායා රටෙහි සහ රුහුණෙහි සියළුම ගල්ලෙන් විහාරාරාම බවට පත් කල බැව් පැවසේ. රජු විසින් කරවූ මායාරටෙහි විහාරාරාම අතර මෙම ඓතිහාසික වාරණ රජමහා විහාරයද ප්‍රකට වෙයි.

දෙවන පණ්ඩිත පැරකුම්බා රජ සමය[සංස්කරණය]

දඹදෙණි යුගයේ දෙවන පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු ගේ රාජ්‍ය සමයෙහි මෙම විහාරස්ථානය, දේවප‍්‍රතිරාජ අමාත්‍යයා ලවා දියුණු කල බැව් පැවසෙයි.

සයවැනි ශ්‍රී පැරකුම්බා රජ සමය[සංස්කරණය]

ශ්‍රී බු. ව. 1488 පමණ කෝට්ටේ යුගයේ සයවැනි පැරකුම්බා රජ සමයේ, මෙහි ධර්මශාලාව ඇතුළු සම්පූර්ණ වාරණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කෙරූ බවට සඳහන් වෙයි.

අටවන වීර පැරකුම්බා රජ සමය[සංස්කරණය]

කෝට්ටේ යුගයේ අටවන වීර පැරකුම්බා රජ මෙම විහාරයෙහි බණමඩුවක් සාදා පිංකමක් සිදුකල බව පුරාණ ඇල්පිටිය තඹ සන්නසෙහි සඳහන් වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය[සංස්කරණය]

මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදීද මෙම විහාරස්ථානය යළි ප්‍රතිසංස්කරණය කල බව සහ ඊට කෙත්වතු පූජා කල බවට තොරතුරු සඳහන් වෙයි.

විහාරයේ සැකැස්ම[සංස්කරණය]

වාරණ රජමහා විහාරයේ මැද මළුවේ දර්ශනයක්

වාරණ රජමහා විහාරය ප්‍රධාන මළු තුනකින් සමන්විත වෙයි. ඒවා නම්,

  • පහත මළුව
  • මැද මළුව
  • උඩ මළුව

පහත මළුව[සංස්කරණය]

විහාරයේ පහත මළුවට, සෙල් ලිපිය සහිත දිග්ගල හා ලෙන් හතර, ආවාස ගෙය සහ ධර්ම ශාලාව සහිත ලෙන අයත් වෙයි.

මැද මළුව[සංස්කරණය]

විහාරයේ මැද මළුවට, ලෙන තුල පිහිටි මහා විහාරයත්, ඉපැරණි සිදුවම්, ලෙන අසල පිහිටි චෛත්‍යය, පෝය ගෙය, දේවාලය පිටිපස ඇති ලෙන සහ ලිපිය අයත් වෙයි. මීට අමතරව මැද මළුවෙහි සඳකඩපහණ් 4ක් දැකගැනීමට හැකිවේ.

උඩ මළුව[සංස්කරණය]

වාරණ රජමහා විහාරයට අයත් වෘක්ෂ අභය භූමියෙහි පුවරුව

උඩ මළුව, ලෙන් විහාරය, ලෙන් ආවාසය, පොකුණ, පැරණි ගල්ලෙන සහ ගල මත පඩිපෙල යන අංගයන්ගෙන් සමන්විත වේ.

වෘක්ෂ අභය භූමිය[සංස්කරණය]

වාරණ රජමහා විහාරයට අයත් ස්වභාවික වනපෙත (ඔසු වනය ලෙසද හඳුන්වයි), වෘක්ෂ අභය භූමියක් ලෙස නම්කොට තිබෙයි.

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වාරණ_රජ_මහා_විහාරය&oldid=399578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි