චෞ රාජවංශය (690–705)
චෞ රාජවංශය 周 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
690–705 | |||||||||
චෞ රාජවංශය ක්‍රි.ව. 700දී පමණ | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
අගනුවර | ෂෙන්ඩු (ලුවෝයැං) | ||||||||
පොදු භාෂාවන් | චීන | ||||||||
ආගම | බුද්ධාගම (රාජ්‍ය ආගම), තාඕවාදය, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම | ||||||||
රජය | පූර්ණ රාජාණ්ඩුව | ||||||||
අධිරාජිනිය | |||||||||
• 690–705 | වූ සේටියෑන් | ||||||||
ඉතිහාසය | |||||||||
• වූ සේටියෑන් විසින් ස්ථාපනය | ඔක්තෝබර් 16, 690 | ||||||||
• අහෝසි කිරීම | පෙබරවාරි 22, 705 | ||||||||
• වූ සේටියෑන් අධිරාජිනිය කුමන්ත්‍රණයක් මගින් සිහසුනෙන් නෙරපීම | 705 | ||||||||
ව්‍යවහාර මුදල | චීන කාසි | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය ලාඕසය රුසියාව වියට්නාමය |
චෞ රාජවංශය (චීන: 周), එසේත් නොමැති නම් දෙවන චෞ රාජවංශය හෙවත් ප්‍රතිෂ්ඨාපිත චෞ රාජවංශය යනුවෙන් හැඳින්වෙන්නේ 690දී වූ සේටියෑන් අධිරැජිනිය විසින් තමන් හුවාංඩි (අධිරාජයා) ලෙස ප්‍රකාශයට පත්කොට ස්ථාපනය කළ චීන රාජවංශයකි. මෙම රාජවංශය තාං රාජවංශයේ අතුරු බිඳුමක් ලෙස සැලකේ. 705දී වූ සේටියෑන් සිහසුන අත්හැරි අතර, තාං රාජවංශය යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.
මෙහි එකම පාලකයා වූයේ රාජාභිෂේකයෙන් පසුව වූ සේටියෑන් යන නාමය භාවිතා කළ වූ චාඕ අධිරාජිනියයි. තමන් පුරාතන චෞ රාජවංශයෙන් පැවතෙන්නියක යැයි විශ්වාස කළ වූ ඇගේ රාජවංශය ද චෞ ලෙස නම්කළා ය.
රාජවංශයේ අගනුවර වූයේ ෂෙන්ඩු[1] (神都 දිව්‍යමය අගනුවර, වර්තමාන ලුවෝයැං) ය. වූ කුප්‍රකට අයුරින් බලයට පත්වුව ද, ඇගේ රාජ්‍ය සමයේ කාන්තාවන්ට බොහෝ වරප්‍රසාද හිමිවූ බවටත්, එකල චීනය ඉමහත් සමෘද්ධිමත්භාවයකට පත්ව සිටි බවටත් සාක්ෂ්‍ය තිබේ. රාජවංශයේ රාජ්‍ය ආගම වූයේ බුද්ධාගමයි. වූ සේටියෑන් සිය හිමිකම නීත්‍යානුකූල කරගනු පිණිස බුද්ධාගම ප්‍රවර්ධනය කළා ය. එසේම ඇය මහා මේඝ සූත්‍රය නම් සූත්‍රයක් රචනා කරමින් තමන් මෛත්‍රෙය බුදුන් වහන්සේගේ ආත්ම භවයක් බැව් දේශනා කරන්නට වූවා ය. එම සූත්‍රයෙන් කියැවුණේ කාන්තා අධිරාජයකු විසින් රෝගීභාවය, දුක සහ ව්‍යසනයන් ලෝකයෙන් තුරන් කරන බවයි. එසේම ඇය බෞද්ධ පූජ්‍ය ප්කෂයේ සහාය ද අපේක්ෂා කළා ය. වූ සේටියෑන් බුදු දහමේ ප්‍රබල අනුගාමිකාවක බවට පත්වූයේ කුමන කාලයේදැයි පැහැදිළි නැත. නමුත් ඇය රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම තෝරාගත්තේ කොන්ෆියුසියානුවාදය මගින් රාජ්‍ය පාලනය කිරීමට අධිරාජිනියනට අවසර නොදුන් බැවින් විය හැක.[1] සිය පූර්වප්රාප්තිකයන්ගේ රාජවංශය මෙන් නොව, ඇය සිය රජය සඳහා ජනයා බඳවා ගත්තේ ඔවුන්ගේ සමාජ තත්ත්වය නොසලකා දක්ෂතාවන් මත ය. බෞද්ධ පූජකයින් විසින් ෂෙන්හුවාං පිළිබඳ අනාගත වාක්‍යයේ අර්ථය පිළිබඳ ව්‍යාඛ්‍යානයක් සම්පාදනය කළ අතර, එමගින් කියැවුණේ විමලප්රභාගේ නැවත උපතක් ලෙසින් චක්‍රවර්තී රැජිනියක ජම්බුද්වීපය පාලනය කරන බවයි. මෙම ලේඛනය වූ සේටියෑන් චෞ රාජවංශය ප්‍රකාශයට පත් කිරීමට මාස දෙකකට පෙර ඇයට ප්රදානය කෙරිණි.
රාජ්‍ය පාලිකාවකගේ පිබිදීම පිළිබඳ කියැවෙන නිර්මල ශුද්ධාලෝකයේ මහා මන්ත්‍රය වැනි විවිධ ලේඛන මෙකල රචනා කෙරිණි. ඉහත සඳහන් ගන්ථයෙන් පිටපත් 10,000ක් රචනා කිරීමට වූ සේටියෑන් නියෝග කළා ය.[2]
සම්ප්‍රදායික චීන ඉතිහාසලේඛය තුළ මෙම රාජවංශය තාං රාජවංශයේම යුගයක් ලෙස සලකා ඇති අතර, වූ තාං රාජවංශයේ හිටපු වල්ලභ අධිරැජිනිය (අගබිසව) ලෙස සලකා ඇත. ඇගේ දේහය තාං රාජවංශ ස්මාරකයක් වූ ක්වියෑන්ලිං සොහොන්ගැබේ තැන්පත් කෙරිණි. මීට අමරව මෙම රාජවංශයේ එකම අධිරාජයා වූයේ ද වූ සේටියෑන් වූ බැවින් මෙය රාජවංශ සංකල්පය හා නොගැළපේ. කෙසේනමුත්, මේ හා සමාන දිගකින් යුත් ෂින් රාජවංශය වැනි රාජවංශ සහ එයටත් වඩා කෙටි ෂුන් රාජවංශය වැනි රාජවංශය ද පැවතී ඇත. දීර්ඝ කාලයක් පුරා වූ සේටියෑන්ගේ පාලන සමය මහත් කෲර සමයයක් ලෙස සැලකුණ ද, මෑතකාලීන දශකයන් තුළ එම මතය තරමක් වෙනස් වී ඇත. චීන ප්‍රබන්ධ කෘති ගණනාවකම ඇය දූරදර්ශී පාලිකාවක ලෙස නිරූපණය කොට තිබීමෙන් මෙය පෙනී යයි.
පසුබිම
[සංස්කරණය]රාජාභිෂේකයට ප්‍රථම, වූ චාඕ (එකල ඇගේ නම) ඇගේ සැමියා වූ ගඔෂොං අධිරාජයා සහ ඇගේ පුත්‍රයින්ගේ රාජ්‍යාධිකාරිණිය ලෙස ක්‍රියා කරමින් සැබෑ බල මූලය ලෙස කටයුතු කළා ය. 655 ආරම්භයේ දී වූ අධිරාජයාගේ නාමයෙන් මාලිග රැස්වීම් මෙහෙයවීමෙහි යෙදුණා ය. ගඔෂොංගේ මරණයෙන් පසු ඇය ඇගේ පුත්‍රයන්ගේ නාමයෙන් රාජ්‍ය පාලනය කළා ය. මෙකල ඇගේ පුතුන් රූකඩ අධිරජුන් බඳු විය. 690දී ඇය ඇගේ පුත්‍රයා වූ රුයිෂොං අධිරාජයාව ධුරයෙන් පහකොට තමන්වම හුවාංඩි (අධිරාජයා) ලෙස ප්‍රකාශයට පත් කර ගනිමින් ස්වකීය චෞ රාජවංශය පිහිටුවූවා ය.