විකිපීඩියා:තෝරාගත් ලිපිය/02

විකිපීඩියා වෙතින්

අංගම්පොර සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මුලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත (ඉලංගම්) හා රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ මායා අංගම් නැමති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොට සුදු සරමක් හඳියි.


මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසු දැයි පරීක්ෂා කොට තෝරා ගනු ලබන අතර පිරිසිදු සිංහල බෞද්ධ වීම අනිවාර්යය වේ. අනතුරුව පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා කොට ඉගනුම අරඔන සිසුන් භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙයි. ආරම්භයේදීම දැඩි ප්‍රාරම්භක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ, දැඩි වූත්, රළු වූත් පුහුණු අභ්‍යාස වලට අවතීර්න වෙයි. ‍පුහුණු වීම්වලට හෙළ වෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද ‍එකතු වේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය