Jump to content

මංගල් පාණ්ඩේ

විකිපීඩියා වෙතින්
මංගල් පාණ්ඩේ
උපත19 ජූලි 1827(1827-07-19)
මියගිය දිනය8 April 1857(1857-04-08) (වයස 29)
රැකියාවසිපොයි (භටයා) 34 වන බෙංගාලි ස්වදේශික පාබල සේනාංකය (BNI) රෙජිමේන්තුව බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගම
ප්‍රසිද්ධව ඇත්තේඉන්දියානු නිදහස් සටන් කරුවෙක්
ආගමහින්දු


මංගල් පාණ්ඩේ (1827 ජූලි 19 – 1857 අප්‍රේල් 8) ඉන්දියාවේ නිදහස් සටනෙහි පුරෝගාමී චරිතයකි. 1857 ඉන්දියානු මහ කැරැල්ලට සති කිහිපයකට පෙර ඔහු බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට එරෙහිව කැරලි ගැසීම සඳහා සෙපෝයි භටයින් පෙළඹවීමට උත්සාහ කළ අතර එය සාර්ථක වූයේ නැත.

ඇතැම් ඉතිහාසඥයින් මංගල් පාණ්ඩේ හඳුන්වන්නේ 1857 කැරැල්ලට හේතු වූ ප්‍රධාන සාධකයක් ලෙස ය.නමුත් පසු කාලීන ඉතිහාසකරුවන් විසින් පෙන්වා දී ඇත්තේ මංගල් පාණ්ඩේගේ කැරලි ගැසීම තනි සිද්ධියක් පමණක් බවත් පසුව ඇතිවූ ඉන්දියානු මහ කැරැල්ලට එහි විශාල සම්බන්ධයක් නොමැති බවත් ය.

මංගල් පාණ්ඩේගේ කැරලි ගැසීම එකළ වර්ධනය වෙමින් පැවති බ්‍රිතාන්‍ය විරෝධය පෙන්වන එක් සිද්ධියක් වූ නමුත් එය හේතුවෙන් ව්‍යාප්ත වූ කැරැල්ලක් ඇති වූයේ නැත.

කෙසේ නමුත් මංගල් පාණ්ඩේ අදටත් ඉන්දියාවේ වීරයකු සේ සළකනු ලබයි.

මුල්කාලීන දිවිය

[සංස්කරණය]

පාණ්ඩේ උපන්නේ වර්තමාන උත්තර් ප්‍රදේශ් හි බල්ලියා දිස්ත්‍රික්කයේ බ්‍රාහ්මණ පවුලක ය.[1] ඔහු 1849 දී පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ හමුදාවට බැඳුණි..[2]

1857 ට පෙර බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ ප්‍රධාන හමුදා තුනක් විය. එනම් බොම්බාය හමුදාව, මදුරාසි හමුදාව සහ බෙංගාලි හමුදාව ය. මේවා හින්දු සහ මුස්ලිම් යන දෙපිරිසම සොල්දාදුවන් (සෙපෝයිවරුන්) සේ බඳවා ගන්නා ලදී. බෙංගාලි හමුදාව විසින් හින්දූන් බඳවා ගනිද්දී සළකා බලන ලද්දේ ඉහළ යයි සම්මත කුලවල හින්දූන් පමණි.

පෙළඹීම

[සංස්කරණය]

1857 වන විට පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට එරෙහි හැඟීම් පැතිරෙමින් පැවතිණ. ඊට හේතු වූ කරුණු ගණනාවකි. මේ අතර ස්වදේශිකයන් පහත් කොට සැළකීම, ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණය, ඇතැම් ප්‍රාදේශීය පාලකයන් හිතුමතේ බලයෙන් පහ කිරීම වැනි කරුණු පාදක විය. මේ අතර 1857 වනවිට අලුතින් සෙපෝයිවරුන්ට හඳුන්වා දුන් තුවක්කුවක් හේතුවෙන් විශාල අසතුටක් ඔවුන් තුළ වර්ධනය විය.[3]

එන්ෆීල්ඩ් P 53 රයිෆලයට පතුරම් කාට්‍රිජ් සඳහා ලිහිසි ද්‍රව්‍ය ලෙස ඌරන්ගෙන් සහ හරකුන්ගෙන් ගත් සත්ත්ව තෙල් යොදාගෙන ඇතැයි යන රාවයක් පැතිර ගියේය. සෙපෝයිවරුන් එම කාට්‍රිජ කටින් කඩා වෙඩි බෙහෙත් රයිෆලයට පිරවිය යුතු විය. මෙය හින්දු සහ මුස්ලිම් සෙපෝයිවරුන් අතර දැඩි නොසන්සුන්තාවක් ඇති කළේය. ඔවුන් මෙය සැළකූයේ සිය ආගම්වලට කළ නිගරුවක් ලෙස ය.

මංගල් පාණ් ඩේ 34 වන බෙංගාලි ස්වදේශික පාබල හමුදාවේ සොල්දාදුවෙක් විය. ඔවුන් ස්ථානගත ව සිටියේ බටහිර බෙංගාලයේ බැරක්පෝර් හි ය. 1857 මාර්තු 29 වනදා සවස් යාමයේ මෙහි නොසන්සුන්තාවක් හටගත් අතර මංගල් පාණ්ඩේ ඉංග්‍රීසීන්ට එරෙහිව සිය සහෝදර සෙබලුන් අමතා කතාවක් පැවැත්වීය. ඔහු පාලනය කිරීමට නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ ඔහු ඔවුනට වෙඩි තැබූ අතර ඉන් දෙදෙනකුට තුවාල සිදු විය.

මෙම බලකායේ සිටි අනෙක් සෙපෝයිවරුන් වැඩි පිරිසක් මෙම සිද්ධීන් දෙස බලා සිටි අතර පාණ්ඩේ අල්ලා ගැනීමට හෝ ඔහුට සහය දීමට හෝ ඉදිරිපත් නොවූහ. ඔහු අල්ලාගැනීමට ඔවුන් අකමැති වන්නට ඇතත් ඉංග්‍රීසීන්ට එරෙහිව කැරලි ගැසීම වැනි අවදානමක් ගැනීමට ද ඔවුන් කැමති වූයේ නැත.

මේ අතර අණදෙන නිලධාරී හියර්සන් එම ස්ථානයට පැමිණි අතර පාණ්ඩේ අල්ලා නොගන්නේ නම් අනෙක් සෙපෝයිවරුන්ට වෙඩි තැබීමට ඔහු තර්ජනය කළේ ය. ඉන්පසු සෙපෝයිවරුන් විසින් මංගල් පාණ්ඩේ අල්ලාගන්නා ලදී. පාණ්ඩේ වෙඩි තබාගෙන දිවි නසාගන්නට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය.

මේ අතර මෙම නොසන්සුන්තාව අතරතුර දී හමුදාවේ ජෙමාදර් නිලය දැරූ ඊශ්වරී ප්‍රසාද් නමැත්තෙකු තමන්ට මංගල් පාණ්ඩේ අත් අඩංගුවට නොගන්නා ලෙස කියා සිටි බව සීක් සෙබලුන් තිදෙනකු විසින් ප්‍රකාශ කරන ලදින් ඊශ්වරී ප්‍රසාද් ද අත් අඩංගුවට ගන්නා ලදී.

යුධාධිකරණය හමුවේ වරදකරු වූ මංගල් පාණ්ඩේ අප්‍රේල් 8 වනදා මරණ දණ්ඩනයට යටත් කෙරිණ. ප්‍රසාද් ද අප්‍රේල් 21 වනදා එල්ලා මරන ලදී.

මෙම සිද්ධිය අතරතුර සෙපෝයිවරුන් දැක්වූ උදාසීනභාවය හේතුවෙන් 1857 මැයි 6 වනදා 34 වන බෙංගාලි ස්වදේශික පාබල සේනාංකය විසුරුවා හැරීමට තීරණය කෙරිණ.

ඉන් දින හතරකට පසු සැතපුම් සිය ගණනක් ඈත මීරූට් හි සෙපෝයිවරුන් කැරලි ගැසූහ. එයින් ඉන්දියානු මහ කැරැල්ල ඇරඹිණ.

පාන්ඩේ චරිතය යොදා කළ කලා නිර්මාණ

[සංස්කරණය]

2005 දී එළි දක්වන ලද අමීර් ඛාන් ප්‍රධාන චරිතය රඟ පෑ බොලිවුඩ් චිත්‍රපටයක් හේතුවෙන් මංගල් පාණ්ඩේ නිදහස් සටනේ ප්‍රබල සාධකයක් ය යන අදහස මෑත කාලීන සමාජය තුළ මෙන්ම ඉන්දියාවෙන් පිටත රටවල ද පැළපදියම් විය. විවිධ කලා නිර්මාණ සඳහා මංගල් පාණ්ඩේ චරිතය පාදක වී ඇති අතර ඉන් වඩාත් ම ප්‍රකට වන්නේ 2005 දී නිකුත් වූ පෙර කී මංගල් පාණ්ඩේ: ද රයිසිං බොලිවුඩ් චිත්‍රපටයයි. කේතන් මේහ්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද එයට රාණි මුඛර්ජී, ටෝබි ස්ටීවන්ස්, අමීෂා පටෙල් යන නලු නිළියෝ ද රංගනයෙන් දායක වෙති.[4]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ D'Souza, Shanthie Mariet. "Mangal Pandey: Indian soldier". Encyclopædia Britannica.
  2. ^ Mangal Pandey: True Story of an Indian Revolutionary, 2005, Rupa & Co. Mumbai
  3. ^ Philip Mason (1974). A Matter of Honour. p. 267. ISBN 0-333-41837-9.
  4. ^ Mangal Pandey: The Rising හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
"https://si.wikipedia.org/w/index.php?title=මංගල්_පාණ්ඩේ&oldid=412230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි