එක්සත් ජාතික පක්ෂය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


UNITED NATIONAL PARTY
එක්සත් ජාතික පක්ෂය
UNP logo 1.jpg
නායක රනිල් වික්‍රමසිංහ
ආරම්භය සැප්තැම්බර 6, 1946
මූලස්ථානය සිරිකොත, කෝට්ටේ
නිල මතවාදය/
දේශපාලන නැඹුරුව
මධ්‍යස්ථ-දක්ෂිණාංශික
ජාත්‍යන්තර සාමාජිකත්වයන් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය

යු.එන්.පී. හෝ එ.ජා.ප. ලෙස බොහෝවිට හැඳින්වෙන එක්සත් ජාතික පක්ෂය ඉංග්‍රීසි: United National Party (ශබ්ද නැගීම යුනයිටඩ් නැෂනල් පාටි ), දෙමළ: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ඓක්කීය දේසීය කච්චි ), ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය කි . රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය ලෙස ක්‍රියාකරයි. දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.

2004 අප්‍රේල් 2 දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සඳහා වූ අවසන් මැතිවරණ‍යෙහි දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ එක්සත් ජාතික පෙරමුණ හි ප්‍රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක ජනාධිපතිධූරය 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට වඩා මධ්‍යස්ථමතධාරි ලෙස පෙනුනද එ. ජා. ප. නව-ලිබරල් වාදී හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි[තහවුරු​ කරන්න]. සංසන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය හි සාමාජිකත්වය දරයි.

ඉතිහාසය[සංස්කරණය]

එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 6 වන දින, බහුතර සිංහල ප‍්‍රජාවේ සහ සුළුතර දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දක්ෂිණාංශික ප‍්‍රභූ පක්ෂ 3ක් ඒකරාශි වීමෙන් සකස් විය. මෙයට මූලිකත්වය ගනු ලැබුවේ නිදහස් සටනේ පෙරමුණ ගත් දොන් ස්ටීවන් සේනානායක යි. මන්ද, ඔහු ‘බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීම’ නම් වූ ලංකා ජාතික කොංග‍්‍රසයේ (සංගමය) නව ඉලක්කයට විරුද්ධ වී ඉන් ඉවත් වූ හෙයිනි. කෙසේ වුවත්, මොහු පක්ෂය ජනතා මට්ටමින් ජනප‍්‍රිය කරවීම සඳහා ජනප‍්‍රියවාදී ප‍්‍රතිපත්ති හඳුන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය 1947 දී ඩොමීනියන් තත්ත්වයක් ලබා ගැනීමේ අරමුණ යටතේ මැතිවරණයට තරඟ කළේය. එහිදී ඔවුහු බහුතරය අනුගමනය කරන බෞද්ධ ජීවන ප‍්‍රතිපත්ති අනුගමනය කළ අතර, වාමාංශික කොම්යුනිස්ට් පක්ෂවල විරෝධයට ලක් විය. (ලංකා සම සමාජ පක්ෂය හා ලංකා කොම්යුනිස්ට් පක්ෂය) එය බහුතරයක් දිනා ගැනීමට අසමත් වූ හෙයින් සිංහල හා දෙමළ පක්ෂ සමග සන්ධානගත වන්නට සිදු විය. 1948 දී ශ‍්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයට පත් වූ අතර, ඞී. එස්. සේනානායක එහි පළමු අගමැතිවරයා විය. ඔහු බටහිරවාදී, කොමියුනිස්ට් විරෝධි විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, සියලූ සන්නද්ධ හමුදාවල අණ දෙන නිලධාරීන් බි‍්‍රතාන්‍යයින් විය. බි‍්‍රතාන්‍ය හමුදා කඳවුරු ලංකාව තුළ දිගටම පවත්වාගෙන යන ලදී.

1948 පුරවැසි පනත සහ 1949 පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත උපයෝගී කර ගනිමින්, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමට නව ආණ්ඩුව කටයුතු කළේය. මෙය මූලිකවම වාමාංශික පක්ෂ මැතිවරණ වශයෙන් දුර්වල කිරීම අරමුණු කරගෙන සිදු කෙරුණි.

1952 දී ඞී. එස්. සේනානායක හදිසි අනතුරකින් මිය ගිය අතර, ඔහුගේ පුත් ඩඞ්ලි අගමැති බවට පත්විය. මෙය පක්ෂයේ දැවැන්තයකු වු, වාමාංශික අදහස් දැරූ බෞද්ධ ජාතිකවාදියකු වන එස්. ඩබ්. ආර්.ඞී. බණ්ඩාරනායක පක්ෂය හැර යාමට හේතුවිය. ඔහු පක්ෂය හැර ගොස් එ.ජා.ප හා මාක්ස්වාදී පක්ෂ අතර බලය තුලනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය. මේ කාලය තුළ එ.ජා. පක්සයේ සුළුතර ආගමික කණ්ඩායම්, විශේෂයෙන්ම කතෝලිකයින් කෙරෙහි දැක්වූ සහයෝගය නිසා අධිපතිවාදී සිංහල බෞද්ධ කොටස් තුළ නුරුස්නා බවක් ඇති විය. මේ නිසා 1956 මැතිවරණයේ දී ශ‍්‍රී. ල. නි. පක්ෂය ජයග‍්‍රහණය කරවීමට බණ්ඩාරනායක සමත් විය. ඉන්ඉක්බිතිව ඔහු සම්මත කළ විවාදාත්මක සිංහල භාෂා පනත, 1958 දී මහජන ගැටුම් ඇති කිරීමට හේතු විය. එ.ජා.පක්ෂය ‘නුවර පා ගමන’ හේතුවෙන්, එය ද්‍රවිඩ ෆෙඩරල් පක්ෂය සමග ඇති කරගන්නට ගිය භාෂා එකඟතාව ද අසාර්ථක විය.

1967දී, ඩග්ලස් ලියනගේ වැනි සිවිල් පුරවැසියන් සමග එක්ව, හමුදාවේ දක්ෂිණාංශික අංශ මගින් කැරැල්ලක් ඇති කිරීමට දැරූ අසාර්ථක උත්සාහය පිළිබඳ ව එ.ජා.ප ය චෝදනා ලැබීය. ඩඞ්ලි සේනානායක යටතේ 1965දී එ.ජා.ප ය බලයට පත් වූ නමුත්, 1970දී යළිත් එය මාක්ස්වාදී පක්ෂ සමග ඒකාබද්ධව එක්සත් පෙරමුණ යනුවෙන් ඒකාබද්ධ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පරාජය විය.

ඩඞ්ලි සේනානායක සහ වඩාත් ප‍්‍රතිගාමි අදහස් දැරු ජේ. ආර්. ජයවර්ධන අතර නායකත්වය කෙරෙහි ගැටුම් හට ගන්නට විය. ජයවර්ධන නිදහස් වෙළඳ පොළ ප‍්‍රතිපත්ති සහ ඇමරිකානුවාදී විදේශ ප‍්‍රතිපත්ති කෙරෙහි සහයෝගය දැක්වූවෙකි. ඒ හේතුවෙන් ඔහු ‘යැන්කි - ඩිකී’ ලෙස ද හඳුන්වන ලදී. 1970 දී ඩඞ්ලි ගේ මරණයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන එ.ජා.පයේ නායකයා බවට පත් වූ අතර, බිම් මට්ටමේ සිට පක්ෂය නඟා සිටුවීම ආරම්භ කළේය.

එක්සත් පෙරමුණේ ආර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි ඇති වූ මහජන අප‍්‍රසාදය හා 1971 ජනතා විමුක්ති පෙරමුණ මූලික වී ඇති වු මහජන කැරැල්ල කෲර ලෙස මර්ධනය කිරීම තුළ, 1977 දී එ.ජා. පක්ෂයට නැවත බලයට පත් වීමට හැකි විය. එය පාර්ලිමේන්තුවේ ආසන හයෙන් පහක් දිනා ගත්තේය. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රමය තුළ ඇති වූ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් විය. ජයවර්ධන ආර්ථිකය විවෘත කොට රටේ සමස්ත ස්වරූපය විප්ලවීය ලෙස වෙනස් කළේය. ඔහු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් (ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය යන වචනය ප‍්‍රථම වරට භාවිත කරන ලදී) ජනාධිපති තනතුර විධායක බලතල සහිත එකක් බවට පත් කළේය. එසේම, 1978දී අගමැති තනතුරින් ජනාධිපති තනතුරට පත් විය. 1979දී ඔහු විවාදාත්මක ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හඳුන්වා දුන්නේය. එය උතුරු පළාතේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම්වල සන්නද්ධ නැඟිටීම් වැළැක්වීම සඳහා කරන ලද්දක් විය.

ආර්ථික වශයෙන් ගත් කළ, නිදහස් වෙළඳ පොළ ප‍්‍රතිපත්ති මගින්, වර්ධනය වෙමින් තිබූ ඉලෙක්ට්‍රොනික හා මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාර මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් තිබූ තේ උපකරණ නිෂ්පාදනය ද විනාශ කෙරිණි. එමගින් නිෂ්පාදන රැකියා 100,000ක් පමණ අහිමි විය. රැකියා නියුක්තිය ඇති කිරීම සඳහා නිදහස් වෙළඳ කලාප ඇති කරන ලද නමුත්, එය වඩාත්ම සම්පූර්ණ වූයේ මැද පෙරදිගට ශ‍්‍රමිකයන් යැවීම හරහා ය. ජල විදුලිය හා කෘෂිකර්මය වර්ධනය කිරීම සඳහා එ.ජා.පක්ෂය විශාල ව්‍යාපෘති දියත් කළේය. කෙසේ වුවත්, උද්ධමනය වැඩිවීම ජනතාව තුළ රජය කෙරෙහි අප‍්‍රසාදයක් ඇති කිරීමට හේතු විය. ඒ හේතු නිසා විපක්ෂය විසින් මෙහෙය වන ලද වැඩ වර්ජන මාලාවක් ආරම්භ වූ අතර, 1980 මහජන වැඩ වර්ජනය පොලීසිය, හමුදාව සහ එ.ජා.පක්ෂයේ වෘත්තීය සමිති අංශයන් විසින් මර්දනය කරන ලදී. 1982 දී පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත් වූ අතර, එහිදී ඡන්ද මංකොල්ලකෑම් පිළිබඳ වාර්තා විය. ඒ අතරතුර උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල බෙදුම්වාදී දෙමළ සංවිධාන වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන්නට පටන් ගත්හ. 1983 ජූලි මස දී, යාපනයේ දී සෙබළුන් 13ක් ඝාතනය වීමත් සමග, ආණ්ඩුව දෙමළ සංවිධානවලට එරෙහි මර්දනයක් ගෙන යන්නට විය. මහජන කැළඹිලි හේතුවෙන් බොහෝ විරුද්ධ පක්ෂ තහනම් කිරීමට ආණ්ඩුව පෙළඹුණි. ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ විශ්වවිද්‍යාල තුළ දැඩි බලපෑමක් සිදු කළ ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතර විය.

ජයවර්ධනගේ ඇමරිකානුවාදී විදේශ ප‍්‍රතිපත්තිය හා එකඟ නොවූ දෙමළ විප්ලවකාරී කණ්ඩායම් ඉන්දියාව තුළ පුහුණුව ලබා ආයුධ සන්නද්ධ වූහ. ජ.වි.පෙරමුණ සමාජවාදී අරගලයක් සඳහා ආණ්ඩුවට එරෙහිව නැගී සිටි නමුත්, එම කැරැල්ල අසාර්ථක විය. ආණ්ඩුව එම කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ඝාතනය උපයෝගී කර ගත්තේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සිවිල් පුරවැසියන් 40,000ක් පමණ අතුරුදහන් වූ අතර, ජ.වි.පෙ කැරැළිකරුවන් රඳවා තබන ලද වධකාගාර ද බිහි විය. තරුණයින් පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදහ. ජ.වි.පෙ නායක රෝහණ විජේවීර, හමුදාව විසින් අල්ලා ගෙන පසුව ඝාතනය කරන ලදී. ඒ අතරතුර, පසු කලෙක ගාන්ධි ඝාතනයට මඟ පෑදු ඉන්දු - ශ‍්‍රී ලංකා ගිවිසුම, ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් අත්සන් තබන ලදී.

1988 දී ජයවර්ධන විශ‍්‍රාම ගත් අතර, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති ධූරයට පත්විය. පේ‍්‍රමදාස ඉන්දීය විරෝධී අදහස් සහිත පහළ පංතික නායකයෙකි. ඔහු විසින් ආරම්භ කළ බොහෝ නිවාස ව්‍යාපෘති සහ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘති, යම් මට්ටමින් ඔහුගේ ජනප‍්‍රියත්වය ඉහළ නැංවීය. 1993 මැයි දින රැළියකට සහභාගී වෙමින් සිටි පේ‍්‍රමදාස එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන සෙබළෙකු විසින් ඝාතනය කෙරිණි. මේ කාලය වන විට දූෂණ චෝදනා හේතුවෙන් එ.ජා.පක්ෂයට විරුද්ධව මහජන පෙළගැස්මක් පැවතුණි. 1994 දී, වසර 17ක එ.ජා.ප පාලනය බිඳ දමමින් ශ‍්‍රී. ල. නි. පක්ෂය ජයග‍්‍රහණය කළේය. විපක්ෂයේ සිටිය දී බොහෝ එ.ජා.ප දැවැන්තයින් එල්.ටී.ටී.ඊ ය මගින් ඝාතනය කෙරිණි. මැතිවරණ රැළියකට සහභාගී වෙමින් සිටිය දී ඝාතනය වූ ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක ඉන් එක් අයෙකි. මේ නිසා ශ‍්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග‍්‍රහණය පහසු එකක් විය. පක්ෂ නායකත්වය ජයවර්ධනගේ බෑණා කෙනෙකු වන රනිල් වික‍්‍රමසිංහට පැවරුණි. ඔහු බටහිරවාදී අදහස් හා නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි කැමැත්තක් දැක්වූ, සාපේක්ෂව තරුණ දේශපාලනඥයෙකි.

2001දී නිදහසෙන් පසු ලංකාව මුහුණ පෑ දරුණුතම ආර්ථික පරිහානියට මුහුණ දුන්නේය. දළ දේශීය නිෂ්පාදිතය 2.5%කින් අඩු විය. විශ්වාසභංග යෝජනාවක් මගින් ශ‍්‍රී.ල.නි.ප ආණ්ඩුව බිඳ වැටීම නිසා චන්ද්‍රිකා කුමාරතුංගට කලින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. මහාචාර්ය ජී. එල්. පීරිස්, එස්. බී. දිසානායක වැනි දෑවැන්තයින්ගේ සමයෝගය දිනා ගැනීමට වික‍්‍රමසිංහ සමත් විය. 2001දී රටේ දිස්ත‍්‍රික්ක එකක් හැර අනෙක් සියල්ල ජයග‍්‍රහණය කරමින්, එල්.ටී.ටී.ඊ ය සමග සාම සාකච්ඡාවලට එළඹීමේ පදනමක් මත එ.ජා.පක්ෂය පහසුවෙන් ජයග‍්‍රහණය කළේය. දෙවන වරට ද වික‍්‍රමසිංහ අගමැති වූ අතර, කුමාරතුංග සමග සහයෝගිතා ආණ්ඩුවක් පිහිටුවීය. සිය පත්වීමෙන් මාස දෙකකට පසු ඔහු එල්.ටී.ටී.ඊ ය සමග සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීය. මෙම ගිවිසුමෙන් පසු සාම සාකච්ඡා පවත්වන ලදී.

එජාප ආණ්ඩුව දැඩි බදු ප‍්‍රතිපත්ති සහ වෙළඳ පොළ හිතවාදි ප‍්‍රතිපත්ති අනුගමනය කළේය. මෙය විශාල පරිමාණයේ ආයෝජන හා ආර්ථික වර්ධනයක් කෙරේ මඟ පැදීය. ආණ්ඩුව, ආයෝජන මණ්ඩලය, කුඩා සහ ග‍්‍රාමීය ව්‍යවසායන් පිළිබඳ අමාත්‍යංශය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැනි ප‍්‍රධාන ආර්ථික ආයතන පිහිටුවීය. මෙමගින් 2003 අග වන විට 6%ක තරම් ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි විය. උද්ධමනය ද 2%ට වඩා අඩු විය. බොහෝ දේශීය හා විදේශීය විශේෂඥයින් අපේක්ෂා කළේ ශ‍්‍රී ලංකාව තවත් වසර කීපයක් තුළ ඉලක්කම් දෙකක විශාල ආර්ථික වර්ධනයක් හිමිකර ගනු ඇති බවයි.

වික‍්‍රමසිංහගේ සහ එජාප ආණ්ඩුවේ අවාසනාවට මෙන්, එල්ටීටීඊය විසින් සිදු කළ නිරන්තර සටන් විරාම ගිවිසුම කඩ කිරීම සහ හමුදා නිලධාරීන් ඝාතනය නිසා, ජවිපෙ හා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි ඊට සම්බන්ධ අනෙකුත් සංවිධානයන්හි ජාතිකවාදී උද්ඝෝෂණ ඉහළ යන්නට විය. ඔවුන් මහජනතාවට අවධාරණය කළේ වික‍්‍රමසිංහ එල්ටීටීඊ යට බොහෝ දේ ලබා දෙන බවයි. සිහළ උරුමය වැනි දැඩි මතධාරී බෞද්ධ සංවිධාන ද එම චෝදනාවම එල්ල කළ අතර, බටහිර ඉවැන්ජලික ක‍්‍රිස්තියානි සංවිධානවලට උදව් දීම මගින් අන්‍යාගමිකරණය හා බුදු දහම අනතුරේ හෙළිම පිළිබඳ ව චෝදනා කළහ. සිහළ උරුමය පසු කලෙක ජාතික හෙළ උරුමය නමින් වෙනස් වී බෞද්ධ භික්ෂූන් මැතිවරණය සඳහා ඉදිරිපත් කළේය.

2003 අග භාගයේදී ජාතික ලොතරැයි මණ්ඩලය ජනාධිපති යටතට ගන්නා ලදී. එජාපය රජය මුද්‍රණාලය වට කොට එම ගැසට් පත‍්‍රය මුද්‍රණය කිරීම වැළැක්වූයේය. ඒ හේතුව නිසා අගමැති වික‍්‍රමසිංහ වොෂින්ටනයේ ජෝර්ජ් ඩබ් බුෂ් හමුවීමේ සංචාරයක් සඳහා ගොස් සිටියදී ජනාධිපතිනිය ජනමාධ්‍යය, ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු යන අමාත්‍යාංශ තමා යටතට පවරා ගත්තාය. එජාප ආණ්ඩුව ජාතික උරුමයන් විදේශිකයන්ට විකුණන බවට චෝදනා කරමින් කුමාරතුංග සහ ඇගේ සහචරයෝ රනිල් වික‍්‍රමසිංහ ‘පාවා දෙන්නකු’ යයි කියමින් විශාල මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගියාය.

වර්තමාන තත්වය[සංස්කරණය]

යූ.එන්.පී. රජයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ 2004 මුල දී එක්සත් ජනතා නිදහස් සංධානය (UPFA) යූ.එන්.එෆ්.ඒ ගොඩ නඟන ලදී. කුමාරතුංග 2004 පෙබරවාරි දී මානව සැලසුම් කළ ප්‍රකාශයක් කරමින් පැය 24 ක් ඇතුළත ජාතික ඒකාබද්ධතාවය ආරක්ෂා කිරීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. අනතුරුව 2004 වසරේ අප්‍රේල් 2 පැවැති මැතිවරණයේ දී (UPFA) විසින් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන ලදී. වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳිනි.

නොවැම්බර් 17 පැවැති ජනාධිපතිවරණ ඡන්දයේ දී 48.43% සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දෙවැනි තැනට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වීම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමයි. එල්.ටී.ටී.ඊ. නීති විරෝධී බිය ගැන්වීම් නතර වී උතුරේ හා නැගෙනහිර කොටසකත් ජනතාව මැතිවරණ ඡන්ද දැමීමෙන් වැලකී නොසිටියා නම් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා යන්න පැතුරුණු මතවාදයක් විය. රනිල් වික්‍රමසිංහ සුළු ජාතීන් (දෙමළ සහ මුස්ලිම්) දිනා සිටිය ද බහුතරය සිංහල ප්‍රජාවක් දිනා ගැනීමට අසමත් වී ඇත.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ නායකත්ව ධූරයෙන් පහත හෙලීමේ පීඩනයකට වික්‍රමසිංහ මුහුණ දෙයි.

2007 මුල දී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 18ක් මහින්ද රාජපක්ෂගේ සන්ධාන ආණ්ඩුවට එක්විය. ඔවුන් සියල්ලන්ටම ඇමැති හා නියෝජිත ඇමති පදවි දුනි. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපති අතර 2006 අග දී අත්සන් කළ අව‍බෝධතා ගිවිසුමේ වලංගුතාවයක් නොමැති වීමෙන් දේශපාලනික අර්බුදයක් මතුවිණි. මෙම සිදුවීම පුවත්පත් මඟින් හැඳින්වූයේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කීප දෙනෙක්ම සඳහන් කළේ පාලනය විපක්ෂට යාමත් ඇමතිවරු විශාල ප්‍රමාණයක කැබිනට් මණ්ඩලයක් බවට අමාත්‍යය මණ්ඩලයට පත් වූ බවයි. 2007 පෙබරවාරි 9 දින අලුත් දේශපාලනික සිදුවීම, එම තත්වය ගැන අදහස් දැක්වූ ඇමතිවරු තිදෙනෙක් ඇමති ධූරවලින් නෙරපා දමන ලදී.

සටහන්[සංස්කරණය]

UNP - History
"http://si.wikipedia.org/w/index.php?title=එක්සත්_ජාතික_පක්ෂය&oldid=284547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි