බෙලිලෙන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බෙලිලෙන

ආදී මානවයා ජීවත් වූයේ යැයි සැලැකෙන කිතුල්ගල බෙලිලෙන යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ය.

කිතුල්ගල නගරයේ සිට හැටන් දෙසට ටික දුරක් යන විට කිතුල්ගල පොලිස් ස්ථානය හමුවේ. පොලිස් ස්ථානය පසුකොට යාර 300ක් පමණ ගිය පසු වම් පසට බෙලිලෙන දක්වා දිවෙන මහබාගේ පාර හමුවේ. එතැන් සිට කිලෝමීටර් 4ක් ගිය තැන ඉන්ඔය දෙමළ විදුහල හමුවේ. එතැන් සිට තවත් කිලෝමීටර් 1 / 2 ගිය තැන බෙලිලෙන හමුවෙයි.

පුරා විද්‍යා වටිනාකම[සංස්කරණය]

අදින් අවුරුදු 25000 ක් අතීත මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි හමුවී ඇත.

මෙය ලෙන් තුනකින් යුක්ත ය. ලෙන් ද ඇතුළත් අක්කර 28ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් නම් කර ඇත. කැණීම් කර ඇත්තේ මැද පිහිටි විශාල ලෙනෙහි ය. එහි ලෙන් විවරය පළලින් අඩි 60ක් ද උසින් අඩි 40ක් පමණ ද වේ.එහි කැණීම් වළවල් 3ක කැණීම් කර තිබේ.අදින් අවුරුදු 25000 ක් අතීත මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි හමුවී ඇත. ලෙන තුළින් මිනිස් ඇටසැකිලි කොටස් හමුවුවද මිනී වළවල්වල සලකුණු දක්නට නොලැබේ.ඒ වෙනුවට වළලෑම් කර ඇත්තේ ලෙන් බිම යාන්තමට හාරා ඒ මත ඉවත ලන කසළ දැමීමෙනි. අළු, අඟුරු, සත්ව ඇටකටු සමඟ මිනී ඇටසැකිලි හමුවීමෙන් පෙනී යන්නේ මිනී මස් කෑමේ සිරිතක් හෝ මිනී කපාකොටා වළ දැමීමේ සිරිතක් තිබූ බව යයි මෙහි කැණීම් මෙහෙය වූ ආචාර්ය ශිරාන් දැරණියගල “ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය” කෘතියේ සඳහන් කර ඇත. කිතුල්ගලින් අවම තරමින් පුද්ගලයන් 30 දෙනෙකුගේ අස්ථි හමුවී තිබේ.එදා මධ්‍ය ශිලා යුග මානවයා ගතකළ සරල ජීවිතයට අවශ්‍ය ආයුධ තනා ගත්තේ ද ඉතා සරල ලෙස ය. ප‍්‍රධාන වශයෙන් භාවිත කර ඇත්තේ මුවහත් උල් කුඩා ගල් මෙවලම් ය. ඒවා ක්ෂුද්‍ර ශිලා මෙවලම් නමින් හඳුන්වයි. බෙලි ලෙන කැණීම්වලින් මීට වසර 27000 සිට 34000 දක්වා ඈත යුගයකට අයත් ශිලා අවි ලැබී ඇත. ශිලා මෙවලම් හැරුණුවිට සත්ව ඇටකටු වලින් තනාගත් මෙවලම් ද මෙම මානවයාට සිය එදිනෙදා කටයුතුවලදී උපාකරී වී ඇත. ඇටකටු මෙවලම් ලැබී ඇත්තේ බෙලිලෙනෙහි වසර 28000කට කාල නිර්ණය කර ඇති පස් තට්ටුවලිනි. සත්ව ඇටකටු, දත්, අං ආදී කොටස් ආයුධ තැනීමට යොදාගෙන තිබේ.වඳුරා, අලියා, මුවා, ගෝනා, මී හරකා වැනි සතුන්ගේ අස්ථි කොටස්වලින් මෙම ආයුධ තනාගෙන ඇත.

උල් ඇටකටු මෙවලම්,පැතලි ඇටකටු මෙවලම් මෙන් ම ඇටකටු හෝ අංවලින් තනන ලද පබලු ද කැණීම්වල දී හමු විය. මෙහිදී හමු වූ දාර සහිත වූත් දැති සහිතවූත් හැඳි වැනි පතුරු විශේෂ ආයුධ ගණයකට අයත්වේ.පබලු වැනි ශරීර අලංකරණ ආභරණ හමුවීමෙන් පෙනෙන්නේ මේ ආදි මානවයා යම්කිසි කලා රසඥතාවෙයකින් යුක්ත ව සිටි බව ය. පාට තනා ගැනීමට ගත් ගුරුගල් අඹරන ගල් හමුවීමෙන් ද ඒ බව පැහැදිලි වේ.මෙසේ ගුරුගල් අඹරා ඇත්තේ සිරුරේ ආලේප කර ගැනීමට විය හැක. මධ්‍ය ශිලා යුග මිනිසා ආහාර වගා කිරීමට හුරුවී නොසිටි අතර, ප‍්‍රධාන යැපුම් මාර්ගය වූයේ දඩයමයි. මෙසේ දඩයම් කළ සතුන් අතර ප‍්‍රමුඛත්වය ගෙන ඇත්තේ මිනිසාගේ ළඟම නෑදෑයා වූ වඳුරා ය. ඊට අමතරව අලි පැටව්, ගවරා (වඳවී ගිය සතෙකි), කුළුමීමා, ඌරා, ගෝනා, මීමින්නා, ඉත්තෑවා, හාවා, වලිකුකුළා, හබන් කුකුළා ආදී සතුන් ද සර්පයන් හා මත්ස්‍ය වර්ගද ඔවුන්ගේ ආහාරය බවට පත්ව තිබුණි. තවත් ප‍්‍රධාන ආහාරයක් වූයේ ගස් ගොළුබෙල්ලන් ය. අපේ නෑදෑයන් ගොළුබෙල්ලන් රස කරමින් අනුභව කළ බව ඇසීම අද අපට පිළිකුලක් විය හැකි ය. බෙලිලෙන කැණීම් වලින් හමු වූ ආකාවුස් ගණයේ ගොළුබෙල්ලන් වසර 12500-10500 ක අතීතයකට අයත් බව හෙළවී ඇත.මේ කටු සැමෙකකම තියුණු අවියකින් කරන ලද සිදුරක් දැකගත හැකි ය. ඒ සිදුරු මස් පිටතට ගැනීමට හාරන ලද ඒවා යයි මතයකි. කිතුල්ගල කේන්ද්‍රය වශයෙන් ගත් කල අවට වර්ග කිලෝමීටර 200ක ප‍්‍රදේශයකට මෙම ගොළුබෙලි වර්ගය සීමා වී ඇත. ලෙන අවට වල්දෙල් ගස් සරුවට වැවී ඇත. වල්දෙල් ඇට බෙලිලෙන මානවයාට ද ආහාරයක් වූ බවට සාධක ලැබුණේ ගොළුබෙල්ලන් හමුවන පස් තට්ටුවලිනි. කිතුල්ගල අවට වැවෙන වල්කෙසෙල්වල අවශේෂ ද සහ කැකුණ ඇට සහ කුරහන් ඇට ද මෙහි දී හමු වී ඇත. බෙලිලෙන මානවයා එක් තැනකට සීමා නොවූ බවත් තම අවශ්‍යතා සඳහා රට පුරා සංචාරය කළ බවත් පැහැදිලි වන සාධක ලැබී ඇත. එසේ බොහෝ දුර බැහැරින් රැගෙන ආ ද්‍රව්‍යයකි, ලුණු. ඒ බව සනාථ කරන්නේ බෙලිලෙනෙන් හමුවන ලුණුවල දැකගත හැකි මුහුදු බෙලිකටු ය. අද මෙන්ම එදාත් මිනිසාට ලුණු නැතිවම බැරි ද්‍රව්‍යයක් විය.පැවති නොඉඳුල් වනය එළි කිරීමෙන් පසු හටගත් ද්විතියික ශාක ප‍්‍රජාවේ කොස්, වල් දෙල්, මිල්ල, කීන, වැලිපියන්න, හැඩවක, වෙනිවැල්, පුස්වැල්, වේවැල්, කිතුල්, හොර වැනි ශාක ප‍්‍රමුඛ වේ. මේ වනපෙත ක්ෂීරපායී විශේෂ කිහිපයකටම වාසභූමියක් වී ඇත. ඕලු මුවා, මීමින්නා, සිවලා, වල්ඌරා, ඉත්තෑවා, කොළ දිවියා, දඬුලේනා, හාවා, උණහපුලුවා, කොළ වඳුරා ආදීහු ඒ අතර වෙති.

මූලාශ්‍ර දිනමිණ පුවත්පත සිංහලේ අතීතය සොයා

"https://si.wikipedia.org/w/index.php?title=බෙලිලෙන&oldid=399975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි