පණ්ඩුකාභය රජ

විකිපීඩියා වෙතින්
(පණ්ඩුකාභය රජතුමා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

විස්තර

පණ්ඩුකාභය රජ
අනුරාධපුර රාජධානියේ ප්‍රථම රජ
රාජ්‍ය සමයක්‍රි:පූ 437 - ක්‍රි:පූ 367
පූර්වප්‍රාප්තිකයාඅභය රජ
අනුප්‍රාප්තිකයාමුටසීව රජ
භාර්යාව
දරුවන්මුටසීව රජ
වංශයපණ්ඩක වංශය
පියාදීගගාමිණී
මවචිත්‍රා කුමරිය

පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437 - 367 ) යනු, ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජකෙනෙකි. ඔහු ආර්යයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් එක් සෙසත් කළ මුල්ම ස්වදෙශික පාලකයාය.[උපහරණ ඇවැසිය] එතුමා විසින් අනුරාධපුරය අගනුවරක් ලෙසින් දියුණු කළේය.

ප්‍රවේණිය[සංස්කරණය]

එතුමාගේ ප්‍රවේණිය පිලිබදව මතවාද තුනක් පවතී .

මහාවංශ කතාව[සංස්කරණය]

මහාවංශයට අනුව පඩුවස්දෙව් රජුට හා භද්දකච්චායනා බිසවට දාව පුතුන් දසදෙනෙකු සහ දියණියක මෙළොවට බිහිවිය. වැඩිමහල් පුතු අභය වූ අතර බාලම දියණිය චිත්‍රා විය. අනාගතයෙ රාජ්‍යය නිසා චිත්‍රා කුමරියගේ පුත්‍රයා ඔහුගේ මාමාවරු මරාදමන බවට නෙයිමිත්තක කරුවන් ප‍‍්‍රකාශ කළේය. ඒ අසා නැගනියන් මරන්නෙමුයි චිත්‍රා කුමරියගේ සොහොයුරන් තීරණය කළහ. නමුත් වැඩිමහල් අභය කුමරු එය වැළකිය. ඉන්පසු ඔවුන් එක්ටැම් ගෙයක් තනවා සියලූ රැකවල් යොදා දාසියක සමග චිත්‍රා කුමරියව බොහෝ කලක් රදවා තබන ලදී. දුටුවන් උමතු කරවන තරම් රුවක් චිත්‍රා හ‍ට තිබූ නිසා ඇය උන්මාද චිත්‍රා ලෙසද හදුන්වන ලදී.

භද්දකච්චායනා කුමරිය ලක්දිවට පැමිණි බව අසා ඇගේ සොයුරන් හයදෙනා වු රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු සහ රෝහණ ද ලක්දිවට පැමිණයහ. ඔවුන් පැමිණ ලංකාවේ නොයෙක් තැන්වල ජනාවාස පිහිටුවීය. රාම කුමරු විසූ තැන රාමගොණයයි කියනු ලැබේ. උරුවෙල හා අනුරාධ යන දෙදෙනාගේ වාසස්ථාන උරුවෙලය, අනුරාධයයි කියනු ලැබේ. එසේම විජිත, දිර්ඝායු සහ රොහණ යන මොවුන්ගේ වාසස්ථානද විජිතග්‍රාම, දිර්ඝායුග්‍රාම සහ රොහණයයි කියනු ලැබේ. අනුරාධ කුමරු දකුණු දිගින් වැවක් කරවිය. ඉන් ඉක්බිතිව රජගෙයක් කරවා එහි වාසය කළේය. පඬුවස්දෙව් මහරජ සිය දෙටු පිත් අභය කුමරු සුදුසු කල උපරජ තනතුරෙහි අභිෂේක කෙළේය.

දීඝායු කුමරුගේ පුත්‍රයා වන්නේ දීඝගාමිණී කුමරුය. දීඝගාමිණී කුමරු චිත්‍රා කුමරිය ගැන අසා ඇය ගැන කැමැත්තක් ඇතිවී උපතිස්ස ග්‍රාමයට ගියහ. ඉන්පසු දීඝගාමිණී කුමරු හා චිත්‍රා කුමරිය අප්‍රසිද්ධව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් චිත්‍රා කුමරිය ගැබ් ගත්තාය. චිත්‍රා කුමරියගේ දාසිය මේ බව මවුබිසවට කීවාය. මවුබිසව රජුහට මේ බව සැල කළහ. රජු තම පුත්‍රයන් කැඳවා, චිත්‍රා කුමරියව අප විසින් රැකිය යුතුය. එමනිසා දීඝගාමිණී කුමරුටම ඇය දෙමුයි කීයේය. පුතෙක් ඉපදුණොත් මරමුයි සිතා දීඝගාමිණී කුමරුට චිත්‍රා කුමරියව විවාහ කර දුන්හ. චිත්‍රා කුමරිය දරුවා බිහි කිරීමට ආසන්න කාලයේදී,‍ රාජ කුමාරවරුන්ට රහසින් වෙනත් ගර්භනී කාන්තාවක්ව රැගෙනවිත් චිත්‍රා කුමරිය සමීපයේ තැබීය. සුදුසු කාලයේදී චිත්‍රා කුමරිය පුතෙකු වැදුවාය. අනෙක් කාන්තාව දුවෙකු වැදුවාය. ඒ කුමරුව පණ්ඩුකාභය යැයි නම් කළෝය. චිත්‍රා කුමරිය විසින් ඒ කාන්තාවට මසු දහසක් හා සිය පුතු දී, ඒ දියණියව රැගෙන ළඟ හොවාගත්තීය. චිත්‍රා කුමරියට දුවෙක් ඉපදුණායි සිතා රාජ කුමාරවරු සතුටු වූහ. චිත්‍රා කුමරියගේ නියමයෙන් එක් දාසියක් ළදරු කුමරහු කරඬුවක බහාගෙණ දොරමඩල නම් ගමට ගියාය. පණ්ඩුකාභය කුමරු පිළිබද තොරතුරු දැනගත් මාමාවරු කුමරු මැරීමට කිහිපවරක්ම උත්සාහ කළහ. නමුත් බල සම්පන්න දෛවයකට උරුමකම් කියූ පණ්ඩුකාභය කුමරු සියලු අනතුරු වලින් දිවි ගලවා ගත්‍හ.

පසුව සොළොස් හැවරදි වූ කුමරු ශිල්ප හැදැරීම සදහා දකුණුදිග පණ්ඩුල නම් ගම විසූ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා වෙත යැවුයේය. කුමරු එහි ගොස් පණ්ඩුල බමුණ මුණගැසිණ. “දරුව ‍තෝ පණ්ඩුකාභය කුමරු දැයි” යි විචාරා “ඒසේය” යි කීකල ඔහුට සත්කාරකොට “දරුව තෝ රජ වන්නීය. සමසැත්තැවසක් රජය කරන්නෙහිය. ශිල්ප උගණුව.” යි කියා ශිල්ප ඉගැන්විය. පණ්ඩුල නම් බ්‍රාහ්මණයාගේ චන්දන නම් පුතු හා පණ්ඩුකාභය කුමරු වහා සිප් නිමවා පන්සියයක් පිරිවර සමග පණ්ඩුල ග්‍රාමයෙන් නික්ම කසගලට පැමිණියහ. එතැනින් සත්සියයක පිරිවර සමග ඉක්බිතිව එක්දහස් දෙසියයකින් සමන්විත පිරිවර ගිරිකණ්ඬසිව නම් කුමරුගේ දේශය වෙත ගියහ. ඉක්බිතිව පාණ්ඩුකාභය කුමරු ගඟින් එතර දොළුගලට ගියේය. එහි සතර අවුරුද්දක් වාසය කෙළේය. මාමාවරුන් එපවත් අසා පාණ්ඩුකාභය කුමරු සමඟ යුද පිණිස එළඹියෝය. මාමාවරුන් දුම්රක්ගල කඳවුරු පිහිටුවා බෑණ සමඟ යුධ කළෝය. මාමාවරුන්ව ගඟින් එතරට පළවා හැරි පණ්ඩුකාභය කුමරු ඒ කඳවුරෙහි දැවුරුද්දක් විසිය.

දුම්රක්ගල වසන චෙතියා නම් යකින්න තිඹිරසඟන විලෙහි වෙළඹරුවින් ඇවිදින්නීය. සුදු සිරුර හා රන්පැහැති සිත්කලු ඒ වෙළඹ එකෙක් දැක “මෙහි මෙබඳු වෙළඹක් වසන්නීය” යි කුමරු හට දැන්විය. කුමරු රැහැණ ගෙණ ඇය අල්වා ගන්ට එළඹියේය. පසුපසින් ආවහු කුමරු දැක ඕතොමෝ භයවී අතුරුදහන්නොවි ඒ විල සිසාරා දිව්වාය. ඈහට “ති මරමි” කියා කඩුවු එසවිය. “ස්වාමිනි, ඔබට රජය ගෙණ දෙමි. මා නොමැරුව මැනව” යි ඇය කීවාය. ඔවුන් දුම්රක්ගලට ගොස් එහි සතර අවුරද්දක් වාසය කළේය. භටසේනා රිටිගලට අවුදින් යුධකාලය බලමින් එහි සත්අවුරුද්දක් වාසය කළේය.

මාමාවරුන් දෙදෙනෙකු හැර ඔහුගේ සෙසු මාමාවරුන් අටදෙනා යුදයට සැරසුණෝය. ඔවුන් රිටිගල එළඹ (එහි පෙර පිහිටි) කුඩානුවර කඳවුරු පිහිටුවා ගෙණ සිවුරගසෙන් දි සෙනෙවියා යවා හාත්පසින් රිටිගල වට කළහ. පණ්ඩුකාභය කුමරු චෙතියා යකිනිය හා මන්ත්‍රණය කොට පණ්ඩුකාභය කුමරු යක්වෙළඹ පිට නැගි කුමාරයාගේ සේනාව මාමාවරුන් සමග යුද්ධයට එළඹුණාය. පණ්ඩුකාභය කුමාරයාගේ සේනාව, සියලුම පරසෙනාද මාමාවරුන් අටදෙනාද මරා යුද්ධය ජයග්‍රහණය කළෝය. ඉනපසු පණ්ඩුකාභය කුමාරු රාජ්‍යත්වයට පත්ව හැත්තෑ වසරක් රාජ්‍යය කළේය.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

[1] [2] [3]

  1. දීපවංශය
  2. මහාවංශය
  3. ලංකා ඉතිහාසය
"https://si.wikipedia.org/w/index.php?title=පණ්ඩුකාභය_රජ&oldid=512484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි