Jump to content

සතර දළදා වහන්සේලා(දාඨා ධාතූන් වහන්සේලා)

විකිපීඩියා වෙතින්
(සතර දළදා වෙතින් යළි-යොමු කරන ලදි)

ගෞතම බුදුරජාණන් වහන්සේගේ රදනක දත් සතර "සතර දළදා" යනුවෙන් හැඳින්වේ.පාලියෙන් රදනක දත්වලට "දාඨා" යනුවෙන් කියනු ලැබේ. සතර දළදා වහන්සේලා ද නොවිසිරුණු ධාතු කොටස(නොභින්න ධාතූන් වහන්සේල) අතරට අයත් වේ. මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව මේ ලෝකයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා 4 නමක් පමණි. එම දාඨා ධාතූන් වහන්සේල සතර නම්,[1]

  • උඩු වම් දළදා වහන්සේ
  • යටි වම් දළදා වහන්සේ
  • උඩු දකුණු දළදා වහන්සේ
  • යටි දකුණු දළදා වහන්සේ

දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් 40 ක් විය.උඩු ඇන්දේ දත් 20 ක් සහ යටි ඇන්දේ දත් 20 කි.ඒ දත් අතර සිදුරු හා හිඩැස් නොතිබූ අතර එම දත් සියල්ල උස් නොවී,කෙටි නොවී,ඇල නොවී මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබූ බව දක්වේ.සතර දළදා අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත වූ බව ද සදහන් වේ.

සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදුනු බවත් ඒවා "දාඨා ප්‍රභා" යැයි හදුන්වනු ලැබූ බවත් සදහන් වේ.දළදා වහන්සේලා හොදින් දැක ගැනීමට ලැබෙන්නේ සර්වඥයන් වහන්සේ සිනා පහළ කරණ අවස්ථාවන්හි දී පමණකි.එවිට දළදා වහන්සේලාගෙන් විහිදෙන සියම් සුදු රශ්මියක් තෙවරක් සිරස වටා පැදකුණු වී අතුරුදහන් වන බවත් දැක්වේ.මේ නිසා බුදුරජාණන් වහන්සේට පිටුපසින් වැඩම කරන ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කළ බව දැනගැනීමට ලැබෙන අතර පසුව උන්වහන්සේගෙන් "භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීමට කාරණය මන්දැයි?" පෙරලා ප්‍රශ්නයක් අසනු ලැබූ බවත් ධර්මය තුල විස්තර වේ.

සතර දළදා වහන්සේලා හැර ඉතිරි දළදා වහන්සේලා 36ත්, කේශ ධාතූන් සහ ලෝම ධාතූන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව ආදාහනය කරන අවස්ථාවේ එක් එක් සක්වලින් පැමිණි දෙවිවරුන් විසින් රැගෙන ගිය බැව දැක්වේ. මූලාශ්‍රවලට අනුව එක් සක්වලකට රැගෙන ගොස් ඇත්තේ එක් ධාතුන් වහන්සේ නමක් පමණි.[2]

සතර දළදා පිහිටීම

[සංස්කරණය]

සතර දළදා වහන්සේලා වැඩසිටින ස්ථාන පිළිබඳව බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ මෙසේ දැක්වේ.

ඒකා දාඨා තිදසපුරෙ-එකා නාගපුරෙ අහු,
එකා ගන්ධාරවිසයෙ-එකා කාලිංගරාජිනො.

මේ ගාථාව පාලි ධාතුවංශය තුල ද දක්නට ලැබේ.ඊට අමතරව මේ පිළිබඳව මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වා ඇත්තේ මෙසේ ය.

එකා හි දාඨා තිදිවෙහි පූජිතා
එකා පන ගන්ධාරපුරෙ මහීයති,
කාලිංගරඤ්ඤෝ විජිතෙ පුනෙකං
එකං පුන නාගරාජා මහෙන්ති[3]

ඒ අනුව මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව ඒවායේ පෙර පිහිටීම පහත පරිදි වේ.ඊට අමතරව වර්තමාන පිහිටීම ද පෙළ ගැස්විය හැක.

දළදා නාමය පෙර ස්ථානය වත්මන් ස්ථානය
යටි වම් දළදා වහන්සේ දන්තපුරය(දන්තපුරම්),කාලිංග රාජධානිය, ඉන්දියාව ශ්‍රී ලංකාවේ මහනුවර දළදා මාලිගාව
උඩු වම් දළදා වහන්සේ ගන්ධාර - වර්තමාන වයඹදිග පකිස්ථානයේ සහ ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ නිශ්චිතව හඳුනාගෙන නොමැත
දකුණු දළදා වහන්සේ තව්තිසා දෙව්ලොව සිළුමිණි ස්තූපය තව්තිසා දෙව්ලොව සිළුමිණි ස්තූපය
දකුණු දළදා වහන්සේ ජයසේන නා රජුගේ නාග භවන සෝමාවතිය ස්තූපය
(සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතිය ස්තූපය හෝ පොලොන්නරුව සෝමාවති ස්ථූපය විය හැක)

වම් යටි දළදා වහන්සේ(නුවර දළදා වහන්සේ)

[සංස්කරණය]
ශ්‍රී දළදා මාළිගාව

මහාවංශය,පාලි ධාතුවංශය,පාලි දාඨාවංශය,දළදා සිරිත ආදී ඓතිහාසික මූලාශ්‍ර ගත කරුණු අනුව කාලිංග දේශයට වැඩම කරවනු ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාවයි. ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ සිසුවෙකු වූ ඛේම නම් මහ රහතන් වහන්සේ සර්වඥ චිතකයේ ගිනි නිවීයාමට පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් මිසදිටුවෙකු වූ මේ රජු මහ තෙරුන් නිසා බුදුසසුනෙහි පැහැදී බුදුදහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයකට ආසන්න කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.

කාලිංග දේශයේ දන්ත පුරයෙහි වූ යටි වම් දළදාව, ක්‍රි.ව. 4 වන සියවසේ ආරම්භය තෙක් සුරක්ෂිතව පැවතිණි.මෙම ඓතිහාසික දන්ත පුරයෙහි දළදා වහන්සේ වැඩ සිටි දළදා මන්දිරය, වර්තමාන ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පූරී ප්‍රදේශයේ ජගන්නාථ කෝවිල සේ සැලකිය හැකි බවට විශ්වාසය පළ වී තිබේ.[4]ඊට අමතරව ඒ ප්‍රදේශයට ආසන්නව දන්තපුරම් නම් ප්‍රදේශයේ ද බෞද්ධ විහාර නටඹුන් ස්ථාන හමුවන බැවින් එහි ද තැන්පත් කර තිබෙන්නට ඇති බවට ද මත පල වේ.[5]

ඔරිස්සා ප්‍රාන්තයේ පූරී නම් ප්‍රදේශයේ දළදා වහන්සේ වැඩසිටි බවට සැලකෙන ස්ථානයේ ඉදිකර ඇති ජගන්නාථ කෝවිල

එරට පාලනය කළ ගුහසීව රජු පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට සහ දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන් අතර හේමමාලා කුමරිය බැමිණියකගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුළ සඟවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියා ය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහාසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමා ය.(ක්‍රි.ව. 301-328)

හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජු වෙත ගොස් දළදා වහන්සේ රජුට භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඩුව වඩා හිදුවා මහත්වූ පුද සත්කාර පැවැත්වීය.එතැන් සිට සිංහල රජ දරුවන්ගේ අප්‍රමාණ ගෞරවාදරයට හා වන්දනාවට පත් වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළදා මැදුරේ අගනා කරඬු සතක් තුළ වැඩ සිටිති.දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්ය සිදු කර ඇති බව සදහන් වේ.දළදා වහන්සේ පිළිබඳව බොහෝ විස්තර මහාවංශය, දාඨාවංශය, දළදා සිරිත ආදී ග්‍රන්ථ තුල දැකිය හැකිය.[6]

වම් උඩු දළදා වහන්සේ(ගාන්ධාර දළදා වහන්සේ)

[සංස්කරණය]
Gandhara is located in පකිස්තානය
Gandhara
Gandhara
Gandhara (පකිස්තානය)

පාලි ධාතුවංශය ආදී ඓතිහාසික මූලාශ්‍ර අනුව ගාන්ධාර දේශයට වැඩම කරවනු ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ වම් උඩු දළදාවයි. ගාන්ධාරය බුද්ධ කාලීන භාරතයේ පැවතී සොළොස් මහා ජනපද වලින් එකකි.මෙහි සීමාවන් කොතෙක් දුරට විහිදී තිබුණා දැයි නිශ්චිතවම කිව නොහැකි මුත් උතුරු පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ විශාල ප්‍රදේශයක් පුරාණ ගාන්ධාර දේශයට අයත්ව තිබූ බව සැලකිය හැකිය.බුද්ධ කාලයේ මේ දේශය පාලනය කළේ බිම්බිසාර මහ රජුගේ මිතුරෙකු වූ දැහැමි පුක්කුසාති රජු ය. මහා කච්චාන මහරහතන් වහන්සේ මෙරට ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළ අතර බුදුරදුන් ජීවමාන සමයේ දී මෙරට බුදුසමය පැතිරී ගියේ ය.ලෝකප්‍රකට තක්සලා විශ්ව විද්‍යාලය පිහිටියේ ද මෙහි ය.[7]

ඉන්දු-පර්සියානුවන් විසින් නිර්මාණය කරන ලද ගාන්ධාරයේ Takht-i-Bahi පුරාණ බෞද්ධ විහාර සංකීර්ණය

ගාන්ධාර දේශයට දළදා වහන්සේ නමක් ලැබීම පිළිබඳව සලකා බැලූ විට,බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් ධාතූන් වහන්සේල ද්‍රෝණ 8 කට රජවරු අතර බෙදා දෙන අවස්ථාවේ ධාතූන් වහන්සේල බෙදීමට පෙර එක් දළදා වහන්සේ නමක් තම ජටාවේ ද,තව දළදාවක් වස්ත්‍ර අතරේ ද,තව දළදාවක් බිම දමා පයින් වසා ගනිමින් ද සඟවා ගනු ලැබී ය.ධාතු බෙදන ද්‍රෝණ බමුණා බුදුරදුන්ගේ වම් දළදාව වස්ත්‍ර අතරේ සඟවා ගත් අයුරු,ධාතූන් වහන්සේල තමන් ලග තබාගෙන වන්දනා කිරීමට කරන ලද පෙර පින ඇති ගාන්ධාර දේශයෙන් එතනට පැමිණි වැසියෙක් දුටුවේය.එය දැක කුසල් සිතින් යුතුව ඒ දළදා වහන්සේ ද්‍රෝණ බමුණාට නොදැනෙන සේ ගෙන ඔහු සමග පැමිණි ගාන්ධාර වැසියන් සමග තම රටට ගොස් චේතිය නැමැති වනයේ වම් උඩු දළදා වහන්සේ තැන්පත් කර පුද සත්කාර පැවැත්වීය.[8]

ග්‍රීක-බෞද්ධ ආභාෂය පෙන්වන ගාන්ධාර හිටි බුද්ධ ප්‍රතිමාවක්

ගාන්ධාර දේශයේ චේතිය නැමැති වනයේ තැන්පත් කළ එම දළදාව පිළිබඳව ඊට වඩා වැඩි විස්තරයක් සදහන්ව නොමැත.මේ වනවිට නිශ්චිතව කුමන ස්ථානයක වැඩසිටී දැයි කිව නොහැකි මුත් මේ පිළිබඳව විවිධ මත පළව ඇත.

සෝමාවතී දකුණු දළදා වහන්සේ පිළිබඳව පර්යේෂණයක යෙදුන මහාචාර්ය එම්.ඩබ්ලිව්.විමල් විජේරත්න මහතාගේ නිගමනයකට අනුව ගාන්ධාර දළදා වහන්සේ වැඩසිටින දාගැබ වර්තමාන ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ සිංග්ලිප්(Singlip) ප්‍රදේශයේ පිහිටා තිබිය යුතු බවට නිගමනය කරයි.[උපුටාගැනීම 1]

මීට අමතරව මෙම දළදාව පිළිබඳව විවිධ මත පවතී.ඉන් එකක් නම් ගාන්ධාර දළදාව 11 වන සියවසේ දී චීනයට රැගෙන ගිය බවත් එය වර්තමානයේ බීජිං හී ලිංගුවාං විහාරයේ තැන්පත් කර ඇති "චීන දළදා වහන්සේ" ලෙස හදුන්වන දන්තය බවට චීන බෞද්ධයන් විශ්වාස කරනු ලබයි.[9]තවද 2004 වර්ෂයේ දී පකිස්ථානයේ ධම්මරාජික ස්ථූපය ආසන්නයේ සිදු කල ස්තූප කැණීමකින් බුදුරජාණන් වහන්සේගේ දළදාවක් ලෙස සැලකෙන දන්තයක් හමු වී තිබෙන අතර පකිස්ථාන පුරාවිදයාඥයන් එය ගාන්ධාර දළදාව විය හාකි බවට අනුමාන කරයි.එය මේ වනවිට තක්ෂිලා ජාතික කෞතුකාගාරයේ වෙඩි නොවදින වීදුරු ආවරණයක සුරකෂිතව තැන්පත් කර තිබේ.[10] තවද,පකිස්ථානයේ ම Lower Dir පළාතේ ශල්කන්ඩි ස්තූපයේ කැණීමකින් බුදුරදුන්ගේ කුඩා දන්ත කොටසක් යැයි සැකකෙරෙන ධාතු මංජුසාවක් සොයාගත් අතර එය මේ වනවිට Chakdara හෙවත් Dir කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.[11] මීටත් අමතරව ලංකාවේ සමහර පිරිසක් ගාන්ධාර දළදාව පසුකලෙක ලංකාවට ලැබී යටාල වෙහෙරෙ තැන්පත්ව ඇති බවට ද විශ්වාස කරයි.යටාල වෙහෙරේ ගාන්ධාර දළදාව තැන්පත්ව ඇතැයි සැලකීම බොහෝ පුරාවිදයාඥයන් සම්පූර්ණයෙන්ම පාහේ බැහැර කරයි.එසේම ඉහත සඳහන් කී අනෙකුත් මතයන් පිළිබඳව ද වාද විවාද පවතී.කෙසේ නමුත් ගාන්ධාර දළදාව පිළිබඳව තවමත් නිශ්චිත,පිළිගත හැකි තොරතුරක් සොයා ගැනීමට කිසිවකුත් සමත්වී නොමැත.

සෝමාවතිය දකුණු දළදා වහන්සේ

[සංස්කරණය]

පාලි ධාතුවංශයට අනුව,භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව "අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි" සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැනට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය. ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය. කාවන්තිස්ස මහ රජතුමා ලක්දිව රුහුණු රට පාලනය කරන සමයෙහි මහාදේව මහරහතන් වහන්සේගේ [විස්තරය 1] සිසුවෙකු වූ මහා මහින්ද නැමති මහරහතන් වහන්සේ ජයසේන නා රජුගේ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ඒ ගිරි අභය මහ රජු ඉදිකල ස්ථූපයේ නිදන් කිරීම සඳහා ය. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ කාවන්තිස්ස රජ සමයේ දී සේරුවිල සමීපයෙහි පිහිටි සෝමනුවර පාලනය කල ගිරි අභය(ගිරි අභා) නම් රජෙකු විසින් එතුමා පාලනය කළ සෝමනුවරට සමීපයේ සේරු නම් විල් කෙළවර මහින්ද නම් තෙර කෙනෙකු සැටක් පමණ වූ භික්ෂු පිරිසක් සමඟින් වාසය කළ භූමයේ දකුණු දළදා වහන්සේ නිදන් කරමින් ස්ථූපයක් තැනූ බව එම ග්‍රන්ථන්හි සදහන් වේ. එය තම දේවියගේ නමින්ම "සෝමාවතී මහ සෑය" ලෙස නම් කළ බව විශ්වාස කෙරේ. එසේම රජු දිනකට තුන්වරක් තම නුවර සිට උපස්ථාන කටයුතු සදහා වෙහෙරට පැමිණි බව ද සදහන් වේ.[12]

මෙය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි. ඒසේම සේරුවිල මංගල මහා සෑය හෙවත් තිස්ස මහා විහාරය සැදීමටත් ප්‍රථම මෙම ස්ථූපය සෑදී ඇති බවය.

නිවැරදි සෝමාවතිය පුදබිම පිළිබඳව පල වූ විශේෂඥ මත

[සංස්කරණය]

බොහෝ දෙනා පොලොන්නරුව සෝමාවතී ස්තූපය යැයි වර්තමානයේ හදුන්වන ස්තූපය දකුණු දළදා වහන්සේ නිධාපිත බවට සැලකුවත් දකුණු දළදා වහන්සේ නිධාපිත සැබෑ සෝමාවතී ස්ථූපය කුමක්ද වග නිවැරදිව සොයාගෙන සනාථ කර නොමැත.

පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය

විශේෂයෙන්ම ලක්දිව ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යාඥයන් වන සී.ඩබ්ලිව්.නිකලස්, මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් පවා සෝමාවතිය ස්තූපය යැයි වර්තමානයේ හදුන්වන පොලොන්නරුව සුංගාවිල පිහිටි ස්තූපය නිවැරදි දකුණු දළදා ස්තූපය නොවන බවට කරුණු ප්‍රකාශ කර තිබේ.

සී. ඩබ්ලිව්. නිකලස් සූරීන් වර්තමානයේ දී මෙම ස්ථානයට “සෝමාවති” යන නම භාවිතා කිරීම වැරදි සහගත බව කෙළින්ම ප්‍රකාශ කර සිටියි.[උපුටාගැනීම 2]

මේ පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් දරන මතය ද පහත දැක්වේ.

"තමන්කඩුව දිසාවේ සෝමාවතී චේතිය අසල පසින් යට වී පිහිටි තුන්වැනි සියවසට අයත් ලිපියක් සහිත ගල් පුවරුවක් සොයා ගන්නා ලද්දේ ය.මේ දාගැබේ දළදා නමක් තුන්වන සියවසින් පෙර කාලයක දී නිදන් කරන බැව් බොහෝ අය විශ්වාස කරති.එහෙත් ලේඛන විද්‍යාවෙන් ඒ විශ්වාසය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැත්තේ ය."


(උපුටාගැනීම:1945 වර්ෂය පිළිබඳව පුරාවිදු අධිකාරි තැන ගේ පාලන වාර්තාව VI කොටස-අගෝස්තු 1995 ආණ්ඩුවේ නියමයෙන් මුද්‍රණය කරන ලදී.A.S.C.A.R 1945)

තවද,සී ඩබ්ලිව්.නිකලස් ශූරින්ගේ මතයම සෙනරත් පරණවිතානයන් තහවුරු කරන බව ද පෙනේ.[උපුටාගැනීම 3]

​එම කරුණු සැලකිල්ලට ගත් කළ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසයේ දී දකුණු දළදා නිදන්කොට කාවන්තිස්ස රජ සමයේ තැනූ සෝමාවතී ස්තූපය මෙය නොවන බවට පෙන්වාදෙන සී. ඩබ්ලිව්. නිකලස් මහතාගේ සටහන නිවැරදි බව; මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද තහවුරු කරයි.එතුමා ද සෝමවතිය යනු ධාතුවංශයට අනුව රුහුණු රටේ පිහිටි ස්තූපයක් බවත්, නමුත් දැන් එනමින් හඳුන්වන පොලොන්නරුව සුංගාවිල පිහිටි ස්තූපය රජරට පිහිටා ඇති බවද කරුණු සමග පෙන්වා දෙමින් එකී චෛත්‍ය(පොළොන්නරුව සෝමාවතිය) ධාතුවංශයේ දැක්වෙන දකුණු දළදා නිදන් කළ සෝමවතී චෛත්‍යය නොවන බවටත් පෙන්වා දේ.

ඊට අමතරව පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණසූරී එල්ලාවල මේධානන්ද හිමියන් දරන මතය ද පහත දැක්වේ.

"දැනට පොලොන්නරුව දිසාවේ සුංගාවිලට සැතපුම් හයක් පමණ දුරින් මීන්විල විල්ලුවේ කෙළවරට වන සේ පිහිටි ස්තූපයක් සහිත නටබුන් පුදබිමක් ද කාලයක සිට සෝමාවතිය ලෙස සලකා ඇති බව මුලින් සඳහන් කර ඇත.මෙහි ගරා වැටී තිබූ සෑය පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණ කරන ලදී.මෙහි ද විවධ ආරාම ගොඩනැගිලි දක්නට ලැබේ.මේ ස්ථානයෙන් හා මීන්විල විල්ලුව පිහිටි ගල් තලයෙන් ද(එරික් ස්වෝන්)ලැබුණු සෙල්ලිපි පහක් තිබේ.මේ ලිපි වල මහා චූලික මහා තිස්ස රජුගේ පරපුරේ සමාජිකයන් ගැන සඳහන් කෙරෙයි.ඉන් එක ලිපියක ස්ථානයේ පජින නකල අරම(ප්‍රාචීන නාගාරාමය)වශයෙන් ද තවත් ලිපියක "මණි අගිය රජ මහ විහර"(මණිඅග්ගික රාජ මහා විහාරය)වශයෙන් ද සදහන් වේ. මෙයින් පැරණිම ලිපිය ක්‍රි.ව.9-21 අතර රජ කළ මහාදාඨික මහා නාග රජුගේ යුගයට අයත් ලිපියයි.ඒ ලිපිය අනුව මේ ආරාමය තානා ඇත්තේ එතුමාගේ පුත්‍රයකු වූ එහෙත් වංශකතාවේ නොදැක්වෙන නකල නම් කුමාරයෙකු විසිනි.සෝමා දේවිය නමින් කර වූ සෝමාවතී විහාරය මෙය නම් එය කරවා ශත වර්ෂ දෙකක් පමණ යාමට පෙර එය අමතක වීමට හෝ හේතුවක් තිබිය යුතුය.එබඳු හේතුවක් ද නොපෙනෙන බැවින් හා ගඟේ ද ගමන් මඟ වෙනස් වීම පිළිගත්ත ද නියම සෝමාවතිය මෙය නොවන බව පැැහදිලි වේ." [උපුටාගැනීම 4]

කෙසේ නමුත් 2020 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා, 2015 වර්ෂයේ සොයාගෙන සංරක්ෂණය කිරීම ආරම්භ කළ වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හදුන්වන සේරුවිල තොප්පූර් ප්‍රදේශයේ පිහිටි ස්තූපය; නිවැරදි සෝමාවතී ස්ථූපය විය හැකි බවට බොහෝ දුරට කරුණු අනාවරණය වී ඇති බව ප්‍රකාශ කළේ ය.[13][14]

විල්ගම්වෙහෙර සෝමාවතී ස්තූපය

සේරුවිල ලලාට ධාතු ස්තූපය සහ සෝමාවතිය දකුණු දළදා වහන්සේ පිළිබඳව සදහන් පාලි ධාතුවංශය පිළිබඳව පර්යේෂණයක නියැලුණු ජ්‍යේෂ්ඨ මහාචාර්ය එම්.ඩබ්ලිව්.විමල් විජේරත්න මහතා ද නිවැරදි සෝමාවතිය වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හදුන්වන ස්තූපයම වන බව පර්යේෂණාත්මකව සනාථ කර තිබේ.ඒ පිළිබඳව සදහන් සිංහල ධාතුවංශය(සේරුවාවිල තිස්ස මහා විහාරවංශය) නම් ශාස්ත‍්‍රීය පර්යේෂණ(Ph.D) කෘතිය 2012 වර්ෂයේ හොදම සිංහල ස්වතන්ත්‍ර විවිධ විෂය ශාස්ත‍්‍රීය පර්යේෂණ ග්‍රන්ථයට හිමි රාජ්‍ය සම්මානය ඇතුලු සම්මාන 3 කින් පිදුම් ලැබීය.පසුව 2016 දී කතුවරයා මේ සඳහා වෙනමම ග්‍රන්ථයක් "දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝම නුවර සහ සෝමාවතී විහාරය හඳුනාගැනීම" යන නමින් මුද්‍රණය කර තිබේ.එම ග්‍රන්ථය ද 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇගයීමේ දී විවිධ(මානව) අංශයෙහි ග්‍රන්ථ යටතේ 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ද නිර්දේශ වී තිබේ.[15]

තව්තිසා දෙව්ලොව දකුණු දළදා වහන්සේ

[සංස්කරණය]

ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙව්ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක "සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?" යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන ඇති බව දැක "මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?" යි කියා බලන ලදී.එසේ බලන කල්හි නොහැකි බව දැන "මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි" යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

ද්‍රෝණ බමුණා ධාතු බෙදා අවසන් වූ පසු හිස අතගා ධාතූන් වහන්සේ නැති බව දැක"හොරාට ගෙන ජටාවේ සඟවා ගත් දළදාව කවුරුන් විසින් හැර ගත්තා ද?"යි කියා ඇසීමට නොහැකිව "මෙහි මටත් වඩා හොරෙක් ධාතූන් වහන්සේ ගෙණ ඇතැ" යි සිතා කිසිවක් නොදන්නා සේ නිහඬව සිට ධාතු බෙදූ රන් නැළිය ගත්තේ ය.ඒ හැර ඔහුට වෙන කිසිවක් නොවීය.මේ කථා පුවත මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන්ම පාලි ධාතුවංශය,සිංහල ථූපවංශය,පූජාවලිය යන ග්‍රන්ථයන් හි ද දක්නට ඇත.

මෙසේ සර්වඥයන් වහන්සේගේ එක් දකුණු දළදාවක් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය තුළ වැඩ සිටිති.එම දළදාව යටි දකුණු දළදාව ද,උඩු දකුණු දළදාව යන්න නිශ්චිතව මූලාශ්‍ර තුළ නොදැක්වේ.[16]නමුත්;මූලාශ්‍රගත කරුණු හොදින් අධ්‍යනය කල විට එම දකුණු දළදාව, උඩු දකුණු දළදාව විය හැකි බවට නිගමනයකට පැමිණිය හැක,එසේ උපකල්පනය කලහොත් සෝමාවතිය ස්තූපය තුල වැඩසිටින්නේ සර්වඥ ශ්‍රී යටි දකුණු දළදාව බවට ද සිතිය හැක.[විස්තරය 2]

වෙනත් දළදා වහන්සේලා පිලිබද මත

[සංස්කරණය]

තිස්සමහාරාම යටාල වෙහෙරේ තැන්පත්ව ඇතැයි සඳහන් දළදා වහන්සේ

[සංස්කරණය]
තිස්සමහාරාම යටාල වෙහෙර

ක්‍රි.ව.10 වැනි සියවසට අයත් වන කිරින්දෙන් හමු වූ ටැම් ලිපියක;

".....ඈපා මිහින්ද්හු විසින් පෙරෙ තුන් බුදුන් දා නින්දු තන්හි මෙ අප ගොයුම් දසබුල් යටිවම්දළදා වසා (ම) හතුම්බු කරැ, තුන්සිය තෙසැට් පිරිවෙනින් ලකර්කොට් කාවන්තිස් මහරද්හු තමා නම්නෙන් කැර දෙ (වූති) සරම්රද්මහවෙහෙරට...."

යනුවෙන් බුදුන්ගේ යටි වම් දළදාව ගැන සදහන් වෙයි.මේ ටැම් ලිපිය විවරණය කොට පළ කළ සී.ඊ.ගොඩකුඹුරේ මහතාගේ අදහස වූයේ කාවන්තිස්ස රජු විසින් තිස්සමහාරාම දාගැබ කරවන ලද බවය.මේ ටැම් ලිපිය ඉහත කී විවරණය සමග පළවීමෙන් පසු මේ ගැන විවේචන ලිපියක් පළ කළ සිරිමල් රණවැල්ල මහතා දක්වා සිටියේ ම,බුදුන්ගේ යටි වම් දළදාව වසා දාගැබක් බදවන ලද්දේ කාවන්තිස්‌ස රජු විසින් නොව ඈපා මිහිඳු විසින් බව මේ ටැම් ලිපියෙන් කියැවෙන බවයි.තවදුරටත් කරුණු දක්වන ඒ මහතා සතුරු කරදර පැමිණි අවස්ථාවල දී දළදා වහන්සේ(නුවර දළදා වහන්සේ) තැන්පත් කොට තිබූ තැනින් ඉවත් කොට ආරක්ෂා සහිත ස්ථානයකට වැඩමවා ගෙන යාමේ පුරුද්දක් පැවති බවත් අනුරාධපුරයෙහි රජ කළ සිවුවැනි උදය රජු දවස(ක්‍රි.ව.946-954) සිදු වූ චෝළ ආක්‍රමණයේදී එයට මුහුණ දීමට අසමත් වූ ඒ රජු ඔටුනු ආදිය රැගෙන රුහුණට පලාගිය අවස්ථාවේ දී දළදා වහන්සේ ද වඩමවා ගෙන රැගෙන යන්නට ඇති බවත් එවකට රුහුණේ නිදහස් පාලකයාව සිටි යුවරජ ඈපා මිහිඳු(සිව්වන මිහිඳු) විසින් දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස දාගැබක් කොට එහි තාවකාලික ව තැන්පත් කරන්නට ඇති බවත් පසුව ඈපා මිහිඳු යුවරජ සිව්වන මිහිඳු නමින් අනුරාධපුරයේ රජකම ලබාගත් විට ඒ රජ දවස(ක්‍රි.ව.956-972) දළදා වහන්සේ රුහුණේ සිට අනුරාධපුරයට යළි වඩමවා ගෙන ගොස් දළදා මන්දිරයක් කොට එහි තැන්පත් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව සඳහන් කරයි.

පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ යටාල නමින් හැදින්වෙන දාගැබ් මලුවේ සිදු කළ කැණීම් වලදී "දළදා වෙහෙර" යන නම් සඳහන් ශිලාලේඛන හමු වී ඇති බැවින්,කිරින්දේ ටැම් ලිපියේ සඳහන් වූ යටි වම් දළදාව වසා බැඳි දාගැබ,වර්තමාන යටාල ස්තූපය බව නිගමනය කළ හැකිය.[විස්තරය 3]

රණවැල්ල මහතාගේ යථෝක්ත මතය පරිදි ක්‍රි.ව.10 වන සියවසේ දී ඈපා මිහිඳු විසින් රෝහණයේ දාගැබක් කොට තැන්පත් කරවන ලද්දේ ක්‍රි.ව.4 වැනි සියවසේ ආරම්භයෙහි හේමමාලා දන්තකුමරු විසින් ලක්දිවට වැඩමවා ගෙන එන ලදුව ක්‍රි.ව.10 වන සියවසේ මධ්‍ය භාගය තෙක් අනුරාධපුරයෙහි තැන්පත්ව තිබූ දළදා වහන්සේ බවත් අනුරාධපුර රාජ්‍ය යළි නිරවුල් වූ පසු එකී දළදා වහන්සේ අනුරාධපුරයට වැඩම කර වූ බවත් රාජධානි වෙනස්වීමේ දී හා සතුරු උපද්‍රවවලදී පොළොන්නරුව,දඹදෙණිය,යාපහුව,කුරුණෑගල,බෙලිගල,කෝට්ටේ,සීතාවක,දෙල්ගමු විහාරයේ කුරහන් ගලක් තුළ ආදී ස්ථානවල ආරක්ෂිතව වැඩ සිට මහනුවර පළමුවන විමලධර්මසූරිය රජු දවස(ක්‍රි.ව.1592-1604) සිට අද තෙක් මහනුවර දළදා මාළිගාවේ තැන්පත්ව තිබෙන්නේ එකී දළදාව වහන්සේ බවත් ප්‍රකටය.

කෙසේ නමුත් සමහරු ගාන්ධාර දළදාව පසුකලෙක ලංකාව ලැබී යටාල වෙහෙර තැන්පත් කළා යැයි විශ්වාස කරන අතර ඒ පල වන ජනමතය හා වර්තමානයේ තිස්සමහාරාමය ලෙස හදුන්වන වෙහෙරේ හෝ යටාල වෙහෙරේ දළදා වහන්සේ නමක් තැන්පත්ව ඇතැයි යන සමාජය තුළ පවතින මතය ද ඉහත කී විද්වත් මත සමගම ඒ ජනමතය සම්පූර්ණයෙන්ම පාහේ බිඳවැටෙන බව පැහැදිලි වේ.[17]

ලිංගුවාං විහාරයේ චීන දළදා වහන්සේ

[සංස්කරණය]

බඩාචු උද්‍යානයේ(Badachu Park) ලිංගුවාං විහාරය(Lingguang Temple) නැතහොත් බඩාචු බෞද්ධ විහාරය යනු බීජිං නගරයට මඳක් බටහිරින් පිහිටි මහායාන බෞද්ධ විහාර සංකීර්ණයකි.බාඩාචු යන්නෙන් “අෂ්ඨ විශිෂ්ඨ ස්ථාන” යන අරුතක් ගේන දේ.චීනයේ Shijingshan දිස්ත්‍රික්කයේ, Cuiwei, Pingpo, සහ Lushi යන බීජිං නගරයට බටහිරින් බටහිර කඳු මත විහිදී ඇති අටක් වූ බෞද්ධ විහාර සහ භික්ෂුණි ආරාම මෙසේ බාඩාචු බෞද්ධ විහාර ලෙස හඳුන්වනු ලබයි.[18]

ලිංගුවාං විහාරය 2025 අප්‍රේල් මස

Cuiwei කඳුවැටියෙන් මැද ප්‍රදේශයක පහල සිට කිලෝමීටරයකට අඩු දුරකින් Temple of Divine Light වෙත ළඟා විය හැක. මුලදී මෙය Dragon Spring Temple ලෙස හැඳින්වුණි.1162 වසරේදී එහි නම Mountain of Awakening Temple ලෙස වෙනස් කරන ලදී.පසුව,1428 දී මිං රාජධානි කාලය තුළ එය පුනර්නවීකරණය කර පැරණි නමට ආපසු ගෙන ආ අතර, 1478 වසරේදී දැනට පවතින නම හෙවත් Temple of Divine Light යන්න ලබා දෙන ලදී.

මෙම විහාරය මුලදී විශිෂ්ට පරණ ගොඩනැගිලි, කැටයම් සහ පින්තූර රැසක් අන්තර්ගත විය. කෙසේ වෙතත්, 1900 දී බීජිං නගරය යටත් කරගත් Eight-Power Allied Forces විසින් එම සියලු දේවල් විනාශ කරන ලද බව දැක්වේ.එම විශේෂ ගොඩනැගිලි අතරින් එකක් වූයේ 1071 දී Liao රාජධානියේ දී ඉදිකරන ලද විශාල අෂ්ටාංගක (octagonal) පැගෝඩාවකි(මහායාන ස්තූප ක්‍රමයක් පැගෝඩාව ලෙස හැදින්වේ).ශෛලමය ගඩොල් වලින් තනා ඇති එම පැගෝඩාව මුලදී Goldfish Lake නම් විලෙහි නැගෙනහිර පැතිකඩට වන්නට පිහිටා තිබුණි.එය Pagoda for Entertaining Immortals ලෙස හැඳින්වුණි.වර්තමානයේ පවතින්නේ එහි මූලික ආකෘතයකි.

මෙම පැගෝඩාව චීනයේ බෞද්ධ ඉතිහාසය තුළ විශිෂ්ට වැදගත්කමක් ගෙන ඇති බව පෙනේ.බෞද්ධ මූලාශ්‍ර අනුව,බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනයේ දී දන්ත ධාතූන් වහන්සේල හතර නමක් පමණක් ඉතිරි වූ බව සදහන් වේ(මීට ඉහත දී ප්‍රධාන සතර දළදා ලෙස සාකච්ඡා කරනු ලැබුවේ එම දන්තයන් ගැන ය).එම දළදාවන් අතරින් එකක් වන ගාන්ධාර දළදාව 11වැනි ශතවර්ෂයේදී චීනයට ගෙනැවිත් මෙහි තැන්පත් කරන ලද බවට චීන බෞද්ධයන්ගේ පිළිගනිති.ඔවුන්ට අනුව Liao රාජවංශයේ ඉතිහාසය පවසන්නේ Daozong රජතුමා (පාලන කාලය: 1055–1100) එම දළදාව මෙහි පිහිටි පැගෝඩාවේ තැන්පත් කර තිබෙන බවයි.නමුත් එම දළදාව කෙසේ චීනය වෙත ලැබුනි දැයි වැඩි විස්තර හෝ ඒ බව සදහන් කෙරෙන විශ්වසනීය මූලාශ්‍ර ද අවම වේ.

1900 දී පැගෝඩාව විනාශ වූ පසු,චීන භික්ෂූන් විසින් සුන්බුන් අතර සෙවීමේදී ශෛලමය මංජුසාවක් සොයාගෙන තිබෙන අතර එහි ලී පෙට්ටියක් තුළ බුදුරජාණන් වහන්සේගේ දළදාව යැයි සැලකෙන එම දන්තය සොයා ගනු ලැබීය.එය අඟල් 3 ක ප්‍රමාණයකින්ක්‍ යුතු බව සදහන් වේ.ක්‍රි.ව. 963 දී එම පඟොඩාව ඉදිකිරීමට පෙර ක්‍රි.ව. 855 දී Shan Hui නම් භික්ෂුව එම ශෛලමය මංජුසාවේ ඇතුළත හා පිටත "ශාක්‍යමුනිගේ දත", දිනය සහ සංස්කෘත මහායාන බෞද්ධ මන්ත්‍ර කිහිපයක් කෙටීම සිදුකර තිබුණි බව ද පැවසේ.[19]

පැගෝඩාව විනාශ කරීමෙන් පසුව නැවත සොයා ගත් මෙම දන්තය 1955 වසර දක්වා එම විහාරය තුළ තැන්පත් කර තිබුණි.පසුව එය චීන බෞද්ධ සංගමය විසින් Guangji විහාරය වෙත ගෙන ගොස්, එහි බෞද්ධ ධාතු මණ්ඩපය තුළ ටික කලක් තැන්පත් කර තබන ලදී.

1956 දී, ජනරජ රජය විසින් විනාශ වූ පුරාණ Liao පැගෝඩාවේ අත්තිවාරම මත මහල් 13ක නව පඟොඩාවක් ඉදිකළ අතර එය Pagoda of the Buddha’s Tooth යන නම ලබා දෙන ලදී.වර්තමානයේ දක්නට ලැබෙන්නේ එම පැරණි පැගෝඩාවේ අත්තිවාරම මත ඉදිකළ නව පැගෝඩාවයි.මෙම චීන දළදාව අවසරයකින් තොරව රටින් පිට කිරීම තහනම් කළ ජාතික වස්තුවක් විදිහට එරට නම් කර තිබෙන බවට ද වාර්තා වේ.කෙසේ වෙතත් මෙම දන්ත ධාතුවෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ද විවිධ මතයන් විවිධ විශේෂඥයන් විසින් දරනු ලබයි.[9]

චීන දළදාව තැන්පත් කර ඇති පැගෝඩාව


සාමාන්‍යෙන් චීන දළදාව ලෙස හදුන්වන මෙම දළදාව කාලයෙන් කාලයට විවිධ රටවල ඉල්ලීම මත දළදා ප්‍රදර්ශන උදෙසා චීන රජය යැවීමට කටයුතු කරයි.ඒ අනුව වර්ෂ 1961 දී මෙම දළදාව ලංකාවට වැඩමවා දළදා ප්‍රදර්ශනයෙන් සිදු කරනු ලැබීය.ඒ වනවිට මෙරට අග්‍රාමාත්‍ය ධුරය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දරන ලද අතර එතුමිය හා චීන රජය සමඟ තිබූ දැඩි මිත්‍රත්වය මේ ප්‍රදර්ශනය සඳහා තවත් හේතුවක් වී තිබෙන්නට ඇති බව පෙනේ.එවකට ලංකා ආණ්ඩුව විසින් එම චීන දළදා ප්‍රදර්ශනය මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙහි පැවැත්වීමට සැලසුම් කර තිබුණි.නමුත් බොහෝ විද්වතුන් හා ලෝක බෞද්ධයන් බුදුරදුන්ගේ සැබෑ දන්තයක් ලෙස අවිවාදිතව පිළිගන්නා නුවර දළදා වහන්සේ මාළිගාව තුල වැඩ සිටිය දීම වෙනත් රටකින් වැඩමකරවන ලද දළදාවක් යැයි හදුන්වන දන්තයක් ප්‍රදර්ශනය කිරීම එවකට මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය මහා නාහිමිවරුන්ගේ බලවත් අප්‍රසාදයට පත් විය.පෙර රජවරු දිගින් දිගටම දිවි හිමියෙන් රැකගෙන ආ ලංකාවේ දළදා වහන්සේ වැඩසිටියදී පිටරටකින් දළදාවක් වැඩමවා ප්‍රදර්ශනය කිරීම දළදා වහන්සේට සිදු කරන අවමානයක් යැයි මහානාහිමිවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.ඒ අනුව මාළිගාව තුල එම ප්‍රදර්ශනය සිදු කිරීමට එවකට මල්වතු පාර්ශවයේ මහානායක පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මානාහිමයන්ගේ(1856-1963) සහ අස්ගිරි පාර්ශවයේ මහානායක යටවත්තේ ධම්මරතන නාහිමියන්ගේ(1847-1967) අවසරය නොලැබුණු අතර එම නිසා දළදා මාලිගාව තුල එම ප්‍රදර්ශනය සිදු කිරීමේ බලාපොරොත්තුව අත්හළේ ය.නමුත් ඒ වනවිට මහමළුවේ අයිතිය රජයට තිබූ බැවින් එම දළදා ප්‍රදර්ශනය මහමළුවේ සිදු කිරීමට කටයුතු සංවිධානය කළේය.මහමළුවේ අයිතිය රජයට තිබූ බැවින් මේ සඳහා මහා නාහිමිවරුන්ගේ ද එතරම් විරෝධයක් නොපැමිණි අතර රජය මහමළුවේ චීන දළදාව ප්‍රදර්ශනයට විශේෂ කුටියක් ද සකස් කෙරිණ.රජය චීන දළදා ප්‍රදර්ශනය පිළිබඳව ලබා දුන් ප්‍රචාරණය නිසා රටේ නන් දෙසින් චීන දළදාව වැඳ පුදා ගැනීමට මහමළුව වෙත ඇදී ආහ.මෙසේ මල්වතු-අස්ගිරි උභය විහාරීය මහා නායක හිමිවරුන්ගේ විරෝධය ද මත රජය චීන දළදා ප්‍රදර්ශනය, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේම මහමළුවේ දී සාර්ථකව පවත්වන ලදී.[20][21]

සිංගප්පූරු දළදා වහන්සේ

[සංස්කරණය]
සිංගප්පූරුවේ Buddha Tooth Relic Temple and Museum

මියන්මාර ජනප්‍රවාද අනුව මහා පරිනිර්වාණයෙන් අනතුරුව බුදුරජුන්ගේ ශ්‍රී දේහය ආදාහනයේ දී සතර දළදා වහන්සේලා ට අමතරව තිබුන අනෙකුත් දන්ත ධාතූන් වහන්සේලා කිහිපයක් "ගවුන්පාඩි" හා "කුත්ලයොන්" නම් භික්ෂූන් වහන්සේලා දෙනමක් විසින් ලබා ගෙන තිබෙනවා,ඉන් යටි වම් හකුවේ වැඩසිටි එක දන්තයක් "බුහල" කියන භික්ෂුවට ලැබී තිබෙන අතර ඒ දන්ත ධාතුව රැගෙන උන්වහන්සේ බුරුමය වෙත වැඩම කර තිබෙනවා.පසුව එහිදී "මහාසන්ද්‍ර" නම් බුරුම රජු එම ධාතුව පිළිගෙන "බගාන්" ලෙස හැදින්වෙන කදු මුදුන මත ස්තූපයක් ඉදිකර තිබෙනවා.පසුකාලයේ ගරා වැටුනා යැයි සැලකෙන මේ ස්තූපය 1980 දශකය අවසන් භාගයේදී,බෞද්ධ භික්ෂූන් පිරිසක් විසින් කැණීම් සිදු කරන අවස්ථාවේදී බුදුන්ගේ වම් දළදාවක් ලෙස විශ්වාස කල හැකි දන්තයක් සහිත ධාතු මංජුසාවක් ලැබුණ බව සැලකෙනවා.එම දන්ත ධාතුවෙහි දිග 7.5cm පමණ වන බවට සදහන් වේ.[22]

පසුව, සිංගප්පූරු හි පූජ්‍ය ෂි ෆා ෂාඕ හිමියන් (වර්තමාන මෙම විහාරයේ අධිපති හිමි) මියන්මාර සංචාරයකදී මෙම දළදාව පිළිබඳව දැනගත් අතර, බෞද්ධ සංඝයා සහ බෞද්ධ සභාවක් සමඟ සාකච්ඡා කරමින්, එම දළදා වහන්සේ සිංගප්පූරුවට ගෙන ඒමට අවසර ලබා ගත්හ.ඒ අනුව 2002 වසරේදී,Shi Fa Zhao හිමියන්ට එම දළදාව ලැබීමෙන් පසු, ධාතුව සඳහා සුදුසු ආකාරයෙන් ස්ථානයක් සකස් කළ යුතු බව තීරණය කළ අතර,ඒ අනුව අළුත්ම විහාර සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ විය.[23]

සිංගප්පූරුවේ චයිනාටවුන් ප්‍රදේශයේ පිහිටි එය Buddha Tooth Relic Temple and Museum ලෙස නම් කී අතර ටැං රාජවංශ චීන වාස්තු විලාසිතාවකින් සැරසුණු ආගමික සහ සම්ප්‍රදායික කලා සංකීර්ණයක් ලෙස සැලකේ.2007 වසරේ වෙසක් උත්සව දිනයේදී විවෘත කරන ලද මෙය එතැන් පටන් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවක් තැන්පත් කර ඇති බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියක් ලබා තිබේ.

ටැං රාජවංශයේ වාස්තු ශිල්පය අනුව නිර්මාණය කර ඇති අතර එහි මධ්‍යම මහලේ ඇති රන් ස්තූපය තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුව තැන්පත් කර ඇත.ස්තූපය සදහා භාවිතා වූ රන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 320ක් වන අතර, එය සම්පූර්ණයෙන්ම පරිත්‍යාග කරන ලද රන් වලින් සාදන ලදී.

ඊට අමතරව විහාරය තුළ කෞතුකාගාරයක්, පුස්තකාලයක්,චිත්‍රපට ශාලාවක්,භාවනා කාමර සහ බෝධිසත්ත්ව මන්දිර,ථේරවාද,මහායාන,වජ්‍රයාන ආදී බෞද්ධ සම්ප්‍රදායන් නිරූපණය වන නිර්මාණය වලින් සමපන්විත වේ.මෙහි තැන්පත්ව ඇති දළදාව දිනයකට නියමිත වෙලාවක දී වන්දනා කිරීම උදෙසා ප්‍රදර්ශනය කරනු ලබයි.ඒ සදහා නවීන තාක්ෂණය සහිත ස්වයංක්‍රීයව විවෘත වන වැසී යන උපකරණ භාවිතා වේ.කෙසේ නමුත් මෙහි ඉතිහාසය පිළිබඳව විශ්වාසනීය මූලාශ්‍ර නොමැති වීම හා වෙනත් කරුණු නිසා මෙම දන්ත ධාතුවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විවිධ මත පවතිනවා.[23][24]

තායිවාන දළදා වහන්සේ

[සංස්කරණය]
තායිවාන දළදාව තැන්පත් Fo Guang Shan Buddha Museum නම් මහායාන බෞද්ධ විහාරස්ථානය

තායිවානයේ කාඕෂියුං නගරයේ පිහිටි Fo Guang Shan Buddha Museum හි තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ දන්තයක් ලෙස සැලකෙන මෙය 1998 දී බුරුම භික්ෂුවෙකු විසින් Fo Guang Shan ආගමික නිකායේ ආරම්භකයා වූ වන්. සිං යුන් හිමියන් ඉන්දියාවේ බුද්ධගයාවට වැඩම කළ අවස්ථාවක Kunga Dorje Rinpoche නම් ටිබෙට් ජාතික භික්ෂුව විසින් ත්‍යාගයක් ලෙස ලබා දී ඇත.13 වන සියවස තෙක් නාලන්දා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබූ බවට සැළකෙන දළදාවක් ටිබෙටය වෙත ගෙනගොස් ආරාමයක තැන්පත්කර තිබී ඇති අතර පසුව වර්ෂ 1950 සමයේ සමයේ චීන ආක්‍රමණ මත එම ආරාමය විනාශ වීමෙන් පසු Tibetan Lama Kunga Dorje Rinpoche විසින් රැකගනිමින් තිබූ ධාතුව ඉන්දියාව වෙත රැගෙන ගය බවත්, පසුව 1998 දී මෙම තායිවාන විහාරයේ ප්‍රධාන භික්ෂුව වෙත ලබා දුන් බවත් සඳහන් වේ.[25]

මෙම දන්ත ධාතුව තායිවානයට ගෙනගොස් ඇති පසුව, එය Fo Guang Shan ආරාමය තුළ තාවකාලිකව තැන්පත් කරන ලදී.එහි විශේෂත්වය හඳුනාගත් වන්. සිං යුන් හිමියන් විසින් මෙම දළදාව ස්ථිරව තැන්පත් කිරීම සඳහා විශාල විහාර සංකීර්ණයක් ගොඩනැගීම ඒ වනවිටත් අරඹා තිබුණි.ඒ අනුව ඉදිකරන ලද Fo Guang Shan Buddha Museum, 2011 දෙසැම්බර් මාසයේදී විවෘත විය. මෙහි මධ්‍යස්ථානය වන ප්‍රධාන මැදිරිය හෙවත් Main Hall හි Buddha Memorial Center නම් ස්ථානයේ මෙම දන්ත ධාතුව තැන්පත් කර ඇත.කෙසේ නමුත් මෙම දන්ත ධාතුවෙහි ද ඉහත සඳහන් චීන,සිංගප්පූරු දළදාවන්හි මෙන් සත්‍ය අසත්‍යතාව පිළිබඳව විවිධ මත පවතී.[26]

ජපාන දළදා වහන්සේ

[සංස්කරණය]
බුදුරදුන්ගේ දන්ත ධාතුවක් තැන්පත් ව ඇතැයි සැලකෙන Engaku-ji සෙන් බෞද්ධ විහාරය


බුදුරජාණන් වහන්සේගේ දළදාවක් තැන්පත් කර ඇතැයි සැලකෙන ජපානයේ කමකුරා නගරයේ පිහිටි විශිෂ්ටතම සෙන් (Zen) විහාරවලින් එකක් වන Engaku-ji විහාරය; එහි ආගමික සහ වාස්තු විද්‍යාත්මක උරුමයක් ලෙසද ප්‍රසිද්ධය. මෙම විහාරය ආරම්භ වූයේ 1282 දී මොන්ගෝලියානු ආක්‍රමණවලින් පසුව කාමකුරා ශොගුන රාජධානියේ පාලකයාව සිටි හෝජෝ ටෝකිමුනෙ (Hōjō Tokimune) මගින්ය.ඉතිහාසගත මූලාශ්‍ර වලට අනුව ආක්‍රමණවලදී මියගිය සෙබළුන්ට ගෞරව දැක්වීමට සහ සෙන් බුද්ධාගම ජපානයේ වැඩිදියුණු කිරීමට අරමුණුකොට ගත් දැවැන්ත ආගමික ව්‍යාපෘතියක් ලෙසය මෙය සැලකේ.[27]

Engaku-ji විහාරයේ වාර්තා සහ ජපන් බුද්ධ වංශ කතා අනුව, මෙම දළදාව චීනයෙන් හෝ කොරියාවේ සිට රාජතාන්ත්‍රික තෑගි ලෙස කාමකුරා යුගයේදී ලැබුණු බවට විශ්වාස කෙරේ.මෙම දළදාව තැන්පත් කිරීම සඳහා ගොඩනඟන ලද්දේ Shariden නමින් හැඳින්වෙන, චීනයේ සොං රාජවංශයේ වාස්තු ශෛලයෙන් නිර්මාණය කළ සුන්දර ශාලාවකි.කෙසේ නමුත් මීට පෙර විස්තර කර අමතර දළදා වහන්සේලාගේ මෙන්ම මෙහි ද සත්‍ය අසත්‍යතාව පිළිබඳව විවිධ මත පවතී.නමුත් මේ දන්ත ධාතුව ගෞරවය සහ පූජනීයත්වය තුළින් සියවසකට අධික කාලයක පුරාවට මෙම විහාරයෙහි තැන්පත්ව තිබේ.[28]

පැරණි ඉතිහාස මූලාශ්‍රගත වෙනත් දළදා වහන්සේලා

[සංස්කරණය]

හියුං සියෑං හිමියන් ඉන්දියාවේ හා ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන්ගේ දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තාවේ සඳහන් කර තිබේ.

හියුං සියෑං හිමියන් දැක්වෙන සිතුවමක්
හියුං සියෑං හිමියන්ගේ ගමන් මාර්ගය

එහි සඳහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන්ගේ දන්ත ධාතුවක් හැරුණුවිට පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ දන්ත ධාතූන් වහන්සේ නමක් ද සක්විති රජෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබී තිබේ.පසේ බුදුරදුන් ආදි-කල්පික උතුමකු නිසා උන්වහන්සේගේ දන්ත ධාතුව අඟල් 5 ක් තරම් දිග ය.සක්විති රජුගේ දන්තය අඟල් 3 ක් තරම් දිගය.ඇෆ්ගනිස්ථානයේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරුගේ කිරිදතක් තැන්පත් කර තිබුණි.මේ කිරිදතේ දිග අඟල් එකහමාරක් තරම් ය.

ෆාහියන් හිමියන් ආශෝක රජුගේ මාළිගයේ නටඹුන් නරඹන අවස්ථාව දැක්වෙන සිතුවමක්

ෆාහියන් හිමියන් ඛල්ඡා දේශයේ වැඩ හිඳින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්ගනිස්ථානයේ නගරාහර දේශය තුළ වැඩ හිඳින දන්ත ධාතුවක්(නගරාහර දළදාව ගැන මීට පෙර ගාන්ධාර දළදාව යටතේ සඳහන් කෙරිණ)ගැනත් තම වාර්තාවේ සඳහන් කර තිබේ.ඒත් එම දන්ත ධාතූන් වහන්සේලා ඒ ඒ ප්‍රදේශයට ලැබුණු ආකාරය ගැන විස්තර සඳහන් කර නැත.

බීල්ස් සංස්කරණයට අනුව ඉන්දියාව හරහා වැටී තිබූ ෆාහියන් හිමියන්ගේ ගමන්මාර්ගය[29]

මෙසේ ඉන්දියාවේත්,ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතූන් වහන්සේලා යැයි සැලකෙන ධාතූන් වහන්සේල පිළිබඳව සඳහන් කර තිබුණත් මේ වනවිට එම දන්ත ධාතූන් වහන්සේල කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නිශ්චිතව කිව නොහැක. [21]

වර්තමානයේ බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේලා යැයි විශ්වාස කරන ලෝකයේ විවිධ ප්‍රදේශවල පිහිටි දන්ත ධාතූන් වහන්සේල

[සංස්කරණය]

2024 දී ලොව පුරා සිදු කළ සමීක්ෂණයකින් බුදුරජාණන් වහන්සේගේ දන්තයන් ඇතැයි ලෙස විශ්වාස කරනු ලබන ස්ථාන 32 ක් වාර්තා වී තිබේ.ඉන් කිහිපයක් පහත දැක්වේ.

  • ධම්මරාජික ස්ථූපය අසල ස්තූපයක් කැපීමෙන් හමු වූ දන්ත ධාතුව - තක්ෂිලා ජාතික කෞතුකාගාරය, පකිස්ථානය[30]
  • ශල්කන්ඩි ස්තූපයෙන් හමු වූ දන්ත ධාතුව - Chakdara හෙවත් Dir කෞතුකාගාරය, පකිස්ථානය[31]
  • නාගාර්ජුනකොන්ඩාවේ මහා චෙෙත්‍ය - ආන්ද්‍රා ප්‍රදේශය, ඉන්දියාව[32]
  • ලූ මවුන්ටන් විහාරය - කැලිෆෝර්නියා ප්‍රාන්තය, ඇමරිකා එක්සත් ජනපදය[33]

දළදා අනුරූ නිර්මාණයේ අතීතය සහ වර්තමානය

[සංස්කරණය]

ලක්දිව දළදා අනුරූ නිර්මාණය බැදී පවතින්නේ මහනුවර දළදා වහන්සේ සම්බන්ධව ය.ඒ අනුව දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසාත්,විවිධ රටවල්වලට තුටු පඬුරු ලෙස ලබා දීම උදෙසාත්,ස්තූපවල නිධන් කරන ධාතූන් වහන්සේලට අමතරව ධාතු අනුරූ ලෙස නිධන් කිරීම උදෙසාත් දළදා අනුරූ නිර්මාණය කරනු ලැබූ බව ඉතිහාස ගත මූලාශ්‍ර වල දැක්වේ.අද ද වර්තමානයේ නිර්මාණය කරනු ලබන ස්තූපයන්හි මෙසේ අනුරූ ද තැන්පත් කිරීම සිදුකරන බව දැකිය හැක.එහිදී දළදා අනුරූ වලට අමතරව නොභින්න ධාතූන් වහන්සේල සිහිකරමින් ඒ වෙනුවට ලලාට ධාතු අනුරූ,අකු ධාතු අනුරූ,ග්‍රීවා ධාතු අනුරූ ආදිය ද නිර්මාණය කරනු දැකගත හැකිය. මේ අනුරූ නිර්මාණය උදෙසා ඇත් දළ සහ වටිනා දැව විශේෂයෙන්ම සුවඳ සදුන් දැව වැනි ද්‍රව්‍ය යොදාගත් බව දැක්වේ.මෙහිදී සිදු වන්නේ සැබෑ දළදා වහන්සේගේ ප්‍රමණයට සහ හැඩයට සපයාගන්නා ලද ද්‍රව්‍ය භාවිතයෙන් අනුරුවක්(A Replica) නිර්මාණය කර ගැනීමයි.සමහර අවස්ථාවල,විශේෂයෙන්ම විදේශයන් වෙත ලබා දීමේ දී එසේ නිර්මාණය කරන අනුරූ සුලු මොහොතක් දළදා කරඬුව අසලින් තබා හෝ සැබෑ දළදා වහන්සේ ස්පර්ශ කළ සුවඳ කුඩු මත සුලු මොහොතක් තබා ලබා දීම,දළදා වහන්සේ පරිහරණයේ දී ස්පර්ශ කරන සේද සලුව මත සුලු මොහොතක් තබා ලබා දීම ද සිදු වූ බව වාර්තා වේ.ඊටත් අමතරව දළදා වහන්සේ ස්පර්ශ වූ සුවඳ කුඩු හෝ සේල සලුව සමගම අනුරූ දළදාව ද ලබා දීමත් වාර්තා වේ.වැදගත් කරුණ නම් මේ අනුරූ කිසිවක් සැබෑ ධාතූන් වහන්සේ නොවීමයි.මහාවංශය ආදී මූලාශ්‍රගත තොරතුරු අනුව,මේ ආකාරයෙන් දළදා අනුරූ නිර්මාණය කළ අවස්ථා කිහිපයක් ම දැකිය හැක.

ආරක්ෂක හේතු මත හා වෙනත් හේතු මත නිර්මාණය කළ දළදා අනුරූ

[සංස්කරණය]

1.හිරිපිටියේ දිවනිළමේ විසින් නිර්මාණය කළ දළදා අනුරුව

[සංස්කරණය]

කෝට්ටේ රාජ්‍යයේ පෘතුගීසි බලය දිනෙන් දින වැඩි වූ සමයක හත්වන බුවනෙකබාහු රජුගෙන් පසු පෘතුගීසීන්ගේ සහයෙන් දොන් ජුවන් ධර්මපාල රජ(1551-1597) වර්ෂ 1551 දී රජ බවට පත් වෙන අතර එවකට කෝට්ටේ දළදා මාළිගාව බාරව සිටි කීරිවැල්ලේ හිරිපිටියේ ඒකනායක දිවනිළමෙට තවදුරටත් දළදාව කෝට්ටේ රාජධානිය තුළ තබා ගැනීම අනතුරුදායක බව තේරුම්ගොස් තිබූ බව ඉතිහාස මූලාශ්‍ර වල දැක්වේ.හිරිපිටිය නිළමේ දළදා වහන්සේ ලංකාවට වැඩමෙව් දන්ත කුමරුගේ පරම්පරාවට අයත් පුද්ගලයෙකි.එබැවින් හේ දළදාව රැකීමට රාජකාරි මට්ටමෙන් මෙන්ම පාරම්පරික උරුමයෙන්ද බැඳී සිටියේය.කීරවැල්ලේ හිරිපිටිය නිළමේ මේ ආසන්න කාලයක දිනක් හීනයක් දැක තිබෙන අතර එහි දී නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් නැගෙනහිර දිශාවට තම අසිපත දිගුකර “කෝට්ටේ කලාලේ කිසිල්ලේ,දත මැදගන්න රාළේ “ යැයි එම සිහිනයේදී නිළමෙට පැවසූ බව දැක්වේ.

මේ සිහිනයෙන් යම් අනතුරක සේයාවක් පෙනුනත් කීරවැල්ලේ නිළමේට එය හරිහැටි තේරුම් නොවීය.නියම දළදාව තමා අතට ගත් කීරවැල්ලේ නිළමේ දළදාවේ අනුරුවක් කෝට්ටේ දළදා මාළිගාවේ තබා පැපිළියාන විහාරස්ථානයට ගොස් එහි විසූ නාගසේන හිමියන් බැහැදකින ලදී.එහිදී මෙම සිහිනය පිළිබඳව විමසූවිට නාගසේන හිමියන් එම සිහිනය පිළිබඳ විවරණය කර වහාම දළදාව රැගෙන පළායන ලෙස කීරවැල්ලේ නිළමෙට පැවසුවේය.

පැපිළියාන විහාරස්ථානයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් නිර්මානය කළ “ ශබ්ද ද්වනී වාහිනී“ නැමති යන්ත්‍රයක් විය.එය පිළිබඳව වැඩි විස්තරයක් සොයා ගැනීමට නොහැකි වූවත් එයින් සැතපුමක් පමණ දුර සිට කරන කතාබහකට සවන් දීමට හැකි බව වාර්ථාවී තිබේ.එහිදී එම යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට නාගසේන හිමියන්ට දැනගැනීමට හැකිවී ඇත්තේ ධර්මපාල රජු පෘතුගීසීන් සමග එක්වී දළදා මාළිගාව කොල්ල කෑමට සැලසුම් කරන බවයි.ක්‍රියාත්මකවූ කීරවැල්ලේ නිළමේ දළදාව රැගෙන සීතාවක රාජධානියට එදිනම පළා ගියේය.[34]

දළදා වහන්සේ සීතාවක මායාදුන්නේ රජුට භාරකළ හිරිපිටිය නිළමේ තමා මුහුණපෑ සිද්ධිය රජුට පවසන ලදී.තම රාජධානියේ දළදා වහන්සේට ආරක්ෂාව නොමැති බව සිතූ මායාදුන්නේ රජු කුරුවිට දෙල්ගමුව රජමහ විහාරයේ නව දළදා මාළිගාවක් සාදා දළදා වහන්සේ එහි තැම්පත්කර දළදාවේ භාරකාරත්වය දෙල්ගමුව විහාරයේ ශ්‍රී මහින්දාලංකාර තෙරණුවන්ට භාර කරන ලදී.දළදා වහන්සේ වැඩමවීමට තරමක කාලය ගතවූ පසු සබරගමුවටද පෘතුගීසි තර්ජන එල්ලවන්නට විය.මෙය දළදාවේ ආරක්ෂාවට තරජනයක් බව දැනගත් මහින්දාලංකාර තෙරණුවෝ අතිවිශාල කුරහන් ගලක් සාදා එහි පත්ලෙහි දළදා වහන්සේ තැම්පත් කෙරිණ.මෙම යෝධ කුරහන්ගල අඩි 4ක් දිගවේ.පළල අඩි 2 අඟල් 9කි.ගලේ වට ප්‍රමානය අඩි 8 අඟල් 9කි.ශ්‍රීපාද කන්දෙහි සීත ඟඟුලෙන් ඇරඹෙන කුරු ගඟ ගලා බසින්නේ මෙම දෙල්ගමුව විහාරය ආසන්නයෙන්ය.දළදාවේ වැඩි ආරක්ෂාව සඳහා මහින්දාලංකාර හිමි කුරු ගඟෙන් ලද මැණිකකින් කොපුවක් සාදා,දළදා වහන්සේ එහි තැම්පත් කරන ලදී.මේ බව එමර්සන්ට් ටෙනන්ට් ඉතිහාසඥයාගේ වාර්තා වල ද සඳහන්වේ.එසේ දළදා වහන්සේ වසර 43 කට ආසන්න කාලයක් කුරහන් ගල තුළ වැඩ සිට මායාදුන්නේ රජුගෙන් පසු රජු මරා රජු වූ සීතාවක රාජසිංහ හෙවත් පළමුවන රාජසිංහ රජ සිදුකළ පීතෘ ඝාතක අකුසලය නිසා හා හින්දු ආගම වැළදගැනීම නිසා සීතාවක ද අස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් එසමයේම පළමුවන විමලධර්මසූරිය රජ මහනුවර රජු වූ බැවින් පසුව දෙල්ගමුවේ සිට මහනුවරට දළදා වහන්සේ හිරිපිටිය රාළ විසින් ම වැඩමවනු ලැබීය.[35][36]

දන්ත ධාතූන් වහන්සේ සඟවා තැබූ කුරහන් ගල

2.වීදිය බණ්‌ඩාර සතුව තිබූ දළදා අනුරුව

[සංස්කරණය]

සීතාවක දළදා වහන්සේ වැඩසිටින කාලය තුළ හිරිපිටිය රාළ විසින් කෝට්ටේ දළදා මාළිගාවේ තැන්පත් කර තිබූ දළදා අනුරුව සැබෑ දළදාව යැයි සිතා ධර්මපාල රජුගේ පියා වන වීදිය බණ්ඩාර දළදා අනුරුව රැගෙන, බෙංගයි රාළ නම් තැනැත්තෙකු සමඟ යාපනයට පලා ගියේ ය.[විස්තරය 4]

යාපනය පාලනය කළ පළමු සංකිලි රජ සමඟ පැමිණි මුල් කල සහයෝගීව සිටියත් 1555 දී ඇති වූ වැරදි වටහාගැනීමක් මත වීදිය බණ්‌ඩාර හා සංකිලි රජුගේ සේනාව අතර සටනක් ඇති විය.දක්ෂ රණශූරයකු වූ වීදිය බණ්‌ඩාර තනිව සටන් කරමින් සිටින අතරතුර පිටුපසින් ආ දෙමළ සොල්දාදුවකු ගසක සිට වීදිය බණ්ඩාරගේ පිට මතට හෙල්ලකින් පහර දුන්නේය.ඒ පහරින් මරණයට පත් වනවිට දළදාව(අනුරුව) අතේ ඇඟිලි අතර වැරෙන් ගුලිකර තබාගෙන තිබෙන අතර ඉතිහාස ගත තොරතුරු අනුව දෙමළ සේනාවේ කිසිවෙකුටත් ඒ අතැඟිලි දිගහැර දළදාව ගන්නට සමත් නොවීය.මේ නිසා ඇඟිලි කපා ඉවත් කර දළදාව ලබාගෙන සංකිලි රජු විසින් එය තම මාළිගායේ තබා ගත්තේ ය.

නමුත් ටික කලකට පසු පෘතුගීසි සේනාවන් යාපනය ආක්‍රමණය කර යාපනය රාජධානිය යටත් කරගත් අතර එහිදී අනුරුවක් යැයි නොදන්නා ඔවුන් ද කෝට්ටෙන් අස්ථානගත වූ දළදාව යැයි සිතා එම අනුරුව ගෙන ගෝව වෙත පිටත් කර යැවීය.ගෝව වෙත පිටත් කර යැවූ එම දළදාව කතෝලික පූජකයන් සහ පෘතුගීසින් විසින් එය ගිනි තබා විනාශ කර එහි අලු ගඟට දැමූ බව සඳහන් වේ.[37]

3.දොන් ජුවන් ධර්මපාල රජු බුරුමය වෙත යැවූ අනුරුව

[සංස්කරණය]

වීදිය බණ්ඩාරගේ සිදුවීම වන අතරේ බුරුම රජු දළදා වහන්සේ ඉල්ලන අතර එම ඉල්ලීම මත සැබෑ දළදාව නොමැති බැවින් කෝට්ටේ ධර්මපාල රජු විසින් දළදා අනුරුවක් නිර්මාණය කර වර්ෂ 1576 දී බුරුමය වෙත යවන ලදී,ඉන් ටික කලකට පසු 1580 වර්ෂයේ දී දොන් ජුවන් ධර්මපාල රජ විසින් කෝට්ටේ දළදා මාළිගාව ඇතුලු සියලු දේපල සහිත කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින් පෘතුගීසීන් වෙත පවරා දුන්නේ ය.බුරුමයට යැවූ මෙම අනුරුව පිළිබඳව පසුව සාකච්ඡා කෙරේ.[විස්තරය 5]

4.කැබලියපොල පුරාණ විහාරය සතුව පවතින දළදා අනුරුව

[සංස්කරණය]

කොළවෙනිගම ලේඛනයට අනුව කෝට්ටේ ධර්මපාල රජ සමයටත් පෙර, එනම් දෙවැනි ජයවීර පරාක්‍රමබාහු රජතුමාගේ (1467-1469) අභාවයෙන් පසු දළදා වහන්සේ අගනුවරින් කොළවෙනිගමටත්, පසුව සත්මලේ ඇල්ල හා රත්මලේ කන්දටත්, අවසානයේ දෙල්ගමු විහාරයටත් වැඩම කරවන ලද බව පෙනේ. දළදා වහන්සේ කොළවෙනිගම වැඩසිටි කාලසීමාවේ එහි ආරක්ෂාව උදෙසා කටයුතු කළ භික්ෂූන් වහන්සේලාට, කන්ද උඩරට පළමුවැනි විමලධර්මසූරිය රජතුමා විසින් දළදා අනුරුව බැගින් ප්‍රදානය කරන ලදැයි කියැවේ. ඒ අනුව කැබලියාපොල සාමණේර තැනට හිමි වූ දළදා අනුරුව කැබලියපොල පුරාණ විහාරය සතුව පවතින දළදා අනුරුව වශයෙන් පිළිගැනේ.

5.දකුණු පළාතේ කසාගල රජමහා විහාරය සතුව පවතින දළදා අනුරුව

[සංස්කරණය]
කසාගල රජමහ මහා විහාරයේ පැරණි ස්තූපය සහ ශිලා ලිපි

මහනුවර යුගයේ නිර්මාණය කළ තවත් දළදා අනුරුවක් දකුණු පළාතේ කසාගල රජමහ විහාරය සතුව පවතී. එකී මාණික්‍යමය දළදා අනුරුව හා එය තැන්පත් කර තිබෙන කරඬුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (1747-1782) විසින් එය පූජා කරන ලදැයි සැලකේ. විහාරස්ථ වාර්ෂික දළදා පෙරහැර පවත්වන්නේ එම දළදා අනුරුව මුල්කොටගෙන ය.

6.වර්ෂ 1817 උඩරට මහකැරැල්ල සමයේ නිර්මාණය කළ දළදා අනුරුව

[සංස්කරණය]

වර්ෂ 1817 උඩරට මහකැරැල්ල ආරම්භ වූ කාලය වන විටත් දළදා අනුරුවක් සකසා තිබූ බව කියැවේ.ඒ නිදහස් අරගලකරුවන් යුධ උපායක් ලෙස භාවිතා කිරීමට ය.නමුත් වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් තේවාව කරන වේලාව අතරතුර සැබෑ දළදා වහන්සේම ලබාගෙන නිදහස් අරගල කරුවන් අතට පත්කළ නිසා දළදා අනුරුව ඒ අවස්ථාවේ භාවිත කළ බවක් නොපෙනේ.නමුත් නැවතත් දළදා වහන්සේ බ්‍රිතාන්‍යයන් යටතටම පත් වී තිබේ.

7.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සඳුන් කල්කයක සටහන් කර තබා ගත් දළදා ලාංඡනය

[සංස්කරණය]

ඉහතින් සඳහන් දළදා අනුරූවලට අමතරව කීර්ති ශ්‍රී රාජසිංහ දවස දළදා වහන්සේගේ ලාංඡනයක් සඳුන් කල්කයක සටහන් කර ගැනීමේ පුවතක් පිළිබඳ තොරතුරු හමු වේ. මහාවංසය හා පුණ්‍යක්‍රියා සන්දේශයේ සඳහන් වන ආකාරයට සියම් උපසම්පදාව පිහිටුවීම සඳහා මෙරටට වැඩම කළ සියම් දූතයන් අතරින් පිරිසක් සියරට බලා පිටත් වූ අවස්ථාවේ රජතුමා විසින් ඔවුන්ට ලබාදුන් ත්‍යාග අතර දළදා ලාංඡනය සහිත සඳුන් කල්කය බහා ඇති කරඬුවක් ඇතුළත් වී තිබේ

මීට අමතරව ලක්දිව තවත් වෙහෙර විහාර කිහිපයක අතීතයේ නිර්මාණය කරන්නට ඇති දළදා අනුරූ අප්‍රකටව වන්දනාවට පාත්‍ර වන බව නම් නිසැක ය.මේ ආකාරයෙන් බැලූ කල ඉතිහාස පුරාවටම වාර්තාගත වූ හා වාර්තාගත නොවූ අයුරින් දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිසත් විවිධ හේතු සඳහාත් දළදා අනුරූ නිර්මාණය කළ බව පෙනෙන අතර අදට ද එසේ දළදා අනුරූ ආරක්ෂාව පිණිස හදසි අවස්ථාවල භාවිතා වන බවට මතයක් ද පවතී.

චීනයට යැවූ දළදා අනුරූ

[සංස්කරණය]

1.මහානාම රජු චීනය වෙත යැවූ දළදා අනුරුව සහ ජෙඩ් ශෛලමය බුද්ධ ප්‍රතිමාව

[සංස්කරණය]

මහානාම රජ දවස(412-434) නැගෙනහිර චීනයේ ක්‍රි.ව. 407-453 අතර කාලයේ ජිං(Jin) රාජවංශයේ- Lin Song/දකුණු Song වංශයේ තුන්වන පාලකයා වූ Yuanjia අධිරාජ්‍යා(Lia Yilong/Emperor Wen of Liuson) විසින් දළදාව ඉල්ලා ඇති අතර එවිට දළදා අනුරුවක් යැවූ බව සදහන් වේ.

Liu Yilong අධිරාජ්‍යා

දළදා අනුරුවක් යැවීමට අමතරව "පියන්-ඉ-ටියන්" චීන ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් පරිදි ක්‍රි.ව. පස්වන සියවසේ මුල් කාලයේදී මහානාම රජු විසින් දූතයන් පිරිසක් චීන රාජ්‍යයට පිටත් කර තිබේ. මෙම දූත පිරිස ඇත්දළ,ඒ ආශ්‍රයෙන් තැනූ භාණ්ඩ සහ මැණික් ආදී වටිනා තෑගි ද ගෙන ගොස් තිබේ. මේ අතර වැදගත්ම ත්‍යාගය ලෙස මහානාම රජු විසින් එවූ අඩි හතරයි අඟල් දෙකක් පමණ උස නීල ගරුඬ(හරිත මිණි) නොහොත් ජෙඩ් ගලින් නෙලන ලද බුද්ධ ප්‍රතිමාවක් ද යවා තිබේ.මෙම බුදු පිළිමය සහ දූත පිරිස චීනයට ගිය කාල වකවානුව වනවිට චීන රාජාවලියේ සඳහන් පරිදි සුන් රාජ වංශය බලය පවත්වාගෙන ගොස් ඇත. චීනයේ "නැන්ජින්(Nanjing)" නුවර එකල අගනගරය ලෙස භාවිතා කළ අතර චීන රජු මෙම බුදු පිළිමය දැක බොහෝ සතුටට පත්ව එම ජෙඩ් ශෛලමය බුද්ධ ප්‍රතිමාව නැන්ජින්(Nanjing) හි "වෝ-කොන් නම් බුද්ධ මන්දිරයේ(Wu-Kon Buddha Temple/Waguan Buddha Temple) තැන්පත් කොට පූජා පැවැත්වූහ. රාජ දූතයන්ට සම්මාන සත්කාර කරිමින් එම දූත පිරිස වසර දහයක් පමණ එහි නවත්වා ගෙන සිටි බව ද ඉතිහාස මූලාශ්‍ර වල දැක්වේ.[38]මහාවංශය තුළ ද මහානාම රජ දවස විශේෂයෙන්ම චීනය ඇතුලු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල්ව පැවති කාලසීමාවක් ලෙස විස්තර කර තිබේ.ඊට අමතරව; ලෝක ප්‍රසිද්ධ චීන ජාතික ෆාහියන් හිමියන් ලක්දිවට පැමිණියේ ද, බුද්ධඝෝෂ හිමියන් හෙළ අටුවා පාලියට පරිවර්තනය කලේ ද මහානාම රජ දවසේ දීමය.

බුද්ධ ප්‍රතිමා 5 ක් සහිත ජෙඩ් බුද්ධ මන්දිරය

2.තුන්වන පරාක්‍රමබාහු රජු චීනයේ කුබ්ලායි ඛාන් අධිරාජ්‍යා වෙත යැවූ දළදා අනුරූ දෙක

[සංස්කරණය]

මාකෝ පෝලෝගේ වාර්තා සහ මහාවංශයේ සඳහන් කරුණු මත පළමු බුවනෙකබාහු රජ (1272-1284) සමයේ දී ආර්යයචක්‍රවර්ති නම් දකුණු ඉන්දීය ආක්‍රමණිකයා යාපහුව රාජධානිය ආක්‍රමණය කර,එවකට යාපහුවේ දළදා මාළිගාවේ වැඩසිටි දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ රැගෙන වර්තමාන තමිල්නාඩුවේ මධුරා නුවර පාලනය කළ පාණ්ඩ්‍ය රජු කුලසේකර වෙත යැවීය.

පළමුවන බුවනෙකබාහු රජුගෙන් පසු තුන්වන පරාක්‍රමබාහු රජ (1287-93) නමින් බලයට පත් ඔහුගේ පුත් රජවීමට ප්‍රථම මධුරා පුරයට ගොස්, කුලසේකර සමඟ කතා කර, දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ නිරුපද්‍රිතව නැවත ලංකාවට වඩමවා ගෙන ආවේය.

මේ සිදුවීම් සිදුවන අතරතුර පළමු බුවනෙකබාහු රජ දවස (ක්‍රි.ව. 1272-1284) Yuan රාජවංශයේ ආරම්භ පාලකයා වූ Eublai Khan චීන අධිරාජ්‍යා(1215-1294) විසින් 1284 දී දළදා වහන්සේ,කේෂ ධාතූන් වහන්සේලා සහ පාත්‍රා ධාතුව ඉල්ලා ලංකාව වෙත දූතයන් එවා ඇති අතර ඒ වනවිටත් දළදාව සහ පාත්‍රා ධාතූන් වහන්සේ තමිල්නාඩුවේ මධුරාව වෙත රැගෙන ගොස් තිබුණු බැවින්, ඒ බව දැනගත් Khan අධිරාජ්‍යා තමිලනාඩුවේ කුලසේකර නම් පාණ්ඩ්‍ය රජු වෙත ද දූතයන් පිටත් කර ධාතූන් වහන්සේල දෙනම ඉල්ලූ නමුත් ඒ දූතයන් පැමිණෙන විට තුන්වන පරාක්‍රමබාහු රජු නැවත ලංකාවට ධාතූන් වහන්සේල වඩමවා ගෙන පැමිණ තිබේ.

Kublai Khan චීන අධිරාජ්‍යා දැක්වෙන සිතුවමක්

පසුව නැවතත් Khan රජු විසින් ලංකාවට පණිවිඩ එවූ අතර ඒ අවස්ථාවේ තුන්වන පරාක්‍රමබාහු රජු විසින් දළදා වහන්සේගේ අනුරූ 2 ක් චීනය වෙත යවා තිබේ.රජු විසින් එම අනුරූ මහත් හරසරින් පිළිගෙන පුදපූජා පැවැත් වූ බව සදහන් වන මුත් පසුව එම දළදාවන්ට කුමක් වූයේදැයි වැඩි යමක් සදහන් නොවේ.[39][40]

බුරුමය වෙත යැවූ දළදා අනුරූ

[සංස්කරණය]

1.මහා විජයබාහු රජු විසින් බුරුමයේ මහා අනවරථ රජු වෙත යැවූ දළදාව

[සංස්කරණය]

පළමුවරට පොළොන්නරුව තම අගනුවර කරගත් පළමුවන විජයබාහු රජ විසින් (ක්‍රි.ව.1055-1110) සොලීන්ගෙන් රට මුදාගෙන රට එක්සේසත් කළ අතර යුද්ධයේ දී හා නැවත මෙරට උපසම්පදාව පිහිටු වීමට උපසම්පදා භික්ෂූන් ලබා දෙමින් ද,ධර්ම පුස්තක හා සුදු ඇත්පැටවෙක් ද ලබාදෙමින් උදව් උපකාර කළ රාමඤ්ඤ රට(බුරුම රටේ කොටසක්) රජු වූ අනුරුද්ධ හෙවත් මහා අනවරථ රජු(ක්‍රි.ව 1044-1077) විසින් ඒ වෙනුවට දළදා වහන්සේ ඉල්ලා සිටියේය.[41]

බුරුමයේ මහා අනවරථ රජුගේ ප්‍රතිමාවක්

විජයබාහු රජු විසින් සැබෑ දළදා වහන්සේ වෙනුවට ඇත්දළින් නිම වූ අනුරුවක් එම රජු වෙත යවා ඇති අතර එය මහත් හරසරින් පිළිගත් මහා අනවරථ රජු විසින් තවත් අනුරූ 4 ක් නිර්මාණය කර තිබේ.[විස්තරය 6]

බුරුමයේ ශ්වෙසිගොන් ස්තූපය

ලංකාවෙන් රැගෙන ආ අනුරුව නිධන් කර බුරුමයේ Nyaung-U හි ශ්වෙසිගොන් ස්තූපය (Shwezigon Pagoda) නිර්මාණය කිරීම ආරම්භ කළ අතර එහි වැඩ නිමවෙන්නේ ඔහුගේ පුත්‍රයා වන ක්යාන්සිථ(Kyansittha) රජ සමයේ එනම් ක්‍රි.ව.1102 දීය.අනවරථ රජු විසින් පළමුවෙන් නිර්මාණය කළ අනුරුව බුරුමයේ ටැන්ගි කන්දේ(Mt.Tangyi) ස්තූපයක් ඉදිකර තැන්පත් කළේය. තවත් අනුරුවක් අයෙයර්වඩි(Ayeyarwaddy) ගං ඉවුරේ Pagan හි ඉදිකරන ලද වර්තමානයේ ලෝකානන්ද ස්තූපය (Lawkananda Pagoda) ලෙස හඳුන්වන ස්තූපයේ තැන්පත් කර ක්‍රි.ව 1059 දී නිර්මාණය කර අවසන් කළේය. ඉතිරි අනුරූ දෙක ටුයිවින් කන්දේ(Mt.Tuywin) සහ පියෙක් කන්ද(Mt.Pyek නැතහොත් Mt.Pyektaung) මත ඉදිකරන ලද ස්තූපවල තැන්පත් කරන ලද බව සඳහන් වේ.

බුරුමයේ Pagan හි ලෝකානන්ද ස්තූපය

මේ පිළිබඳව බුරුම රට Chronicle of Glass Palce ආදී වංශ කතා වල සදහන් වුවත් මහාවංශය තුල සදහන්ව නොමැත.මහාවංශය තුළ සදහන්ව ඇත්තේ බුරුමයේ රාමඤ්ඤ රටින් උසම්පදාව රැගෙන පැමිණීම පිළිබඳව පමණකි.[42]

බුරුම රජවරුන්ගේ Glass Palce වංශකතාව

2.හයවැනි බුවනෙකබාහු රජ සමයේ බුරුමයේ ධම්මචේතිය රජුට යැවූ අනුරුව

[සංස්කරණය]

හයවැනි බුවනෙකබාහු රජ සමයට අදාළව ය. බුරුමයේ හංසවතී රාජධානියේ සිට උපසම්පදාව ලබාගැනීම සඳහා බුරුම භික්ෂූන් කණ්ඩායමක් ලක්දිවට වැඩම කළ පුවතක් එරට කල්‍යාණි ශිලාලේඛනවල සඳහන් වේ. උන්වහන්සේලා උපසම්පදාව ලබා නැවත සියරට බලා පිටත්වීමට පෙර හයවැනි බුවනෙකබාහු රජතුමා (1470-1478) විසින් හංසවතියේ(Hanthawaddy) ධම්මචේතිය/ධම්මසෙඩි(Dhammazedi) රජතුමාට(1471–1492) වන්දනා කිරීම සඳහා දළදා අනුරුවක් පිරිනැමූ බව එහි වැඩිදුරටත් දැක් වේ. පුෂ්පරාග හා දියමන්තිවලින් සරසා තිබූ එකී දළදා අනුරුවේ විශේෂත්වය නම් එය තම පියරජතුමා වූ පරාක්‍රමබාහු රජතුමා (හයවැනි පරාක්‍රමබාහු) වන්දනාමාන කළ එකක් යැයි හයවැනි බුවනෙකබාහු රජතුමා සඳහන් කර තිබීමයි. මීට අමතරව දළදා වහන්සේගේ ආලේප කළ සඳුන් සුණු කරඬුවක් ද බුරුම භික්ෂූන්ට හිමිව තිබේ.[43][44]

2.දොන් ජුවන් ධර්මපාල රජු විසින් බුරුමයේ බයින්නෞන්ග් රජු වෙත යැවූ අනුරුව

[සංස්කරණය]

වර්ෂ 1551 දී බුරුමයේ රජ පැමණි Bayinnaung රජු(1551-1581) ද දළදාව වෙත මහත් ගෞරව භක්ත්‍යාදරයක් දැක්වූ තවත් විදේශ රජ කෙනෙකි.එය කෙතරම් ද කිවහොත් වරක එතුමා තමන්ගේ සහ තම අගමෙහෙසියගේ හිසකෙස් මගින් නිර්මාණය කළ දූවිලි පිසිනයක් පවා කෝට්ටේ දළදා මාළිගාව වෙත එවා තිබුණි.ඊට අමතරව කෝට්ටේ දළදා මාළිගාව වෙත විශේෂ පූජාවන් කිහිපයක් හා දළදා මාලිගාව අලංකාර කිරීම උදෙසා මියන්මාර ශිල්පීන් ද එවා තිබේ.

හත්වන බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසු වර්ෂ 1551 දී ම(Bayinnaung රජු බවට පත් වූ වර්ෂයේදී ම) පෘතුගීසි උපකාර ද මත කෝට්ටේ රජ බවට පත්වන දොන් ජුවන් ධර්මපාල රජ සමයේ දී එවකට දළදාව බාර හිරිපිටිය ඒකනායක දියවඩනරාළ විසින් දළදාව දෙල්ගමුවට වැඩම කර ඇති අතර අනුරූ දළදාවක් වීදිය බණ්ඩාරට ලබා දී තිබේ.කෙසේ නමුත් හිරිපිටිය රාල තවත් අනුරුවක් කෝට්ටේ දළදා මාළිගාව තුළ ද තැන්පත් කර තිබේ.(සමහර මූලාශ්‍ර වල වීදිය බණ්‌ඩාර සතුව අනුරුවක් තිබූ බව දැක්වේ,තවත් මූලාශ්‍ර වල වීදිය බණ්‌ඩාර කෝට්ටේ දළදා මැදුරේ තිබූ අනුරුව රැගෙන ගිය බව දැක්වේ)මේ අතර වීදිය බණ්‌ඩාර වර්ෂ 1555 දී යාපනය වෙත දළදාව(අනුරූ) සමග පලා ගිය අතර එහි දී යාපනය රජු වූ පළමුවන සංකිලි රජු සමඟ ඇති වූ සටනකින් වීදිය බණ්‌ඩාර මිය ගිය පසු දළදාව යාපනය රජු අතට පත් විය.පසුව මේ කාලයේ ම පෘතුගීසින් විසින් යාපනය ආක්‍රමණය කළ අතර මේ දළදාව සෑබෑ දළදාව යැයි සිතූ පෘතුගීසින් විසින් එය ලබා ගෙන ගෝව වෙත පිටත් කර හැර තිබේ.

මේ බව දැනගත් බුරුම රජ Bayinnaung(1551-1581) ගෝව වෙත රත්‍රං සහ තුටු පඬුරු යවමින් දළදාව ඉල්ලා ඇති මුත් 1563 දී පෘතුගීසින් විසින් සෑබෑ දළදාව යැයි සිතා මෙම දළදා අනුරූව පුළුස්සා විනාශ කර තිබේ.නමුත් මේ බවක් ද නොදන්නා දොන් ජුවන් ධර්මපාල රජ ඒ වන විටත් කෝට්ටේ දළදා මැදුර තුළ තැන්පත් කර තිබූ දළදා අනුරුව සැබෑ දළදාව බවට විශ්වාස කළේ ය.පසුව පෘතුගීසින් ද කෝට්ටේ හි තවමත් දළදාව වැඩ සිටිති යැයි විශ්වාස කරන්නට ඇත.නැවත 1970 දශකයේ මැදභාගයේ දී Bayinnaung රජ විසින් විවාහ වීමට කුමරියක් හා දළදාව නැවත ඉල්ලූ අතර මෙය දළදා අනුරුවක් යැයි නොදන්නා දොන් ජුවන් ධර්මපාල රජ විසින් තම දියණියක වශයෙන් හදාගවඩාත් කුමාරිකාවක් එම දළදාවත්,පාත්‍රා ධාතුවත් යැයි සලකන පූජා වස්තුවක්(එය ද අනුරුවක් විය හැක) විවාහ ත්‍යාග ලෙස වර්ෂ 1576 දී බුරුමය වෙත පිටත් කර තිබේ.[විස්තරය 7]

මෙය ද දළදා අනුරුවක් බව නොදන්නා Bayinnaung රජු ද මේ සියලු වස්තු මහත් හරසරින් පිළිගෙන එම දළදාව තැන්පත් කර බුරුමයේ Pegu(Bago) නුවර මහාචේති ස්තූපය හෙවත් මහාසෙඩි ස්තූපය (Macheti Pagoda/Mahazadi Pagoda) නමින් ස්තූපයක් ශ්‍රී ලංකාවේ ස්තූප ආකෘතියට අනුව වර්ෂ 1559 නොවැම්බර් මස ඉදිකිරීම් ආරම්භ කොට මාස 6 ක් වැනි කෙටි කාලයකින් වර්ෂ 1560 මැයි මස වැඩ අවසන් කරනු ලැබීය.[45]

Bago හි මහාසෙඩි හෙවත් මහාචේති ස්තූපය

නමුත් මීළඟට රජ පැමිණි Anaukpetlun රජ විසින් වර්ෂ 1599 දී Bago හි එම ස්තූපයේ තැන්පත් කර තිබූ දළදාව,පාත්‍රා ධාතු කොටස ඇතුලු නිධන් වස්තු Taungoo නුවර වෙත ගෙන ගියේ ය.වර්ෂ 1636 දී Thalun රජ(1629-1648) විසින් නැවත එම ධාතූන් Inwa නුවර වෙත රැගෙන ගිය අතර පසුව එම අනුරූ දළදාවත්,පාත්‍රා ධාතුව යැයි ලෙස සැලකෙන පාත්‍රයත් ඊට අමතරව කේශ ධාතූන් වහන්සේල 11 නමක් සහ වෙනත් ධාතූන් වහන්සේලා ද නිධන් කරමින් රුවන්වැලි මහා සෑය ආකෘතික කොට ලංකාවේ ස්තූප ආකෘතියට අනුරූප අයුරින් මහා යසමුණි චූල ස්තූපය(Maha Yaza Mani Sula Pagoda) හෙවත් කෞංමුඩාව් ස්තූපය(Kaunghmudaw Pagoda) නමින් ස්තූපයක් Sagaing නුවර නිර්මාණය කිරීම ඇරඹීය. වර්ෂ1636 ජූලි මස 23 වන දින ඇරඹි එම කටයුතු වර්ෂ 1648 මැයි මස 17 වන දින අවසන් කරනු ලැබීය.[46][47]

Kaunghmudaw ස්තූපය

තායිලන්තයේ දළදා අනුරූ

[සංස්කරණය]

දළදා අනුරූ පිළිබඳව විද්වත් මත

[සංස්කරණය]

වෙනත් ලිපි

[සංස්කරණය]

වැඩිදුර අධ්‍යයනයට

[සංස්කරණය]
  • මහාවංශය
  • ධාතුවංශය
  • දාඨාවංශය
  • සිරි දළදා සිරිත

උපුටාගැනීම්

[සංස්කරණය]
  1. ^ විජේරත්න 2016, p. 19: ගාන්ධාර දේශයට(වර්තමාන ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයට) වැඩමවන ලද දළදා වහන්සේ තැන්පත් කළ දාගැබ එකී දේශයේ නගරාහර නම් නුවර දී දුටු බව ක්‍රි.ව.පස්වන සියවසේ ඉන්දියාවේ සංචාරයක යෙදුණු පාහියන් තෙරහු සඳහන් කරති.ඉන්දියාවේ උත්තර සීමාවෙහි,"හිංගල" නම් ගමෙහි බුදුන් ගේ දන්ත ධාතුවක් පවත්නා බැව් තිබ්බතයෙහි ඓතිහාසික වාර්තාවල සඳහන් වේ.ගාන්ධාර දේශයෙහි(කන්දහාර්)හිංගල නම් පෙදෙසක් ඇති බවත් එය වර්තමානයේ සින්ග්ලිප්(Singlip) නමින් හැදින්වෙන බවත් ටොලමිගේ සිතියමේ එය Singala යයි දක්වා ඇති බවත් දැක්වේ.මෙහි යථෝක්ත දළදා වහන්සේ නිදහන් කළ චෛත්‍යය පිහිටා ඇතැයි සිතිය හැකි ය.
  2. ^ නිකලස් 1979, p. 42: At the neighbouring Somavati Cetiya theගre is an inscription recording the foundation of the Vihara, which is named Pajini-Nakala-araba-vihara, by the prince Nakala, son of king Mahallaka Naga (136-143) : another, later inscription of the Kanittha Tissa at the site names the Cetiya, Mani- agaya-cetiya. The present name and so-called traditions about this site are therefore spurious.
  3. ^ පරණවිතාන 2001, p. 39: The inscription found on the pavement of the Somavati, when it refers to the foundation of a Vihara, must mean establishment of which that stupa is the centre. When it is admitted that the religous establishment at the place was founded by the son of a king who ascended the throune in 9 A.C., the bliefs held by many Buddhists of ceylon that this Dagaba was built in the second century B.C. by a contemporary of Kakavanna Tissa, have to be regarded, as C.W. Nicholas has done, as having no historical basis. apart from the efidence furnished by this inscription against the credibility of this belief, the account in the Dhatuwamsą, on which the belief is based, is concerned with a Stupa in Rahana and the Stupa now called Somavati is not in Rohana, but in the Rajarattha.
  4. ^ මේධානන්ද හිමි 2014, p. 34: දැනට පොලොන්නරුව දිසාවේ සුංගාවිලට සැතපුම් හයක් පමණ දුරින් මීන්විල විල්ලුවේ කෙළවරට වන සේ පිහිටි ස්තූපයක් සහිත නටබුන් පුදබිමක් ද කාලයක සිට සෝමාවතිය ලෙස සලකා ඇති බව මුලින් සඳහන් කර ඇත.මෙහි ගරා වැටී තිබූ සෑය පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණ කරන ලදී.මෙහි ද විවධ ආරාම ගොඩනැගිලි දක්නට ලැබේ.මේ ස්ථානයෙන් හා මීන්විල විල්ලුව පිහිටි ගල් තලයෙන් ද(එරික් ස්වෝන්)ලැබුණු සෙල්ලිපි පහක් තිබේ.මේ ලිපි වල මහා චූලික මහා තිස්ස රජුගේ පරපුරේ සමාජිකයන් ගැන සඳහන් කෙරෙයි.ඉන් එක ලිපියක ස්ථානයේ පජින නකල අරම(ප්‍රාචීන නාගාරාමය)වශයෙන් ද තවත් ලිපියක "මණි අගිය රජ මහ විහර"(මණිඅග්ගික රාජ මහා විහාරය)වශයෙන් ද සදහන් වේ.
    මෙයින් පැරණිම ලිපිය ක්‍රි.ව.9-21 අතර රජ කළ මහාදාඨික මහා නාග රජුගේ යුගයට අයත් ලිපියයි.ඒ ලිපිය අනුව මේ ආරාමය තානා ඇත්තේ එතුමාගේ පුත්‍රයකු වූ එහෙත් වංශකතාවේ නොදැක්වෙන නකල නම් කුමාරයෙකු විසිනි.සෝමා දේවිය නමින් කර වූ සෝමාවතී විහාරය මෙය නම් එය කරවා ශත වර්ෂ දෙකක් පමණ යාමට පෙර එය අමතක වීමට හෝ හේතුවක් තිබිය යුතුය.එබඳු හේතුවක් ද නොපෙනෙන බැවින් හා ගඟේ ද ගමන් මඟ වෙනස් වීම පිළිගත්ත ද නියම සෝමාවතිය මෙය නොවන බව පැැහදිලි වේ.

පැහැදිලි කිරීම්

[සංස්කරණය]
  1. ^ දඹදිව සිට ලක්දිව මාගම ප්‍රදේශයට ලලාට ධාතූන් වහන්සේ වැඩමවාගෙන පැමිණි මහරහතන් වහන්සේ වේ.
  2. ^ ද්‍රෝණ බමුණා රන් දෙනෙ විවිර කරනවිට බුදුරදුන්ගේ ශිර්ෂය පෙදෙසේ සිටි බව සිතිය හැක,මන්ද යත් රන් දෙන විවර කළ වහාම රජවරු හඩාවැලපෙන්නට පටන්ගත් මොහොතේ පළමු කොට දළදා වහන්සේලා සඟවා ගත් බව දැක්වෙන බැවිනි.ඒ අනුව ශීර්ෂය අසළ සිටි ද්‍රෝණ බමුණා ප්‍රථමයෙන්ම සඟවා ගත් බවට සදහන් වන්නේ ද මේ තව්තිසා දෙව්ලොව දකුණු දළදාවයි.එසේ පලමුව ඉක්මනින්ම ලබා ගැනීමට නම් ද්‍රෝණ බමුණාට වඩාත් ළඟින්,රන් දෙන තුළ තිබූ දළදාව විය යුත්තේ උඩු දකුණු දළදාව බවට සීතිමේ ගැටලුවක් නොමැත
  3. ^ කිරින්දෙන් හමු වූ ටැම් ලිපිය තුළ සදහන් වන්නේ යටි වම් දළදාව නිධන් කළ තිස්සමහාරාම නම් ස්ථූපයක් පිළිබඳව ය.මේ ලිපිය නිසා සමහරු වර්තමානයේ තිස්සමහාරාමය ලෙස හදුන්වන ස්තූපයේ ද දළදාවක් නිධන් කර ඇති බවට විශ්වාස කළ ද එය සාවද්‍ය බවත්,වර්තමානයේ තිස්සමහාරාමය ලෙස හදුන්වන විහාරය "නාග මහා විහාරය" ලෙස හදුන්වන විහාරයක් වන බවට එම විහාර භූමියෙන් හමු වූ සෙල්ලිපිවල දැක්වෙන බවත්,එම විහාරය තිස්සමහාරාමය ලෙස හදුන්වා දීම ද උචිත නොවන බවත්,කාවන්තිස්ස රජු විසින් ඉදිකළ තිස්සමහාවිහාර දෙකෙන් දකුණු පළාතේ ඉදිකළ තිස්සමහාරාමය යටාල වෙහෙර බවත්,දළදා වෙහෙර ලෙස හදුන්වන්නේ ද එම විහාරය බවත් මහාචාර්ය රාජ් සෝමදේව ඇතුලු පුරාවිද්‍යාඥයන් මත පළ කරයි.
  4. ^ සමහර මූලාශ්‍ර තුල වීදිය බණ්‌ඩාර සතුව ඔහු වැදුම් පිදුම් කල අනුරුවක් ලෙසත්,සමහර අවස්ථාවල හිරිපිටිය රාළ දළදාව රැගෙන දෙල්ගමුවට යනවිට වීදිය බණ්‌ඩාරට ලබා දුන් අමතර අනුරුවක් ලෙසත් දැක්වේ.කෙසේ නමුත් ඔහු අනුරුව ද යාපනය වෙත පළා යන විට රැගෙන ගිය බව දැක්වේ
  5. ^ ධර්මපාල රජු බුරුමය වෙත යවන ලද්දේ කිනම් අනුරුව ද යන්න නිශ්චිතව හදුනාගත නොහැක,සමහර මූලාශ්‍ර වල කෝට්ටේ මාලිගාවේ හිරිපිටිය රාල තබා ගිය අනුරුව වීදිය බණ්‌ඩාර රැගෙන ගිය බව දැක්වෙන බැවින් ධර්මපාල රජු විසින් අනුරුවක් නිර්මාණය කර බුරුමය වෙත යැවූ බව දැක්වේ.සමහර මූලාශ්‍ර තුල වීදිය බණ්‌ඩාර සතුව අනුරුවක් තිබූ බවත් සමහර මූලාශ්‍ර වල හිරිපිටිය රාල ම වීදිය බණ්‌ඩාර වෙත එම අනුරුවක් දුන් බවත් දැක්වෙන නිසා එවිට වීදිය බණ්‌ඩාර මාලිගාවේ අනුරුව නොගෙනගිය බැවින් නම් ධර්මපාල රජු බුරුමය වෙත යැවූයේ මාලිගාවේ අනුරුව යැයි ද විස්තර වේ.
  6. ^ ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද දළදා අනුරුවට සමාන අයුරින් රජුගේ ප්‍රාර්ථනාවක් මත මෙම ඉතිරි අනුරූ නිර්මාණය වූ බව බුරුම වංශ කතා පැහැදිලි කරයි.
  7. ^ ධර්මපාල රජු බුරුමය වෙත යවන ලද්දේ කිනම් අනුරුව ද යන්න නිශ්චිතව හදුනාගත නොහැක,සමහර මූලාශ්‍ර වල කෝට්ටේ මාලිගාවේ හිරිපිටිය රාල තබා ගිය අනුරුව වීදිය බණ්‌ඩාර රැගෙන ගිය බව දැක්වෙන බැවින් ධර්මපාල රජු විසින් අනුරුවක් නිර්මාණය කර බුරුමය වෙත යැවූ බව දැක්වේ.සමහර මූලාශ්‍ර තුල වීදිය බණ්‌ඩාර සතුව අනුරුවක් තිබූ බවත් සමහර මූලාශ්‍ර වල හිරිපිටිය රාල ම වීදිය බණ්‌ඩාර වෙත එම අනුරුවක් දුන් බවත් දැක්වෙන නිසා එවිට වීදිය බණ්‌ඩාර මාලිගාවේ අනුරුව නොගෙනගිය බැවින් නම් ධර්මපාල රජු බුරුමය වෙත යැවූයේ මාලිගාවේ අනුරුව යැයි ද විස්තර වේ.කෙසේ නමුත් මේ පිළිබඳව පැහැදිලි තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් තවදුරටත් මූලාශ්‍ර අධ්‍යයනය යෝග්‍ය බවට යෝජනා කෙරේ
  1. ^ විදානපතිරණ 2008, පිටු අංකය: 34.
  2. ^ විදානපතිරණ 2008, පිටු අංක: 34,35.
  3. ^ විදානපතිරණ 2008, පිටු අංකය: 35.
  4. ^ විජේරත්න 2016, පිටු අංකය: 19.
  5. ^ "දළදා වහන්සේ වැඩසිටි කාලිංගයේ දන්තපුරය".
  6. ^ විදානපතිරණ 2008, පිටු අංක: 39,40.
  7. ^ විදානපතිරණ 2008, පිටු අංකය: 38.
  8. ^ ධාතු විස්තරය 2008, පිටු අංකය: 38.
  9. ^ a b "Buddha's tooth relic stupa celebrates 60th anniversary in Beijing". China Daily (ඉංග්‍රීසි බසින්). 21 ජූනි 2024. සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  10. ^ Mir, Asim (25 මාර්තු 2022). "Buddha relics on display at Taxila Museum". Tribune (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  11. ^ Hussain, Waqar (1 දෙසැම්බර් 2013). "BUDDHA'S TOOTH RELIC FOUND IN DIR MUSEUM, PAKISTAN". Hamari Web (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  12. ^ විදානපතිරණ 2008, පිටු අංකය: 37.
  13. ^ "විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි කිහිපයක්". හිරු ප්‍රවෘත්ති. 19 ජූලි 2020. සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  14. ^ "බුදුහිමියන්ගේ දකුණු දළදා වහන්සේ නිධන් කළ බවට සැලකෙන ස්ථූපයක්". අද දෙරණ. 19 ජූලි 2020. සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  15. ^ විජේරත්න 2016.
  16. ^ විදානපතිරණ 2008, පිටු අංකය: 36.
  17. ^ විජේරත්න 2016, පිටු අංක: 20,21.
  18. ^ Hao, Li (20 ජූනි 2024). "Celebration event held at Lingguang Temple in Beijing to commemorate 60th Anniversary of Tooth Relic Pagoda". Global Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 ජූලි 2025.
  19. ^ Baquet, James (9 ජුලි 2011). "No. 48: Lingguang Temple, Beijing". China's Key Temples (ඉංග්‍රීසි බසින්). The Temple Guy. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  20. ^ "MINISTER OF BUDDHIST AFFAIRS PAY HOMAGE TO BUDDHA RELICS IN CHINA". ශ්‍රී ලංකා-චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  21. ^ a b විදානපතිරණ 2008, පිටු අංකය: 41.
  22. ^ "Buddha Tooth Relic Temple & Museum". Chinatown Singapore. සම්ප්‍රවේශය 30 ජුලි 2025.{{cite web}}: CS1 maint: url-status (link)
  23. ^ a b Chua, Alvin. "Buddha Tooth Relic Temple and Museum". සිංගප්පූරු ජාතික පුස්තකාල මණ්ඩලය. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  24. ^ "Buddha Tooth Relic Temple and Museum in Singapore". As We Saw It. 19 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  25. ^ "Buddha's tooth relic". Fo Guang Shan Buddha Museum (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  26. ^ "DISCOVER THE SERENITY OF TAIWAN'S LARGEST BUDDHIST COMPLEX". Get me to Taiwan (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  27. ^ "Engaku‑ji Temple in Kamakura: Zen Heritage & National Treasures on a Hillside Oasis". Ashigaru Kumakichi (ඉංග්‍රීසි බසින්). 7 ජුලි 2024. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  28. ^ "Engaku-ji Temple". Kamakura Guide (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  29. ^ බීල් (1884).
  30. ^ බණ්ඩාර, කැළුම් (25 අප්‍රේල් 2025). "Taxila stands with Dalada Maligawa in housing the Lord Buddha's Sacred Relic". Daily Mirror (ඉංග්‍රීසි බසින්). සී/ස විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  31. ^ "Archaeologists grapple with 'Buddha's tooth'". Dawn (ඉංග්‍රීසි බසින්). 18 ජනවාරි 2011. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  32. ^ පාන්ඩේ, සාහිර් (8 සැප්තැම්බර් 2022). "Rescued From A Dam: Nagarjunakonda, India's Flooded Buddhist Center". Ancient Origins. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  33. ^ නවරෝ, හෙදර් (1 අප්‍රේල් 2013). "No April Fools': Followers Claim Rare Buddha's Tooth With Healing Powers Continues to Grow". NBC Los Angeles. සම්ප්‍රවේශය 30 ජුලි 2025.
  34. ^ "දළදා වහන්සේ වැඩමෙව් සමන් දේව පෙරහැර".
  35. ^ "සීතාවකින් මහනුවරට දළදා වහන්සේ මහනුවරට වැඩම කළේ කවුද?".
  36. ^ "කෝට්ටේ කලාලේ දත මැදගන්න රාළේ - කුරහන් ගලක දළදාව සැගවූ අඳුරු යුගයක කතාව".
  37. ^ ""The Buddha's Tooth: Western Tales of a Sri Lankan Relic" by John S Strong".
  38. ^ https://seneviruwan.blogspot.com/2017/09/blog-post_21.html
  39. ^ "History of Sri Dalada Maligawa, Temple of the Sacred Tooth Relic, Kandy". දළදා මාලිගාව. සම්ප්‍රවේශය 2025-08-15.
  40. ^ https://www.lankaweb.com/news/items/2020/04/29/the-tooth-relic-of-sri-lanka/?
  41. ^ ඤාණානන්ද 2019, පිටු අංක: 283.
  42. ^ Manjula, H.A.K.L. (2022-06-30). "Lawkananda Pagoda". Lankapradeepa - Gateway to Sri Lanka (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-08-15.
  43. ^ "History of Kelaniya Raja Maha Vihara".
  44. ^ "KALYANI ORDINATION HALL, PEGU".
  45. ^ "Mahazedi Pagoda Bago - Pagoda of the Buddha tooth relic". renown-travel.com. සම්ප්‍රවේශය 2025-08-15.
  46. ^ "Kaung Mutaw Pagoda – Asia Blossom". myanmarblossom.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-08-15.
  47. ^ "Myanmar and its many connections to the Sacred Tooth Relic of Kandy".

මූලාශ්‍ර

[සංස්කරණය]
  • විදානපතිරණ, ගයාන් චානුක (2008). ධාතු විස්තරය. දයාවංශ ජයකොඩි සහ සමාගම. ISBN 978-955-551-622-8.
  • විජේරත්න, එම්.ඩබ්ලිව්.විමල් (2016). දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝම නුවර සහ සෝමාවතී විහාරය. සී/ස ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම. ISBN 978-955-30-7385-3.
  • නිකලස්, සී. ඩබ්ලිව්. (1979). පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. Translated by ජයවර්ධන, සෝමපාල. තිසර ප්‍රකාශකයෝ.
  • පරණවිතාන, සෙනරත් (2001). Inscriptions of Ceylon, Volume II Part II (ඉංග්‍රීසි බසින්). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ISBN 9789559264057.
  • මේධානන්ද හිමි, එල්ලාවල (2014). සැඟවුණු ඓතිහාසික පුදබිම්. දයාවංශ ජයකොඩි සහ සමාගම. ISBN 9789556862256.
  • බීල්, සැමුවෙල් (1884). Buddhism in China (ඉංග්‍රීසි බසින්). ඊ. සහ ජේ.බී. යං සහ සමාගම.
  • ඤාණානන්ද, කිරිබත්ගොඩ (2019). මහාවංශය 2. මහාමේඝ ප්‍රකාශකයෝ. ISBN 978-955-687-182-1.

බාහිර සබැඳි

[සංස්කරණය]