ගෝව පාෂාණය
ගෝව පාෂාණයක් යනුවෙන් හැඳින්වෙන්නේ ඖෂධීය වටිනාකමක් සහ ආරක්ෂක බලයක් ඇතැයි පැවසෙන මිනිසා විසින් නිර්මාණය කරන ලද ගොරෝචනයකි. (රෝමන්ථකයන්ගේ පිත්ත ගලක් වැනි)[1] ගෝව පාෂාණ නිර්මාණය කරන ලද්දේ පසුකාලීන දාහත්වන සියවසේ ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ විසූ ජේසුයිට්වරුන් විසිනි. එයට හේතුව ස්වාභාවික නිර්මාණය වූ ගොරෝචන දුර්ලභ වීමයි.[2] මේවායේ නිර්මාතෘවරයා වූ ෆ්ලෝරන්ටයින් ගිහි පූජක සොහොයුරකු වූ ගැස්පාර් ඇන්ටෝනියෝ ය. 1691 මාර්තු 6 දින පෘතුගීසීන් විසින් ජේසුයිට් ඒකාධිකාරයක් සනාථ කරන ලදී.[3] මේවා නිර්මාණය කෙරුණේ හිස කෙස්, බෙලි කවච, ඇත් දළ, රෙසින සහ කුඩු කරන ලද මැණික් වැනි විවිධ කාබනික සහ අකාබනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙනි. අනතුරුව එම මිශ්‍රණය ගෝලයක හැඩයට සකස් කොට ඒ මත රන් ආලේප කිරීම සිදු විය. ගොරෝචන පාෂාණ සේම, ගොව පාෂාණයන් ද රෝග වළක්වන බවත්, විෂ වීම් සුවපත් කරන බවත් විශ්වාස කෙරිණි.[4] මේවා භාවිතයට ගැනුණේ එහි කුඩා කොටස් සූරා ජලය, තේ, හෝ වයින් වැනි විවිධ පාන වර්ග සමග මුසු කොට පානයට ගැනීමෙනි.
ගෝව පාෂාණ තැන්පත් කෙරුණේ විසිතුරු, දඹ රන් හෝ රන් ආලේපිත කෝෂයක් තුළ වන අතර, එමගින් පාෂාණවල වූ ඖෂධීය ගුණාංග වැඩිදියුණු වන්නේ යැයි විශ්වාසයක් පැවතිණි.[5] මෙම කවච සාමාන්‍යයෙන් සියුම් කැටයම් ජාලාවකින් සමන්විත වූ අතර, එහි දී වඳුරන්, කඟවේනුන්, සුනඛයින්, සහ ගිරවුන් වැනි විවිධ සත්ත්ව රූ ඇතුළත් මෝස්තර භාවිතා කෙරිණි.[6]
මෙවන් ආකාරයේ අලංකාර ගෝව පාෂාණයකට නිදසුනක් එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ දැකගත හැක. පසුකාලීන 17වන සහ මුල්කාලීන 18වන සියවස අතර කාලයේ නිර්මාණය වූ එහි බහාලුම ද දක්නට ලැබේ. මෙහි බහාලුම රත්රන්වලින් නිර්මාණය කොට ඇති අතර, එහි කැටයම් කළ පාද දක්නට ලැබේ. මෙහි ගෝව පාෂාණයේ විෂ්කම්භය සෙන්ටිමීටර 3ක් පමණ වන අතර, බහාලුමේ උස සෙන්ටිමීටර 6.7කි. බහාලුමේ විෂ්කම්භය සෙන්ටිමීටර 14.4ක් පමණ වේ. 2004 වර්ෂයේ දී රෝජර්ස් අරමුදල විසින් මෙම පාෂාණය මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙත ලබාදෙන ලදී.[4]
මෙවන් ආකාරයේ භාණ්ඩ නිතරම පාහේ යුරෝපය වෙත අපනයනය කෙරිණි. මේ සඳහා තවත් නිදසුනක් ලෙස පසුකාලීන දහසයවන සියවසේ ඇල්බාහි ආදිපාදවරයා සඳහා නිර්මාණය කරන ලද ගෝව පාෂාණය දැක්විය හැක. මෙය වර්තමානයේ වියානාවේ කුන්ට්ස්හිස්ටොරිස්කස් කෞතුකාගාරයේ තබා ඇත.[4] මෙහි පාෂාණය වටා පිහිටි බිත්තරයක හැඩය ගත් රන් බහාලුම අර්ධගෝල දෙකකින් සමන්විත ය. මෙය අලංකාර පත්‍රික රටාවකින් යුක්ත ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Goa Stone with Gold Case". The Metropolitan Museum of Art. The Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 19 November 2017.
- ^ Bailly, Muriel. "Foolish Remedies: Goa Stone". Wellcome Collection. Wellcome Collection. සම්ප්‍රවේශය 19 November 2017.
- ^ Fonseca, José Nicolau da (1878). An Historical and Archæological Sketch of the City of Goa: Preceded by a Short Statistical Account of the Territory of Goa (ඉංග්‍රීසි බසින්). Thacker & Company, limited. p. 317.
- ^ a b c "Bezoar Stone with Case and Stand". The Metropolitan Museum of Art. The Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 19 November 2017.
- ^ Grundhauser, Eric. "The Man-Made Gut Stones Once Used to Thwart Assassination Attempts". Atlas Obscura. Atlas Obscura. සම්ප්‍රවේශය 19 November 2017.
- ^ Ekhtiar, Maryam. "Paradox". YouTube. The Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 19 November 2017.