තීබි (චන්ද්‍රයා)
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | ස්ටීවන් පී. සයිනොට් / වොයේජර් 1 |
සොයාගත් දිනය | 1979 මාර්තු 5 |
නිලනාමයන් | |
විකල්ප නම් | බ්‍රහස්පති XIV |
විශේෂණය | තීබියානු, එස්ටෝනියානු |
කක්ෂීය ලක්ෂණ | |
පරිදුරාන්තිකය | 218,000 km |
විදුරාන්තිකය | 226,000 km |
මධ්‍යන්‍යය කක්ෂ අරය | 221889.0 ± 0.6 km (3.11 RJ) |
උත්කේන්ද්‍රියතාවය | 0.0175 ± 0.0004 |
කක්ෂීය කාලාවර්තය | දින 0.674536 ± 0.000001 (පැය 16 මිනිත්තු 11.3) |
ආනතිය | 1.076 ±0.003° (බ්‍රහස්පතිගේ සමකයට) |
මෙහි චන්ද්‍රිකාවකි | බ්‍රහස්පති |
භෞතික ගුණාංග | |
මාන | 116×98×84 km |
මධ්‍යන්‍යය අරය | 49.3 ± 2.0 km |
පරිමාව | ~500,000 km³ |
ස්කන්ධය | 4.3 × 1017 kg |
මධ්‍යන්‍යය ඝණත්වය | 0.86 g/cm³ (උපකල්පිත) |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.013 m/s² (0.004 g) |
මිදුම් ප්‍රවේගය | 20–30 m/s |
භ්‍රමණ කාලාවර්තය | සමමුහුර්තක |
ආක්ෂක ආනතිය | ශුන්‍යයි |
ප්‍රභානුපාතය | 0.047 ± 0.003 |
උෂ්ණත්වය | ~124 K |
තීබි චන්ද්‍රයා බ්‍රහස්පති XIV යන නමින්ද හඳුන්වනු ලබන දුරින් හතරවන ස්ථානයේ කක්ෂගතව ඇති බ්‍රහස්පති ග්‍රහලොවේ උපග්‍රහයෙකි. මෙය වර්ෂ 1979 මාර්තු 5 වන දින බ්‍රහස්පති ග්‍රහයා අසලින් ගමන් කල වොයේජර් 1 යානය විසින් ලබාදුන් ඡායාරූප මඟින් ඇමෙරිකානු ජාතික තාරකාවිද්‍යාඥයෙකු වූ ස්ටීවන් පී. සයිනොට් විසින් සොයාගන්නා ලදී. ඉන් පසු වර්ෂ 1983 දී මෙම උපග්‍රහයා ග්‍රීක දේව කථා වල සඳහන් වන තීබි නම් දෙවඟනගේ නමින් නිල වශයෙන් නම් කරන ලදී.
මෙය බ්‍රහස්පති ග්‍රහයාට ඉතාම ආසන්නයෙන් කක්ෂගතව ඇති උපග්‍රහයින් අතුරින් දෙවැනි විශාලතම උපග්‍රහලොවයි. තීබ් කක්ෂගතව ඇත්තේ එහි මතුපිට පෘෂ්ඨය මඟින් පිටකරන ලද දූවිලි වලින් සැදුම්ලත් තීබි ගොස්මර් වලල්ලේ පිටත කෙලවරට වන්නටය. මෙම චන්ද්‍රයා අක්‍රමවත් හැඩයකින් යුක්තවන අතර එයට ඇත්තේ රතු පැහැයට හුරු වර්ණයකි. මෙම උපග්‍රහයා ද අමෙල්තියා උපග්‍රහයා මෙන් සවිවර ජල අයිස් වලින් සහ අනෙකුත් හඳුනා නොගත් ද්‍රව්‍යයන්ගෙන් සැදුම්ලත් උපග්‍රහයෙක් යැයි විශ්වාස කෙරේ. ඒහි පෘෂ්ඨය මතුපිට විශාල ආවාට සහ උස් කඳුමුදුන් වැනි ලක්ෂණ දැකිය හැකි අතර ඇතැම් ඒවා චන්ද්‍රයාට සාපේක්ෂව විශාලත්වයෙන් යුක්තවේ.
තීබි චන්ද්‍රයා වොයේජර් 1 සහ 2 අභ්‍යවකාශ යානා මඟින් පිළිවෙලින් වර්ෂ 1979 දී සහ 1980 දී ඡායාරූපගතකොට ඇති අතර වඩාත් විස්තර සහිතව වර්ෂ 1990 දී ගැලීලියෝ ඔබිටර් යානය මඟින් ලබාදෙන ලදී.
සොයාගැනීම සහ නිරීක්ෂණ
[සංස්කරණය]තීබි චන්ද්‍රයා සොයාගන්නා ලද්දේ වර්ෂ 1979 මාර්තු මස 5 වෙනි දින ස්ටීවන් පී. සයිනොට් විසින් වොයේජර් 1 යානයෙන් ලැබු ඡායාරූප අධ්‍යයනය කිරීම මඟිනි. ඉන්පසු එය තාවකාලිකව S/1979 J 2 නමින් හඳුන්වන ලදී. 1983 වර්ෂයේදී එය නිල වශයෙන් සියුස් දෙවියාගේ පෙම්වතියක් වන ග්‍රීක දේව කථා වල සඳහන් තීබි නම් දෙවඟනගේ නම ලබාදෙන ලදී.
වොයේජර් 1 යානයෙන් මෙය සොයාගැනීමෙන් අනතුරුව වර්ෂ 1980 දී වොයේජර් 2 යානයෙන්ද මෙම චන්ද්‍රයා ඡායාරූපගත කලේය. කෙසේ වෙතත් ගැලීලියෝ අභ්‍යවකාශ යානය බ්‍රහස්පති වෙත ලඟාවනතෙක්ම මෙම චන්ද්‍රයා පිළිබඳ තොරතුරු ඉතා අල්ප විය. ගැලීලියෝ යානය විසින් තීබි චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම ඡායාරූපගත කල අතර එහි සංයුතිය පිළීබඳව ද තොරතුරු ලබා දෙන ලදී.
කක්ෂය
[සංස්කරණය]තීබි බ්‍රහස්පතිගේ සිට කිලෝමීටර 222,000 පමණ දුරින් කක්ෂගතවී ඇති අතර එය ජොවියන් චන්ද්‍රයන්ගෙන් බාහිරතම චන්ද්‍රයාද වේ. එහි කක්ෂයට 0.018 විකේන්ද්‍රිකතාවයක් සහ බ්‍රහස්පතිගේ සමකයට සාපේක්ෂව අංශක 1.08 ආනතියක් පවතී. මෙම අගයන් අභ්‍යන්තර චන්ද්‍රයෙකු සඳහා ඉහල අසාමාන්‍යතාවකින් යුක්තවන අතර එය ගැලීලියානු චන්ද්‍රයින්ගේ අභ්‍යන්තරතම චන්ද්‍රයා වන ආයෝ විසින් ඇතිකල බලපෑම මඟින් පැහැදිළි කල හැක. අතීතයේදී කිහිප වතාවක්ම ආයෝ, තීබිගේ කක්ෂය අසලින් ගමන් කිරීම හේතුවෙන් ඇතිවූ කක්ෂීය අනුනාදය නම් සංසිද්ධිය හේතුකොටගෙන ආයෝ ක්‍රමයෙන් බ්‍රහස්පතිගෙන් ඉවතට ගොස් ඇති අතර තීබිගේ කක්ෂයෙහි අසාමාන්‍යතාවයටද හේතුවී ඇත.
තීබිගේ කක්ෂය එයින් පිටවූ දූවිලි වලින් නිර්මාණයවූ තීබි ගොස්මර් වලල්ලේ පිටත කෙලවරට වන්නට පිහිටා ඇත. මෙම උපග්‍රහයාගෙන් නිකුත් වන දූවිලි අංශු පොයින්ටින්-රොබට්සන් ආචරණය නම් සංසිද්ධිය හේතුකොටගෙන මව් ග්‍රහයා වන බ්‍රහස්පති දෙසට ප්ලවනය වී එය වටා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුල් පැත්තෙන් වලල්ලක් ආකාරයට පිහිටයි.
භෞතික ලක්ෂණ
[සංස්කරණය]තීබී අක්‍රමවත් හැඩයකින් යුක්ත වන අතර ආසන්නතම ඉලිප්සාභ සන්නිකර්ෂණයන්ට අනුව එහි මාන කිලෝමීටර 116×98×84 වේ. මෙහි පෘෂ්ඨීය වර්ගඵලය වර්ග කිලෝමීටර 31,000 සහ 59,000 අතර අගයක් ගනී. මෙහි සමස්ථ ඝනත්වය සහ ස්කන්ධය නොදන්නා නමුත් මධ්‍යයන ඝනත්වය අමෙල්තියා චන්ද්‍රයාගේ (ආසන්නව 0.86 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්) වැනි යැයි උපකල්පනයෙන්, ස්කන්ධය දල වශයෙන් කිලෝග්‍රෑම් 4.3×1017 පමණ වේ යැයි ඇස්තමේන්තු කර ඇත.
අනෙකුත් අභ්‍යන්තර චන්ද්‍රයන් සේම තීබි චන්ද්‍රයාද බ්‍රහස්පති වටා සමමුහුර්තකව කක්ෂීය චලිතයේ යෙදෙන බැවින් සැමවිටම චන්ද්‍රයාගේ එක් මුහුණතක් බ්‍රහස්පති දෙසට එල්ලවී පවතී. එහි දිශානතියට අනුව දිගු අක්ෂය සැමවිටම බ්‍රහස්පති කරා යොමුවී ඇත. එහි බ්‍රහස්පතිට ආසන්නතම පෘෂ්ඨික ලක්ෂ්‍යයේ සිට දුරස්ථම ලක්ෂය දක්වා වූ පෘෂ්ඨය රොච් සීමාවට ආසන්න කෙලවරක පවතින බව සිතිය හැක. එමනිසා තීබිගේ ගුරුත්වය එහි කේන්ද්‍රාපසාරී බලයට වඩා මඳක් විශාලවේ. මේ හේතුවෙන් මෙම ලක්ෂ්‍ය දෙකෙහි දී ග්‍රහවස්තුවේ වියෝග ප්‍රවේගය ඉතා කුඩා අගයක් ගන්නා බැවින් උල්කාශ්ම ගැටීම් වලදී පහසුවෙන්ම දූවිලි අංශු සහ ග්‍රහ කැබලි පිටවී තීබි ගොස්මර් වලල්ල වෙත එකතුවේ.
තීබිගේ පෘෂ්ඨය අඳුරු ස්වභාවයක් ගන්නා අතර එය රතු පැහැයට හුරු වර්ණයකින් දිස්වේ. ඉදිරිපස සහ පසුපස අර්ධගෝල අතර සැලකියයුතු දීප්තතාවයේ වෙනසක් පවතී. ඉදිරි අර්ධගෝලය පසුපස අර්ධගෝලයට සාපේක්ෂව 1.3 ගුණයක දීප්තියකින් යුක්තවේ. අධික ප්‍රවේගය සහ ඉදිරි අර්ධගෝලය මතින් දීප්තිමත් ද්‍රව්‍ය (බොහෝදුරට අයිස්) ඉවත්කරන නිරන්තර ගැටීම් මෙම අසමානතාවයට හේතුවන්නට ඇත. තීබිගේ පෘෂ්ඨය විශාල වශයෙන් ආවාට වලින් සමන්විත වන අතර විශාල ප්‍රමාණයේ ආවාට තුනකින් හෝ හතරකින් යුක්තවේ. විශාලතම ආවාටය (විශ්කම්භය කිලෝමීටර 40) පිහිටා ඇත්තේ බ්‍රහස්පතිට පිටුපා ඇති පැත්තේ වන අතර එය සෙතස් නමින් නම්කර ඇත(නමක් ලැබී ඇති තීබිගේ එකම භුලක්ෂණයයි). මීට අමතරව මෙම ආවාට කෙලවර දීප්තිමත් ලප කිහිපයක්ද දක්නට ඇත