භෛරව හිස

විකිපීඩියා වෙතින්
භෛරව හිස
වර්ෂය16වන සියවස (මල්ල යුගය)
වර්ගයප්‍රතිමාව
මාධ්‍යයරන් ආලේපිත තඹ සමග පළිඟු සහ වර්ණ
මාන81.3 cm × 91.4 cm (32.0 in × 36.0 in)
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක්
ප්‍රවේශනය2012.444.2

භෛරව හිස යනුවෙන් හැඳින්වෙන්නේ නේපාලයේ මල්ල යුගයට අයත් යැයි විශ්වාස කෙරෙන වෙස්මුහුණකි. නේපාලයේ කත්මණ්ඩු මිටියා‍වතෙන් හමුවූ මෙය ක්‍රි.ව. 16වන සියවසේ දී නිර්මාණය වන්නට ඇතැයි සැලකේ. මෙම වෙස්මුහුණ නිර්මාණය කොට ඇත්තේ රන් ආලේපිත තඹ මාධ්‍යයෙනි. එය අලංකාර කිරීමට ස්ඵටික පාෂාණ සහ වර්ණ ද භාවිතා කොට ඇත.[1] භෛරව (සංස්කෘත: भैरव) යනු හින්දු ආගමේ එන ශිව දෙවියන්ගේ භයංකාර ස්වරූපයකි. හින්දු පුරාණෝක්තිවේදය තුළ භෛරව යනු විනාශයේ ප්‍රතිමූර්තියක් ලෙස සැලකේ. හින්දු ආගම හැරුණු විට භෛරව සංකල්පය බුද්ධාගම සහ ජෛන ආගම තුළ ද දක්නට ලැබේ.[2] භෛරව ප්‍රතිමා නිරූපණයේ දී සර්පයකු සහ හිස්කබලක් සහිත දඟර ගැසුණු කිරුළක් සහිතව නිරූපණය කෙරේ. එමගින්රෞද්‍රභාවය සහ බිහිසුණුභාවය සංකේතවත් කෙරේ.[1]

විස්තරය[සංස්කරණය]

මුහුණු නවයකින් යුක්ත භෛරව කළු පැහැයෙන් යුක්තව නිර්වස්ත්‍ර ස්වරූපයෙන් නිරූපණය කෙරේ. එසේම අත් තිස් හතරක් ද ඔහුට ඇත. භෛරව යන්නෙහි සාහත්‍යමය අර්ථය වනුයේ භයංකාර නැතහොත් රෞද්‍ර යන්නයි. සාහිත්‍යමය අර්ථය සේම ප්‍රතිමා තුළ ද ඔහු භයංකාර ස්වරූපයෙන් යුත් හින්දු දෙවියකු ලෙස නිරූපණය කෙරේ. පුරාවෘත්ත අනුව භෛරව යනු ශිව දෙවියන්ගේ රෞද්‍ර ස්වරූපයකි. ජනප්‍රවාදයන්හි සඳහන් වන ආකාරයට භෛරවගේ සම්භවය සිදුවූයේ විෂ්ණු සහ බ්‍රහ්ම යන දෙවිවරුන් අතර ඇතිවූ අරගලයක් නිසා බැව් පැවසේ.[3] එම පුරාවෘත්තයෙන් කියැවෙන්නේ මෙසේ ය: දිනක් විශ්වයේ බලවත්ම දෙවියා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බ්‍රහ්ම සහ විෂ්ණු අතර ආරවුලක් ඇති විය. බ්‍රහ්ම පවසන්නට වූයේ තමන් විශ්වයේ නිර්මාතෘවරයා බැවින් ඉහළම ගෞරවය තමන්ට හිමි විය යුතු බවයි. අනතුරුව කෝපයට පත් මහාදේව (ශිව) සිය ඇඟිල්ලෙහි වූ කුඩා නියපොතු කැබැල්ලක් විසි කළ අතර, එය "කාල භෛරව" නම් ස්වරූපය අත් කරගත්තේ ය. අනතුරුව ඔහු බ්‍රහ්මගේ පස්වැනි ශීර්ෂය කපා දැමී ය. අනතුරුව බ්‍රහ්මට ඉතිරිවූයේ හිස් හතරකි. බ්‍රහ්මගේ මාන්නය සිඳීගිය අතර, බ්‍රහ්මගේ හිස්කබල (බ්‍රහ්ම කපාලය) කාල භෛරවගේ අතෙහි දරා සිටිනු දක්නට ලැබේ.[4]

නේපාලයේ නෙවාර් ජනයා භෛරව වැදගත් දෙවියකු ලෙස සලකා අදහති. නේවාර්වරුන්ගේ සම්ප්‍රදායික ජනාවාස සෑම එකකම පාහේ භෛරව වෙනුවෙන් කැපකළ දේවාල එකක් හෝ දක්නට ලැබිණි. නේපාලයේ බොහෝ භෛරව දේවාල පවත්වාගෙන යනු ලබන්නේ නෙවාර් පූජකයන් විසිනි. හින්දූන් විශ්වාස කරන්නේ භෛරව ඉදිරියේ අසත්‍ය පැවසීම දේව උදහසට හේතුවක් බවයි. අතීත‍යේ නේපාලයේ අධිකරණය ලෙස භාවිතයට ගැනුණේ ද කත්මණ්ඩුහි පැවති මෙම දේවාලයකි.[5] භෛරව සංකේතවත් කෙරෙන 16වන සියවසට අයත් මෙම වෙස්මුහුණක ආකාරයේ හිස නේපාලයේ මල්ල යුගයේ දී කත්මණ්ඩු මිටියාවතේ නිර්මාණය වූවකි. 2012දී මෙම ප්‍රතිමා හිස නිව් ‍යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙත ප්‍රදානය කරනු ලැබූයේ සිමර්මාන් පවුල විසිනි.[1] ප්‍රතිමාවේ කර්ණාභරණ දඟර ගැසුණු සර්පයකුගේ ස්වරූපයෙන් නිර්මාණය කොට තිබේ. මෙම වෙස්මුහුණ ක්‍රි.ව. 1560ට දින නිර්ණිත අභිලේඛනයක් දරන වෙනත් කෞතුක වස්තුවක් සමග සැස‍ඳෙන බැවින් මෙය ක්‍රි.ව. 16වන සියවසේ දී නිර්මාණය වන්නට ඇතැයි නිගමනය කොට ඇත.[1]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Head of Bhairava" (ඉංග්‍රීසි බසින්). New York: Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-24.
  2. 普光《俱舍論記》卷7. [2017-11-24]
  3. Shulman, David Dean. In Criminal Gods and Demon Devotees: Essays on the Guardians of Popular Hinduism. Edited by Alf Hiltebeitel, 35–67. Albany: State University of New York Press, 1989. [2017-11-24] (ඉංග්‍රීසි)
  4. Sontheimer, Gunther Dietz. In Criminal Gods and Demon Devotees: Essays on the Guardians of Popular Hinduism. Edited by Alf Hiltebeitel, 299–337. Albany: State University of New York Press, 1989. [2017-11-24] (ඉංග්‍රීසි)
  5. "Bhairav Temple – Lord Bhairo Baba". shaligramrudraksha.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-11-24.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=භෛරව_හිස&oldid=476611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි