Jump to content

මංගම්මාල්

විකිපීඩියා වෙතින්
රාණි මංගම්මාල්
මදුරෛ නායක් රාජධානියේ රාජ්‍යාධිකාරී රැජින
මදුරෛ නායක් රාජවංශයේ මංගම්මාල් රැජින
රාජ්‍ය සමයක්‍රි.ව. 1689– 1704
පූර්වප්‍රාප්තිකයාරංගක්‍රිෂ්ණ මුතු වීරප්පා නායක්
අනුප්‍රාප්තිකයාවිජය රංග චොක්කනාථ නායක්
උපතමදුරෛ
මරණය1705 පමණ
මදුරෛ; වර්තමාන තමිල් නාඩු, ඉන්දියාව
වල්ලභයාචොක්කනාථ නායක්
වංශයමදුරෛ නායක්
පියාතූපකුල ලිංගාම නායක

රාණි මංගම්මාල් (මරණය 1705) යනු වර්තමාන ඉන්දියාවේ මදුරෛ ප්‍රදේශයේ පිහිටා තිබූ මදුරෛ නායක් රාජධානියේ ක්‍රි.ව. 1689-1704 දක්වා සිය මුණුපුරා වෙනුවෙන් රාජ්‍ය පාලනය මෙහෙයවූ රාජ්‍යාධිකාරී රැජිනකි. ජනාදරයට පත් පරිපාලකයකු වූ ඇය වර්තමානයේ පවා සිහිපත් කෙරෙන්නේ ඇය විසින් ඉදිකළ මාවත් හා වීදි, දේවාල, වැව් සහ වර්තමානයේ පවා භාවිතයේ පවතින මහජන ගොඩනැගිලි හේතුවෙනි. එසේම ඇය ඇගේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලන ඥානය නිසාත්, සාර්ථක යුධ ආක්‍රමණ නිසාත් ප්‍රචලිත ය. ඇගේ සමයේ මදුරෛ රාජධානියේ අගනුවර වූයේ තිරුචි ය.

මදුරෛ නායක් රාජවංශයේ
රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ
තමිල් නාඩුවේ ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ කොටසකි
තිරුමලෛ නායක් මාලිගය
මදුරෛ නායක් පාලකයින්
විශ්වනාථ නායක්1529–1563
කුමාර ක්‍රිෂ්ණප්පා නායක්1563–1573
හවුල් පාලකයින් සමූහය I1573–1595
හවුල් පාලකයින් සමූහය II1595–1602
මුත්තු ක්‍රිෂ්ණප්පා නායක්1602–1609
මුත්තු වීරප්පා නායක්1609–1623
තිරුමලෛ නායක්1623–1659
මුතු අලකාඩ්රි නායක්1659–1662
චොක්කනාථ නායක්1662–1682
රංගක්‍රිෂ්ණා මුතු වීරප්පා නායක්1682–1689
මංගම්මාල් රැජින1689–1704
විජය රංග චොක්කනාථ නායක්1704–1731
මීනාක්ෂි රැජින1731–1736
‡ රාජ්‍යාධීකාරී රැජිනියන්
අගනුවරවල්
මදුරෛ1529–1616
තිරුචිරපල්ලි1616–1634
මදුරෛ1634–1665
තිරුචිරපල්ලි1665–1736
ප්‍රධාන බලකොටු
මදුරෛ 72 අට්ටාල බලකොටුව
තිරුචිරපල්ලි ගල් බලකොටුව
ඩින්ඩිගුල් බලකොටුව
තිරුනෙල්වෙල්ලි බලකොටුව
වෙනත් යුධ බලකොටු
නාමක්කාල් බලකොටුව
සංකගිරි බලකොටුව
අතූර් බලකොටුව
මාලිගා
තිරුමලෛ නායක් මහල්, මදුරෛ
චොක්කනාථ නායක් මාලිගය හෙවත් දර්බාර් ශාලාව, තිරුචිරපල්ලි
රාණි මංගම්මාල් තමුක්කම් මාලිගය, මදුරෛ

පසුබිම

[සංස්කරණය]

මංගම්මාල් යනු මදුරෛ පාලක චොක්කනාථ නායක්ගේ (1659–1682) සෙන්පතියකු වූ තූපකුල ලිංගම නායාකගේ දියණියයි. ඇය චොක්කනාථ සමග විවාහ වූයේ මුල්කාලයේ දී වුවත්, ඇයට අගබිසව වීමට අවස්ථාව හිමි වූයේ ඔහු තන්ජාවූර් පාලක විජයරාඝව නායකගේ දියණිය සමග විවාහ වීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසුවයි. 1682දී චොක්කනාථ මියයාමෙන් පසුව ඇය සිහසුන හිමි කරගත්තා ය.

රාජ්‍යාධිකාරීත්වය

[සංස්කරණය]

චොක්කනාථගෙන් පසු මංගම්මාල්ගේ පුත්‍රයා වූ පහළොස් හැවිරිදි රංගක්‍රිෂ්ණ මුතු වීරප්පා නායක් (1682-1689) සිහසුනට පත් විය. රාජධානියට අහිමිව තිබූ අවස්ථා යළි ලබා ගැනීමට උත්සාහ කළ ඔහු, ධෛර්යවන්ත ලෙස ඖරංෂේබ්ව නොසලකා හැරියේ ය. නමුත් 1689දී රංගක්‍රිෂ්ණා මියගිය අතර, මේ වනවිට ඔහුගේ රැජින ද ගැබිනියකව සිටියා ය. ඔහුගේ රැජින විජය රංග චොක්කනාථ නම් පුත්‍රයකු බිහි කිරීමෙන් පසුව සති පූජාව සිදුකොට සිය දිවි හානි කරගත්තේ සිය නැන්දණිය වූ මංගම්මාල්ගේ දැඩි විරෝධය මධ්‍යයේ ය. මේ නිසා මංගම්මාල් හට සිය බිළිඳු මුණුපුරු විජය රංග චොක්කනාථ වෙනුවෙන් අනුරාජයා ලෙස කටයුතු කිරීමට සිදු විය. 1689දී අභිෂේක කරන විට විජය රංග චොක්කනාථගේ වයස මාස තුනක් වූ අතර, 1705 තෙක් ඇගේ පාලනය පැවතිණි. මෙකල ඇයට දලාවෝයි (ආණ්ඩුකාර ජනරාල්) නරසප්පයියා විසින් මෙහෙයවූ දක්ෂ පරිපාලන මණ්ඩලයක සහාය හිමි විය‍.

යුධ ආක්‍රමණ

[සංස්කරණය]

මංගම්මාල් සිය පූර්වප්‍රාප්තිකයන් තරම් යුධ කටයුතුවල නියැළුණේ නැත. නමුත් ඇය යාබද රාජධානි සමග වූ අරගල අත්හැරියේ නැත. මදුරෛ රාජධානියට සෑම දෙසින්ම සතුරන් විය. මේ අතර මරාඨවරුන්, මයිසෝර් හමුදාව, මූඝල් හමුදාව සමග ඩෙකෑන් සුල්තාන්වරුන්ගේ සහ තන්ජාවූර් රාජධානියේ නිරන්තර අරගලවලට මුහුණපෑමට සිදු විය. දකුණින් ට්‍රැවන්කෝරයේ රාජා විසින් පඬුරු කප්පම් ගෙවීම පැහැර හැර තිබූ අතර, රාම්නාඩ්හි පාලක කීලවන් සේතුපති සිය නිදහස උදෙසා කැරැලි ඇති කරන්නට පටන්ගෙන තිබිණි. කිසිදු බාහිර උපකාරයකින් තොරව මංගම්මාල්ට මෙම රාජ්‍ය කටයුතුවලට මුහුණදීමට සිදු විය. ඇගේ දේශපාලනික ඥානය, රාජ්‍යතාන්ත්‍රික උපයායන්, පරිපාලන දක්ෂතාව සහ අනතුරු හමුවේ බිය නොවීමේ ගුණය හේතුවෙන් මදුරෛහි නැතිවූ ගෞරවය යළි ගොඩනැගීමට ඇය හැකි විය. මෙලෙසින් තිරුමලෛ නායක් සමයේ පැවති පිළිගැනීමට එයට නැවත උදා විය.

මූඝල් හමුදාව

[සංස්කරණය]

මංගම්මාල්ගේ රාජ්‍ය සමයේ මූඝල් අධිරාජ ඖරංෂේබ් ඩෙකෑනයේ අධිපතියා ද විය. ඇගේ රාජ්‍ය සමයේ ප්‍රථම වරට මදුරෛ දිල්ලියේ මූඝල් අධිරාජ්‍යය සමග ඍජුව ගැටුම් ඇති කරගත්තේ ය. මූඝල් අධිරාජ ඖරංෂේබ් ජින්ජීහි මරාඨ බලකොටුවට පහරදීමට පත්කළ සෙන්පතියා වූ සුල්ෆිකාර් ඛාන්, 1693දී ත්‍රිචිනොපොලි සහ තන්ජාවූර් යන ප්‍රදේශවලින් පඬුරු කප්පම් ලබාගත්තේ ය. නමුත් ඔහු ඉන් වසර පහක් ගත වනතුරුත් ජින්ජි අල්ලා ගැනීමට සමත් වූයේ නැත.

මංගම්මාල්ට මුහුණ පෑමට සිදුවූ ප්‍රථම ගැටලුව නම්, මූඝල්වරුන්ගෙන් එල්ල වූ තර්ජනයයි. තන්ජාවූර් යටත් කරගෙන ජින්ජී බලකොටුව අල්ලාගැනීමට ඖරංෂේබ් සේනාවක් යැවී ය. මෙම බලකොටුව ඇගේ සැමියාගේ රාජ්‍ය සමයේ මරාඨවරුන් යටතට පත්ව තිබිණි. 1697දී, ඖරංෂේබ්ගේ සෙන්පති සුල්ෆිකාර් අලි ඛාන් ජින්ජි වටලෑමට සම්බන්ධ විය. මෙහි දී, ශිවාජිගේ පුත් රාජාරාම් තන්ජාවූර් සහ මදුරෛවලට පහර දීමේ සූදානමින් පසු විය.

සාර්ථක ආවර්ජනයකින් පසු මංගම්මාල් පඬුරු කප්පම් ප්‍රදානය කළ අතර, පසුව සුල්ෆිකාර් අලිගේ සහාය ඇතිව අතීතයේ තන්ජාවූර් වෙත අයත්ව තිබූ ඇතැම් ප්‍රදේශ යළි රාජ්‍යය වෙත ලබාගැනීමට ඇයට හැකි විය. මංගම්මාල්හට තිරුචිරපල්ලියේ ආක්‍රමණයකට ද මුහුණදීමට සිදු විය. මයිසෝරයේ චික්ක දේව රාය විසින් සිය සුප්‍රකට දාලවෝයි කුමාරයියා මෙම ආක්‍රමණයට පිටත් කළ මුත්, මයිසෝරය වෙත එල්ල වූ මරාඨ ආක්‍රමණය නිසා ඔහුව නැවත කැඳවීමට සිදු විය.

වේනද් ආක්‍රමණය

[සංස්කරණය]

1697දී, මංගම්මාල් වේනද් වෙත ආක්‍රමණයක් දියත් කළේ එහි පාලක රවී වර්මා හට දඬුවම් කිරීමටයි. වාර්ෂික පඬුරු කප්පම් රැස් කිරීමට මදුරෛ සිට වේනද් වෙත යවන ලද සේනාවට ඔහු විසින් පහර දී තිබිණි. එම රාජ්‍යයේ පාලකයා මදුරෛ වෙත වාර්ෂික පඬුරු කප්පම් ලබාදීම වසර කිහිපයක සිට ප්‍රමාද කරමින් සිටියේ ය. මේ නිසා හිග මුදල් ලබාගැනීමට සේනාවක් පිටත් කර හැරිණි. මෙම සේනාවට වධහිංසා පමුණුවන ලද හෙයින්, ඊළඟ වර්ෂයේ දී දණ්ඩනීය ආක්‍රමණයක් සංවිධානය කෙරිණි. දැඩි සටනකට පසු වේනද් යටත් වූ අතර, දැවැන්ත ධනයක් මුදරෛ වෙත රැගෙන එන ලදී. මින් කොටසක් වූ කාලතුවක්කු තිරුචිරපල්ලි සහ මදුරෛහි ප්‍රාකාර මත සවිකෙරිණි.

තන්ජෝරය සමග යුද්ධ

[සංස්කරණය]

මංගම්මාල් සිය රාජ්‍ය සමය තුළ මංගම්මාල් තන්ජාවූර්ගේ මරාඨ රජ ෂාජි සමග නිරන්තර ගැටලු ඇති කරගත්තා ය. එයට පසු වර්ෂයේ දාලවෝයි නරසප්පයියා යටතේ මදුරෛ සේනා අගනුවර අසල දී තන්ජෝර් මරාඨවරුන් පරාජය කළහ. ඔවුන් වහා අගනුවරට ඇතුළු වූ විට, අධෛර්යයට පත් තන්ජෝරයේ ෂාජි රජු ආක්‍රමණික හමුදාවට දැවැන්ත අල්ලස් මුදලක් ලබා දී ආක්‍රමණය නිමා කළේ ය. මෙහි දී ඔහුගේ භාණ්ඩාගාරයෙන් දැවැන්ත මුදලක් වැය විය.

මයිසෝරය සමග යුද්ධය

[සංස්කරණය]

රාණි මංගම්මාල් මූඝල් අධිරාජ්‍යය සමග ඇගේ ප්‍රතිපත්තිය සමථයකට පත් කරලීමට කටයුතු කරන විට, මයිසෝරයේ චික්ක දේව රාය සිංය රාධානිය පුළුල් කිරීමේ වයාපාරයක නියැළෙමින් සිටියේ ය. ඔහු 1690 සහ 1694 වර්ෂවල මදුරෛ රාජධානිය අසල සේලම් සහ කොයිම්බතෝර් වෙත සිය රාජ්‍යය ව්‍යාප්ත කළේ ය. 1695දී මදුරෛහි එකල අගනුවර වූ තිරුචිරපල්ලි ද මයිසෝර් හමුදා විසින් ආක්‍රමණය කළ නමුත්, ඔවුන් පරාජය කොට නැවත දිනා ගැනීමට ඇයට හැකි විය.

තන්ජාවූර් සහ යුද්ධයෙන් සහ නිදහසින් මඳ කලකට පසු, 1700දී මෙම රාජ්‍ය දෙක සන්ධානයක් ඇති කරගෙන චික්ක දේව රායට එරෙහිව සටන් වැදුණේ ය. මින් චික්ක‍ දේව රාය විසින් කාවේරි ගංගාව හරස් කොට අනිකට් (දෙමළ බසින් "වේල්ල" යන අරුත ඇත) ඉදිකොට තන්ජාවූර් සහ මදුරෛ රාජධානියේ උතුරු පෙදෙස්වල ජල සැපයුම වළක්වා තිබිණි. එම වර්ෂයේම ගංගාව වියළී යන්නට ආසන්න විය. නියඟයක් සහ සාගත තත්ත්වයක් ඇති වේ යැයි අපේක්ෂා කළ මදුරෛ සහ තන්ජාවූර් හමුදා ඒකාබද්ධව මයිසෝරයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූහ. නමුත් එම කාලය වන විට, මහ වැසි ඇද වැටී මෙම වේල්ල කැඩී ගියේ ය. මෙම වේල්ල පිහිටා තිබුණේ වර්තමාන කන්නම්බඩි වේල්ල පිහිටි භූමියේ ය.

රාම්නාද් පළාතේ නිදහස

[සංස්කරණය]

මංගම්මාල් ලද දැවැන්තම පරාජය වූයේ රඝුනාථ සේතුපතිට එරෙහි ඇගේ අක්‍රමණයයි. එසේම එය 1702 වර්ෂයේ ඇගේ අවසන් මහා ආක්‍රමණය ද වේ. ඇගේ මුල් කාලයේ තන්ජාවූර්හි සහාය සේතුපතිට හිමිවීම හේතුවෙන් මෙම යුද්ධය ඇති විය. මෙම යුද්ධය අවසන් වූයේ මදුරෛවලට පරාජයක් අත්කර දෙමිනි. මෙහි දී මදුරෛහි සුප්‍රකට දාලවෝයි නරසප්පයියා මියගියේ ය. මෙය රාණි මංගම්මාල් සහ ඇගේ සාර්ථක යුධ ආක්‍රමණ සඳහා දැවැන්ත පහරක් විය.

සිවිල් පරිපාලනය

[සංස්කරණය]

මංගම්මාල් කාර්යශූර සහ ජනප්‍රිය රාජ්‍ය පාලිකාවක වූ අතර, ඇය පිළිබඳ මතකය වර්තමානයේ පවා දිස්ත්‍රික්කයේ ගම්බද පෙදෙස්වල රැඳී පවතී. සිවිල් පරිපාලනය, වෙළඳාම සහ කර්මාන්ත කෙරෙහි ඇය ක්‍රියාකාරීව කටයුතු කළ අතර, වාරිමාර්ග සහ සන්නිවේදනය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකළා ය.

මහජන සේවාවන්

[සංස්කරණය]

බොහෝ වාරිමාර්ග ඇලවල් ප්‍රතිසංස්කරණය කෙරිණි. නව මාවත් ඉදිවූ අතර, මාවත් දෙපස ශාක රෝපණය කරන ලදී. කොමොරින් තුඩුවේ සිට දිවෙන මහා මාර්ගය මංගම්මාල් යුගයේ ඉදිවූවක් වන අතර, එය මංගම්මාල් සලෛ යනුවෙන් හැඳින්විණි.[1] ඇය බොහෝ මහජන සුබසාධන කටයුතු සිදුකළ අතර, මේ අතුරින් බැතිමතුන් සහ චෞල්ට්‍රි ඉදිකිරීම වැදගත් වේ. මින් මදුරෛහි දුම්රියපළ අසල ඇති මංගම්මාල් චතරම්[2] අනුස්මරණීය ස්මාරකයකි. ජනප්‍රිය මතය වන්නේ මදුරෛ හා තිරුනෙල්වේලි ඇතුළු තමිල් නාඩුවේ කුඩා නගරවල පැරණි අනර්ඝ මාර්ග සියල්ලම ඇය විසින් නිර්මාණය කළ බවයි.

මදුරෛහි ඇයගේ සැබෑ පෞද්ගලික මාලිගය (තමුක්කම් හෙවත් ග්‍රීෂ්ම මාලිගය) තුළ වර්තමානයේ මහත්මා ගාන්ධි කෞතුකාගාරය ස්ථාපනය කොට ඇත. මෙය කිහිප වරක් නවීකරණයට ලක් විය. මෙම මාලිගය තුළ තමුක්කු මෛදානම් (පිට්ටනි) ඇත් පොර වැනි රාජකීය විනෝද ක්‍රීඩා සිදු කිරීමට තරම් විශාල විය. මීට අමතරව ඇය සංචාරකයින්ට සහ පදිකයින්ගේ පහසුවට රුක් රෝපණය, තානායම් සහ ජල සැපයුම් ඉදි කිරීම වැනි කටයුතු සිදුකළා ය. 1701දී ඇය මහජන දාන ශාලාවකට විශාල පරිත්‍යාගයක් සිදුකළා ය.

රැජිනගේ ග්‍රීෂ්ම මාලිගය
රැජිනගේ ග්‍රීෂ්ම මාලිගය ඇතුළත දර්ශනයක්

ආගමික කටයුතු

[සංස්කරණය]

මංගම්මාල් හින්දු භක්තික කාන්තාවක වුව ද, සෙසු ආගම් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා ය. දේවාල මෙන්මමස්ජිද සඳහා ද ත්‍යාග ප්‍රදානය කළ ඇය, ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සහ ලබ්ධිකයන් සමග මිත්‍රශීලීව කටයුතු කළා ය. 1701දී, ඇය විසින් තිරුචිරපල්ලිහි ගම්මානයක් දර්ගා වෙත ප්‍රදානය කරන ලදී. ක්‍රිස්තියානි මිෂනාරිවරුනට මෙකල විශාල නිදහසක් හිමිවූ බැවින් ඔවුහු සිය කටයුතු ගෙන ගියහ.

මංගම්මාල් මදුරෛ මීනාක්ෂිඅම්මන් දේවාලය වෙත වටිනා ආභරණ, පල්ලැක්කි පූජා කළා ය. එසේම මීට සමාන ප්‍රදානයන් රාජධානියේ සෙසු දේවාලවලට ද සිදු කොට ඇත.

උත්සව සහ විනෝද ක්‍රියා

[සංස්කරණය]

මංගම්මාල් රැජින විසින් මීනාක්ෂි දේවාලයේ සුප්‍රකට ඌංජල් (ඔංචිල්ලා) උත්සවය දෙමළ අනි මාසයේ පැවැත්විය යුතු බවට ආඥාවක් පැනවූවා ය. එහි ඌංජල් මණ්ඩපයේ ඇගේ සමකාලීන ප්‍රතිමාවක් ද දැකගත හැක. සියලු සැමරුම්වල දී, රාජකීය සෙංකෝලය මීනාක්ෂි දෙවඟන ඉදිරියේ තැන්පත් කොට අනතුරුව, දිනයක් පුරාවට සිංහාසනය මත තබන ලදී. මීනාක්ෂි අම්මන් දේවාලයේ ඇති සිතුවමක දේවාලයේ පූජකවරයා විසින් රැජිනට රාජකීය සෙංකෝලය භාරදෙන අයුරු නිරූපිත ය. හින්දු රජවරුන් සිය රාජධානි පාලනය කළේ දෙවියන්ගේ ‍සේවකයන් ලෙස පෙනී සිටිමින් වීම මෙයට හේතුවයි. භූමිය පාලනය කෙරුණේ රාජ්‍ය‍යේ ප්‍රධාන දේවතාවාගේ නාමයෙනි.

මංගම්මාල්ගේ මරණය (ක්‍රි.ව. 1705 අවට) අභිරහස්ව පවතියි. මංගම්මාල්ගේ මුණුපුරා වූ විංය රංග චොක්කනාථ නායක් 1704-1705 පමණ විට නිසි වයසට එළඹ සිටියේ ය. නමුත් තමිල් නාඩු ජනයා අතර තිරුමලෛ නායක් ඇතුළු සෙසු සියලුම නායක් රජවරුන්ටත් වඩා ඇය වඩාත් අනුස්මරණීය වී ඇත්තේ ඇය විසින් සිය රාජධානියේ සිදුකළ පරිපාලනමය කටයුතු හේතුවෙනි. රාජධානියක් පාලනයට කාන්තාවන් යෝග්‍ය නොවේය යනුවෙන් විශ්වාසයක් පැවතිය ද, එම මතය අභිබවමින් මංගම්මාල් තමිල් නාඩුවේ දක්ෂ සහ බලවත් රාජ්‍ය පාලිකාවක ලෙස ඉතිහාසයේ සනිටුහන් වී ඇත.

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]
  • Rao, Velcheru Narayana, and David Shulman, Sanjay Subrahmanyam. Symbols of substance : court and state in Nayaka period Tamil Nadu (Delhi ; Oxford : Oxford University Press, 1998) ; xix, 349 p., [16] p. of plates : ill., maps ; 22 cm. ; Oxford India paperbacks ; Includes bibliographical references and index ; ISBN 0-19-564399-2.
  • Devakunjari, D., 1921-. Madurai through the ages : from the earliest times to 1801 A.D. general editor, R. Nagaswamy (Madras : Society for Archaeological, Historical, and Epigraphical Research, [1979]) ; 336 p., [26] leaves of plates : ill. ; 22 cm. ; SAHER publication no. 8. ; "Thesis submitted to the University of Madras for the award of Ph.D. degree in the year 1957"—T.p. verso. ; bibliography: p. 334-336.
  • Rajaram, K. (Kumarasamy), 1940-. History of Thirumalai Nayak (Madurai : Ennes Publications, 1982) ; 128 p., [1] leaf of plates : ill., maps ; 23 cm. ; revision of the author's thesis (M. Phil.--Madurai-Kamaraj University, 1978) Includes index ; bibliography p. 119-125 ; on the achievements of Tirumala Nayaka, fl. 1623-1659, Madurai ruler.
  • Balendu Sekaram, Kandavalli, 1909-. The Nayaks of Madura by Khandavalli Balendusekharam (Hyderabad : Andhra Pradesh Sahithya Akademi, 1975) ; 30 p. ; 22 cm. ; "World Telugu Conference publication." ; History of the Telugu speaking Nayaka kings of Pandyan Kingdom, Madurai, 16th-18th century.
  • Sathianathaier, R. History of the Nayaks of Madura [microform] by R. Sathyanatha Aiyar ; edited for the University, with introduction and notes by S. Krishnaswami Aiyangar ([Madras] : Oxford University Press, 1924) ; see also ([London] : H. Milford, Oxford university press, 1924) ; xvi, 403 p. ; 21 cm. ; SAMP early 20th-century Indian books project item 10819.

ආශ්‍රේයයන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මංගම්මාල්&oldid=592775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි