Jump to content

සෝමාවතිය විහාරය (ප්‍රාචීන නාගාරාමය)

විකිපීඩියා වෙතින්
(සෝමාවතිය විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාචීන නාගාරාම විහාරය
(පූර්වෝක්ත සෝමාවතිය විහාරය)
ප්‍රාචීන නාගාරාම ස්ථූපය
(පෙර හදුන්වන ලද සෝමාවතිය ස්ථූපය)
සෝමාවතිය විහාරය (ප්‍රාචීන නාගාරාමය) is located in ශ්‍රී ලංකාව
සෝමාවතිය විහාරය (ප්‍රාචීන නාගාරාමය)
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමමීන්විල,සුංගාවිල ප්‍රදේශය,සෝමාවතිය ජාතික උද්‍යානය,[1] පොලොන්නරුව, ශ්‍රී ලංකාව.
භූගෝලීය ඛණ්ඩාංක08°07′15.16″N 81°10′07.9″E / 8.1208778°N 81.168861°E / 8.1208778; 81.168861
අනුබැඳියාවබෞද්ධ
දිස්ත්‍රික්කයපොලොන්නරුව
පළාතඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාව.
උරුම නාමකරණයශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[2] (7 July 1967)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයපුරාණ බෞද්ධ විහාර(අනුරාධපුර යුගය-අගභාගය)
ආදිකර්තෘනකුල නම් කුමරු
(මහාදාඨික මහානාග රජ සමය)
සම්පූර්ණ කෙරුණේක්‍රිස්තු වර්ෂ 1 වන සියවස

සෝමාවතිය විහාරය යනු පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ විහාරයකි.එය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇත.[3]2020 වර්ෂය තෙක් ධාතුවංශය තුළ විස්තර කෙරෙන බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩසිටි සෝමානුවර විහාරය ලෙස සලකන ලද්දේ මෙම විහාරය වේ.කෙසේ නමුත් 2015 සිට 2020 වසර දක්වා සේරුවිල විල්ගම්වෙහෙර ස්ථූපයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් සමඟ එම මතය වෙනස් වූ අතර පසුව මෙම විහාරය එරික් ස්වෝන් ගලේ පිහිටි ශිලා ලේඛනවල සඳහන් පරිදි ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ මහාදාඨික මහානාග රජ සමයේ නකුල නම් කුමරෙකු විසින් ඉදිකරන ලද ප්‍රාචීන නාගාරාමය නම් විහාරය වන බවත් එය මෙසේ සෝමාවතිය විහාරය ලෙස වරදවා හඳුන්වා තිබෙන බවත් වර්තමානය වන විට හඳුනාගෙන තිබේ.[4]

ඉතිහාසය

[සංස්කරණය]

පූර්වෝක්තයෙන් (2020 වසරට පෙර) සෝමනුවර ගිරිඅභා රජු සහ සෝමාදේවිය විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිධන් කර ඉදිකරන ලද සෝමාවතී රජ මහා විහාරය යැයි වරදවා හඳුන්වනු ලැබූ මෙම විහාරය ආශ්‍රිත ප්‍රදේශයෙන් විවිධ ආරාම ගොඩනැගිලිවල නටබුන් හමුවී ඇති අතර, එම ස්ථානයෙන් සහ මීන්විල විල්ලුව පිහිටි ගල්තලයෙන් (එරික් ස්වොන් ගල්තලාවෙන්) සෙල්ලිපි පහක් හඳුනාගෙන ඇත. මෙම සෙල්ලිපිවල මහා චූලික මහාතිස්ස රජුගේ පරපුරට අයත් සාමාජිකයන් පිළිබඳ තොරතුරු සඳහන් වේ.[5]

එම සෙල්ලිපි අතරින් එක් ලිපියක මෙම ස්ථානය “පජින නකල අරම” (ප්‍රාචීන නාගාරාමය) ලෙසත්, තවත් ලිපියක “මණි අගිය රජ මහ විහර” (මණිඅග්ගික රාජ මහා විහාරය) ලෙසත් සඳහන් කර ඇත. මෙහි පැරණිතම සෙල්ලිපිය ක්‍රි.ව. 9–21 (ක්‍රි.ව. 1 වන සියවස) අතර කාලයේ රජ කළ මහාදාඨික මහානාග රජුගේ සමයට අයත් වේ.එම සෙල්ලිපියට අනුව මෙම ආරාමය මහාදාඨික මහානාග රජුගේ පුත්‍රයකු වූ,නමුත් වංශකතාවල සඳහන් නොවන නකුල නම් කුමාරයෙකු විසින් පිහිටුවන ලද්දකි. මේ අනුව,නකුල නම් කුමාරයෙකු මුල් වී කරන ලද මේකී විහාරය ආශ්‍රිත ආරාම සම්ප්‍රදායට ක්‍රි.ව. පළමු සියවසේ මුල් භාගය දක්වා දිවෙන පැරණි ඉතිහාසයක් පවතින බව සෙල්ලිපි සාක්ෂි මගින් පෙන්වා දෙයි.[6][7]

ඉන්පසු කාලයේදී කූටකණ්ණතිස්ස(ක්‍රි.පූ. 41 - 19) , ආමණ්ඩගාමිණී අභය (ක්‍රි.ව.22 - 31) සහ කණිට්ඨතිස්ස (ක්‍රි.ව.164 - 192) යන රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය මෙම විහාරය ආශ්‍රිත ආරාම සංකීර්ණය වෙත ලැබුණු බව සෙල්ලිපි සාක්ෂි මගින් අනාවරණය වේ. පූර්වෝක්ත සෝමවතී දාගැබ හෙවත් ප්‍රාචීන නාගාරාම ස්ථූප මළුවෙන් හමුවූ සෙල්ලිපි දෙකක් කණිට්ඨතිස්ස (ක්‍රි.ව.164 - 192) සහ මහාදාඨික මහානාග (ක්‍රි.ව.9 - 21) රජවරුන්ගේ සමයට අයත් වන අතර, එමඟින් විහාරයට සිදුකළ පුදපූජා පිළිබඳ තොරතුරු හෙළි වේ. දාගැබට ආසන්න එරික් ස්වෝන් පර්වතයේ ඇති සෙල්ලිපි හතර අතර කූටකණ්ණතිස්ස(ක්‍රි.පූ. 41 - 19), ගජබාහු(ක්‍රි.ව. 114–136) සහ ආමණ්ඩගාමිණී අභය (ක්‍රි.ව.22 - 31) යන රජවරුන්ගේ සමයට අයත් ලිපි ද වේ.[8][9]

13 වන සියවසේ සිදුවූ කාලිංගමාඝ,චන්ද්‍රභාණු වැනි දකුණු ඉන්දීය ආක්‍රමණ සමඟ රජරට රාජධානි බිඳවැටීමෙන් පසුව ජනාවාස රටේ නිරතදිග ප්‍රදේශවලට සංක්‍රමණය වීමත් සමඟ මෙම ප්‍රදේශ ජනශූන්‍ය වී ඇති අතර,එකල බොහෝ ගොඩනැගිලි හා විහාරාරාම වනයට යට වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙකී පූර්වෝක්ත සෝමවතී හෙවත් ප්‍රාචීන නාගාරාම පුදබිම ද දිගු කාලයක් වනයෙන් වැසී පැවති තිබී ඇත.[10]

ස්මාරක සහ පුරාවිද්‍යාත්මක සාධක

[සංස්කරණය]

වාස්තු විද්‍යා ලක්ෂණ

[සංස්කරණය]

පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා භූමිය තුළ ප්‍රධාන ස්ථූපයට අමතරව විවිධ ආරාමික හා ආගමික ගොඩනැගිලිවල නටබුන් හඳුනාගෙන ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව, මෙම ස්ථානයේ වාස්තු විද්‍යාත්මක සාධක අනුරාධපුර හා පොළොන්නරු යුගයන් දක්වා දිවෙන ස්ථර කිහිපයකින් සමන්විත වේ.[11]

2010 වර්ෂයේ පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිතව සිදුකළ පර්යේෂණ කැණීමකදී, අනුරාධපුර යුගයට අයත් යැයි කාලනිර්ණය කළ ගඩොල් ඇතිරීමක් සහ ගඩොල් ව්‍යුහයක් හඳුනාගෙන ඇත. එයට ඉහළ ස්ථරයකින් පොළොන්නරු යුගයට අයත් යැයි කාලනිර්ණය කළ තවත් ගඩොල් ඇතිරීමක් හා ව්‍යුහයක් හමුවී ඇත. මෙය එම ස්ථානයේ වාස්තු විද්‍යාත්මක භාවිතය දීර්ඝ කාලයක් පුරා පැවති බව පෙන්වන පුරාවිද්‍යාත්මක සාධකයක් ලෙස සැලකේ.[11]

පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත පුරාවිද්‍යාත්මක සාධක අතර චන්ද්‍රකාන්ති ගල් (sandakada pahana), මුරගල් (muragala), කොරවක්ගල් (korawak gala) සහ ඡත්‍රගල් (chatragala) වැනි ගල් වාස්තු අංග ද හඳුනාගෙන ඇත. මෙම වාස්තු අංග පුරාණ බෞද්ධ ආරාමික වාස්තු සම්ප්‍රදාය සමඟ සම්බන්ධ වේ.[11]

ස්ථූපය සහ ස්ථූප මළුව

[සංස්කරණය]

පූර්වෝක්ත සෝමාවතී විහාරයේ ප්‍රධාන ස්මාරකය වන්නේ සෝමාවතී ස්ථූපයයි. ස්ථූපය ආශ්‍රිතව සිදුකරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් එහි ඉදිකිරීම් හා පසුකාලීන ප්‍රතිසංස්කරණ සම්බන්ධ අවස්ථා කිහිපයක් හඳුනාගෙන ඇත.[11]

සෝමාවතී ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැණීම්වලදී, වර්තමාන බාහිර ස්ථූපයට යටින් පැවති පැරණි ස්ථූපයක අවශේෂ හඳුනාගෙන ඇත. එම පැරණි ස්ථූපයේ උස අඩි 5 අඟල් 5ක් පමණ වූ බවත්, එය ශක්තිමත් අත්තිවාරමක් මත පිහිටා තිබූ බවත් පර්යේෂණ වාර්තාවල සඳහන් වේ. එයට වෙනස්ව, පසුකාලීන බාහිර ස්ථූපයට පැහැදිලි ශක්තිමත් අත්තිවාරමක් නොතිබූ බව කැණීම්වලදී නිරීක්ෂණය කර ඇත.[12][11]

ස්ථූප මළුව ආශ්‍රිතව පුරාණ ගල් වාස්තු අංග සහ සෙල්ලිපි ද හමුවී ඇත. පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත සෙල්ලිපි මගින් එම ස්ථානයේ පැවති ආරාමික ආයතනය, රාජකීය දාන සහ නඩත්තු කටයුතු පිළිබඳ තොරතුරු සපයයි.[5]2010 කැණීම්වලදී ස්ථූපයේ උතුරු ප්‍රදේශයෙන් ගඩොල් ව්‍යුහ දෙකක් හඳුනාගෙන ඇත. ස්ථර අනුපිළිවෙළ අනුව පහළ ස්ථරයේ ගඩොල් ව්‍යුහය අනුරාධපුර යුගයටත්, ඉහළ ස්ථරයේ ගඩොල් ව්‍යුහය පොළොන්නරු යුගයටත් අයත් බව පර්යේෂකයන් විසින් යෝජනා කර ඇත.[11]

වෙනත් පුරාවිද්‍යාත්මක සාධක

[සංස්කරණය]

මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ආශ්‍රිත කැණීම්වලදී විවිධ මැටි භාණ්ඩ කොටස්, තඹ හා යකඩ වස්තු කොටස්, පබළු සහ සත්ත්ව අස්ථි ඇතුළු පුරාවස්තු හමුවී ඇත. මෙම සාධක එම ස්ථානයේ පැවති පැරණි මානව ක්‍රියාකාරකම් හා ආරාමික ජනාවාස පිළිබඳ තොරතුරු සපයයි.[11]කැණීම්වලින් හමුවූ මැටි භාණ්ඩ අතර ක්‍රි.පූ. පළමු සියවසට අයත් යැයි සැලකෙන හෙලනිස්ටික් මැටි භාණ්ඩ කොටසක් ද හඳුනාගෙන ඇත. තවත් පුරාවිද්‍යාත්මක ස්ථරයකින් ක්‍රි.ව. 12 වන සියවසට අයත් යැයි කාලනිර්ණය කළ මැටි භාණ්ඩ, ගඩොල් ව්‍යුහ, තඹ හා යකඩ කොටස්, පබළු සහ අස්ථි හමුවී ඇත.[11]

පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ මින්විල පර්වතය ඇතුළු ස්ථානවලින් බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි හමුවී ඇත. මෙම සෙල්ලිපිවලින් පුරාණ ආරාමයේ නාමය, ඉඩම් හා ගම්මාන ප්‍රදාන, වාරිමාර්ග කටයුතු සහ විහාරයේ නඩත්තුව සඳහා ලබාදුන් ආදායම් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.[5]මෙම විහාරය ආශ්‍රිත විල්ලු හා පහත් බිම් ප්‍රදේශවල පුරාණ කෘෂිකාර්මික භාවිතයට සම්බන්ධ භූදර්ශන සාධක ද හඳුනාගෙන ඇත. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වර්තමාන විල්ලු ප්‍රදේශවලින් සමහරක් පැරණි කුඹුරු හා වාරිමාර්ග පද්ධතියේ කොටස් විය හැකි බවයි. මින්විල සෙල්ලිපිවල කුඹුරු හා වාරිමාර්ග සම්බන්ධ ප්‍රදාන සඳහන් වීම ද මෙම අර්ථකථනයට සම්බන්ධ කර ඇත.[11]මෙම විහාරය අවට ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රාග්ඓතිහාසික හා මුල් ඓතිහාසික ජනාවාස පිළිබඳ සාධක ද වාර්තා වී ඇත. ඒ අතර කදිරවෙලි ප්‍රදේශයේ සුසාන භූමි සහ අවට ප්‍රදේශවලින් හමුවූ පුරාවිද්‍යාත්මක සාධක සඳහන් කළ හැකිය.[11]

අභිලේඛන

[සංස්කරණය]

පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත ප්‍රදේශයෙන් පුරාණ බ්‍රාහ්මී සෙල්ලිපි කිහිපයක් හඳුනාගෙන ඇත. ඒවා අතර පූර්වෝක්ත සෝමාවතී ස්තූපය ආසන්නයෙන් හමුවූ සෙල්ලිපි මෙන්ම, ස්තූපයට නුදුරින් මීන්විල ප්‍රදේශයේ පිහිටි විශාල ගල්පර්වතයක ඇති සෙල්ලිපි ද වේ. මෙම සෙල්ලිපි මඟින් ප්‍රදේශයේ පැවති ආරාමවල නාම, ගම්මාන හා ඉඩම් ප්‍රදාන, වාරිමාර්ග කටයුතු සහ ආරාමික ආයතන සඳහා වෙන් කළ ආදායම් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.[5][6]

පූර්වෝක්ත සෝමාවතී ස්තූපය ආසන්නයෙන් හමුවූ සෙල්ලිපි අතර මහාදාඨික මහානාග සහ කණිට්ඨතිස්ස රජවරුන්ගේ සමයට අයත් ලිපි විශේෂ වැදගත්කමක් දරයි. මින්විල පර්වතයේ ඇති සෙල්ලිපි අතර කූටකණ්ණතිස්ස, මහාදාඨික මහානාග, ගජබාහු සහ කණිට්ඨතිස්ස යන රජවරුන්ගේ සමයට අයත් ලිපි හඳුනාගෙන ඇත.[5][8]

මහාදාඨික මහානාග රජුගේ සෙල්ලිපි

[සංස්කරණය]

මහාදාඨික මහානාග රජුගේ සමයට අයත් සෙල්ලිපියක, ඔහුගේ පුත් නකල කුමරු විසින් පිහිටුවන ලද ආරාමය Pajiṇi-Nakala-araba-vihāra යන නමින් සඳහන් වේ. C. W. Nicholas විසින් මෙම නාමය පචීන නාගාරාමය සමඟ සම්බන්ධ කර ඇති අතර, එම සෙල්ලිපිය මඟින් නකල කුමරු විසින් ආරාමය පිහිටුවීම පිළිබඳ තොරතුරු සපයයි.[7][5]

මහාදාඨික මහානාග රජුගේ තවත් සෙල්ලිපියක, නකල කුමරු විසින් පිහිටුවන ලද එම ආරාමයට ගමක් ප්‍රදානය කළ බව සඳහන් වේ. එම සෙල්ලිපි සාක්ෂි මඟින් පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත ආරාමික ආයතනයට ක්‍රි.ව. පළමු සියවසේ මුල් භාගයේදී රාජකීය අනුග්‍රහය ලැබී තිබූ බව පෙන්වා දෙයි.[5]

එමෙන්ම, පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ Raja-ali හෝ Raja-aḷaviṭiya ලෙස හඳුනාගෙන ඇති කුඹුරු සහ ඒවාට ජලය සැපයූ වාරිමාර්ග සම්බන්ධ ස්ථාන ද සෙල්ලිපිවල සඳහන් වේ.[7]

කූටකණ්ණතිස්ස රජුගේ සෙල්ලිපිය

[සංස්කරණය]

කූටකණ්ණතිස්ස රජුගේ සමයට අයත් සෙල්ලිපියක Degama හෝ Degama ලෙස හඳුනාගන්නා ලද ජලමාර්ගයක් පිළිබඳ සඳහන් වේ. එම ජලමාර්ගය කුඹුරු සඳහා ජලය සැපයීමේ අරමුණින් ඉදිකරන ලද වාරිමාර්ග කටයුත්තක් ලෙස හඳුනාගෙන ඇත.[5][13]

ගජබාහු රජුගේ සෙල්ලිපිය

[සංස්කරණය]

මින්විල පර්වතයේ ඇති තවත් සෙල්ලිපියක Gamini Abhaya යන නාමයෙන් හඳුන්වන රජෙකු විසින් සිදුකළ වාරිමාර්ග හා විහාරයට සම්බන්ධ ප්‍රදාන පිළිබඳ තොරතුරු සඳහන් වේ. මෙම රජු ගජබාහු I රජු සමඟ හඳුනාගෙන ඇති අතර, ඔහුගේ පාලන සමය ක්‍රි.ව. දෙවන සියවසට අයත් වේ.[5][13]

කණිට්ඨතිස්ස රජුගේ සෙල්ලිපි

[සංස්කරණය]

කණිට්ඨතිස්ස රජුගේ සමයට අයත් සෙල්ලිපි දෙකක් පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත. ඉන් එක් සෙල්ලිපියක් පූර්වෝක්ත සෝමාවතී ස්තූපය ආසන්නයෙන් හමුවී ඇති අතර, අනෙක් දීර්ඝ සෙල්ලිපිය මින්විල පර්වතයේ පිහිටා ඇත. මින්විල පර්වතයේ ඇති දීර්ඝ සෙල්ලිපිය පූර්වෝක්ත සෝමාවතී ස්තූපය ආසන්නයෙන් හමුවූ කණිට්ඨතිස්ස සෙල්ලිපියේ සඳහන් කරුණු සමඟ සම්බන්ධ වේ.[8]

එම සෙල්ලිපිවලින් මණි-අගිය හෙවත් Mani-agaya නමින් හඳුන්වන චෛත්‍යය හෝ ආගමික ස්ථානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. කණිට්ඨතිස්ස රජුගේ සමයට අයත් මෙම සෙල්ලිපි මඟින් ආරාමික භූමිය නඩත්තු කිරීම, ප්‍රතිසංස්කරණ කටයුතු සහ අනෙකුත් ආගමික කටයුතු සඳහා ආදායම් වෙන් කිරීම පිළිබඳ කරුණු සඳහන් කරයි.[7][8]

සෙල්ලිපියේ සඳහන් ආදායම් භාවිතයන් අතර ආරාමයේ පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු, සුදු පිරියම් කිරීම සහ උපෝසථාගාරයේ පහන් දැල්වීම සඳහා තෙල් සැපයීම වැනි කටයුතු ඇතුළත් වේ. මෙම කරුණු මඟින් ක්‍රි.ව. දෙවන සියවසේදී ආරාමික ආයතනයක නඩත්තුව සඳහා නිශ්චිත ආදායම් මාර්ග වෙන්කර තිබූ බව පෙන්වා දෙයි.[8][13]

සෙල්ලිපිවල ඓතිහාසික වැදගත්කම

[සංස්කරණය]

පූර්වෝක්ත සෝමාවතී විහාරය ආශ්‍රිත සෙල්ලිපි මඟින් එම ප්‍රදේශයේ ක්‍රි.පූ. පළමු සියවසේ සිට අවම වශයෙන් ක්‍රි.ව. දෙවන සියවස දක්වා පැවති ආරාමික ක්‍රියාකාරකම් පිළිබඳ ලේඛනගත සාක්ෂි සපයයි. ඒවා මඟින් ආරාමවල නාම, ඒවා පිහිටුවීමට සම්බන්ධ පුද්ගලයන්, රාජකීය හා අනෙකුත් දාන, ගම් හා ඉඩම් ප්‍රදාන, වාරිමාර්ග කටයුතු සහ ආරාමික දේපළවලින් ලැබුණු ආදායම් භාවිතය පිළිබඳ තොරතුරු අනාවරණය වේ.[5][8][7]මෙම සෙල්ලිපි අතරින් පූර්වෝක්ත සෝමාවතී ස්තූපය ආසන්නයේ හමුවූ මහාදාඨික මහානාග සෙල්ලිපිය සහ කණිට්ඨතිස්ස සෙල්ලිපිය විශේෂයෙන් වැදගත් වන අතර, ඒවා මඟින් එම ස්ථානයේ පැවති ආරාමික ආයතන පිළිබඳ පුරාණ ලේඛනගත සාක්ෂි සපයයි.[5][8]

වර්තමාන සංරක්ෂණය

[සංස්කරණය]

පොළොන්නරුව රාජධානියේ පරිහානියෙන් පසුව මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය දිගු කාලයක් අතහැර දමා තිබූ අතර, පසුකාලීනව වනයෙන් වැසී ගිය බව පර්යේෂණවල සඳහන් වේ.[14]20 වන සියවසේ මැද භාගයේදී මෙම විහාරයේ නටබුන් පිළිබඳ නැවත අවධානය යොමුවිය. වාර්තා අනුව 1947 දී මල්වතු පාර්ශ්වයේ සිරිමල්වත්ත ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු භික්ෂූන් පිරිසක් ඝන වනාන්තරයෙන් වැසී තිබූ මෙම ප්‍රදේශයට පැමිණි අතර, එහි තිබූ ස්ථූප නටබුන් හඳුනාගැනීමෙන් පසුව එම ස්ථානයේ ආගමික හා සංරක්ෂණ කටයුතු නැවත ආරම්භ විය.[15]

ජනප්‍රවාදිත වාර්තා අනුව, සිරිමල්වත්තේ පියරතන හිමියන් ඇතුළු භික්ෂූන් පිරිස වනයේ ගමන් කරමින් සිටියදී ස්ථානය දෙසට විහිදෙන ආලෝක කිරණ නිරීක්ෂණය කිරීමෙන් පසුව එම ප්‍රදේශය පරීක්ෂා කර ඇති අතර, ඝන වනාන්තරයෙන් වැසී තිබූ ස්ථූප නටබුන් හඳුනාගෙන ඇත.බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහනසේ නිධාපිත සෝමාවතිය යැයි සිතා උන්වහන්සේ විසින් මෙම දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.[16]

ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් සිදුකර ඇති අතර, එහිදී වර්තමාන ස්ථූපයට යටින් පැවති කුඩා පැරණි ස්ථූපයක අවශේෂ හඳුනාගෙන ඇත. C. E. Godakumburaගේ අධීක්ෂණය යටතේ සිදුකළ පුරාවිද්‍යාත්මක පරීක්ෂණවලදී පැරණි ස්ථූපයේ ශක්තිමත් අත්තිවාරමක් තිබූ බවත්, එය පසුකාලීන බාහිර ස්ථූපයට වඩා පැරණි ඉදිකිරීම් අදියරක් නියෝජනය කරන බවත් සඳහන් වේ.[13]

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතු මඟින් ස්ථූපය නැවත වන්දනාමාන සඳහා විවෘත කිරීමට හැකි වූ අතර, එහි ප්‍රතිසංස්කරණය 1981 දී සම්පූර්ණ කරන ලදී.[14]21 වන සියවසේදී ද මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයේ පර්යේෂණ හා සංරක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කර ඇත. 2010 වර්ෂයේදී ස්ථූපයේ උතුරු ප්‍රදේශයේ පර්යේෂණ කැණීමක් සිදුකර ඇති අතර, එහිදී අනුරාධපුර හා පොළොන්නරු යුගවලට සම්බන්ධ වාස්තු විද්‍යාත්මක ස්ථර හඳුනාගෙන ඇත.[13]2021 ජූලි 29 දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලය විසින් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයේ නව කැණීම් කටයුතු ආරම්භ කර ඇති බව දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව සඳහන් වේ. එම කැණීම් ස්ථූපයට මීටර් 100ක් පමණ නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයක සිදුකර ඇත.[17]වර්තමානයේ මෙම විහාරයේ ස්ථූපය ආගමික ස්මාරකයක් ලෙස භාවිත වන අතර, එය අවට ප්‍රදේශය පුරාවිද්‍යාත්මක හා ආගමික වැදගත්කමකින් යුත් සංරක්ෂිත භූමියක් ලෙස පවතී. ස්ථූපය සහ අවට පුරාවිද්‍යාත්මක නටබුන් සංරක්ෂණය කිරීමේ වගකීම පුරාවිද්‍යා බලධාරීන් හා විහාර පරිපාලනය සමඟ සම්බන්ධව පවත්වාගෙන යනු ලබයි.[14]

පුරාවිද්‍යා පර්යේෂණ අදහස්

[සංස්කරණය]

වර්තමානයේ පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ පිහිටි සෝමාවතී ස්තූපය ලෙස හඳුන්වන මෙකී ස්තූපය දකුණු දළදා වහන්සේ නිධන් කළ ඓතිහාසික සෝමාවතී ස්තූපය ලෙස බොහෝ දෙනා සලකති. කෙසේ වෙතත්, එම ස්තූපයම ධාතුවංශයේ සඳහන් වන දකුණු දළදා වහන්සේ නිධන් කළ සෝමාවතී ස්තූපය බවට පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි මත අවසන් වශයෙන් තහවුරු කර නොමැති බවට විද්වතුන් කිහිපදෙනෙකු මත පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුරාවිද්‍යාඥයෙකු වූ සී. ඩබ්ලිව්. නිකලස් විසින් වර්තමානයේ සෝමාවතී ලෙස හඳුන්වන ස්ථානය පිළිබඳව සැලකිය යුතු සැකයක් පළ කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ එම ස්ථානයෙන් හමුවන සෙල්ලිපිවල එහි ආරාමය “Pajini-Nakala-araba-vihara” ලෙසත්, පසුකාලීන සෙල්ලිපියක චෛත්‍යය “Mani-agaya-cetiya” ලෙසත් හඳුන්වා ඇති බවයි. ඒ අනුව වර්තමාන “සෝමාවතී” නාමය හා එම ස්ථානය සම්බන්ධයෙන් පවතින සම්ප්‍රදායන්ට ඓතිහාසික පදනමක් නොමැති බව නිකලස් සඳහන් කරයි.[උපුටාගැනීම 1]

මහාචාර්ය සෙනරත් පරණවිතාන ද සෝමාවතී ස්තූපය පිළිබඳව පවතින සාම්ප්‍රදායික මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් ශිලා ලේඛන සාක්ෂි නොමැති බව පෙන්වා දෙයි. ඔහු සඳහන් කරන්නේ සෝමාවතී ස්තූපය අසලින් හමුවූ සෙල්ලිපියක් අනුව එම ස්ථානයේ ආගමික ආයතනයක් පැවති බව තහවුරු වුවද, එම සාක්ෂිය මත මෙම ස්තූපය ක්‍රි.පූ. 2 වන සියවසේ කාවන්තිස්ස රජුගේ සමයේ දකුණු දළදා වහන්සේ නිධන් කිරීම සඳහා ඉදිකරන ලද ස්තූපය බව තහවුරු කළ නොහැකි බවයි. එසේම දළදා වංශයේ සඳහන් සෝමාවතී ස්තූපය රුහුණු රටේ පිහිටි ස්තූපයක් ලෙස දැක්වෙන අතර, වර්තමානයේ සෝමාවතී ලෙස හඳුන්වන ස්ථානය රජරට ප්‍රදේශයට අයත් බව ද පරණවිතාන පෙන්වා දෙයි.[උපුටාගැනීම 2]

පුරාවිද්‍යා පර්යේෂක එල්ලාවල මේධානන්ද හිමියන් ද වර්තමානයේ සෝමාවතී ලෙස හඳුන්වන පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ ස්තූපය ධාතුවංශයේ සඳහන් වන සෝමාවතී ස්තූපය නොවන බවට මතයක් ඉදිරිපත් කර ඇත. එම ස්ථානයෙන් හමුවූ සෙල්ලිපි පහ අතරින් පැරණිතම ලිපිය මහාදාඨික මහානාග රජුගේ සමයට අයත් වන අතර, එහි එම ආරාමය නකල නම් කුමාරයෙකු විසින් පිහිටුවන ලද බව සඳහන් වේ. එම ස්ථානය සෝමා දේවිය විසින් කරවන ලද සෝමාවතී විහාරය නම්, එය පිහිටුවා ශතවර්ෂ දෙකක් පමණ ගතවීමට පෙර එහි නාමය අමතක වීමට හේතුවක් තිබිය යුතු බවත්, එවැනි හේතුවක් පැහැදිලිව හඳුනාගත නොහැකි බැවින් වර්තමානයේ සෝමාවතී ලෙස හඳුන්වන ස්ථානය නියම සෝමාවතී නොවන බවත් ඔහු පෙන්වා දෙයි.[උපුටාගැනීම 3]

මෙම මතයට වෙනස්ව, 2020 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී, 2015 වර්ෂයේදී සොයාගෙන සංරක්ෂණ කටයුතු ආරම්භ කළ සේරුවිල තොප්පූර් ප්‍රදේශයේ වර්තමානයේ විල්ගම්වෙහෙර රජ මහා විහාරය ලෙස හඳුන්වන ස්ථානයේ ඇති ස්තූපය ඓතිහාසික සෝමාවතී ස්තූපය විය හැකි බවට සාක්ෂි අනාවරණය වී ඇති බව ප්‍රකාශ කරන ලදී.[18][19]

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඩබ්ලිව්. විමල් විජේරත්න විසින් දළදා වංශය හා සේරුවිල ලලාට ධාතු ස්තූපය ආශ්‍රිත ඓතිහාසික තොරතුරු පදනම් කරගනිමින් පර්යේෂණයක් සිදුකර ඇත. ඔහුගේ පර්යේෂණයට අනුව, වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හඳුන්වන ස්තූපය ධාතුවංශයේ සඳහන් වන දකුණු දළදා වහන්සේ නිධන් කළ ඓතිහාසික සෝමාවතී ස්තූපය ලෙස හඳුනාගත හැකි බවට මතයක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සේරුවාවිල තිස්ස මහා විහාරවංශය නමින් ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක්ද, පසුව දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝම නුවර සහ සෝමාවතී විහාරය හඳුනාගැනීම නමින් වෙනම කෘතියක්ද ප්‍රකාශයට පත් කර ඇත.[20]

නිවැරදි හඳුනාගැනීම

[සංස්කරණය]

ඒ අනුව 2015 වසරේ සිට 2020 දක්වා සේරුවිල විල්ගම්වෙහෙර නම් පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් සහ එම ස්ථානය පාලි ධාතුවංශය,සිංහල ධාතුවංශය,ජිනකාලමාලී යන වංශකතා සාධක වඩාත් ගැළපෙන බැවින් එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ, ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කලාප භාර ආචාර්ය අර්ජුන තන්ත්‍රිලගේ යන පුරාවිදාඥයන්ගේ සහභාගීත්වයෙන් 2020 වසරේ අගෝස්තු මස විල්ගම්වෙහෙර පුරාවිද්‍යා ස්ථානයේ පවත්වන ලද එම මාධ්‍ය සාකච්ඡාවක් මඟින් විල්ගම්වෙහෙර පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් කරමින් පැවති දාගැබ පැරණි සෝමනුවර දකුණු දළදා නිධාපිත සෝමාවතී ස්තූපය විය හැකි බවට අනුමාන කරන බවට කරුණු හෙළි විය.[21]

මෙම විද්වත් මත මඟින් පොළොන්නරුව සෝමාවතිය ලෙස එතෙක් හඳුන්වන ලද විහාරය සැබෑ සෝමාවතිය නොවන බවට ව්යංගාර්ථ වූ අතර ඒ හේතුවෙන් එකී විහාරයේ ශිලා ලේඛන වල සඳහන් ප්‍රාචීන නාගාරාම විහාරය හෝ මණි අගිය විහාරය වන බවට හඳුනාගැනීම නිල වශයෙන් තහවුරු වනු ලැබීය.කෙසේ නමුත් සියවසකට ආසන්න කාලයක් මෙම විහාරයට භාවිතා වූ "සෝමාවතිය විහාරය" යන නාමය විහාරයේ භාරකාරත්වය මෙන්ම වන්දනාව පිණිස පැමිණෙන බැතිමතුන්ද තමවත් නොවෙනස්ව භාවිතා කරනු දක්නට ලැබේ.[22]

අමතර ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "අපේ ජාතික උද්‍යාන". danuma.lk. 13 May 2010. සම්ප්‍රවේශය 28 July 2016.
  2. ↑ "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 28 July 2016.
  3. ↑ සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28
  4. ↑ සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 Paranavitana, Senarat (1983). Inscriptions of Ceylon, Vol. II, Part I. Department of Archaeology, Sri Lanka. pp. 1–2, 39–40, 48, 102.
  6. 1 2 Dias, Malini (2001). "The Growth of Buddhist Monastic Institutions in Sri Lanka from Brahmi Inscriptions". Epigraphia Zeylanica. VIII. Department of Archaeology, Sri Lanka: 49.
  7. 1 2 3 4 5 Nicholas, C. W. (1963). "Historical Topography of Ancient and Medieval Ceylon". Journal of the Ceylon Branch of the Royal Asiatic Society. VI: 42, 194.
  8. 1 2 3 4 5 6 7 Paranavitana, Senarat (2001). Dias, Malini (ed.). Inscriptions of Ceylon, Vol. II, Part II. Archaeological Survey Department, Sri Lanka. pp. 131–136.
  9. ↑ Dias, Malini (1991). Epigraphical Notes (Nos. 1–18). Department of Archaeology, Sri Lanka. pp. 29, 31.
  10. ↑ Chandraratne, R. M. M.; Ranaweera, Dilan Chathuranga (2021). "Historical Archaeology at the Somawathiya Sacred Area in North Central Province, Sri Lanka". {{cite journal}}: Cite journal requires |journal= (help)
  11. 1 2 3 4 5 6 7 8 9 10 Chandraratne, R. M. M.; Ranaweera, Dilan Chathuranga (2017). "Historical Archaeology at the Somavathiya Sacred Area in North Central Province, Sri Lanka". In Garg, Santosh (ed.). Archaeology of Buddhism: Recent Discoveries in South Asia. Manohar Publishers & Distributors. pp. 545–556.
  12. ↑ Godakumbura, C. E. (1965). "Archaeological Excavations and Conservation of the Somawathiya Stupa". {{cite journal}}: Cite journal requires |journal= (help)
  13. 1 2 3 4 5 Chandraratne, R. M. M.; Ranaweera, Dilan Chathuranga (2021). "Historical Archaeology at the Somawathiya Sacred Area in North Central Province, Sri Lanka". {{cite journal}}: Cite journal requires |journal= (help)
  14. 1 2 3 "Seruwila to Sri Pada (Sacred Foot Print Shrine), Ancient pilgrim route along the Mahaweli river in Sri Lanka". UNESCO World Heritage Centre. සම්ප්‍රවේශය 2026-09-20.
  15. ↑ "Sri Lanka's First Dalada". Explore Sri Lanka. සම්ප්‍රවේශය 2026-09-20.
  16. ↑ "Sri Lanka's First Dalada". Explore Sri Lanka. සම්ප්‍රවේශය 2026-09-20.
  17. ↑ "Excavation at Somawathie". Department of Archaeology, Sri Lanka. සම්ප්‍රවේශය 2026-09-20.
  18. ↑ "විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි කිහිපයක්". හිරු ප්‍රවෘත්ති. 19 ජූලි 2020. සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  19. ↑ "බුදුහිමියන්ගේ දකුණු දළදා වහන්සේ නිධන් කළ බවට සැලකෙන ස්ථූපයක්". අද දෙරණ. 19 ජූලි 2020. 2024-10-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  20. ↑ විජේරත්න 2016.
  21. ↑ සේරුවිල නයින්ගේ විල්ගම් වෙහෙර
  22. ↑ විල්ගම් වෙහෙර රජමහ විහාරය සම්බන්ධ වැදගත් සාක්ෂි

වැඩිදුර කියවීම

[සංස්කරණය]
  • බුද්ධදත්ත, පොල්වත්තේ (1962). ජිනකාලමාලී. ලන්ඩන්: -. p. 153.
  • විජේරත්න, එම්. ඩබ්ලිව්. විමල් (2019). සිංහල ධාතුවංශය : සේරුවිල තිස්ස මහා විහාරවංශය. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ. p. 792. ISBN 978-955-30-2450-3.
  • විජේරත්න, එම්. ඩබ්ලිව්. විමල් (2017). දකුණු දළදා නිධන් කළ ඓතිහාසික සෝමනුවර සහ සෝමාවතී විහාරය හඳුනාගැනීම. කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ. p. 104. ISBN 978-955-30-7385-3.

බාහිර සබැඳි

[සංස්කරණය]
  1. ↑ නිකලස් 1979, p. 42: At the neighbouring Somavati Cetiya theගre is an inscription recording the foundation of the Vihara, which is named Pajini-Nakala-araba-vihara, by the prince Nakala, son of king Mahallaka Naga (136-143) : another, later inscription of the Kanittha Tissa at the site names the Cetiya, Mani- agaya-cetiya. The present name and so-called traditions about this site are therefore spurious.
  2. ↑ පරණවිතාන 2001, p. 39: The inscription found on the pavement of the Somavati, when it refers to the foundation of a Vihara, must mean establishment of which that stupa is the centre. When it is admitted that the religous establishment at the place was founded by the son of a king who ascended the throune in 9 A.C., the bliefs held by many Buddhists of ceylon that this Dagaba was built in the second century B.C. by a contemporary of Kakavanna Tissa, have to be regarded, as C.W. Nicholas has done, as having no historical basis. apart from the efidence furnished by this inscription against the credibility of this belief, the account in the Dhatuwamsą, on which the belief is based, is concerned with a Stupa in Rahana and the Stupa now called Somavati is not in Rohana, but in the Rajarattha.
  3. ↑ මේධානන්ද හිමි 2014, p. 34: දැනට පොලොන්නරුව දිසාවේ සුංගාවිලට සැතපුම් හයක් පමණ දුරින් මීන්විල විල්ලුවේ කෙළවරට වන සේ පිහිටි ස්තූපයක් සහිත නටබුන් පුදබිමක් ද කාලයක සිට සෝමාවතිය ලෙස සලකා ඇති බව මුලින් සඳහන් කර ඇත.මෙහි ගරා වැටී තිබූ සෑය පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණ කරන ලදී.මෙහි ද විවධ ආරාම ගොඩනැගිලි දක්නට ලැබේ.මේ ස්ථානයෙන් හා මීන්විල විල්ලුව පිහිටි ගල් තලයෙන් ද(එරික් ස්වෝන්)ලැබුණු සෙල්ලිපි පහක් තිබේ.මේ ලිපි වල මහා චූලික මහා තිස්ස රජුගේ පරපුරේ සමාජිකයන් ගැන සඳහන් කෙරෙයි.ඉන් එක ලිපියක ස්ථානයේ පජින නකල අරම(ප්‍රාචීන නාගාරාමය)වශයෙන් ද තවත් ලිපියක "මණි අගිය රජ මහ විහර"(මණිඅග්ගික රාජ මහා විහාරය)වශයෙන් ද සදහන් වේ.
    මෙයින් පැරණිම ලිපිය ක්‍රි.ව.9-21 අතර රජ කළ මහාදාඨික මහා නාග රජුගේ යුගයට අයත් ලිපියයි.ඒ ලිපිය අනුව මේ ආරාමය තානා ඇත්තේ එතුමාගේ පුත්‍රයකු වූ එහෙත් වංශකතාවේ නොදැක්වෙන නකල නම් කුමාරයෙකු විසිනි.සෝමා දේවිය නමින් කර වූ සෝමාවතී විහාරය මෙය නම් එය කරවා ශත වර්ෂ දෙකක් පමණ යාමට පෙර එය අමතක වීමට හෝ හේතුවක් තිබිය යුතුය.එබඳු හේතුවක් ද නොපෙනෙන බැවින් හා ගඟේ ද ගමන් මඟ වෙනස් වීම පිළිගත්ත ද නියම සෝමාවතිය මෙය නොවන බව පැැහදිලි වේ.
උපුටාදැක්වීම් දෝෂය: "උපුටාගැනීම" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="උපුටාගැනීම"/> ටැග සොයාගත නොහැකි විය.