ශ්‍රී ලංකාවේ ඇත්දත් කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බුද්ධ ප්‍රතිමාවක්, 18වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.
ඇත්දත් පනාවක්, 18වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

ශ්‍රී ලංකාවේ පැවති පාරම්පරික කලා කර්මාන්ත අතුරින් එකකි, ඇත්දත් කලාව. ශ්‍රී ලාංකික ඇත්දත් කැටයම් කලාවට දීර්ඝ ඉතිහාසයක් ඇති නමුත්, එහි ආරම්භය කෙදින සිදුවී දැයි නිශ්චිත නැත. [1] මහනුවර යුගයේ දී ඇත්දත් කැටයම් කලාව බෙහෙවින් ප්‍රචලිතව පැවතිණි. ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ගේ අතිශය සියුම් නිර්මාණ කුසලතාව මෙම ඇත්දත් නිර්මාණ මගින් පැහැදිළි වේ.

ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ඇත්දත් කැටයම් කලාව ක්‍රි.පූ. පළමුවන සියවස තෙක් දිවෙන්නේ යැයි විශ්වාස කෙරේ.[1] අනුරාධපුර රාජධානි යුගයේ විසූ ජෙට්ඨතිස්ස රජු ඇත්දත් කර්මාන්තයට බෙහෙවින් අනුග්‍රහ දැක්වූ බැව් පැවසේ. [2] වර්තමානයේ දක්නට ඇති බොහෝ ඇත්දත් කැටයම් මහනුවර යුගයට අයත් වුවත්, ශ්‍රී ලංකාවේ ඇත්දත් කර්මාන්තය අනුරාධපුර යුගයේ ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවෙන් දැනට හමුවූ පැරණිතම ඇත්දත් නිර්මාණය ලෙස සැලකෙන්නේ රුවන්වැලිසෑයේ දකුණු වාහල්කඩේ කැනීම්වලින් හමුවූ ඉණෙහි මුතුපොටක් පැළඳ සිටින ස්ත්‍රී රුවයි.[1] පොළොන්නරු යුගයේ දී මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලද ඇත්දත් කැටයම්වලින් අලංකාර කළ ගරාදි සහිත උද්‍යානයක් පිළිබඳ මහාවංසයේ සඳහන් වේ. [3]

ඇත් දළ සොයාගැනීමට ඇති විරළ භාවය හේතුවෙන්, අතීතයේ ඇත්දත් නිර්මාණ ළඟ තබාගැනීම ගෞරවයක් සේ සැලකිණි. රජවරුන්ට, විදෙස් තානාපතීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රදානය කිරීම සඳහා මෙසේ ඇත්දත් නිර්මාණකරණය සිදුවන්නට ඇත.[1]

නිර්මාණකරණය[සංස්කරණය]

ඇත්දළෙන් නිර්මාණය කළ අවානක මිටක්, 18වන සියවස. මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

ඇත්දත් නිර්මාණකරණය ප්‍රධාන පියවර දෙකකින් යුක්ත වේ: එනම් ලියවීම සහ කැටයම් කිරීම වේ.[3]

ලියවීමේ දී මුලින්ම කියතක් ආධාරයෙන් ඉරාගන්නා ලද ඇත්දළ පට්ටලයක් භාවිතයෙන් හැඩගන්වා විවිධ ශාක යුෂ වර්ග භාවිතයෙන් මෘදු බවට පත්කිරීම සිදු විය. මෙහි දී සරල දැව ලියවන පට්ටලයක් භාවිතා කෙරේ.[3] අනතුරුව කැටයම් කිරීම සිදු විය. කැටයම්කරණය සඳහා පිළිකටුව, කියත, රාස්කුව, පුල්ලෝරාව, තොරපනය, කුඩා නියන සහ දඬු අඬුව වැනි උපකරණ ගණනාවක් භාවිතා විය.[1] පසුව සීන්නක්කාරම් නිර්මාණය මත අතුල්ලා පිරිමැදීම මගින් මටසිලුටු භාවය ලබා ගනියි. මෙසේ නිර්මාණය කරනු ලබන ඇත්දත් නිර්මාණයේ සිදුරු තිබේ නම් ලාක්ෂා ආධාරයෙන් ඒවා වසාදැමීම සිදු විය.[1] අනතුරුව රතු, කහ, කළු වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් තනාගන්නා වර්ණ සමග ඛනිජ සහ මැලියම් මිශ්‍රණයක් භාවිතා කොට භාණ්ඩයේ අවසන් නිමාව ලබා ගැනේ.

මෙසේ ඇත්දත් භාවිතයෙන් නිර්මාණය කරගන්නා භාණ්ඩ අතරට වළලු, විජිණිපත් මිටි, කරඬු, පිහි මිටි, පනා, හෙප්පු, කන්හැඳි, මංජුසා, හොරණෑ, කර්ණාභරණ, ග්‍රීවාභරණ, දොර උළුවහු, අලංකරණ තහඩු සහ ක්‍රීඩා භාණ්ඩ වැනි එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩ මෙන්ම, බුද්ධ ප්‍රතිමා, මිනිස් රූ වැනි නිර්මාණ ද වේ.[3]

මෝස්තර[සංස්කරණය]

ඇත්දත් කැටයම්කරණයේ දී භාවිතා වන මෝස්තර ප්‍රධාන ආකාර තුනක් වේ.[1] ඒවා නම් සත්ත්ව රූප, මිනිස් රූප සහ මල්කම් ලියකම් යන මෝස්තරයි. මෙහි දී ප්‍රධාන වශයෙකන්ම පලා පෙති, කුන්දිරක්කන්, නාරිලතාව, භේරුණ්ඩ පක්ෂියා, මකරා, කිඹිසි මුහුණ, පනා, නළඟන වැනි මෝස්තර භාවිතා කොට ඇත.

නිදසුන්[සංස්කරණය]

රිදී විහාරයේ ඇති පංච නාරි ඝටය.
රජකු නිරූපිත ප්‍රතිමාවක්, මුල්කාලීන 19වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

ශ්‍රී ලංකාවේ ඇත්දත් කැටයම් කලාවේ අනර්ඝතම නිර්මාණය ලෙස සැලකෙන්නේ, කුරුණෑගල රිදී විහාරයේ උළුවස්සේ ඇති ඇත්දත් කැටයම් ය. ‍මෙහි සියුම් අයුරින් කැටයම් කළ අලංකාර පංචනාරි ඝටයක් සහ නළඟන රූ දෙකක් දැකගත හැකි ය. එහිම බරාඳයේ දොරටුවෙහි ගජසිංහ කැටයමක් දැකගත හැක. [3] එසේම ඇත්දත් නිර්මාණ දළදා මාලිගාවේ උඩ මාලයේ උළුවස්සේ ද දක්නට ලැබේ.[1]

මහනුවර යුගයට අයත් අලංකාර ඇත්දත් කැටයම් සඳහා නිදසුන් ගණනාවක් කොළඹ ජාතික කෞතුකාගාරය සහ මහනුවර ජාතික කෞතුකාගාරය යන කෞතුකාගාරවල දැකගත හැක.[1] මේ අතුරින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති විතර්ක මුද්‍රාවෙන් යුත් ඇත්දළ බුද්ධ ප්‍රතිමාව විශිෂ්ඨ ගණයේ ශ්‍රී ලාංකීය ඇත්දළ නිමැවුමක් ලෙස සැලකිය හැක. [4] ශ්‍රී ලංකාවේ කෝට්ටේ රාජධානි යුගයට අයත් අනර්ඝ ඇත්දත් කැටයමක් වර්තමානයේ ජර්මනියේ මියුනික් රෙසිඩන්ස්හි ප්‍රදර්ශනයට තබා ඇත. මෙම ඇත්දත් මංජුසාවෙහි ධර්මපාල රජුගේ රාජාභිෂේකය කැටයම් කොට ඇත.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 එච්. ඩබ්. කුමාරතුංග (2002). "මධ්‍යකාලීන මහනුවර යුගයේ පාරම්පරික කලා කර්මාන්ත". චිත්‍ර කලාව 1. එස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 9552054788. 
  2. රංජිත් හේවගේ (2012). "සීතාවක රාජසිංහ රජුට අයත් ඇත්දළ තරාදිය". විස්මිත අතීත උරුමයන්. සුසර ප්‍රකාශකයෝ. ISBN 9789556761658. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 සනත් ධර්මබන්දු (2011). "ශ්‍රී ලංකාවේ කලා කර්මාන්ත". චිත්‍ර හා මූර්ති කලාව. සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම. ISBN 955211571X. 
  4. රංජිත් හේවගේ (2012). "විතර්ක මුද්‍රාව නිරූපිත ඇත්දළින් බුදු පිළිම වහන්සේ". විස්මිත අතීත උරුමයන්. සුසර ප්‍රකාශකයෝ. ISBN 9789556761658. 
  5. "Treasury – Picture Gallery: Chest". Bayerische Schlosserverwaltung. සම්ප්‍රවේශය 17 November 2017.