සිමොන් ද බෝවා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිමොන් ද බෝවා
ද බෝවා 1967 දී
උපත සිමෝන් ලුසී අර්නස්ටීන් මේරි බර්ට්‍රන්ඩ් දි බෝවා
9 ජනවාරි 1908(1908-01-09)
පැරිස්, ප්‍රංශය
මරණය 14 අප්‍රේල් 1986 (වයස 78)
පැරිස්, ප්‍රංශය
යුගය 20වන සියවසේ දර්ශනවාදය
ප්‍රදේශය බටහිර දර්ශනය
ගුරුකුලය
ප්‍රධාන ලැදිකම්
සංගණ්‍ය අදහස්
අත්සන
සිමොන්ද බෝවා සහ ශෝන් පෝල් සාත්‍ර 1955 දී බීජිංහි දී

සිමෝන් ලුසී අර්නස්ටීන් මේරි බර්ට්‍රන්ඩ් දි බෝවා (1908 ජනවාරි 9 – 1986 අප්‍රේල් 14) [2] යනු ප්‍රංශ ජාතික ලේඛිකාවක්, විද්වතියක්, සාංදෘෂ්ඨිකවාදී දර්ශනවාදිනියක්, දේශපාලන ක්‍රියාකාරිනියක්, ස්ත්‍රීවාදිනියක් සහ සමාජ විචාරිකාවක් වූවා ය. ඇය තමන් ව දාර්ශනිකයකු ලෙස හඳුන්වා නොදුන්නද ස්ත්‍රීවාදී සාංදෘෂ්ඨිකවාදය මෙන් ම ස්ත්‍රීවාදී ප්‍රවාදයන් ද ඇය වෙතින් සැළකිය යුතු ආභාෂයක් ලබා තිබේ. [3]

නවකතා, රචනා, චරිතාපදාන, ස්වයංචරිතාපදාන මෙන් ම දර්ශනවාදය සහ දේශපාලනික සහ සමාජමය කාරණාවන් පිළිබඳ ව ද ඇය විසින් සටහන් සම්පාදනය කර ඇත. 1949 දී ඇය විසින් රචිත ස්ත්‍රීන්ගේ පීඩිතභාවය පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයක් සේ ම සමකාලීන ස්ත්‍රීවාදයේ මූලග්‍රන්ථයක් ද වූ The Second Sex නම් නිබන්ධය හේතුවෙන් මෙන් ම She Came to Stay සහ The Mandarins වැනි නවකතාවන් හේතුවෙන් ද ඇය අවධානයට පාත්‍ර වී ඇත. ප්‍රංශ දාර්ශනික ශෝන් පෝල් සාත්‍ර සමග පැවති නිදහස් සහ යාවජීව ජීවන සබඳතාවය නිසා ද ඇය ප්‍රසිද්ධියට පත් විය.

මුල් අවධිය[සංස්කරණය]

පවුල් පසුබිම සහ ළමාවිය[සංස්කරණය]

සිමොන් ද බෝවා 1908 ජනවාරි 9 පැරීසියේ දී උපත ලැබුවා ය. ඇගේ පියා ජෝර්ජස් බර්ට්‍රන්ඩ් දි බෝවා නම් නීති ලේකම්වරයකු වූ අතර ධනවත් බැංකුකරුවකුගේ දියණියක වූ මව, ප්‍රංශුවා දි බෝවා භක්තිමත් කතෝලික කාන්තාවක් වූවා ය. සිමොන්ගේ සහෝදරිය වු හෙලෙන් උපත ලැබුවේ ඉන් දෙවසරකට පසු ව ය. දෙවැනි ලෝක යුද්ධය නිමා වී කෙටිකලකට පසු සිය ධනය බෙහෙවින් අහිමි වී සිටි ඔවුන් පවුලක් ලෙස තම මධ්‍යම පාංතික සමාජ තත්ත්වය රැකගැනීමට වෙහෙසෙමින් සිටි අතර ස්වකීය දියණිවරුන් දෙදෙනා ව ගෞරවණීය කතෝලික බාලිකා පාසලක් වෙත යැවීමට ප්‍රංශුවා බෙහෙවින් කැප වූයේ විය. දි බෝවා දැඩි ආගමික භක්තියකින් යුතු තැනැත්තියක් වූ අතර, වරක් ඇය කන්‍යා සොයුරියක් වීමට පවා අදහස් කරගෙන සිටියා ය. නමුත් වයස 14දී ආගමික භක්තිය පිළිබඳ මානසික ගැටුමකට මුහුණදෙන ඇය ඉන්පසුව ඉතිරි කාලය පුරාම අදේවවාදී ව වාසය කළා ය. [4] ඇගේ පවුල මුහුණ පා සිටි ආර්ථිකමය වශයෙන් දුෂ්කර වූ තත්ත්වය යටතේ විවාහයක් වෙනුවෙන් කල්මැරීමට ඇයට පුළුවන් කමක් නොවූ අතර දෑවැද්දක් නොමැතිවීම ඇය සිය වාසියට හරවා ගත්තී, තමන්ට කවදත් උවමනා කළ අධ්‍යාපන සහ ශාස්ත්‍රීය කටයුතු සඳහා එම නිදහස භාවිතා කළා ය. ඒ අතර ම එතුළින්ම තමන් ම වෘත්තියක නියැලීම තුළින් සිය ආර්ථිකය සකස් කරගැනීමට ද ඇය උත්සුක වූවා ය. [5]

අධ්‍යාපනය[සංස්කරණය]

1925දී ගණිතය සහ දර්ශනය යන විෂයයන්ගෙන් විශ්වවිද්‍යාල පිවිසුම් විභාගය සමත් වීමෙන් අනතුරු ව ඇය Institut Catholique de Paris තුළින් ගණිතයත් Institut Sainte-Marie තුළින් සාහිත්‍යය/භාෂා ද හැදෑරුවා ය. පසුව ඇය සෝබෝන් විශ්විද්‍යාලයෙන් දර්ශනය හැදෑරූ අතර සිය උපාධිය නිම කිරීමෙන් අනතුරු ව 1928 දී ඇය Leibnitz පිළිබඳ ව සිය diplôme d'études supérieures (ශාස්ත්‍රපති උපාධියකට දළ වශයෙන් සමාන කළ හැක.) Léon Brunschvicg උදෙසා "Le concept chez Leibniz" ["ලෙයිබ්නිට්ස්ගේ සංකල්පය"] මැයෙන් නිම කළා ය. [6]ඒ වන විට සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනීමට සමත් වූ නමවැනි කාන්තාව ඇය විය. ප්‍රංශ කාන්තාවන්ට උසස් අධ්‍යාපනයට සහභාගී වීමේ ප්‍රස්ථාවන් හිමි වී වැඩි කලක් ගත වී නොතිබුණු බැවිනි. [5]

දි බෝවා Maurice Merleau-Ponty සහ Claude Lévi-Strauss සමග පළමු ව කටයුතු කළ අතර ඒ ඔවුන් තිදෙනා සිය ගුරු පුහුණුව එකම ද්විතීය විදුහලක දී සැපිරූ බැවිනි. නිල වශයෙන් ලියාපදිංචි නොවුණ ද ඇය École Normale Supérieure හි දර්ශනය පිළිබඳ උසස් නිබන්ධනය සඳහා සූදානම් කිරීමේ පාඨමාලාවන් සඳහා පෙනී සිටි අතර මෙහිදී ඇයට මුණගැසුණු සිසුන් අතර ශෝන් පෝල් සාත්‍ර, පෝල් නිසාන් සහ René Maheu යන අයද විය. [7] නිබන්ධනය ඇගයීමට සිටි විනිශ්චය මණ්ඩලය දි බෝවාට ප්‍රථමස්ථානය වෙනුවට දෙවනස්ථානයත් සාත්‍රට ප්‍රථමස්ථානයත් ලබා දීමට පටු තීරණයක් ගත් අතර එතෙක් එය සමත් වු ළාබාල ම පුද්ගලයා වූයේ ඒ වන විට වයස 21ක් වූ දි බෝවා ය. [8]

තරුණ වියේ දී Memoirs of a Dutiful Daughter රචනා කරමින් ඇය මෙසේ කීවා ය.”මගේ පියාගේ ස්වාර්ථවාදයත් ආගම් විරෝධී මතිමතාන්තරත් මගේ මවගේ සදාචාර සම්මුතියට දැඩි ව එකඟ වූ උගැන්වීම්වලට මුළුමනින් ම හතුරු විය. මෙම විසංතුලනය විසින් මගේ ජීවිතය එක් ආකාරයක නොනවතින වාද මණ්ඩපයක් බවට පත්කිරීම මා දර්ශනවාදිනියක වීමට බලපෑ ප්‍රධාන හේතුවයි.” [9]

මධ්‍යම විය[සංස්කරණය]

1929 සිට 1943 දක්වා ලේඛනයෙන් තමාට යැපීමට තරම් ආදායමක් ලබාගත හැකි වන තෙක් ද බෝවා lycée ශ්‍රේණියට ඉගැන්වීමේ යෙදුණා ය. Lycée Montgrand (fr) (Marseille), Lycée Jeanne-d'Arc (Rouen) (fr), Lycée Molière (Paris) (fr) (1936–39) යන ආයතනවල ඇය දේශකවරියක ලෙස කටයුතු කළා ය. [10]

1929 ඔක්තෝබරයේ දී ශෝන් පෝල් සාත්‍ර සහ ද බෝවා පෙම්වතුන් බවට පත් වූ අතර ඇයගේ පියාගේ අවධානයට ලක්වීමෙන් පසු සාත්‍ර ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. [11]තමන්ට දෑවැද්දක් නොමැති වූ බැවින් විවාහය යනු සිතීමටවත් නොහැකි දෙයක් විණි යැයි ද බෝවා තමන් ජීවිතයේ අවසාන භාගය ගතකරමින් සිටිය දී පැවසී ය. එහෙයින් ඔවුහු යාවජීව ප්‍රේමයකට ඇතුළත් වූහ. [12] ද බෝවා කෙදිනකවත් විවාහ නොවූ අතර සාත්‍ර. සමග එකම නිවහනක වාසය ද නොකළා ය.[13]ඇය දරුවන් ලැබීමද ප්‍රතික්ශේප කළා ය. [13] මින් ඇයට උසස් ශාස්ත්‍රීය උපාධියක් ලබාගැනීමටත්, දේශපාලන කටයුතු වල නිරත වීමටත්, සංචාරයන්ට එක්වීමටත්, ලේඛනයට සහ දේශන කටයුතු වල නියැලීමට ද මතු නොව පුරුෂ මෙන් ම ස්ත්‍රී පාර්ශ්වයේ ද මිතුරන් බොහොමයක් ඇතිකරගැනීමට (දෙවනු කී පිරිස නිරන්තර ව හුවමාරු විය.) ද නිදහස හිමි විය. [14]

ශෝන් පෝල් සාත්‍ර සහ සිමොන්ද බෝවා බල්සාක් ස්මාරකය අසල

සාත්‍ර සහ ද බෝවා නිරන්තරව එකිනෙකාගේ කෘති පිළිබද ව චිචාරයෙහි යෙදුණි. සාත්‍රගේ Being and Nothingness සහ සිමොන් ද බෝවාගේ She Came to Stay වැනි සාංදෘෂ්ටිකවාදී කෘතීන්හි දී එක් අයකුගේ කෘතියකින් අනිකාට කෙතරම් ආභාෂයක් සැපයිණිද යනු තවමත් සංවාදයේ පවතී. කෙසේනමුත් මෑතකාලීන විමර්ශනයන් අනුව පෙනීයන්නේ සිමොන්ද බෝවාගේ කෘති වැඩි ආභාෂයක් ලබා ඇත්තේ සාත්‍ර වෙතින් නොව හෙගල් සහ ලෙයිබ්නිට්ස් වැනි අය වෙතින් බව යි.[3]ඇලෙක්සැන්ඩර් කොෂෙව් සහ ෂෝන් හිපොලයිට් විසින් 1930දී ඇතිකළ නව-හෙගලියානු පුනරුදය සිමොන් ද බෝවා සහ සාත්‍ර ද ඇතුළු එක්තරා යුගයක දාර්ශනික පරපුරකට ම ආභාෂය දුන් අතර සාත්‍ර සහ බෝවාගේ අවධානය හෙගල්ගේ Phenomenology of Spirit වෙත යොමුවීමට මෙය හේතු විය. [15][16]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

නයිජල් රොජර්ස් සහ මෙල් තොම්ප්සන් 2005 වසරේ දී ලියූ Philosophers Behaving Badly නම් පොතේ පවසන පරිදි දාමරික මෙන්ම අතිශය සමාජ විරෝධී අංශයක්ද සිමොන් ද බෝවාගේ ජීවිතය තුළ තිබී ඇත. ඇය සාත්‍ර සමග දිගුකලක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වා ගත්තද ඇයට රොමැන්තික මිතුරියන් විශාල පිරිසක් සමගද සබඳතා පවත්වා ඇත. ඇය මහාචාර්යවරියක ලෙස සේවය කළ සමයේ තමන් යටතේ අධ්‍යාපනය ලැබූ බාල ශිෂ්‍යාවන් සමග පැවැත්වූ ඇතැම් මෙවැනි සබඳතාවන් පසුකාලීනව චරිතාපදානමය ආන්දෝලනයකටද තුඩු දුන්නේ ය. [17][18][19][20] ඇගේ මුල්කාලීන සිසුවියක වූ බියන්කා ලැම්බ්ලින් Mémoires d'une jeune fille dérangée නම් ඇය ලියූ කෘතියේ පවසන්නේ තමන් Lycée Molière හි අධ්‍යාපනය ලබන සමයේ දී ඒ වනවිට තිස්වන වියේ පසු වූ සිය ගුරුවරිය වූ දි බෝවා තමන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගත් බවයි. [21] 1939 වසරේ ඇය lycée හි ඇය යටතේ ඉගෙනුම ලැබූ 17 වියැති සිසුවියක වූ නතාලී සොරොකින්ව දුෂණය කළ බවට වූ පැමිණිල්ලක් හේතුවෙන් දි බෝවා ඇයගේ ගුරුසේවයෙන් අත්හිටවනු ලැබුවා ය. [22]සොරකින්ගේ මව්පියන් දැරියක් ව දූෂණය කිරීම සම්බන්ධයෙන් බෝවාට එරෙහිව නෛතික පියවර ගත් අතර ඒ හේතුවෙන් ඇය ප්‍රංශය තුළ ඉගැන්වීමට ලබා දී බලපත්‍රය අවලංගු කරගැනීමට සිදුවිය. [23] එමෙන්ම ඇය සහ ශෝන් පෝල් සාත්‍ර අතර trio නමින් හැඳින්වුණු ක්‍රමවේදයක් පැවති අතර බෝවා පළමු ව සිය සිසුවියන් ව දූෂණය කිරීමත් පසු ව සාත්‍ර වෙතට ඔවුන් ව පමුණුවීමත් මෙහිදී සිදු විය. [24] සාත්‍ර ද බෝවා ද යන දෙදෙනාම ලිංගික ව හැසිරිය හැකි අවම වයස් සීමාව පිළිබඳ නීති ප්රංදශය තුළ අහෝසි කිරීම දේශපාලන ව්‍යාපාරද මෙහෙයවූහ.[25]

සම්භාවනාවට පත් කෘති[සංස්කරණය]

She Came to Stay[සංස්කරණය]

ද බෝවා 1943දී සිය ප්‍රථම නවකතාව She Came to Stay නමින් පළ කළා ය. එය ඇය සහ සාත්‍ර විසින් Olga Kosakiewicz සහ Wanda Kosakiewicz සමග ගෙනගිය ලිංගික සබඳතාවය ප්‍රබන්ධ තලයක් තුළ නිරූපණය කිරීමක් විය.

සාංදෘෂ්ඨිකවාදී සදාචාරය (Existentialist ethics)[සංස්කරණය]

Les Temps moderns[සංස්කරණය]

ලිංගිකත්වය, සාංදෘෂ්ඨික ස්ත්‍රීවාදය සහ දෙවැනි ලිංගිකයා(The Second Sex)[සංස්කරණය]

සදාචාර විප්ලවයක් යෝජනා කරමින් ඇය විසින් ලියන ලද The Second Sex නම් කෘතිය ස්ත්‍රීවාදී සාංදෘෂ්ඨිකවාදයක් නියෝජනය කරන්නේ යැයි කිවහැකිය. සාංදෘෂ්ඨිකවාදිනියක ලෙස ඇයගේ විශ්වාසය වූයේ සාරය යනු පැවැත්ම විසින් නිර්මාණය වන්නක් බව ය. ඒ අනුව ගැහැනියක උපත ලබන්නේ නැති බවත් ඉපදුණු මනුෂ්‍ය ප්‍රාණියකු ගැහැනියක බවට පත්කෙරෙන බවත් ඇය කියා සිටියාය. ඇය සිය විශ්ලේෂණයට පදනම වශයෙන් යොදාගන්නේ හෙගල්ගේ අනෙකා (the Other) පිළිබද සංකල්පයයි. බෝවාට අනුව ස්ත්‍රී පීඩනයේ පදනම වන්නේ පරමාදර්ශී අනෙකා වශයෙන් ගැහැනිය පිළිබද ව (ගොඩනගා) ඇති දැක්ම යි. මෙහි other යන්නෙහි O අකුර කැපිටල් ලෙස ලිවීමෙන් දක්වන්නේ මුලුමනින් ම අනෙකා වීම හෙවත් මුලුමනින් ම පිටස්තර ස්වභාවයයි. බෝවා පවසන පරිදි ගැහැනිය පිරිමියකු විසින් තෝරාගැනීම යනු ඇයට පවරා ඇති මෙම සහජ තත්ත්වයෙන් මිදිී තමා සහ අවට සමාජය පිළිබද වගකිව හැකි උසස් තත්ත්වයකට පත්වීමට දී ඇති අවස්ථාව ලෙස දකිනු ලැබෙන අතර ඒ අනුව ගැහැනියට සිය නිදහස ලබාගැනීමට සිදු වී පිරිමියකු මගින් ය .

ද සෙකන්ඩ් සෙක්ස් කෘතියේ ගැහැනිය: මිත්‍යාව සහ යථාර්ථය නමින් එන පරිච්ඡේදයේ බෝවා තර්ක කරන පරිදි පිරිමින් විසින් ගැහැනිය පිළිබද ව ව්‍යාජ ගුප්තතාවයක්(false aura of mistery) ඇති කිරීමෙන් ගැහැනුන් ව වටහා ගත නොහැකි අනෙකකු බවට සමාජ මතයක් ඇති කර තිබේ. ඇයට අනුව ගැහැනුන් ව අවබෝධ කර නොගැනීමටත්, ගැහැනුන්ගේ ප්‍රශ්න අමතක කිරීමටත් නිදහසට කරුණක් වශයෙන් පිරිමින් යොදාගන්නේ ගැහැනිය සම්බන්ධයෙන් ගොඩනගා ඇති තේරුම් ගත නොහැකි යමක් බවට වන මතයයි. තවදුරටත් ඇය පෙන්වා දෙන්නේ මේ ආකාරයේ රාමුගතකිරීම් (stereotyping) නිතර ම සමාජ ධූරාවලියේ ඉහළ සිටින ස්ථර වෙතින් පහළ ස්ථරයන් ව යටපත් කිරීමට යොදාගෙන ඇති බව යි. වාර්ගිකත්වය, පංතිය සහ ආගම වැනි පුද්ගල අනන්‍යතාවය හා සබැදි බොහෝ ක්ශේත්‍රවල මෙය සිදු වී ඇති බව පෙන්වා දෙන ඇය පවසන්නේ මෙය ඒ කිසිවකවත් ස්ත්‍රීන් ව නිශ්චිත රාමුගත අර්ථකතනයකට කොටුකර ඒ ආධාරයෙන් සමාජය තුළ පීතෘමූලිකත්වය සාධාරණීකරණය පිණිස යොදාගෙන ඇති ලිංගික අනන්‍යතාවය තුළ තරම් මුල්බැසගෙන නැති බවයි.

සාම්ප්‍රදායික ගෘහ ජීවිතයෙන් බැහැර ව වෙසෙන ගැහැනුන් සමාජය විසින් දකිනු ලබන්නේ අමුතු පුද්ගලයන් ලෙසිනි. බෝවා පැහැදිලි කරන පරිදි මීට හේතුව වන්නේ ගැහැනිය අනෙකකු වශයෙන් හදුනා ගැනීමයි. ඇය මෙසේ පවසයි, ගැහැනියක් යනු කුමක්ද? මා එසේ විමසීමට ඉතා වැදගත් හේතුවක් තිබේ. පොතක් ලියන පිරිමියකුට තමාගේ පිරිමිකම විශේෂයෙන් ඉස්මතු කිරීමට සිදු නොවේ. නමුත් මා ගැන පැවසීමේදී මම ගැහැනියක් බව සියල්ලට පෙර කියාසිටීමට මට සිදු වේ. මම ගැහැනියක් මි. ඉන් ඔබ්බට කෙරෙන මුළුමහත් සංවාදය ම මේ සුවිශේෂී තොරතුර සිත්හි තබාගනිමින් කටයුතු කෙරෙනු ඇත. පිරිමියකුට සිය ලිංගිකත්වය පිළිබද ව විශේෂයෙන් කියාපෑමට සිදු නොවේ, ඔහු පිරිමියකු බව ඔහු පැවසිය යුතු නැත. ඔබට ඔවැනි සිතුවිල්ලක් පහළ වන්නේ ඔබ පිරිමියෙකු හෙයිනැ යි පැවසීම එවිට අතාර්කික ප්‍රතිචාරයක් වේ. පිරිමියකු වීම විශේෂයෙන් දැකිය යුතු තත්ත්වයක් නොවන බව ඒ විසින් ඇගවෙයි. මක්නිසාද යත් ඔවුන් තමන් ව පරිපූර්ණ තත්ත්වය ලෙසින් වටහා ගන්නා බැවිණි. පිරිමියා යනු විශිෂ්ට මෙන් ම සාමාන්‍ය ස්වභාවය ද වන බැවින් එය නිර්වචනය කිරීමට හෝ පැහැදිලි කිරීමට සිදු නොවේ. මේ අනුව මනුෂ්‍යත්වය යනු පිරිමියා වන අතර ගැහැනිය නිර්වචනය වන්නේ ඊට සාපේකෂ ව ය; ඇය ස්වාධීන මනුෂ්‍ය ජීවියෙක් ලෙස නොසැලකේ. Men are the default setting and women are considered a recessive gender. “He is the Subject, he is the Absolute—she is the Other. මෙය එක් තත්ත්වයක් විසින් තවත් තත්ත්වයක් මිනුම් කිරීමකි. නමුත් ස්ත්‍රී-පුරුෂභාවය යනු එක ම තලයක පිහිටන්නකි.

ද බෝවා ගැහැනිය ව නම් කරන්නේ දෙවැනි ලිංගිකයා වශයෙනි. මක්නිසා යත් ඔවුන් පුරුෂභාවය නම් සාමාන්‍ය තත්ත්වය මත පදනම් වූ නිර්වචනයකට හිමිකම් කියන බැවිනි. නියත ගුණාංගමය හීනතාවක් විසින් ස්ත්‍රීත්වය හිමිවන බව ඇරිස්ටෝටල් කියා සිටියේ ය. සාන්ත තෝමස්තුමන්ද ගැහැනුන් ව අසම්පූර්ණ මනුෂ්‍යාකෘතියක් නැතහොත් "incidental” being ලෙස දැක ඇති බව බෝවා පෙන්වා දෙයි.

ඓතිහාසික ව බොහෝවිට ගැහැනුන් ව අපගමනයක්(deviant) නැතහොත් අසාමාන්‍ය(abnormal) තත්ත්වයක් වශයෙන් දැක ඇති බව බෝවා පවසයි. ඇය පවසන්නේ මේරි වොල්ස්ටන්ක්‍රාෆ්ට් වැනි ප්‍රමුඛ ස්ත්‍රීවාදිනියක් පවා මේ අදහස අනුමත වන ආකාරයේ මත දරා ඇති බවයි. මේරි වොල්ස්ටන්ක්‍රාෆ්ට් ගැහැනුන් විසින් ඉලක්ක කළ යුතු ආදර්ශය ලෙස පිරිමියා ව දැකීම නිදසුන් වශයෙන් බෝවා ගෙනහැර දක්වයි. ගැහැනුන් ව සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර වු තත්ත්වයක් වශයෙන් සහ සෑම විට ම සාමාන්‍ය තත්ත්වය ළගා කරගැනීම වෙනුවෙන් ක්‍රියාකළ යුතු පිටස්තර ස්වභාවයකින් හදුනා ගැනීම විසින් ස්ත්‍රීන්ගේ සාර්ථකත්වය මේ ආකල්පය විසින් මැඩ පවත්වා ඇති බව බෝවා පවසයි. ඇය සිතන පරිදි මේ ආකල්පය පසෙක නොතබන තාක් ස්ත්‍රීවාදයට දුර ගමනක් නොමැත.

1970 ගණන්වල ඇති වූ ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ මූලික සංකල්පයන් ද බෝවාගේ සෙකන්ඩ් සෙක්ස් කෘතියේ එන ස්ත්‍රී-පුරුෂභාවය සමාජ නිර්මිතයක් වශයෙන් වු ප්‍රවාදයන් සමග බැදී තිබුණත් ද බෝවා තමන් ව ස්ත්‍රීවාදිනියක වශයෙන් හදුන්වා ගැනීමට මුල දී මැළි විය. නමුත් ස්ත්‍රීවාදී ව්‍යාපාරයට, විශේෂයෙන් ම ප්‍රංශ කාන්තා විමුක්ති අරගලයට සම අධ්‍යාපන අවස්ථා සහ කාන්තාවන්ගේ ආර්ථික විමුක්තිය සම්බන්ධයෙන් ඇය දැරූ මත හේතුවෙන් විශාල පෝෂණයක් ලැබුණි. කෙසේ නමුත් ස්ත්‍රීවාදී ව්‍යාපාරය ප්‍රබල ලෙස නැගී සිටීමත් සමග 1960 ගණන්වල අගභාගයේ දී සහ 1970 ගණන් මුල දී සමාජවාදී විප්ලවය තුළින් ස්ත්‍රී විමුක්තියක් ලබාගැනීමට හැකි බවක් තමන් විශ්වාස නොකරන බව ඇය කියා සිටියාය. 1972 වසරේ Le Nouvel Observateur සමග පැවති සංවාදයක දී තමන් ස්ත්‍රීවාදිනියක බව ඇය විවෘත ව පවසා සිටියා ය.

The Mandarins[සංස්කරණය]

1954 දී පළවුණු සිමොන් ද බෝවාගේ මැන්ඩරීන්ස් නවකතාව ප්‍රංශයේ සාහිත්‍ය කෘතියකට පිරිනැමෙන ඉහළ ම සම්මානය වන ගොන්කූර් ත්‍යාගය දිනාගන්නා ලදී. සාත්‍රගේ සහ ද බෝවාගේ මිතුරු කවයට අයත් වූ දාර්ශනිකයන් සහ කුලුපගයන්ගේ පෞද්ගලික ජීවිත ගැන කියවෙන එය ගොඩනැගෙන්නේ දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් පසු පසුබිමක ය. බෝවා විසින් සබදතාවයක් පවත්වා ගත් නෙල්සන් ඇල්ග්‍රන් වෙත පුද කර තිබූ එහි මෙන් ම ඇය විසින් ලියන ලද නෙත් අපදානයන්හිද බෝවා විසින් ඔවුන්ගේ ලිංගික අත්දැකීම් විස්තර කර තිබුණු නිර්භීත ස්වරය විසින් ඇල්ග්‍රන් ව මහත් කැළඹීමට ද පත් විය.

අවසාන භාගය[සංස්කරණය]

1978 දී ද බෝවා වයස 78ක් ව සිටිය දී පැරීසියේ දී නියුමෝනියාවෙන් මිය ගියාය. ඇයගේ දේහය පැරීසියේ Père Lachaise සුසාන භූමියේ සාත්‍රගේ දේහය ඇති ස්ථානයට යාබද ව තැන්පත් කෙරුණි.

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. Wendy O'Brien, Lester Embree (eds.), The Existential Phenomenology of Simone de Beauvoir, Springer, 2013, p. 40.
  2. "de Beauvoir, Simone". Oxford American Dictionary. සම්ප්‍රවේශය 9 February 2017. 
  3. 3.0 3.1 Bergoffen, Debra, "Simone de Beauvoir", The Stanford Encyclopedia of Philosophy (Fall 2010 Edition), Edward N. Zalta (ed.), URL = <http://plato.stanford.edu/archives/fall2010/entries/beauvoir/>.
  4. Thurman, Judith. Introduction to Simone de Beauvoir’s The Second Sex අධ්යාdපනය බුද්ධියෙන් පිරිපුන් වූ දි බෝවා සිමොන් ලොකු මිනිහෙක් වගෙයි හිතන්නෙ යන සිය පියාගේ නිරන්තර උදන් ඇනීම විසින් ද දිරිමත් කරනු ලැබුවාය. <ref>Bair, p. 60
  5. 5.0 5.1 Roberts, Mary Louise. "Beauvoir, Simone de." In The Oxford Encyclopedia of Women in World History. Oxford University Press, 2008. Source. Retrieved 3 February 2014.
  6. Margaret A. Simons (ed.), Feminist Interpretations of Simone de Beauvoir, Penn State Press, Nov 1, 2010, p. 3.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; IEP Biography නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. Menand, Louis. "Stand By Your Man". The New Yorker, 26 September 2005. Retrieved 11 May 2010.
  9. Memoirs of a Dutiful Daughter, Book One
  10. Kelly Oliver (ed.), French Feminism Reader, Rowman & Littlefield Publishers, 2000, p. 1; Bulletin 2006 de l'Association amicale des anciens et anciennes élèves du lycée Molière, 2006, page 22.
  11. Bair, pp. 155–156
  12. Bair, p. 156
  13. 13.0 13.1 Schneir, Miriam (1994). Feminism in Our Time. Vintage Books. පි. 5. ISBN 0-679-74508-4. 
  14. Appignanesi, Lisa (10 June 2005). "Our relationship was the greatest achievement of my life". The Guardian. London. 
  15. Ursula Tidd, Simone de Beauvoir, Psychology Press, p. 19.
  16. Nancy Bauer, Simone de Beauvoir: Philosophy, and Feminism, Columbia University Press, 2012, p. 86.
  17. A dangerous liaison: Simone de Beauvoir and Jean-Paul Sartre, By Carole Seymour-Jones (London 2008), pages 216 and 274
  18. New studies agree that Beauvoir is eclipsing Sartre as a philosopher and writer, The Independent, by Lesley McDowell, Sunday, 25 May 2008
  19. Contingent loves: Simone de Beauvoir and sexuality, By Melanie Hawthorne (London, 2000), pages 65–78
  20. BBC Radio 4 Start the Week BBC Radio 4, Andrew Marr, 21 April 2008
  21. Mémoires d'une jeune fille dérangée (1994, LGF – Livre de Poche; ISBN 978-2-253-13593-7/2006, Balland; ISBN 978-2-7158-0994-9)
  22. Tête-à-tête: Simone de Beauvoir and Jean-Paul Sartre, Hazel Rowley, HarperCollins, 2005 , page 130-35, ISBN 0-06-052059-0;ISBN 978-0-06-052059-5
  23. Intellectuals: From Marx and Tolstoy to Sartre and Chomsky, Paul Johnson, Harper Perrenial, 1988, page 238-238, ISBN 978-0-06-125317-1
  24. [1]
  25. "Sexual Morality and the Law", Chapter 16 of Politics, Philosophy, Culture: Interviews and Other Writings 1977-1984. Edited by Lawrence D. Krizman. New York/London: 1990, Routledge, ISBN 0-415-90149-9, p. 275.
"https://si.wikipedia.org/w/index.php?title=සිමොන්_ද_බෝවා&oldid=421537" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි