දකුණු දළදා වහන්සේ
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
සතර දළදා වහන්සේල ගත්කල එම ධාතූන් වහන්සේලා ද නොවිසිරුණු ධාතු අතරට අයත් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දන්ත ධාතූන් වහන්සේල 40 නමකි. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ආදාහනයේ දී සතර දළදා වහන්සේල හැරුණු විට ඉතිරි 36 ක් වූ දළදා වහන්සේලා ද, කේශ ධාතූන් වහන්සේලාද, ලෝම ධාතූන් වහන්සේලා ද නොයෙක් සක්වලින් පැමිණි දේවතාවන් විසින් ගෙන ගොස් ඇත. මූලාශ්‍ර වලට අනුව එසේ ගෙන ගොස් ඇත්තේ එක සක්වලකට ධාතූන් වහන්සේල එක බැගින් පමණි.
සතර දළදා වහන්සේල
[සංස්කරණය]නොවිසිරුණු ධාතු අතරට අයත් සතර දළදාවන් ලෙස හඳුන්වන්නේ "රදනක(Canine)"නම් වූ දත් විශේෂය යි. රදනක දත් සතරකි. මේ දත් සතර අනෙක් දත්වලට වඩා මඳක් උල් ය. එබැවින් ඇතැම්හු මෙම දත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී "දඩයම් දත්"ලෙස හඳුන්වනු ලබයි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "දාඨා ප්‍රභා"යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ සර්වඥයන් වහන්සේ සිනා පහළ කරණ අවස්ථාවන්හි පමණි.
මේ සතර දළදාවන් වැඩ සිටින තැන් බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ මෙසේ දැක්වේ.
එකා දාඨා තිදසපුරෙ-එකා නාගපුරෙ අහු
එකා ගන්ධාරවිසයෙ-එකා කාලිංගරාජිනො
මේ ගාථාව පාලි ධාතුවංශයේ ද දක්නට ඇත. පාලි ධාතුවංශය අනුරාධපුර යුගයේ දී රචනා වූවක් සේ සලකනු ලබයි. තවද මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ ය.
එකා හි දාඨා තිදිවෙහි පූජිතා
එකා පන ගන්ධාරපුරෙ මහීයති,
කාලිංගරඤ්ඤො විජිතෙ පුනෙකං
එකං පුන නාගරාජා මහෙන්ති
මේ අනුව එක් දළදාවක් තව්තිසා දෙව්ලොව ද එක් දළදාවක් නාග ලෝකයේ ද එක් දළදාවක් ගන්ධාර දේශයේ ද(වර්තමාන උතුරු පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානයේ විශාල ප්‍රදේශයක් ගාන්ධාරය ලෙස සලකනු ලබයි), එක් දළදාවක් කාලිංග දේශයේ ද වැඩ සිටිති. එම දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටිනු ලැබේ.
දකුණු දළදා වහන්සේ
[සංස්කරණය]ඒ අනුව සර්වඥයන් වහන්සේගේ එක් දකුණු දළදාවක් තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑය තුළ වැඩ සිටිති. අනෙක් දකුණු දළදාව ඉහත ගාථාවේ පැවසූ පරිදි මුලින් වැඩ සිටියේ නාග ලෝකයේ ය. පසුව මේ දකුණු දළදාව ලක්දිවට ලැබුණු අතර "දකුණු දළදා වහන්සේ"යන මාතෘකාව යටතේ දීර්ඝව ඒ පිළිබඳව මෙහිදී විස්තර වේ. මහා පරිනිර්වාණ සූත්‍රය, බුද්ධවංස පාලියට අමතරව දකුණු දලදා වහන්සේ ගැන සදහන් ප්‍රධාන මූලාශ්‍ර ලෙස පාලි ධාතුවංශය(අනුරාධපුර යුගය), සිංහල ධාතුවංශය(කුරුණෑගල යුගය) සහ ජිනකාලමාලී යන තායිලන්ත ග්‍රන්ථය ද ප්‍රධාන වේ.
නාගලොවින් දකුණු දළදාව ලක්දිවට ලැබීම
[සංස්කරණය]භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව "අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි" සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය. ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය. කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහා මහින්ද නැමති මහරහතන් වහන්සේ ජයසේන නා රජුගේ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ඒ ගිරි අභය මහ රජු ඉදිකල ස්ථූපයේ නිදන් කිරීම සඳහා ය. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ කාවන්තිස්ස රජ සමයේ දී සේරුවිල සමීපයෙහි පිහිටි සෝමනුවර පාලනය කල ගිරි අභය(ගිරි අභා)[1] නම් රජෙකු විසින් එතුමා පාලනය කළ සෝමනුවරට සමීපයේ මහින්ද නම් තෙර කෙනෙකු සැටක් පමණ වූ භික්ෂු පිරිසක් සමඟින් වාසය කළ භූමයේ දකුණු දළදා වහන්සේ නිදන් කරමින් ස්ථූපයක් තැනූ බව එම ග්‍රන්ථන්හි සදහන් වේ. එය තම දේවියගේ නමින්ම "සෝමාවතී මහ සෑය" ලෙස නම් කර තිබේ. එසේම රජු දිනකට තුන්වරක් තම නුවර සිට උපස්ථාන කටයුතු සදහා වෙහෙරට පැමිණි බව ද සදහන් වේ.
මෙය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය[2][3]. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි. ඒසේම සේරුවිල මංගල මහා සෑය හෙවත් තිස්ස මහා විහාරය සැදීමටත් ප්‍රථම මෙම ස්ථූපය සෑදී ඇති බවය.
දකුණු දළදා වහන්සේ නිධාපිත සෝමාවතී මහා සෑය
[සංස්කරණය]ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී සෝම නම් නුවර සෝමාවතී මහා සෑය ඉදිකරන ලද්දේ ගිරි අභය නම් රජෙක් විසින් බව ධාතුවංශයේ සඳහන් වේ. කැලණියේ පාලක රජු තම බෑනා වූ අභයරාජ කුමාරයාට කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමා කුමරිය විවාහ කර දුන් අතර මේ විවාහයෙන් පසුව කාවන්තිස්ස රජු අභය කුමරුට මාගම ආසන්නයේ වූ ගිරි නුවර පාලනය බාර දුන්නා. ඒ නිසා අභය ගිරිඅභය වුණා. ඉන්පසූ කාවන්තිස්ස රජු දුටුගැමුණු කුමරුගේ ආරක්ෂාව සඳහා ඔහු ගිරි නුවරට පිටත් කර යැවූවත් පසු කලෙක ගැමුණු කුමරු සමඟ ඇතිවූ ආරවුලක් නිසා අභය රජු තම බිසව වූ සෝමා දේවිය සමඟ සේරුනුවර තම හිතවත් ශිව රජුගේ පාලන ප්‍රේදේශයට පිටත් වුණා. ශිව රජු හා අභය රජු හමුවීම මගින් ඔවුන් ඉතා මිත්‍රශීලී වුණා. ශිව රජතුමා පසුව ගිරි අභය රජතුමාට තම රාජධානියේම සුදුසු භූමියක් සොයා දීමට වෙහෙස වුණ අතර මහා වාලුකා නදිය හෙවත් මහවැලි ගඟ අසබඩ විල්වලින් තණ පිට්ටනි වලින් යුක්ත වූ සේරු නම් විල කෙලවර මනෝරම්‍ය වූ භූමියෙහි ගිරි අභය රජු තම රාජධානිය ගොඩ නැඟූ බව සදහන් වේ. එම රාජධානියට ගිරි අභය රජතුමා තම දේවියගේ නමින් සෝමනුවර ලෙස නම් තැබූ බව ද සදහන් වේ.
ඉන්පසුව ද දේවියගේ ඉල්ලීම වූයේ රාජධානියට අඩුවක්ව පවතින දාගැබක් හා විහාරයක් ඉදි කර දෙන ලෙසටයි. ඒ අනුව තම රාජධානියේ ම මහා මහින්ද නම් මහරහතන් වහන්සේ නමක් 60 ක් භික්ෂු සංඝයා පිරිවරා සිටි ස්ථානයක් තිබූ අතර එහි රජු එතරම් විශාලත් නොවන එතරම් කුඩාත් නොවන දාගැබක් ඉදි කිරීමට ආරම්භ කළේ ය. ඉක්මනින් තුන්මහල් පේසාව දක්වා ස්තූපය ගොඩනැගෙන විට නුදුරින් බණ භාවනා කළ මහින්ද නම් තෙරුන් වහන්සේ අවශ්‍ය ධාතුන්වහන්සේල නාගලොව ජයසේන නම් නා රජුගේ නාගභවනෙන් ලබා ගෙනවිත් එහි නිදන්කිරීමට බාර දුන් බව සදහන් වේ. මේ මහාර්ඝ ධාතූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වීම සුවිශේෂී කරුණක්. ඒ අනුව දකුණු දළදා වහන්සේ නිධන් කළ මේ දාගැබට තම බිසව සිහිපත් කිරීමට සෝමාවතී යන නම ලබා දුන් බව ද සදහන් වේ. දකුණු දළදා වහන්සේ නිධාපිත සෝමාවතී මහා සෑය නිවැරදිව කුමක්ද යන්න තවම නිශ්චිතව හදුනාගෙන නොමැති අතර ඒ පිළිබඳව මත දෙකක් පවතී. ඉන් පළමුවැන්න නම්, වර්තමානයේ සෝමවතිය රජ මහා විහාරය ලෙස හදුන්වන පොලොන්නරුව, සුංගාවිල සෝමාවතිය මහා සෑය යි. දෙවැන්න නම්,සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑය යි.
පොලොන්නරුව සෝමාවතිය මහ සෑය බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන මහා සෑයක් වන බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. එසේම බොහෝ වන්දනාකරුවන් විශ්වාස කරන්නේ ද දකුණු දලදා වහන්සේ නිධාපිත සෑය මෙය බවටයි. ඒ මන්දයත් බොහෝ වර්ෂ ගණනාවක සිට ඒ මතය ජනගත වී තිබීම තුළිණි.
විල්ගම්වෙහෙර මහා සෑය 2015 දී ප්‍රතිසංස්කරණය අරඹන ලදුව මෑතක දී වැඩ නිමවන ලද සෑයකි. පොලොන්නරුව සෝමාවතිය මහ සෑය සැබෑ සෝමාවතිය නොවන බවට මත පලවන්නේ බොහෝ කාලයකට පෙර සිට ය. විල්ගම්වෙහෙර සොයාගැනීම සමග ඒ පිළිබඳව නැවත සාකච්ඡා වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2020 දී පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී විල්ගම්වෙහෙර, පුරාණ සෝමාවතිය බවට බොහෝ දුරට විය හැකි බවට කරුණු ප්‍රකාශ කර ඇත.[3][4] නමුත් සැබෑ සෝමාවතිය කුමක්ද යන්න තවම නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.