මාතලේ අළුවිහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(අළු විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ප්‍රධාන පිවිසුම් දොරටුව, අලුවිහාරය
විහාරස්ථානයේ පිහිටා ඇති සැතපෙන බුදු පිළිමයක ඡයාරූපයක්

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසිය පත්තුවේ පිහිටි මාතලේ අලුවිහාරය ආගමික, සංස්කෘතික, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. ක්‍රි:පූ 1 වෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීමත් සමග මුළුමහත් බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩ බවට අලුවිහාරය පත්විය.

දීපවංශය, මහාවංශය, අස්ගිරි තල්පත, නිකාය සංග්‍රහය, පුජාවලිය වැනි ඓතිහාසික ග්‍රන්ථ ඇසුරෙන්, බ්‍රහාමි ශිලාලිපි ඇතුළු පෞරාණික නටබුන් තුලින් හා ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති යුගයේදී කල පර්යේෂණ වලදී අලුවිහාරයේ පුරා විද්‍යාත්මක අගය සොයාගනු ලැබිය. අලුවිහාරය යනු මෙම විහාරස්ථානයේ නමය. ඉතිහාසයේ මුල් යුගවල සිටම ආලෝකලෙන නමින් මෙම විහාරස්ථානය හැදින්විය. ආලෝකලෙන පසුව අළුලෙන, අලුවිහාරය බවට පත්විය.

ආරම්භය[සංස්කරණය]

ක්‍රි.පූ. තෙවන සියවසේ දී, දේවානම්පිය තිස්ස රජතුමා විසින් මෙම ලෙන මහා සංඝ රත්නය විෂයෙහි පූජා කර තිබේ. එතුමා විසින් බුදු සසුනට පූජා කරන ලද විහාර අතර ප්‍රධාන ස්ථානයක් මෙම විහාරයට හිමි වේ.

ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කිරීම[සංස්කරණය]

අලුවිහාරේ ලෙන් විහාරය, පාලි බෞද්ධ ත්‍රිපිඨකය පළමුවරට ග්‍රන්ථාරූඪ කළ ස්ථානය ලෙස වැදගත් වේ. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් බුද්ධ ධර්මය කට පාඩමින් පවත්වාගෙන ආහ. ක්‍රි.පූ. පළමු සියවසේ, වළගම්බා රජ සමයේ දී "බැමිණිතියාසාය" නමින් දරුණු දුර්භීක්ෂයක් ඇති වූ අතර එය වසර 12ක් තිස්සේ පැවතුනි. මෙම කාල වකවානුව තුළම ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය ආක්‍රමණයකටද ලක් වී තිබුණි. දුර්භීක්ෂය නිසා භික්ෂූන් වහන්සේලාට කැලෑ කොළ, අල, මුල් ආදිය වළඳමින් ඉතා අසීරු කාලයකට මුහුණ දීමට සිදුවිය. මෙම තත්වයන් යටතේ ධර්මය කට පාඩමින් මතක තබාගැනීම අපහසු විය. එම නිසා බුදු දහමට ඇති තර්ජනය භික්ෂූන් වහන්සේලාට අවබෝධ විය. ඔවුන් ගෙන් 60 නමක් පමණ මලය (කඳු) රටට වැඩිය අතර, තවත් පිරිසක් උතුරු ඉන්දියාවට වැඩිය බව කියැවේ. මලය රටට වැඩි පිරිස මහවැලි ගං ඉවුරු වල ඉතා අසීරු ලෙස කාලය ගත කළහ. ඔවුහූ දුර්භීක්ෂයෙන් මිය ගිය සතුන් දුටුවහ. බුදු දහම විනාශ වීමේ අවධානමක් ඇති බව උන් වහන්සේලාට අවබෝධ වූහ.

දුර්භීක්ෂය ගෙවී ගිය අතර, වසර 14 ක් තිස්සේ සැඟව සිටි වළගම්බා රජු නැවත කරළියට අවේය. මලය රටට හා ඉන්දියාවට වැඩම කල භික්ෂූන් වහන්සේලා නැවත පැමිණ, කල්ලගම ජනපදයට ඒකරාශී වූහ. මතු පරපුර වෙනුවෙන් බුදු දහම රැකගනු වස් ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කිරීමට ඔවුහූ කතිකා කරගත්හ. අනුරාධපුරය මේ සඳහා සුදුසු නොවන බව තේරුම් ගත් උන්වහන්සේලා, වළගම්බා රජුගේ අනුග්‍රහය ඇතුව "මාතුල ජනපදයේ", ආලෝක ලෙන මෙම කාර්යයට සුදුසුම තැන ලෙස තෝරා ගන්නා ලදී. වර්තමානයේ, මාතලේ, අලුවිහාරේ ලෙසින් හැඳින් වෙන්නේ මෙම ස්ථානයයි.

1956 වැලිවිටියේ සෝරත හිමිපාණන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි පාණන් ,කෝදාගොඩ ඝානාලෝක නාහිමිපාණන් ,ලබුගම ලංකානන්ද මහානාහිමි පාණන් ,යන ආදීන්ගේ මහත් කැපවීමෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලෙස සිංහලයට හැරවුනි. තවද මුල් ත්‍රිපිටිකය තල්පත්වල ලියවී තිබු අතර බොහෝ දොස සහිත විය එබැවින් එම ත්‍රිපිටකයද බොදු පඩිවරුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් යලිත් පාලි භාෂාවෙන් තල්පත්වල ග්‍රන්තාරුඩ කිරීම පුරා වසර 10 තුල (1981-1991) මාතලේ අලුවිහාරේදීම සිදුකරන ලදී.

ත්‍රිපිටකය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ මහා ස්ථවීර පරම්පරා 38[සංස්කරණය]

අලුවිහාරේදී ට්‍රිපිටකය ග්‍රන්තාරුඩ කිරීම පිළිබද තොරතුරු ගෙන එන අස්ගිරි තල්පත මෙසේ සදහන් කරයි. "එම තිස්ස තෙර මහාවීහාරයේ සංගයා හා භෙදබින්නව මහාවිහාරයට විපක්ෂව අභයගිරි නිකාය ඇතිකරගත් තැනෙහිදී මතු සාසනාරක්ශාව නොපවත්නා කාරනාව දැක පන්චමහවාස නිවාසී මහරහත් වහන්සේලා ලොවාමහාපයට රැස්ව ,මහා සඟ සම්මුතිය සෑදී ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කර තබන්නට ඇතිකරගත් කතිකාව තලෙස මහාවිහාර තුපාරාම වාසි කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රදාන 500 මහරහතන් වහන්සේලා මාතුල දනව්වේ අලුලෙනට රැස්ව උපාලි මහරහතන් වහන්සේගේ පටන් ස්ථවීර පරම්පරා 36 සිත්හිලා දාරා පවත්වෙගෙන ආවාවු ත්‍රිපිටකය පාලි ධර්මය අප බුදුන් පිරිනිවී සාරසිය සු පනස් වසක් ඉක්ම්මවී ගිය තැනේ සන්ගායනාකොට ග්ර්න්තාරුද කල සේක."නිකායසංග්‍රහය හෙවත් සාසනාවතාරය කෘතියෙහි මෙය 38 ලෙස පෙන්වාදෙයි.[1] [2] එමෙන්ම මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර නම් මහා ස්ථවීරයන් විසින් (ගම්පල රාජධානිසමයේ )පුජාවලි ග්‍රන්ථයේ පන්සීයක් රහතන් වහන්සේලා අළුලෙන වැඩ හිද පොත් සංගායනා කල සේක යනුවෙන් දක්වයි. [3] සද්ධර්මරත්නාකරය තුලද නිකාය සංග්‍රහයට බොහෝ සෙයින් සමාන වූ විස්තරයක් ගෙනහැර දක්වයි.

එම ස්ථවීර පරම්පරා 38 නම්.

  1. උපාලිය.
  2. දාසකය.
  3. සෝණකය
  4. සිග්ගවය
  5. මොග්ගලීපුත්ත තිස්ස
  6. මහේන්ද්‍රය
  7. ඉට්ඨියය
  8. උත්තියය
  9. සම්බලය
  10. භාද්දසාලය
  11. අරිඨියය
  12. තිස්සදත්තය
  13. කාලසුමනය
  14. දීඝනාමයය
  15. දීඝසුමනය
  16. කාලසුමනයය
  17. මහානාගය
  18. බුද්ධරක්ෂිතය
  19. තිස්සය
  20. දේවය
  21. සුමනය
  22. චුලනාගය
  23. ධම්මපාලනය
  24. ඛේමය
  25. උපතිස්සය
  26. තුස්සදේවය
  27. සුමනය
  28. මහාපදුමය
  29. සීවකය
  30. උපාලිය
  31. මහානාගය
  32. අභයය
  33. තිස්සය
  34. ථුස්සනාමය
  35. චුලාභය
  36. තිස්සයය
  37. චුළදේවය
  38. සිවය

අළුවිහාරේ ආශ්‍රිතව නිර්මාණයවූ බෞද්ධ ගල්ලෙන් විහාර සංකීර්ණය[සංස්කරණය]

අලුවිහාරයේ සිට මද දුර ප්‍රමාණවලින් පිහිටා ඇති තලගහගොඩ රජ මහා විහාරය, ඇබිල්ල රජ මහා විහාරය, කොහොන් රජ මහා විහාරය, කුරුවා බෝගම්බර රජ මහා විහාරය වැනි බෞද්ධ ආශ්‍රමික ගල්ලෙන්/විහාර සංකීර්ණද අළුවිහාරයට යාබද ගල්ලෙන් සංකීර්ණ මෙන් අලුවිහාරයේදී සිදු කරන ලද ග්‍රන්ථාරුඩ දර්ම සංගායනාවට සහබාගි වූ මහරහතන් වහන්සේලාගේ වාසස්ථාන වී තිබේ. එම ගල්ලෙන් වල වැඩ සිටි මහරහතන් වහන්සේලා අලුවිහාරය ගල්ලෙන් සංකීර්ණය සේ සලකු බව පෙනේ.

මේවාද බලන්න[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "අබගස්පිටියේ විමලහිමි-නිකායසන්ග්‍රහය හෙවත් සාසනාවතාරය,පිටුව 31". 
  2. "මහාචාර්ය මැන්දිස් රෝහණදීර-අස්ගිරියෙන් උඩරට ඉතිහාසය,පිටුව 3". 
  3. "බුද්ධපුත්‍ර මහාස්ථවීර-පුජාවලිය ,පිටුව 724". 
"https://si.wikipedia.org/w/index.php?title=මාතලේ_අළුවිහාරය&oldid=399888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි