ඇපලෝ වැඩසටහන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ඇපලෝ වැඩ සටහන වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
tiny globe
ඇපලෝ වැඩසටහන් ලාංඡනය

ඇපලෝ වැඩසටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතරතුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් විසින්ද ගගනගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්සවන ලදී. ඒවායින් අවසාන ගමන සිදුවුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ අවස්ථාවන් විය.විශේෂයෙන් ඇපලෝ චන්ද්‍රයා මතට ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසයේ ලැබු විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.

tiny globe
1969 දී බස් ඇල්ඩ්‍රින්, ඇපලෝ 11 හි ප්‍රථම සඳ මතට ගොඩට බැසීමේ මෙහෙයුම

ඇපලෝ වැඩසටහන නාසා විසින් ඉටු කරන ලද දෙවන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩසටහන වේ. ඒවා ඇපලෝ අභ්‍යවකාශයානා හා සැටල නිකුත් කිරීමේ වාහන යොදා ගත් අතර පසුව ඒවා ස්කයිලැබ් වැඩසටහනට හා ඇමෙරිකානු රුසියානු ඒකාබද්ධ ඇපලෝ - සොයිස් පර්යේෂණ ව්‍යාපෘතියට යොදා ගන්නා ලදී. මීට පසුව සඳහන් කරන ලද වැඩසටහන මුළු ඇපලෝ වැඩ සටහනේ කොටස් ලෙස සැලකේ.

ඇමෙරිකානු ජනාධිපති කෙනඩි විසින් ප්‍රකාශ කර ඇති පරිදි අදාල අරමුණ වෙත ලඟා වූයේ විශාල බිඳවැටීම් දෙකක් පමණක් සිදුකරමිනි. ප්‍රථම වැරදීම ගඟනගාමීන් තිදෙනෙකුගේ මරණයට හේතු විය. ගස් ග්‍රිසම්, එඩ්වයිඩ් හා රොජර් චැෆේල් වන ඔවුන් ඇපලෝ 1 නිකුත් කිරීම් පුවරුවේ වූ ගින්නකින් ජීවිතක්ෂයට පත්විය. දෙවැන්න ඇපලෝ 13 අභ්‍යවකාශයේදී පිපිරීමය. මෙය අභ්‍යවකාශ යානයට දැඩි හානි අත් කර දුනි. මෙහෙයුම් පාලකයන්ගේත් ව්‍යාපෘති ඉන්ජිනේරුවන්ගේත්, උපස්ත සේවක මණ්ඩලයේ හා එම ගඟනගාමීන්ගේම හැකියාව මත ගඟනගාමීන්ට යන්තමින් තම ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

මෙම වැඩසටහන මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන ලදී. ඇපලෝ 8 වෙනත් අභ්‍යවකාශයෙහි වූ වස්තුවක් වටා කක්ෂ ගත වූ ප්‍රථම අභ්‍යවකාශ යානය වන අතර ඇපලෝ 17 අවසාන චන්ද්‍ර ගමන හා පෘථිවි කක්ෂයෙන් පිටවූ අවසාන මිනිසුන් සහිත මෙහෙයුම වේ.

මෙම වැඩසටහන රොකට් කර්මාන්තයට මෙන්ම මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වලටද තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය වැනි බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉංජිනේරු ශිල්පයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ද ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සංධිස්ථාන ලෙස පවතී.

වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.

ඇපලෝ වැඩසටහනෙහි පසුබිම[සංස්කරණය කරන්න]

එක්සත් ජනපදයේ මර්කරි (Mercury) වැඩ සටහනේ දෙවැනි කොටස ලෙස අයිසන් හවර් පාලන සමය තුළ 1960 දශකයේ මුල් භාගයේ දී ඇපලෝ (Apollo) වැඩ සටහන පිළිබද සංකල්පය මුල් වරට ඉදිරිපත් විය. මර්කරි කැප්සුලය මගින් සීමිත පෘතුවි කක්ෂීය මෙහෙයුමක් වෙනුවෙන් එක් ගගන ගාමියෙක් පමණක් රැගෙන යාමේ හැකියාව පැවතිණි. නමුත් ඇපලෝ යානය අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු චන්ද්‍රයා වටා කක්ෂයක් දක්වා ගෙනයාම අරමුණු කොට ගෙන නිර්මාණය වු අතර එහිදී සදමත ගොඩ බැසීමක් සදහා ද ඉඩ කඩ සැලසිණි. මෙම වැඩසටහන නාසා (NASA) ආයතනයේ පාලක අබේ සිල්වස්ටයින් විසින් ආලෝකය සහ දුනු ශිල්පයට අධිපති ග්‍රීක දෙවියාගේ නමින් නම් කරන ලදී. පසුව “මම අභ්‍යවකාශ යානය මගේම බිළිදෙකු නම් කරන ලෙසට නම් කලෙමි.” යැයි ඔහු පැවසීය. නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ කටයුතු දිගින් දිගටම කර ගෙන ගිය නමුත් වැඩ සටහන සඳහා මුදල් ප්‍රතිපාදන ලැබීම ස්ථිර වී නොතිබුණි. මේ තත්ත්වය මිනිසුන් සහිත අභ්‍යවකාශ චාරිකා කෙරෙහි අයිසන් හවර් දැක්වු සැක සහිත ආකල්පය හේතුවෙන් පැන නැගුණකි. 1960 වර්ෂයේ නොවැම්බර් මාසයේදී අභ්‍යවකාශ ගවේෂණය සහ මිසයිල ආරක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ සෝවියට් සංගමයට සාපේක්ෂව ඇමරිකාව ඉහළ මට්ටමකට ඔසවා තබන බවට පොරොන්දු වෙමින් ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයක් ඔස්සේ ජෝන් F කෙනඩි ජනාධිපති ධුරයට පත් විය. ඔහු අභ්‍යවකාශ ගවේෂණය ජාතික අභිමානයෙහි සලකුණක් ලෙස භාවිතා කල අතර එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර මිසයිල අන්තරයක් පිළිබද අනතුරු ඇඟවීය. ඒ අතරම ඔහු එක්සත් ජනපද මිසයිල ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවා මෙන්ම හදිසි තත්ත්වයකදී එම ක්ෂේත්‍රය පළමුවරට භාවිත කරන රාජ්‍යය බවට පත් කිරීමට ද පොරොන්දු විය. කෙසේ වෙතත් කෙනඩි ජනාධිපති ධුරයට පත් වු වහාම ඇපලෝ වැඩසටහනේ තත්ත්වය පිළිබද නිගමනයකට එළඹීමෙන් වැළකුණි. අභ්‍යවකාශ වැඩසටහනෙහි තාක්ෂණික විස්තර පිළිබද ඔහුගේ දැනුම අවම වු අතර මිනිසුන් සහිත යානයක් සද මත ගොඩ බෑම සදහා වියදම් කල යුතු විශාල මුදල ඔහු අධෛර්යයට පත් කරන්නක් විය. නාසා ආයතනයේ පාලකයා වු ජේම්ස් වෙබ් සිය ආයතනය සදහා ලබා දෙන ප්‍රතිපාදන 30% කින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටි විට කෙනඩි නාසා ආයතනයේ විශාල හුවන වැඩසටහන වේගවත් කිරීම සදහා සහයෝගය පලකල නමුත් වඩාත් වැදගත් කරුණු සම්බන්ධයෙන් නිසි තීරණයක් ලබාදීමෙන් වැලකී සිටියේය.

1961 වසරේ අප්‍රේල් 12 වන දින සෝවියට් ගගනගාමී යුරි ගගාරින් අභ්‍යවකාශයට ගමන් කල ප්‍රථම මිනිසා බවට පත් විය. එත් සමගම සෝවියට් සංගමය සමග පැවති තාක්ෂණික තරඟයෙන් ඇමරිකාව පරාජයට පත් වනු ඇති බවට තිබු සැකය ශක්තිමත් විය. යුරි ගගාරීන් සිය චාරිකාව සිදු කල දිනට පසු දින පැවති විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබද එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටු රැස්වීමකදී බොහෝ කොන්ග්‍රස් සභිකයන් එක්සත් ජනපදයේ මට්ටම ඉහළ නැංවීම ඉලක්ක කර ගත් හදිසි වැඩසටහනක් සදහා සහයෝගය පල කලහ. කෙසේ නමුත් කෙනඩි යුරි ගගාරින්ගේ චාරිකාව පිළිබද ප්‍රවෘත්තියට පරීක්ෂාකාරීව ප්‍රතිචාර දැක්වීය. සෝවියට් සංගමයේ වැඩසටහනට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය ස්ථිරව ප්‍රකාශ කිරීමෙන් කෙනඩි වැලකී සිටියේය. අප්‍රේල් 20 වැනි දින උප ජනාධිපති ලින්ඩන් B ජොන්සන් හට කෙනඩි විසින් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ තත්ත්වය සහ නාසා ආයතනයට සිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට ආධාර විය හැකි වැඩ සටහන් පිළිබද සොයා බලන මෙන් සිහි කැද වීමක් යවන ලදී. පසු දින ජොන්සන් මේ සම්බන්ධයෙන් පහත පරිදි පිළිතුරක් යවන ලදී. “අප නායකත්ව පිහිටුමක් වෙත ළඟා වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අප මේ වන විට උපරිම උත්සාහයක් යොදන බවක් දැකිය නොහැකි අතර අවශ්‍ය ප්‍රතිඵල ලඟාකර ගැනීමට ද අප අසමත්ව ඇත.” ඔහු තම සිහිකැඳවීම අවසන්කරන ලද්දේ සඳමත ගොඩබෑම මුල්වරට සිදු කිරීමේ ගෞරවය එක්සත් ජනපදයට ලබාගැනීමට හැකිවන තරම් ප්‍රමාණවත් කාලයක් එවැනි වැඩසටහනකට ලඟාවීමට ගත වනු ඇති බව සඳහන් කරමිනි.

tiny globe
සඳ මත ගමන් කිරීමේ තීරණය : 1961 වසරේ මැයි 25 වන දින ජනාධිපති ජෝන් F කෙනඩි එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතන අයුරු

1961 වසරේ මැයි 25 වන දින කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතමින් කල විශේෂ කතාවක කොටසක් ලෙස කෙනඩි ඇපලෝ මෙහෙයුමට සහයෝගය පලකළේය.

ඔහුගේ කතාවෙන් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්තනය පහත දැක්වෙයි.

“First, I believe that this nation should commit itself to achieving the goal, before this decade is out, of landing a man on the Moon and returning him safely to the Earth. No single space project in this period will be more impressive to mankind, or more important in the long-range exploration of space; and none will be so difficult or expensive to accomplish.’’

ප්‍රථමයෙන් මගේ විශ්වාසය වන්නේ මෙම දශකය අවසන් වීමට ප්‍රථම මිනිසෙකු සඳමතට යවා නැවත ඔහු ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ ඉලක්කයට ලඟා විය යුතු බවයි. මෙම කාලය තුළ ක්‍රියාවෙහි යෙදවෙන කිසිදු තනි අභ්‍යවකාශ වැඩසටහනක් එය තරම් මානව වර්ගයාට සුවිශේෂී නොවනු ඇත. අභ්‍යවකාශයේ දිගු දුර ගවේෂණය සඳහා එය තරම් වැදගත් වැඩසටහනක් තවත් නොවනු ඇති අතර එතරම් අපහසු සහ මිල අධික වැඩ සටහනක් ද නොපවතිනු ඇත.

කෙනඩි සිය කතාව ඉදිරිපත් කරන විට අභ්‍යවකාශයට ගමන් කොට තිබුණේ එක් ඇමරිකානුවෙකු පමණි. එයද ඔහුගේ කතාවට මාසයකට අඩු කාලයකට ප්‍රථමව වේ. තවද ඒ වන විටද නාසා ආයතනය මිනිසකු කක්ෂගත කිරීමට අසමත් තත්ත්වයක පසුවිය. ඇතැම් නාසා සේවකයින් කෙනඩිගේ අපේක්ෂා සහගත ඉලක්කයන් ට ලඟාවීම පිළිබඳ සැක පලකළහ.

tiny globe
1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරන අයුරු.

ජනාධිපති කෙනඩිගේ අභියෝගයට මුහුණ දෙමින් 1969 අවසන් වන විට සඳ මතට මිනිසුන් යැවීම සදහා සාමකාමී වටපිටාවක් තුළ මේ දක්වා ලෝකයේ රාජ්‍යයක් විසින් වැය කරන ලද විශාලම සම්පත් ප්‍රමාණයයි. වඩාත් හදිසියේ සිදුවු තාක්ෂණික නිර්මාණවේදී ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට සිදු විය. ඇපලෝ වැඩ සටහන් උච්ච අවස්ථාවේදී 400000 ක පිරිසක් එහි සේවය කළ අතර ඒ සඳහා කාර්මික ආයතන සහ විශ්ව විද්‍යාල 20000 කට අධික ප්‍රමාණයක සහයෝගය අවශ්‍ය විය.

කෙනඩිගේ දේශනයකින් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්තනය පහත දැක්වේ.

1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරමින් (17 min, 47 sec).

“We choose to go to the moon in this decade and do the other things, not because they are easy, but because they are hard, because that goal will serve to organize and measure the best of our energies and skills, because that challenge is one that we are willing to accept, one we are unwilling to postpone, and one which we intend to win, and the others, too”.

අප මෙම දශකය තුළ සඳ මත ගොඩ බැසීමට සහ අනෙකුත් දෑ සිදු කිරීමට තීරණය කළේ ඒවා පහසු වු නිසා නොවේ. ඒවා අපහසු වු නිසාවෙනි, අපගේ ඉහළම ශක්තිය සහ හැකියාව එම ඉලක්කය සපුරා ගැනීමේදී සංවිධානය කර ගැනීමටත් මැන ගැනීමටත් හැකි වන හෙයිනි, එම අභියෝගය අප බාරගැනීමට සුදානම්ව සිටින එහෙත් කල්දැමීමට අකමැති ජයගැනීමට අරමුණු කර ඇති එකක් බැවිනි. මෙය අපගේ අනෙකුත් ඉලක්ක සදහා ද සත්‍ය වේ.

මෙහෙයුම් ආකාරයක් තෝරා ගැනීම[සංස්කරණය කරන්න]

කෙනඩි විසින් තමන්ගේ අරමුණ අර්ථ දැක්වු පසු ඇපලෝ මෙහෙයුම් සැලසුම්කරුවන්, තාක්ෂණය හා ගගණගාමීන්ගේ හැකියා මත පදනම්ව මිනිස් ජීවිතවලට අඩු අවධානමක් සහිත හා අඩු වියදමක් සහිතව මෙම අරමුණ සපුරා ගැනීම සඳහා ගුවන් ගමන් කීපයක් සැළසුම් කිරීමේ අභියෝගයට මුහුණ පෑහ.මෙහෙයුම් සිදුකළ හැකි ආකාර 4 ක් සලකා බැලිනි.


tiny globe
සෘජුව නික්මවීමට හා පෘතුවි කක්ෂ සම්බන්ධ වීමට (Rendezvous) හැකි ආකාරයෙන් මුල් ඇපලෝ සකස් විය.1961 (නාසා)
  • සෘජු නික්මීම - අභ්‍යවකාශ යානයක් කෙලින්ම සඳකරා ගමන් කර එහි ගොඩබා නැවත තනි ඒකකයක් ලෙස පැමිණෙනු ඇත. එම සැළසුම සඳහා අතිශය ජවසම්පන්න බූස්ටරයක් අවශ්‍යවේ. (නො‍වා රොකට්ටුව)
  • පෘතුවි කක්ෂ සම්බන්ධවීම් (EOR) - සැටර්න් V රොකට්ටු දෙකක් නිකුත් කරනු ඇත. එකක් නම් අභ්‍යවකාශ යානය රැගෙන ඒමයි. අනෙක නම් අභ්‍යවකාශ යානයට පෘතුවි කක්ෂයෙන් පිටවීමට අවශ්‍ය ප්‍රචාලක පද්ධතිය සැකසීමයි. පෘතුවි කක්ෂයේ දී එ‍කිනෙක සම්බන්ධ වීමෙන් පසු අභ්‍යවකාශ යානය තනි ඒකකයක් ලෙස සඳ මත ගොඩ බානු ඇත.
  • සඳ මතුපිටදී සම්බන්ධවීම - මෙහිදී අභ්‍යවකාශ යානා දෙකක් නිකුත් වනු ඇත. පළමු වැන්න ප්‍රචාලක රැගත් ස්වයංක්‍රීය වාහනයක් වන අතර එය සඳ මත පතිත වීමෙන් පසු මිනිසුන් සහිත වාහනයක් ද සඳ මත පතිත වනු ඇත. මිනිසුන් සහිත වාහනය නැවත පෘතුවියට ඒමට පෙර ප්‍රචාලක පද්ධතිය ස්වයංක්‍රීය වාහනයේ සිට මිනිසුන් සහිත වාහනයට මාරු කරනු ඇත.
  • චන්ද්‍ර කක්ෂ සම්බන්ධ වීම් (LOR) - එක් සැටර්න් V රොකට්ටුවක් මොඩියුල කොටස්වලින් යුත් එක් අභ්‍යවකාශ යානයක් නිකුත් කරනු ඇත. අණදීම් මොඩියුලය සඳ වටා කක්ෂයේ පවතින අතරතුර චන්ද්‍ර මොඩියුලය සඳට ගොඩබා නැවත චන්ද්‍ර කක්ෂයේ පවතින අණදිම් මොඩියුලය හා සම්බන්ධ වනු ඇත. අනෙකුත් සැළසුම් සමග සංසන්දනාත්මකව බලන කළ LOR හට අවශ්‍ය වන්නේ අභ්‍යවකාශ යානයේ කුඩා කොටසක් පමණක් සඳ මත ගොඩ බැස්වීමටය. එමනිසා එමගින් නැවත පැමිණීමේ ගමන සදහා සඳ මතුපිටින් නිකුත් කළ යුතු ස්කන්ධය අඩුවෙයි.

1961 මුල් භාගයේදී නාසා විසින් වඩාත් ප්‍රිය කළ මෙහෙයුම් ආකාරය වුයේ සෘජු නික්මීමයි. බොහෝමයක් ඉංජිනේරුවරු අභ්‍යවකාශයේදී කිසි දිනක සිදු නොකළ සම්බන්ධ කිරීම් චන්ද්‍ර කක්ෂයේදී සිදු කිරීමට බියක් දැක්වූහ. කෙසේ නමුත් ලැන්ග්ලී පර්යේෂණ මධ්‍යස්ථානයේ ජෝජ් හෝබෝල්ට් ඇතුළු විරුද්ධවාදීන් පැවසුවේ LOR මගින් සපයන ස්කන්ධය අඩුකිරීම ඉතා වැදගත් සාධකයක් බවයි. 1960 හා 1961 පුරාවට හෝබෝල්ට් LOR වටිනා හා ප්‍රායෝගික ක්‍රමයක් බවට හඳුන්වා කටයුතු කර ගෙන ගියේය. නාසා හි අනෙක් උසස් නිළධාරීන් මගහැරයමින් හෝබෝල්ට් විසින් සහය පරිපාලකයාට LOR අවලංගු නොකළ යුතු බව පවසමින් මෙම ගැටළුව පිළිබද ලිපි හා වාර්තා ශ්‍රේණීයක් වීය.

1961 ජුලි මාසයේදී සීමන්ස් විසින් ගොලොවින් කමිටුව පිහිටුවීමත් සමග නාසා හි මෙහෙයුම් ආකාර තීරණය කිරීමේ තීරණාත්මක ලක්ෂ්‍යයක් හට ගැනිනි. ad – hoc කමිටුව විසින් ඇපලෝ වැඩ සටහනේ දී භාවිතා කිරීමට ඇති බූස්ටරය සම්බන්ධයෙන් පිලියම් යෝජනා කරන විට මෙහෙයුම් ආකාරය එම ගැටළුවේ වැදගත් කොටසක් බවට පෙනී ගියේ ය. කමිටුවේ ඇති තීරණය දෙමුහුන් EOR – LOR ආකාරයක් විය. නමුත් එය වඩා සැලකිල්ලට ගත්තේ LOR ආකාරයයි. මෙහිදී හෝබෝල්ගේ නොනවත්වන ලද කාර්යයන් සැලකිය යුතු භූමිකාවක් අයත් කර ගෙන ඇත. 1961 පසු භාගයේදී හා 1962 මුල් භාගයේ දී හූස්ටන්හි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයෙහි නාසාහි අභ්‍යවකාශ කාර්යය කණ්ඩායමේ සාමාජිකයන් LOR සඳහා සහය දැක්වීමට පටන් ගත්හ. මාෂල් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානය ඉංජිනේරුවන් මේ සදහා කැමැත්ත දැක්වීමට වැඩි කාලයක් ගන්නා ලද අතර ඔවුන්ගේ තීරණය 1962 ජුනි මාසයේදී වර්න්හර් වෝන් බ්‍රෝන් විසින් දැනුම් දෙන ලදී. LOR සදහා කැමැත්ත ලගා කරමින් සිදු කළ නාසා හි තීරණය ප්‍රකාශයට පත් කළේ 1962 ජුලි 11 වනදාය. අභ්‍යවකාශ ඉතිහාසඥ ජේම්ස් හැන්සම් අවසානයේ මෙසේ ප්‍රකාශ කර සිටියේය.

නාසා විසින් මෙම සුළු තීරණය 1962 දී උකහා නොගත්තේ නම් එයට සඳකරා යාමට හැකි වනු ඇත. නමුත් එය ජනාධිපති කෙනඩිගේ සැළසුම් ගත දිනය වු අවසානය වන විට සපුරා ගැනීමට නොහැකි වනු ඇත.

අභ්‍යාවකාශ යානාව[සංස්කරණය කරන්න]

චන්ද්‍ර කක්ෂ සංකේතස්ථානයට (Rendezvous) පක්ෂපාතීව ගත් තීරණය ඇපලෝ අභ්‍යාවකාශ යානාවල මූලික සැලැස්ම ලෙස එලි දක්වන ලදී. එය ප්‍රධාන කොටස් 2කින් සමන්විත වේ. ඒවා නම් අණ දීම්/ සේවා මොඩියුලය (CSM) (මෙහෙයුමෙන් වැඩි කාලයක් කාර්ය මණ්ඩලය ගත කරන්නේ මෙය තුළය) හා චන්ද්‍ර මොඩියුලය (LM) (චන්ද්‍ර මතුපිටට ගොඩ බා නැවත පැමිණෙන්නේ මෙයයි.)

අණ දීම්/සේවා මොඩියුලය[සංස්කරණය කරන්න]

tiny globe
චන්ද්‍ර කක්ෂයේ වූ ඇපලෝ CSM

අණදීම් මොඩියුලය හැඩයෙන් කෝණික වන අතර එය ගගනගාමීන් තිදෙනෙක් නිකුත් කිරීමේ සිට චන්ද්‍ර කක්ෂය දක්වා ගෙන ගොස් නැවත සඳෙහි සිට පෘථිවිය කරා ගෙන ඒමට නිපදවා ඇත. අණ දීම් මොඩියුලය මඟින් රැගෙන යන උපකරණවලට ප්‍රතික්‍රියා පාලක එන්ජින්, තටාකනය කිරීමේ උමගක් (Docking tunnel) , මඟ පෙන්වීම් පද්ධතියක් හා ඇපලෝ මඟ පෙන්වීමේ පරිගණකය ඇතුළත් වේ. අණ දීම් මොඩියුලයට සම්බන්ධ කර ඇත්තේ සේවා මොඩියුලයයි. එය සේවා ප්‍රචාලක පද්ධතියකින් හා එහි ගුවන් යානා ඉන්ධනවලින්, ඉන්ධන කුටි (Fuel cell) ජව පද්ධතියකින්, ක්‍රියාත්මක වන තෙරපුම් සිව්බිඩි 4කින්, මෙහෙයුම් පාලනය සමඟ සන්නිවේදනය සඳහා වූ S කලාප ඇන්ටනාවකින් හා ජලය හා වාතය සඳහා ගබඩා ටැංකිවලින් යුක්ත වේ. ඇපලෝ 15, 16 හා 17 දී එය විද්‍යාත්මක උපකරණ පැකේජයක් ද රැගෙන යන ලදී. අභ්‍යාවකාශ යානයේ මෙම කොටස් 2 පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වනතෙක් එකිනෙකට ඈදී පවතී. එම අවස්ථාවෙන් පසු සේවා මොඩියුල ඉවත දමනු ලැබේ. අණදීම් මොඩියුලය පමණක් එහි මගීන්ට නැවත ඇතුල්වීමේ දී හටගන්නා තාපයෙන් ආරක්ෂාවීම සඳහා තාප ආවරණයකින් යුක්ත වේ. නැවත ඇතුල්වීමෙන් පසු එය එහි වායුගෝලය හරහා පහළට පැමිණීමේ වේගය අඩු කර ගැනීම සඳහා පැරෂුට් භාවිතාකරන අතර එමඟින් අභ්‍යාවකාශ යානය සුමුදුව මුහුදට වැටේ.

හැරිසන් ස්ටෝම්ස්ගේ නායකත්වය යටතේ නෝර්ත් ඇමරිකන් ඒවියේෂන් විසින් නාසා සඳහා CSM තැනීමේ කොන්ත්‍රාත්තුව දිනා ගන්නා ලදී. නෝර්ත් ඇමරිකන් හා නාසා අතර වූ සම්බන්ධතාවය ඇපලෝ වැඩසටහන අතරතුර දුර්වල විය. (විශේෂයෙන් ගඟනගාමීන් තිදෙනෙක් මිය ගිය ඇප‍ලෝ 1 ගින්නට පසු) මෙම ගින්නට හේතුව ලෙස තීරණය වූයේ අණ දීම් මොඩියුලයේ රැහැන් ඇදීමෙහි වූ විද්‍යුත් ලුහුවත් වීමක්ය. අනතුර සඳහා වගකිවයුත්තන් තීරණය කිරීම සංකීර්ණ වුවත් අදාල කමිටුව තීරණය කළේ එය සිදු වූයේ අණදීම් මොඩියුලය සැලසුම් කිරීමේ, නිර්මාණය කිරීමේ හා තත්ව පාලනයේ දෝෂ නිසා බවයි.

චන්ද්‍ර මොඩියුලය[සංස්කරණය කරන්න]

සඳ මතුපිට වූ ඇපලෝ LM චන්ද්‍ර මොඩියුලය නිර්මාණය කරනු ලැබුවේ සඳ මතට ගොඩ බෑමට හා නැවත සඳෙන් නිකුත් වී අණදීම් මොඩියුලය කරා යාමටය. එයට සීමා සහිත තාපාවරණයක් තිබූ අතර එය නිපදවා තිබුණේ පෘථිවි ගුරුත්වය යටතේ පියාසර කිරීමට නොහැකි තරම් අඩු ස්කන්ධයකින් යුක්තවය. එය කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් රැගෙන ගිය අතර අදියර 2 කින්ද සමන්විත විය. ඒවා නම් ගොඩ බෑම් අදියර හා නිකුත් වීම් අදියරයි. ගොඩ බෑම් අදියරට ඇපලෝ චන්ද්‍ර මතුපිට පර්යේෂණ පැකේජය හා චන්ද්‍ර රෝවරය ගෙන යා හැකි කුටි ඇතුළත් විය.

චන්ද්‍ර මොඩියුල නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කොන්ත්‍රාත්තුව ග්රූමන් (Grumman)වෙත ප්‍රදානය කරනු ලැබූ අතර ව්‍යාපෘතිය ටොම් කෙලී විසින් අධීක්ෂණය කරන ලදී. පර්යේෂණ වැඩසටහන්වල පමා වීම් නිසා චන්ද්‍ර මොඩියුලය ආශ්‍රිතව ද ගැටළු පැන නැඟිනි. චන්ද්‍ර මොඩියුලය මුළු ඇපලෝ වැඩසටහනේම සැලසුම් පමා කිරීමේ අනතුර දරා සිටින බවට ද මතයක් විය. මෙම කරුණු නිසා ඇපලෝ මෙහෙයුම් නැවත සැලසුම් කරන ලදී. ලූනා මොඩියුලය සමඟ මිනිසුන් සහිත ප්‍රථම අභ්‍යාවකාශ යානය වූයේ මුලින්ම සැලසුම් කරන ලද ඇපලෝ 8 නොව ඇපලෝ 9 යි.

රොකට් බූස්ටර[සංස්කරණය කරන්න]

වර්න්හර් වොන් බ්‍රෝන් මඟින් නායකත්වය දුන් ඉංජිනේරු කණ්ඩායමක් ඇපලෝ වැඩ සටහන සඳහා සැලසුම් කිරීම ආරම්භ කළේය. එවිට ඔවුන්ගේ රොකට් බූස්ටරවලට සහාය දීමට ඇත්තේ කිනම් ආකාරයේ මෙහෙයුමකටදැයි ඔවුන්ට පැහැදිලි නොවීය. සෘජු නික්මීමක් සඳහා බූස්ටරයක් අවශ්‍ය වේ. සැලසුම් කර තිබූ නෝවා රොකට්ටුවක විශාල බර ප්‍රමාණයක් එසවීමේ හැකියාව තිබේ. නාසාහි තීරණය නිසා මාෂල් අභ්‍යාවකාශ ගමන් මධ්‍යස්ථානයන්හි වැඩකටයුතු සැටර්න් 1B හා සැටර්න් V නිෂ්පාදනය කරා යොමු විය. මේවා නෝවාට වඩා ජවයෙන් අඩු වූ නමුත් සැටර්න් V ඊට පෙර නිපදවූ ඕනෑම බූස්ටරයකට වඩා බලයෙන් වැඩි විය.

සැටර්න් V[සංස්කරණය කරන්න]

සැටර්න් V රොකට්ටුව 1969 ජූලි 16 වනදා ඇපලෝ 11 හා එහි කාර්යය මණ්ඩලය සඳ කරා නිකුත් කරයි.

tiny globe
ඇපලෝ 6 කට්ටලය අඩංගු සැටර්න් V රූපසටහන

සැටර්න් V අදියර තුනකින් සමන්විත අතර බූස්ටරයේ මඟ පෙන්වීම් පද්ධති ඇතුළත් උපාංග ඒකකයකින් ද සමන්විත වේ. ප්‍රථම අදියර වන S-1 C හරස් රටාවකට සකසා ඇති F-1 එංජින් 5කින් යුක්ත වන අතර එමඟින් රාත්තල් මිලයන 7.5කට වඩා වැඩි තෙරපුමක් නිපදවයි. ඒවා දහනය වෙන්නේ මිනිත්තු 2.5 ක් පමණ කාලයක් වන අතර එමඟින් අභ්‍යාවකාශ යානයේ වේගය දළ වශයෙන් පැයට සැතපුම් 6000 (2.68kms-1) දක්වා ත්වරණය කරයි. නිර්මාණය කිරීම අතරතුර දී F-1 එංජින් දහන අස්ථායීතාවකට මුහුණ පෑය. දහන ප්‍රචාලක එංජිමෙහි දහන මුහුණත හරහා ඒකාකාරී නොවේ නම් එංජිමට හානි වන අයුරින් පීඩන තරංග ගොඩනැඟිය හැක. මෙම ගැටළුව පර්යේෂණ ගණනාවක් හරහා එංජිම හොඳින් සුසර කිරීමෙන් විසදන ලද අතර එමනිසා එංජිම තුළ ඇති වූ කුඩා ආරෝපණයක් පවා අස්ථායීතාවයක් ප්‍රේරණය නොකරයි.

දෙවන අදියර වන S-II , J-2 එංජින් 5කින් සමන්විත වේ. ඒවා දළ වශයෙන් මිනිත්තු 6ක් පුරා දහනය වන අතර අභ්‍යාවකාශ යානය පැයට සැතපුම් 15300 ක වේගයෙන් (6.84kms-1) හා සැතපුම් 115ක් පමණ වන උන්නතාංශයකට රැගෙන යයි. මෙම අවස්ථාව වන විට S-IV B තෙවන අදියර ක්‍රියාත්මක වී අභ්‍යාවකාශ යානය කක්ෂයට ඇතුල් කරයි. එහි එක් J-2 එංජිම ට්‍රාන්ස් චන්ද්‍ර ඇතුල්වීම් දහනය සිදු කිරීම සඳහා නැවත පණ ගැන්වීමට හැකි ලෙස සැලසුම් කර ඇත.

සැටර්න් IB[සංස්කරණය කරන්න]

සැටර්න් IB යනු මුල් සැටර්න් 1හි වැඩි දියුණු කළ සංස්කරණයකි. එයට H-1 එන්ජින් 8කින් යුත් ප්‍රථම අදියරක් හා සැටර්න් V හි තෙවන අදියරට සමාන S-IV B දෙවන අදියරක් ද ඇත. සැටර්න් V හි වූ රාත්තල් මිලියන 7.5ක තෙරපුමට සන්සන්දනාත්මකව සැටර්න් IB ට එහි ප්‍රථම අදියරේ දී ඇත්තේ රාත්තල් මිලියන 1.6ක තෙරපුමක් ඇත. නමුත් එයට අණ දීම් හා චන්ද්‍ර මොඩියුලය පෘථිවි කක්ෂයට යැවීමේ හැකියාව ඇත. එය ඇපලෝ පර්යේෂණ මෙහෙයුම්වල දී ස්කයි ලැබ් වැඩසටහනේ දී හා ඇපලෝ - සොයුස් පර්යේෂණ වැඩසටහනේ දී යොදා ගන්නා ලදී. 1973 දී සැටර්න් V විසින් නිකුත් කරන ලද නැවත සවි කරන ලද S-IVB අදියරක් ස්කයි ලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බවට පත් විය.

මෙහෙයුම් වර්ග[සංස්කරණය කරන්න]

tiny globe
ජිම් ඉර්වින්, Apollos 15–17 යොදා ගෙන ලූනා කැරකෙන වාහනය භාවිතා කරමින්

1967 සැප්තැම්බර්හීදි ටෙක්සාස් හුස්ටන් හි මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මධ්‍යස්ථාන මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩ බෑමකට මෙහෙයවන මෙහෙයුම් ශ්‍රේණියක් යෝජනා කරන ලදී. මෙහෙයුම් වර්ග 7 ක් ඔවුන් විසින් යෝජනා කරනලද අතර ඒ එක එකක් විසින් විශේෂිත සංරචක හා කොටස් පරීක්ෂා කරයි. ඊළඟ මෙහෙයුම් වර්ගය පරීක්ෂා කිරීමට පෙර ඊට පෙර වු මෙහෙයුම් වර්ගය අනිවාර්යයෙන්ම සාර්ථකව සම්පුර්ණ කළ යුතුව තිබිණි. එම මෙහෙයුම් වර්ග වුයේ,

  • A - මිනිසුන් රහිත අණදීම් / සේවා මොඩියුල (CSM) පරීක්ෂණය
  • B - මිනිසුන් රහිත චන්ද්‍ර මොඩියුල (LM) පරීක්ෂණය
  • C - පහත් පෘතුවි කක්ෂයේ මිනිසුන් සහිත CSM
  • D - පහත් පෘතුවි කක්ෂයේ මිනිසුන් සහිත CSM හා LM
  • E – 4600 mi භූ දුරකයක් සමග ඉලිප්සීය පෘතුවි කක්ෂයේ මිනිසුන් සහිත CSM හා LM
  • F - චන්ද්‍ර කක්ෂයේ මිනිසුන් සහිත CSM හා LM • G - මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑම

මෙයට පසුව H මෙහෙයුම ඇතුලත් කරන ලදී. එහි සඳ මතුපිට ඇවිදීම් දෙකක් සමග කාලාන්තරයක් සඳ මත සීටිම ඇතුලත්ව තිබිණි. ඉන් පසු J මෙහෙයුම ඇති වු අතර එයට සඳ මතුපිට ඇවිදීම් සමග දින 3 ක් සඳ මත සිටිම ඇතුළත් වු අතර චන්ද්‍ර රෝවර භාවිතා කිරීමද ඇතුළත් විය. ඇපලෝ 18 - 20 මෙහෙයුම් ජේ මෙහෙයුම් බවට පත්වීමට තිබිණි. ඊට අමතරව තවත් පියාසර කණ්ඩායම් (I මෙහෙයුම) සැළසුම් කර තිබිණි. එයට විද්‍යාත්මක උපකරණ වලින් සමන්විත සේවා මොඩියුල යොදා ගෙන සිදුකරන කාලාන්තරයකට වැඩි කක්ෂීය මෙහෙයුම් ඇතුළත් වෙයි. පසුව පෙර කියන ලද පියාසර කිරීම් අවලංගු කරන ලද අතර එවැනි මෙහෙයුම් සැලසුම් J මෙහෙයුම් යටතට ගෙන එන ලදී.

මිනිසුන් රහිත මෙහෙයුම[සංස්කරණය කරන්න]

ඇපලෝ වැඩ සටහන සදහා ලැහැස්ති වීම්, මිනිසුන් සහිත ඇපලෝ මෙහෙයුම් පියාසර කිරීමට විශාල කාලයකට පෙර ආරම්භ කරන ලදී. සැටර්න් 1 බුස්ටරය සඳහා පර්යේෂණ පියාසර කිරීම් 1961 ඔක්තෝබර්හිදී ආරම්භ කරන ලද අතර එය 1964 සැප්තැම්බර් 21 දක්වා පැවතුණි. තවත් සැටර්න් 1 නිකුත් වීම් 3 ක් ඇපලෝ අණදීම් / සේවා මොඩියුලයේ බොයිල ප්ලේට් ආකෘති රැගෙන යන ලදී. නිකුත් කිරීම් ගැලවුම් පද්ධතියේ පර්යේෂණ දෙකක් වයිට් සෑන්ස් මිසයිල ප්‍රදේශයේදී 1963 දී හා 1965 දී පැවැත්විණ.

කාර්යාලීමය වශයෙන් මිනිසුන් රහිත මෙහෙයුම වුයේ ඇපලෝ 4, ඇපලෝ 5 හා ඇප‍ලෝ 6 පමණි. ඇපලෝ 4 සැටර්න් V බූස්ටරයේ ප්‍රථම පර්යේෂණ පියාසැරිය විය. 1967 නොවැම්බර් 09 නිකුත් කරන ද ඇපලෝ 4 ජෝජ් මියුලර්ගේ “all up” පර්යේෂණ ක්‍රියාවලියට උදාහරණ සැපයීය. වෙනත් බොහෝමයක් රොකට්ටු මෙන් පියවරෙන් පියවර පරීක්ෂා කිරීම් වෙනුවට සැටර්න් V ප්‍රථම වරට තනි ඒකකයක් ලෙස පියාසර කරන ලදී. එම මෙහෙයුම අතිශය සාර්ථක එකක් විය. වෝල්ටර් කොන්කයික් විසින් නිකුත් කිරීම් මධ්‍යස්ථානයේ සිට සැතපුම් 4 ක් පමණ දුරින් තිබු විකාශනාගාරයක සිට නිකුත් කිරීම් ආවරණය කරන ලදී. නිකුත් කිරීම නිසා ඇති වු අධික ශබ්දය හා දෙදරීම විකාශනාගාරය දෙදරීමට ලක්කල අතර එහි සිවිලිමෙහි වු තහඩු බිම වැටී ජනේල දෙදරීය. එම අවස්ථාවේදී විකාශාගාරයෙහි වීදුරු තහඩුවල බිදීම් වැළැක්වීම සඳහා කම්පනය මර්දනය කිරීමට කොන්කයිට්ට සිදු විය. මෙම නිකුත් කිරීම පෙන්වා දුන්නේ කම්පන තරංඟ වලින් වට පිටාවෙහි වු ව්‍යුහ ආරක්ෂා කර ගැනීම සදහා අතිරේක ආරක්ෂක ක්‍රමෝපායන් ගත යුතු බවයි. ඉන්පසුව සිදු කළ නිකුත්කිරීම්වලදී නිකුත් කිරීම් පුවරුවේදීම කම්පන මන්දායනය කිරීමට ක්‍රම භාවිතා කළ අතර එමගින් අදාල ප්‍රදේශයට කම්පන තරංගවලින් වන බලපෑම අඩු කිරීමට හැකි විය.

මිනිසුන් රහිත ඇපලෝ මෙහෙයුම්වල අවසාන මෙහෙයුම වුයේ ඇපලෝ 6 යි. 1968 අප්‍රේල් 4 නිකුත් කරන ලද එය පැය 10 කට පසු එනම් 21 : 57 : 21 UTC ට නැවත පෘතුවියට ලඟා වන ලදී.


මිනිසුන් සහිත මෙහෙයුම්[සංස්කරණය කරන්න]

tiny globe
නීල් ආම්ස්ට්‍රෝන් සඳමත පා තැබීමට ප්‍රථම සවිකරන ලද කැමරාවකින් සියල්ල ග්‍රහණය කර ගන්නා ලදී.

1968 වසන්තය වන විට ඇපලෝ 8 මෙහෙයුම සඳහා පූර්ණ ක්‍රියාකාරී චන්ද්‍ර මොඩියුලයක් නොලැබෙන බව වැඩසටහන් කළමණාකරුවන්ට පැහැදිලි විය. සරල පෘතුවිය වටා කක්ෂ ගත වීමෙන් මෙහෙයුමක් සිදුකරනු වෙනුවට ඔවුන් නත්තල අතරතුර ඇපලෝ 8 සඳ වටා යැවීමට තෝරා ගන්නා ලදී. මේ සදහා මුලින්ම අදහස් ඉදිරිපත් කළේ ජෝජ් ලෝ විසිනි. මෙය නියමුවන් සහිත සොන්ඩ් අභ්‍යවකාශ යානයක් සදවටා යැවීමෙන් සෝවියට් එකමුතුවේ උත්සාහයට සෘජු ප්‍රතිචාරයක් ලෙස ප්‍රකාශ කළත් එය එසේ යැයි පැවසීමට පැහැදිලි සාක්ෂී නැත. නාසා නිළධාරීන් සෝවියට් හි සොන් මෙහෙයුම් ගැන අවධානයෙන් සිටියහ.එනමුත් සොන් මෙහෙයුම්වල කාලගතකිරීම් නාසා මගින් ඇපලෝ 8 තීරණය ගැන ලියන ද වාර්තා සමග හරිහැටි නොගැලපෙයි. වඩාත් හොදින් පෙනෙන්නට තිබෙන කරුණ නම් ඇපලෝ 87 සෝවියට්වරු විසින් ඇමෙරිකානුවන් පැරදවීම මත නොව මූලිකවම LM මත පදනම් වු බවයි.

1968 දෙසැම්බර් 21 හා 1969 මැයි 18 අතරතුර නාසා විසින් සැටර්න් 5 නිකුත් කිරීමේ වාහන යොදා ගෙන ඇපලෝ මෙහෙයුම් තුනක් (8, 9 හා 10) නිකුත් කරන ලදී. එක් එක් මෙහෙයුමට ගගණගාමීන් තිදෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් හා අවසාන 2 ට චන්ද්‍ර මොඩියුල ඇතුළත් විය. නමුත් මෙම එකදු මෙහෙයුමක්වත් සඳ මත ගොඩබෑම අරමුණු කරගත් මෙහෙයුම් නොවීය.

tiny globe
මෙම රූපයෙන් පෙන්වා සිටින්නේ ඇපලෝ 11 ගගණගාමීන් බස් ඔල්ඩ්‍රින් ඇමෙරිකානු ධජය සමග සිටින අයුරුය. ධජය දරා සිටින සේ පෙනෙන තිරස් දණ්ඩ මගින් ඇති කරන කෘතිම සුළඟ මගින් ධජය සුළගෙහි ඇති විට ඇතිවන ආකාරයේ රැලිති ධජය මත ඇති කරයි.

එක් මිනිසකුගේ කුඩා පියවරක් වු මෙය මනුෂ්‍ය වර්ගයාගේ යෝධ පිම්මකි. නීල් ආම්ස්ට්‍රෝන්

ඉන්පසු සිදුකර පියාසර කිරීම් දෙක (11 හා 12) ට සාර්ථක චන්ද්‍රගොඩ බෑම් ඇතුලත් විය. ඇපලෝ 13 මෙහෙයුමෙන් ගොඩබෑමට පෙර කල්දමන ලද නමුත් එහි කාර්යය මණ්ඩලය ආරක්ෂිතව පෘතුවිය කරා පැමිණියහ. ඉන්පසුව ඇපලෝ මෙහෙයුම් හතර (14 සිට 17 දක්වා) ට ද සාර්ථකව චන්ද්‍ර ගොඩබෑම් ඇතුළත් විය. මෙහි අවසාන තුනට චන්ද්‍ර රෝවර භාවිතා කළ J කාණ්ඩයේ මෙහෙයුම් ඇතුළත් විය. එයින් පෙන්නුම් කළේ ඇපලෝ 11 මෙහෙයුම සඳහා වු තිරගත හා රූපගත දත්ත බොහෝමයක් නැතිවී ඇති බවයි.


අවසාන ඇපලෝ මෙහෙයුම වූ ඇපලෝ 17 දී එම කාර්යය මණ්ඩලය විසින් අනෙක් මෙහෙයුම් වලදී සිදුකලා මෙන් මෙම පලකය චන්ද්‍රයා මත තබා එන ලදී.

ඇපලෝ 17 1972 දෙසැම්බර් 07 වන දා නිකුත් කළ අතර එය සඳකරා වු අවසාන ඇපලෝ මෙහෙයුම විය. මෙහෙයුම් අණ දෙන්නා වු ඉයුජීන් කර්නන් සඳමතු පිටින් නික්මුණු අවසාන පුද්ගලයා විය. අවසන් වරට කිසියම් මනුෂ්‍යයෙකු සදමත ඇවිද ඇත්තේ මීට වසර 35 කට හා දින 149 කට පෙරය කාර්යය මණ්ඩලය 1972 දෙසැම්බර් 19 වන දා ආරක්ෂිතව පෘතුවිය කරා පැමිණෙන ලදී.


ඇපලෝ යෙදුම් මෙහෙයුම්[සංස්කරණය කරන්න]

ඇපලෝ මෙහෙයුමේ සාර්ථකත්වයත් සමග නාසා හා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ඇපලෝ දෘඩාංග සඳහා පසු චන්ද්‍ර යෙදුම් සොයා බලන ලදී. පසුව ඇපලෝ යෙදුම් වැඩසටහන ලෙස හැදින් වු ඇපලෝ විස්තාරණ ශ්‍රේණිය පෘතුවි කක්ෂය කරා පියාසර 30 ක් දක්වා යෝජනා කරන ලදී. මෙයින් බොහෝමයක් සදහා භාවිතා කීරිමට යෝජනා කරන ලද්දේ විද්‍යාත්මක උපකරණ රැගෙන යාම සඳහා සැටර්න් රොකට්ටුව තුළ දී චන්ද්‍ර මොඩියුලය භාවිතා කළ අවකාශයයි.

මේ සියලු සැකසුම්වලින් ක්‍රියාත්මක වුයේ දෙකක් පමණි. ඒවා නම් ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (1973 මැයි සිට 1974 පෙබරවාරි දක්වා) හා ඇපලෝ - සොයුස් පර්යේෂණ ව්‍යාපෘතියයි. (1975 ජුලි) ස්කයිලැබ්හි රාමුව සැටර්න් 1 B හි දෙවන අදියරෙන් නිෂ්පාදනය කරන ලද අතර මධ්‍යස්ථානය චන්ද්‍ර මොඩියුලය මත පදනම් වු ඇපලෝ දුරේක්ෂ රදවනයකින් ද යුක්ත විය. මධ්‍යස්ථානයේ වු කාර්යය මණ්ඩලයේ තුන් දෙනා සැටර්න් 1 B රොකට්ටුම මගින් CSM යොදා ගෙන කක්ෂයට රැගෙන ගිය අතර මධ්‍යස්ථානය නිකුත් වුයේ නවීකරණය කරන ලද සැටර්න් V රෝකට්ටුවක් සමගය. ස්කයිලැබ්හි අවසාන කාර්යය මණ්ඩලය 1974 පෙබරවාරි 8 වනදා එය හැරගිය අතර 1979 දී මධ්‍යස්ථානය පෘතුවිය කරා පැමිනිණි. ඒවන විට එය පැරණිතම ක්‍රියාකාරී ඇපලෝ අංගය බවට පත්වී තිබිණි.

ඇපලෝ සොයුස් පර්යේෂණ ව්‍යාපෘතියට අණදීම් / සේවා මොඩියුලයක් හා සෝවියට් සොයුස් අභ්‍යවකාශ යානයක් පෘතුවි කක්ෂයේදී එකට සම්බන්ධවීමක් ඇතුළත් වු අතර මෙහෙයුම 1975 ජුලි 15 සිට ජුලි 24 දක්වා පැවතිණි. සෝවියට් එකමුතුව සොයුස් හා සැලියුට් අභ්‍යවකාශ වාහන ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කළ නමුත් නාසා හි ඊළඟ මිනිසුන් සහිත මෙහෙයුම වුයේ 1981 අප්‍රේල් 12 දා සිදු කළ STC – 1 යි.

ගෙන එන ලද සාම්පල[සංස්කරණය කරන්න]

ඇපලෝ 15 77 kg වඩාත් ජනප්‍රිය චන්ද්‍ර පාෂාණ මෙහිදී ගෙන එන ලදී. ජෙනසිස් පාෂාණය සොයා ගනු ලැබුවේ ද ඇපලෝ 15 දීය.
ඇපලෝ 16 - 95 kg ඇපලෝ 16 මගින් එකතු කර ගන්නා ලද ෆේරෝන් අනෝර්තෝසයිට් චන්ද්‍ර පාශාණය.
චන්ද්‍ර මෙහෙයුම ගෙන එන ලද සාම්පල
Apollo 11 22 kg
Apollo 12 34 kg
Apollo 14 43 kg
Apollo 15 77 kg
Apollo 16 95 kg
Apollo 17 111 kg

ඇපලෝ 16 - 95 kg ඇපලෝ 16 මගින් එකතු කර ගන්නා ලද ෆේරෝන් අනෝර්තෝසයිට් චන්ද්‍ර පාශාණය පෘතුවිය මත ඇති චන්ද්‍ර පාෂාණවලින් ප්‍රභවය වන්නේය. එය සොයා ගන්නා ලද්දේ ඇපලෝ වැඩසටහනෙන්, සෝවියට් එකමුතුවේ ලුනා මෙහෙයුම් වලින් හා චන්ද්‍ර උල්කාෂ්ම වලින් ගත් සාම්පල් වලින් පමණි. අනාගතයේ දී මිනිසුන් සහිත හෝ රහිත මෙහෙයුම් මගින් තව තවත් චන්ද්‍ර පාශාණ එකතුකර ගැනීමට හැකිවනු ඇත.

ඇපලෝ වැඩසටහන මගින් 381.7 kg ස්කන්ධයකින් යුත් පාෂාණ සහ අනෙකුත් වස්තු සදෙන් ගෙන එන ලද අතර මේවායින් බොහෝමයක් හූස්ටන්හි පිහිටි Lunar receiving විද්‍යාගාරයේ ගබඩා කර ඇත. තවත් කොටසක් ශ්‍රී ලංකාවේ ඇත.

රේඩියෝ මෙට්රික් දින ගණනය කිරීමේ තාක්ෂණික ක්‍රමවලට අනුව සඳෙන් එකතුකර ගන්නා ලද පාෂාණ පෘතුවියෙහිදී සොයා ගත් ඒවාට වඩා අතිශයින් පැරණි බව පෙනී යයි. ඒවායේ වයස වසර මිලියන 3.2 සිට වසර මිලියන 4.6 දක්වා වු පරාසයක විසිරි පවතී. එමනිසා ඒවා සෞරග්‍රහ මණ්ඩලය ගොඩනැගීමේ මුල්ම කාලයේදී මේවා විශාල වශයෙන් පෘතුවියෙන් නැතිවී ගොස් ඇත. ඇපලෝ මෙහෙයුම්වලදී සොයා ගන්නා ලද එක් වැදගත් පාෂාණයක් වුයේ ජෙනෂිස් පාෂාණයයි. එම පාෂාණය ඇපලෝ 15 මෙහෙයුම අතරතුරදී ජේම්ස් අර්වින් හා ජේම්ස් ස්කෝට් විසින් ගෙනෙ එන ලදී. මෙම පාෂාණය අනොර්ථෝසයිට් ලෙස හදුන්වන අතර එය කැල්සියම් බහුල අනෝර්තයිට් ෆේල්ස් ෆා ඛනිජ වලින් සෑදී ඇත. තවද එය උස් බිම් කලාප නිරූපණය කරන පාෂාණයක් ලෙස සැලකේ. KREEP ලෙස හඳුන්වන භූ රසායනික සංයෝගයක් සොයා ගන්නා ලද අතර එයට දන්නා හඳුනන කිසිදු භූ ගෝලීය කොටසක් සම්බන්ධ නොවීය. KREEP හා අනෝර්ථසයිටික සාම්පල් එකට ගත් කළ යම් කාලයකදී සඳෙහි පිටත භාගය සම්පුර්ණයෙන්ම ද්‍රව වී තිබු බව දැක්වීමට යොදාගත හැක.

සියළුම පාෂාණ පාහේ ඝට්ටනය වීමේ ක්‍රියාවලිවලින් බලපෑම් වලට ලක් වු බවට සාධක පෙන්වයි. උදාහරණ ලෙස බොහෝමයක් සාම්පල ශුද්‍ර උල්කාශ්ම ගැටුම් ආවාටවලින් යුක්තය. ඝන වායුගෝලයක් ඇති පෘතුවියෙහි මෙය කිසිවිටෙකත් දක්නට නැත.ඊට අමතරව බොහෝමයක් ගැටුම් අවස්ථා අතරතුර නිර්මාණය වු අධි පීඩන ගැටුම් තරංඟ වලට නිරාවරණය වූ බවටද සාධක පෙන්වයි. ගෙන එන ලද සමහරක් සාම්පල ගැටුම් නිසා ද්‍රව බවට පත් වු ඒවායි. අවසාන වශයෙන් සදෙන් ගෙන එන ලද සියළු සාම්පල බහු ගැටුම් අවස්ථා වලට නිරාවරණය වීම හේතුවෙන් අතිශය බ්‍රෙෂියකරණය වු ඒවාය. 1984 දී සදෙන් ගෙන එන ලද සාම්පලවල සංයුති විශ්ලේෂණය මගින් එළඹුනු නිගමනය වුයේ සඳ නිර්මාණය වී ඇත්තේ පෘතුවිය සමග විශාල තාරකා විද්‍යාත්මක වස්තුවක ඝට්ටනයක් හරහා බවයි.

1966 මාර්තු මස දී නාසා ආයතනය විසින් වැඩසටහන් වියදම් හා අවලංගු කිරීම් පිළිබඳ කොංග්‍රසයට කරුණු පවසා ඇත. ඒ වනවිට එනම් 1969 ජුලි සිට 1972 දෙසැම්බර් දක්වා සාර්ථක මෙහෙයුම් 6 ක් නිම කළ වසර 13 ක් ඉක්ම ගොස් තිබුණි.නමුත් එහිදී දන්වා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 22.718 කට ඇස්තමේන්තු ගත කළ සඳමතට මිනිසුන් යැවීමේ ඇපලෝ වැඩසටහන සඳහා තවත් මුදල් නොමැති බවයි. නාසාහි ඓතිහාසික වෙබ් අඩවි පාලක ස්ටීව් ගාබර්ට අනුව ඇපලෝ ව්‍යාපෘතියෙහි අවසාන වියදම 1969 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත් 25.4 ත් අතර විය. (හෝ දළ වශයෙන් 2005 ඩොලර් වලින් ඩොලර් බිලියන 135 ක් පමණ)

ඇපලෝ අභ්‍යවකාශ යානා හා සැටර්න් රොකට්ටුවලට වු වියදම 2005 ඩොලර් වලින් ඩෝලර් බිලියන 83 ක් පමණ විය. (ඇපලෝ අභ්‍යවකාශ යානා : ඩෝලර් බිලියන 28 (අනදීම් / සේවා මොඩියුල : ඩොලර් බිලියන් 17 ; චන්ද්‍ර මොඩියුල ඩොලර් බිලියන 11) සැටර්න් I සැටර්න් IB, සැටර්න් V නිකුත් කිරීමේ වාහන : ඩෙලර් බිලියන 46 ක් පමණ)

වලංගු කරන ලද මෙහෙයුම් ඇපලෝ 18 සිට ඇපලෝ 20 දක්වා වු අතිරේක චන්ද්‍ර ගොඩබෑම් මෙහෙයුම් 3 ක් සැලසුම් කර තිබිණි. වේගයෙන් පහත වැටුණු නාසා හි අයවැය හා සැටර්න් V වල දෙවන කණ්ඩායමක් නිෂ්පාදනය නොකිරීමේ තීරණය මත මෙම මෙහෙයුම්, අභ්‍යවකාශ ශටල නිෂ්පාදනයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට හා ඔවුන්ගේ අභ්‍යවකාශ යානා හා සැටර්න් 5 නිකුත් කිරීමේ යානා ස්කයිලැබ් වැඩසටහනට ලබාදීම අවලංගු කරන ලදී. ඇත්ත වශයෙන්ම 1973 දී ස්කයිලැබ් කක්ෂීය විද්‍යාගාරය නිකුත් කිරීම සදහා යොදා ගෙන තිබුනේ එක් සැටර්න් 5 රොකට්ටුවක් පමණකි. අනෙක්වා කේප් කැනවරල්, ෆෝරිඩාහි ජොන් එෆ් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, හන්ට් ස්විල්, ඇලභාමාහි ජෝජ් සී මාෂල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා හූස්ටන් ටෙක්සාස්හි ලින්ඩන් බී ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය යන ඒවායේ ප්‍රදර්ශන භාණ්ඩ බවට පත් විය.

ඇපලෝ වැඩසටහනේ විද්‍යාත්මක හා ඉංජිනේරුමය උරුමය[සංස්කරණය කරන්න]

ඇපලෝ වැඩසටහන තාක්ෂණය අතින් බොහොමයක්ම ප්‍රති උත්තේජනය කරන ලදී. චන්ද්‍ර හා අණ දීම් මොඩියුලවල භාවිතා කරන පියාසර පරිගණක සැලසුම හා Minuteman මිසයිල පද්ධතිය, සංගෘහිත පරිපථවල මුල්කාලීන පර්යේෂණවලට හේතු සාධක විය. මෙම වැඩ සටහන් සඳහා නිපදවන ලද ඉන්ධන කුටි (fuel cell) ප්‍රථම ප්‍රායෝගික ඉන්ධන කුටි විය. තවද ඇපලෝ ව්‍යුහාත්මක සංරචකවල දී පරිගණකයෙන් පාලනය කරන ලද යාන්ත්‍රණයකිරීම් (CNC) දිරි ගන්වන ලදී.


අනාගත මිනිස් අභ්‍යාවකාශ ගවේෂණය මත බලපෑම


ජාතීන් කිහිපයක් අනාගත මිනිස් චන්ද්‍ර මෙහෙයුම් සැලසුම් කර ඇති අතර අභ්‍යාවකාශ ඒජන්සි කිහිපයක් ද චන්ද්‍ර මධ්‍යස්ථාන ගොඩනැඟීමට සැලසුම් සකස්කරයි.

ප්‍රථම සාර්ථක ගොඩබෑම වූ ඇපලෝ 11හි අණ දෙන්නා වූ නීල් ආම්ස්ට්‍රෝන් නිරන්තරයෙන් අභ්‍යාවකාශ ගමනේ අනාගතය පිළිබඳ ඔහුගේ මතය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පුවත්පත්වල ප්‍රශ්න කිරීම්වලට භාජනය විය. 2005 දී ඔහු කියා සිටියේ අඟහරු කරා වූ මිනිස් ගමනක් 1960 හි චන්ද්‍ර ගමනට වඩා පහසු වනු ඇති බවයි. “මම විශ්වාස කරන්නේ විවිධාකාරයේ අපහසුතා හා ප්‍රශ්න බොහොමයක් තිබුණත් ඒවා 1961 දී අපි ඇපලෝ වැඩසටහන ආරම්භ කරන විට මුහුණ දුන් ඒවා තරම් අපහසු නොවන බවයි”


කන්ස්ටිලේෂන් (Constillation) වැඩසටහන[සංස්කරණය කරන්න]

2004 ජනවාරි මස 14 වනදා ජනාධිපති බුෂ් විසින් අභ්‍යාවකාශ ගවේෂණය සඳහා නව දැක්මක් ප්‍රකාශයට පත් කළේය. එයට 2020ට පෙර සඳ වෙත ගඟනගාමීන් යැවීමේ සැලසුමක් ද ඇතුළත් විය. (ප්‍රථම මිනිස් ගොඩ බෑම වන ඕරියන් 17 වර්තමානයේ දී 2019 සඳහා සැලසුම් කර ඇත.) මෙහි මෙහෙයුම් නාසාහි මිනිස් අභ්‍යාවකාශ ගමන් සඳහා වූ අභ්‍යාවකාශ යානාවල නව පරම්පරාවක් ආරම්භ කිරීම සඳහා වූ කන්ස්ටිලේෂන් ව්‍යාපෘතියේ කොටසක් වේ.

2010 දී අභ්‍යාවකාශ ෂටලය විශ්‍රාම ගැනීමත් සමඟ ඕරියන් කාර්ය මණ්ඩල කැප්සූලය මඟින් එය ප්‍රතිස්ථාපනය කරනු ඇත. එහි වායු ගතික ස්වරූපය ඇපලෝ අණ දීම් මොඩියුලයට සමාන වේ. නාසා පරිපාලක මයිකල් ග්‍රිෆින් විසින් කැප්සූලය “Apollo on steroids” ලෙස විස්තර කරන අතර new scientist සඟරාවවේ වාර්තාවන්ට අනුව “සමහරක් විවේචකයන් කියා සිටින්නේ මුළු ඕරියන් වැඩසටහනම ඇපලෝ යුගයේ තාක්ෂණයට නැවත ගමන් කිරීමට වඩා මඳක් හොඳ දෙයක් පමණක් බවයි.” කෙසේ නමුත් අනෙක් පැත්තෙන් එහි නියමු කුටියේ ඕරියන් විසින් සංදර්ශක හා තාප ආවරණ ඇතුළත්වූ නව තාක්ෂණයන් යොදා ගනු ලබයි. ඇපලෝ සැලසුම් මත ඉතා ආසන්නයේ පදනම් වූ දෙය වන්නේ ඕරියන් කක්ෂයට ගෙන යාමට සෑදූ නිකුත් කිරීමේ වාහනය වන ඒරස් 1 හි උඩු අදියරයි. එය බූස්ටරවල සැටර්න් පවුලේ දී භාවිතා කළ J-2 එන්ජිමෙහි ප්‍රති නිර්මාණයක් වන J-2X එන්ජිමක් මත පදනම් වනු ඇත. J-2X මත වැඩ කිරීමේ දී නාසා ඉංජිනේරුවන් විසින් ඇපලෝ යුගයේ ලිපිගොනු සෙවීම සඳහා කෞතුකාගාරවලට ගොස් ඇති අතර ඇපලෝ වැඩසටහනෙහි සේවයකළ ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කර ඇත. කන්ස්ටිලේෂන් වැඩසටහනේ කළමණාකාරු ජෙෆ් හැන්ලි පවසා සිටින්නේ “සඳ මත ගොඩ බෑමේ හා එයින් නැවත නිකුත්වීමේ යාන්ත්‍රණය බොහෝ දුරට විසඳා ඇති බවයි” “මෙය ඇපලෝ අපට දුන් උරුමයයි.”

ඇපලෝ මෙන්ම ඕරියන් ද චන්ද්‍ර කක්ෂ සමගාමී මෙහෙයුමක් පියාසර කරනු ඇති නමුත් ඇපලෝ මෙන් නොව ඇල්ටෙයාර් ලෙස හඳුන්වන ලෑන්ඩරය අභ්‍යාවකාශ ෂටල හා ඇපලෝ තාක්ෂණය යන දෙකම මත පදනම් වූ ඒරස් 5 රොකට්ටුවක් මතින් වෙනමම නිකුත් කරනු ලබයි. ඕරියන් වෙනමම නිකුත් කරනු ඇති අතර එය ස්කයි ලැබ් වැඩසටහනේ දී මෙන් පහත් පෘථිවි කක්ෂයේ දී ඇල්ටෙයාර් සමඟ සම්බන්ධ වේ. තවද ඇපලෝ මෙන් නොව ඕරියන් එහි මුළු කාර්ය මණ්ඩලයම සඳ මත ගොඩ බසින තෙක් චන්ද්‍ර කක්ෂයෙහි මිනිසුන් රහිතව පවතිනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_වැඩසටහන&oldid=358216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි