භාරතීය වෛද්‍ය විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භාරතීය වෛද්‍ය විද්‍යාව[සංස්කරණය කරන්න]

2425022159 4f80b04d3d.jpg

ඉන්දියානු දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව අනාවරණය කිරීමේ දී එහි ඉතිහාසය බුද්ධ වර්ෂ 3000 තරම් පැරණි අතීතයක් ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයකට දිවයන බව කිව යුතුය. එමෙන්ම බුද්ධ වර්ෂ 1200 සහ 700 යන කාලවල දී චතුර්වේදයක් ද නිර්මාණය වී තිබුණි. ඒ අනුව රෝග පිළිබද විස්තර සහ ශාක ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව එම වේද හතරෙහිම විස්තර කෙරුණද, ඍග් වේදයෙහි විශේෂිත වු සටහනක් ඇත. එමෙන්ම ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙනුයේ ධන්වන්තරි මහ ඍෂිතුමාය. මෙතුමා විසින් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය භාරතයේ ව්‍යාප්ත කර ඇත. මෙම ආයුර්වේදයෙහි විවිධ සිද්ධාන්තයන් ගොඩ නැගීම සදහා හින්දු ආගම බොහෝ බලපෑම් ඇතිකර ඇති බව සදහන් කළ යුතුය.

මේ යටතේ විශේෂයෙන් සාකච්ඡාවට බදුන් කරනු ලබනුයේ විනය පිටකයෙහි මහාවග්ග පාලියෙහි ඇතුළත් භෙසජ්ජක්‍ඛන්‍ධකය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් බුද්ධ කාලීන භාරතීය වෛද්‍ය කේෂ්ත‍්‍රය විමර්ශනය කිරීමයි.

බුද්ධකාලීන භාරතීය වෛද්‍ය කේෂේත‍්‍රය[සංස්කරණය කරන්න]

හැදින්වීම[සංස්කරණය කරන්න]

3 gotama palace.jpg



"ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ඨී පරමං ධනං
විස්සාස පරමා ඥාතී නිබ්බානං පරමං සුඛං "

වශයෙන් මිනිසාට ලෝකයේ ලැබෙන උතුම්ම ලාභය නීරෝගි බව යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එමෙන්ම නීරෝගි බව නිරතුරුවම රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම සකසා ගත යුතු අයුරු සිය දේශනා මගින් ලෝකයාට අවධාරණය කරන ලදී. ව්‍යාධිය වනාහි දුක්ඛ මුලයක් බව සිය මංගල ධර්ම දේශනාවේදී ම උන්වහන්සේ පැහැදිලි කළ සේක. එනම්,

"ඉදං ඛො පන භිකඛවෙ දුකඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධි’පි දුකෙඛා, මරණං පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුකෙඛා, පියෙහි විප්පයොගො දුකෙඛා, යම්පිච්ඡිං නලභති තමපි දුකඛං, සංඛිතතෙන පඤ්චුපාදානාඛන්‍ධා දුකඛා”

වශයෙනි.

ව්‍යාධීන් වුපසමනයට අදාළ වන බෙහෙත් පරිෂ්කාරය ද සිවුපසයට ඇතුළත් කරමින් නීරෝගි බව රැක ගැනීම ගැන විශේෂ අවධානය නිරතුරුව තිබිය යුතු බව ද අනාවරණය කළ සේක. සෞඛ්‍යය රැක ගැනීම හා ඊට අදාළ දේශනා බෙහෝ විට භික්ෂුන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලි වේ. සිය සෞඛ්‍යය තත්ත්වය රැක ගැනීම හා කායික ස්ථිතිකත්වය නිරතුරුව රැක ගැනීම සදහා කුමක් කළ යුතු ද යන්න විනය තුළ ප‍්‍රඥප්ති ලෙසින්ම පෙන්වා දී ඇත. භික්ෂු පිරිස් මුල්කොට එම දේශනාවන් පවත්වා ඇති මුත් සියලූ මානව වර්ගයාගේ නිරෝගී තත්ත්වය රැක ගැනීමට හා වර්ධනය කරලීමට හේතුවන පොදු ක‍්‍රමවේදයක් එහි අන්තර්ගත බව කිව යුතුය. ඒ අනුව විනය පිටකයෙහි මහාවග්ග පාලියෙහි ඇතුළත් භෙසජ්ජක්‍ඛන්‍ධකය ඇසුරින් බුද්ධ කාලීන භාරතීය වෛද්‍ය කේෂ්ත‍්‍රය පිළිබද විමර්ශනය කළ හැක.

රෝග හා ප‍්‍රතිකාර[සංස්කරණය කරන්න]

අංගුත්තර නිකායේ රෝග සුත‍්‍රයේ දී මිනිසාට වැළදෙන ප‍්‍රධාන රෝග දෙකක් ගැන සදහන් වේ. එනම්

1. කායික රෝග

2. මානසික රෝග

ලෝභ, ද්වේශ, මෝහ යන තිදොස් නිසා මානසික රෝග හට ගන්නා බවත් වාත, පිත, සෙම යන තුන් දොස් කිපීම නිසා කායික රෝග හටගන්නා බවත් පෙන්වා ඇත. කායික රෝගවලින් වැළකීමට හැකි වුවද මානසික රෝගවලින් පුද්ගලයෙකුට පහසුවෙන් මිදිය නොහැකි වේ. දෙතිස් කුණපයන්ගෙන් යුත් රූප කලාප තිස් දෙකක් ගැන සතිපට්ඨාන සුත‍්‍රයේ දී බුදුරදුන් විසින් පෙන්වා දී ඇත.

මිනිස් ශරීරය වණ සිදුරෙන් ගැවැසි, ඇටකටුවලින් රදවා නගන ලද, නිරතුරුව ගිලන් වු, එහෙත් බොහෝ දෙනා විසින් පතනු ලබන, ස්ථිර බවක් හෝ දැඩි බවක් හෝ නැති අලේප කරන ලද පිළිරුවක් වැනි යැයි දේශනා කරයි.

"පස්ස චිත්තකතං බිම්බං - අරුකායං සමුස්සිකං
ආතුරං බහු සංකප්පං - යස්ස නත්ථි ධුවං ඨිති”

යන්නෙන් උන්වහන්සේ දේශනා කරයි. වාත, පිත, සෙම් යන තුන් දොස් කිපීම හේතුවෙන් මෙම ශරීරයෙහි නිරන්තරයෙන් රෝග ඇති වේ. එමෙන්ම අප ලද රූපය දිරා යයි. රෝගයන්ට මෙම ශරීරය කැදැල්ලක් බඳුය. "පරිජිණ්ණමිදං රූපං - රෝග නිඞ්ඪං පභංගුරං”. ඒවා කායික රෝග වේ. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් කරණ කොටගෙන සිත කිළිටි වේ. මේ නිසා මානසික රෝග හට ගනී.

"දුරං ගමං ඒකචරං - අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාර බන්ධනා”

යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම සිත නිරන්තරයෙන් වෙනස්වන බවත් එය දමනය කරගන්නා මාර බන්ධනයන්ගෙන් මිදෙන බවයි. විවිධ අරමුණු මත එල්බගත් කල එහි ස්වභාවය අනුව සිත කිළිටි වීම හෝ පිරිසිදු වීම රදා පවතී. පෙර සදහන් කළ පරිදි ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන්හි සිත එල්බ ගැනීමෙන් සිත කිළිටි වෙයි. එහෙයින් මානසික රෝග හටගනී.

දෙතිස් රූපකලාපවලින් සෑදුණු ශරීරයකට වැළදෙන රෝග[සංස්කරණය කරන්න]

Wtx023118.jpg

මේ අතර දෙතිස් රූපකලාපවලින් සෑදුණු ශරීරයකට වැළදෙන රෝග හතලිස් අටක් ගැන බුදුරජාණන් වහන්සේ විසින් නාමිකව ම මජ්ඣිම නිකායේ ගිරිමානන්ද සුත‍්‍රයේ දී හා දීඝ නිකායේ සතිපට්ඨාන සුත‍්‍රයේ දී සදහන් කොට තිබේ. ඇසේ රෝග, කණේ රෝග, පීනස, දාහය, හුණය, මුසය, රක්තාතිසාරය, විසුචිකාවය, කුෂ්ට, ගඩු, කිලාසය, සොසය, අපස්මාරය, දද, කණ්සුතිය, නියෙන් කැසු විට ඇතිවන රෝග, විචර්විකාව, රත්පිතය, මධුමේ, අංස රෝගය, පිළිකාවය, භගන්දලාව, පිනින් වන රෝග, සෙම නිසා වන රෝග, වාතයෙන් වන රෝග, තුන්දොසින් ම වන රෝග, විෂමපරිහාරයෙන් වන රෝග, උපක‍්‍රමයෙන් වන රෝග, කර්ම විපාකයෙන් වන රෝග, සීතය, උෂ්ණය, බඩගින්න, පිපාසය, අහරමලය, මුත‍්‍රා ආදියෙන් ඇතිවන රෝග ආදී වශයෙනි. මීට අමතරව මහාවග්ග පාලියේ දී අමනුෂ්‍ය ආබාධ (අමනුසසිකාබාධ), වාත ආබාධ, හන්දිරුදාව, ඇග රිදුම, බඩ පිපුම, පාණ්ඩුව, කකුල් පැලීම, සර්පයින් දෂ්ට කිරීම, ඉනා බෙහෙත් කෑමෙන් වන රෝග ආදී රෝග ගණනාවක් ගැන හා ප‍්‍රතිකාර ක‍්‍රම ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ.

භෙසජ්ජක්‍ඛන්‍ධකය ඇසුරෙන් රෝග හා රෝග නිවාරණ ක‍්‍රම හඳුනා ගැනීම.[සංස්කරණය කරන්න]

මිනිසාගේ කායික මානසික රෝග පැහැදිලිව හඳුනා ගනිමින් ඊට හේතු කාරණා හා නිවාරණ ක‍්‍රමවේදයන් ද භව දුකට වෙදාණන් වු බුදුරජාණන් වහන්සේ විසින් සිය ශ‍්‍රාවක සමූහයා වෙත පෙන්වා දෙනු ලැබීය. ඒ අනුව විවිධ ආබාධයනට ලක්ව දුක් විදින පිරිස් විෂයෙහි කළ යුතු ප‍්‍රතිකාර රැසක් ගැන තොරතුරු භෙසජ්ජක්‍ඛන්‍ධකයේ දී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති. ඒ මත බුද්ධකාලීන භාරතීය වෛද්‍ය කේෂ්ත‍්‍රය පිළිබඳ පොදු මතවාදයකට එළඹිය හැකිය.

රෝග ව්‍යුපසමනය [සංස්කරණය කරන්න]

රෝග ව්‍යුපසමන ක‍්‍රම දෙකක් ති‍්‍රපිටක සාහිත්‍යයේ දැක්වේ. එනම්

1.මනෝ කායික වුපසමනය

2. කායික වුපසමනය

ඇතැම් රෝග මානසිකව ඇති කරන බලපෑම මගින් සමනයකට පත්කර ගත හැකි වේ. නිදසුන් වශයෙන් ගිරිමානන්ද හිමියනට වැළඳුනු ආබාධය සුත‍්‍රයක් ශ‍්‍රවණය කිරීමෙන් පසු ඒ ගැන කල්පනා කිරීම නිසා සංසිදී ඇත. මහාකාශ්‍යප, මහාමොග්ගල්ලාන හිමිවරුනට වැළඳුනු ආබාධ සප්ත බොජ්ඣංග ශ‍්‍රවණය කිරීමෙන් ඇති වු මානසික සුවයෙන් සංසිදීමකට පත්විය. බුදුරදුන් හමුවේ චුන්ද තෙරුන් විසින් සප්තබොජ්ඣංග දේශනා කිරීමෙන් බුදුරදුන්ගේ වේදනාව නැති කර තිබේ. එමෙන්ම රෝගියෙකුට මානසිකව ලබාදෙන විශ්වාසනීයත්වය කායික වුපසමනයට අතිශයින්ම හිතකරය. කායික වශයෙන් රෝගය හා රෝග ලක්ෂණ හඳුනාගෙන ඊට ඖෂධීය ප‍්‍රතිකාර ලබා දිය යුතුය. එමගින් කායික රෝග සංහිදියාවක් ඇතිවන ආකාරය මහාවග්ග පාලියේ දැක්වේ.

එහි ඒ සඳහා (රෝග සඳහා) ගත යුතු බෙහෙත් නාමාවලියක් ද සදහන් කෙරේ. විශේෂයෙන්ම භෙසජ්ජක්‍ඛන්‍ධකය ආරම්භයෙහි ම භික්ෂුන්ට වැළඳුනු පිත්තරෝගය පිළිබඳව සදහන් වේ. ඒ හේතුවෙන් භික්ෂුන්ගේ සිරුරු වැහැරී, දුර්වර්ණ වී, නහර ඉල්පුනු ස්වභාවයෙන් යුක්ත විය. මේ පිළිබඳව විමසිලිමත් වූ බුදුරජාණනන් වහන්සේ, රෝගය, රෝගයට හේතුව, රෝග නිවාරණයට අවශ්‍ය බෙහෙත් හා ඒවා අනුදැන වදාළීම සිදු වේ. ඒ අනුව ඒ සඳහා බෙහෙත් පස් වර්ග අනුදැන වදාරණ සේක. එනම්,

    • ගිතෙල්
    • වෙඬරු
    • තලතෙල්
    • මී පැණි
    • උක්සකුරු

මෙහිදී නිසි වෛද්‍යවරයකු ලෙස, රෝගය හදුනා ගැනීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ කෙරෙහි දැඩි අවධානයෙන් යුතු ව පසුවීම බෙහෙවින් වැදගත් බව පසක් වේ. එමෙන්ම රෝගයට හේතුලෙස කාලයෙහි පවත්නා සම්බන්ධතාවය ද මැනවින් හඳුනාගෙන ඊට සරිලන බෙහෙත් නියම කිරීම සිදුවිය.

එපමණක් නොව ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු රෝගියාගේ ගුණාගුණ කෙරෙහි අවධානයෙන් යුතුව පසුවීම ද බුදුන්වහන්සේ අවධාරණය කරන සේක. විශේෂයෙන් ප‍්‍රතිකාර ලබාගැනීමෙන් පසු භික්ෂුන් වඩාත් දුර්වල වීමට බලපෑ හේතූන් උන්වහන්සේ අනද තෙරුන්ගෙන් යළි විමසීමෙන් පැහැදිලි වේ.

ඒ අනුව අදාළ ප‍්‍රතිකාර නිසිකලට නිසි මාත‍්‍රාවෙන් ලබාගැනීමේ වැදගත්කම පෙන්නුම් කරනු වස් ”මහණෙනි, ඒ පස් බෙහෙත් පිලිගෙන පෙරවරු කාලයෙහි ද පස්වරු කාලයෙහි ද වළදන්නට අනුදකිමි” යි භික්ෂුන් ඇමතූ සේක.

රෝගය නිවැරදිව හඳුනා ගැනීම, රෝග නිධානයට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතු හඳුනා ගැනීම, ප‍්‍රතිකාරය සහ ප‍්‍රතිකාර ලබාගැනීමේ පිළිවෙල යන පියවරයන්ට යටත්ව බුද්ධ කාලීන වෛද්‍ය කේෂ්ත‍්‍රය සමන්විත වු බව මේ අනුව පැහැදිලි වේ.

විනයපිටකයට අ3යත් මහාවග්ග පාලියෙහි භෙසජ්ජක්‍ඛන්‍ධකයේ දී ආබාධිත භික්ෂුන්ට කැප වු බෙහෙත් වර්ග කිහිපයක් කාණ්ඩ වශයෙන් වර්ග කර තිබේ.

01. වුරුණු තෙල් වර්ග (වසාති භෙසජ්ජ)
      වලස් තෙල්, මත්ස්‍ය තෙල්, කිඹුල් තෙල්, ඌරු තෙල්, කොටළු තෙල්

02 .මුල් බෙහෙත් (මුලාති භෙසජ්ජ)
      කහ, ඉඟුරු, වදකහ, හෙළවදකහ, කටුකරෝසන, සැවැන්දරා, කලාදුරු

03. කහට බෙහෙත් (කසාවතී භෙසජ්ජ)
      කොහොඹ, කෙළි`දු, දුම්මැල්ල, හ`ගුලූ, කර`ද

04.කොළ බෙහෙත් (පණ්ණානි භෙසජ්ජ)
      කොහොඹ කොළ, කෙළිඳ කොළ, දුම්මැල්ල කොළ, මදුරුතලා කොළ, කපු කොළ

05. ගෙඩි බෙහෙත් (ඵලානි භෙසජ්ජ)
      වළග සහල්, තිප්පිලි, මිරිස්, අරළු, බුළු, නෙල්ලි, කුකුරුමහන්

06. මැලියම් බෙහෙත් (ජාතුනී භෙසජ්ජ)
      පෙරුම් කායම්, හිංගු, ස්පටික හිංගු

07. ලූනු බෙහෙත් (ලොණානි භෙසජ්ජ)
      මුහුදු ලූනු, කළු ලූනු, සහිඳ ලූනු, සුවස් ලූනු, බළල් ලූනු

ඉහත දක්වන ලද බෙහෙත් වර්ග සියල්ලම ශාකසාර සහ සතුන්ගෙන් ලබාගන්නා බෙහෙත් වර්ගවීම විශේෂත්වයකි.

බෙහෙත් වර්ග පරිහරණයෙහි ඇති වැදගත්කම[සංස්කරණය කරන්න]

එමෙන්ම මෙහිදී බෙහෙත් වර්ග සැකසීමේදී මෙන්ම බෙහෙත් පරිහරණයේ දී සැලකිලිමත් විය යුතු කරුණු රැසක් ද පෙන්වා දී තිබේ.


බෙහෙත් සකසා ගැනීමේ දී කාලය සහ නියමිත මාත‍්‍රාව සහ සැකසිය යුතු අනුපිළිවෙල කෙරෙහි අවධානය යොමු කර ඇත. නිදසුනක් ලෙස වුරුණු තෙල් සැකසීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය අනුදැන වදාරණ වස් මෙසේ සඳහන් කර තිබේ.

"මහණෙනි, වුරුණු තෙල් බෙහෙත්, වලස්තෙල්, මත්ස්‍ය තෙල්, කිඹුල් තෙල්, ඌරු තෙල්, කොටළු තෙල් යන තෙල් පෙරවරු කාලයෙහි පිළිගන්නා ලඳුව පෙරවරු කාලයෙහි පැසවන ලදුව පෙරවරු කාලයෙහි පෙරණ ලදුව තෙල පරිභොගයෙන් වළදන්නට අනුදනිමි.”

මේ අනුව මෙහිලා කළ යුතු දේ සහ නොකළ යුතු දැ කෙරෙහි විශේෂ අවධානය යොමුකර තිබේ.

එමෙන්ම බෙහෙත් පරිහරණයෙහි දී විශේෂයෙන් හේතුවක් ඇති කල්හි පමණක් ගැනීමට ද හේතුවක් නැති ල් හි වැළදීම දුකුලා අවතැක් සේ සලකා කරුණු අවධාරණය කර ඇත. ඒ අනුව රෝගයන්ගෙන් මිදීමට මනා සෞඛ්‍ය සංරක්ෂණය ක‍්‍රම කෙරෙහි අවධානය යොමු කරන්නා සේම රෝග සඳහා ප‍්‍රතිකාර ලෙස ගන්නා ඖෂධයන්ගෙන් ද ආරක්ෂාවීමේ වැදගත්කම බුද්ධකාලීන භාරතීය වෛද්‍ය ක්‍ෂේත‍්‍රයෙහි ද අවධාරණය කර ඇති බව පැහැදිලිය.

විවිධ රෝගාබාධයන් සදහා ප්‍රතිකාර[සංස්කරණය කරන්න]

මීට අමතරව කැසීම් රෝග සඳහා සුණු බෙහෙත් (චුණ්ණානි භෙසජ්ජ) අනුදැන වදාරා ඇත. (ආනන්ද තෙරුණ්ගේ උපධ්‍යයවරයාණන් වහන්සේ වු බෙලට්ඨිසීස තෙරුන්ගේ කැසීම් රෝගයක් අරඹයා)

අමනුෂ්‍යාබාධ වෙනුවෙන් අමුමස්, අමුලේ අනුදැන වදාරා ඇත. අස්ථි රෝග සඳහා අඳුන් බෙහෙත් නියම කර ඇත. කළු අඳුන්, රසඳුන්, ගං හෝ ආදියෙහි උපදින අදුන්, ලොහෝ අඳුන්, සුවන්ගුරු අඳුන්, පහන්සිළු අඳුන් ඒ අතර වේ. එමෙන්ම හිසරුදාව වෙනුවෙන් හිසතෙල් ගෑම ද නස්‍ය කිරීම ද අනුදැන වදාරා ඇත.

    • .තවද, වාතාබාධ වෙනුවෙන් - බෙහෙත් පිසන තෙලෙහි මද්‍යය බැහීම ද
    • .ඇගරුදාව වෙනුවෙන් - කොළ වර්ගවලින් සෙවද ගැන්වීම ද
    • .හන්දිරුදාව වෙනුවෙන් - ලේ පිටකරවීම ද
    • .පාද පැලීම වෙනුවෙන් - පය ගල්වන තෙල් ද
    • .ගණ්ඩාබාධ වෙනුවෙන් - ශල්‍යකර්ම ද
    • .සර්ප දෂ්ට කිරීම වෙනුවෙන් - මල, මුත‍්‍ර, උණු අළු, මැටි යන සතර මහාවිකටය ද
    • .විස පෙවීම වෙනුවෙන් - අසුචි පෙවීම ද
    • .සරදිනාකාබාධය වෙනුවෙන් - නගුලෙහි ඇලූනු මඩ දියෙන් කලතා පෙවීම ද
    • .නපුරු ග‍්‍රහණි රෝග වෙනුවෙන් - වියළිබත් පුළුස්සා දියකොට පෙරාගත් බත්කාරම් පෙවීම ද
    • .පණ්ඩුරෝගාබාධ වෙනුවෙන් - ගොමුත‍්‍රයෙහි ලූ අරළු පෙවීම ද
    • .ජවිදොෂාබාධය වෙනුවෙන් - සුගන්ධද්‍රව්‍යය ආලේප කිරීම ද

දොස් කිපුනු සිරුරු ඇති අය වෙනුවෙන් - විරේක බෙහෙතද, පෙරාගත් කැඳ වතුර (බත් නැති කැඳ වතුර), දුරු මිරිස් නොයෙදු මුං ඇට තැම්බු වතුර (මුං ඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුර) වශයෙන් විවිධ භික්ෂුන් අරභයා හටගත් රෝගාබාධයන්හි දී ගතයුතු ප‍්‍රතිකාර පිළිබඳ භෙසජ්ජක්‍ඛන්‍ධකයේ දී අවධාරණය කර ඇත.

මේ ආකාරයට රෝග සංසිදවීමට හේතුවන රෝග වුපසමන ක‍්‍රම ලෙස බෙහෙත් කුඩු වර්ග, අඳුන් වර්ග, නස්න ක‍්‍රම, දහඩිය පිට කිරීම, ලේ පිටකරවීම, වස්ති, විරේක, ශල්‍යකර්ම යනාදී නානාවිධ රෝග නිවාරණ ක‍්‍රම ප‍්‍රතිකාර ක‍්‍රම පෙන්වා දී ඇත.

මේ අනුව රෝගයෙහි ස්වභාවය, ඒ සඳහා මුලිකවම කේන්ද්‍රගත වු ඉන්ද්‍රිය යනාදී බොහෝ සාධක අරමුණු කර ගනිමින් විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම අනුදැන වදාරා ඇත. විශේෂයෙන් භෙසජ්ජක්‍ඛන්‍ධකයෙහි පළමු කොටසෙහි මෙලෙස භික්ෂුන්ට වැළඳුනු විවිධ රෝග අරඹයා අනුදැන වදාරන ලද ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව සුවිශේෂී වශයෙන් අන්තර්ගත වේ.

කායික රෝග කෙරෙහි වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීම සුවිශේෂී ලෙස හේතුකාරක වී ඇති අතර බාහිර සාධක නිසා එනම් සර්පයින් දෂ්ට කිරීම මෙන්ම කාලගුණික වෙනස්වීම් හේතුකරගෙන ද කායික රෝග හටගෙන තිබේ.

ඒ අනුව රෝග කෙරෙහි ශරීර අභ්‍යන්තරය බෙහෙත් කරවීම, බාහිරින් බෙහෙත් ආලේප කිරීම, ශරීරයෙන් බහිස්ස‍්‍රාවීය ද්‍රව්‍ය (ලේ, මුත‍්‍රා, දහඩිය) බැහැර කිරීම, ශරීරයෙන් කොටස් ඉවත් කිරීම හෝ බද්ධ කිරීමේ ක‍්‍රම (ශල්‍යකර්ම) සහ පාන බෙහෙත් වර්ගවලට අමතරව ශරීරයට බෙහෙත් ඇතුල් කරන (නස්‍ය කිරීම) ක‍්‍රම යන විවිධත්වයෙන් යුතු ප‍්‍රතිකාර ක‍්‍රම අනුදැන වදාරා ඇත. ඒ අනුව බුද්ධකාලීන භාරතීය වෛද්‍ය ක්‍ෂේත‍්‍රය තුළ බහුවිධ වෙදහෙදකම් සහිත වු දියුණු ශිල්පීය ක‍්‍රම භාවිතා කළ යුගයක් බව පැහැදිලිය.

සෞඛ්‍ය සංරක්ෂණ විධි[සංස්කරණය කරන්න]

භෙසජ්ජක්‍ඛන්‍ධකයෙහි දෙවන, තුන්වන, සිව්වන සහ හයවන කොටස් හි ලෙඩරෝග සඳහා කළ ප‍්‍රතිකාර ක‍්‍රමවල අත්දැකීම් පාදක කොටගත් සහ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීම අරඹයා ඊට ප‍්‍රායෝගිකත්වය මත පැවති බාධක ඉවත් කරනු වස් අනුදැන වදාරන ලද සෞඛ්‍ය සංරක්ෂණ විධි කිහිපයක් පිළිබඳව ද කරුණු සාකච්ඡා කළ හැකිය.

වරෙක මහළු භික්ෂුවකට වැළඳුනු උදරවාතාබාධයක් වෙනුවෙන් ලූණු කැඳ භාවිතා කර ඇත. එහිදී උන්වහන්සේ ගිලන්වුවන්හට ලූණු කැඳ ද ගිලන් නොවුවන්හට දිය හා මුසු කළ ලූණු කැඳ ද සුදුසු බව වදාරා ඇත. මෙහිදී ලූණු කැඳ යන්න රෝග හටගැනීම වළකාලීම උදෙසා පොදුවේ භාවිතා කළ හැකි ඖෂධයක් ලෙස නියම වී ඇති බව හඳුනාගත හැකිය.

එමෙන්ම වරෙක බුදුරදුන්ට වැළඳුණු උදරවාතාබාධයක් නිකුළු කැදෙන් සුවවීය. රජගහනුවර දුර්භික්ෂ සමයෙහි ආහාරපාන තබා ගැනීම සම්බන්ධව පැවති විනය නීති ලිහිල් කිරීමට නම්‍යශීලී විය. විශේෂයෙන් එහිදී ආහාරපාන වර්ග ඉතා සුරක්ෂිතව තබා ගැනීමේ අවැසියාව ප‍්‍රමුඛ වී ඇත.

එමෙන්ම රෝග ප‍්‍රතිකාරක ක‍්‍රමයන්හි අත්දැකීම් ප‍්‍රයෝජනයට ගත් තවත් අවස්ථාවක් ලෙස සැරියුත් හිමියන්ට වැළඳුනු කායදාහ ආබාධය සුවකර ගැනීමට කටයුතු කල අවස්ථාව හඳුනාගත හැක. සැරියුත් හිමිට වරක් වැළ`දුනු කායදාහ ආබාධය යලින් වරක් මතු වු කල්හි ඒ ස`දහා අවශ්‍ය ප‍්‍රතිකාර විමසා මුගලන් හිමියන් කටයුතු කළ අවස්ථාව සුවිශේෂීය. ඊට ප‍්‍රතිකාර ලෙස නෙළුම් අල සහ නෙළුඹුදැලි යොදා ගැනුනි.

ඒ අනුව කලින් වැළදුනු රෝගයක් නැවත ඉස්මතු වු කල්හි එහිදී කළ ප‍්‍රතිකාර ක‍්‍රම අත්දැකීම් ලෙස යලි භාවිතයට ගත් අවස්ථා හදුනා ගැනීම දුෂ්කර නොවේ. එමෙන්ම ශරීර සෞඛ්‍ය මනාලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය තැන්හි අනුදැන වදාළ යුතු කරුණු නොවළහා දේශනා කිරීමට ද බුදුන්වහන්සේ සිය අවධානය යොමු කළ සේක.

ඒ අතර පැළවන බීජ නැත්තා වු එම බීජ ඉවත් කළා වු කැප නොකළා වු ඵල වර්ග වළදන්නට භික්ෂුන්ට අනුදැන වැදැරීම ඉන් එක් අවස්ථාවකි.

එමෙන්ම තවත් සුවිශේෂි කරුණක් වන්නේ ඖෂධයක් ලෙස අමුමස් වැළදීම (අමනුෂ්‍යාබාධ වෙනුවෙන්) අනුදැන වදාරනු ලැබූව ද ඉන් බාහිරව ඇත්, අශ්, සර්ප, බලූ, සිංහ, ව්‍යාඝ‍්‍ර, දිවි, වලස් යන මාංශ වර්ග වැළදීම භික්ෂුන්ට අකැප බව උන්වහන්සේ වදාරයි.

මෙහිදී විශේෂයෙන්ම වෛද්‍ය ක්‍ෂේත‍්‍රයට අවැසි හෙදකම කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබු බව පැහැදිලිය. තමාගේ ප‍්‍රාණය රැකගනු වස් ප‍්‍රතිකාර ක‍්‍රමවල යෙදෙන්නා අන්‍යයකුගේ ප‍්‍රාණය කෙලෙසීම ප‍්‍රතික්ෂේප වීම මේ හරහා පිළිඹිබු වේ.

හෙදකම පිළිබඳව සඳහන් කිරීමේදී දුශ්ශීලයෙන් ජීවත් වීමේ ආදීනව කරුණු සහිතව භෙසජ්ජක්‍ඛන්‍ධකයේ දී අවධාරණය කර ඇත. ඒ අනුව දුශ්ශීලවීමෙන් භෝග හානිය, අයස, තේජස, අහිමි වීම, මුළා වී මිය යාම, අවසානයෙහි නරකාදියෙහි ඉපදීම සිදුවන බව අවධාරණය කරයි. එමෙන්ම ශීලයෙහි පිහිටීමෙන් භෝග ලාභය, කීර්තිරාවය පැතිරීම, තෙද ඇතිව වැජඹීම, මුළානොවී මිය යාම හා අවසානයෙහි දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලබන බව පෙන්වා දුනි.

බොහෝ ලෙඩරෝගවලට නිධානය තමාට ඇතිකර ගන්නා බැවින් ඒ සියල්ලෙහිම නිවාරණය ද තමන් සතු වන බව අවධාරණයට ලක්කර තිබීම අතිශයින්ම වැදගත් කරුණකි.

සෞඛ්‍යයට හිතකර ඖෂධ වර්ග[සංස්කරණය කරන්න]

එමෙන්ම බුදුන් වහන්සේ සියලූ ආකාරයෙන් සෞඛ්‍යයට හිතකර ඖෂධ වර්ග කිහිපයක් ද භෙසජ්ජක්‍ඛන්‍ධනයේ දී පෙන්වා දී ඇත.

කැඳ ඖෂදීය පානයක් ලෙස කරුණු 10 කින් එහි ආනිසංස පෙන්වා දෙයි. ආයුෂය ලබා දීම, වර්ණය ලබාදීම, සැපය ලබාදීම, බලය ලබාදීම, නුවණ ලබාදීම, බඩගිනි සංසිඳවීම, පිපාසිය දුරු කරවීම, පානය අනුලොම් කිරීම, වස්තිය පිරිසිදු කිරීම, නොපැසී ශේෂ වු ආහාරය පැසවීම පෙන්වා දී ඇත.

මීට අමතරව ගිලන්වුවන්ට උක්සකුරු හා ගිලන් නොවුවන්ට උක්සකුරු දියද අනුදැන වදාරා ඇත. එමෙන්ම කිරි, දෙහි, මෝරු, වෙඩරු සහ ගිතෙල් යන පස්ගෝ රස අනුදැන වදාරා ඇත. අෂ්ට පාන වර්ග ලෙස අඹ පැන්, දඹ පැන්, ඇටකෙසෙල්, පැන්, මස් කෙසෙල් පැන්, මී පැන්, මිදි පැන්, ඕලූ පැන්, පොරලූ දමනු පැන් අනුදැන වදාරා ඇත. පිසු නොපිසු සියලූ පලා ද සියලූ පිටි කෑම ද අනුදැන වදාරා ඇත.

මේ සියල්ල ශරීර සෞඛ්‍යයට අවශ්‍ය සියලූ ආකාර වු ප්‍රෝටීන, විටමින, පිෂ්ඨය ලබාදෙන ආහාර වර්ග බව පසක් වේ.

සිය නිරෝගී බව හා රෝගී බව තමා සතු වන්නාක් මෙන්ම ඉන් නිවාරණයක් ලබාගෙන කායික මානසික වේදනාවන්ගෙන් මිදීමට කටයුතු කිරීම ද තමා සතු වන්නකි. ඒ සඳහා අවැසි සියලූ මඟපෙන්වීම් මෙන්ම රෝගයන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම පෙන්වා දෙමින් ඒ සඳහා බහුවිධ ක‍්‍රමෝපායන් අනුගමනය කිරීම හා එහිදී කළ යුතු හා නොකළ යුතු දැ අවධාරණය කරමින් නිති පෝෂණය හා සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග පෙන්වා දෙමින් සියලූ ආකාරයෙන්ම වු නිරෝගී සෞඛ්‍යය සම්පන්න දිවියකට වුවමනා සියලූ කි‍්‍රයාකාරකම් සහ මගපෙන්වීම්වලින් සමන්විත වෛද්‍ය ශිල්ප ක‍්‍රමවලින් සුසැදි සමාජයක් බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ පැවති බව භෙසජ්ජක්‍ඛන්‍ධකය ඇසුරෙන් අපට මනාව අවබෝධ කරගත හැකිය.

ආශී‍්‍රත ග‍්‍රන්ථ[සංස්කරණය කරන්න]

01. මහාවග්ග පාලිය 2, බුද්ධ ජයන්ති මුද්‍රණය.

02. කුසුමරත්න, කේ. එල්. එස්. , 1997, පාලි සාහිත්‍යගත වෛද්‍ය ක‍්‍රමය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ

03. ධීරානන්ද, හඟුරන්කෙත හිමි, බුදුවදනයි ජන දිවියයි, ආරිය ප‍්‍රකාශකයෝ, 2005


සබැදි පිටු[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=භාරතීය_වෛද්‍ය_විද්‍යාව&oldid=354889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි