හෘදයාබාධය
හෘදයාබාධය (Myocardial infarction) | |
---|---|
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර | |
ICD-10 කේතය | I21.-I22. |
ICD-9 කේතය | 410 |
DiseasesDB | 8664 |
MedlinePlus | 000195 |
eMedicine | med/1567 emerg/327 ped/2520 |
MeSH | D009203 |
අප ශරීරයේ විවිධ කොටස්වලට ජීවත් වීමට ආහාරත් ඔක්සිජන් නැමති වායුවත් වුවමනා වේ.මෙම ද‍්‍රව්‍යය එම විවිධ කොටස් වෙත ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි.දේහයේ ඇති මෙම කොටස් වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමති අවයවය මගිනි.මෙය ශරීරයේ මධ්‍යය රේඛාවෙන් වම් පසට ආනතව පෙනහලු දෙක අතර වම් පෙනහල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත.උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැක.එමෙන්ම වැඩුණුපුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑරෑම් 300 ක් පමණ වේ.මෙම හෘදයට අදාල සියලු රෝග හෘදයාබාධ ලෙස හැදින්වුවද හෘදයාබාධය(මයෝ කාඩියල් ඉන්පාක්ෂන්) ලෙස හදුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි.මෙය බහු හේතුක රෝගයකි.
හෘදයේ කොටස්
[සංස්කරණය]හෘදය තුළ කුටීර හතරක් දක්නට ලැබේ.ඉන් ඉහළ කුටීර කර්ණිකා ලෙස හැදින්වෙන අතර පහළ කොටස් කෝෂිකා ලෙස හැදින්වේ.කර්ණිකා හා කෝෂිකා සම්බන්ධ වන කපාට යුගලක් හෘදය තුළ පිහිටා ඇත.වම් පැත්තේ ඇති කපාටය ද්වි-තුණ්ඩ නොහොත් මයිට්‍රල් කපාටය ලෙස හැදින්වේ.දකුණු පැත්තේ ඇත්තේ ත්‍රි-තුණ්ඩ කපාටයයි.(tricuspid Value)මෙම කපාට මගින් කර්ණිකා වලින් කෝෂිකා වලට රුධිරය ගලා යාමට සලස්වන අතර එම රුධිරය ආපසු කර්ණිකා වලට ගැලීම වළක්වනු ලැබේ.හෘදයේ කෝෂිකා වලට සම්බන්ධ ධමනි ආරම්භයේ දී අඩසඳ කපාට ද පිහිටා ඇත.හෘද ස්පන්ධනහය් දී "ලබ් ඩබ්" ලෙස ශ්‍රවණය වන්නේ කපාට වල පියන්පත් ඇරීම සහ වැසිමයි.හෘදයේ සමහර ආබාධ වලදී මෙම හඩේ වෙනසක් දැකිය හැක.සාමාන්‍යයෙන් එක් හෘද ස්පන්දනයක් සදහා ගතවන්නේ තත්පර 0.8ක කාලයකි.මිනිත්තුව තුළදී හෘදයෙන් පිටවන රුධිර ප්‍රමාණය මිලි ලීටර් 5040 පමණ වනු ඇත.
හෘදයට සම්බන්ධ රුධිරවාහිනී
[සංස්කරණය]- වම් කර්ණිකාව- පෙනහලුවල සිට රැධිරය ගෙන එන පුප්ඵුශීය ශිරා(plomanryVains)හතර සම්බන්ධ වේ.
- දකුණු කර්ණිකාව- හෘදයට ඉහළින් ඇති කොවස් වලින් රුධිරය ගෙන එන පූර්ව මහ ශිරාවත්(Inferiorvanacave)සම්බන්ධ වේ.
- වම් කෝෂිකාව - මුළු සිරුර පුරාම රුධිරය බෙදාහරින සංස්ථානික මහා ධමනිය (Aorta)වම් කෝෂිකාව හා යාවේ.
- දකුණු කෝෂිකාව- පෙනහලු කරා රුධිරය ගෙන යන පුප්ඵුශී ධමනිය (Pulmonary artery)දකුණු කෝෂිකාවට සම්බන්ධවේ.
හෘදයෙන් පිටතට රුධිරය ගෙන යන ධමනියක් වන සංස්ථානික මහා ධමනියේ ආරම්භයත් සමගම එහි මුල්ම ශාඛාව කිරීටක ධමනිය ආරම්භ වේ.හෘද පේශින්ට රුධිරය සපයනු ලබන්නේ මෙය මගිනි.මෙම ධමනියේ හෝ ශාඛාවන්හි ඇතුල් බිත්ති වල මේද තැන්පත් වීමත් අවහිර වීමත් නිසා හෘදයාබාධය ඇති වේ.
හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක
[සංස්කරණය]- රුධිර පීඩනය
- දියවැඩියාව
- මේද අනුපාතය
- ස්ථූලතාවය
- දුම්බීම
- මානසික අසහනය
- කායිකවර්ධනය
- ජන්ම ප්‍රවේණිය
ඉහත සාධක එකක් හෝ ඊට වැඩියෙන් පවතීනම් හෘදයාබාධයකට ගොදුරුවීමේ අවධානමක් තිබේ.මෙහිදී ජන්ම ප්‍රවේණිය හැර අනෙක් සියලු සාධක අපට පාලනය කළ හැකි සාධකයෝය.ඇතැම් සාධක නිසා හෘදයාබාධය ඇති වන්නේ ඇයි යන්න විද්‍යාත්මකව ඔප්පු කර නොමැති වුවද ඒ අතර යම් සබදතාවක් ඇති බව දක්නට ලැබේ.ඉහත සාධක පාලනය කිරිමෙන් හෘදයාබාධයක් වැළදීමේ අවධානම අඩු කර ගත හැක.
රුධිරපීඩනය
[සංස්කරණය]රුධිරපීඩනය යනු ලේ ගමන් කරවීම සඳහා හදවත මගින් යොදන බලපෑමයි. අධිරුධිර පීඩනය යනු හෘදයේ සිට පිටතට රුධිරය ගෙන යන ධමනි තුළ පවත්නා රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත්‍රී පුරුෂභාවයටත් නොගැලපෙන සේ දිගින් දිගටම ඉහළ ගොස් පැවතීමයි.
ඇතිවීමට බලපාන සාධක
- වැඩිපුර ජලය හා ලුණු එකතුවීම නිසා රුධිර පීඩනය වැඩි වූ විට.
- හදවතේ සිට රුධිරය ගෙන යන රුධිර නාල බිත්ති මහත් වී කුහරයන් පටු වීම.
- හදවත මගින් රුධිරය වඩා වේගයෙන් හා තදින් පොම්ප කරන විට
වැළදීමට හේතු
- පරම්පරාවෙන්
- වැඩිපුර ලුණු කෑමෙන්
- පොටෑසියම් ලවණ අඩුවෙන් ගැනීමෙන්
- තරබාරුකම
- අධික ප්‍රෝටින් ආහාර අනුභවය
- මානසික අසහනය
රෝග ලක්ෂණ
- උදෑසන බෙල්ල පිටුපස ඉහළ ප්‍රදේශයේ සහ හිස මුදුනේ ඇතිවන හිසරදය හා කරකැවිල්ල
- හුස්ම ගැනීමේ අපහසුව
- නාසයෙන් ලේ ගැලීම
- අධික මුත්‍රා යාම
- පෙනීමේ අපහැදිලි බව
- අතපය පණ නැති කම
ප්‍රතිඵල
- හදවතට බලපෑමෙන් -හෘදයාබාධ
- මොළයට බලපෑමෙන් -අංශභාගය
- ඇස්වලට බලපෑමෙන් - අන්ධභාවය
- වකුගඩුවලට බලපෑමෙන් - වකුගඩු අක්‍රීය වීම
දියවැඩියාව
[සංස්කරණය]දියවැඩියාව යනු ලේවල සීනි මට්ටම ඉහළ යාමයි.ලෝක සෞඛ්‍යය සංවිධානය අර්ථ දක්වන අන්දමට උදෑසන නින්දෙන් නැගිට කිසිවක් කෑමට හෝ බීමට පෙර රුධිර පරික්ෂා කිරීමේදි ලේ ඩෙසිලීටරයක තිබෙන ග්ලූකෝස් ප්‍රමාණය මිලි ග්‍රෑරෑම් 136 කට වඩා වැඩිනම් ඔහු හෝ ඇය දියවැඩියා රෝගියෙක් ලෙස දක්වයි. දියවැඩියා රෝගයට ගොදුරුවීමෙන් හෘදයාබාධයකට ගොදුරු වීමේ අවධානම දෙගුණයකින් වැඩිය.වයස අවුරුදු 25-35ත් අතර අයකු එකවර හෘදයාබාධයකට ගොදුරු වීමේ ප්‍රධාන හේතුව වන්නේ නොදැනුවත්ව හෝ නිසි ලෙස පාලනය නොකර හෝ දියවැඩියා රෝගයෙන් පෙළීමයි.මෙවැනි රෝගියෙකුට එක හෘදයාබාධයක් වැළදුණු විට තවත් හෘදයාබාධයක් ඇති වීමේ වේගය වැඩිය.දියවැඩියා රෝගය හේතුවෙන් හෘදයාබාධයක් ඇතිවීමේදි ඇතිවන වේදනා නොදැනීම ඇතිවිය හැක.එය ඉතා බරපතල තත්‍වයකි.දියවැඩියා රෝගය හේතුවෙන් පිරිමියෙකුට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාව 50%කින් වැඩිය.ගැහැණු අයෙකු නම් 300ගුණයකින් වැඩිය.මේ හේතුවෙන් අඩු වයස් හෘදයාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රතිශතයද ඉහළය.
කොලොස්ටරෝල්
[සංස්කරණය]කොලොස්ටරෝල් යනු රුධිරයේ ඇති ස්වාභාවික මේද වර්ගයකි.මෙය ආහාර මගින් ලැබෙන අතර ශරීරය තුළිනුත් නිපදවයි.පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම මට්ටම වෙනස් වන අතර කොලොස්ටරෝල් අධික වීම නිසා හෘදයාබාධ වැළදීමේ අවධානම ඉහළය.කොලොස්ටරෝල් වර්ග දෙකකි.H.D.Lහා L.D.Lයනුවෙනි.LDLඉහළ යෑම අහිතකරය.රුධිරයේ කොලොස්ටරෝල් මට්ටම වැඩි කරන ආහාර වන්නේ සත්‍ව ආහාර(මස් ,බටර් ,සීනි ,බිත්තර) හා ශාක ආහාර (පොල්, පොල්තෙල් ,පාම් තෙල්(Palm oil) ආධියේ අඩංගු සංතෘප්ත මේදය කොලොස්ටරෝල් මට්ටම ඉහළ දමයි. මෙම මට්ටම අඩු කර ගත හැක්කේ නිවරැදි ආහාර පුරුදු අනුගමනය කිරීමෙන් හා ශරිරයේ බර අඩු කර ගැනිමෙනි.ඇතැම් අයට ඖෂධ වර්ග ලබාදීමටද සිදුවේ.
කොලොස්ටරෝල් අධික රෝගින්ට සුදුසු ආහාර
- එළවලු හා පළතුරු
- පලා වග්‍ර්
- කුරුට්ට සහිත ධාන්‍ය
- කෙඳි සහිත ආහාර
- සතියකට දෙවරක් මාළු
- මේදය අඩු කිරි හා කිරි ආහාර
රෝග ලක්ෂණ
[සංස්කරණය]හෘදරෝගයක් ඇතැයි හගවන සුලභ රෝග ලක්ෂණ
- සුළු කාර්යයක පවා නිරත වන විට ඇතිවන හතිය
- කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව(වෙහෙස නිවෙන විට වේදනාවද නැති වී යයි)
- කරන කාර්යයට අනුකූල නොවන වේදනාව(ආහාර වේලකින් පසුව පපුව හිරවීම හෝ හතිය ඇති වීම)
- කැස්ස(වියලි)
- කකුල් ඉදිමීම
- ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමී යාම (අධික වෙහෙස වීමකදී)
- පපුවේ ගැස්ම
- හිසරදය(හිස මුදුනෙන් දැනෙන හා උදෑසන ඇතිවන)
හාදයාබාධයක් වැළදි ඇති බව හදුනා ගැනීමේ ලක්ෂණ
- පපුවේ සිට වම් අත දිගේ ඇගිලි තුඩු දක්වාත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වාත් ඉදිකටු ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව
- හුස්ම ගැනීමේ අපහසුව
- හදිසි ක්ලාන්ත ගතිය
- කරකැවිල්ල
- හෘද ස්පන්දනය වේගවත් වීම.
- කිසිදු හේතුවක් නොමැතිව ඇද වැටීම
හෘදයාබාධයකින් පසු
[සංස්කරණය]ඔහු හෝ ඇය සිටින කාර්යයෙන් ඉවත් කර ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීම කළ යුතුය.රෝගියාට පහසු ඉරියව්වකින් සිටීමට සැලැස්විය යුතුය. හෘද රෝගියෙකු නම් වෛද්‍යවරකු දිව යට තබා ගැනීමට දී ඇති පෙත්ත ලබා දිය යුතුය.වෛද්‍යවරයාට භාර දෙන තුරු ස්වසන හා නාඩි වැටීම පිළිබද සැලකිලිමත් විය යුතුය.
හෘදයාබාදයක් යනු නිසිලෙස රුධිර සැපයුම නොලැබීම නිසා හාද වස්තුවේ මාංශපේශින් තුවාල වීම නිසා හටගන්නා රෝගයයි.තුවාල වූ මාංශපේශින්ගෙන් කොටසක් අනිවාර්යෙන්ම හානියට පත්වේ.හානියට පත් වු කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැත.මන්ද ඉතිරි මාංශපේශි ප්‍රදේශය අවශ්‍යය කාර්යය නිසි ලෙස ඉටු කරයි.හානියට පත් වූ මාංශපේශි ප්‍රදේශය තුවාල කැළලක් මෙන් සුව වේ.කැළල සුවපත් විමට සති 6-8 ක කාලයක් ගතවේ.එම කාලය තුළ විවේක ගත යුතුය.
හෘදයාබාධයකින් පසු කාලය ගත කළ යුතු ආකාරය
[සංස්කරණය]- මුල් පැය 48- පුරා රෝගියාට සම්පූර්ණ ඇද විවේකය ලබා දිය යුතු අතර දියරමය ආහාර පමණක් ලබා දිය යුතුය.කෝපි කෘත්‍රිම එළවලුසාර පාන මේද අඩංගු කිරි පිටි මෙම කාලය තුළ නොදිය යුතුය.දත් මැදීම මුහුණ සේදීම තනිව නොකළ යුතුය.මළ මුත්‍රා බැහැර කිරීම සදහා ඇදෙන් බැස යාම සුදුසු නැත.
- තෙවන දින-ප්‍රධාන ආහාර වේල් තුනටම ක්‍රීම් ක්‍රැකර්,කුරකක්කන් ක්‍රැකර් යන විස්කෝතු වලින් දෙක බැගින් ද බත් මිශ්‍ර කැද කෝප්ප 1/3 ක් සෑහේ.එම ආහාර ගැනිමට අකමැතිනම් පැපොල් වැනි පළතුරක් දිය හැක.එමෙන්ම මෙම දිනයේදි රෝගියාට ඇදමත වාඩිවීමට පුලුවන.නමුදු එය කළ යුතු වන්නේ ශරිරයට බර නොදැනෙන පරිදිය.
- සිව්වන දිනය-මෙදින රෝගියාට දෙන ආහාර මදක් වැඩි කල යුතුය.මදක් කායික වෙහෙසක් ද ලබා දිය යුතුය.එනම් ඇද අසල පුටුවක් තබා දුන් විට තනිවම ඇදෙන් බැස ඒ මත වාඩිවිය හැක.විනාඩි 15 ක් පමණ එසේ සිට යලිත් ඇදට යා යුතුය.දිනකට තෙවරක් මෙය කළ යුතුය.
- පස් වන දින-මෙම දිනය වන විට හදිසි අවස්ථා බොහෝ දුරට මග හැරි තිබේ.ඇද අසලට ගෙන යන බේසමෙන් තනිව මුහුණ සේදීම යනාදිය කිරිමට හැකියාවක් ඇත.
- සයවන දිනය-රෝගියා ගෙදර යැවිම සදහා හුරු කරවනු ඇත.තනිව වැසැකිළි යාම වාට්ටුට දෙපස සෙමෙන් දෙවරක් ඇවිදිම යනාදිය මෙදින සිදු කරනු ඇත.
- සත්වන දින-සංකූලතා හෝ අමතර රෝග ලන්ෂණ නොමැති නම් රෝගියා ගෙදර යවයි.
ආහාර
[සංස්කරණය]සුදුසු ආහාර හෘදයාබාධයකට පසු ආහාර පිළිබද සැළකිලිමත් වීම ඉතා වැදගත්ය.
- නිවුඩු හාල් බත්
- කුරක්කන් පිටි ඉදිආප්ප රොටි ආදිය
- එළවලු
- අලිගැටපේර හැර කැමති පළතුරක්
- පියලි ඇට වර්‍ග(පරිප්පු, කඩල, මුං)
- හුරුල්ලන් වැනි කුඩා මාළු
- බිත්තර සුදු මදය
- ලූණු,සුදු ලූණු
සම්පූර්ණයෙන් නතර කළ යුතු ආහාර
- මුදවපු කිරි,යෝගට්,මේද සහිත පිටි කිරි
- මස් වර්‍ග
- බිත්තර කහමදය
- ක්‍රීම් සහිත බිස්කට්
- ඉස්සො,දැල්ලො,පොකිරිස්සො
හෘදයාබාධයකට පසු ව්‍යායාම
[සංස්කරණය](දෙවන දින පටන්) මෙවැනි රෝගියෙක් ඉතා ක්‍රමානුකූලව ව්‍යායාම කළ යුතුය.එක් වරම ශාරීරික ව්‍යායාම බරපතල ලෙස කළ හොත් එය තුවාල වුණු හෘදයවස්තුවට දරා ගැනිමට අපහසුය.එබැවින් ව්‍යායාම වැඩිකළ යුත්තේ ක්‍රමානුකූලවය.ශාරීරික ව්‍යායාම මනින්නේ මේට් (Met) නම් වූ ඒකක මගිනි. මිනිසෙකු කිසිම සෙලවීමක් නොමැතිව ඇදේ නිදා සිටින විට වැය වන්නේ මිනිත්තුවකට මේට් 1 ක් පමණ ශක්ති ප්‍රමාණයකි. සරල ව්‍යායාමයක් රෝගියා නිරෝගි වූ විට සුදුසු සරල ව්‍යායාමයකදි ශක්තිය මේට් 1/2-2 දක්වා වැය වේ.
1.ව්‍යායාමය
- වරකට එක බැගින් එක් එක් කකුල දණ හිසෙන් හොදින් කෙලින් නර උකුල සන්දියෙන් ඉහළට පහලට කරන්න.ඇදේ සිට අගල් 3 ක් පමණ එසවීම සුදුසුය.
- වළලුකර සන්ධියෙන් පාදය වටේට කරකවන්න.එසේ කීපවරක් කර පයේ ඇගිලි වලින් රවුමක් අදින්න.(ඇදේ හාන්සි වි සිටින අතර)
2.දණ හිසෙන් කකුල නවා උදරය දෙසට ගන්න.
3.දෑත් පපුව මත තබා ගැඹුරින් හුස්ම ගන්න.පහත හෙළන්න.(පැය දෙකකට වරක් ඉහත සදහන්ව්‍යායාමය 3 වරක් කිරිම සුදුසුය.
සතර වන දිනයේ පටන්
මෙම ව්‍යායාමය සදහා මේට් 2-3 දක්වා වැය වේ.
4.ඇද උඩ හොදින් ඇදට හේත්තු වී කෙලින් අතට වාඩි වෙන්න.කොන්දට කොට්ටයක් තබා වාඩිවීම සුදුසුය.
- ඇදේ වාඩි වී කද ඉදිරියට නවා පයේ වළලු කර අල්ලන්න
- අඩි 1 1/2 ක් (අගල් 18)ක් උස පුටුවක වාඩි වී හිද එයින් නැගිට යලිත් වාඩි වන්න.මේසයකට බර දි එක් කකුලක් පිටුපසට දිගු කරන්න.යලිත් තිබූ තැනට ගන්න.එසේ දෙපා මාරු කරමින් පස්සට ලඟට ගන්න
මදක් බර ව්‍යායාමයක් ශක්තිය (3-5)දකිවා වැය වේ.නිවසට පැමිණි පසු කිරීම සුදුසුය.
- කෙලින් සිට ගන්න.එක් කකුලක් දණ හිසෙන් මදක් උඩට ඔසවන්න.(දෙපා එකිනෙක ඔසවන්න)
- කෙලින් සිට ගන්න. අත් දෙක ඉදිරියට දික් කරන්න.පයේ ඇගිලි තුඩු වලින් ඉස්සෙන්න.යලිත් පහත් වෙන්න.පහත් වෙන විට දණ හිසෙන් මදක් නවන්න.
5.කෙලින් සිට කදින් දෙපැත්තට නැවෙන්න.
6.ඇද උඩ වාඩි වෙන්න.කද කෙලින් කර වාඩිවන්න.අත් දිගු කරන්න. දණ හිසි නොනමා පයේ ඇගිලි තුඩු අල්ලන්න. මෙම ව්‍යායාම හතරම එකවර කිරිමට උත්සහ නොකරන්න.
නුසුදුසු ව්‍යායාම
[සංස්කරණය]පහත සදහන් ව්‍යායාම කරන විට මේට් 9ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැය වේ.එබැවින් හෘදයාබාධිත රෝගින්ට මෙම ව්‍යායාම නුසුදුසුය.
- බරක් ඔසවාගෙන පඩිපෙළ නැගීම
- බරක් ඔසවාගෙන ඉක්මනින් ඇවිදීම.
- බයිසිකලයක් පැදගෙන කදු නැගීම
- පැයට 21km වේගයෙන් බයිසිකල් පැදීම.
- ඉතා වේගයෙන් පඩිපෙල් නැගීම.
ඇවිදීමේදි මතක තබා ගත යුතු කරුණු
- ව්‍යායාමයක් ලෙස ඇවිදීමේදි තරගකාරි ලෙස වේගයෙන් ඇවිදිම නුසුදුසුය.
- දැඩි සුළඟ තිබෙන විට එයට එරෙහිව ඇවිදීම නොකළ යුතුය.
- සීතල දිනෙක ඇවිදීම අහිතකරය.
ව්‍යායාම කරන විට පහත ගැටලු පැන නැගුණොත්වහාම වෛද්‍ය උපදෙස් ගත යුතුය.
- පපුවේ වේදනාවක්
- පපුවේ බර ගතියක්
- හුස්ම ගැනිමේ අපහසුවක්
- හිස කරකැවිල්ල
- අධික තෙහෙට්ටුව
- හෘදයාබාධයකින් මාසයක් පමණ ගිය තැන නිවසේ පිටත සෙමෙන් ඇවිදීම සුදුසුය.ඇවිදිමට ප්‍රථම දවසේ පළමු ඖෂධ වේල ගෙන තිබිය යුතුය.ඉන් පැයකට පමණ පසු ඇවිදීම සුදුසුය.බරට ආහාර ගෙන ඇත්නම් ඇවිදිම නුසුදුසුය.
හෘදයාබාධයකින් පසුව දැනෙන සුළු රෝග ලක්ෂණ
[සංස්කරණය]- ඇගේ පතේ වේදනාව
- විවේකිව සිටියදිත් දැනෙන අධික තෙහෙට්ටුව
- ඇගට පණ නැතුවා සේ දැනීම
මේවා බොහෝ විට හිතට නැගෙන බිය නිසා ඇතිවේ.හතිය ඇතිවන බව බොහෝ රෝගිහු පවසති.වැඩ කළත් නොකළත් එකම ලෙසට හතිය දැනේ නම් එය රෝග ලක්ෂණයක් ලෙස නොසැලකිය යුතුය.
- පපුවේ වේදනාව
- පපුවේ ඉදිකටු අනිනවාක් මෙන් දැනිම
- කඩියෙකු කනවා මෙන් දැනිම
මෙම වේදනාව පපුවේ වම් පසින් බොහෝ විට ඇතිවේ.එසේම එම වේදනාව තැනින් තැන ගමන් කරයි.ව්‍යායාම කරන විටත් වැඩි නොවේ.මෙසේ වන්නේ හෘදයේ මතු පිට මාංශපේශිහි වේදනාවය.එය හෘදයට සම්බන්ධනොමැති නිසා බිය විය යුතු නැත.
සැලකිලිමත් විය යුතු ලක්ෂණ
[සංස්කරණය]මෙම ලක්ෂණ ඇති වුවොත් පමා නොකර වෛද්‍යවරයා වෙත යා යුතුය.
- පපුවේ මැද ඇතිවන වේදනාව
- ව්‍යායාම කරන විට වේදනාව වැඩි වීම
- විවේක ගන්නා විට වේදනාව අඩුය
- උගුර දෙසට හෝ හකු දෙසට හෝ වම් අතේ ඇතුලු පැත්තට හෝ උරපතු දෙක අතරට විහිදි යන වේදනාව
- පපුවේ තෙරපීමක් හිර විමක් බරකිරිමක් වැනි වේදනාවක් දැනිම
- සුළු වෙහෙසකදි උදරයේ උඩු කොටසේ දැවිලි ගතියද සැලකිලිමත් විය යුතු ලක්ෂණය.එහිදි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
හෘදයාබාධය ඇතිවීමට බලපාන සාධක පාලනය කිරීමෙන් හෘදරෝග නිවාරණය කර ගත හැක.
මේ අඩවිත් බලන්න
[සංස්කරණය]ආශ්‍රිත ග්‍රන්ථ
[සංස්කරණය]- හෘදයාබාධ නිවාරණය, වෛද්‍ය රුවන් ඒකනායක, හෘද රෝග විශේෂඥ, ජාතික රෝහල.
- සිරිකත පුවත්පත, ආරෝග්‍යා ලිපි පෙළ, වෛද්‍ය රුවන් ඒකනායක.
- අධිරුධිර පීඩනය, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, වෛද්‍ය වරුණ ගුණතිලක,